Skip to main content

දහ අටවන පරිච්ඡේදය: මම ඔබට යන්න දෙන්නේ නැහැ

ෂුඅන්දු කන්ද ගුවන් තලය යට පැවති අංක එකේ දාඕවාදි නිකාය වුවද, එහි ගෝලයන් අතර පිටස්තරයින්ට සිතිය හැකි කිසිදු සැලසුමක් හෝ කුමන්ත්‍රණයක් සිදු නොවී ය.

ෂෙන් ච්‍යාඕ කුඩා කල සිටම හැදී වැඩුණේ මෘදු හා සාමකාමී පරිසරයක ය.

ඔහුගේ ගුරුතුමා ද දයානුකම්පිත විය. ඔහු ඔහුට ගුරුවරයෙකු පමණක් නොව පියෙකු ද විය. ඔහුගේ සටන් සොහොයුරන් කෙතරම් මිත්‍රශීලීද යත් බොහෝ විට ඔවුන් එක්ව ක්‍රීඩා කරන විට ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ කියා වෙනසක් නොතිබුණි. චී ෆංග පවා ඔහුගේ ගෝලයන් සමීපයේ සිටින විට  අන් අය ඔහු බලාපොරොත්තු වූවාක් මෙන් විශ්මයජනක නොවීය.

ෂෙන් ච්‍යාඕ හට ඔහු වටා සිටින සියල්ලන්ම මෘදු හා මෘදු ලෙස සැලකූ බැවින් ස්වභාවිකවම ඔහු ද බොහෝ මෘදු ගතිගුණ ඇති පුද්ගලයෙක් දක්වා වර්ධනය වී තිබුණි.

ඔහු නිකායට බැඳුණු මුල් කාලය එතරම් යහපත් නොවී ය. ඔහු චී ෆංගගේ වැඩිමහල්ම ගෝලයා හෝ ඔහු බාලම ගෝලයා නොවේ.

චි ෆංගගේ ගෝලයන් පස්දෙනා අතුරින්, ෂෙන් ච්‍යාඕ දෙවනුව පැමිණි ගෝලයා විය. කෙසේ වෙතත්, ඔහුගේ ස්වභාවය සහ දක්ෂතා යන දෙකම විශිෂ්ට වූ අතර, අන් අය සමඟ කටයුතු කිරීමේදී ඉතා කරුණාවන්ත සහ සමාව දෙන සුළු ගතිගුණ නිසා ඔහු සැබවින්ම චි ෆංගගේ ප්‍රියතම ගෝලයා බවට පත් විය. අවසානයේදී, චි ෆංග ඔහුගේ සළුව පවා ඔහු වෙත ලබා දුන්නේ ය.

ගෝලයන් අතර තුන්වැනියා වූයේ යු අයි ය. ඔහු ෂෙන් ච්‍යාඕට වඩා දෙවසරකින් වැඩිමහල් නමුත් ඔහු නිකායට සම්බන්ධ වූයේ පසු කලෙක වූ නිසා ඔහුට ෂෙන් ච්‍යාඕව ඇමතීමට සිදු වූයේ 'ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා' යනුවෙනි. ඔවුන්ගේ ළමා කාලයේදී ඔහු දිගු කලක් මෙයින් අපහසුතාවට පත් වූ අතර, ඒ නිසා ඔහු බොහෝ විට ෂෙන් ච්‍යාඕට හිරිහැර කොට ඔහුව විහිළුවට ලක් කළේ ය. ෂෙන් ච්‍යාඕ ලවා ඔහුට ජ්‍යෙෂ්ඨ සහෝදරයා ලෙස ආමන්ත්‍රණය කරවීමට උත්සාහ කළේ ය. කෙලෙස උත්සාහ කළත් ඔහුගේ උත්සාහය අවසානයේ නිෂ්ඵල විය.

ඔවුන් දෙදෙනා වයසින් සමාන විය. ඔවුන් කුඩා කාලයේ සිටම එක්ව සෙල්ලම් කළ නිසා ඔවුන්ගේ සම්බන්ධතාවය වඩාත් සමීප විය. යමෙකු ෂෙන් ච්‍යාඕගෙන් 'ඔහු මේ ලෝකයේ වැඩියෙන්ම විශ්වාස කරන පුද්ගලයා කවුරුන්දැයි' ඇසුවහොත්, නියත වශයෙන්ම ඔහුගේ පිළිතුර තම ගුරුවරයා වන චි ෆංග සහ ඔහුගේ සියලුම සටන්කාමී සහෝදරයන් වනු ඇත.

ඔහුට තම සටන්කාමී සහෝදරයන්ව ඔවුන්ගේ සබඳතාවල සමීපභාවය අනුව ශ්‍රේණිගත කිරීමට සිදුවුවහොත්, යූ අයි බොහෝ විට අංක එක වනු ඇත.

කන්ද නැගීමට පෙර, ඔවුන් නැවත එකිනෙකා මුණගැසෙන විට එය කෙබඳු වනු ඇත්දැයි ෂෙන් ච්‍යාඕ ද සිතුවේය. ඔහු වැනි මිය ගොස් සිටිය යුතු අයෙකුට නැවත පණ ලැබී තිබෙනු දුටුවහොත් යූ අයි පුදුම වනු ඇත. නැතහොත් ඔහුට සුළු වරදකාරි හැඟීමක් සහ බියක් දැනෙනු ඇත. නැතහොත් ඔහු ෂෙන් ච්‍යාඕ දැකීමට ඇති අකමැත්ත නිසා පිළිකුල් සහගත ප්‍රකාශයකින් මුහුණ සරසා ගනු ඇත.

එහෙත් අනෙක් පුද්ගලයා මෙතරම් සතුටු වනු ඇතැයි ෂෙන් ච්‍යාඕ කෙදිනකවත් සිතා තිබුණේ නැත. යූ අයිගේ ඉරියව් පැහැදිලිව නොපෙනුනත්, එය ව්‍යාජ එකක් නොවන බව ඔහුගේ කටහඬින් ෂෙන් ච්‍යාඕ හට හඳුනාගත හැකි විය.

මුලදී ඔහුට කියන්නට ඇවැසි වූ බොහෝ දේ තිබුණි.නමුත් ඒ වචන මුවට ගලා ආ විට කුමන පැනයෙන් ආරම්භ කළ යුතුදැයි යන්න ඔහු දැන සිටියේ නැත. “ජ්‍යේෂ්ඨ සහෝදරයා, නිකාය නායක” යැයි කෑ ගැසීමෙන් පසු යූ අයි වෙන කිසිවක් කීවේ නැත.ඔහු බොහෝ විට ඔහු තමන්ව හොඳින් නිරීක්ෂණය කරමින් සිටියා විය හැකියැයි ෂෙන් ච්‍යාඕ අනුමාන කළේ ය. එබැවින් ඔහු සංවාදයේ ආරම්භකයා ලෙස වඩාත් පොදු වූ වාක්‍යය ඛණ්ඩය වූ "නිකායේ සියල්ල කෙසේද?" යන පැනය යූ අයි වෙත ඉදිරිපත් කළේ ය.

නමුත් අනෙක් පුද්ගලයා පිළිතුරු දුන්නේ නැත. ෂෙන් ච්‍යාඕ ඔහුගේ හිස මඳක් ඇල කරගත් අතට අවිනිශ්චිතතාවයෙන් යුතුව ඊළඟ පැනය ලෙස ඔහුට ආමන්ත්‍රණය කළේ, "තෙවන කනිෂ්ඨ සහෝදරයා?"

"ඔබගේ ඇස්වලට සිදු වූයේ කුමක්ද?"

අනිත් පුද්ගලයා නැවතත් තම හඬ හෙළි කළ විට ඒ කටහඬ ඒ වනවිටත් ෂෙන් ච්‍යාඕ වෙත සමීප වී තිබුණි. ෂෙන් ච්‍යාඕට යටි සිතින් පසු බැසීමට අවශ්‍ය වූ නමුත් ඒ වන විටත් යමෙකු ඔහුගේ මැණික් කටුවෙන් අල්ලාගෙන තිබූ නිසාවෙන් ඔහුගේ වෑයම නිෂ්ප්‍රභ විය.

"ඔබගේ ඇස් වලට කුමක්ද සිදු වූයේ?" යූ අයි පුන පුනා එකම පැනය අසමින් සිටියේ ය.

“කුන්'ය සමඟ සටනේදී මම පර්වතයෙන් වැටුණා. අවදි වූ පසු මගේ දෑස් මේ ආකාරයට පත් වී තිබුණා. ෂෙන් ච්‍යාඕ එම මාතෘකාව සැහැල්ලුවෙන් මඟ හැරියේ ය.

එහෙත් ඔහුගේ මැණික් කටුව අල්ලාගත් අත ලිහිල් වූයේ නැත. යූ අයි පැවසුවේ “නිශ්චලව සිටින්න. මම ඔබේ නාඩි ස්පන්දනය කෙසේදැයි බලන්නම්. ”

ෂෙන් ච්‍යාඕ හට 'එය අවශ්‍ය නැතැ'යි කීමට අවශ්‍ය වූ නමුත් ඔහුට තමාව නිදහස් කර ගැනීමට නොහැකි වූ නිසා, යූ අයි හට ඉඩ දීමට සිදු විය.

යූ අයි දැඩි අවධානයකින් යුක්තව ඔහුගේ නාඩි ස්පන්දනය පරීක්ෂා කළේ ය. සුලු මොහොතකට පසු, අවසානයේ ඔහු ඇසුවේ, “ඔබේ අභ්‍යන්තර චී ඉතා දුර්වලයි. නිශ්චිතවම පවසනවානම් එය නොපෙනෙන තරම් . සිදුවුයේ කුමක් ද?"

හැඟීම් විරහිත වූ ෂෙන් ච්‍යාඕ පැනයට පැනයක් ලෙස නැවත විමසුවේ, “ඔබ මට වස ලබා දුන් විට එවැනි ප්‍රතිපලයක් කල් තියා දුටුවේ නැද්ද?”

ඔහුගේ වචන නිසා අනෙක් පුද්ගලයාගේ අත තත්පරයකට නතර විය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ෂෙන් ච්‍යාඕ තමාගේ අත නැවතත් පසුපසට ගත්තේ ය.

පුද්ගලයෙකුගේ සටන් කලාව යූ අයි සිටි මට්ටමට පැමිණි විට, රාත්‍රිය කෙතරම් අඳුරු වුවද, ඉටිපන්දම් එළිය කෙතරම් අඳුරු වුවද, එය ඔහුගේ ඇස් පෙනීමට බලපාන්නේ නැත.

ඔහු අවධානයෙන් ෂෙන් ච්‍යාඕගේ රුව දෙස ඉහළ පහළ බැලුවේ ය. ෂෙන් ච්‍යාඕගේ සම සීතල හා සුදුමැලි වූ අතර ඔහුගේ රූපය පෙරට සාපේක්ෂව බොහෝ සිහින් විය. මේ දිනවල එම පුද්ගලයා එළිමහනේ බොහෝ දුක් විඳ ඇති බව පැහැදිලිය. උණ ලීය අල්ලාගෙන සිටි ඔහුගේ අතේ මැණික් කටුව වස්ත්‍රය අතරින් අඩක් නිරාවරණය වී තිබුණි. එම අත් පවා අස්ථි පමණක් ඇතිවාක් මෙන් ඉතා සිහින් ලෙස දර්ශනය වූයේ ඒ දෙස බලන මිනිසුන්ගේ පවා හිත් රිදුම් දෙන තරමට දුකක් ඇති වන පරිද්දෙනි.

යූ අයි සිහින් සුසුමක් පිට කළේ ය, “ඔබ පැමිණ ඇති නිසා නැවතත් යන්න එපා. මම එය ගැන ඔබට පසුව පැහැදිලි කරන්නම්, හරිද?"

ෂෙන් ච්‍යාඕ හිස සැලුවේ ය. “ෂුඅන්දු කන්ද එහි නව නිකාය නායකයා තෝරා පත් කර ගැනීමටයි යන්නේ. ෂුවාන්දු කන්දට නින්දා කළ මා වැනි වයසක කෙනෙක් මෙහි සිටියහොත් ඔබට එය අපහසුතාවයක් නොවේද?”

යූ අයිට එය අමුතු දෙයක් විය, “ෂුවාන්දු කන්දට නව නිකාය නායකයෙක් පත් කරගන්නා බව කවුද පැවසුවේ?”

“දින දහයකට පසුව පැවැත්වීමට නියමිත හරිතමණී සමුළුව ෂුවාන්දූ කන්ද එහි නව නිකාය නායකයා තෝරා ගැනීමේ උත්සවය නොවේද?”

යූ අයි තම හිස සොලවා එයට පිළිතුරු අභිනය මඟින් පෙන්වන්නට උත්සාහ කළත් අනෙක් පුද්ගලයා හට ඔහුගේ ක්‍රියාවන් නොපෙනෙන බව ඔහුට වැටහුණි. එබැවින් ඔහු පැවසුවේ “ඔබ පර්වතෙන් වැටී අතුරුදහන් වූ දිනයේ සිට මම සෑම තැනකටම මිනිසුන් යවා රහසිගතව ඔබව සෙව්වා. නමුත් කුමන දේ කළත් අපිට ඔබව සොයාගැනීමට නොහැකි වුණා. ඔබ ජීවතුන් අතර නම්, මට ඔබව පෞද්ගලිකව දැකිය යුතුය; ඔබ මිය ගොස්නම් මම ඔබගේ මිය ගිය ශරීරය හෝ දැකිය යුතුයි. ඔබ මිය නොගොස්  සිටින තාක්, ෂුඅන්දු කන්දේ නිකායේ නායකයා කිසිදා වෙනස් නොවේ. මම ඔබ වෙනුවෙන් සියලු කටයුතු කළමනාකරණය කළ බව සත්‍යක්. නමුත් ඒ තාවකාලික වැඩ බලන නායකයෙකු ලෙස පමණයි. මම කෙදිනකවත් සීමාව ඉක්මවා ඔබ වෙනුවට ආදේශ වීමට සිතුවේ නැහැ."

එය අතීතයේ නම්, ෂෙන් ච්‍යාඕ යූ අයි පවසන සෑම දෙයක්ම සැකයකින් තොරව තරයේ විශ්වාස කරනු ඇත. කෙසේ වෙතත්, දැන් කාලය සහ තත්වය වෙනස් වී තිබූ අතර, වර්තමාන ෂෙන් ච්‍යාඕ මෙම වචන තවදුරටත් විශ්වාස කිරීමට එඩිතර වූයේ නැත.

ඔහු මොහොතක් නිශ්ශබ්දව සිටි අතර “එදින මම කුන්'ය සමඟ සටන් කරන අතරතුර මගේ ශරීරයේ අභ්‍යන්තර චී ශක්තිය අඩකටත් වඩා නැති වී තිබූ බව මම දැනගෙන හිටියා. ඉතිරි වී තිබූ චී ශක්ති සුළු ප්‍රමාණය පවා ශරිරය තුළ සංසරණය වීමට නොහැකි තරමට එක තැන කැටි වී තිබුණා. මම කුන්'යට එරෙහිව මා සටන් කිරීමට මගේ උපරිමය උත්සාහ කළත් අවසානයේ එය ඵලක් වුණේ නැහැ. ඒ මොහොතේ මම සෑමදෙයක්ම මුල සිට අගටම පරිස්සමෙන් මතකයට  ගැනීමට උත්සාහ කළත් කුමන මොහොතේ කුමන ස්ථානයෙන් මා විස වූයේදැයි වටහාගැනීමට නොහැකි වුනා. සෑම අවස්ථාවකදීම, මම කිසි විටෙකත් ඒ ඔබ යැයි සැක කළේ නැහැ."

යූ අයිගේ හිස පහළට බර වී තිබුණි. ඔහු කිසිවක් කීවේ නැත. නමුත් වස්ත්‍රවලින් වැසී තිබූ ඔහුගේ දෑත් නොදැනෙන ලෙස වෙව්ලන්නට විය.

එය නිවැරදියි. කුඩා කල සිටම, ඔහුට හෝ ෂුඅන්දූ කන්දේ සිටින සියල්ලන්ටම, ෂෙන් ච්‍යාඕ කිසි විටෙකත් ඔහුගේ විශ්වාසය පළුදු කරගෙන තිබුණේ නැත.

මෙයට හේතුව ෂෙන් ච්‍යාඕ මෝඩ සහ නූගත් වූ නිසාවත්, එසේත් නැත්නම් ඔහු බොළඳ හා රැවටිලිකාර නිසාවත් නොවේ. ඒ ඔහු ඔවුන්ව සෑමවිටම විශ්වාස කළ නිසා ය. මේ ලෝකයේ සෑම විටම කරුණාව ඇති බව ඔහු විශ්වාස කළේ ය. ඔහු වැඩෙන විට ඔහු සමඟ සිටි මිනිසුන් සහ දේවල් ඔහු විශ්වාස කළේ ය. එපමණක්ද නොව, තම සහෝදර සහෝදරියන් මෙන් සිටි මෙම සටන් සහෝදරයින්ට කිසි විටෙකත් තමාව පාවා දිය නොහැකි බව ඔහු විශ්වාස කළේ ය. ඔහු ඔවුන්ගෙන් කිසිසේත් ආරක්ෂා නොවූයේ එබැවිනි. එබැවින් යූ අයිට පහසුවෙන් සාර්ථකත්වය සොයා ගැනීමට හැකි විය.

ෂෙන් ච්‍යාඕ තවදුරටත් පැවසුවේ, “පසුව, මම ප්‍රපාතයෙන් වැටී සිහිසුන් වුණා. මම අවදි වූ පසු, මට මගේ මතකයන් අහිමි වී තිබූ නිසා දවස පුරා නූගත් සහ මන්දගාමී ලෙසින් සිටියා.අවසානයේ මට මගේ මතකයන් බොහෝ ප්‍රමාණයක් ලැබුණා. කුන්'ය  සමඟ සටනට පෙර දින රාත්‍රියේ, ඔබට එකට නිදා ගැනීමට අවශ්‍ය බව පවසමින් ඔබ මා වෙත පැමිණියා. අපේ කණිෂ්ඨ සටන් සහෝදරිය ගැන ඔබ හට සිතක් පහළ වී තිබූ බැවින් ඔබ පසුගිය දේවල් ගැන බොහෝ කතාබස් කළා. නමුත් ඇය බොහෝ දැඩියි. කා සමඟවත් කතා කළේ නැහැ. ඔබ එයින් කරදරයට පත් වී තිබූ නිසා ඔබ පැමිණියේ කුන්'ය සමඟ මගේ සටනෙන් පසු ඔබ වෙනුවෙන් ඇය සමඟ කතා කිරීමට මට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්."

යූ අයි කිසිම අදහසක් ප්‍රකාශ කළේ නැත.

ෂෙන් ච්‍යාඕ තවදුරටත් කියා සිටියේ, “කුන්'ය ද්වන්ධ සටන සඳහා ලිඛිත අභියෝගය අප වෙත එවූ විට, මුලදී මට මුලින් එය භාර ගැනීමට අවශ්‍ය වී තිබුණේ නැහැ. කෙසේ නමුත් මම අභියෝගය භාර නොගතහොත් ගුරුතුමාගේ සහ ෂුආන්දු කන්දේ කීර්ති නාමයට හානියක් විය හැකි බව පවසමින් ඔබ කුන්'යගේ ගුරුතුමා වන හු ලුගු සහ අපේ ගුරුතුමා අතර සටන මා හට පැවසුවා. ඉන්පසුව, ඔබ කුඩා කනිෂ්ඨ සහෝදරියට ඔබේ කැමැත්ත පිළිබඳව නැවත නැවතත් මා ඉදිරියේ ප්‍රකාශ කළත්, අමුතු දෙය වූයේ ඔබ කිසි විටෙකත් ඇය ඉදිරියේ ආවේගශීලී ප්‍රකාශයන් හෝ හැසිරීම් ඇති කර නොතිබීමයි.එදින ඔබට වෙනත් චේතනාවක් තිබෙනවද යන්න පිළිබඳව මම සැක කළේ නැහැ. ඔබ දෙදෙනාට තනිව කාලය ගත කිරීමට අවස්ථා නිර්මාණය කරමින් මම ඔබව සැනසුවා. දැන් සිතන විට ඒ සියල්ලම මුසා නේද?”

යූ අයි අවසානයේ සුසුම්ලමින්, “ඔබ නිවැරදියි. මට කෙදිනකවත් කණිෂ්ඨ සහෝදරිය ගැන කිසිම ආදර සිතිවිල්ලක් ඇති වී නැහැ. මම එය එලෙසින් පැවසුවේ ඔබට මා ගැන සැක ඇති නොවන ආකාරයට වැරැදි වැටහීමක් ඇති කිරීමට. ඒ අවසන් සටනට පෙර මට ඔබ සමඟ තනිව කතා කිරීමට අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා. ඔබට මාස්ටර්ගේ ඇඳුම උරුම වී ඇති අතර, ඔබගේ සටන් කලා කුසලතාව අපගේ සියලුම සටන් සහෝදරයන් අතර හොඳම කුසලතාවයයි. සාමාන්‍ය විෂ ඔබට කිසිදු බලපෑමක් නොකරන නිසා මට ලෝකයේ දුර්ලභම විෂ වර්ගයක් වන 'තුටු හමුව' [1]  භාවිතා කිරීමට සිදු වුණා. එයින් ක්ෂණිකව මිනිසුන් මරා දමන්නේ නැහැ. මාත්‍රාව හොඳින් පාලනය කළහොත්, එය කිසිවකුට නොදැනෙන ලෙස නිශ්ශබ්දව ක්‍රියාත්මක කරවීමට සැලැස්විය හැකියි. දිගු කලක් ගත වූ පසු, විෂ ශරීරගත වී ඔහුගේ අස්ථි තුළට ඇතුළු වී එය ස්වාභාවික මරණයක් ලෙස දර්ශනය වෙනවා."

“නමුත් මම කෙදිනකවත් ඔබගේ ජීවිතය නැති කිරීමට සිතුවේ නැහැ. මම එය භාවිතා කලේ කුන්'ය සමඟ කළ සටනින් ඔබව පැරදවීමට පමණයි. මම හිතුවා ඔබේ සටන් කලාවේ මට්ටමත් සමඟ, පර්වතයෙන් වැටුණත් එයින් ඔබ මරණයට පත් නොවෙන බව. උපරිම වුවහොත්, ඔබ මදක් බරපතල ලෙස තුවාල ලබනු ඇති බව සහ එය මාස කිහිපයක් ඇතුළත නිවැරදි කළ හැකි වනු ඇති බව. නමුත් මා සිතූ පරිදි දේවල් සිදු නොවීම මට පුදුමයක්. ඔබ පර්වතයෙන් වැටුණු පසු, මම වහාම ඔබව සෙවීමට මිනිසුන් යැවූ නමුත් අපට ඔබව සොයා ගැනීමට නොහැකි වුණා."

ෂෙන් ච්‍යාඕ තවත් තදින් නළල රැලි කළේය. “නිශ්ශබ්දතාවය අතිශයින් දුර්ලභයි. ෂැන්ග් චියන් විසින් බටහිර ප්‍රදේශ වෙත කරන ලද සංචාරය හරහා මෙම විෂ ප්‍රථමයෙන් මධ්‍යම තැනිතලාවට ගෙන ආ බවත් පසුව එය නැති වූ බවත් පැවසෙනවා.ෂුඅන්දු කන්දෙන් තබා අධිරාජ්‍ය මාලිගයෙන්වත් එය සොයාගත නොහැකි වේවි. ඔබ එය ලබාගත්තේ කොහෙන්ද?"

යූ අයි පිළිතුරු දීමටත් පෙර, ෂෙන් ච්‍යාඕගේ පෙනුම හදිසියේම වෙනස් විය.ඔහු තුෂ්නිම්භූතව, “කුන්'ය? ඔබ එය ලබා ගත්තේ කුන්'යගෙන්ද?

"…ඔව්."

"මා නිකාය නායක තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඔබ කවදා හෝ තුජුවේ ජනතාව සමඟ හවුල් වුණාද?!"

අවසානයේ ෂෙන් ච්‍යාඕගේ මුහුණේ සිහින් කෝපයක් මතු විය. “නිකාය නායකතුමා මට නිකාය නායක තනතුර ලබා දුන් බව සත්‍යක්. නමුත් මට ඒ සඳහා කිසි දිනක එතරම් අභිලාෂයක් නොතිබූ බව ඔබ හොඳින් දන්නවා. මෙම වසර ගණනාවම පුරා, නිකායේ කටයුතු හැසිරවීමට මට උපකාර කිරීම සඳහා මම ඔබ මත බොහෝ සේ විශ්වාසය තැබුවා. ඔබ එය පැවසුවානම්, මම නිසැකවම ඔබට එම තනතුර ලබා දෙනවා. ඔබට පිරිනමන දේ ලබා ගැනීම වෙනුවට දුරින් ඇති දේ සොයමින්, ඒ වෙනුවට තුජුවේ මිනිසුන් පසුපස ගියේ මන්දැයි මට වැටහෙන්නේ නැහැ."

ඔහුගේ මානසික තත්ත්වය කෝපයට බර වී තිබූ බැවින් ඔහුගේ ස්වරය ද තරමක් රළු විය. කතාව අවසානයේදී ඔහු හට කැස්ස ඇති වීම නවතා ගැනීමට පවා නොහැකි විය.

ෂෙන් ච්‍යාඕට හුස්ම ගැනීම සඳහා උපකාර කිරීමට ඔහුගේ පිටට පහර දීමට යූ අයිට අවශ්‍ය වූ නමුදු ඔහු තම අත දිගු කළ පසු තත්පරයකට එය ගුවනේ නතර විය. අවසානයේ එය යළිත් ආපස්සට ගත් ඔහු සෙමින් පැවසුවේ, "මා එය කළේ ෂුඅන්දූ කන්ද සදහටම මෙවැනි ආකාරයට පැවතීමට ඉඩ නොදීමට. අනෙකුත් සියලුම ලෞකික කටයුතු වලින් ඈත් වී සිටීමෙන් ෂුඅන්දු කන්ද වැනි මේ ලෝකයේ අංක එකේ දාඕවාදී නිකායට පවා අවසානයේ වාසිය අහිමි වනු ඇත!"

“මේ ලෝකය වටා ටිකක් බලන්න. සියලු දාඕවාදි නිකායන්ගෙන් ප්‍රමුඛ තැනට, චින්චෙන් කන්දේ චුන්‍යැන් දාඕවාදී ආරාමය බලයෙන් නැඟී එනවා. ඔවුන්ගේ ආරාම නායක යි බිචෙන් ද හොඳම සටන් කලාකරුවන් දස දෙනාගෙන් කෙනෙක්. ඔහුගේ කීර්තිය ඔබට වඩා බෙහෙවින් වැඩියි. ඊට අමතරව, අප දෙස බලන්න. ෂුඅන්දු කන්දේ දම් මන්දිරය ශාස්තෘන් වහන්සේ අමරණීයභාවයට පත් වූ දා සිට, ඔහුගේ ඉතිරි වූ කීර්තිය හැරෙන්නට අපට ඉතිරිව ඇත්තේ වෙන කුමක්ද?

“ඔබේ සටන් කලා කුසලතාවය යි බිචෙන් ගේ දක්ෂතාවයට වඩා පහළ මට්ටමේ නොවේ. ඔබ බාහිර ලෝකයට ඇතුළු වීමට කැමති අයෙක් නම්, ඔබට ඉහළම සටන් කලාකරුවා ලෙස එම ස්ථානය සඳහා උත්සාහ කිරීමට පවා අවස්ථාවක් ලැබේවි. නමුත් ඔබ ඔබේ කැමැත්තෙන්ම නිහඬව සිටියා. එයින් ඇඟවෙන්නේ ඔබ කඳු මුදුනට වී නිහ‍ෆව සිටීමට කැමති බවයි. ෂුඅන්දු කන්දේ අත්තිවාරම කෙතරම් ගැඹුරු හා කෙතරම් බලවත් වුනත්, දේවල් මේ ආකාරයෙන්ම දිගටම පැවතුනහොත්, අවසානයේදී අපගේ ස්ථානය වෙනත් අය විසින්  උදුරාගනීවි!"

මේ කාරණය පිළිබඳව කතා කරන විට, යූ අයිගේ ස්වරය ක්‍රමයෙන් ආවේගශීලී වන්නට විය, “දැන් ලෝකය අවුල් සහගතයි. සියලුම දාඕවාදී නිකායන් තමන්ගේම දාඕවාදී සංකල්ප පිහිටුවාගෙනයි සිටින්නේ. අනෙක් පාසල් දෙක වෙන බුද්ධාගම සහ කොන්ෆියුස්වාදය පවා ප්‍රමුඛත්වය ලබාගැනීමට තමන්ගේම උපක්‍රම භාවිතා කර ලෝකයේ බලය අල්ලාගැනීමට බුද්ධිමත් පාලකයෙකුට සහාය වීමට උත්සාහ කරනවා.අසුර නිකාය පවා එය කෙරෙහි අවධානය යොමු කරලා! සමාජයෙන් ඉවත් වූ අපගේ ෂුඅන්දු කන්ද හැර අන් සියල්ලන්ම, බාහිර ලෝකයට අත තබලා. අප පමණක් අන්ධ සහ බිහිරි ලෙස සිටිනවා. අපේ අතේ විශාල කඩුවක් තිබුණත් අප එය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධ නිකායේ හෝ කොන්ෆියුසියස් නිකායේ අනුග්‍රහය ලබන නායකයා කෙදිනක හෝ ලෝකය එක්සේසත් කළහොත්, ඒ වන විට, අපගේ දාඕවාදී නිකායන් සඳහා වාසය කිරීමට ස්ථානයක් තිබේවියැයි ඔබ සිතනවාද?"

ඔහු තම කටහඬ සන්සුන් කොට, “සහෝදරයා, මම කවදාවත් ඔබ වෙනුවෙන් ආදේශ වීමට සිතුවේ නැහැ. අපේ නෑදෑයන් නොවන අය සතුව වෙනස් හදවතක් ඇති බව මම දන්නවා.තුජුයේ ජනතාව සමඟ එකමුතු ලෙසින් වැඩ කිරීම මගේ සැලැස්මේ කොටසක් පමණයි. කොහොම වුනත්, ඔබ මෙහි සිටියා නම්, ඔබ නිසැකවම මට මෙය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එබැවින් මට මෙම නරක උපක්‍රමය සිදු කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඔබ දැන් පැමිණ ඇති නිසා නැවතත් යන්න එපා. මෙහි වාසය කර හොඳ සුවයක් ලබාගන්න, හරිද?"

ෂෙන් ච්‍යාඕ ඇසුවේ, "දින දහයකට පසුව කුමක් වේවිද?"

යූ අයි පුදුමයට පත් විය, "කුමක්ද?"

“මම නැවත ෂුඅන්දු කන්දට පැමිණීම ගැන ඔබ නිකායේ අනෙකුත් සටන් සහෝදරයන්ට සහ ගෝලයන්ට පැහැදිලි කරන්නේ කෙසේද? දින දහයකට පසු, හරිතමණි සමුළුවේදී, ඔබ එය ලොව පුරා සිටින සෑම කෙනෙකුටම පැහැදිලි කරන්නේ කෙසේද?"

මද වේලාවක් යනතුරු යූ අයිට පිළිතුරක් දීමට නොහැකි විය.

ෂෙන් ච්‍යාඕ තවදුරටත් ඇසුවේ, "ඔබ තුජුයේ ජනතාව සමඟ කුමන්ත්‍රණය කරන්නේ කුමක්ද?"

"මට සමාවෙන්න. නමුත් මට මේ වෙලාවේ ඔබට ඒ ගැන කිසිවක් පැවසීමට නොහැකියි.."

"මම එයට විරුද්ධ නම් ඔබ කරන්නේ කුමක්ද?"

යූ අයි පිළිතුරු දුන්නේ නැත.

“මම විරුද්ධ වුවහොත් ඔබ මාව නිවාස අඩස්සියේ තබනවා. එතැන් සිට මම ඔබේ විශාල සැලැස්මට බාධා නොවන පරිදි, නැවත කිසි දිනෙක දහවල් කාලයේ නොපෙනෙන පරිදි සිටීමට සිදු වෙන නාමික නිකාය නායකයෙකු ලෙස පමණක් රැඳී සිටීවි. මම නිවැරදියි නේද?”

ඔහුට නැවතත් පිළිතුරු ලෙස ලැබුණේ  නිශ්ශබ්දතාවයකි.

සුසුම්ලමින් සිටි ෂෙන් ච්‍යාඕ, “ඔබ කුඩා කාලයේදී ඔබේ සෞඛ්‍යය යහපත් වුණේ නැහැ. ඔබ මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් වුණත් ඔබගේ පෙනුමෙන් එය පැවසීමට දුෂ්කර වුණා. ඔබ අසනීප වූ විට ඔබ ක්‍රියා කරන්නේත් අයහපත් ලෙස. ඔබ අස්ථාවර බැවින් කුඩා පරම්පරාව ඔබ දෙස සැහැල්ලු අයෙක් ලෙස බලාවියැයි ඔබ බිය වූ නිසා ඔබ දවස පුරාම මෙම ගෞරවනීය හා පරිණත වෙස් මුහුණ පැළඳගෙන සිටියා. අද වනතුරුත් මට මතකයි, ඔබ මට ‘ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා’ යැයි අමතමින් මා පසුපස හඹා ආ දර්ශනය."

අතීතයේ සිදුවීම් මතු කරන විට යූ අයිගේ ප්‍රකාශය තරමක් මෘදු විය. “එය නිවැරදියි. මටත් එය මතකයි. මා කුඩා වියේ සිටියදී මගේ කෝපය ඉතා නරකයි. මම සෑම කෙනෙකුම ඉදිරියේ දැඩි මුහුණකින් සිටියේ. මගේ වචන බොහෝ විට අන් අයව අපහසුතාවයට පත් කළා.කණිෂ්ඨ සොහොයුරිය පවා මාව මගහැරියා. සියලුම සටන් සහෝදරයන් අතරින්, හොඳම කෝපය තිබුණේ ඔබට වුනත්, සැමවිටම මා ඉවසන තැනැත්තා වුනේත් ඔබයි. ”

“මගේ කෝපය කෙතරම් හොඳ වුවත් එහි ප්‍රතිඵලයක් නැහැ. ඔබට නිකාය නායකයා වීමට අවශ්‍ය වීම සහ මගේ පරාජය වෙනුවෙන් කුන්'යට ජය ලබා දීමට උදව් දීම ගැන මට පැවසීමට කිසිවක් නැහැ. ඔබව ඕනෑවට වඩා විශ්වාස කිරීම ගැන දොස් පැවරිය හැක්කේ මටම පමණයි. නමුත් තුජුයේ ජනතාව අභිලාෂයෙන් උමතු වී සිටින පිරිසක්. ඔවුන් දිගු කලක් තිස්සේ මධ්‍යම තැනිතලාවට ආශා කරනවා.ෂුඅන්දු කන්ද කිසි විටෙකත් ලෝකයේ පාලනය සම්බන්ධයෙන් සටන් කිරීමට කිසිම දේශයකට උදව් කළේ නැහැ. එය කෙලෙස වුවත් අප කිසිදිනෙක තුජුයේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ නැහැ! ”

යූ අයි අමිහිරි සිනහවක් පෑවේ ය, “ඔබ මට කිසිදිනෙක මෙය කිරීමට ඉඩ නොදෙන බව මම දැන සිටියා. එසේ නොමැති වුනානම්, මම මේ සියල්ල සැලසුම් කිරීමට මෙතරම් මහන්සි වී වැඩ කළේ ඇයි? ”

ෂෙන් ච්‍යාඕ පැවසුවේ, “අපගේ නිකාය නායකයින්ගේ පරම්පරා විසින් අනුගමනය කළ හුදකලා මූලධර්මය වැරදි විය හැකියි. නමුත්, එය නියත වශයෙන්ම අප තුජුයේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු නොකළ නිසා නොවේ. ඔබට තවමත් මේ සියල්ල නතර කොට පසුතැවිලි වීමට කාලය තිබෙනවා. ”

යූ අයි කෝපයෙන් පිළිතුරු දුන්නේ, “ෂුඅන්දු කන්ද මා ද හැදී වැඩුණු ස්ථානයයි. එබැවින් මගේ පැතුමත් එය වඩා හොඳ ස්ථානයක් බවට පත් කරලීම. මගේ හැඟීම්, ඔබේ හැඟීම්වලට වඩා අඩු නැහැ. එසේ නම් ඔබ සාන්තුවරයෙකුගේ මෙම දර්ශනයෙන් සෑමවිටම සිටින්නේ ඇයි? ඔබ පවසන්නේ ලෝකයේ නිවැරදි වන්නේ ඔබ පමණක් බවත්, අනෙක් සියලුම මිනිසුන් වැරදි බවත්ද?"

“ඇයි ඔබ නිකායේ අනෙක් ගෝලයන්ගෙන් අසන්නේ නැත්තේ? ඔවුන් කිසිවක් නොකීවත්, වසර ගණනාවක් පුරා ෂුඅන්දූ කන්දේ හුදකලා වීම ගැන ඔවුන්ගේ අභ්‍යන්තරයෙන් අසතුටක් දැනේද යන්න ගැන ඔබ නොඅසන්නේ ඇයි?හරිතමණී සමුළුවෙන් පසු, අපි අපගේ දොරටු විවෘත කර තවත් ගෝලයන් බඳවා ගන්නා බව මට නිල වශයෙන් ප්‍රකාශ කළ හැකියි.එවිට, ෂුඅන්දූ කන්දේ කීර්තිය සහ තත්ත්වය ඉහළ යනු ඇති. මම කිසි විටෙකත් තියන්තායි නිකායට සහ ලින්චුවන් ආයතනයට සියලු කීර්තිය ඒකාධිකාරය ලැබීමට ඉඩ දෙන්නේ නැහැ! ”

බොහෝ කාලයක් යනතුරු ෂෙන් ච්‍යාඕ කිසිවක් පැවසුවේ නැත. යූ අයිගේ පපුව වේගයෙන් ඉහළ පහළ ගියේ ඔහුගේ කෝපය සම්පූර්ණයෙන්ම පිට කරමිනි. රාත්‍රී සුළඟ මැද ඔවුන් දෙදෙනා නිහඩවම මුහුණට මුහුණ බලා සිටියහ.

යූ අයිට එක්වරම කුඩා කණස්සල්ලක් ඇති විය. කුමක් සිදු කළත් ඔවුන්ට පෙර තිබූ සමීප සබඳතාවයට ආපසු යා නොහැකි විය.

අවසානයේ ෂෙන් ච්‍යාඕ පැවසුවේ “ඔබ දැනටමත් ඔබේ හිත හදාගෙන ඇති නිසා මට පැවසීමට වෙන කිසිවක් නැහැ.”

යූ අයි විමසුවේ, "ඔබ කොහෙද යන්නේ?"

ෂෙන් ච්‍යාඕ උදාසීන ලෙස පිළිතුරු දුන්නේය, “කුන්'ය විසින් මා පරාජය ලැබූ නිසා දැනටමත් මා ෂුඅන්දු කන්ද සෑම අංශයකින්ම ලැජ්ජාවට පත් කර තිබෙන්නේ. අනෙක් අය කිසිවක් නොකිව්වත් නිකාය නායකයා වීම මට අපහසුවක්. විස සම්බන්ධයෙන් ගත් කල, මගේ සාක්ෂියට අමතරව මා සතුව වෙනත් කිසිදු සාක්ෂියක් නැහැ.මම ඔබට ප්‍රසිද්ධියේ චෝදනා කළත් මිනිසුන් එය විශ්වාස කරන්නේ නැහැ. මම මගේ පරාජය පිළිගැනීමට  අකමැති නිසා මම විකාර පවසනවායැයි ඔවුන් සිතීමට පුළුවන්. ඔබ දැනටමත් සියල්ල සැලසුම් කර අවසන්. මම යන ස්ථානය ගැන ඔබ තවමත් සැලකිලිමත් වන්නේ ඇයි? මා කොතැනක ගියත් එය ඔබගේ විශාල කාර්යයට බාධාවක් වෙන්නේ නැහැ.”

යූ අයි මෘදු ලෙස ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ය, “ඔබට බරපතල තුවාල සිදු වුණා. සුවය ලැබීමට ඔබ මෙහි සිටිය යුතුයි. ”

ප්‍රතික්ෂේප කිරීම සඳහා තම හිස දෙපසට සෙලවූ ෂෙන් ච්‍යාඕ හිස ආපසු හැරී පිටත්ව යාමට සූදානම් විය.

කෙසේ වෙතත්, යූ අයිගේ මඳ සීතල කටහඬ ඔහු පිටුපසින් ඇසුණේ, “මම ඔබට යන්න දෙන්නේ නැහැ.” යන වැකිය සමඟිනි.

ඉංග්‍රීසි පරිවර්තකගේ සටහන්:

[1] Quietus:  විස සඳහා මුල් නම වූයේ 相见欢,  “එකිනෙකාව දැකීමට සතුටුයි” යන්නයි. එය සොන්ග් රාජවංශයේ කවි සහ ගීත සඳහා මාතෘකාවක්/පද ආකෘතියක් ද වේ. නම, විසවල බලපෑම සමඟ සම්බන්ධ නොවන අතර පරිවර්තනය කිරීම ඉතා අපහසු බැවින් මම මගේ මිතුරාගේ යෝජනාව ගෙන එය වෙනුවට Quietus ලෙස නම් කළෙමි.


සිංහල පරිවර්තකගේ සටහන්:

ඉහත සඳහන් විෂ වර්ගයේ නාමය සිංහල පරිවර්තනයේදී 'තුටු හමුව' ලෙස නම් කර ඇති බව සලකන්න.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. Ah Qiao නා ගත්තේ හැාමා්වම විශ්වාස කරන්න ගිහින්

    ReplyDelete
  2. ❤️❤️❤️❤️

    ReplyDelete
  3. යූ අයි නම් මහම යක්ෂයෙක්...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-