Skip to main content

පළමු පරිච්ඡේදය | ඇවිද යමු, ඔබ පුදුමයට පත්වනු ඇත...

අවට සිටි සියල්ලන්ටම ගාම්භීරත්වය පෙන්වන්නාක් මෙන්, වළාකුළු විනිවිද යන්නට තරම් උස්ව විහිදී තිබුණු එක් ශිඛරයකි. මේ අර්ධ පියවර කදු ගැටයයි. නමෙහි අර්ථයට නියමාකාරයෙන්ම ගැලපෙන පරිද්දෙන්, අර්ධ පියවර කඳු මුදුනේ ද පැවතියේ යමෙකුට නැගී සිටින්නට හැකි වන ලෙස පිහිටා තිබූ වර්ග අඟල් කිහිපයක භූමි කොටසක් පමණි. මින් ඉදිරියට අඩි භාගයක් හෝ ගමන් කළහොත් මීටර් දහස් ගණනක් උස ප්‍රපාතයක අද්දර සිටගෙන සිටීමේ සුන්දර නමුත් බියජනක වරමක් ඔබටද ලබාගත හැකි ය. එහි මුදුනට වන්නට විචිත්‍රවත් ලෙස ඉහළට නැගි පාෂාණ රැසකි. බොහෝ ශාක විශාල ලෙස වැඩී අතුපතර විහිදා සිටියේ අත් පා විහිදාගත් දැවැන්ත රකුසන් මෙනි. ඊට පහළින් අනෙක් පස බැලීමට නොහැකි තරම් ඝනකමකින් යුත් මීදුමකි. සිත්ගන්නාසුලු වුවත් මෙම භයානක දර්ශනය සමඟ සසඳන විට කෑගසන දෙවියෙක් හෝ සිටගෙන සිටින අවතාරයෙකුගේ රූපයක් දුටුවත් එය අමුතු දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. අහසට මෙන්ම පොළොවටද මෙහිදී එකිනෙකාව ස්පර්ශ කළ නොහැකි තරම් දුරස්ථ භාවයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි.

ඊට එපිටින් දිස් වූයේ "පසුතැවුම් කඳුවැටියයි". එය අර්ධ පියවර කදුවැටියට වඩා අඩු මීදුමකින් මෙන්ම අඩු භයානකකමින් යුක්ත වූ අතර උසින් ද අඩු විය. එහි කඳු මුදුන දිස් වූයේ පිහියකින් කැපුවාක් මෙන් සිරස් අතට විහිදී ගිය මීටර් සිය ගණනක් ඉහළට නැඟී ඇති පතුරු මෙන් ය. මේ නිසා කෙනෙකුට තම පාද තැබීමටවත් ඉඩක් නොතිබුණි. තවමත් ගහකොළ ස්වල්පයක් තිබුණත්, ඒ සියල්ලද ගල් මුල් වසා ගැනීමට මෙන් නොගැඹුරු ලෙස මුල් බැස තිබුණේ ඒ දෙස බැල්මක් හෙළීමට එඩිතර වූ අයෙක් හෝ වෙත්නම් ඔවුන්ව බියපත් කරන්නට මෙන් ය. සැබැවින්ම එය දුටු ඕනෑම අයෙකු වෙව්ලන අතර කඳු මුදුනට නැඟීම ගැන පසුතැවිල්ලෙන් හදවත පිරී යයි. එහි නමෙහි අර්ථය වන "පසුතැවිල්ල" පැමිණියේ මේ හේතුව නිසා ය.

කඳු මුදුන් දෙක අතර ස්වභාවිකව පිහිටි බාධකයකි. එහි මුදුනේ සිට පහළට බලන විට වලාකුළු මුහුද එකතැන කැටි වී ඇති බවක් දිස් වූයේ, එම සිදුරේ ගැඹුර කොතෙක්දැයි කියාගත නොහැකි විලසිනි. පිපාසයෙන් පෙළෙන ව්‍යාඝ්‍රයකුගේ හෝ දුවන සිංහයකුගේ වේගය වැනි ප්‍රබල වේගයකින් ගලා යන නිමක් නොමැති ගංගාවක ජල හඬ පවා මෙහිදී නොපැහැදිලි ලෙස ඇසිය හැකි ය. සාමාන්‍ය වනාන්තර සංචාරයෙකු වූවත්, දඩයම්කරුවෙකු වූවත් මොවුන් කිසිවෙක් එය තරණය කිරීමට එඩිතර වූයේ නැත. ෂියන්තියන්[1] විශේෂඥයෙකු වුවත් [2]  කවදා හෝ එහි සිටගෙන සිටියහොත්, ඔහු පවා මෙහි දී ස්වර්ගයේ කැමැත්ත නොසලකා සාමාන්‍ය  මිනිසෙකුගෙ අභිප්‍රායෙන් කටයුතු කරනු ඇත. 

එහෙත් වලාකුළු සහිත ඝන මීදුමට පහළින් කඳු මුදුන්, ගංගා සහ කඳුකරය අතර අමුතු හැඩැති පාෂාණවලින් සකස් වී ඇති පටු සහ රළු ගල් මාර්ගයෙහි මේ මොහොතේ දෙදෙනෙක් ඇවිදිමින් සිටි අතර, එක් අයෙක් අනෙකා පසුපස ලෙස ඔවුන්ගේ ගමන් මග සැකසී තිබුණි.

කැළඹිලි සහිත ගංගාවේ රළ ඉඳහිට රැළි නඟා තෙත්, ලිස්සනසුලු ගල් මතට කඩා වැටෙමින් ඉදිරියට ඇදුනේ ප්‍රාණීන් දෙදෙනෙක් සිටියාදැයි වගක්වත් නොමැතිව ය. ඊට එරෙහිව බලහත්කාරයෙන් නැගී එන රළ පහරකින් යළිත් ඒ රළ ගඟට නොවැටුනේ නම්, මාර්ගයෙහි ගමන් කළ අයව පහසුවෙන්ම මෙම දිය පහරින් තෙමී යාම නිසැක ය. නමුත් යමෙක් දිය පහරින් ගැලවීමට සිතා ප්‍රපාතයට ආධාර වීමට උත්සාහ කළහොත් ඔවුන්ට සිදුවන්නේ ඊටත් වඩා අකරතැබ්බයකට මුහුණ පෑමට ය. නිසැකවම ඔවුන්ගේ සිරුරු බෑවුම් සහිත ගල් බිත්ති මතුපිට නෙරා ඇති තියුණු පාෂාණවල ප්‍රහාරයට ගොදුරු වනු ඇත. එවැනි දුෂ්කර අවස්ථාවක ඕනෑම අයෙකු පටු කුහරයක සිරවී සිටින මීයෙකු මෙන් දිස්වෙනු ඇත. දැන් මෙහි ගමන් කළ දෙදෙනාටද උරුම වී තිබුණේ මෙවැනි ඉරණමකි. මිදුලක ඇවිදිමින් සිටිනවාක් මෙන් විවේකයෙන්,  නොසැලකිලිමත්ව හා අලංකාරව ඇවිදීම මෙම ස්ථානයේදී කිසිසේත්ම කළ නොහැක්කක් වන අතර සුළු නොසැලකිලිමත්වීමකින් හානියක් සිදු වීමට වුවද හැකි ය.

“වසර විස්සකට කලින්, ෂුඅන්දූ කන්දේ හිටපු දාඕවාදි නායකයා වුණේ චි ෆංග. ඔහු තුජුයේවල[3] අංක එකේ විශේෂඥයා වුණු හූ ලූගුව පවා අර්ධ පියවර කඳු මුදුනේදී පරාද කළා. පස්සේ, වසර විස්සක කාලයකට මධ්‍යම තැනිතලාවට ඇතුළු වෙන්න බැරි විදිහට හූ ලුගුගෙන් බලහත්කාර දිවුරුමක් ගත්තා කියලා කියවෙනවා. [4]  ඒ සටනේ චමත්කාරය අසමසම වෙන්න ඇති කියලා මම ඒ කාලෙ හිතුවා. ඒත් සටන බලන්න යන්න බැරි තරම් මම කුඩා වැඩි වීම කණගාටුවක්."

කතා කරන ලද්දේ පසුපසින් ගමන් කළ තරුණයා ය. ඔවුන්ගේ වේගය මධ්‍යස්ථ වූවත් ගමන් කළ මුලු කාලය අතරතුරම ඔවුන් දෙදෙනා අතර නිතරම වාගේ පියවර තුනක පරතරයක් තිබුණි.

ඉදිරියෙන් සිටි මිනිසා කුඩා ගමන් කළේ කුඩා පියවර තබමිනි. ඔහු ඉතා සැහැල්ලුවෙන් සිටින බවක් පෙනෙන්නට තිබූ අතර නරඹන්නෙක් සිටියානම් ඔවුන්ට පෙනෙනු ඇත්තේ මොහු සාමාන්‍ය පැතලි බිමක සැහැල්ලුවෙන් ඇවිදිනවාක් ලෙසින් ය. පිටුපස සිටි තරුණයාට තිබුණේ ඔහුට සාපේක්ෂව තරමක් විශාල පියවරකි; ඔවුන්ව තනි තනිව දකින විට අමරණීයයෙකු මෙන් කාරුණික බවක් දිස් වුනත්, ඔවුන් දෙදෙනාව එකට සංසන්දනය කළහොත් මිනිත්තු කිහිපයකින් වෙනස හඳුනා ගැනීම අපහසු වූයේ නැත.

යැන් වූෂි උපහාසය මුසු ස්වරයකින් තම කටහඬ පිට කළේ ය. “ඒ කාලයේ අහස යට තිබුණු සියල්ලම සැලකිල්ලට ගත්තත්, 'අංක එක' කියලා හඳුන්වන්න පුලුවන් වුණේ චි ෆංග විතරයි. අශිෂ්ට ම්ලේච්ඡයෙක් වුනු හූ ලුගු ලැජ්ජා වුණේ ඔහුගේම අධික විශ්වාසය නිසා. ඒකෙ වැරැද්ද ඔහුගෙමයි. චි ෆංග දාඕවාදී නිකායන්වල දුරස්ථභාවයේ ප්‍රතිපත්තිය තදින්ම රැකගත්ත නිසා ඔහුට ඝාතන පහරක් දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු විසි අවුරුදු ගිවිසුමක් ඇති කරගත්තා. ඒත් ඒකෙන් වුණේ ෂුඅන්දූ කන්දේ අනාගතයට කරදරවල බීජ රෝපණය වීමක් විතරයි. ඒ හැරෙන්න  වෙනත් වාසියක් වෙන්නෙ කොහොමද?"

යූ ෂෙන්ග්‍යාන් කුතුහලයෙන් ඇසුවේ ය, “ගුරුතුමනි.., හු ලුගුගේ සටන් කුසලතා ඒ තරම් විශිෂ්ටද?”

" මම ඔහුත් සමඟ දැන් සටනකට ගියත්, මගේ ජයග්‍රහණය වුනත් තවමත් ස්ථිර නැහැ."

"ඔහු ඇත්තටම ඒ තරම් ශක්තිමත්ද?!" යූ ෂෙන්ග්‍යන්ගේ ප්‍රකාශය බියෙහි හෝඩුවාවක් පෙන්නුම් කළේ ය. තම ගුරුවරයාගේ සටන් කුසලතා කෙතරම් ශක්තිමත්ද සහ කෙතරම් තේරුම්ගත නොහැකි උපක්‍රමවලින් පිරී තිබුණේදැයි ඔහු නිශ්චිතවම දැන සිටියේ ය. හූ ලුගු පිළිබඳව යැන් වුෂිගෙන්ම මෙවැනි විවරණයක් ලැබීමටනම්, නිසැකවම ඔහුගේ මට්ටමත් ඒ තරමටම භයානක විය යුතු ය. සමහරවිට ඔහුට ස්වර්ගයට පහළින් සිටි පළමු තිදෙනා අතරට යාමට වුව ද හැකි වනු ඇත.

යැන් වුෂිගේ කටහඬ උදාසීන විය: “එහෙම නොවුනනම්, චි ෆංග ඔහුගේ අනාගත ගෝල පරම්පරාවට නිමක් නැති කරදර ඉතිරි කළා කියලා මම කියන්නේ ඇයි? වසර විස්සකට කලින් හු ලූගු, චි ෆංගත් එක්ක සසඳද්දි තරමක් පහත් මට්ටමක හිටියත් ඒ කුසලතා මට්ටම් පරතරය දශක දෙකක් ඇතුළත ළං වෙන්න බැරි තරම් දෙයක් වුණේ නැහැ. දැන් චි ෆංග මිය ගිහින්. ෂුඅන්දූ කන්දට කවදාවත් දෙවෙනි චි ෆංග කෙනෙක්ව හොයාගන්න බැහැ."

යූ ෂෙන්ග්‍යාන් මෘදු ලෙස සුසුමක් හෙලුවේ ය: "ඒක ඇත්ත, දාඕවාදි චි ෆංග නායකතුමා වසර පහකට කලින් ස්වර්ගස්ථ [5] වුණා."

" දැන් ෂුඅන්දූ කන්දේ නිකාය නායකයා කවුද?"

" ඔහු චි ෆංගගේ ගෝලයෙක්. ඔහුගේ නම ෂෙන් ච්‍යාඕ"

යැන් වුෂි එම නාමයට යම්තම්වත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඔහුට චි ෆංග හමුවී ඇත්තේ එක් වරක් පමණක් වන අතර ඒ මීට වසර විසිපහකට පෙරාතුවයි. ඒ වන විටත්, චි ෆංග විසින් ඔහුගේ පෞද්ගලික ගෝලයා ලෙස ෂෙන් ච්‍යාඕව පිළිගෙන තිබුණි.[6] .

දස වසරක සංවෘත දොරටු භාවනාවෙන් [7] එළියට පැමිණි යැන් වුෂිගේ ඇස් හමුවේ, "ස්වර්ගය යට අංක එකේ දාඕවාදී නිකාය " ලෙස ෂුඅන්දූ කඳු මුදුන ඉදිරියෙන්ම දිස් වුවත් චි ෆංග හැර ඔහුගේ ප්‍රතිවාදියා වීමට තරම් සුදුසු කිසිවෙකු එහි නොසිටි බව ඔහුට විශ්වාස විය. 

නමුත් මේ මොහොත වන විට චි ෆංග මිය ගොස් තිබුණි.

ඔහුගේ ගුරුතුමා එතරම් උනන්දුවක් නොදැක්වූ බව දුටු යූ ෂෙන්ග්‍යාන් තවදුරටත් කියා සිටියේ ය, “හු ලුගුගේ ගෝලයා වෙන වාමාංශික තුචී රජු තමයි වර්තමාන තුජුවේ ඉන්න අංක එකේ ප්‍රවීණයා. ඔහුට කුන්'ය කියලත් කියනවා. කුන්'ය, ෂෙන් චියාඕට ද්වන්ධ සටනකට අභියෝග කරා කියලා මට ආරංචි වුණා. එදා වුණු අවමානයට පළිගැනීමක් විදිහට අද ඒ සටන අර්ධ පියවර කදු මුදුනේ පැවැත්වෙනවා කියලා  මට ආරංචි වුණා.ගුරුතුමනි,ඔබ එය බලන්න යන්න කැමතිද?”

යැන් වුෂි පිළිතුරු දීමට වෙහෙස නොවී, ඒ වෙනුවට විමසුවේ ය, “මම භාවනාවේ හිටපු වසර දහයේ දී, චි ෆංගගේ මරණය හැර වෙනත් ප්‍රධාන සිදුවීමක් සිද්ධ වුණාද?”

යූ ෂෙන්ග්‍යාන් මොහොතකට කල්පනා කළේ ය: “ඔබ භාවනාවට ඇතුළු වෙලා වැඩි කල් යන්න කලින් ගාඕ වෙයි චී රටේ නව අධිරාජ්‍යයා විදිහට සිංහාසනයට පත් වුණා. [9] ඒත් ඔහු කාම සැපවලට ප්‍රිය, උසස් ජීවන රටාවකට කැමති මිනිසෙක්. ඒ නිසා පහුගිය වසර දහයේදී චී රටේ ජාතික බලය දරුණු විදිහට පහත වැටුණා. ෂෝ [10] අධිරාජ්‍යයා වුන යුවන් යොන්ග්, චී රටට පහර දෙන්න සැලසුම් කරමින් ඉන්නවා කියලා කටකතා තියෙනවා. උතුරු ප්‍රදේශය ඉක්මනින්ම ෂෝ රාජ්‍යය අතට යයි කියලා මම හිතනවා."

“චි ෆංගගේ මරණයෙන් පස්සේ, හොඳම විශේෂඥයන් දහ දෙනාගේ ශ්‍රේණිගත කිරීමුත් වෙනස් වුණා. ඔවුන් අතරෙ, චිංචන් කන්දෙහි චුන්යැං දාඕවාදී විහාරස්ථානයේ යී බිචෙන්, ෂෝවල ෂෙන් මාස්ටර් වෙන ෂුඑටින්, ලින්චුවන් ආයතනයේ නායකයා වෙන රුයන් ක'හුයි [ 11] පළමු තිදෙනා කියලා පිළිගන්නවා. ඔවුන් තිදෙනා දාඕවාදී, බෞද්ධ සහ කොන්ෆීෂියානු ධර්මය [12] යන පාසල් තුන නියෝජනය කරන අය."

“ඒත් සමහරු කියනවා තුයුහුන්වල ප්‍රධාන[13]  ඝෘෂිවරයාත්[14]  පළමු තිදෙනාගෙන් කෙනෙක් වෙන්න ඕනෙ කියලා.පහුගිය වසර විස්සෙදි හු ලුගුත් ඔහුගේ දක්ෂතාවන්ගෙන් ඉහළට ඇවිත්නම්, ආපහු මධ්‍යම තැනිතලා ප්‍රදේශයට එද්දි ඔහුටත් අංක එකේ ස්ථානයට යන්න හැකි වේවි.”

තම ගුරුතුමා තවමත් ප්‍රතිචාරයක් නොදක්වා ඉදිරියට ගමන් කරමින් සිටින බව දුටු යූ ෂෙන්ග්‍යාන් තවදුරටත් ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ය, “ගුරුතුමනි, කුන්'ය අද ෂෙන් චියාඕට ද්වන්ධ සටනකට අභියෝග කරලා, අනුමාන විදිහට කිව්වොත්, එය විශිෂ්ට සටනක්. ෂෙන් ච්‍යාඕ දැඩි හුදෙකලා ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔහු ෂුඅන්දු කන්දේ [15] දම් මැදුර භාරගත්ත දවසේ ඉඳන්ම, අනෙක් අයත් එක්ක සටන් කළේ ඊටත් වඩා අඩුවෙන්. ඔහුගේ ගුරුතුමා වුණු චි ෆංගගේ කීර්තිමත් කීර්තිය නිසා, ඔහුත් හොඳම විශේෂඥයින් දස දෙනා අතරට ශ්‍රේණිගත කරලා තියෙනවා. ඔබට ෂුඅන්දු කන්දේ සැබෑ ශක්තිය බලන්න අවශ්‍ය නම්,අපිට අද සටන අනිවාර්යයෙන්ම මග හැරගන්න බැහැ. මේ මොහොතේත්, පසුතැවුම් කදු මුදුන සටන බලන්න ආව විශේෂඥයන්ගෙන් පිරිලා ඇති කියලා මම හිතනවා."

"ඔබ හිතන්නේ මම අද මෙතනට ආවේ සටනක් බලන්න ඕනෙ වුණ නිසා කියලද?" යැන් වුෂි අවසානයේදී නතර විය.

යූ ෂෙන්ග්‍යාන් මදක් කලබල විය: "එහෙනම් ඔබතුමාගේ සැලැස්ම මොකක්ද?"

යැන් වුෂි ඔහුව තම ගෝලයා ලෙස පිළිගන්නා විට ඔහුගේ වයස අවුරුදු හතකි.එයින් වසර තුනකට පසු යැන් වුෂි, අසුර නිකායේ මහා ගුරුවරයා වූ කුයි යූවන්ග්ට එරෙහි සටනේදී පරාජයට පත් වූ අතර තුවාල වී සිටියදී සංවෘත දොරටු භාවනාවට ඇතුළු විය . එය වසර දහයක් පැවති හුදෙකලා භාවනාවකි.

එම දස වසර තුළ යූ ෂෙන්ග්‍යාන් යැන් වුෂිගේ උපදෙස් පරිදි පුහුණුවීම්වල නිරත වූ අතර බොහෝ ස්ථානවල සංචාරය ද කළේ ය. බොහෝ කලකට පෙරද ඔහු පළමු මට්ටමේ විශේෂඥයින් අතර සිටි බැවින්, ඔහු බලාපොරොත්තු වූ ප්‍රගතිය එයටත් වඩා බොහෝ සේ ඉහළ විය. කෙසේ වෙතත්, ඔවුන් අවසන් වරට එකිනෙකා දැක වසර දහයක් ගත වී ඇත. ස්වාභාවිකවම, ඔවුන් අතර යම් පරතරයක් සහ යම් නුහුරු නුපුරුදුකමක් තිබුණි. එපමනක් නොව, යැන් වුෂිගේ සටන් ශක්තිය වඩ වඩාත් ගැඹුරු වන විට, යූ ෂෙන්ග්‍යාන්ගේ හදවතේ තිබූ බිය ද වැඩි විය. අන් අය ඉදිරියේදී ඔහුගේ තිබු සුපුරුදු හැසිරීම් පවා තම ස්වාමියා ඉදිරියේදී යම් ආකාරයක ප්‍රවේශම් සහගත බවක් බවට පත්ව තිබුණි.

දෑත් පිටුපසට බැඳගත්, යැන් වුෂි සරල හඬින් පැවසුවේ ය, “මම මීට වසර ගණනාවකට කලින් චි ෆංගගෙයි, හූ ලූගුගෙයි ද්වන්ධ සටන දැක්කා. ෂෙන් ච්‍යාඕයි, කුන්'යයි කියන්නේ ඔවුන් දෙන්නාගේ ගෝලයන්. ඒත් ඔවුන් තවමත් තරුණයි; කොච්චර දක්ෂ වුනත්, ඔවුන්ගේ සටන චි ෆංගගෙයි, හූ ලූගුගෙයි අතර සටනේ දර්ශනය ඉක්මවලා යන්න හැකියාවක් නැහැ. මම ඔබව ගෙනාවේ මෙතන තියෙන වේගවත් ජල ප්‍රවාහයත්, දුෂ්කර භූ දර්ශනයත් නිසා. තව කියනවනම්, මේ තැනට ඉහළින්, අහසේ සෙවනැලි සහ පහළින්, පෘථිවියේ ආත්මයන් සම්බන්ධ වෙනවා. සටන් කලාවන් ප්‍රගුණ කරන්න වගේම අවබෝධ කරගන්න සුදුසුම ස්ථානයක්. මම භාවනාවේ හිටපු නිසා මට ඔබගේ පුහුණුව දකින්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මම භාවනාව අවසන් කරලා තියෙන නිසා, කිසිම දියුණුවකින් නැතිව ඔබගේ වර්තමාන ප්‍රගතියේම ඔබට ඉන්න ඉඩ දෙන්න මට බැහැ. පස්වන අදියරේ ෆීනික්ස්-ඝාතන මූලික පුහුණුව අවබෝධ කරගන්නකල් ඔබ මෙතන ඉන්න ඕනෙ."

මේ මොහොතේදී යූ ෂෙන්ග්‍යාන්ට හදිසියේම යම් වරදකාරී හැඟීමක් දැනුනි. පසුගිය දස වසර පුරාවටම, ඔහුගේ සංචාරයන් පුරාවටම, ඔහු කිසි දිනෙක තම පුහුණුවීම් අතපසු කොට තිබුණේ නැත. දැන් ඔහුට යන්තම් වයස අවුරුදු විස්ස පසු වූවා පමණි. නමුත් ඔහු ඒ වන විටත් ෆීනික්ස්-ඝාතන මූලික පුහුණුවේ සිව්වන අදියරට පැමිණ සිටියේ ය. තරුණ පරම්පරාවේ හොඳම අය අතර පිළිගැනීමට පවා ලක් වූයේ ය.මේ නිසා ඔහු තමා ගැනම සෑහීමකට පත් විය. නමුත් තම ගුරුතුමාගේ වචනවලින් පසු, ඔහුට දැනුණේ කුසලතා කිසිවක් වැඩිදියුණු වී නොමැති බවකි.

යූ ෂෙන්ග්‍යාන්ගේ හැඟීම් ගැන තේරුම් ගත් යැන් වුෂිගේ මුවෙහි උපහාසාත්මක සිනහවක් මතු විය. "ඔබ මෙච්චර  ආඩම්බර වෙන්නේ මොකක් ගැනද? ඔබේ වයසේදි මම හයවෙනි මට්ටමත් ප්‍රගුණ කරලා අවසන් කළා. ඔය පොඩි මාළුවෝ, ඉස්සන් එක්ක තරඟ කරන එක ඒ තරම් ලොකු දෙයක්ද? ඔබට ඔය තරම් විශ්වාසනම් ඇයි ඔබ මට විරුද්ධව තරග කරන්නේ නැත්තෙ?”

ඔහුගේ මුඛය උපහාසාත්මක ලෙස මුහුණේ කොනකට ඇදී ගොස් අහංකාර සිහින් සිනහවක් පළ කරත් එයින් ඔහුගේ චමත්කාරය කිසිවිටෙකත් අඩු වූයේ නැත. ඇත්තෙන්ම ඒ සිහින් සිනහවේ සලකුණු නිසා ඔහුගේ කඩවසම් පෙනුම තව තවත් වැඩිදියුණු වී දෑස් ඉවතට ගැනීම තවත් දුෂ්කර විය.

සුදු වස්ත්‍රය සුළඟට ගසාගෙන ගිය ද එය හැඳ සිටි පුද්ගලයා නොසැලී සිටියේ ය. දෑත් පිටුපසට බැඳගෙන සිටි ඔහුගෙන් දිස් වූයේ, ඔහුත් සමඟ සටනට පැමිණෙන ඕනෑම කෙනෙකුට නිර්භීතව අභියෝග කරන ප්‍රතාපවත් පෙනුමකි. ලෝකයේ මුදුනේ සිට පහළ බලනවාක් මෙන් අහංකාරකමකින් යුත් අදෘශ්‍යමාන නිරෝධක ප්‍රබෝධයකින් ඔහුගේ බැල්ම සුළඟේ විසිරුණි.

ඔහු දෙස බැල්ම හෙලා සිටි යූ ෂෙන්ග්‍යාන්ට ඒ මොහොතේදි මද හුස්ම සිරවීමක් දැනුණු අතර මේ නිසා ඔහු නොදැනුවත්වම පියවර කිහිපයක් පසුපසට ඇදී ගියේ ය. හද පුරා පැතිර තිබු ගැඹුරු ගෞරවයෙන් හා බියෙන් යුක්තව ඔහු පැවසුවේ ය, " ගුරුතුමනි, ඔබට තිබෙන්නේ ස්වර්ගීය දක්ෂතා. ඔබේ ගෝලයා වෙන මම ඔබට එරෙහිව තරඟ කරන්න තරම් නිර්භීත සහ බලසම්පන්න වෙන්නේ කොහොමද!"

“ඔබේ බලවත්ම චලනයන් මට පෙන්වන්න. මේ අවුරුදු කීපයේදී ඔබ ලබපු දියුණුව මට බලන්න ඕනේ. ”

තම ගුරුතුමා භාවනාවේ යෙදී සිටි අවධියේ සිටම යූ ෂෙන්ග්‍යාන් කිසි විටෙකත් ඔහුගේ සටන් කුසලතාව පරීක්‍ෂා කර තිබුණේ නැත. එබැවින් ඔහු අභියෝගය ඇසීමෙන් පසු තරමක් පසුබට විය. නමුත් ඒ සමඟම එය උත්සාහ කිරීමට හදවතේ කැසීමක් බදු උද්වේගයක්ද, දෙගිඩියාවක්ද ඇති විය. කෙසේ වෙතත් යැන් වුෂිගේ මුහුණේ දිස් වූ නොඉවසිලිමත් බවේ ඉඟිය දුටු සැණින් ඔහු තුළ තිබූ දෙගිඩියාව පහව ගියේ ය.

“එහෙනම් කරුණාකර ඔබේ ගෝලයාගේ රළුකමට සමාව දෙන්න ගුරුතුමනි!” කටහඬ මැකී යන්නට මත්තෙන් ඔහුගේ සිතට එකඟව හැඩ ගැසුණු ශරීරය චලනය වූ අතර ඔහුගේ ඇඳුමේ පුළුල් අත් දෙක අහසේ පියාසර කළේ ය. වැඩි චලනයකින් තොරවම ඔහු ඒ වන විටත් යැන් වුෂිට සමීප වී තිබුණි.

යූ ෂෙන්ග්‍යාන් අත්ල ඔසවා අත්ලෙන් පහර දුන්නේ ය. අන් අයගේ ඇස් හමුවේ ඔහුගේ පියවර, වසන්ත දිනයක මලක් නෙලා ගැනීම හෝ ගිම්හාන රාත්‍රියක දූවිලි අතුගා දැමීමක් මෙන් සැහැල්ලු විය. නමුත් එයට ප්‍රබලත්වයෙන් අඩු ප්‍රහාරයක්යැයි කිසි විටෙකත් පැවසිය නොහැක.

ඔහුගේ අත්ල ගසාගෙන යන විට මීටරයක් ​​ඇතුළත ඇති සියලුම ශාක සෙලවී වෙවුලන්නාක් මෙන් විය. ගඟෙහි ජලය ආපසු ගලා යාමට පටන් ගත්තේ එහි රළ පහර සහ පෙණ කැටිති ඝෝෂාකාරී ලෙස ඉහළ ගොස් සුළියක් මෙන් වාත ප්‍රවාහයක් කැළඹෙන විටදී ය. වාත ප්‍රවාහය වේගවත් වී ප්‍රවේගවත් ආකාරයෙන් ඇදී ගියේ අවට සියල්ලම උදුරා දමන්නාක් මෙනි. ඒ මොහොතේ මේ අසළ සාමාන්‍ය කෙනෙක් සිටියානම් ඔහුවද ඒ වෙතට ඇදී යනු ඇති බව නිසැක විය. දරුණු වාත ප්‍රවාහයේ ප්‍රහාරය දියත් වූයේ යැන් වුෂි දෙසට ය!

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට, ගංගා නැවැත්වීමට හෝ මුහුදේ වඩදිය පවා හැරවිය හැකි තරම් ප්‍රබල ගම්‍යතාවයක් තිබුණත් ප්‍රවාහය යැන් වුෂි වෙත ළඟා වන විට නොපෙනෙන තිරයකින් අවහිර වූවාක් මෙන් බෙදී දෙපසට විසිර ගියේ අදහාගැනීමටවත් නොහැකි විලසිනි.

ඔහු තවමත් එහි සිටගෙන සිටියේ කිසිවක් සිදු නොවූවාක් මෙනි. ඉරියව්ව මදක්වත් වෙනස් වී නැත. ඒ මොහොතේම යූ ෂෙන්ග්‍යාන්ගේ අත්ල ඔහුගේ දෑස් වෙත ළඟා වූ අතර යැන් වුෂි ඔහුගේ ඇඟිල්ලකින් පහර දුන්නේ ය.

එක් ඇඟිල්ලක් පමණි. වෙනත් කිසිවක් භාවිතා වූයේ නැත.

නමුත් මෙම තනි ඇඟිල්ල යූ ෂෙන්ග්‍යාන්ගේ ප්‍රහාරය ගුවනේදීම නතර කරන්නට සමත් විය.

තමන් ප්‍රහාරය දියත් කළ අත්ල වටා මුළු ගුවන් ප්‍රවාහයම තමා දෙසට නැවත හැරෙන බව යූ ෂෙන්ග්‍යාන්ට දැනෙන්නට විය. ඔහුගේ මුහුණ දෙසට නැවත පැමිණෙන ප්‍රති-ආරෝපිත ප්‍රවාහය ඔහු විසින් නිර්මාණය කළ ප්‍රවාහයේ ප්‍රමාණයටත් වඩා කිහිප ගුණයකින් බලවත් විය. පුදුමයට පත් වූ ඔහු කඩිමුඩියේ පසුබැස්සේ තම පාද බිම තැබීමට ප්‍රවාහයේ ශක්තිය උපයෝගී කරගනිමිනි.

මෙම පසුබැසීම ඔහුව පියවර දහයකට වඩා පසුපසට ගෙන ගියේ ය. ප්‍රතිප්‍රහාරය එතරම් බලවත් විය! 

අවසානයේදි ඔහු එක් පාෂාණයක් මත ස්ථාවරව නිශ්චල විය. ඔහු තවමත් බියෙන් ගැහෙමින් සිටියේ ය. "ඔබගේ දයාවට ස්තූතියි ගුරුතුමනි!"

ඔහුගේ බලවත් ප්‍රහාරයන්ට ඔරොත්තු දිය හැකි පුද්ගලයන් මේ විශාල ලෝකයේ සිටියේ ඉතා ස්වල්ප වශයෙනි. යූ ෂෙන්ග්‍යාන් සටනට පෙර ඔහු ගැන තරමක් තෘප්තිමත් වී තිබුණි.

නමුත් යැන් වුෂිට එක් ඇඟිල්ලකින් පමණක් අත්ලේ ප්‍රහාරය වැලැක්විය හැකි විය.

'වාසනාවට, ගුරුතුමා මගේ ප්‍රගතිය විතරයි  පරීක්ෂා කළේ. ඒ නිසා තත්වයේ වාසිය ලබාගෙන තවත් ප්‍රහාරවලින් පහර දුන්නේ නැහැ. ඒත් සතුරෙක් වුනා නම්...'

මෙම කරුණ මනසට පැමිණි විට, යූ ෂෙන්ග්යාන් කලබලයට පත් වූ අතර තවදුරටත් ඇවිදීමට තරම්වත් නිර්භීත නොවී ය. ඔහුගෙ සිරුර සීතල දහඩියෙන් වැසී ගියේ ය.

ඔහු දැනටමත් තම අරමුණ සපුරාගත් බව දැන සිටි යැන් වුෂි වැඩි යමක් පැවසීමට අදහස් කළේ නැත. “ඔබේ විශිෂ්ට දක්ෂතා නාස්ති කරන්න එපා. තව දවස් කීපයකින් මම ටික කාලයකට තුජුයේවලට පිටත් වෙනවා. පස්වන අදියර පුහුණුව අවසන් වුණාම, වෙනත් කාර්යයන් නැතිනම්, ඔබට ඔබේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයාව බලන්න යන්න පුලුවන්. එළිමහනේ වැඩිපුර ගැවසෙන්න එපා.”

යූ ෂෙන්ග්යාන් වඩාත් ගෞරවාන්විතව පිළිතුරු දුන්නේ ය, "එසේ ය."

යැන් වුෂි තවදුරටත් පැවසුවේ ය, “මේ ස්ථානයේ දර්ශනය අලංකාරයි. ස්වභාවධර්මයෙන් අපූරු විදිහට නිර්මාණය කරලා. සංචාරය කරන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ නිසා මම වටාපිටාවේ පොඩ්ඩක් සංචාරය කරන්න යනවා. ඔබට අවශ්‍ය නැහැ…”

ඔහු පැවසූ වැකිය නිම කිරීමටත් ප්‍රථම ඔවුන්ට නුදුරින් ඝෝෂාකාරී ශබ්දයක් ඇසුණි. ශබ්දය ආ දිශාව දෙස බැලූ විට, යමක් ඉහළ සිට අතු ස්ථර කඩා දමමින් කඳු පතුළට වැටෙන බව ඔවුන් දුටුවෝ ය. බිමට පතිත වූ ගොළු හඬ ඇසීමෙන් යූ ෂෙන්ග්යාන්ට පවා "අයියෝ!" හඬින් සිහින් හඬින් කෙදිරි ගෑවුණි.

ෂියන්තියන් ස්වාමියෙකු වුවත් එතරම් උස් කඳු මුදුනකින් වැටුනහොත් ඔහුට පවා තවදුරටත් ජීවත් වීමට අපහසු වනු ඇත.

ඊට අමතරව මෙම පුද්ගලයා හේතුවක් නොමැතිව වැටුනේ නැති විය යුතු ය: නිසැකවම ඔහුට දරුණු ලෙස තුවාල වූ නිසා වැටෙන්නට ඇත.

"ගුරුතුමනි?" ඔහු යම් උපදෙසක් අපේක්ෂාවෙන් යැන් වුෂි දෙස බැලී ය.

“යන්න.,ගිහින් බලන්න.” යැන් වුෂි පැවසී ය.

වැටුණු පුද්ගලයාගේ දාඕවාදී සිවුර බොහෝ ස්ථානවලින් ඉරී ගොස් තිබුණේ, ඔහු වැටෙන විට අතු සහ ගල්වලින් සිදු වූ හානිය නිසා විය හැකි ය. නැවුම් රුධිරය ඔහුගේ සම මතුපිට තුවාල කැලැල්වලින් ගලා ගිය අතර රුධිර පැල්ලම්වලින් වැසුණු ඔහුගේ මුල් පෙනුම හඳුනා ගැනීම බොහෝ සෙයින් දුෂ්කර විය.

පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් විය යුතුයි. කඩුව අල්ලා ගැනීමට පවා නොහැකි වූ ඔහු සිහි නැතිව වැතිර සිටියේ ය. බිමට වැටෙන විට, ඔහුගේ කඩුවද ඔහු පසුපසින් හඹා ගොස් නුදුරින් වැටී ඇත.

"ඔහුගේ අස්ථි ගණනාවක්ම බිඳිලා ඇති කියලා මට හිතෙනවා" ඇහි බැම රැලි ගන්වමින්, වැටී සිටි මිනිසාව මද කාලයක් පරීක්ෂා කළ යූ ෂෙන්ග්‍යාන් තම දිවෙන් "ක්ලික්" ශබ්දයක් නඟා ඔහුගේ අනුකම්පාව ප්‍රකාශ කළේ ය. ඔහු නාඩි පරීක්ෂා කළේ ය. එවිට ඔහුට වැටහුණේ වැටී සිටි පුද්ගලයාට තවමත් දිවි ගලවා ගැනීමට කුඩා අවස්ථාවක් ඇති බවයි.

නමුත් මෙවැන්නෙකුට තම ජීවිතය බේරා ගත හැකි වුවත් එහි ප්‍රතිඵලය මරණයට වඩා ප්‍රසන්න දෙයක් නොවනු ඇත.

යූ ෂෙන්ග්යාන් අසුර නිකායේ ගෝලයෙකි. ඔහු තවමත් තරුණ වියේ සිටියත්, ඔහු තුළ තිබූ කරුණාවේ ප්‍රමාණය තරමක් සීමිත විය. එනිසා ඒ අවස්ථාවේ "සුව කිරීමේ විශිෂ්ට පෙති" ඔහු අසළ තිබුණත් එය වැටුණු පුද්ගලයා වෙනුවෙන් භාවිතා කිරීමේ අදහසක් ඔහුට කිසිසේත්ම තිබුණේ නැත.

එහෙත්…

“ගුරුතුමනි, අද ෂෙන් ච්‍යාඕයි, කුන්'යෙයි ද්වන්ධ සටනේ යෙදෙන දිනය. මේ පුද්ගලයා ඉහළින් වැටුණා. එය විය හැකිද..."

යැන් වුෂි ඔහු අසළට පැමිණියේ විමසිලිමත් බැල්මක් දල්වාගෙන ය. මිනිසා දෙස බැලීම වෙනුවට ඔහු මුලින්ම තම අවධානය කඩුව යොමු කළ අතර එය අතට ගත්තේ ය.

එහි තලය සරත් සෘතුවේ ජලය මෙන් වූ අතර අවම හානියක් හෝ නොමැති වූ එය සීතල විය. ගංඟාවල සහ ඒ මත ඇති මීදුම පිළිබිඹු කිරීමට තලයම රැලි ගැසී ඇති බවක් පෙනෙන්නට තිබුණි.කඩු මිට ආසන්නයේ මුද්‍රා කළ අක්ෂර හතරක් විය [16].

යූ ෂෙන්ග්‍යාන් ළං වී බලා සිටියේ ය. පසුව ඔහු පුදුමයෙන් කෑ ගැසුවේ ය: “ ස්වර්ගීය විපත [17]  කඩුව! මෙම කඩුව අයිති ෂුඅන්දු දම් මැදුරේ නිකාය නායකයාට. එහෙනම් ඇත්තටම මේ ඉන්නේ ෂෙන් චියාඕ!

මිය යන තරමටම බරපතල තුවාල ලැබූ ෂෙන් චියාඕ දෙස බලා සිටි ඔහුට එය ඇදහිය නොහැකි දසුනක් විය: “චි ෆංග කියන්නෙ ශක්තිමත්ම සටන් කලාකරුවා. ඔහුගේ පෞද්ගලික ගෝලයා වුණ ෂුඅන්දු කන්දේ නිකාය නායකයා වෙන ෂෙන් ච්‍යාඕ මේ විදිහට සම්පූර්ණයෙන්ම පරාජය වුණේ කොහොමද?"

යූ ෂෙන්ග්‍යාන් ෂෙන් ච්‍යාඕ අසළ දණ ගසා සිටි අතර ඔහුගේ ඇහි බැම රැලි විය. "කුන්යේගේ සටන් කුසලතාවන් ඔහුගේ ස්වාමියා වුණු හු ලූගුව පවා අභිබවා යන මට්ටමට ඇවිත්ද?"

ෂුඅන්දු කන්දෙන් වෙනයම් පුද්ගලයෙකු වැටී සිටියානම්, යැන් වුෂි කිසිදු උනන්දුවක් දක්වන්නේ නැත. උනන්දුවක් තබා ඔවුන්ට නැවත වරක් බැල්මක්වත් හෙළනු ඇතැයි කීමත් අවිනිශ්චිත ය. නමුත් නිකාය නායකයා වූ ෂෙන් ච්‍යාඕ ඇත්තෙන්ම සුවිශේෂී පුද්ගලයෙක් විය.

ඔහු "සැමට විපත" කඩුව යූ ෂෙන්ග්‍යාන් වෙත විසි කළ අතර, පසුව ෂෙන් ච්‍යාඕගේ හඳුනාගත නොහැකි මුහුණ දෙස මොහොතක් බලා සිටියේ ය. එක්වරම ඔහුගේ මුහුණේ අරුත්බර සිනහවක් මතු විය.

"දැනට ඔහුට "සුව කිරීමේ විශිෂ්ට පෙත්තක්" දෙන්න."


අරුත් විවරණය:

[1] Xiantian/Houtian (先天/后天):  නවකතා කිහිපයක දක්නට ලැබෙන ධ්‍යානවේදි අවධීන් දෙකක නම්ය. Xiantian අවධියට පෙර පැවතුනේ Houtian අවධියයි. Houtian යන්නෙන් "පසු ස්වර්ගය / පශ්චාත්-ආකාශ / අත්පත් කර ගැනීම" අදහස් විය හැක. Xiantian අදහස් විය හැක්කේ "පූර්ව ස්වර්ගය / පූර්ව-ආකාශ / සහජ" යන්නයි. ඉතා දළ වශයෙන්, අදහස නම් "Xiantian" යමක් ප්‍රාථමික වන අතර ඒ අනුව Dao වලට සමීප වන අතර, "Houtian" දෙයක් Dao වෙතින් පරිහානියට හෝ තවත් දුරස් වේ.

මෙම පද දෙක Daoism සහ Internal Alchemy වලින් ව්‍යුත්පන්න වී ඇත. මිනිසුන් උපත ලබන්නේ Xiantian නිධන් (Essence, Qi සහ Spirit) කුඩා ප්‍රමාණයකින් බව විශ්වාසයක් ඇත. දාඕවාදී ධ්‍යානවේදය සහ අභ්‍යන්තර ප්‍රගුණ කිරීමෙන්, ඔවුන්ට Xiantian නිධන් (සෞඛ්‍ය සහ දීර්ඝායුෂ ප්‍රතිලාභ ලබා දෙන) සැපයීම ක්‍රමානුකූලව වැඩි කිරීමට ස්වභාවික ලෝකයේ Houtian Qi අවශෝෂණය කර පිරිපහදු කළ හැකිය.

[2] විශේෂඥ:  මෙතැන් සිට, "විශේෂඥ" යන්න බොහෝ විට "සටන් කලාව පිළිබඳ විශේෂඥ" සඳහා කෙටි යෙදුමක් ලෙස භාවිතා කරනු ඇත.

[3] Tujue (තුජුයේ) (突厥):  Göktürks/Celestial Turks/Blue Turks/Kok Turks ලෙසද හඳුන්වනු ලබන මධ්‍යකාලීන අභ්‍යන්තර ආසියාවේ තුර්කි ජාතිකයන්ගේ සංචාරගත සංගමයකි.

[4] මධ්‍යම තැනිතලාව (中原 zhongyuan):  චීන ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වූ කහ ගඟේ පහළ ප්‍රදේශය. පුරාණ චීන ජාතිකයින් විසින් ලෝකයේ කේන්ද්‍රස්ථානය ලෙස සලකනු ලැබූ අතර, පුළුල් සන්දර්භයක් තුළ, මෙම පදය චීන ශිෂ්ටාචාරය සහ චීනය නිසි ලෙස මධ්‍යගත චීන රජයන් සහ රාජවංශ විසින් සෘජුවම පාලනය වන ප්‍රදේශ ද යොමු කරයි.

[5] ස්වර්ගයට නැඟී ඇත (登遐 dengxia):  "මරණය" සඳහා ගෞරවණීය යෙදුමකි.

[6] පුද්ගලික ගෝලයා (入室弟子 rushi dizi):  අභ්‍යන්තර ගෝලයා ලෙසද හැඳින්වේ, තම ගුරුතුමා සමඟ ඉතා සමීප සබඳතාවක් ඇති සහ තම ගුරුතුමා විසින්ම පුද්ගලිකව ඉගැන්වීමට තෝරා ගන්නා ගෝලයෙකි. සාමාන්‍යයෙන්, ඔවුන්ගේ ගුරුතුමා ඔවුන් දන්නා සෑම දෙයක්ම ඔවුන්ගේ පෞද්ගලික ගෝලයන්ට ද ලබා දෙයි.

[7] සංවෘත දොරටු භාවනාව (闭关 biguan):  සංවෘත දොර පුහුණුව හෝ සංවෘත දොරටු ධ්‍යානය ලෙසද හැඳින්වේ. හුදෙකලාවේ සිදු කරනු ලබන පුහුණුව. සාමාන්‍යයෙන් බාධකයක් බිඳ දැමීම කෙරෙහි අවධානය යොමු කිරීම, තුවාල/තුවාල සුව කිරීම හෝ තීරණාත්මක මොහොතක අවධානය වෙනතකට යොමු වීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිවිපාකවලට ගොදුරු වීම වළක්වා ගැනීමට මෙය භාවිතා කරයි.

[8] වාමාංශික තුචී රජු (左屠耆王 zuo tuqi wang / 左贤王 zuo xian wang):  Xiongnu හි උසස් කාර්යාලයක්, තනතුරක් "වම් සුදුසු/බුද්ධිමත් කුමාරයා/රජු" ලෙසද හැඳින්වේ. 6-8 වන සියවස්වල නැගෙනහිර තුර්කි Khaganate (මෙහි Tujue ලෙස හැඳින්වේ) ගැන සඳහන් කිරීම සඳහා චීන විශ්ලේෂකයින් විසින් භාවිතා කරන ලද ප්රකාශනයකි. මෙම නවකතාවේ ඓතිහාසික පසුබිමක් ඇත.

වාමාංශික තුචි (tuqi) රජු සාමාන්‍යයෙන් නම් කරනු ලැබුවේ සංචාරක කණ්ඩායම්වල (Xiongnu/Tujue) සම්මේලනයේ නායකයා වන Chanyu/Khan ගේ අනුප්‍රාප්තිකයා ලෙසයි. පිළිවෙළින් නැඟෙනහිර සහ බටහිර ප්‍රදේශවලින් තම බලය ලබාගත් සේනාධිනායකයකු ලෙස තනතුරු දෙකක් පිරිනමන ලදී. මේවා නායකයාගේ ප්‍රධාන වසම සමඟින් පියාපත් දෙකක් ලෙස ක්‍රියා කළේය. චීන වාර්ෂික පැහැදිලි කිරීම වූයේ "වමේ (නැගෙනහිර) වටින කුමාරයා" සහ "දකුණට (බටහිර) වටින කුමාරයා" යන්නයි. මෙම රාජ්‍ය සංවිධානය යුරේසියානු සංචාරක රාජ්‍යයන් සඳහා ඛාන්වරුන්ගේ සිට තුර්කි ඛානේට්ස් දක්වා සම්ප්‍රදායික විය.

[9] Qi :  චීන ඉතිහාසයේ දකුණු සහ උතුරු රාජවංශ සමයේ උතුරු රාජවංශවලින් එකක් වූ උතුරු Qi ගැන සඳහන් වේ.

[10]  Zhou :  උතුරු Zhou රාජ්‍ය.

[11] ආයතනය (学宫 xuegong):  රජය විසින් ආරම්භ කරන ලද නිල කොන්ෆියුෂියානු පාසලකි. මෙම නවකතාවේ මෙම පාසල කොන්ෆියුෂියානු නිකායක් ලෙසද සේවය කරයි.

[12] පාසල් තුන:  මෙතැන් සිට, එය "දාඕවාදය, බුද්ධාගම සහ කොන්ෆියුසියස්වාදයේ පාසල් තුන" සඳහා කෙටි යෙදුමක් ලෙස භාවිතා කරනු ඇත.

[13] ඍෂිවරයා (智者 zhizhe):  ටිබෙට් බුද්ධාගමේ ඉහළ නිලයන් සහිත භික්ෂූන් වහන්සේලාට පිරිනමන ගෞරව නාමයක්.

[14] Tuyuhun (吐谷浑): Qilian  කඳුකරයේ සහ ඉහළ කහ ගංගා නිම්නයේ Xianbei ට සම්බන්ධ යුරේසියානු නාමිකයන් විසින් පිහිටුවන ලද බලවත් රාජධානියකි.

[15] Xuandu හි දම් මන්දිරය (玄都紫府 Xuandu Zifu):  Purple Mansion (Zifu) බොහෝ විට අමරණීයයන් ජීවත් වන ස්ථානය/මාළිගාව/ප්‍රාන්තය හැඳින්වීමට භාවිතා කරයි. Xuandu (Xuandu Zifu) හි දම් මන්දිරය, "විශ්වයේ ගෞරවයට පාත්‍ර වූ සත්පුරුෂයා (道德至尊 Daode Zhizun)" හෝ "ශ්‍රේෂ්ඨ උත්තරීතර මහලු ස්වාමියා (太上老君 Taishang Laojun)" ජීවත් වූ ස්ථානයයි. දාඕවාදී මුතුන් මිත්තන් වාසය කළහ. මෙහි දී, එය Xuandu කන්දේ Daoist නිකාය සඳහා නමක් ලෙස භාවිතා වේ.

[16] මුද්‍රා චරිතය (篆体):  ක්‍රි.පූ. 1 වැනි සහස්‍රයේ අවසාන භාගය පුරාවටම සුලභ වූ චීන අක්ෂර ලිවීමේ පැරණි විලාසය, මුලින් පරිණාමය වූයේ චෞ රාජ වංශයේ අක්ෂර මාලාවෙනි. පසුව, එය බහුලව භාවිතා වන අතර අලංකාර කැටයම් සහ මුද්රා සඳහා පමණක් පෙනේ.

[17] Grieving Celestial (山河同悲 Shanhe Tongbei) : වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “කඳු සහ ගංගා [ඔවුන් සමඟ/එය] එකට ශෝක වේ” යන අර්ථය ඇති අතර, “කඳු සහ ගංගා” යනු “ලෝකය ” යන්න හැඳින්වීමට බොහෝ විට භාවිතා වන යෙදුමකි. මුළු භූමිය / සොබාදහම". චීන භාෂාවෙන් අක්ෂර හතරක් ඇත, එබැවින් ඉහත ඡේදයේ "මුද්‍රා අක්ෂර හතර" වන්නේ මේවායි.

සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය 

Comments

  1. වාව් පටන් ගැන්මම පට්ට❤

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේක සීසන් වන් විතරද

      Delete
  2. වාව් වාව් මරු ආ

    ReplyDelete
  3. හුආ මරු ඇ

    ReplyDelete
  4. තැම්කු හුආ...ලස්සනයි ඒක ❤❤❤

    ReplyDelete
  5. Congratulations ඔයාගේ පලවෙනි පරිවර්තනයට 😍❤

    ReplyDelete
  6. ❤❤❤😍😍😍

    ReplyDelete
  7. ලස්සනයි හුආ..❤

    ReplyDelete
  8. මරු ඈ ❤️‍🔥😍

    ReplyDelete
  9. ලස්සනයි ❤❤❤

    ReplyDelete
  10. Meke chapter okkom kiyk tiyed

    ReplyDelete
  11. අනිත් කොටස කවද්ද දෙන්නෙ....❤️❤️❤️

    ReplyDelete
  12. ඊලග එක කවද්ද දෙන්නේ.....❤️❤️

    ReplyDelete
  13. අනේ මේකෙ ඉතුරු දෙන්නෙ කවද්දෝ......🥺

    ReplyDelete
  14. ඉතුරු කොටස් දෙන්නෙ කවද්ද....🥺🥺🥺

    ReplyDelete
  15. Anith kotas dannedd 😮‍💨

    ReplyDelete
  16. Kathawa harima lassanai. Ituru tikath ikmanata dennako🥺 ❤

    ReplyDelete
  17. කියවනවා හොදේ දැන් මුල ඉඳන් නවත්තපු තැන මතක නෑ

    ReplyDelete
  18. 27 නැද්ද පේන්නේ නෑ නේ

    ReplyDelete
  19. සන්ලන් ඒක හරිම ලස්සනයි 🌼💖

    ReplyDelete
  20. සන්ලන් ඒක හරිම ලස්සනයි 😍🌼💖. අද තමයි කියවන්න පටන් ගත්තේ 🥺 .මේ කොටසින්ම හිතාගන්න පුලුවන් නවල් එක කොයිතරම් ලස්සන ද කියලා 🥺💖

    ReplyDelete
  21. ❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-