Skip to main content

විසි පස්වන පරිච්ඡේදය| ආ ච්‍යාඕ, ඔහු ඔබට අපහාස කරනවා.

"තුජුයේ?" තවත් අයෙක් කුතුහලයෙන් මෙසේ ඇසුවේ ය, “ෂෝ අධිරාජ්‍යයා තුජුයේට විරුද්ධව යුද්ධ කරන්නේ ඇයි?මධ්‍යම තැනිතලාව වගේ ධනවත් ප්‍රදේශයකට වඩා මිනිහෙක්වත් පේන්න නැති තුජුයේ භූමියට සටන් කරන එකේ ප්‍රයෝජනය මොකක්ද?”

මිනිසා පිළිතුරු දුන්නේ ය, “මධ්‍යම තැනිතලාව කියන්නේ යුද්ධයි, ගවේෂණයි අඛණ්ඩව සිද්ධ වෙන ප්‍රදේශයක්. දැන් දැන් තුජුයේ ජනතාව උතුරු ප්‍රදේශයට වැඩි වැඩියෙන් ව්‍යාප්ත වෙන්න අරන්. ඔවුන් බලවත් පර්සියානු අධිරාජ්‍යය පවා පරාද කළා. චීනයේ ස්වභාවික සම්පත් බහුලයි. ධනවත්. සාරවත් භූමිය නිසා බුද්ධිමතුන් බොහොමයක් ආකර්ශනය වෙනවා.තුජුයේ ජනතාව ආක්‍රමණශීලීයි. ඉතින් ඔවුන් කොහොමද මේ විශිෂ්ට අවස්ථාව මඟ හැරගන්නේ? ටස්පර් ඛාන්ගේ පාලන සමයේදී, තුජුයේ රට, ඉතිහාසයේ කිසි දිනෙක බලවත් වෙලා නැහැ. ඒ ජනතාවගේ උඩඟුකමත් එක්ක, ශක්තිවල තියෙන මේ වාසිය නිසා ඔවුන්ගේ අභිලාෂයට ඔවුන් අනිවාර්යයෙන්ම යාවි. ඔවුන්ට මධ්‍යම තැනිතලාව ආක්‍රමණය කරන්න අවශ්‍ය නම්, චී සහ ෂෝ යන රටවල් දෙකට මුලින්ම පහර දෙන්න වෙනවා."

“උතුරු ෂෝ රටේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත්, චී රටේ ජාතික බලය දිනෙන් දින පිරිහෙමින් තියෙන්නෙ. ඒ නිසා චී රට කියන්නේ ඔවුන්ට ගැළපෙන පරිපූර්ණ ඉලක්කයක්. පහු වෙනකොට තුජුයේ භූමියත් ඔවුන්ට කරදරයක්. ෂෝ අධිරාජ්‍යයා ඥානවන්ත නායකයෙක් නම්, මේ ව්ටිනා අවස්ථාව ගිලිහෙන්න දෙන්නේ නැහැ. මේ දෙකට සාපේක්ෂව චෙන් රාජවංශය පසු කාලයකට කල් දැමිය යුතුයි. අනෙක් කාරණයනම්, මහා චෙන් රට කියන්නේ කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුලුවන් ජාතියේ දුර්වල රටක් නෙවෙයි. යුවන් යොන්ග්ට චෙන් රටට පහර දෙන්න අවශ්‍ය වුනත්, ඒක කිසිසේත්ම  ප්‍රශ්නයක් නොවේවි. ඔබ සියල්ලෝම ඕනෑවට වඩා කනස්සල්ලට පත් වෙලා. ”

"මේ මහත්මයා කියපු දේ තේරුමක් තියෙනවා." ඔවුන් සියල්ලෝම එකිනෙකාට රහසින් පවසා ගත් හ.

"මහත්මයා, ඔබ එය 'මහා චෙන්' කියලා හඳුන්වපු නිසා, ඒ කියන්නේ ඔබ චෙන් රාජවංශයේ පුරවැසියෙක්. නේද?"

"ඒක හරි." මිනිසා එය ඝෘජුවම පිළිගත්තේ ය.

තවත් අයෙක් මෙසේ අදහස් දැක්වී ය, “මහත්මයා, මම ඔබේ හැසිරීම් නිරීක්ෂණය කරමින් හිටියේ. ඔබ සාමාන්‍ය වෙළෙන්දෙක් කියලා පෙනෙන්නේ නැහැ. ඔබ විද්වතෙක් වගේ. මෙතන, ගොඩක් වෙලාවට වෙළෙන්දන් එකතු වෙන ස්ථානයක්. ඒ නිසා ඔබ මෙහි සිටියොත් ඔබගේ තත්වයට අපකීර්තියක් වේවිද කියලා මට සැකයි."

මිනිසා කැස්සක් සමඟ පැහැදිලි කළේ ය, “මම විද්වතෙක්වත්, වෙළෙන්දෙක්වත් නොවෙයි. මම ආවෙ විනෝදයට එකතු වෙන්න විතරයි.”

මොහොතකට පෙර එතරම් විශ්වාසයෙන් හා සන්සුන්ව කතා කළ නමුත් මේ වන විට ඔහුගේ ශරීරය පයින් ගසක් මෙන් ඝෘජු වී තිබුණි. මෙහි සිටි සියල්ලෝම ගණන් කළ නොහැකි තරම් ස්ථාන හරහා ගමන් කළ වෙළෙන්දන් ය. මිනිසාගේ හැසිරීමෙන්, ඔහු වංශාධිපති පවුලක අයෙකු බව ඔවුන් නොදන්නේ කෙසේද?කෙසේ වෙතත්, එම පුද්ගලයාට තම අනන්‍යතාවය හෙළි කිරීමට අවශ්‍ය නොවූ බැවින්, ඔවුන් ඔහුගෙන් ප්‍රශ්න කළේ ද නැත. මේ අනුව මාතෘකාව ෂෝ රාජ වංශයේ දේශීය සිරිත් විරිත් වෙත ආපසු ගියේ ය.

ඔහුගේ දේශපාලන විචාරය ඇසීමෙන් ෂෙන් ච්‍යාඕ මදක් සංවේගයට පත් වී සිටි අතර කල්පනාවේ ගිලී ගියේ ය.ඒ නිසා, යැන් වුෂි ඔහුගේ මුවට ස්ටූ කළ පාත්ත මාංශය ඇතුල් කරන තුරු ඔහුට එය දැනී තිබුණේ නැත.

ඔහු ආදරයෙන් ඇසුවේ ය, "ආ-ච්‍යාඕ, ඒක රසයිද?"

ෂෙන් ච්‍යාඕ: "..."

මුඛයේ තිබූ දේවල් පිටතට දැමීම අශෝභන දෙයක් වූ නිසා, ඔහුට එය ඉතා අපහසුවෙන් ගිල දැමීමට සිදු විය.මේ හේතුවෙන් ඔහුගේ මුහුණ පවා තරමක් විකෘති වී තිබුණි.

ෂෙන් ච්‍යාඕට,යැන් වුෂිගේ පෞරුෂය තරමක් දුරට හෝ වැටහී නොතිබුණානම්, අනෙක් පුද්ගලයාට ඔහුව සැබැවින්ම ඇඳෙහි සෙල්ලම් කරන පිරිමි ළමයෙකු ලෙස ගැනීමට අවශ්‍ය වූ බව ඔහු පවා විශ්වාස කරනු ඇත. කෙසේ වෙතත්,යැන් වුෂි මෙය කිරීමට හේතුව වූයේ හුදෙක් ෂෙන් ච්‍යාඕ කෝපයට පත් වනු දැකීමට ඔහු හට හදිසි ආවේගයක් ඇති වී තිබූ බැවිනි. එදින අර්ධ පියවර කඳු පාමුලදී ෂෙන් ච්‍යාඕගේ දිවි ගලවාගැනීමට තීරණය කළාක් මෙන් මෙය ද ඔහුට විනෝදයක් උදෙසා කළ කර්තව්‍යයක් පමණි.

මිනිසුන් 'හොඳ පුද්ගලයෙක්' ලෙස හඳුන්වන අයවලුන් සමඟ යැන් වුෂිට කිසිදු සම්බන්ධයක් නොතිබුණි.මිනිසුන්ට උපකාර කිරීම සඳහා ඔහු කිසි විටෙකත් ක්‍රියා කරන්නේ හෝ අන් අයව බේරා ගන්නේ නැත. ඔහු විසින් වෙනත් අයෙකු බේරා ගත්තත්, ඔවුන් එය සුළු කොට තකනු ඇති ඇති අතර යැන් වුෂිට කිසිසේත් ණයගැති නොවනු ඇත. නමුත් ෂෙන් ච්‍යාඕ දක්ෂ හා අවංක මිනිසෙකි. ඇරත්, යැන් වුෂි ඔහුට කළ උපකාර ඔහුගේ සිතෙහි පැළපදියම් වී තිබිණි. යැන් වුෂිගේ මුල් අභිප්‍රාය කුමක් වුවත්, ඔහු ඔහුගෙන් බොහෝ ප්‍රයෝජන ද ලබාගෙන තිබුණි.මේ නිසා, යැන් වුෂි දුරාචාර කිසිවක් නොකරන තාක්කල් ෂෙන් ච්‍යාඕ ද ඔහු කරන ක්‍රියාවන් ඉවසා සිටින අතර ඒ ගැන කලබල වන්නේ නැත.

කෙසේ වෙතත්, යැන් වුෂිගේ කෝණයෙන් සිදු වූයේ අනෙකකි. ෂෙන් ච්‍යාඕගේ මෙම පෞරුෂය නිසා යැන් වුෂිට ඔහුත් සමඟ දිගටම සෙල්ලම් කිරීමට අවශ්‍ය වී තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ අනෙක් පුද්ගලයා කෝප ගැන්විය හැකි කරුණ සොයා ගැනීමට ය.ෂෙන් ච්‍යාඕ කෝප වන බව දකින සෑම අවස්ථාවකම ඔහු සතුටට පත් වනු ඇත.

වරක් රැවටුණු නිසා,යැන් වුෂි තවත් සුප් හැන්දක් පොවන්නට ගියත්, ෂෙන් ච්‍යාඕ සිය මුඛය විවර කිරීමට කැමති වූයේ නැත.

ඔවුන් අතර සිදුවන්නේ කුමක්දැයි අනෙක් අය දැන සිටියේ නැත. ඔවුන්ට දැකගත හැකි වූයේ එක් අයෙක් අනෙක් පුද්ගලයාට කෑම දීමට උත්සාහ කළත් දෙවැන්නා එම තැනැත්තාව තරමක් අකමැත්තෙන් ප්‍රතික්ෂේප කිරීම පමණි. මෙය ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳ ඔවුන්ගේ උපකල්පන තවදුරටත් තහවුරු කරන්නට සමත් විය. වෙයි සහ ජින් රාජවංශයේ සිටම සමලිංගික මිනිසුන් දැකීම සාමාන්‍ය දෙයක් විය. වෙළෙන්දන් සියල්ලෝම දැනුම තිබූ පළපුරුදු මිනිසුන් ය. මෙම යුවළ ප්‍රසිද්ධියේ කෙතරම් විවෘතද යන්න පිළිබඳව ඔවුන්ගේ මුව ගොළු කර තිබුණත්, ඔවුන් ඒ ගැන ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ෂෙන් ච්‍යාඕගේ අසනීප තත්ත්වය නිසා ඔහු බොහෝ සෙයින් කෘශ වී තිබුණි. නිකාය නායකයකු වශයෙන් ඔහුට තිබූ ගෞරවය ද බොහෝ සෙයින් ගිලිහී ගොස් තිබුණි. ඔහු කෝප නොවී සිටින විට වුවත් හිතාමතාම තම ගාම්භීරත්වය රැකගන්නා විට වුවත් ඔහුගෙන් දිස් වූයේ පරිපූර්ණ,සියුම් හා හානිකර නොවන රෝගී සුන්දරත්වයකි. යැන් වුෂි යනු සුළුවෙන් නොතැකිය යුතු මිනිසෙක් වුවද, ෂෙන් ච්‍යාඕ කෙරෙහි ඔහුගේ ආකල්පය තරමක් නොසැලකිලිමත් වූවක් විය. ඔහු දිගින් දිගටම ඔහුට උසුළු විසුළු කළේ ය. ඔහු ෂෙන් ච්‍යාඕ කෙරෙහි එතරම් කැමැත්තක් නොදක්වන බව දුටු තවත් අයෙක් යම් උත්සාහයක් ගැනීමට උනන්දු විය. ඔහු පැමිණ සංවාදයක් ආරම්භ කිරීමට උත්සාහ කළේ ය."සුබ සන්ධ්‍යාවක් මහත්මයා. මට ඔබේ නම කියන්න පුළුවන්ද? මම ෂොවු ෆැන්ග්, ලෝන්ග්ෂිවල වෙළඳ පවුලකින්. මම හිතුවා අපිට එකිනෙකාව ටිකක් දැන හඳුනගන්න පුලුවන් වේවි කියලා."

යැන් වුෂි නැගී සිටීමට උත්සාහ කළේ පවා නැත. ඔහු සිටි ඉරියව්වෙන්ම සිටි අතර කම්මැලි ලෙස “මොකක්ද කාරණය?” කියා ඇසුවේ ය.

ෂොවු ෆැන්ග් යනු ලෝන්ග්ෂි ප්‍රදේශයේ විශාල නමක් දැරූ අයෙකි. යැන් වුෂි ඔහුගේ නම නොපවසා සිටි බවත්, ඔහු ගැන අවධානයක් යොමු නොකර සිටි බවත් දුටු ඔහුට මද අසතුටක් දැනෙන්නට විය, “ඔහු ඔබේ ප්‍රියතම පිරිමි ළමයාද?මහත්මයා, ඔබ මට ඔහුව දෙන්න කැමතිනම් මම ඔබට රන් කාසි විස්සක් දෙන්නම්."

යැන් වුෂි සිනාසෙමින් ෂෙන් ච්‍යාඕ දෙසට හැරී පැවසුවේ ය, “බලන්න, ආ ච්‍යාඕ. ඔබට සටන්කාමී ලෝකයේ ජීවිකාවක් නැති වුණත් ගැටලුවක් නැහැ. ඔබේ මුහුණ පමණක් තිබුණත් ඔබට විශාල මුදලක් උපයන්න පුලුවන්. මම ඔබව ඔහුට විකුණුවට පස්සේ, ඔබව රැගෙන ගිහින් වෙනත් ගැණුම්කරුවෙක්ව හොයාගන්න මට අවස්ථාවක් ලැබෙනවා. මේ ආකාරයට, මාසයකටත් වඩා අඩු කාලයකින්, චන්'අන්වල ලස්සන සේවකයන් ඉන්න විශාල වාසස්ථානයක් ගන්න අපට හැකි වේවි!"

ෂෙන් ච්‍යාඕ දැනටමත් යැන් වුෂිගේ විකාර කතාවලට පුරුදු වී සිටියේ ය. ඔහු, ඔහු ගැන අවධානය යොමු නොකළ අතර ෂොවු ෆැන්ග්ට පැවසුවේ ය, “ෂොවු මහත්මයා, ඔබ මා ගැන වැරදියට වටහාගෙන. මම පිරිමි ගණිකාවක් නෙවෙයි.”

මුව විවර කළ සැණින් ඔහුගේ හැසිරීම නිරායාසයෙන්ම හෙළි විය. එය වනාන්තරයක් හරහා ගමන් කරන සුළඟක් මෙන් මෘදු හා මන්දගාමී විය. ෂෙන් ච්‍යාඕගේ ස්වරයට ඇහුම්කන් දීමෙන් පමණක්, ෂොවු ෆැන්ග් ඔහුගේ නිහතමානී බව වටහාගත්තේ ය . ෂෙන් ච්‍යාඕ වැන්නෙකු කෙදිනකවත් කිසිවෙකුගේ සෙල්ලම් භාණ්ඩයක් නොවන බවට ඔහුට නිසැක විය.

"මම අහපු දේ වැරදියි, කරුණාකරලා එය ගණන් ගන්න එපා." ෂොවු ෆැන්ග් මදක් අපහසුතාවයට පත් විය. "මට ඔබගෙ නම දැනගන්න පුලුවන්ද? ඔබව දැනගැනීමේ සතුට ඔබ මට ලබා දෙනවාද? ”

"මම ෂෙන් ච්‍යාඕ."

"'ච්‍යාඕ' යන්නෙහි අර්ථය 'දකුණේ දැව (Qiao)' ද?"

"'ච්‍යාඕ' යන්නෙහි අර්ථය 'මම පැමිණියේ ගංගා සහ උස් කඳු (ච්‍යාඕ) ඇතුළුව ලෝකයේ සියලුම දෙවිවරුන් සතුටු කිරීමටයි' යන්න."

ෂොවු ෆැන්ග් හුස්මක් පිට කළේ ය. ඔහු සමාව අයැදීමෙන් සිනාසුණේ ය, “ඒක තරමක් දුර්ලභ වචනයක්.හොඳයි, අද මේ වුණ කුඩා වරදවා වටහාගැනීම නිසා අප එකිනෙකාව දැන හඳුනගත්තා. ඒ නිසා මගේ රළුකමට සමාවෙන්න මහත්මයා. මම වෙනත් දවසක විධිමත් විදිහට සමාව ඉල්ලන්න අනිවාර්යයෙන්ම ඔබතුමන්ලා ඉන්න තැනට එන්නම්.”

ෂෙන් ච්‍යාඕ සිනාසෙමින් පැවසී ය, “ෂොවු මහත්මයා ආචාරශීලී වැඩියි. ඒ වෙනුවෙන්ම එන්න ඕන නෑ. මගේ ඇස් පෙනීම නරකයි. අමුත්තන්ට සැලකීම මට එතරම් පහසු වෙන්නේ නැති වේවි. අනාගතයේදී අපි ආයෙත් හමු වුනොත් මම ඔබට වයින්වලින් සංග්‍රහ කරන්නම්.”

ෂෙන් ච්‍යාඕ එය දැනටමත් මෙලෙස පවසා ඇති බැවින්, ෂොවු ෆැන්ග් විසින් එය තවදුරටත් අවධාරනය කිරීම නුසුදුසු වනු ඇත. ඔහු අත් දෙක එකතු කොට ආචාරශීලී ලෙස තවත් පේළි කිහිපයක් පවසා සමාව ඉල්ලා සිටියේ ය.

වචන හුවමාරුව නරඹමින් යැන් වුෂි බොහෝ සේ විනෝද විය. ඔහු ඔවුන්ගේ සංවාදයට බාධා කිරීමට කිසිවක් නොපැවසූ අතර ෂොවු ෆැන්ග් පිටව ගිය පසු සිනාසුණේ ය, “ආ ච්‍යාඕ, ඔබටනම් කපටි වෙන්නම බැහැ. අපිට ඔය රන් කාසි විස්ස ගන්න තිබුණා. ඒත් දැන් ඒක ඉවරයි.”

මෙවැනි සංවාද සෑම දිනකම අසංඛ්‍යාත වාරයක් සිදු විය. ෂෙන් ච්‍යාඕ දැනටමත් එයට පුරුදු වී සිටියේ ය. ඔහු කිසිවක් නොඇසුණාක් මෙන් යැන් වුෂිව නොසලකා හැරියේ ය.

ඔහුට නැවතත් තම කුටියට යාමට අවශ්‍ය වූ නමුත් යැන් වුෂි ඔහුව නවත්වාලූයේ ය, “මේ වසන්තයේ මුල් කාලය. නගරයෙන් පිටත මල් පිපෙනවා. ඔබගේ කාමරේට යන්න කලින් අපි මුලින්ම ගිහින් ඒවා බලමු."

යැන් වුෂි කතා කරන විට, ඔහු සාමාන්‍යයෙන් පවසන දෑ අදහස් විමසීමකට වඩා ඔහුගේ තීරණය ප්‍රකාශ කිරීමකට සම විය.

ෂෙන් ච්‍යාඕගේ වර්තමාන සටන් ශක්තිය ඔහුගේ සටන් ශක්තියට කිසිසේත්ම නොගැලපේ. නමුත් එයින් අදහස් කළේ ඔවුන් එකට සිටින විට තීරණ ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ඔහුට පමණක් තිබූ බව නොවේ. එම නිසා යැන් වුෂි කියූ දේ අසා සිටි ඔහු හිස වැනුවේ ය, “නැහැ, ස්තූතියි. නිකාය නායක යැන් කැමතිනම් ඔබට යන්න පුලුවන්. මම ආපහු මගේ කාමරයට යන්නම්."

එහෙත් යැන් වුෂි ඔහුගේ මැණික් කටුවෙන් අල්ලා ඔහුට යන්නට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේ ය, “ඔබ දවස පුරාම ඔබේ කාමරයේ ඉඳලා, හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කිසිවක් කරන්නේ නැහැ.මම ඔබ ගැන සැලකිලිමත්. ඒ නිසා විවේකයක් ගන්න ඔබව ඇවිදින්න රැගෙන යන්න ඕනෙ."

ෂෙන් ච්‍යාඕ: "..."

දවස පුරා ඔහු තම කුටියේ නැවතී සිටි බව සත්‍යයකි. නමුත් ඔහු කිසිවක් නොකර සිටියේ නැත. ඔහු සිටියේ භාවනාව හරහා සටන් කලාවන් ප්‍රගුණ කරමින් හෝ සූර්යවාදය අධ්‍යයනය කරමිනි.එම නිසා, මේ දිනවල ඔහුගේ ශරීරය හොඳ අතට හැරෙමින්, ඔහුගේ සටන් ශක්තිය ද කෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබුණි. මේ වන විට, ඔහු තුවාල වීමට පෙර ඔහුගේ සටන් කලාවෙන් සියයට පනහක් පමණ නැවත ලබාගෙන තිබුණි. සූර්යවාදය සැබවින්ම පුළුල් හා ගැඹුරු ග්‍රන්ථයකි. චී ෆංග ඔහුට ලබා දුන් පිටපත පවා ඔහුට සම්පූර්ණයෙන්ම වැටහී ඇතැයි පැවසිය නොහැක.

දැන් ඔහුට සූර්යවාදයේ තවත් පිටපතක් වන 'නිදහස් කැමැත්ත' ද තිබුණි. අනෙක් අය එය ලබාගැනීමට පෙරුම් පිරුවත් ලබාගත නොහැකි විය. කෙනෙකුට මෙය උද්දාමයට පත් විය හැකි දෙයක් ලෙස පෙනෙන්නට හැක. ෂෙන් ච්‍යාඕ දිවා රෑ මුළුල්ලෙහි ඒ ගැන සිතුවේ ය. තාඕ හොන්ජින් ඇත්තෙන්ම ස්වර්ගීය දක්ෂයෙක් බව ඔහුට දැනෙන්නට විය. ඔහු ලියා තිබූ දේ ඉතා ගැඹුරු හා සංක්ෂිප්ත වූ අතර එය කෙටි කාලයක් තුළ කෙනෙකුට තේරුම් ගත නොහැකි දෙයක් විය. ඔහු අන්ධව සිටි නිසා, දිවා කාලයේ ඇවිදීම පහසු වූයේ නැත. එබැවින් ඔහු තම කුටියට වී තනිවම ඒ ගැන කල්පනා කරමින් සිටියේ ය. අලස ලෙස කල්පනාවේ යෙදී සිටින එවන් අවස්ථාවල ඔහු එම කරුණු ගැන මෙනෙහි කරන අතර ඉද හිට ප්‍රබුද්ධත්වයට ද පත් විය.

නමුත් යැන් වුෂිට යමක් කිරීමට අවශ්‍ය වූවොත්, අනෙක් අයට එය කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාවක් නොලැබුණි.ෂෙන් ච්‍යාඕගේ ශක්තිය ඔහුට සමාන නොවූ නිසා ඔහුට කළ හැකි වූයේ යැන් වුෂිට ඔහුව ඇදගෙන යාමට ඉඩ දීම පමණි.

“නිකාය නායක යැන්, කරුණාකරලා මොහොතක් ඉන්න!” යනුවෙන් හඬක් පිටුපසින් ඇසෙන්නට පෙර ඔවුන් වැඩි දුරක් ගමන් කර තිබුණේ නැත.

ඔවුන් නැවතී ආපසු හැරී බැලූ හ. ෂෙන් ච්‍යාඕ දෑස් මිරිකමින් පැමිණි පිරිස අධ්‍යයනය කළේ ය. ඔහු කිහිප වතාවක්ම තුවාල ලබා තිබූ බැවින්, ඔහුගේ ශරීරයේ තත්වය එතරම් ස්ථාවර වූයේ නැත. ඔහුගේ දෑස්වල තත්ත්වය ද එසේම විය. විටෙක මිනිසුන්ගේ වස්ත්‍ර දළ වශයෙන් දැකීමට ඔහුට හැකි වුවද තවත් විටෙක එය කළු පැහැයෙන් යුක්ත විය. ඔහුගේ දෑස් මෑතක දී මඳක් යථා තත්ත්වයට පත් විය. හිරු එළිය යට සිටින්නේ භෝජනාගාරයේදී කතා කළ පුද්ගලයා බව ඔවුන්ගේ වස්ත්‍රවලින් හඳුනාගැනීමට ඔහු සමත් විය.

යැන් වුෂිගේ අනන්‍යතාවය ආමන්ත්‍රණය කළ  ආකාරයෙන් පැහැදිලි වූයේ ඔවුන් පෙර සිටම සූදානම්ව පැමිණි සිටි බව ය. මොහොතකට පෙර මෙම දෙදෙනා මැදිරිය තුළ පෙනී සිටීමට හේතුව වූයේ ද ඔවුන් විය හැකි ය.

කහ වස්ත්‍රය හැඳ සිටි මිනිසා ඔවුන් අසලට පැමිණ ඔවුන්ගෙන් පියවර පහක් හෝ හයක් පමණ දුරින් නතර විය. ඔහු තම දෑත් එකතු කොට ආචාර කළේ ය, “මම ලින්චුවන් ආයතනයේ ෂිඑ ෂියන්. නිකාය නායක යැන්ට සුබ පැතුම්.”

ඔහුත් සමඟ තවත් අයෙක් සිටියේ ය. ඔහු,ඔහුට වඩා මදක් වයසින් වැඩි කෙනෙකි. “ලින්චුවන් ආයතනයේ ෂැන් ෂිචියන්. සුභ පැතුම්, නිකාය නායක යැන්."

යැන් වුෂි කිසිදු අදහසක් ප්‍රකාශ කළේ නැත. ඔහු ෂැන් ෂිචියන් දෙස බලා,ඉන් පසු ෂිඑ ෂියන් වෙත සිය දෑස් යොමු කළේ ය. "එහෙනම් ඔබද රුයන් ක'හුයිගෙ ප්‍රියතම ගෝලයා?"

ෂිඑ ෂියන් පිළිතුරු දුන්නේ ය, "මම නිකාය නායකතුමාගේ ප්‍රශංසාව ලබන්න තරම් සුදුසු නැහැ. නමුත් ඇත්තෙන්ම මගේ ගුරුතුමා රුයන් ක'හුයි."

යැන් වුෂි පුදුමයට පත් විය, “ඇයි ඔබ හිතුවේ මම ඔබට ප්‍රශංසා කළා කියලා? මම තවම කියලා ඉවර නැහැ. ඔබව පෙනෙන්නේ ඒ වගේ කිව්වා විතරයි.”

ෂිඑ ෂියන්ගේ මුව වෙව්ලන්නට විය.

ෂෙන් ච්‍යාඕ: "..."

ෂැන් ෂිචියන්: "..."

ෂෙන් ච්‍යාඕ යනු හොඳ ගතිගුණ ඇති කෙනෙකි. යැන් වුෂි හැකි සෑම ආකාරයකින්ම ඔහුව උත්තේජනය කිරීමට  උත්සාහ කර තිබූ අතර, එබැවින් ඔහු පුරුදු වී සිටි නිසා ඒ වන විටත් තල මෙන් තියුණු වූ මෙම අපහාස හා උපහාසයන්ට සංවේදී නොවී ය. එහෙත් ඔහු, ඔහු ඉදිරියේ සිටින තරුණයා ගැන අනුකම්පා කළේ ය.

ඔහු මීට පෙර ෂිඑ ෂියන් ගැන අසා ඇත. ඔහු චෙන් රටෙහි ආඥාපතිත්වය දැරූ ෂිඑ පවුලේ අයෙකු වූ අතර, ඔහු තම පරම්පරාව තුළ සිටි ලින්චුවන් ආයතනයේ වඩාත්ම කැපී පෙනෙන ගෝලයා ද විය. රුයන් ක'හුයි ඔහුගේ නායකත්ව උරුමය ෂිඑ ෂියන් වෙත ලබා දීමට යන බවට කටකතා පවා පැතිර තිබුණි.ඔහු ද ඔහුගේ ස්වාමියාගේ බලාපොරොත්තු සුන් කළේ නැත. ඔහු තරුණ වයසේ සිටියත්, රුයන් ක'හුයි ඉගැන්වූ සෑම දෙයක් ගැනම ඔහුට ගැඹුරු අවබෝධයක් තිබූ අතර තරුණ පරම්පරාවේ ඉහළම ප්‍රවීණයන්ගෙන් කෙනෙකු ද විය.

එපමණක් නොව, ඔහු කොන්ෆියුෂියානු අධ්‍යයනයෙන් පවා තම ස්වාමියා අභිබවා යන බව පැවසේ.ලින්චුවන් ආයතනය විසින් බොහෝ විට ලොව පුරා සිටින කොන්ෆියුෂියානු විද්වතුන්ට විවාද සඳහා ආරාධනා කළ අතර, ෂිඑ ෂියන් සෑම විටම එවැනි සිදුවීම්වල ප්‍රථමයා වනු ඇත.ඔහු වැනි පුද්ගලයෙකුට, අනෙක් අය අවම වශයෙන් ඔහුගේ ගුරුවරයා ගැන සලකා බලා හෝ ආචාරශීලීව සලකනු ඇත. ඔහු ද කැපී පෙනෙන පුද්ගලයෙකු බව කිව යුතු ය.ඔහු කවදා හෝ මෙවැනි නින්දා අපහාසවලට ලක් වී තිබේ ද?

රුයන් ක'හුයි බොහෝ සෙයින් සැලකිලිමත් වූ පුද්ගලයෙකු, නිසැකවම ආවේගශීලී පුද්ගලයෙකු නොවනු ඇත. කෝපය ඔහුගේ මුහුණ පුරා දැල්වී ගිය නමුත් ෂිඑ ෂියන් ඒ වන විටත් ඔහුගේ සන්සුන්කම නැවතත් ලබාගෙන තිබුණි, “මම ආවේ ලින්චුවන් ආයතනය භාර නායකතුමාගේ ආරාධනයක් ලබාදෙන්න. මැයි මාසයේ පස් වෙනිදා චන්'අන්වල හුයියැං අවන්හලේදී නිකාය නායක යැන්ව හමුවෙන්න ඔහු කැමතියි."

යාන් වුෂි උපහාසයෙන් පැවසුවේ ය, “රුයන් ක'හුයි මාව බලන්න කැමති නම් එයාටම එන්න පුලුවන්. මෙහෙම කරන එකේ තේරුම මොකක්ද? ”

එක්වරම හැරී සිටි ඔහු යන්නට විය. ෂිඑ ෂියන්ගේ කටහඬ ගැඹුරු විය, "නායක යැන් එක්ක පියවර කිහිපයක් හුවමාරු කරගන්න මට අවස්ථාවක් ලැබේවිද කියලා දැනගන්න පුලුවන්ද?"

යැන් වුෂි සිනහවක් පෑ අතර එක්වරම ෂෙන් ච්‍යාඕ දෙසට ඇඟිල්ල දිගු කළේ ය, “ඔබට ඔහුත් එක්කවත් සමාන වෙන්න බැහැ කියලා මම කිව්වොත්, ඔබ මාව විශ්වාස කරනවාද?”

ෂෙන් ච්‍යාඕට රැවටෙන කවුරුන් හෝ දොස් පවරනවානම්, පැවරිය යුත්තේ ෂෙන් ච්‍යාඕගේ පෙනුමට ය. යැන් වුෂි මීට මොහොතකට පෙර දැක්වූ ළෙන්ගතුකමට අමතරව ෂෙන් ච්‍යාඕ ගැන ෂිඑ ෂියන් පවා වැඩි දෙයක් දැන නොසිටි අතර ඔහු ද වරදවා වටහා ගත් අයගෙන් කෙනෙක් විය. ඔහු නළල රැලි කළේ ය. ෂෙන් ච්‍යාඕ දෙස බැල්මක්වත් නොහෙලූ ඔහු ප්‍රතිචාර දැක්වී ය, “නිකාය නායක යැන් කියන්නේ පුරාවෘත්ත වීරයෙක්. ඔබ නිදාගන්න  පිරිමි ළමයාත් එක්ක මට අපහාස කරලා ඔබ ඔබටම අපකීර්තියක් කරගන්නේ ඇයි? ”

ෂෙන් ච්‍යාඕ ඒ වන විටත් ඔවුන්ගෙන් මදක් ඈතට ගොස් සිටියත්, යැන් වුෂි ඔහුව එකවරම පසුපසට ඇදගෙන මී පැණි වෑස්සෙන ස්වරයකින් කතා කළේ ය, “ආ ච්‍යාඕ, ඔහු ඔබට අපහාස කරනවා. ඔබ එය ඉවසගෙන ඉන්නවද? ”

ෂෙන් ච්‍යාඕ: "..."

ඔහු නිශ්ශබ්දව පසෙකට වී සිටියේ ය. ඔහු තවමත් සම්බන්ධ වන්නේ ඇයි?

    


            

කර්තෘගේ සටහන්:

ෂෙන් ච්‍යාඕ: නිකාය නායක යැන් ගිනි දල්වන්නයි, අන් අය අතර ගැටුමක් ඇති කරන්නයි ඉතා දක්ෂයි. ඔබ ලෝකය අවුල් ජාලයකට ගෙන ඒමට කැමති ආකාරය මම ඇත්තෙන්ම අගය කරනවා.

යැන් වුෂි: ඒ මම ඔබට කැමති නිසා, ඒ නිසා මෙම ගෞරවය මම ඔබට ලබා දෙනවා.

ෂෙන් ච්‍යාඕ (පුදුමයෙන්):'ඒක උපහාසයක්'. කියන්න බැරිද?

යැන් වුෂි: ආ ච්‍යාඕ, ඔබේ උපහාසය පවා ඉතා මෘදුයි (づ ̄3 ̄)づ╭

ෂෙන් ච්‍යාඕ: … (Speechless 🤐)

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. මේක නම් මාරම කතාවක්.. මන් ආසම චරිතය යැන් වූෂී... 😉😉😉

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-