Skip to main content

විසි හතරවන පරිච්ඡේදය යමෙකුට ඒවා ප්‍රමාණවත් ලෙස ලැබී ඇත්නම් අවසානයේදී ඇස්වල කඳුලු අතුරුදහන් වේ.

පැමිණ සිටියේ තානායමේ සේවකයා ය. ඔහු අතේ සුප් බඳුනක් සහ පිඟානක් ද විය.

“මහත්මයා මෙන්න ඔබ දුන්න බෙහෙත් වට්ටෝරුවෙන් හදපු ඖෂධය.හදපු නෙළුම් බීජ සිරප් සහ අතුරුපස මුලුතැන්ගේ තියෙනවා. ඔබලා දෙන්නට අවශ්‍යනම් කන්න පුලුවන්. අපි අනික් කෑම රෑ කෑම වෙලාවට එවන්නම්."

ඖෂධ වට්ටෝරු සැකසීම සහ ඖෂධ පැළෑටිවලින් කසාය සෑදීම ඖෂධ හළක කාර්යයක් විය යුතු නමුත් යැන් වුෂි ප්‍රමාණවත් මුදලක් ලබා දී ඇති බැවින් එය තවදුරටත් ගැටලුවක් වූයේ නැත. ඔහු සෑම තැනකටම මුදල් විසි කොට තිබූ නිසා, තානායම ඔහුට ධනයේ දෙවියෙකුට මෙන් සැලකූ අතර ඔවුන්ට හැකි තරම් හොඳින් ඔහුව රැක බලාගත් හ.

යැන් වුෂි ඖෂධ බඳුන අතට ගෙන ෂෙන් ච්‍යාඕට පැවසුවේ ය, “ඔබ මේ තුවාලවලින් ඉක්මනින් සුව වෙන්න ඕනෙ. මේ ඖෂධයෙන් සුව වීම වේගවත් කරන්න පුලුවන්. කෝ එන්න, මම ඒක ඔබට කවන්නම්”

ෂෙන් ච්‍යාඕ: "..."

සේවකයා: "..."

බැලූ බැල්මට අතිශයින්ම අහංකාර බව කෙනෙකුට පැවසිය හැකි ඒ මුහුණෙන් ජලය මෙන් මෘදු, මොළොක් වචන ගලා යමින් තිබිණි. කවුරුන් කෙසේ බැලුවත් එය නොගැලපෙන දෙයක් මෙන් දිස් විය. ඔවුන් අතර කාමරය තුළ සුළු ගැටුමක් ඇති වූ බව සේවකයා දැන සිටියේ නැත. එහෙයින් මෙම ආලවන්ත ස්වරය පමණක් ඇසූ ඔහු ඒ වන විටත් ගොළු වී තිබුණි.

'ඒ මහත්මයා ටිකක් අසනීපෙන් වගේ පෙනුණත්, ඔහුත් වැඩුණු කෙනෙක්. ඔවුන්... සමලිංගිකයන්ද?'

සිතීමෙන් බියපත් වූ සේවකයාට තම ගතෙහි ඇති වූ වෙව්ලීම වළක්වා ගත නොහැකි විය.

මේ වන විට ෂෙන් ච්‍යාඕ ද සිටියේ යැන් වුෂිගේ වෙනස කෙරෙහි තිබූ බිය තවත් වර්ධනය වූ විලසකිනි. අනෙක් පුද්ගලයා මේ මොහොතේ ක්‍රීඩා කරන්නේ කුමන ක්‍රීඩාවක්ද යන්න ගැන ඔහුට අදහසක් තිබුණේ නැත.

මීට මොහොතකට පෙර ඔහු ෂෙන් ච්‍යාඕගේ සිතෙහි තිබූ නපුරු චේතනාවන් මායාවෙහි බලයෙන් දැනගැනීමට උත්සාහ කළ නමුත් ඊළඟ තත්පරයේදී පිටස්තරයෙකු ඉදිරියේ ඔහුගේ ආකල්පය සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ආකාරයක් බවට පත් වී තිබුණි.ඔහුගේ මුහුණු මාරු කිරීමේ වේගය නිසැකවම සිත් ඇදගන්නා සුළු විය.

යැන් වුෂි අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ ප්‍රතිචාර ගැන සැලකිලිමත් වූයේ නැත. කැපවීමෙන් මෙන් ෂෙන් ච්‍යාඕ දෙස බලා සිටි ඔහු ඊලඟ මොහොතේ ඊටත් වඩා මෘදු ස්වරයකින් කතා කළේ ය, “බය වෙන්න එපා.මම දැනටමත් ඔබ වෙනුවෙන් එය සිසිල් කරලා අවසන්. දැන් උණුසුම් නැහැ. ”

ෂෙන් ච්‍යාඕ ඉතා අපහසුවෙන් වචන දෙකක් කියාගන්නට සමත් විය, "නිකාය නායකතුමා..."

ඔහුගේ මුඛය වහාම හැන්දකින් පුරවා තිබුණි. කහට සහ තිත්ත රසය රැඳුණු ඖෂධය ක්ෂණයකින් ඔහුගේ මුව පුරවා තිබූ අතර, වෙනත් කිසිවක් පැවසීමට පෙර ඔහුට මුලින්ම දියර ගිල දැමීමට සිදු විය.එය එක හැන්දක් වුවත් යැන් වුෂි එක මොහොතකින් එම ඖෂධයෙන් අඩක්ම අවසන් කොට  තිබුණි. ඔහු සියුම් ලෙස හා සූක්ෂ්ම ලෙස බලා සිටි අතර, ඔහුගේ සිනාමුසු මුහුණේ රැඳී තිබූ මුදු මොළොක් බවෙන් පෙනී ගියේ ඔහු තම සැබෑ ආදරය දෙස බලා සිටින බවකි.

ෂෙන් ච්‍යාඕට යැන් වුෂිගේ ප්‍රකාශය දැකීමට නොහැකි වූ නමුදු සේවකයාට එය පැහැදිලිව දැකගත හැකි විය.තම හිසකෙස් සියල්ල කෙළින් සිටගෙන සිටින්නාක් මෙන් දැනුණු ඔහු සිතුවේ, ඔහු තව දුරටත් සිටියහොත්, මේ සමලිංගික මහතා තමා වෙතට ද ආකර්ශනය වී ඔහුව රැගෙන යන ලෙස ඉඩම් හිමියාගෙන් ඉල්ලා සිටිනු ඇති බවයි. එසේ වුවහොත් කුමක් කළ යුතුද?!

ඔහු වහාම කෑම බිම තබා සමාව අයැද සිනහවක් පෑවේ ය, “මහත්වරුණි, ඔබේ ආහාරය රසවිඳින්න. මම දැනට යන්නම්. ඔබට වෙනත් දෙයක් අවශ්‍ය නම් සීනුව නාද කරන්න! ”

යැන් වුෂි පිළිතුරු ලෙස කොඳුරමින් සිටි අතර ඔහුගේ හිස පිටුපසට හැරුනේවත් නැත. සේවකයා සැනසුම් සුසුමක් හෙලුවේ ය. නළලේ සීතල දහදිය පිසදැමූ ඔහු කඩිමුඩියේ පලා ගියේ ය.

ඔහු පිටත්ව ගිය වහාම, යැන් වුෂි පාත්‍රය ෂෙන් ච්‍යාඕගේ අතට තල්ලු කළේ ය. "ඒක ඔබම බොන්න."

ෂෙන් ච්‍යාඕ: "..."

මෙම ඖෂධ බඳුනේ ඇති සියලුම ද්‍රව්‍ය චී ශක්තිය ප්‍රකෘතිමත් වීමට සහ රුධිර ප්‍රතිජනනය සඳහා හොඳ බව එහි සුවඳින්ම ඔහුට දැනගත හැකි විය.නමුත් යැන් වුෂිගේ පෙර සහ පසු ආකල්පයේ වෙනස් වීම ඇත්තෙන්ම විකාරසහගත වූ අතර ඔහුට “නිකාය නායකතුමණි, ඒ සේවකයාගේ අනන්‍යතාවය ගැන ඔබ සැක කළාද?” කියා නොඅසා සිටීමට නොහැකි විය.

"නැහැ."

"එහෙනම් කොහොමද..."

හදිසියේම යැන් වුෂි සිනහසුණේ ය, “ඇයි? මට කියන්න එපා ඔබ දැන් කවනවට ආස හිතුණ නිසා, ඉතිරි ටිකත් මම ඔබට කවන්න ඕනේ කියලා."

ෂෙන් ච්‍යාඕ: "..."

යැන් වුෂි, ෂෙන් ච්‍යාඕගේ නිකට ඔහුගේ අතෙන් ස්පර්ශ කරමින් මෙසේ අදහස් දැක්වී ය, "දැන් මට පෙනෙනවා, ඔබ ඇත්තටම ලස්සනයි.අසුර නිකායන් තුනේම බොහෝ ශ්‍රාවකයන් වශී ගුරුකම් කරන නිසා ඔවුන් සියල්ලන්ටම හොඳ පෙනුමක් තිබෙන බව ඇත්ත.ඒත්, ඔබ නිතරම අසනීප වුණේ නැත්නම්, ඔබ ඔවුන්ටත් වඩා බොහෝ ලස්සනයි."

බරපතළ තුවාල ලබා සිටි ෂෙන් ච්‍යාඕ ඒ වන විටත් සිටියේ විරුද්ධ වීමට නොහැකි තත්වයක බැවින් ඔහුට හැකි වූයේ අනෙකාගේ දෑතින් තමන් හසුරවනු බලා සිටීම පමණි.නමුත් ෂෙන් ච්‍යාඕගේ මනස තිබුණේ සම්පූර්ණ පැහැදිලි තත්වයේ ය.එහෙයින් යැන් වුෂිගේ අත පසෙකට තල්ලු කරලූ ඔහු තම හිස පිටුපසට නැඹුරු කොට හේත්තු විය.

අනෙක් පුද්ගලයා ද ඔහුට බල කළේ නැත. ඔහු ද ෂෙන් ච්‍යාඕට යන්නට ඉඩ හැරියේ ය.

"ඔබ කවදාහරි 'තොල් කෝප්පය' ගැන අහලා තියෙනවද?" යාන් වුෂි ඇසුවේ ය.

"ඒ මොකක්ද?" අනෙක් පුද්ගලයා ඉතා බැරෑරුම් ලෙස ඇසුවේ ය. ඔහු වෙනත් මාතෘකාවක් වෙත සංවාදය මෙහෙයවනු ඇතැයි ෂෙන් ච්‍යාඕ සිතුවේ නැත.

යැන් වුෂි සිනාසෙමින් පැවසුවේ ය, “ගණිකා මඩම්වල ඉන්න ගණිකාවන් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට කටට කට තියලා වයින් පොවනවා. ඒකට තමයි ‘තොල් කෝප්පය' කියන්නේ. හොඳයි, මමත් ඔබට ඒ ආකාරයෙන්ම බෙහෙත් පොවනවට ඔබ කැමතිනම් කියන්න. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. ”

ෂෙන් ච්‍යාඕ යනු සැමවිටම පිරිසිදු හදවතක් සහ ආශාවන් කිහිපයක් පමණක් ඇති අවංක මහත්මයෙකි. ඔහු කෙදිනක හෝ මෙවැනි ආලවන්ත කතා අසා තිබුණාද? ක්ෂණයකින් තම දෙතොල් යුගළ එකිනෙක තද කොටගෙන තිබුණ ද ඔහුගේ සුදුමැලි මුහුණ සිහින් රතු පැහැ තට්ටුවකින් වැසී යාමට බොහෝ කලක් ගත නොවී ය. කෙසේ වෙතත්, එය ලැජ්ජාවටත් වඩා කෝපයට හේතු වූ රතු පැහැයක් බව කිව යුතු ය.

අවසානයේ යැන් වුෂිට ඇති තරම් උසුළු විසුළු කිරීමේ හැකියාව ලැබී තිබුණි. ෂෙන් ච්‍යාඕගේ ඉරියව්වල වෙනස් වීම දුටු ඔහුට සිනහවක් නැඟුණු අතර එය ඉතා විනෝදජනක බවක් පෙනෙන්නට තිබුණි.

ෂෙන් ච්‍යාඕගේ මුහුණ කෝපයෙන් වෙව්ලන්නට විය.

එතැන් පටන් යැන් වුෂිගේ මනස අමුතුම අවශ්‍යතා සඳහා යොමු වූ බවක් පෙනෙන්නට තිබුණි. එය, ඔහු ෂෙන් ච්‍යාඕට විහිළු කිරීමට ඇබ්බැහි වූවාක් මෙන් ආකාරයකි. ඔහු බොහෝ විට අන් අය ඉදිරියේ රංගනයේ යෙදුණේ ෂෙන් ච්‍යාඕගේ ප්‍රකාශනය වෙනස් වීම දැක සතුටු වීමට පමණි.

නිර්භීත සහ සාමය රැඳි මනසකින් යුක්ත වූ ෂෙන් ච්‍යාඕ යහපත් ස්වභාවයක් තිබූ අයෙකි. බොහෝ අත්දැකීම්වලින් පසු, ඔහු සියලු ආකාරයේ හිරිහැර කිරීම්වලට සහ දරුණු අදහස් ඉදිරියේදී කෙළින් මුහුණ තබාගෙන සිටීමට පුරුදු වී තිබුණි. කෙසේ වෙතත්, යැන් වුෂි ඔහු කෙරෙහි ඇති උනන්දුව කිසිසේත් අඩු කළේ ද නැත. ඇත්තෙන්ම ඔහු ඊටත් වඩා ෂෙන් ච්‍යාඕව කෝප ගන්වන්නට වූයේ අනෙක් පුද්ගලයාගේ ඉවසීමේ අන්තිම සීමාව සොයා ගැනීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටින්නාක් මෙනි.

වාසනාවකට මෙන්, ඔහු තමා සමඟ එකට ගමන් කරන ලෙස ෂෙන් ච්‍යාඕගෙන් ඉල්ලා සිටිය ද, ෂෙන් ච්‍යාඕගේ නිදහස සීමා කොට තිබුණේ නැත. ෂෙන් ච්‍යාඕට ද වෙනත් තැන්වලට යාම අපහසු වූ නිසා ඔහු වැඩි වේලාවක් ගත කළේ තම කාමරයේ ජනේලය අසළ වාඩි වී සුළඟ සහ වර්ෂාව විඳිමින් පිටත හඬවලට සවන් දෙමිනි. ඔහු උත්සාහ කළේ අන් අයට කරදරයක් නොවී සිටීමට ය.

ඉඳහිට, ව්‍යතිරේක ද සිදු විය. ඔවුන් නැවතී සිටි තානායම වෙළෙන්දන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් යන එන විශාල තානායමකි. එය තොරතුරු රැස් කිරීමට හොඳම ස්ථානය වන යින්ග් ප්‍රාන්තයේම තිබූ විශාලතම තානායම් වලින් එකක් ලෙස සැලකිය හැක. යැන් වුෂි මෙහි රැඳී සිටීම තෝරා ගැනීමට තිබූ එකම හේතුව නගරයේ ඇති අලංකාර මළුව පමණක් නොවේ.

මෙම කාලයේදී, තානායම් මෙන්ම තැබෑරුම් අභ්‍යන්තරය, පොදු භෝජන ශාලා සහ මැදිරි ලෙස වෙන් කර ඇත. මැදිරි ද විශාල මැදිරි සහ පුද්ගලික මැදිරි ලෙස කොටස් දෙකකට බෙදා ඇත. පුද්ගලික මැදිරි කුඩා කණ්ඩායම් විසින් පවත්වන රැස්වීම් සඳහා වෙන් කොට තිබූ අතර, විශාල මැදිරි පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා තානායම් හිමියන් විසින්, විද්වතුන්ට, ගොවීන්ට, ශිල්පීන්ට සහ වෙළඳුන්ට ලෙසින් වර්ගීකරණය කොට තිබුණි.

අවශ්‍යනම්, බොහෝ වෙළෙන්දන් එක් රැස් වී සිටි මැදිරිවල වාඩි වී සිටින්නට අනෙකුත් වෙළඳුන්ට ඉල්ලා සිටිය හැකි ය. ඔවුන් එකිනෙකා කලින් නොදැන සිටිය ද, ආහාර ගැනීමෙන් පසු මිතුරන් වීමට ඔවුන්ට හැකි විය හැකි අතර, ඔවුන්ට ඔවුන්ගේ ජාලයන් පුළුල් කර ගැනීමටත්, අවස්ථාව වැළඳ ගනිමින් ගනුදෙනු කිහිපයක් සිදු කරගැනීමටත් හැකි ය. එය දෙපාර්ශවයටම වාසියක් විය. විද්වතුන්ට සහ සටන් කලාකරුවන්ට ද එසේම ය.උගතුන් ලෙස පෙනී සිටි වෙළෙන්දන් ද සිටි අතර, විටෙක ඔවුන් විද්වතුන්ගේ මැදිරිවලට සම්බන්ධ වීමට බල කළ නමුත් අනෙක් අයගේ ඇස් හමුවේ ඔවුන් බොහෝ විට විහිළුවක් බවට පත් විය. සාමාන්‍යයෙන් එවැනි තත්වයකට පත් වීමට කිසිවෙකුත් කැමති වූයේ නැති හෙයින් ඔවුන්ම තම තමන්ට සුදුසු ස්ථානවල ස්ථානගත වනු ඇත.

යැන් වුෂි සටන් කලා කණ්ඩායමට අයත් විය යුතු නමුත් ඔහුට වෙනත් අනන්‍යතාවයක් ද තිබුණි. යින්ග් ප්‍රාන්තය ඒ වන විටත් පැවතියේ උතුරු ෂෝ රාජ්‍යයේ මායිම් තුළ ය.ඔටුන්න හිමි කුමරුගේ 'කනිෂ්ඨ ආචාර්යවරයා' ලෙස ඔහු තමන්ට හිමි එම අනන්‍යතාවය හෙළි කළහොත්, සමහර විට යින්ග් ප්‍රාන්තයේ නිලධාරීන් ඔහුව සිප ගැනීමට පවා පැමිණෙනු ඇත. නමුත් පුදුමයට කරුණක් නම්, ඔහු මෙම දෙවර්ගයෙන් එක් පසෙකටවත් නොයාමයි. ඒ වෙනුවට ඔහු ෂෙන් ච්‍යාඕව වෙළඳ කුටියකට රැගෙන ගියේ ය.

ෂෙන් ච්‍යාඕ දැන් ක්‍රමක්‍රමයෙන් අඳුරේ සිටීමට පුරුදු වෙමින් සිටියේ ය. යැන් වුෂි මඟ පෙන්වූ බැවින් ඔහු උණ සැරයටිය ආධාරයෙන් සෙමින් සෙමෙන් ඔහු පසුපස ගියේ ය. ඔහුට සහාය වීමට කිසිවෙකු අවශ්‍ය නොවූ නමුත් යැන් වුෂි ඔහුට, ඔහුගේ මැණික් කටුවෙන් අල්ලා ගන්නා ලෙස බල කළේ ය. මෙම සමීප දර්ශනය එහි සෑම කෙනෙකුටම, ඔවුන්ගේ ඇස් කෙළවරින් ඔවුන් දෙස බැලීමට පොළඹවා ඇත.ෂෙන් ච්‍යාඕට ඔහුගේ අත පසුපසට අදින්නට නොහැකි වූ බැවින් ඔහුට හැකි වූයේ යැන් වුෂිට ඔහුගේ මාර්ගයට සහය වීමට ඉඩ දෙන තුරු බලා සිටීමට පමණි.

ඔවුන් යින්ග් ප්‍රාන්තයට පැමිණි දා සිට, වෙනත් පුද්ගලයින් අවට සිටීනම්, යැන් වුෂි හැකි තරම් මෘදු මොළොක් ලෙස ෂෙන් ච්‍යාඕ හට සැලකුවේ ය.

ඔවුන්ගේ සම්බන්ධය පිටුපස ඇති කතාව අනෙකුත් අය දැන සිටියේ නැත. ඔවුන් දෙදෙනා දෙස බලන විට, විශේෂයෙන්ම යැන් වුෂි ෂෙන් ච්‍යාඕ දෙස බලා සිටි අපැහැදිලි බව දෙස බලන විට, ඔවුන් ෂෙන් ච්‍යාඕව වර්ගීකරණය කොට තිබුණේ යම් ආකාරයක 'පිරිමි ගණිකා කොල්ලෙකු' ලෙස ය. ඔවුන් අන්ධ පිරිමි ගණිකා වෘත්තිකයෙකු කිසිදා දැක තිබුණේ නැත. ඔවුන් දෙදෙනා ඇතුළට යන බව දුටු විට, සියල්ලන්ටම එය අමුතු නමුත් විනෝදජනක දර්ශනයක් විය.

ඔවුන් එක මේසයක වාඩි වී මේසය බෙදා ගත් හ. යැන් වුෂි කාරුණිකව සේවකයාගේ උපකාරය ප්‍රතික්ෂේප කළ අතර ෂෙන් ච්‍යාඕ සඳහා අවශ්‍ය පිඟන් සහ භාණ්ඩ පෞද්ගලිකව සකස් කළේ ය. ඉන්පසු ඔහු ෂෙන් ච්‍යාඕගේ අතින් අල්ලාගෙන පිඟන් කෝප්ප එකින් එක පෙන්වී ය. ඔහු කෙතරම් සැලකිල්ලෙන් ක්‍රියා කළේද යත්, පවිත්‍ර චන්ද්‍ර නිකායේ අය පැමිණ සිටියත්, ඔවුන් යැන් වුෂිව හඳුනා ගැනීමට එඩිතර නොවනු ඇත.

මීට දින කිහිපයකට පෙර මෙය සිඳු වූවා නම්, ෂෙන් ච්‍යාඕට හිසේ සිට දෙපතුල දක්වාම අපහසුතාවයක් දැනෙන්නට ඉඩ තිබුණි. නමුත් යමෙකුට, එකම දෙයකට ප්‍රමාණවත් තරම් මුහුණ පෑමට දිගින් දිගටම සිදු වේ නම්, අවසානයේදී ඔවුන්ගේ ඇස්වල කඳුලු ද අතුරුදහන් වනු ඇත. මුහුණේ සුළු වෙනසක්වත් නොමැතිව කෑමකූරු යුගළ අතට ගත් ෂෙන් ච්‍යාඕ, යාන් වුෂිට ස්තූති කොට, පසුව සෙමින් කෑමවල රස බැලුවේ ය.

ඔවුන් අවට සිටි අයව සම්පූර්ණයෙන්ම නොසලකා හැරි ආකාරය දුටු අනෙක් සියල්ලන්ගේ ද උනන්දුව ක්‍රම ක්‍රමයෙන් නැති වන්නට විය. ඔවුන් නිශ්ශබ්දව කිහිප වතාවක්ම ශාප කළ අතර, පසුව ඔවුන්ගේ මුල් මාතෘකා වෙත ආපසු ගිය හ.

පැමිණ සිටි සියල්ලෝම රට හරහා ගමන් කරන වෙළෙන්දන් ය. ඔවුන් එකිනෙකාට ආගන්තුකයන් විය හැකි නමුත්, මෙම මැදිරියේ ආහාර ගනිමින් සිටිනාතුර, තොරතුරු හුවමාරු කර ගැනීමට සහ මිතුරන් ඇති කර ගැනීමට ඔවුන්ට අඩු වැඩි වශයෙන් අදහස් තිබූ බව පෙනී ගියේ ය. වෙළෙන්දන්  නිතැතින්ම සමාජගත වීමට දක්ෂතා වූ අයවලුන් බව නොකිවමනා ය. වාක්‍ය කිහිපයක් හුවමාරු කර ගැනීමෙන් පසු පරිසරය නැවතත් පෙර පරිදිම සජීවී විය.

යමෙක් මෙසේ පැවසී ය: “ෂෝ අධිරාජ්‍යයා චෙන් රටට පහර දෙන්න දකුණට යන්න සැලසුම් කරනවා කියලා මට ආරංචි වුණා. ඒක ඇත්තක්ද? මෙතන වාඩිවෙලා ඉන්න සහෝදරයන් කවුරුහරි ඒ ගැන දන්නවනම්, කරුණාකරලා අපිටත් ඒ ගැන කියන්න.මම මේ අවුරුද්දෙ නිතර නිතර එහා මෙහා ගමන් කරන නිසා කල්තියාම සූදානම් වෙන්න ඕනෙ. ඒක භාණ්ඩවලට විශාල ගනුදෙනු ලබාගන්න නෙවෙයි, මට ඊට වඩා මගේ ජීවිතය වටින නිසා! ”

“ඒක හරි!” ඔහු පැවසූ දේ ඇසීමෙන් පසු බොහෝ අය ප්‍රතිරාවය කළ හ.

යමෙක් ඔහුගෙන් ඇසුවේ ය, “ෂූ අර්'ලැන්ග්, ඔබට මේ ගැන අහන්න ලැබුණේ කොහෙන්ද?”

ෂු අර්'ලැන්ග් පිළිතුරු දෙමින් පැවසුවේ ය, “මට අහන්න ලැබුණේ මගේ ඥාතියෙක්ගෙන්. ඔහු වැඩ කරන්නේ ප්‍රාදේශීය ආණ්ඩුකාරතුමාගේ නිවසේ සේවකයෙක් විදිහට. ඒ නිසා ඔහුගේ තොරතුරු ඇත්ත වෙන්න ඕනෙ."

තවත් කෙනෙකු පැවසුවේ ය, “මටත් ඒ ගැන ආරංචි වුණා. ඒක බොහෝ දුරට ඇත්ත වෙන්න පුලුවන්. පොඩ්ඩක් හිතන්න. ෂෝ අධිරාජ්‍යයා ආපහු සිංහාසනයට ආපු දවසෙ ඉදලා, උතුමාණන් බොහෝ ආක්‍රමණශීලී වුණා. ඔහු උත්සාහ කරන්නේ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගන්න. වර්තමාන දකුණ ජනාකීර්ණ, ධනවත් දේශයක්. චෙන් රාජවංශයත් විශාල භූමි ප්‍රදේශයක් අයිති කරගත්තා. ෂෝ අධිරාජ්‍යයාට මුළු රටම එක්සේසත් කරන්න ඕනෙ නම්, ඔහු අනිවාර්යයෙන්ම පළමුවෙන්ම චෙන් රාජවංශය අල්ලගන්න උත්සාහ කරාවි!"

"හොඳයි, මම හිතන්නේ නැහැ!" ක්ෂණිකව යමෙක් ප්‍රතික්ෂේප කළේ ය, “මීට වසර දෙකකට කලින්, චෙන් රටයි ෂෝ රාජ්‍යයයි දෙක තායිජියන් යුගයේ උතුරු ගවේෂණයේදී චී රටට එරෙහි වුණ මිත්‍ර පාක්ෂිකයන්. ඔබ කියපු දේ ඇත්තක් නම්, ඒකෙන් කියවෙන්නේ ෂෝ රාජවංශය ඔවුන්ගේ සන්ධානය පැත්තකට දලා චෙන් රාජවංශයට පහරදෙන්න වැඩි කාලයක් ගත නොවේවි කියලා නේද... එහෙම වුනොත්, ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නැති වෙලා මුළු ලෝකයම පිළිකුල් කරාවි!”

"හහ්! මොනතරම් විහිළුවක්ද! කෙනෙකුගේ දැහැමිකම නැති වෙනවද? ව්‍යාපාරිකයන් විදිහට අපි හිතන්න ඕනෙ අපට ප්‍රමාණවත් ලාභයක් ලබාගන්න පුලුවන් වේවිද කියලා. ධර්මිෂ්ඨකමෙන් ඇති වැඩේ මොකක්ද? ඒක කොයිතරම් වටිනවද? ඒකෙන් අපේ බඩ පුරවගන්න පුළුවන්ද?"

සියල්ලන්ම එක්වරම කතා කිරීමට පටන් ගත් හ. මේ නිසා මෙම ස්ථානය ද බොහෝ ඝෝෂාකාරී වන්නට විය. සටනක් ආරම්භ වීමට ආසන්න බව දුටු ෂූ අර්'ලැන්ග් ඉක්මනින්ම දේවල් සමථයකට පත් කිරීමට උත්සාහ කළේ ය, “ඔබලා ඒක බැරෑරුම් විදිහට හිතන්න එපා! 'මිත්‍රත්වය ඔබව පොහොසත් කරනවා.' ඒ කියමන තමයි අපි වගේ ව්‍යාපාරිකයන්ට වැදගත්ම දේ. යුද්ධ, දේශපාලන සිදුවීම් ගැන කලබල වෙන්න ඕනෙ ලොකු ලොකු තැන්වල ඉන්න මිනිස්සු! ඒවා අපිට අදාළ වෙන්නේ කොහොමද? අපිට වැදගත් වෙන්නේ යුද්ධයට සම්බන්ධ පාර්ශවයන් හෝ යුද්ධයක් තියෙනවද නැද්ද යන්න විතරයි! ”

ඔහුගේ බාධාව නිසා මඳක් අපහසු තත්වයෙන් පසු වූ වාතාවරණය අවසානයේදී යළිත් සැහැල්ලු විය.වාද විවාද කරමින් සිටි දෙදෙනා මදක් ලැජ්ජාවට පත් වූ අතර ඔවුන්ගේ ආහාර සහ වයින් භුක්ති විඳීමට නැවතත් වාඩි වූහ.

ගණුදෙණුකරුවන් අතරින්, කලින් නිශ්ශබ්දව සිටි සාමාන්‍ය ඇඳුම් හැඳගෙන සිටි දකුණට අයත් පෙනුමැති මිනිසෙක් හදිසියේම කතා කළේ ය, “මගේ මතය අනුවනම්, ඔබේ අනුමාන සියල්ල වැරදියි. ෂෝ අධිරාජ්‍යයාට යුද්ධයක් ආරම්භ කරන්න ඕනෙ නම්, අනිවාර්යයෙන්ම ඔහුගේ පළමු තේරීම චෙන් රාජවංශය නොවේවි. ව්‍යාපාරවලදී, ආරක්ෂිතම මාර්ගය වෙන්නේ දැනට චෙන් සහ ෂෝ අතරෙ ගමන් මාර්ගය.ඒ නිසා ෂෝ අධිරාජ්‍යයා ඒකට මුලින්ම අත තියන්නෙ නැති වේවි."

අනෙක් අය අසන්නට විය, "එහෙනම් කොහොමද?"

ඔහු පැහැදිලි කළේ ය, “මිනිස්සු හැමවෙලේම තෝරගන්නෙ රංචුවේ ඉන්න දුර්වලම සාමාජිකයන්. චෙන් රාජ්‍යයත් එක්ක සසඳද්දි, චී රට ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් තැනක්. ඒක චී රට නොවුණොත්, බොහෝ දුරට තුජුයේ වෙන්න පුලුවන්. කෙටියෙන් කිව්වොත්, ෂෝ අධිරාජ්‍යයා දැන්ම චෙන් රාජ්‍යය එක්ක යුද්ධයක් ආරම්භ කරන්නේ නැති වේවි."

ෂෙන් ච්‍යාඕ ද තම අතේ තිබූ කෑමකූරු යුගළ බිම තැබුවේ ය. ශරීරය ඝෘජුව තබා ගත් ඔහු සාවධානව අසා සිටියේ ය.

ඔහු වරක් මුළු නිකායකම ප්‍රධානියා ය. දාඕවාදී පාසලේ නායකයා වුව ද ෂුවාන්දු කන්ද හුදකලාවේ තිබූ නිසාත්, ඔහු මෙම දේවල් ගැන අවධානය යොමු නොකළ නිසාත්, සංචාරය කළ මෙම වෙළඳුන්ට සාපේක්ෂව ඔහු බාහිර ලෝකය ගැන දැන සිටියේ ඉතා අල්ප වශයෙනි. කන්දෙන් පිටව ගිය පසු මෙම අඩුපාඩුව ක්‍රමක්‍රමයෙන් හෙළිදරව් වී තිබූ අතර ඔහුම ඒ පිළිබඳව හොඳින් දැන සිටියේ ය. එම නිසා, ලෝකයේ තත්වය ගැන අන් අය කතා කරන සෑම අවස්ථාවකම ඔහු ඉතා අවධානයෙන් සවන් දුන්නේ ය.

කර්තෘගේ සටහන්:

ෂෙන් ච්‍යාඕ

1 min ago from Great Zhou wifi

කවුරුහරි අනෙක් අය ඉදිරියේ හෝ අනෙක් අය නැති තැනකදී ඔබට වෙනස් විදිහට සලකනවානම්, අනෙක් අය ඉදිරියේදි සමීපව, ඒත් අනිත් වෙලාවට දයාවක් නැතිව සලකනවානම්, ඔහු කරන්න හදන්නේ මොකක්ද?
හදිසියි, මම උදව් බලාපොරොත්තුවෙන් ඔන්ලයින් ඉන්නවා! (ප.ලි: අපි යහළුවෝ නෙවෙයි.)

1 Retweet 7 Comments 16 Likes

More Comments +

SpringDreamNeverWakes
කරුණාකර වඩා හොඳින් විස්තර කරන්න.

SteamedBun2.0PlusVersion-JuicySteamedBun
මම හිතන්නේ ඔහුට ඔබට පාපොච්චාරණය කිරීමට අවශ්‍යයි. නමුත් එය කිරීමට ලැජ්ජයි.

ShenQiao replied SteamedBun2.0PlusVersion-JuicySteamedBun
මෙම උපකල්පනය සම්පූර්ණයෙන්ම වැරදියි, එය කිසි විටෙකත් සැබෑ නොවෙනවානම් වඩාත් හො‍ඳයි. (⊙﹏⊙)b

XinXin
මම හිතන්නේ ඔහුට ඔබව ලුහුබැඳීමට අවශ්‍ය විය හැකියි. එබැවින් ඔහු හිතාමතාම ඔබ දෙදෙනා එකට සිටින බව අන් අයට සිතීමට සලස්වයි.

ShenQiao replied XinXin
මම හිතන්නේ ඔයාලා හැමෝම බොළඳයි කියලා...

YanWuShi
හීහී

ShenQiao replied YanWuShi
මම ඔබව සම්බන්ධතාවලින් අවහිර කරලා නැද්ද?

YanWuShi replied ShenQiao
හොඳයි හොඳයි

ShenQiao replied YanWuShi
……

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-