Skip to main content

දොළොස්වන පරිච්ඡේදය| සියල්ලන්ම මවිතයට පත් විය.

යැන් වුෂි යනු තරමක් විකේන්ද්‍රික හා අනපේක්ෂිත ආකාරයකින් ක්‍රියා කළ පුද්ගලයෙකු බව බොහෝ කලක සිටම බොහෝ අය අසා තිබුණි. ඔහුගේ ප්‍රකාශය ඇසීමෙන් අන් සියල්ලන්ටම වඩා සතුටු වූයේ බයි රොං ය.

අද රාත්‍රියේ සමගි නිකායෙන් පැමිණ සිටියේ ඇය පමණි. සෙන් නායක ෂුඑටිං, යැන් වුෂි සහ අනෙකුත් පිරිස ඉදිරියේ, ඇයත් හොඳම තත්ත්වයේ සිටි අයෙක් වූවත් මේ අවස්ථාවේ ඇයට තිබූ ශක්තිය අනුව සූර්යවාදයේ ඉතිරිව ඇති පිටපත ලබා ගැනීමට හැකියාවක් නොතිබුණි. ඇයට බොහෝ තුවාල වී තිබුණි.

නමුත් යැන් වුෂිගේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ඇයටත් වචනයක් දෙකක් ඇසීමට අවස්ථාවක් නිසැකවම ලැබෙන බව ඇය දැන සිටියා ය. එයින් ඇයට කොපමණ මතක තබාගත හැකි වේදැයි යන්න පිළිබඳව ඇය නොදැන සිටියත්, අවම වශයෙන් ආපසු ගිය පසු ඇයට ඒ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් හෝ ගත හැකි විය.

එලෙස සිතූ ඇය ෂෙන් ච්‍යාඕගේ අතේ තිබූ උණ ලීය දෙස බලා සිටියේ ගොදුරකට කෑදර වන මෘගයෙකු ලෙසින් තම බැල්ම අඟලක්වත් නොසෙල්වමිනි.

මුරොන් චින් සහ අනෙකුත් සියලු දෙනාගේ ද ප්‍රතිචාරය බයි රොංගේ ප්‍රතිචාරයට සමාන විය. සෙන් නායක ෂුඑටිං පමණක් එයට පක්ෂව නොසිටියේ, “නිකාය නායකතුමණි, මෙම පුද්ගලයා සටන්කාමී ලෝකයට අයත් වූවෙක් නොවේ. ඔහු අද මෙම පොතේ අන්තර්ගතය ශබ්ද නඟා කියවුවහොත්, අනාගතයේ දී මෙම පුවත පැතිර ගිය විට, සූර්යවාදයට ආශා කරන වෙනත් පුද්ගලයෙක් එය සොයා ගැනීමට නොහැකි වූ විට, ඔහුට ද්වේෂසහගත නපුරුකම් කළ හැකියි. එය අපිට වැළැක්විය හැකි දෙයක් නොවේ.ඔබ ඔහුව ඝෘජුවම ඝාතනය නොකළත්, ඔබ නිසා ඔහු මිය යා හැකියි!"

යැන් වුෂි කම්මැලි ලෙස පිළිතුරු දුන්නේ, “මහලු තට්ට බූරුවා, මෙය පැවසීම ඔබට කුහකකමක් නොවේද? ඔබ ෂෝවල ශ්‍රේෂ්ඨ ඇදුරුතුමන් ලෙස සිටි කාලයේදී ඔවුන්ගේ අධිරාජ්‍ය මාලිගයේ තිබූ පොත කියවා තිබිය යුතුයි. ඒ වගේම ඔබ මුලින් තියන්තායි නිකායේ ගෝලයෙක්. ඔබ නිකාය පාවා දෙන විට ඔබේ ස්වාමියා වන හුයිවෙන් මිය ගොස් සිටියේ නැහැ. ඔහු ඔබව කොතරම් අගය කළාද යන්න ගැන සිතුවොත්, ඔබ තියන්තායි නිකායේ තිබූ එකත් නිසැකවම කියවා ඇති. අද රාත්‍රියේ පිටපතට අමතරව, ඔබ දැනටමත් පොත් පහෙන් තුනක දැනුම ලබාගෙනයි ඉන්නේ. 'ප්‍රයෝජන ගැනීමෙන් පසු ගොදුරක් බවට පත්විය හැකි පුද්ගලයා'ට ගැලපෙන්නේ ඔබ නොවේද? ”

පුදුමයට කරුණක් නම්, යැන් වුෂිගේ වචනවලට මුරොන් චින් ද එකඟ වී උපහාසාත්මක ලෙසින් ෂුඑටිං හට මෙලෙස පැවසීමයි. “මහා ගුරුතුමනි, ඔබට විශේෂඥයෙකුගේ හැසිරීමක් ඇති බව සහතිකයි. ඒ නිසා ඔබට එය ඇසීමට අවශ්‍ය නැතිනම් ඔබට ඉවත් විය හැකියි. අන් අයගේ අනාගතය ගැන කරදර වී අපට බාධා කරන්නේ ඇයි? ඔබ මෙහි දී දීර්ඝ දේශන කරන්නේ ඒ සියල්ල ඔබ සතු කර ගැනීමට නොහැකි වූ බැවින් අතෘප්තිමත් වූ නිසාද?”

සුසුමක් හෙලූ සෙන් නායක ෂුඑටිං අවසානයේදී කතාව නැවැත්වී ය.

යැන් වුෂි, ෂෙන් ච්‍යාඕගේ පිටේ ඇති තීරණාත්මක නිල ස්ථානයක් වෙත ඇඟිලි දෙකක් තබා එම නිල ස්ථානය සක්‍රිය කර ඔහුට පැවසුවේ, "කියවන්න" කියා ය.

අන් අයගේ ඇස්වලට, එය පෙනුණේ යැන් වුෂි ඔහුට තර්ජනය කරන්නාක් ලෙසින් වුවත්, එම පුද්ගලයා යම් ආකාරයක රහස් කලාවක් භාවිතා කර ඔහුගේ අවහිරව තිබූ මෙරිඩියන් වලින් කොටසක් ක්ෂණිකව විවෘත කර ඇති බව දැන සිටියේ ෂෙන් ච්‍යාඕ පමණි. ක්ෂණිකව අභ්‍යන්තර චීවල උණුසුම් ප්‍රවාහයක් ඔහුගේ මුළු සිරුර පුරා ගලා ගිය අතර ඔහුගේ දෑස් ඉදිරිපිට දර්ශනය ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි වන්නට විය. දැන් ඔහුට සාමාන්‍ය මිනිසෙකුට මෙන් පෙනෙන්නට විය .

ෂෙන් ච්‍යාඕගේ ජීවිතය බේරනු ලැබුවේ යැන් වුෂි බව කිසිවෙකුත් සිහිනයකින්වත් නොසිතන්නට ඇත. කෙසේ නමුත්, ඔවුන් අතර එවැනි සම්බන්ධයක් තිබුණත්, යැන් වුෂි ඔහුට හිතකර ලෙස සලකනු ඇතැයි ෂෙන් ච්‍යාඕ කිසිවිටෙකත් විශ්වාස කළේ නැත. ඔහුගේ මනසට නොපැහැදිලි අදහසක් ඇති වූ අතර මෙම පුද්ගලයා කෙරෙහි ඔහුගේ තිබූ මතය තවත් එක් සීතල තට්ටුවකින් වැසී ගියේ ය.

ෂෙන් ච්‍යාඕ, එම පිටපත බහාලූ උණ බටය ගෙන, සෙමෙන් ගලවා එය විවෘත කළේය.

එය ලිස්සනසුළු අතිශයින් තුනී උණ බටයක් විය.ලියවිල්ල සම්පූර්ණයෙන්ම දිග හැරුණු පසු, එය මීටරයක් ​​පමණ දිගු බව දක්නට ලැබුණි.

එහි ලියැවී තිබුණු ලියවිල්ල ඉතා කුඩා වූවත්, ෂෙන් ච්‍යාඕගේ ඇස් පෙනීම තාවකාලිකව යථා තත්ත්වයට පත්ව තිබූ බැවින්, සඳ එළියේ ආධාරයෙන් ඔහුට එය දළ වශයෙන් කියවීමට හැකි විය.

සියල්ලෝම දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියහ.

එම බැල්මවල් හට පණ දිය හැකි නම්, දැනටමත් ඒවා ඊතල මෙන් ෂෙන් ච්‍යාඕගේ ගත වෙත පැමිණ සිරුරේ ගණන් කළ නොහැකි සිදුරු ඇති වී තිබෙන්නට ඇත.

වාක්‍ය පරිස්සමෙන් කියවීම සඳහා ඔහු දෑස් කුඩා කළ අතර, පසුව සෙමින් හා පැහැදිලිව සෑම වචනයක්ම සහ වාක්‍ය ඛණ්ඩයක්ම කියවූයේ, “දොම්නස, කැමැත්ත සඳහා රැකවරණය දෙයි. හඕතියන් වේදිකාවේදී එය නිදහස් කැමැත්තක් වන අතර ෂියන්තියන් වේදිකාවේදී එය විශ්වාසයයි..."

අභ්‍යන්තර චී නොමැති පුද්ගලයෙකුට ස්වභාවිකවම තිබෙන්නේ තරමක් සීමිත වූ සාමාන්‍ය ශ්‍රවණ පරිමාවක් වුණත් පැමිණ සිටි බොහෝ දෙනෙකුට කැපී පෙනෙන ශ්‍රවණ හැකියාවක් තිබුණි. එම නිසා, ඔවුන්ට ඔහුගේ වාක්‍යයන් පැහැදිලිව ඇසීමට හැකි විය.

උණ බම්බු ලියවිල්ල[1] තුළ එතරම් අන්තර්ගතයක් නොතිබුණි. ෂෙන් ච්‍යාඕගේ කියවීමේ වේගය අඩු වුවද, එය අවසන් කිරීමට ඔහුට ගත වූයේ උපරිම වශයෙන් පැයක කාලයක් පමණි.

උණ බම්බු ලියවිල්ල නැවතත් යැන් වුෂිට දෙන විට ඔහුගේ මුව වියළී ගොස් තිබුණි. යැන් වුෂි, ෂෙන් ච්‍යාඕගේ පිටෙන් අත ඉවතට ගත් අතර, සිරුර පුරා සංසරණය වෙමින් තිබූ එම අභ්‍යන්තර චීවල උණුසුම් ප්‍රවාහය හදිසියේම අතුරුදහන් වන බව ෂෙන් ච්‍යාඕට දැනුනි. ඔහුගේ දෑස් ඉදිරිපිට අඳුර යළිත් කෙමෙන් කෙමෙන් පැතිර යන්නට වූ අතර, සමහරවිට ඔහු ගත් ප්‍රයෝජනය සීමාව ඉක්මවා ගොස් තිබූ නිසා, ඔහුගේ දෑස්වලට ගින්නෙන් දැවී ගියාක් මෙන් දැවිල්ලක් දැනෙන්නට විය.

ඔහුට ඔහුගේ දෑස් වසා ගැනීමට එක් අතක් යොදා ගැනීමට සිදු වූ අතර අනෙක් අතින් උණ ලීය ආධාරයෙන් තමාව ස්ථාවර කර ගැනීමට සිදු විය. අස්ථාවරත්වය නිසා ඔහු තරමක් පිටුපසට ඇදී ගියේ ශරීරය තරමක් ආරුක්කු වෙන අතරතුරදී ය.

යැන් වුෂි ඔහුට කරදර කළේ නැත. උණ බම්බු ලියවිල්ල අතට ගත් ඔහු තම අත සෙලෙව්වේය. තවත් වචනයක්වත් කතා නොකළ ඔහු එම අත පෙරළූ අතර උණ බම්බු ලියවිල්ල ක්ෂණිකව  කුඩු බවට පත් වී වාතයට විසිරී ගියේය.

සියල්ලෝම තුෂ්නිම්භූත වූහ.

මුරොන් ෂුන් තවමත් තරුණ වියේ පසු වූ අයෙකු නිසා ඉක්මනින් කෝප විය. “ එතරම් වටිනා නිධානයක් වන සූර්යවාදය ඔබ විසින් විනාශ කළා!” යනුවෙන් කෑ ගසා කෝපය පිට කිරීමෙන් තමාව වළක්වා ගැනීමට ඔහුට නොහැකි විය .

යැන් වුෂිගේ කටහඬේ උදාසීන බවක් ගැබ්ව තිබුණි, "ඔහු දැනටමත් එය කියවා අවසන්. ඔබට මතක ඇති ප්‍රමාණය ඔබේම ව්‍යාපාරයක් මිස මගේ ව්‍යාපාරයක් නොවෙයි."

මුරොන් ෂුන් ඔහු දෙස බලා සිටි අතර ඔහුගේ හැඟීම් කැළඹිලිසහගත විය. මොහොතකට ඔහු ගොළු විය.

යැන් වුෂි තම අත් අත්පුඩි ගසන්නාක් මෙන් එකට ගසා දමමින් ඔහුගේ අත්වල ඉතිරි වූ කුඩු ඉවත් කළේ ය. අනතුරුව කිසිම පැකිලීමකින් තොර වූ ඔහු හැරී පිටව ගියේ ය.

ඔහුව නැවැත්වීම මේ ලෝකයේ බොහෝ දෙනෙකුට කළ නොහැකි වූ දෙයකි. සෙන් නායක ෂුඑටිං පවා චලනය නොවීය. ඒ නිසා අනෙක් අයට ද හැකි වූයේ අඳුරේ මැකී යන ඔහුගේ රුව දෙස හිස් බැල්මෙන් බලා සිටීම පමණි.

තුවාල ගැන තැකීමක් නොකළ බයි රොං වහාම ඔහු පසුපස හඹා ගියාය. කෙසේ වෙතත්, ඒ යැන් වුෂි පසුපස හඹා යාමට නොව, සූර්යවාදයේ පිටපතෙන් තමා කටපාඩම් කළ දේ ලිවීමට ස්ථානයක් සොයා ගැනීම සඳහා ය.

මුරොන් ෂුන් සහ තුඔබා ලියන්'ච යන දෙදෙනාම මුරොන් චින් වෙත තම දෑස් යොමු කළහ. මොහොතක් කල්පනා කොට තීරණයක් ගත් මුරොන් චින් “අපි යමු!” ලෙස පැවසී ය.

යුන් ෆුයි සහ ඇගේ මිනිසුන් දෙස තවත් බැල්මක් බැලූ ඔවුන් තිදෙනා ද එසැණින් පිටව ගියහ.

සෙන් නායක ෂුඑටිං මෘදු ලෙස සුසුම්ලමින් යුන් ෆුයිට පැවසුවේ, "උප නායක යුන් අද රාත්‍රියේ කම්පනය වන්නට ඇති. කරුණාකර මේ දුප්පත් භික්ෂුවගේ ආචාරය මා වෙනුවෙන් නායක දුඔ වෙත පුද දෙන්න."

ඔහු ද යුන් ෆුයි ආක්‍රමණය කළ ක්‍රියාවලියට සහභාගී වූ නමුත් සූර්යවාදයේ එම පිටපත දැනටමත් විනාශ වී තිබූ බැවින්, ඇය ඔහුව විවේචනය කිරීමට ඇති උනන්දුව මුළුමනින්ම නැති කර ගත්තා ය. එබැවින් “නායකතුමාටත් සුබ ගමන්.” යනුවෙන් නීරස ලෙස පැවසුවා ය .

සෙන් මාස්ටර් ෂුඑටිං පිටව ගිය පසු, ඇය හූ යාන් සහ හූ යූගෙන් ඉල්ලා සිටියේ ශාලා කළමනාකරුවන් දෙදෙනාට නැඟී සිටීමට උදව් කරන ලෙසයි. පසුව ඇය ෂෙන් ච්‍යාඕ සහ චෙන් ගොං වෙත පැමිණ මෙසේ පැවසුවාය, “අද රාත්‍රියේ ඔබට අනපේක්ෂිත අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්න සිදු වූයේ සය සහයෝගිතා සංධානය නිසා බැවින් මම ඒ ගැන ඔබෙන් සමාව ඉල්ලනවා. ඔබ දෙදෙනා ඊළඟට යන්නේ කොතැනටදැයි මට දැනගත හැකිද?අපහසුවක් නැත්නම්, අපට ඔබලාව රැගෙන යා හැකියි."

එය එදා නම්, චෙන් ගොං නිසැකවම සතුටින් ඊට එකඟ වනු ඇත. නමුත් එදින රාත්‍රියේ සිදු වූ දෙයින් "සෑම විටම වඩා හොඳ කෙනෙක් ඉන්නවා" යන කියමනෙන් අදහස් කරන්නේ කුමක්දැයි අවසානයේදි ඔහුට වැටහී තිබුණි. ඔහුගේ ආශාව ද බොහෝ සෙයින් අඩු වී තිබුණි. නමුත් සටන්කාමී ලෝකයට ඇතුළු වීමට හැකි මෙම අවස්ථාව අත්හැරීමට ඔහුට තවමත් නොහැකි වූ අතර ඇයට පිළිතුරු දෙන්නේ කෙසේද යන්න ගැන කල්පනා කරමින් සිටියේය.

කෙසේ වෙතත්, ඔහු අසල සිටි ච්‍යාඕ ඔහු පිළිතුරු දෙන්නට පෙර පැවසුවේ, “ඔබේ කරුණාවට බොහෝම ස්තූතියි. මුලින් අපි අපේ නෑදෑයන්ව බැලීමට දකුණට ගමන් කරමින් සිටියත් මේ වගේ දේවල් සිදු වනු ඇතැයි අපි හිතුවේ නැහැ. අපි දැන් සිටින්නේ හොඳටම බයවෙලා. ඒ නිසා අපට අවශ්‍ය ඉක්මනින්ම දකුණට යාමට. අපි සටන්කාමී ලෝකයෙන් පැමිණි අය නොවෙයි. එහි ව්‍යාපාරයට සම්බන්ධ වීමට අපට අවශ්‍ය නැහැ. එබැවින් කරුණාකර අපට සමාව දෙන්න. ”

මදක් කල්පනා කළ යුන් ෆුයි විමසුවේ, “දැන් කියවූ පිටපතේ තිබූ අන්තර්ගතය ඔබට තවමත් මතකද?” ලෙස ය.

ෂෙන් ච්‍යාඕ තම හිස මදක් අතගාමින්, “අපි දුප්පත් පවුලක අය. මගේ ඥාති සහෝදරයා නූගත්, මමත් අකුරු කිහිපයක් පමණක් දැනගෙන සිටියත් බොහෝ සම්භාව්‍ය වචන කියවා නැහැ. මගේ ඇස් දෙකේ පෙනීමත් නරකයි. ඒ විශාරදයා මොන මායාවක් කළාද කියලා මම දන්නේ නැහැ. ඒත් ඔහු මගේ පිටට අත තැබුවාම මට අකුරු දැකීමට හැකි වුණා. ඒත් මම කියවා අවසන් වුණාම ඔහු ඒ අත ගත්තා. එතනින් පසු මට කිසිදෙයක් පැහැදිලිව පෙනෙන්නේ නැහැ, කිසිම දෙයක් මතක තියාගන්නවත් බැහැ.”

ඔහුගේ දෑස් කිසිදු අවධානයකින් තොර වූවක් බව යුන් ෆුයි දුටුවා ය. සුදු පැහැති කොටසේ දුර්වල නිල් පැහැයෙන් වැසී ගොස් තිබූ බැවින් නිසැකවම එම දෑස්වල ගැටලුවක් ඇති බව පෙනෙන්නට තිබුණි, එබැවින් ඔහු පැවසූ දේ සත්‍ය බව ඇය දැන සිටියාය. ඔවුන් තම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ගැන ඇයට තරමක කනගාටුවක් ඇති වූ නමුත් ඇය ඔවුන්ට බල කළේ නැත. "ඒක හොදයි. අද රෑ අපේ ගමන ඉක්මනින් යා යුතු නිසා අපි මුලින්ම පිටත් වෙන්නම්. ඔබ දෙදෙනාට කිසියම් අවශ්‍යතාවක් ඇති වුවහොත්, නගරයේ පිහිටි සය සහයෝගිතා සංධානයේ උප ශාලාවට ගොස් මගේ නම [2] ඔවුන්ට පවසන්න.”

ෂෙන් ච්‍යාඕ ඇයට ස්තුති කළේ ය. ඔහු දෙස බලා අනුගමනය කළ චෙන් ගොං ද ඇයට ස්තුති කළේය.

යුන් ෆුයි සහ ඇගේ මිනිසුන් වැඩි වේලාවක් රැඳී සිටියේ නැත. ඔවුන් තවදුරටත් පෙට්ටි දෙක ගැන ද තැකීමක් කළේ නැත. හූ යාන් සහ හූ යූ තුවාල ලැබූ ශාලා කළමනාකරුවන් දෙදෙනා රැගෙන හැකි ඉක්මනින් නගරය ඇතුළතට ගමන් කළහ. මොහොතකට පෙර සෙනඟින් පිරී ගිය ආරාමය ඉක්මනින් පාළුවට පත් විය.

ඔවුන්ගේ රූප තමාගේ දෑස්වලින් නොපෙනී යන බව ඔහු දුටු පසු, චෙන් ගොං මෘදු ලෙස ෂෙන් ච්‍යාඕට තට්ටු කළේ ය. ඔහු තවමත් ඉතා පහත් හඬින් කතා කරමින් සිටියේ අන් අය තමාට ඇහුම්කන් දෙනු ඇතැයි බියෙන් මෙනි, “ඇයි ඇය අපිටත් ඔවුන් සමඟ එකට යමු යැයි පැවසූ විට ඔබ එකඟ නොවුණේ? අපි එසේ කළානම් එය ආරක්ෂිත නොවේද? ”

ෂෙන් ච්‍යාඕගේ දෑස්වල වේදනාව තවමත් නතර වී නොතිබුණත්, “එහෙනම්, මම කතා කරන අතරතුර ඔවුන් සමඟ යාමට අවශ්‍ය බව ඝෘජුවම කියමින් ඇයි ඔබ  මාව නැවැත්තුවේ නැත්තේ?” චෙන් ගොංගේ ප්‍රශ්නය අසා ඔහු සිනාසුණේය.

චෙන් ගොං තත්පරයකට පසුබට විය, "ඔවුන් සමඟ සසඳන විට, ඇත්තෙන්ම ඔබ වඩාත් විශ්වාසවන්තයි."

ෂෙන් ච්‍යාඕ සුසුම්ලෑවේ, "නියෝජ්‍ය නායක යුන් අපට ආරාධනා කළ එකම හේතුව නම්, ඇයට අසන්නට,ලැබුණු අන්තර්ගතය අසම්පූර්ණ යැයි වූ ඇයගේ බියයි. ඇයට අවශ්‍ය වූයේ පොත ලිවීමට අපෙන් උපකාරයි. අද රාත්‍රියේ සිදුවීමෙන් පසුව, මෙම ප්‍රවෘත්තිය පිළිබඳ බාහිර ලෝකය ඉක්මනින් සොයා ගනීවි. නිසැකවම, මිනිසුන් හැකි සෑම ආකාරයකින්ම පොතේ පිටපතක් ලබා ගැනීමට උත්සාහ කරනු ඇති. අපි ඔවුන් සමඟ ගමන් කළහොත්, අනතුරක් ඇති වූ විට, ඔවුන් විසින් මුලින්ම එළියට දමනු ලබන්නේ අපවයි."

චෙන් ගොංට හදිසියේම සත්‍යය අවබෝධ විය. ඔහුට ශාප නොකර සිටීමට නොහැකි විය, “ඒ කාන්තාව හදිසියේම මෙතරම් කරුණාවන්ත වීම පුදුමයක් නොවේ.එහෙනම් ඇයට දැනටමත් සැඟවුණු නපුරු උපක්‍රම තිබිලා. ඔබ නියමිත වේලාවට මාව නැවැත්තුවේ නැත්නම්, මම ඔවුන් පසුපස හඹා යන්නටත් තිබුණා!"

“මේ මගේ අනුමානයක් පමණයි. සූර්යවාදය ඉතා වටිනා නිධානයක් බැවින් එය ශබ්ද නඟා කියවූ විට ඔවුන්ට ඇසුණු දේ අමතක වේ යැයි ඔවුන් බිය වූ නිසා එය අනිවාර්යයෙන්ම ලියා ගනීවි. මෙම ලිඛිත අනුවාදයන් නිසැකවම සෑම කෙනෙකුටම ලබාගැනීමට අවශ්‍ය උණුසුම් අයිතම බවට පත්වෙනු ඇති. අපි සටන් කලාකරුවන් නොවේ. ඔවුන් සමඟ එකට ගමන් කිරීමෙන් අපට කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එයින් සිදු වෙන්නේ අපි විසින් අපිටම විපතක් ලබාගැනීම පමණයි.”

චෙන් ගොං කලකිරීමට පත් විය, “ඔබ නිවැරදියි. මට සය සහයෝගිතා සංධානයට එකතු වීමට අවශ්‍ය වුණේ ෆනින් දිස්ත්‍රික්කයේ ඔවුන්ට තිබූ තේජස නිසා. නමුත් අද රාත්‍රියෙන් පසු, මම තවදුරටත් මෙම මුළාවේ ගිලී සිටින්නේ නැහැ. මම සටන් කලාව ගැන කිසිවක් දන්නේ නැති බව මට වැටහුණා. මට ඇතුල් විය හැකි වුවත්, මගේ ජීවිතයේ ඉතිරි කාලය මම අත්කම්කරුවෙකු ලෙස පමණක් සිටීවි! ”

දෙදෙනා යළිත් වරක් ගමන ආරම්භ කළහ. සිද්ධියෙන් පැයකට වඩා වැඩි කාලයක් ගත වූ පසු, අවසානයේ ඔහුගේ දෑස්වල වේදනාව මඳක් පහව යන බවක් ෂෙන් ච්‍යාඕට දැනෙන්නට විය. කෙසේ වෙතත්, ඔහු දෑස් විවර කරන විට කිසිවක් පැහැදිලිව නොපෙණුනි. ඔහුගේ පෙනීම ඔහු ආරම්භ කළ නරකම තත්ත්වයට ආපසු පැමිණ තිබුණි.

ඔහු ඒ ගැන කල්පනා කළේය. යැන් වුෂි  ඒ අවස්ථාවේදි කළ දේ නිසා, නිසි  තත්වයට පත් කිරීමට මාස කීපයක් හෝ වසර කීපයක් ගත විය හැකි වූ ඔහුගේ දෑස් ක්ෂණිකව හොඳම තත්වයට පැමිණිය ද, අවසානයේදී කෙසේ හෝ ඔහු දුටු ඒ කෙටි ආලෝක අවස්ථාව සඳහා වන්දියක් ලෙස ඔහුට දැන් සුවය ලැබීමට තවත් කාලයක් අවශ්‍ය විය හැකිය.

ෂෙන් ච්‍යාඕට අමිහිරි සිනහවක් ඇති වීම වළක්වා ගත නොහැකි විය.

මේ පුද්ගලයා කෙතරම් හිත් පිත් නැති කෙනෙක්ද යන්න ඔහු අවසානයේ හොඳින්ම අත්වින්දේ ය. එදා ෂෙන් ච්‍යාඕව බේරා ගැනීමට යැන් වූෂි පෙලඹුණේ යම් ආකාරයක යහපත් චේතනාවක් නිසා නොවන බව ඔහුට වැටහුණි.

නමුත් අද රාත්‍රියේ... යැන් වුෂි මෙහි පෙනී සිටීම ඇත්තෙන්ම අහම්බයක්ද?

එක්වරම චෙන් ගොං ෂෙන් චියාඕගේ දෑතින් ඇද්දේ ය. ඔහුගේ ස්වරය තරමක් සිසිල් විය, “ එම කුඩා භික්ෂුව ලෙස වෙනත් කෙනෙකු පෙනී සිටි බැවින්, මුලින් ආරාමයේ වැඩ සිටි නායක වැඩිහිටි භික්ෂුව සහ කුඩා භික්ෂූන් දෙනම ගැන ඔබට කුමක් කිව හැකිද? ඒක වෙන්න බැහැ... ඒ අය දැනටමත් නිහඬ වෙලා වෙන්න බැහැ නේද?"

ෂෙන් ච්‍යාඕ කිසිවක් පැවසුවේ නැත.

ඔහුගේ නිශ්ශබ්දතාවය යම් ආකාරයක පණිවිඩයක් ලබා දුන්නාක් මෙන් විය. එය දුටු චෙන් ගොං සුදුමැලි වී නිහඬ විය.

ඔහු සෑම විටම නිර්භීත පුද්ගලයෙකු ලෙස පෙනී සිටි නමුත් බලයේ වැදගත්කම ඔහු ගැඹුරින් වටහා ගත් පළමු අවස්ථාව මෙයයි.

මෙවන් ලෝකයක ජීවත් වන විට ඊට අනුරූප ශක්තියක් නොමැති ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක සෙවණැලි මරණයක් සමඟ පූජාවක් අත්විය හැකි ය.

බලාපොරොත්තු වූ පරිදිම ඔවුන් සියල්ලම අවසන් ගමන් කරා ගොස් තිබුණි.

මළ සිරුරු තිබුණේ වැඩිහිටි භික්ෂුවගේ කාමරයේ ය. මිනීමරුවා එය වසන් කිරීමටවත් උත්සාහ නොකර තිබූ අතර ඔවුන්ව අවුල් සහගතව එහි දමා ගොස් තිබුණි. මෙය දුටු චෙන් ගොං කෙතරම් බිය වුණිද පැවසුවහොත්, ඔහුගේ දෙපා පවා පණ නැතිව ගොස් තිබුණි. ඔවුන්ගේ මළ සිරුරු එකතු කිරීමටවත් ශක්තියක් නොතිබූ ඔහු කෙලින්ම පසුපසට දිව ගියේ, පෙරළෙමින් සහ බඩගාමින් පය පැකිළෙමිනි. අවසානයේදී ඔහු මදක් සන්සුන් වූයේ ෂෙන් ච්‍යාඕගේ රුව දුටු පසුව ය.

ෂෙන් ච්‍යාඕ අන්ධ වුවත්, කෙසේ හෝ ඔහුට මිනිසුන්ට ශක්තිය ලබා දිය හැකිව තිබුණි.

චෙන් ගොංගේ දෙතොල් වෙව්ලන්නට වූයේ “ඔවුන්ව ඝාතනය කළේ කුඩා භික්ෂුවගේ වෙස් ගත් කාන්තාවද? ඇය එතරම් ශක්තිමත්ද..ඇයි ඇය ඔවුන්ට කතා කිරීමට හෝ චලනය වීමට නොහැකි ආකාරයේ යමක් නොකර ඔවුන්ව ඝාතනය කළේ? ”

"සමහරවිට, මෙය ඇයගේ ස්වභාවය විය හැකියි." ෂෙන් ච්‍යාඕ මොහොතක් නිහඬ විය. “සමහර පුද්ගලයන්ට ක්‍රියාවන් කිරීමට අනිවාර්යයෙන්ම හේතු අවශ්‍ය නැහැ. ඔවුන්ට අන් අයගේ ජීවිතත් පාලනය කළ හැකි බවයි ඔවුන් විශ්වාස කරන්නේ. එබැවින් ඔවුන් යහපත හෝ අයහපත කරන්නේද යන්න තීරණය කරන්නේ ඔවුන්ගේ කැමැත්ත මත පමණයි."

චෙන් ගොං හිස් බැල්මෙන් ඒ දෙස බලා සිටියේය. නායක වැඩිහිටි භික්ෂුවගේ දේහය මත වියළුණු ලේ පැල්ලම ඔහුගේ දෑස් ඉදිරිපිට තවමත් දිලිසෙමින් තිබුණි. අද රාත්‍රියේ සිදු වූ සෑම දෙයක්ම පසුගිය වසර දුසිමක් හෝ ඊටත් වැඩි කාලයක් තුළ ඔහු දැන සිටි දේවල් මෙන්ම අත්විඳින ලද දේවල්ද සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර තිබුණි. තවමත් කම්පනයේ ගැඹුරින් ගිලී සිටි ඔහුට බොහෝ වේලාවක් යනතුරු පියවි සිහියට පැමිණීමට නොහැකි විය.

'මම අනුන්ගේ අනුකම්පාවට ලක් වෙන පුද්ගලයෙකු බවට පත් නොවිය යුතුයි. මම අන් අය කෙරෙහි ආධිපත්‍යය දැරීමට හැකි තැනැත්තෙකු බවට පත් විය යුතුයි.'  අද රාත්‍රියේ දුටු ඒ විශිෂ්ට ප්‍රවීණයන් සිහිපත් කරමින් චෙන් ගොං සිතුවේ ය.

මෙම මාරාන්තික ගිහි ලෝකයෙන් ඈත්ව  සන්සුන්ව හා පරිණතව ජීවත් වන සෙන් නායක ෂුඑටිං හා සසඳන විට, පමණ ඉක්ම වූ අහංකාරය මුසු වූ ගාම්භීරත්වය රැඳි ස්වයං-කැමැත්තෙන් කටයුතු කළ යැන් වුෂි පිළිබඳව ඔහු තුළ තිබූ පැහැදීම ස්වභාවිකවම වැඩි විය.

ඔහු සිතන්නේ කුමක්දැයි ෂෙන් ච්‍යාඕ දැන සිටියේ නැත. චෙන් ගොං බියට පත් වී ඇතැයි සිතූ ඔහු චෙන් ගොංගේ උරහිසට කිහිප වරක් තට්ටු කර මෘදු ලෙස පැවසුවේ “සෑම හමුවීමක්ම දෛවයේ ප්‍රතිඵලයක්. ආරාම නායක වැඩිහිටි භික්ෂුව අපට නැවතීමට ඔවුන්ගේ ආරාමය ලබා දුන් බැවින්, එය ඔහු අපට කළ උපකාරයක් ලෙස සැලකිය යුතුයි.හෙට උදෑසන අපි ඔවුන්ව භූමිදානය කරමු." 

චෙන් ගොං දිගු හුස්මක් පිට කළේය. "ඔව්"

පරිවර්තකගේ සටහන්:

[1] Bamboo Slips (竹简 zhu jian): මිනිසුන් අතර කඩදාසි ප්‍රචලිත වීමට පෙර චීනයේ ලේඛන සඳහා ප්‍රධාන මාධ්‍ය වූයේ උණ බම්බු සහ ලී ස්ලිප් ය.

[2] ඔවුන්ට මගේ නම කියන්න: ඔවුන් ඇය සමඟ සම්බන්ධයක් ඇති බව පැවසීමේ ක්‍රමයක්.

පෙර පරිච්ඡේදය |සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. ඕකේ සම්පූර්ණ එක හොයාගෙන කටපාඩම් කලොත් එයාලා අපිවත් හොයිගෙන එයිද ? 😂

    ReplyDelete
  2. හරිම ලස්සනයි කතාව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-