Skip to main content

දහතුන්වන පරිච්ඡේදය | එය කුමන ප්‍රමෝදයේ රසයක් වේවිද?

 පසුදා අලුයමින්ම අවදි වූ ඔවුන් නගරයට ඇතුළු වීමට පෙර මුලින්ම කළේ මිය ගොස් සිටි වැඩිහිටි නායක භික්ෂු නමගේ සහ කුඩා භික්ෂූන් වහන්සේලා දෙනමගේ සිරුරු තැන්පත් කිරීමයි.

ඊයේ රාත්‍රියේ සිදු වූ සිදුවීමෙන් පසු චෙන් ගොං සිටියේ දුනු ඇදීමකින් වුවද තිගැස්සෙන කුරුල්ලෙකු මෙන් ය. ඔහුට තවදුරටත් නගරයේ සිටීමට අවශ්‍ය නොවීය. ඈතින් දර්ශනය වූ 'සය සහයෝගිතා සංධාන උප ශාලාව' යන පුවරුවේ දර්ශනයෙන් පවා බියපත් වූ ඔහුට ඇවැසි වූයේ ෂෙන් ච්‍යාඕව ඇදගෙන හැකි ඉක්මනින් මෙම ස්ථානයෙන් ඈතට ගමන් කිරීමට  පමණි. සිනහවෙන්නටදැයි, අඬන්නටදැයි සිතාගත නොහැකි වූ ෂෙන් ච්‍යාඕ අවසානයේදී ඔහුට පැවසුවේ, “කිසිවෙක් අපව දකින්නේ නැහැ. අපේ නම්වත් දන්නේ නැහැ. ඔබ එතරම් බිය විය යුතු නැහැ.” ලෙස ය.

වැකිය පවසා අවසන් වීමත් සමඟම, ඔවුන්ට ඇසුණේ අසල තිබූ බිත්තිය දෙසින් කවුරුන් හෝ හුස්ම ගන්නා ශබ්දයකි. "මමනම් හිතන්නේ ඔහුගේ බිය සාධාරණයි කියලයි. ඒත් ආපහු සිතද්දි, ඊයේ රෑ ආලෝකය  කෙතරම් අඩුද පැවසුවොත් මේ මහත්මයාගේ මුහුණ කෙතරම් චමත්කාරජනක මුහුණක්ද කියලා මටවත් පෙනුණේ නැහැ. බොහෝ දුරට මට එය මග හැරෙන්න ඇති! ”

කටහඬ මිහිරි මෙන්ම සුරතල් විය. වැදගත්ම දෙය නම්, එය අතිශයින් හුරුපුරුදු විය.

චෙන් ගොං සිතුවේ ඔහු කටහඬ හඳුනාගත් බවයි. හිස ඔසවන විට, බිත්තිය මත වාඩි වී සිටින තරුණියක් ඔවුන් දෙස බලා මිහිරි ලෙස සිනාසෙමින් සිටි බව ඔහු දුටුවේය. ඇය රතු වස්ත්‍රයකින් සැරසී සිටියාය. ඇගේ කළු, දිගු කොණ්ඩය රන් මුදු දෙකක් මඟින් ඉහළට ඔසවා බැඳ තිබුණි. කටහඬ හැර ඊයේ රාත්‍රියේ සිටි කුඩා භික්ෂුවට සමාන සළකුණු බිඳක්වත් ඇය සතුව තිබුණේ නැත.

මීට පෙර දිනවලදීනම් මෙවැනි රූ සපුවක් ඇති ලස්සන තරුණියක් පාරේ ඇවිදිමින් සිටියත් චෙන් ගොංගේ බැල්ම අනිවාර්යයෙන්ම ඇය දෙසට වැටෙයි. කෙසේ වෙතත්, මේඝ තරණ ආශ්‍රමයේ වාසය කළ භික්ෂූන් තිදෙනාගේ බිහිසුණු මරණය ගැන සිහිපත් වූ ඔහුට දැන් දැනුනේ සිරුර පුරා හිරි වැටෙන සීතලක් පමණක් වන අතර ඇය දෙස නැවත බැලීමට තරම් ධෛර්යයක්වත් ඔහු සතුව නොවී ය.

බයි රොං සිනාසෙමින්, “ඇයි ඔබ එතරම් බිය වෙලා? පැරණි මිතුරෙකු නැවත හමුවීමට ලැබීම ගැන ඔබට සතුටු නැද්ද? මම මෙතනට ආවේ ඔබලාව හමුවෙන්නමයි! ”

ෂෙන් ච්‍යාඕගේ දෑස්වල තිබූ ආබාධය හේතුවෙන් ඔහුට හැකි වූයේ කටහඬ පැමිණි දිශාව දෙසට හැරී දෑත් යොදාගෙන ආචාර කිරීමට පමණි. "මේ මහත්මිය අපිව හොයන හේතුව කුමක්දැයි මට දැනගන්න පුලුවන්ද?"

බයි රොං, “මේ මහත්මිය ලෙසින් මට අමතන්නේ ඇයි?එවිට මට දැනෙන්නේ අපි නාඳුනන අය වගේ. මගේ පවුලේ නම බයි. බයි රොං. එය පියෝනි මල්වලට කියන තවත් නමක්. ඒ නිසා ඔබට මාව 'පුංචි පියෝනි' ලෙසත් හඳුන්වන්න පුලුවන්!"

කතා කරන අතරම ඇගේ සිරුර චලනය වූ අතර සැණෙකින් ඇයගේ රුව ඔවුන් ඉදිරියෙන් දිස් විය.

ඇය ෂෙන් ච්‍යාඕ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබුණි. ඇය ඔහුගේ මුහුණ ස්පර්ශ කිරීමට පවා උත්සාහ කළා ය.

ඇගේ ඇඟිලි ඔහුගේ මුහුණ පිරිමදින්නට ඔන්න මෙන්න,කියා තිබියදී, ඇගේ අභිප්‍රාය වැටහුණු ෂෙන් ච්‍යාඕ වහාම අඩි දෙකක් පසුපසට ගත් බවක් පෙනුණි.

සිනාසුණු බයි රොං තමන්  පැමිණි කාරණය ඝෘජුවම පැවසුවේ, “ඊයේ රාත්‍රියේ, ඔබගෙන් එක් අයෙක් පිටපත කියෙව්වා.අනෙකාට සම්පූර්ණයෙන්ම එය ඇසුණා. එබැවින් ඔබ දෙදෙනාටම එහි අන්තර්ගතය බොහෝමයක් මතක ඇතැයි මම සිතනවා. මම එය මතක ආකාරයට ලියාගන්න උත්සාහ කළත් මට හරියටම මතක නැති සමහර තැන් තිබෙනවා. ඒ නිසා එය නිවැරදිව ලියාගැනීමට මට දැන් ඔබේ උදව් අවශ්‍යයි. ත්‍යාගය ගැන පවසනවානම්... අපි මෙය අවසන් කළ පසු, ඔබ කැමති ඕනෑම දෙයක් ඔබට ඉල්ලා සිටිය හැකියි. එය සුන්දරත්වය හෝ ධනය යන ඒවාගෙන් කුමක් වුවත්, ඔබ කැමති දේ ඔබට ලැබෙනු ඇති."

ඇය අවසන් වාක්‍යය අලංකාර ලෙස ඇද පැද පැවසුවා ය. ඇගේ සෞම්‍ය කටහඩ තුළ ස්ත්‍රී මායම්වල යටි ධාරාවක් ගැබ් වී තිබුණි. එය ඕනෑම පිරිමියෙකුගේ හද සසල කිරීමට තරම් ප්‍රමාණවත් විය.

ස්වරය ඇසුණු චෙන් ගොංට දැනුණේ ඔහුගේ කන් පිළිස්සෙන බවකි.  සුන්දරත්වයට වසඟ වූ ඔහු එකඟ වීමට ආසන්නව සිටි නමුත් හදිසියේම ඔහුට දැනුණේ තම උරහිස මත,අතක් වැනි යමකින් ඇති වූ ග්‍රහණයකි. සැණෙකින් අවුල් සහගත මානසික තත්ත්වයෙන් මිදුණු ඔහු, එක්වරම රැට්ල් බෙරයක් මෙන් වේගයෙන් හිස දෙපසට සෙලවීමට පටන් ගත්තේ, "ඒත් මට අකුරු කියවන්න බැහැ!" ලෙස පවසමිනි.

ෂෙන් ච්‍යාඕ ද පැවසුවේ, “ඔබ සොයන්නේ වැරදි මිනිස්සු. ඔහු නූගත් සහ මම අන්ධයි. මම ඊයේ රෑ කළේ පොතේ තිබූ වචනයෙන් වචනය කියවීම පමණයි. කියවා අවසන් වූ පසු මට සියල්ල අමතක වුණා. එබැවින් අපට මේ සඳහා කිසිම උදව්වක් කළ හැකි යැයි මම සිතන්නේ නැහැ."

බයි රොං සිනාසෙමින්, “ඇත්තෙන්ම ඔබට මතක නැතිව ඇති. මොකද ඔබ දැන් ඉන්නේ බොහෝ කලබලයෙන් වගේම තැතිගැන්මෙන්.මාත් සමඟ ආපසු ගිය පසු ඔබට ඒ ගැන සිතා බැලීමට ඔබේ කාලය ගත කළ හැකියි. සමහරවිට ඔබට ඒ වන විට බොහෝ දේ මතකයට ඒවි. ඇත්තටම ඔබට මං වගේ ලස්සන තරුණියක්ව ප්‍රතික්ෂේප කරන්න තරම් හිතක් තිබෙනවද?"

පැවසීමෙන් අනතුරුව ඔවුන් පිළිතුරු දෙන තෙක් ඇය බලා සිටියේ නැත. ඒ වෙනුවට, ඇගේ අත ඔවුන් දෙසට වේගයෙන් පැමිණුනි.

චෙන් ගොංගේ මනස ක්‍රියා විරහිත විය. ඔහුගේ ශරීරයට පැන යාමට අවශ්‍ය වූ නමුත් ඒ සිහින් සුදු අත තමා වෙතට ළං වන බව දුටු ඔහුට සිය ශක්තිය නැති වන බවක් දැනුණි. ඔහුට හැකි වූයේ තම උරහිස මතින් තැබූ ඒ අත දෙස බලා සිටීමට පමණි. ඔහුගේ කකුල් අඩපණ වූ අතර මුළු සිරුරේම ශක්තිය හීන වී ගියේ ය.

“කනිෂ්ඨ සටන් සහෝදරිය, මෙතරම් හොඳ මනෝභාවයකින් ඉන්න අවස්ථාවකදී පවා ඔබ හදන්නේ නැවතත් කෙනෙක්ව මරන්නද?" අතිශය කඩවසම් මුහුණක් තිබූ, නමුත් පැරණි තාලයේ කටහඬක් ඒ මොහොතේම අවකාශය හරහා පැතිරී ගියේ ය.

තාප්පයක් මත සිට පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් බිමට බැස ගිය එක් මිනිසෙකි. ඔහුගේ මුව සිනහවකින් ඔප ගැන්වී තිබුණත් එම සිනහව දුටු බයි රොංගේ මුහුණ මඳක් සුදුමැලි වී ගියේ ක්ෂණයකිනි. “අපිට නිතරම එකිනෙකාව දකින්න අවස්ථාවක් ලැබෙන්නේම නැති තරම්. කණිෂ්ඨ සටන් සහෝදරියට මාව දැකලා සතුටුයි නේද?”

චෙන් ගොං සහ ෂෙන් ච්‍යාඕ වෙත යෙදූ අවධානය දැනට අතහැර දැමූ බයි රොං අකමැත්තෙන් යුක්තව සිටියත් ඇයගේ ඇස් ඉදිරිපිට සිටි ආගන්තුකයා සමඟ ගනුදෙනු කිරීමට තම පූර්ණ අවධානය යොමු කළා ය. “මොනවද ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා මේ කියන්නේ? මට දැන් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූයේ මා පුදුමයෙන් සතුටට පත් වූ නිසා. මම ඉතා දිගු  කාලෙකින් ඔබව දුටුවේ නැහැ."

හුඕ ෂිජින් මඳ සිනහවකින් යුක්තව ඇය දෙස බැලීය. ඉන් පසු චෙන් ගොං පසුකර ගිය ඔහුගේ බැල්ම ෂෙන් ච්‍යාඕ වෙත පතිත විය. ඔහුගේ ප්‍රකාශනය වෙනස් වූ අතර, ඔහුගේ උනන්දුව දැල්වුණි. "ඉතාමත් ලස්සන මහත්මයෙක්. කණිෂ්ඨ සටන් සහෝදරිය, කොහොමත් ඔබ ඔහුව මරන්නයි හදන්නේ. ඉතින් ඇයි ඔබ මුලින්ම ඔහුගේ මුහුණේ සම මට දීලා ඊට පස්සේ එයාව මරන්නේ නැත්තේ?"

බයි රොං, ෂෙන් ච්‍යාඕ සහ හුඕ ෂිජින් අතරමැදින් බාධාවකින් තොරව ඉදිරියට ඇවිද ගියා ය. "ජ්‍යෙෂ්ඨ සටන්  සහෝදරයා විහිළු කරන්න කැමතියි වගේ. මම කවදාවත් ඔවුන්ව මරන්න හිතුවේ නැහැ. ඒ ගැන කතා කරනවානම් ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා මේ වෙලාවේ මෙතනට ආවේ ඇයි? පැරණි දවස් ගැන මාත් සමඟ කතාබස් කිරීමට අවශ්‍ය වූ නිසා මෙතරම් සැතපුම් දහස් ගණනක් දුර පැමිණි බවනම් මට කියන්න එපා?"

හුඕ ෂිජින් පිළිතුරු දුන්නේ, “කනිෂ්ඨ සටන් සොහොයුරියට ඊයේ රාත්‍රියේ අතිශයින් විශාල වාසනාවක් ලැබුණු බවක් මට ඇසුණා. මම ඒ අසලින් ගිය නිසා එය කුමක්දැයි බැලීමට තීරණය කළා."

බයි රොං පිළිතුරු දුන්නේ, “ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා පවසන්නේ මොන වගේ ප්‍රහේලිකාවක්ද? මට පැහැදිලි නැහැ වගේ.."

සැහැල්ලු කටහ‍ඬකින් හුඕ ෂිජින් පැවසුවේ, “ඊයේ රාත්‍රියේ,නගරයෙන් පිටත පිහිටි ආරාමයේ සය සහයෝගිතා සංධානය නැවතී සිටියා. ඔවුන් ළඟ සූර්යවාදයේ එක් පිටපතක් තිබුණා. නමුත් පිටපත යැන් වුෂි විසින් විනාශ කළා. ඒ අවස්ථාවේ ඔබත් එතන සිටියා. මට අහන්න ලැබුණා පිටපත විනාශ වීමට කලින් යැන් වූෂි එය එම ස්ථානයේ සිටි කෙනෙකුට එක් වරක් ශබ්ද නඟා කියවීමට ලබා දුන් බව. කනිෂ්ඨ සටන් සහෝදරිය කෙතරම් දක්ෂද පවසනවානම්, ඔබ එය ලියාගත් අතර එය නිකාය නායකතුමාට භාර දීමට සූදානම්ව ඇතැයි මම සිතනවා, මම හරිද?”

බයි රොං ඇගේ දිව දිගු කළේ කුඩා දැරියන් කෝපය මවා පාන ආකාරයක් මෙනි. “නායකතුමාට මම කෙතරම් ගරු කරනවාද පැවසුවොත් මේ වගේ දේවල් සම්බන්ධයෙන්, ඇත්තෙන්ම මට එය කෙලින්ම නායකතුමාට බාර දී එය හසුරුවන්නේ කෙසේද යන්න ගැන නායකතුමාටම තීරණයක් ගැනීමට ඉඩ දෙන්න වෙනවා. ඒ ආරංචිය ඇසීමෙන් පසු ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයාට මගේ ගෞරවය  සොරකම් කරන්න අවශ්‍ය වෙලා වෙන්න බැහැ නේද? මොකද එය එසේ වුණත් මම එයට අවස්ථාවක් දෙන්නේ නැහැ"

හුඕ ෂිජින් පැවසුවේ, “ඔබේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයාට මේ සඳහා හොඳ අදහසක් තිබෙනවා. එය ඔබ වෙනුවෙන් තබා ගැනීමට ඔබ මට ඉඩ නොදෙන්නේ ඇයි? පසුව අපිට හැකියි එකතු වී ආපසු ගොස් නායකතුමා වෙත එය වාර්තා කිරීමට. මේ ආකාරයට කළහොත්, එය අහිමි වීම ගැන ඔබටත් කරදර වීමට අවශ්‍ය නැහැ."

බයි රොං සිනාසෙමින්, “ජ්‍යේෂ්ඨ සටන් සහෝදරයා, ඔබ සිතන්නේ මම මෝඩයි කියාද?”

හුඕ ෂිජින් ද සිනාසුණේය, “ඔබේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයාව මේ තරම් අවිශ්වාස කිරීම ගැන මගේ හදවත බිඳුනා!”

මේ සටන් සහෝදරයන් දෙදෙනා සිනාසෙමින් කතා කළත් සත්‍ය වූයේ ඒ සෑම වචනයක් තුළම කඩු තල තියුණු ලෙස සැඟවී තිබීමයි. දෙදෙනාම කතාබහ කරමින් සිටියත් ඒ අතරම අනෙකාගේ අනාරක්ෂිත දුර්වල ස්ථාන පිළිබඳ ඉඟි ගැන විපරමින් පසු වූහ.

බයි රොං තත්පරයකටවත් ඇගේ ආරක්ෂාව අඩු කිරීමට එඩිතර වූයේ නැත. ෂෙන් ච්‍යාඕ, චෙන් ගොං සමඟ පලා ගිය බව ඇය පැහැදිලිවම දැන සිටියත්, ඔවුන් වෙත අවධානය යොමු කිරීමට ඇය පියවරක්වත් ගත්තේ නැත. නොදැනුවත්වම හුඕ ෂිජින්ගේ උගුල්වලට හසු වේ යැයි බිය වූ ඇය  ඔහු වෙත සිය පූර්ණ අවධානය යොමු කළා ය.

ඇහි බැම මදක් එසවූ හුඕ ෂිජින් පැවසුවේ, “ඔවුන් ගියා. කණිෂ්ඨ සටන් සහෝදරිය, ඔබ ඔවුන් පසුපස ලුහුබඳින්නේ නැද්ද?”

බයි රොං සිනාසෙමින්, "මම හිතන්නේ ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා වැදගත් බවයි."

සංවාදය අතිශයින් ආදරණීය සහ හැඟීම්බර ලෙස පෙනුනද, එය කිසිසේත්ම එසේ නොවන බව ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ හදවත්වලින් දැන සිටියහ.

ෂෙන් ච්‍යාඕ ඔහුව ඇදගෙන ගොස් එකට පැන ගියේ කෙසේදැයි චෙන් ගොංවත් දැන සිටියේ නැත. සැරයටියේ ආධාරයෙන් දිව ගිය ෂෙන් ච්‍යාඕ ඔහුට සිතුණු මාවතක ඉදිරියට පළා ගියේ දෙවරක් නොසිතා ය. ශක්තියක් ඉතිරිව නොතිබූ චෙන් ගොංට හැකි වූයේ, ෂෙන් ච්‍යාඕගේ පිටුපසින් යමින් ඔහුට උපදෙස් ලබා දීමට පමණි. ඔවුන් දෙදෙනා පැයකට වැඩි කාලයක් දිව ගිය අතර අවසානයේදී තවත් දිවීමට ශක්තියක් නොතිබූ චෙන් ගොං පැවසුවේ, “න..-නවතින්න, මට තවත් දුවන්න බැහැ...” යැයි කනස්සල්ලෙනි.

ෂෙන් ච්‍යාඕ, වේගය අඩු කළ නමුත් ළඟම ඇති තානායම දෙසට ගමන් කළේ ඔහුගේ ඉරියව්වෙහි කිසිදු ගෞරවනීය බවක් ඉතිරි නොකරමිනි.

චෙන් ගොං කඩිමුඩියේ ඇසුවේ, “අපි නගරයෙන් පිටව යන්නේ නැද්ද? ඉක්මන් කරලා අපි පිටතට යමු, ඒ යක්ෂ කාන්තාවට අපිව අල්ලගන්න බැරි වෙන තැනකට යමු!”

ෂෙන් ච්‍යාඕ පැහැදිලි කළේය, “අපට මෙහි රැඳී සිටීමට තවත් හේතුවක් තිබෙනවා. අප නගරයෙන් පිටව යනු ඇතැයි ඔවුන් අනිවාර්යයෙන්ම සිතනවා. නමුත් නගරය ඇතුළත වැඩි පිරිසක් සිටින නිසා ඔවුන්ට අපව සොයා ගැනීම එතරම් පහසු නොවේවි.මුලින්ම අපි තානායමේ රැයක් නැවතී පසුව හෙට දින නගරයෙන් පිටව යාමට අවස්ථාවක් හොයාගමු.කලින් පැමිණි පුද්ගලයා නිසා ටික කාලයක් යන තෙක් ඇයට අප ගැන කිසිම අවධානයක් යොමු කිරීමට බැරි වේවි.”

ඔවුන් තානායම තුළට ගොස් කාමරයක් ඉල්ලා සිටියහ. ෂෙන් ච්‍යාඕ ඉතා වේගයෙන් ඇවිද ගියත්, සම්පූර්ණයෙන්ම වෙහෙසට පත්ව සිටි බව චෙන් ගොං දුටුවේ ය. ෂෙන් ච්‍යාඕගේ ශරීරය ඔහුට වඩා බෙහෙවින් දුර්වල බවත් ඔවුන් කෙටි දුරක් ගමන් කළ විට පවා සෑම අවස්ථාවකම ෂෙන් ච්‍යාඕට හුස්ම ගැනීම සඳහා නැවතී සිටීමට සිදු වූ බවත් ඔහුට සිහිපත් විය. ඔහු ගැන කණස්සල්ලට පත් චෙන් ගොං, “ අද රාතියේදී මම බිම නිදාගන්නම්, ඔබ ඇඳ මත විවේක ගන්න.” යැයි යෝජනා කළේ ය.

වෙනදා ෂෙන් ච්‍යාඕ මෙවැනි යෝජනා නිහතමානීව ප්‍රතික්ෂේප කළත් එදින ඔහු එසේ කළේ නැත. මන්ද යත් ඔහුට වැඩි වේලාවක් එය දරාගෙන සිටිය නොහැකි වූ බැවිනි. ඊයේ රාත්‍රියේ යැන් වුෂි විසින් ඔහුගේ සිරුරට අභ්‍යන්තර චී ඇතුල් කළ මොහොතේ සිට ඔහුගේ දෑස් වෙහෙසට පත් වූ අතර හිසේ සිට පාදය දක්වා දුර්වල බවක් දැනෙන්නට විය. මීට පෙර ඔහු එම පීඩනය දරාගෙන සිටියත්, දැන් විවේක ගැනීමට හැකි වූ පසු, ඔහු වහාම ක්ලාන්ත වී කඩා වැටීමට ආසන්න විය.

චෙන් ගොං තරමක් කුතුහලයෙන් යුක්තව ඇසුවේ, “ඔවුන් සටන්  සහෝදරයෝ. නමුත් ඔවුන් සතුරන් මෙන් ක්‍රියා කරන්නේ ඇයි? ඒ මිනිහාත් ටිකක් අමුතුයි. ඔහුගේ කටහඬ වයසක මිනිසෙකුගේ වගේ. නමුත් ඔහුගේ මුහුණ ඉතා තරුණයි!

එක් අතක ඇඟිලි දෙකකින් තම නළල දෙපස පිරිමදිමින් සිටි ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ, “ඔහු 'සූර්ය යෝජනා ක්‍රමය' ප්‍රගුණ කරන නිසා [1] .

චෙන් ගොං ඇසුවේ, “‘සූර්ය යෝජනා ක්‍රමය යනු කුමක්ද?”

'ඒ නම හරිම චමත්කාරජනකයි'  ඒ අතරම ඔහු සිතුවේ ය.

ෂෙන් ච්‍යාඕ පැහැදිලි කළේ, “එය මුහුණුවල සම් මාරු කිරීමේ කලාවක්. සදහටම තරුණ ලෙස සිටීමට සහ ලස්සන වීමට භාවිතා කරන යම් ආකාරයක රහස් කලාවක්. අනුන්ගේ මුහුණුවල සම ගලවා එය තමාගේම සම සමඟ ඒකාබද්ධ කිරීමක්. ඔවුන් සටන් සහෝදරයන් වුනත් ඔවුන් එකිනෙකා කෙරෙහි අමනාපයි. ඔවුන් දෙදෙනා එලෙස සටන් නොකළේනම්, අද අපිට සාර්ථක ලෙස පැන යාමට නොහැකි වීමටත් තිබුණා.”

එයට සවන් දීමෙන් ඔහුගේ රුධිරය සීතල වී ගිය බවක් දැනුණු චෙන් ගොංට, “මේ වගේ ද්වේෂසහගත කලාවක් තිබෙන්නේ කෙසේද?!” යනුවෙන් කෑගසා නොඅසා සිටීමට නොහැකි විය.

තවදුරටත් අසීරුවෙන් අවදි වී සිටීමට නොහැකි වූ ෂෙන් ච්‍යාඕ තම වස්ත්‍ර එලෙසම තිබියදී ඒ ආකාරයෙන්ම සැතපුනේ චෙන් ගොං දෙසට මුහුණ ලා ය. සිරුර මදක් වකුටු කරගත් ඔහුගේ සුදුමැලි වත මත දිගු ඇහිබැම හැකිලී තිබුණේ ඔහු තම දිවියේ අවසන් දින කිහිපය ගතකරන අයුරින් ය.

ෂෙන් ච්‍යාඕ සමඟ සංචාරය කිරීමට පටන් ගත් මුල් දවස්වල චෙන් ගොං සිතුවේ ෂෙන් ච්‍යාඕ ඕනෑම මොහොතක කඩා වැටෙනු ඇති බවයි. ඒ නිසා ඔහු කනස්සල්ලට පත්ව සිටියද, ෂෙන් ච්‍යාඕ සෑම විටම සිටින්නේ එලෙසින් බව දුටු ඔහු පසුව එයට පුරුදු විය.

එක්වරම යමක් මතකයට පැමිණි ඔහු කල්පනාකාරීව ඇසුවේ, “ඔබට කිසිම දෙයක් මතක නැහැ කියලා නේද ඔබ මුලින් කිව්වේ? එහෙනම් ඔහු මුහුණු මාරු කිරීමේ කලාව ප්‍රගුණ කළ බව ඔබ දැනගත්තේ කෙසේද? ”

"මට සමහර වෙලාවට සමහර දේවල් මතකයට එනවා."

චෙන් ගොංගේ සිත ගැස්සුනි.

“අපි නිදාගමු. හෙට උදෑසන අපි අවදි විය යුතුයි." පැහැදිලිවම පෙණුනේ ෂෙන් ච්‍යාඕ ඒ ගැන තවදුරටත් කතා කිරීමට කැමති නැති බවකි. පසුව ඔහු චෙන් ගොංට පිටුපාමින් අනෙක් පසට හැරුණි.

චෙන් ගොංට ද වැතිර සිටීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවීය.

එදින රාත්‍රියේ ඔහු බියකරු සිහිනයක් දුටුවේ ය. එහි, ඔහුගේ මුහුණේ සම ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට වයසක මිනිසෙකුගේ රැලි වැටුණු මුහුණක සමක් ඔහුගේ මුහුණේ මාංශවලට උඩින් පිහිටා තිබුණි. දර්පණය තුළින් බැලුව ද තමන්ටවත් තමන්ව හඳුනාගැනීමට නොහැකි විය. බියට පත් වූ ඔහු අවසානයේ අවදි වූයේ තිගැස්මක් තම සිරුර පුරා දිව යද්දී ය. වේලාව දහවල් දොළහට ආසන්නව තිබූ අතර ඒ වන විටත් ඇඳ හිස්ව තිබුණි.

ෂෙන් ච්‍යාඕ පිටත් වී තිබුණි.

සිහිනයේ කම්පනයෙන් මදක් ඔත්පලව සිටි චෙන් ගොං එසැණින් එයින් මිදුණි.ඔහුගේ හිස අවුල් ජාලයක පැවතුනද ඔහු තම අත්වලින් හිස් ඇඳ ස්පර්ශ කරමින් පරීක්ෂා කළේ ය. එය දැනටමත් සීතල විය. පිටතට ගොස් ෂෙන් ච්‍යාඕව සොයා යා යුතුද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට සිත මෙහෙය වූ ඔහු එක්වරම දුටුවේ දොර තල්ලු කර ඇතුලට පැමිණෙන ෂෙන් ච්‍යාඕව ය.

සැනසුම් සුසුමක් හෙලූ ඔහු, "ඔබ කොහෙද හිටියේ?"

චෙන් ගොං කිසිදා කිසිවක් නොකීවත්, මේ දිනවල එකටම ගමන් බිමන්වල යෙදීමෙන් පසු, ඔහුගේ හදවතේ ගැඹුරින් ඔහු ඒ වන විටත් නොදැනුවත්වම ෂෙන් ච්‍යාඕව තමන්ගේ සහකාරයෙක් කර ගැනීමට පුරුදු වී සිටියේ ය.

අනෙක් අයගේ ඇස්වලට ෂෙන් ච්‍යාඕ අන්ධයෙකු වූ අතර ඔහුගේ සෞඛ්‍යය ද යහපත් තත්වයේ නොවී ය. එහෙයින් ඔහුගේ එදිනෙදා ජීවිතයට චෙන් ගොංගේ උපකාරය අවශ්‍ය වූ බොහෝ අවස්ථාවන් ඇති විය. කෙසේ වෙතත්, සත්‍යය වූයේ චෙන් ගොං බොහෝ විට ෂෙන් ච්‍යාඕට සවන් දුන් බවයි. ෂෙන් ච්‍යාඕට ස්තූතිවන්ත වන්නට, ඔවුන් බොහෝ වැරදි මාර්ග මඟ හැර ගොස් තිබුණි.

දොර වැසූ ෂෙන් ච්‍යාඕ, "අද අපි මෙතැන් සිට වෙන් වෙමු." කියා මෘදු ලෙස පැවසුවේ ය.

චෙන් ගොංගේ මනස මොහොතකට හිස් විය, පසුව ඔහු උඩට පැන්නාක් මෙන් වේගයෙන් සිට ගත්තේ ය.

"ඇයි?!"

ෂෙන් ච්‍යාඕ පැහැදිලි කලේ, “බයි රොං, ඇගේ ජ්‍යෙෂ්ඨ සටන් සොහොයුරා සමඟ කටයුතු කර අවසන් වූ පසු, ඇය අනිවාර්යයෙන්ම අපව සොයනු ඇති. සය සහයෝගිතා සංධානය සම්බන්ධයෙන් ගත්තත්, ඔවුන් අප සමඟ එකට ගමන් කිරීමට ඉදිරිපත් වූ විට ඔවුන්ව පිටත් කර හැරීමට මම ඒ මොහොතේ සමත් වුවත්, පසුව ඔවුන් ඒ ගැන පසුතැවෙන්නේ නැති බව නිශ්චිතවම පැවසීමට නොහැකියි. ”

තත්පරයකට විරාමයක් තැබූ ඔහු සුසුම්ලමින් තවදුරටත් පැවසුවේ, “එසේම, මුරොං චින් යනු අධිරාජ්‍ය අධිකරණයේ ප්‍රවීණයෙකු විය යුතුයි. අපිව සෙවීමට රාජ්‍ය නිලධාරින්  එව්වොත් අපව අල්ලාගැනීම ඔවුන්ට  ඉතා පහසු කාර්යයක්. අපගෙන් එක් අයෙක් අන්ධ වන අතර අනෙකා නූගත් බව සත්‍යයක්. නමුත් සූර්යවාදයේ බලය අතිමහත්. බොහෝ දෙනෙකුට තම ජීවිත කාලය පුරාම දැඩි ලෙස එය ලබාගැනීමට අවශ්‍ය නමුත් ලබාගැනීමට නොහැකි දෙයක් ලෙසයි එය සැලකෙන්නේ. පැමිණ සිටි අනෙක් පුද්ගලයින් ගැන සිතුවත්, අපට අඩු සැලකිල්ලක් දැක්විය නොහැකියි.  ඕනෑම සටන් ශිල්පියෙකුට අපගේ ජීවිත එක් මොහොතකින් අහිමි කිරීමට හැකියි."

චෙන් ගොං ගොත ගැසුවේය, “එ-එසේ නම් අපි කළ යුත්තේ කුමක්ද? අපිට එය ඇසීමට අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. ඒ දේ හරිම අභූතයි, එය ඇසීමට කිසිවෙක් කැමති නැහැ!”

“එය මිනිසෙකුගේ වරදක් නොවේ. ගැටලුව තිබෙන්නේ ඔවුන්ගේ ධනයේ හා බලයේයි. අපි ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ සිටි නිසා එය දැනටමත් අන් අයට ගැටලුවක්. දැන් අපට ඇති එකම මාර්ගය වෙන් වී අපගේම මාවත්වල ගමන් කිරීම පමණයි. ”

මොහොතකට කලබල වූ චෙන් ගොං අවසානයේදී තේරුම් ගත්තේ මෙය සැබවින්ම ගැලවිය හැකි එකම මාර්ගය බව ය. ඇත්තෙන්ම ඔවුන් ගැටුමකට මැදි වුවහොත්, වෙනත් පුද්ගලයින්ට පහර දීමට ඔවුන්ට හැකි වීමටත් පෙර ඔවුන්ව බිම හෙළීමට ඉඩ ඇත. මෙම බල රහිත හැඟීම ඔහුගේ මනස වසාගෙන පැතිර ගිය අතර පසුව එය බලාපොරොත්තු සුන්වීමේ හැඟීමක් දක්වා පරිවර්තනය විය. චෙන් ගොං ඔහුගේ නොහැකියාව නිසා තමාටම වෛර කළ නමුත් ඔහුට ඒ ගැන කළ හැකි කිසිවක් නොවීය.

"... හොඳයි එහෙනම්." අකමැත්තෙන් වුවද එකඟ වූ ඔහු ෂෙන් චියාඕ දෙස බැලීය. "ඒත් ඔබට තනියම යන්න පුලුවන්ද?"

ෂෙන් ච්‍යාඕ සිනාසෙමින්, “ඇයි මට නොහැකි? එදා අපි ෆනින් දිස්ත්‍රික්කයේ සිටින විටදී ඔබ දුටුවා මට තනියම කෙතරම් හොඳට ඉන්න පුළුවන්ද කියලා.”

චෙන් ගොං එයට එකඟ වූ නමුත් ඔහුට ඒ ගැන සතුටු විය නොහැකි විය. "අපි නගරයෙන් පිටව ගිය පසු අපට නැවත හමු වීමට හැකි වේවිද?"

"එය රඳා පවතින්නේ ඉරණම මත. ඔබ යන්නේ සය සහයෝගිතා සංධානයටද?”

චෙන් ගොං හිස වැනුවේය. ඔහු ඒ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් වී සිටියේ ය. “ඔවුන්ගේ නියෝජ්‍ය නායක දැනටමත් මාව දන්නවා. නැවතත් එතනට ගියොත් එය හරියට උගුලකට ගියා වගේ. මම ඒ මෝඩ පිටපත අසා ඇති බවත්, ඔවුන් නිසැකවම මගෙන් යමක් අසා ගැනීමට උත්සාහ කරනු ඇති බවත් කවුරුත් දන්නවා."

"එසේනම් ඔබ යන්නේ කොහෙද?"

චෙන් ගොං කලකිරීමට පත් විය. “මම යන ගමන් හිතන්නම්. සමහරවිට මට මුදල් නැති වෙන කාලයක් පැමිණේවි. එවිට මට මම සිටින තැනම පදිංචි වෙන්න පුළුවන්. කෙසේ හෝ කෑම යනු මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්.”

“සය සහයෝගිතා සංධානය යනු විශාල නිකායක්. ඒ නිසා එයට ඉහළ තත්වයක් තිබෙනවා. ඔබට එය තුළට යා හැකි වුවත් ඔවුන් ඔබට හොඳින් සලකන්නේ නැහැ. අවංක, සාධාරණ සහ සදාචාර ප්‍රමිති ඇති කුඩා නිකායක් සොයා ගැනීම ඊට වඩා හොඳයි. ඔබේ ප්‍රඥාව සහ දක්ෂතාවය නිසා, ඔබ ඉක්මනින්ම කැපී පෙනෙනු ඇතැයි මම සිතනවා."

"කුමක් වුවත් මට තවදුරටත් දකුණට යාමට අවශ්‍ය නැහැ. මට උතුරේ යේ නගරය දෙසට යාමට අවශ්‍යයි. එය ඉතා සමෘද්ධිමත් බව මට ආරංචි වුණා. එබැවින් මට මගේ නාමය තැබීමට තවත් අවස්ථාවන් තිබේවි."

එය පවසන  විට චෙන් ගොංට එතරම් උද්යෝගයක් දැනුණේ නැත. ඔහුට අසුරන්නට බොහෝ දේවල් තිබුණේ නැත. ඔහුට තිබුණේ මිටියක් ලෙස  බැඳගෙන පිටවිය හැකි ඇඳුම් කට්ටල දෙකක් පමණි. පිටත්ව යාමට පෙර, ඔහු ආපසු හැරී බැලූ අතර, ෂෙන් ච්‍යාඕ නිශ්ශබ්දව එහි වාඩි වී සිටිනු ඔහු දුටුවේ ය. ඔහුගේ උණ සැරයටිය ඔහු ඉදිරියෙහි තබා තිබුණි. ඔහුගේ දෑස් කිසිදු අවධානයක් යොමු කර නොතිබුණද, ඔහු ඔහු දෙසට මුහුණ ලා සිටියේ, ඔහු චෙන් ගොං නික්ම යන ආකාරය දකිනවාක් මෙනි.

එයට හේතුව චෙන් ගොංට පැවසිය නොහැකි වූ නමුත්, “ඔ- ඔබ පරිස්සමින් ඉන්න.” යැයි පවසන විට ඔහුගේ නහය මදක් බර වී වෙව්ලන බවත්, ඔහුගේ කටහඬ ඔහුගේ උගුරේ ගැඹුරින් පැමිණි බවත් ඔහුට දැනෙන්නට විය.

ෂෙන් ච්‍යාඕ ද "ඔබත්" යැයි පවසා හිස මදක් වැනුවේය.

අහම්බෙන් මුණ ගැසී, අහම්බෙන් එකට ගමන් කළ, යම් හේතුවක් නිසා අවසානයේදී වෙන් වී අන්තිමට තමන්ගේ මාවත්වල තනිව ගමන් කළ ආගන්තුක දෙදෙනාගේ වෙන් වීමේ අවසන් මොහොත උදා වී තිබුණි . මෙය සුලභව සිදු වෙන දෙයක් වුවත් නව යොවුන් වියේ පිරිමි ළමයෙකු වූ චෙන් ගොං සන්සුන් ලෙස සැහැල්ලුවෙන් සිටින්නේ කෙසේදැයි යන්න පිළිබඳව තවමත් ඉගෙන ගෙන නොතිබුණි.

චෙන් ගොං පිටත්ව ගොස් ටික වේලාවකට පසු, නගරයෙන් පිටවීමට සූදානම් වීම සඳහා ෂෙන් ච්‍යාඕ ද තම ඇඳුම් අසුරන්නට පටන් ගත්තේය. ඔහු චෙන් ගොං සමඟ යළිත් අහම්බෙන් මුණ නොගැහෙන  පරිදි දකුණු දොරටුවෙන් පිටවීමට සිතුවේ ය. වෙන වෙනම පිටත් වීමෙන් ඉලක්ක විසිරී යන බව සැබෑ නමුත් ඔහුට එසේ කිරීමට තවත් හේතුවක් තිබුණි.

චෙන් ගොං නගරයෙන් පිටව ගියේ තැතිගැන්මෙන් යුක්තව ය. කවුරුන් හෝ තමා පසුපස හඹා යනු ඇතැයි බිය වූ ඔහු පරිස්සමින් යුක්තව ඇවිද ගියේ ය. නමුත් කිසිවකු තමා පසුපස හඹා නොඑන බවත්, ඔහුව නවත්වන්නට උත්සාහ නොකළ බවත් දැකීමෙන් පසු අවසානයේදී ඔහුට සහනයක් දැනුණි.

හුවායි ප්‍රාන්තයට නුදුරින් ෂෝ රාජවංශය පිහිටා තිබුණි. සංචාරක වෙළෙන්දෝ නිතර නිතර මෙහි ගමන් කළ අතර, නගරයේ දොරටුවෙන් පිටත පවා දිවා කාලයේ භාණ්ඩ රැගෙන යන අය සහ විකුණන අය සිටියහ. ඔවුන්ගේ කෑගැසීම් ගණුදෙනුකරුවන්ට තැනින් තැන අසන්නට ලැබෙන අතර එය තරමක් කලබලකාරී දසුනක් විය. එම බලවත් පුද්ගලයන් මඟහැර යාම කෙරෙහි අවධානය යොමු කළ චෙන් ගොංට මුලදී ඒ දෙස සමීපව බැලීමට කාලයක් තිබුණේ නැත.නමුත් දැන් ඔහු එම සමෘද්ධිමත් වෙළඳපොළ තුළ සිටි අතර, කාර්යබහුල දර්ශනවලට ආදරය කරන නව යොවුන් වියේ පිරිමි ළමයෙකුගේ මනෝභාවය නැවතත් මතු විය.

කෙසේ වෙතත් වටපිට බැලීම කෙරෙහි ඔහු වැඩි කාලයක් ගත කිරීමට එඩිතර වූයේ නැත. වෙළඳපොළෙහි එහා මෙහා ගමන් කළ ඔහු තම ගමනේදී ආහාරය සඳහා නැවුම්ව පිළිස්සූ උණු පෑන් කේක් දෙකක් මිල දී ගෙන නිල මාර්ගය ඔස්සේ උතුර දෙසට ඇවිද ගියේය.

ඔහු වෙළඳපොළෙන් පිටතට පියවර සියයක් පමණ ගිය පසු අශ්වයන් කෑ ගසන හඬක්, කෑගැසීම් සහ විලාපයන් මිශ්‍ර වූ ශබ්දයක් ඔහුට පිටුපසින් ඇසුණි. කඩිමුඩියේ හැරී බැලූ චෙන් ගොං දුටුවේ නගරයේ සිට මිනිසුන් කිහිප දෙනෙකු තමා දෙසට වේගයෙන් දිව එන දසුනකි. දුනු අතැතිව වේගයෙන් දිව එන අශ්වයන් පිට නැඟී සිටින විශාල මිනිසුන් කණ්ඩායමක් ද එම මිනිසුන් පිටුපසින් තමන් සිටි දිශාවට පැමිණෙන බව ඔහු දුටුවේ ය. 

සිදුවන්නේ කුමක්දැයි නොදත් ඔහු මොහොතකට සිටි තැනම සිටගෙන සිටි නමුත් ඒ මිනිසුන් ළං වන අයුරුත්, ඔවුන් පසුපසින් පැමිණි පිරිස ද ඔවුන්ගේ ගමන වැළැක්වීමට දුනු පවා සූදානම් කළ අයුරුත් දුටු ඔහුගේ සිත බියට පත් විය. හිස අවුල් ජාලයක පැටලී තිබූ ඔහුට එක්වරම මෙම දර්ශනය දිස් වන්නේ ඇයිදැයි වටහාගැනීමට නොහැකි වූ අතර යටි සිතේ පෙළඹවීම මත ඔහු ද කඩිමුඩියේ දුවන පිරිසට මුසු වී දිව යන්නට විය.

ඔහු පමණක් නොව, නගර දොරටුව අසල සිටි සියලුම සාමාන්‍ය ජනතාව නොනවත්වාම කෑගසමින් සෑම දිශාවකටම පලා ගියහ.

චෙන් ගොං හිස පිටුපසට හරවා බැලීමටවත් එඩිතර වූයේ නැත. ඔහු හැකි තරම් වේගයෙන් ඉදිරියට දිව ගියේ තමාගේ වාසනාව ඇත්තටම නරක විය නොහැකියැයි මනසින් සිතමින් ය. ඔහු ගමන් කළ සෑම තැනකම අනපේක්ෂිත සිදුවීම් දිගින් දිගටම සිදු විය.

ටික වේලාවක් දිව ගිය චෙන් ගොංට හදිසියේම ඇසුණේ ඊතලයක් වාතය සිදුරු කරන ශබ්දයකි. හීය ඔහුගේ කන පසුකර ගොස් තමා ඉදිරිපිට පඳුර තුළ නොපෙනී ගියේ ය.

ඔහුගේ දෙපා අඩපණ වූ අතර ඔහු ඉදිරියට ඇද වැටුණි.

මිනිසුන් කෑගසමින් බිම වැටෙන හඬ ඔහුට පිටුපසින් ඇසෙන්නට විය. අශ්වයන් පිට නැගී එන මිනිසුන්ගේ සිනහව දුර සිට ඇසෙන්නට වූ අතර, ඔවුන් තමන් ගැනම සතුටු වූ ආකාරය එම සිනහවල ගැබ්ව තිබුණි.

යමෙක් ප්‍රශංසා කළේ, “සේනාධිනායක කුමාරයාගේ [2]  දුනු ශිල්පයේ දක්ෂතාවය ඉතා පුදුම සහගතයි! කුමාරයාට පියවර සියයක් ඇතුළත ඕනෑම ඉලක්කයකට පහර දිය හැකියි. කිසි විටෙකත් ඉලක්කය මග හැරෙන්නේ නැහැ!"

සිනහව එක්වරම නැවතුණි. පුද්ගලයා තම හඬ අවදි කළේ, “ඉදිරියෙන් සිටින වේගවත්ම එකාව ස්පර්ශ කිරීමට කිසිවෙකුටත් අවසර නැහැ. ඔහුට දුන්නෙන් විඳින්නේ මම!”

චෙන් ගොංට වඩා වේගයෙන් දිව යන්නේ වෙන කවුද? කිසි කෙනෙකු සිටියේ නැත!

සිදුවන්නේ කුමක්දැයි ඔහුට හදිසියේම වැටහුණි!

බොහෝ ඉහළ නිලධාරීන් සහ උතුම් ස්වාමිවරුන් දඩයම් කිරීමට ප්‍රිය කළ නමුත් ඔවුන්ගෙන් සමහරෙක් අතිශය විකෘති ආශාවන්ගෙන් යුක්ත අය වූහ. ඔවුන් සතුන් දඩයම් කිරීමට අකමැති වූ අතර සජීවී මිනිසුන් දඩයම් කිරීමට විශේෂ උනන්දුවක් දැක්වූහ. සිරකරුවන් සහ වහලුන් නිදහස් කරන ඔවුන්,එම සිරකරුවන්ට හැකි තරම් වේගයෙන් දුවන ලෙස අණ ලබා දේ. පසුව ඔවුන් ඊතල වලින් ඔවුන්ට පහර දෙන අතර ඔවුන්ගේ ගොදුර එම ප්‍රහාරය නිසා මිය ගිය ද ඒ ගැන සැලකිලිමත් වූයේ නැත. මෙය හැඳින්වූයේ 'මිනිසුන් දඩයම් කිරීම' යනුවෙනි.

චෙන් ගොං ඒ ගැන අසා තිබුණේ ඔහු ෆනින් දිස්ත්‍රික්කයෙන් පිට වූ පසුව ය. ඒ අවස්ථාවේ මෙය ඇසූ ඔහු මෙවැනි දේවල් දුර්ලභ යැයි සිතූ අතර අනෙක් අය සමඟ අසා සිටින විටදී තම දිවෙන් පවා 'ක්ලික්' ලෙසින් ශබ්ද නැඟුවේ නොසැලකිලිමත් අයුරෙනි. නමුත් දැන් එම කතාව සැබෑ වී තිබූ අතර එය ඔහුටම සිදු වූ විට, එය කිසිසේත් සිත්ගන්නා සුළු දෙයක් නොවන බව ඔහුට වැටහී තිබුණි.

සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතවම වටහාගත් ඔහුගේ හදවත බෙර හඬකට වඩා වේගයෙන් ගැහෙමින් තිබූ අතර ඔහුගේ හදවත පපුවෙන් එළියට පනින්නට තරම් ඔහුගේ බිය දෙගුණ තෙගුණ වී තිබුණි!

චෙන් ගොං හදිසියේම නතර වී, ආපසු හැරී බිම වැඳ වැටුනේ උස් හඬින් බැගෑපත්ව මෙසේ ඉල්ලා සිටිමිනි., “කරුණාකර මගේ ජීවිතය බේරන්න උතුමාණෙනි! කරුණාකර මගේ ජීවිතයට හානි කරන්න එපා! මම ක්‍රීඩාවේ ඉත්තෙක් නොවෙයි! මම සිරකරුවෙක් හෝ වහලෙක් නොවේ! මම හොඳ තත්වයක සිටින පුද්ගලයෙක්!”

"ඉතින් මොකද? මට අවශ්‍යනම් මට ඔබවත් මරන්න පුළුවන්!” එලෙස පැවසූ නායකයා උස් හඬින් සිනහසුණත්, චෙන් ගොංගේ මුහුණ දුටු පසු ඔහුගේ ප්‍රකාශය වෙනස් විය. පුදුමයෙන් හඬක් පිට කළ ඔහු, "හිස ඔසවලා මට ඔබගේ මුහුණ බලන්න දෙන්න."

ධෛර්යය උපදවාගත් චෙන් ගොං තම හිස ඉහළට ඔසවා ගත්තේ ය. ඔහුගේ මුහුණ භීතියකින් පිරී ගියේය.

එහෙත් මූ ටිපෝ ඔහුට සමච්චල් කරන්නට විය. “සම ටිකක් අඳුරුයි, නමුත් ලස්සනයි. අත් පාත් නම්‍යශීලීයි වගේ පෙනෙන්නේ. මම ඔබේ ජීවිතය බේරගත්තොත්, ඔබ මට ගෙවන්නේ කෙසේද?

චෙන් ගොංගේ මනස ව්‍යාකූල විය."ඔබතුමා අණ කරන ඕනෑම දෙයක් මම සතුටින් කරන්නම්..."

නොපෙනෙන අයුරින් සිනහසුණු මු ටිපෝ, “හරි එහෙනම්. කවුරුහරි කෙනෙක් ආපසු යන විට මොහුව  රැගෙන ගොස් පිරිසිදු කරන්න!"

චෙන් ගොං කුඩා කල සිටම නිවසින් බැහැරව වාසය කළ පුද්ගලයෙකි. එම නිසා ඔහුට එහි සමාජය ගැන යම්තාක් දුරකට දැනුමක් තිබුණි.එම මිනිසා පැවසූ වදන් මෙන්ම ඔහු අසළ සිටි මිනිසුන්ගේ අමුතු ඉරියව් දුටු ඔහුට වැටහුණේ තමන් දෙස බලා සිටින මේ පුද්ගලයා තමා හට කැමති වූයේ පිරිමි වෛශ්‍යාවක් ආකාරයට බව ය. [3] !

චි රටේ සිටි, විශේෂයෙන්ම ඉහළ පන්තියේ වංශවත් අය අතර, පිරිමි වෛශ්‍යාවන් භාවිතය දුර්ලභ දෙයක් නොවීය. පරම්පරා කිහිපයක් පුරාම චී අධිරාජ්‍යයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය කෙරෙහිම වෙනසක් නැතිව උනන්දු වූහ. යටත් නිලධාරීන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගෙන් ආදර්ශ ගැනීමට නැඹුරු වූ බැවින්, පහළ මට්ටම්වල සිටි අය අතරද සමලිංගිකත්වය මහා පරිමාණයෙන් සිදු විය.

තමාට හමු වූයේ අධිරාජ්‍යයාගේ හිතවත්ම නිලධාරීන් අතර සිටි ප්‍රසිද්ධම පුද්ගලයා බව චෙන් ගොං දැන සිටියේ නැත. නමුත් සිදු වූ දේ බුද්ධියෙන් වටහාගත් ඔහු බියට පත් වී කෑගසමින් පැවසුවේ, “කරුණාකර මගේ ජීවිතය බේරන්න, මහෝත්තමයාණෙනි! මම.., මම හොඳ කෙනෙකු නොවේ. මට ඔබත් සමඟ ආපසු යාමට බැහැ! ”

මූ ටිපෝගෙ මූණ අඳුරු විය.

චෙන් ගොංගේ හදවත ගැහෙන්නට විය.

ඔහු ෂෙන් ච්‍යාඕගෙන් පහර දීමේ සහ පයින් ගැසීමේ ක්‍රියාකාරකම් කිහිපයක් ඉගෙනගෙන තිබුණත්, අනෙක් පාර්ශවයේ සිටි සෑම කෙනෙකුටම ගිනි විහිදුවන්නාක් මෙන් දරුණු ඇස් තිබූ අතර ඔවුන් සතුව ආයුධ පවා තිබුණි. ඔහු දැන සිටි සටන් කලා උපක්‍රම කිහිපයක් මගින් ඔවුන්ට එරෙහිව සටන් කිරීම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල විය. ඔහු මෙම උත්තමයාට සමීප වීමටත් පෙර, ඔහුගේ හදවත ඊතල දහස් ගණනකින් සිදුරු කරනු ඇත.

චෙන් ගොං වරක් සිතුවේ ඔහු කිසිවක් කෙරෙහි බියක් නොමැති පුද්ගලයෙකු බවයි. නමුත් මේ මොහොතේ, ඔහු කෙතරම් බොළඳ හා හාස්‍යජනකද යන්න පිළිබඳව ඔහුට අවසානයේ වැටහී තිබුණි. ඒ ඒ අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමට තිබූ හැකියාව නිසා පෙරදී ඔහු බිය නොවී ය. නමුත් දැන් ඔහු බිය වූයේ තමා ඉදිරියේ සිටින මේ උත්තමයා නියත වශයෙන්ම ඔහුට පරාජය කළ නොහැකි බව දැන සිටි නිසා ය. ඔහුට රිදවීමට පවා චෙන් ගොං බිය විය.

පසෙකින් සිටි සේවකයා නැවතත් සිනහසෙන්නට පටන් ගත්තේය: “සේනාධිපති කුමරුණි, ඔහු තරම් අසංවර කෙනෙක් මම ජීවිතේටම දැක නැහැ!”

තවත් අයෙක් ප්‍රතිරාවය කලේ, “ඒක හරි. ඔහු බොහෝ ලස්සන පුද්ගලයෙකුත් නොවෙයි.කුමාරයා ඔහු ගැන උනන්දු වීමම ඔහුගේ වාසනාවක්. ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු නිර්භීත වුණේ කෙසේද! මොහුට දුන්නෙන් විද මරා දැමිය යුතුයි!”

මූ ටිපෝගෙ ඇස් කුඩා විය. ඔහු තමා අසළ තිබූ දුන්න සෙමෙන් එසවී ය.

“උතුමාණෙනි! කරුණාකර මේ පහත් පුද්ගලයාට ඔබ හට පැහැදිලි කිරීමට අවස්ථාවක් දෙන්න!”

චෙන් ගොංගේ හිස යකාගෙ කම්මලක් මෙන් විය. “මේ පහත් පුද්ගලයාට හොඳ පෙනුමක් නැති නිසා උතුමාණන් හට එතරම් සැලකීමට මා වැනි අයෙක් සුදුසු නැහැ. නමුත් මේ පහත් පුද්ගලයා වෙනත් සුදුසු පුද්ගලයෙකුව දන්නවා!ඔහු මට වඩා බොහෝ ලස්සනයි... නැහැ! ඔබ රැගෙන ආ මේ සියල්ලන්ටම වඩා ඔහු අතිශයින් ලස්සනයි!”

මූ ටිපෝ සමඟ පැමිණි සියලු පිරිස හොඳ පෙනුමැති පිරිමි අය වූහ. චෙන් ගොංගේ වදන් ඇසූ ඔවුන් සියල්ලෝම සිනහසුණේ චෙන් ගොං ලෝකය ගැන දන්නේ කෙතරම් සුළුවෙන්ද යන්න පිළිබඳව උපහාසයට ලක් කරමිනි.

"බලන්න, ඔහු කෙතරම් ගැමි පෙනුමක් ඇති කෙනෙක්ද.. නමුත් ඔහු පවසන්නේ අපට වඩා ලස්සන මිනිසුන් ඔහු දැක ඇති බවයි!"

මූ ටිපෝ කිසිවක් පැවසුවේ නැත. ඔහු එක් අතකින් සුදු පිහාටු වලින් සරසන ලද ඊතලයක් ඇද දුන්නට තැබූ අතර, දුනු නූල ඇද එයින් විදීමට සැරසෙන බවක් පෙනෙන්නට තිබුණි.

චෙන් ගොංගේ ගත සීතල දහඩියෙන් වැසී ගියේය. ජීවිතයත් මරණයත් අතර අර්බුදකාරී අවස්ථාවක් මධ්‍යයේ සිටි ඔහු, “ඒ පුද්ගලයා නගරයේ ඇති. අපි මේ දැන් වෙන් වුණේ. මහෝත්තමයාණන් වහන්සේ මාව විශ්වාස නොකරන්නේ නම්, මට ඔබව එහි ගෙන යා හැකියි. ඔහුට අතිශයින් හොඳ පෙනුමක් තිබෙනවා. එකම අඩුව ඔහුගේ ඇස් හොඳ නැති වීම පමණයි. මට ඇති එකම බිය ඔහුගේ අන්ධ බව නිසා මහෝත්තමයාණන් ඔහුට කැමති නොවනු ඇතැයි සිතීම පමණයි!"

'අන්ධ' යන වචනය ඇසීමෙන් මූ ටිපෝට අවසානයේදී ඒ ගැන මද ආශාවක් ඇති විය. “ඇත්තම කිව්වොත් මම කවදාවත් අන්ධ කෙනෙක් සමඟ යහන්ගත වෙලා නැහැ.එහෙනම් ඔහුව ඇඳේ බැඳ තබා ඔහුත් සමඟ රමණයේ යෙදෙන විට ඔහුගේ ඇස් බැඳීමට අවශ්‍ය නැති වේවි. ”

ඔහුගේ නොහොබිනා ස්වරය සමඟම අපිරිසිදු සිනහවක් ද දිස් විය.

මෙම නිලධාරීන්ට කිසිසේත්ම සදාචාරාත්මක ආචාර ධර්ම පිහිටා නොතිබූ බව චෙන් ගොංට අවසානයේදී වැටහී තිබුණි. නමුත් ඔහුගේ වචන ඒ වන විටත් පවසා අවසන්ව තිබූ අතර, ඒ ගැන පසුතැවිලි වීමට ප්‍රමාද වැඩි වී තිබුණි. ඔහුට හැකි වූයේ ෂෙන් ච්‍යාඕගේ දක්ෂතාවය ඔහුට වඩා හොඳ බවත්, සමහරවිට ඔහුට මේ අය සමඟ සටන් කළ හැකි බවත් ඔහුගේ සිතටම පවසාගෙන සැනසීමට පමණි. එසේත් නැතිනම් ඔවුන් එහි යන විට ෂෙන් චියාඕ පිටව ගොස් තිබෙනු ඇතැයි ඔහු සිතුවේ ය.

නොසෙල්වී හිඳගෙන සිටි ඔහුගේ හිස් මනස පුරා විවිධ සිතිවිලි ගලා ආවේ බියකරු අවුල් ජාලයකට ඔහුව ඇද දමමිනි. අශ්වයා පිට නැගී සිටි සේවකයා චෙන් ගොං වෙත ළඟා වූයේ, “ඉක්මන් කර අපව එහි ගෙන යන්න!” යැයි පවසමිනි.

චෙන් ගොං දත්මිටි කමින් පැවසුවේ, “උතුමාණෙනි. ඇත්තටම... ඇත්තටම ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැහැ.ඔහු ලස්සනයි කිව්වත් මට බයයි ඔබ ඔහු ගැන කලකිරෙයි කියලා..."

මු ටිපෝ සමච්චලයට ලක් කළේ, “සෞඛ්‍ය හොඳ නැහැ...එය ඊටත් වඩා හොඳයි. ඔහුත් සමඟ යහන්ගත වීම සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක් වේවි. කායික එක්වීමේදී ඔහු මැරුණත් එය ඔහුගේම ප්‍රශ්නයක් පමණයි. මට දොස් පවරන්න කාටවත් බැහැ! අපිට මාර්ගය පෙන්වීමට නොහැකිනම් ඒත් කමක් නැහැ. ඔහු වෙනුවට ඔබ සමඟ නොසිටින්නේ ඇයි? ඔබේ ශරීරය ශක්තිමත්,ඒ නිසා අනුමාන කළොත් ඔබ සමඟ සෙල්ලම් කිරීමෙන් කිසිම ගැටළුවක් ඇති නොවේවි. ඔබේ ඇඳුම් ගලවා මගේ වෘකයන් සමඟ රමණයේ යෙදීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔවුන් මේ දවස්වල ඉන්නේ උණුසුම් තත්ත්වයක. ඔවුන් සමඟ විවාහ වීමට කෙනෙක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මම සිටියේ කනස්සල්ලෙන්!"

චෙන් ගොංගේ දෑස් විසල් විය.මෙතරම් කුරිරු,ම්ලේච්ඡ මිනිසුන් මේ ලෝකයේ සිටිනවාදැයි ඔහුට කිසිදා සිතාගත නොහැකි විය. මූ ටිපෝගේ විස්තරය ඇසූ ඔහුගේ හිසේ සිට දෙපතුල දක්වාම වෙව්ලීමක් ඇති වූ අතර ඔහුට තවත් කිසිදු ප්‍රතිරෝධයක් දැක්වීමට නොහැකි විය.

'මට දොස් කියන්න එපා, ෂෙන් ච්‍යාඕ. මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.'  ඔහු තනිවම සිතුවේ ය.

චෙන් ගොං, එම විශාල හමුදාව නගරය වෙත ගෙන ගොස් ඔවුන් නැවතී සිටි තානායම වෙතට රැගෙන ගියේය. ඔහු පිටත්ව ගොස් ගත වී තිබුණේ දින භාගයක් පමණි.

එහෙයින් තානායම්කරුට තවමත් ඔහුගේ මුහුණ මතකයේ තිබුණි. ඔහු පිටුපසින් මුළු හමුදාවක්ම පැමිණි බව දුටු තානායම්කරු ඔහුට අශෝභන ලෙස සැලකීමට එඩිතර වූයේ නැත. කඩිමුඩියේ ඔහුට ආචාර කිරීමට පැමිණි තානායම්කරු, "ඔබ කැමතිද..."

චෙන් ගොංට මූ ටිපෝ දෙස නොබලා සිටීමට නොහැකි වුණි.මු ටිපෝ තානායමේ අභ්‍යන්තරය දෙස බලමින් නළල රැලි ගන්වාගෙන නාසය වසාගෙන සිටියේ ය. ඇතුළු වීමට අකමැති වූ ඔහු චෙන් ගොං සමඟ යාමට ඔහුගේ ගෝලබාලයෙකුට නියෝග කළේ ය.

"මාත් සමඟම තානායමට පැමිණි ඉතිරි කෙනා තාමත් ඉන්නවාද?" චෙන් ගොං අතින් සංඥාවක් කළේ ය. "ඔහුගේ ඇස් පෙනීම දුර්වලයි. ඔහු උණ ලීයක් තබාගෙන ඉන්නවා."

තානායම් හිමියා වහා පිළිතුරු දෙමින්, “ඔව්, ඔව්. ඔහු තවමත් සිටින්නේ ඔහුගේ කාමරයේ. තවම පිටත් වුණේ නැහැ."

චෙන් ගොංගේ හදවත ප්‍රීතියෙන් ගැහෙන්නට වූ නමුත් පසුව එය වරදකාරී හැඟීමකින් පිරී ගියේ ය. කෙසේ වෙතත්, එම වරදකාරි හැඟීම වැඩි කල් තිබෙන්නට පෙර යමෙකු බාධා කළේ ය.

මුහුණ හකුලාගත් මූ ටිපෝ සමඟ පැමිණි මිනිසා චෙන් ගොංට කෑ ගසා, “මොනවද බලාගෙන ඉන්නේ? ඉක්මන් කරලා අපිව උඩ තට්ටුවට එක්කගෙන යනවා!"

එම මිනිසාගේ මුහුණ රූපලාවණ්‍ය තට්ටුවකින් වැසී තිබුණු අතර ඔහුගේ හැසිරීම තරමක් අස්වාභාවික විය. ඔහුට දෙවන බැල්මක් දීමටවත් චෙන් ගොං කැමති වූයේ නැත. කෙසේ වෙතත්, ඔහුට එම පුද්ගලයාගේ වචනවලට අකීකරු වීමට නොහැකි විය. එබැවින්, සෙමින් සෙමින් ඔහුව උඩුමහලට රැගෙන යාම හැර වෙනත් විකල්පයක් ඔහුට නොතිබුණි.ෂෙන් ච්‍යාඕ ඒ වන විටත් පිටව ගොස් තිබුණානම් හොඳ යැයි සිතූ ඔහු, ඒ සමඟම යළිත් සිතුවේ ෂෙන් චියාඕ තවමත් එහි සිටින බව හොඳ ලෙසිනි.

චෙන් ගොං ඔහුව උඩුමහලට රැගෙනවිත් දොරට තට්ටු කළේය.

තෙවැනි තට්ටු කිරීමෙන් පසු ඇතුළතින් ඔහුට හුරුපුරුදු කටහඬ ඇසුණි. "කවුද?"

ඒ මොහොතේ චෙන් ගොංගේ හදවතේ ඇති වූ හැඟීම විස්තර කිරීමට ඔහුට වචන පවා නොමැති විය. “මේ මම” යැයි පිළිතුරු දීමට පෙර ඔහු තම උගුරෙහි තිබූ එම හැඟීම් ගොන්න තදින් ගිල දැමී ය.

"චෙන් ගොං? ඇයි ඔබ ආපහු ආවේ? ඇතුලට එන්න." ෂෙන් ච්‍යාඕ මදක් පුදුමයට පත් වී තිබුණත් ඔහුගේ කටහඬ සෑම විටම මෙන් තවමත් මෘදුව පැවතුණි.

චෙන් ගොංගේ හැඟීම් අතිශයින් සංකීර්ණ වූ අතර, ඔහුගේ වරදකාරී හැඟීම එකවරම ඔහු තුළ පැතිරී ගියේය.

"ඇයි ඔබ ඇතුලට යන්නෙ නැත්තෙ?" මූ ටිපෝගේ යටත් වැසියා නොඉවසිල්ලෙන් මෙන් ඔහුට දැඩි තල්ලුවක් දුන්නේ ය.

එකතැන පල්වෙමින් සිටි චෙන් ගොං ඉදිරියට ගොස් දොර තල්ලු කළේ ය.

ෂෙන් ච්‍යාඕ ජනේලය අසල වාඩි වී සිටියේය. මුහුණ මදක් පිටතට හැරී තිබුණේ ඔහු පිටත දර්ශනය දෙස බලා සිටින්නාක් මෙනි. නමුත් එදින රාත්‍රියෙන් පසු ඔහුගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති වී ගොස් තිබූ බව චෙන් ගොං දැන සිටියේය.

“හහ්..එතකොට ඔබ පැවසූ ලස්සන මෙයද? ඔහු ගොඩක් නැහැ..."

දිගටම පැවසීමට සූදානම් වූ එම මිනිසාගේ වාක්‍ය මැද විරාමයක් තැබූනේ ෂෙන් ච්‍යාඕ ආපසු හැරුණු පසු එය දිගටම කරගෙන යන්නේ කෙසේදැයි නොදැන අතරමං වූ නිසා ය.

පහළ මාලයට වී බලා සිටි මු ටිපෝගේ  ඉවසීම අන්තයටම සිඳී ගොස් තිබූ නිසා තනිවම ඉහළ මාලයට ගමන් කළ ඔහුගේ ඇස් ද පැහැපත් වූයේ ච්‍යාඕගේ රුව දැකීමෙනි.

මු ටිපෝ දුප්පත් පවුලකින් පැවත ආ අතර ඔහුගේ මවට බලය ලැබීමෙන් පසු ඔහු අධික වියදම් සහිත ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තේ ය. පසුව ඔහු අධිරාජ්‍යයා සමඟ එකට ගැවසීමට පටන් ගත්තේය. එබැවින් ඔහු මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අතර ප්‍රමාණවත් තරම් අලංකාර නොවන ඕනෑම අයෙකු නොසලකා හැරියේ ය.

ෂෙන් ච්‍යාඕගේ ඇඳුම් හොඳ අමුද්‍රව්‍ය වලින් සාදා නොතිබූ අතර, කොණ්ඩය ද සරල ලෙස බැඳ තිබුණි.අවම වශයෙන් ජේඩ් කොණ්ඩ කටුවක්වත් නොතිබුණි. ඔහු තම කොණ්ඩය බැඳ තිබුණේ ඔහුගේ ඇඳුමට සමාන ලා දුඹුරු පැහැයෙන් යුත් රෙදි පටියකිනි.

එහෙත් ඔහුගේ රූපයෙන් ඇස් ඉවතට ගැනීමට මූ ටිපෝට නොහැකි විය. කාන්දමක් මෙන් ඔහුගේ ඇස් ච්‍යාඕගෙ ගතට ආකර්ශනය වී තිබුණි.

සුන්දරත්වයේ කැපී පෙනෙන ගුණාංග සියල්ලම ච්‍යාඕට මනා ලෙස පිහිටා තිබූ අතර එය සැඟවීමට කිසිසේත්ම නොහැකි විය.

ෂෙන් ච්‍යාඕගේ දෑස් කිසිම හැඟිමකින් තොරව මු ටිපෝ සිටි දිශාව වෙත යොමු වී තිබුණත් එම බැල්මෙන් පවා මු ටිපෝගේ මුව වියලි ගොස් තිබූ බවක් ඔහුටම දැනුනි. ඔහුව යටත් කරගැනීමටත්, ඔහුගේ ඇඳුම් ඉරා දමා ඔහුත් සමඟ යහන්ගත වී එකට සංවාසයේ යෙදීමටත් ඔහුට තිබූ ආශාව යටපත් කරගැනීමට නොහැකි තරම් ප්‍රබල වුවත් ඔහු එය යන්තමින් යටපත් කරගැනීමට අවසානයේදී සමත් විය.

"චෙන් ගොං, ඔබත් සමඟ වෙන කවුද ආවේ?"

ඔහුගේ මද නූගත් කටහඬ ඇසූ මූ ටිපෝට දැනුනේ තමන්ගේ සිතුවිලි තවත් කලබල වන බවයි.

මෙම පුද්ගලයා තම ඇහිබැම එකට  එක් කොට හඬන විට එය කුමන ප්‍රමෝදයේ රසයක් වේවිදැයි යන්න ඔහුට සිතා ගැනීමටවත් නොහැකි විය.

මු ටිපෝ සිතුවිලි යාත්‍රාවක ගමන් කරමින් සිටියේ ය.ඔහු ච්‍යාඕ පිළිබඳව සැලසුම් පවා තම මනසින් සකස් කළේ ය. මුලින්ම ඔහුත් සමඟ රමණයට යොදවාගෙන එම රාගික ආසාව අවසන් වන තුරුම එම පුද්ගලයා හුවායි ප්‍රාන්තයේ තමා අසළ තබාගන්නා අතර පසුව ඔහුව චී අධිරාජ්‍යයා වන ගාඕ වෙයි වෙත ලබා දීමට ඔහු සැලසුම් කළේ ය. ඔහු මෙන්ම ගාඕ වෙයි ද වෙනස් පුද්ගලයන් සමඟ කායික පහස ලැබීමට කැමැත්තක් දැක්වූ අයෙකි. එබඳු අන්ධ කරවන රූ සපුවක් ඔහු වෙත යැවීමට හැකි වුවහොත් අධිරාජයා ඒකාන්තයෙන් සතුටු වනු ඇති බව ඔහුට නිසැක විය.

"ඔබගේ නම කුමක්ද?" ඔහු ෂෙන් ච්‍යාඕගෙන් විමසුවේ ය.

ෂෙන් ච්‍යාඕ මදක් මුමුණමින් සිටි නමුත්, පිළිතුරු වෙනුවට ඔහු, "චෙන් ගොං?"


පරිවර්තකගේ සටහන්:

[1] සූර්ය යෝජනා ක්‍රමය (偷天换日 tou tian huan ri):  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  අදහස් කෙරෙන්නේ අහස සොරකම් කිරීම සහ ව්‍යාජ හිරු එළිය හෝ දැවැන්ත වංචාවක්/යෝජනා ක්‍රමයක් ලෙස ය.

[2] සේනාධිනායක කුමරු (郡王 ජුන් වැන්ග්):   වංශවත්භාවයේ ඉහළ තනතුරකි, සාමාන්‍යයෙන් ස්ථාන නාමයක් සමඟ උපසර්ගයක් (මු ටිපෝගේ සම්පූර්ණ තනතුර වූයේ චෙන්ග්යැං අණදෙන කුමරු හෝ චෙන්ග්යැංහි අණදෙන කුමරු) වංශාධිපතියාගේ සැබෑ හෝ නාමික නිලකාර ප්‍රවේණිය ලෙස නම් කරයි. සාමාන්‍යයෙන් අධිරාජ්‍ය කුමාරවරුන්ගේ පුත්‍රයන්ට මෙම තනතුර ලබා දෙනු ලැබේ. නමුත් මේ අවස්ථාවේ දී මු ටිපෝට අධිරාජ්‍යයා විසින් බෙහෙවින් අනුග්‍රහය දක්වන ලද නිසා ලබා දී ඇත.

[3] පිරිමි වෛශ්‍යාවන් (娈宠 ලුආන් චොං):  සාමාන්‍යයෙන් තරුණ පිරිමි ළමයින්ව, ධනවත් හා බලවත් අය විසින් ලිංගික වස්තූන් ලෙස තබාගෙන භාවිතා කරන ලදී. මොවුන්ව හැඳින්වූයේ මේ නමිනි.

(ඉංග්‍රීසි පරිවර්තනයේ "boys toys" ලෙස හඳුන්වා ඇති මෙය අර්ථය පැහැදිලි වීම උදෙසා වෛශ්‍යාවන් ලෙස සඳහන් කොට ඇත.)

පෙර පරිච්ඡේදය |සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-