Skip to main content

එකොළොස්වන පරිච්ඡේදය | ශෙන් ච්‍යාඕ : මගේ හදවත විඩාබර බැවින් යළිත් ප්‍රේම කිරීමට නොහැකිය.

 කුඩා භික්ෂුව සිටියේ එය අගය කිරීමට තරම් මානසිකත්වයකින් නොවේ. එපමණක් නොව, ඇය බොහෝ සේ තැති ගෙන ද සිටියා ය.

මන්ද යත්, මෙම අත පැමිණියේ කොහෙන්ද යන්න ගැන ඇයට නිශ්චිත අදහසක් නොතිබූ නිසා ය. ඇයට කළ හැකි එකම දෙය වූයේ ආක්‍රමණය කළ අනෙක් පුද්ගලයාට තම මැණික් කටුව සිර කරගැනීමට ඉඩ දී සිටීම පමණි.

"ආහ්හ්!!!" ඇගේ මැණික් කටුවෙන් තියුණු වේදනාවක් පුපුරා ගියේ අවකාශය පුරා ඇගේ වේදනාත්මක කටහඬ පිළිරැව් දෙන්වමිනි. වේදනාව හේතුවෙන් ඇයට කෑ ගසා නොසිටීමට නොහැකි විය.

කාන්තාව කෙරෙහි බිඳකුදු හැඟීමක් නැති පිරිමියෙකුට වුවද මෙම කටහඬ ඇසුණහොත්, අඩුම තරමින් ඔවුන්ගේ චලනය හෝ මඳකට නවත්වනු ඇත. කෙසේ නමුත්, ඇය කුඩා භික්ෂු නමකගේ සරල හා අවංක මුහුණකින් පෙනී සිටි බැවින්, බලපෑම එතරම් කණගාටුදායක නොවූ අතර ඇය වෙත ප්‍රහාරය දියත් කළ පුද්ගලයාට ද ගල් හදවතක් තිබීම කණගාටුවට කරුණක් විය. ඇගේ මැණික් කටුවේ අස්ථි, එම දැඩි ග්‍රහණය හේතුවෙන් අමානුෂික ලෙස බිඳී ගොස් තිබුණු අතර ක්ෂණයකින් ඇගේ සිරුර ඉහළට පියාසර කළේ ය. නමුත් එය සිදු වූයේ ඇය පලා යාමට මූලිකත්වය ගත් නිසා නොවේ. ඇය අනිච්ඡානුග ලෙස ඉවතට විසි කොට තිබූ නිසා ය.

සියුමැලි සිරුර ආලින්දයේ තිබූ කුළුණ මතට ඍජුවම සහ තදින් කඩා වැටුණු අතර එහි බලපෑමෙන් එම කුළුණ පවා තරමක් සෙලවී ඇති බවක් පෙනෙන්නට තිබුණි. කුඩා භික්ෂුව බිම වැටී ලේ කටවල් කිහිපයක් වමනය කළේ අන්තයටම පහතට වැටී තිබූ අසරණයෙකු විලස ය.

ඇගේ එක් මැණික් කටුවක අස්ථියක් තදබල ලෙස දැඩි වූ එම ග්‍රහණය නිසා බිඳී ගොස් තිබූ අතර අනෙක් අත සිකඩා පියාපත් තලයෙන් සිදුරු වී තිබුණි. දරුණු ලෙස විකෘති වූ අත් යුගලයකින් යුක්ත වූ ඇයව, අන් අයට දිස් වූයේ සරණක් නැති අනුකම්පා සහගත පුද්ගලයෙකු විලස ය.

එහෙත් එවන් විනාශකාරී තත්ත්වයක් තිබුණ ද එය පවා ඇය සිතට ගත් බවක් නොපෙනුණි. ඒ වෙනුවට, ඇය දරුණු ලෙස කෝපාවිෂ්ඨ වී තමාට තුවාල කළ පුද්ගලයා දෙස බලා “ඔබ කවුද...” යැයි ඇසුවාය. ඇගේ මුඛය පිරී තිබූ රුධිරය නිසා ඇගේ කටහඬ තරමක් ගොළු සහ දුර්වල වී තිබුණ ද ඇගේ බැල්මෙහි දවා හළු කරන විලාසය දුර්වල වී තිබුණේ නැත.

කළු වස්ත්‍රධාරියා පිළිතුරු දෙන්නට විය. "සැන් ජිංශින් සහ යුවාන් ෂුෂු යන දෙදෙනාම එකතු වී, ඔවුන් කණ්ඩායම් ලෙස පැමිණියත් මට එරෙහිව ජයග්‍රහණය කිරීම ගැන පුරසාරම් දෙඩවීමට තරම් එඩිතර නොවේවි. ඔබ තනිවම පැමිණෙනවාද?"

බයි රොංගේ ඉරියව්ව මඳක් වෙනස් විය, "මහත්මයා, මට ඔබේ ගෞරවනීය නම දැනගන්න පුලුවන්ද?"

අනෙක් පසින්, “නිකාය නායක යැන්ට මෙම ස්ථානයේ පෙනී සිටීමට තරම් ඇති වූ හේතුව කුමක්දැයි මම ඇසුවාට කමක් නැද්ද?” ලෙසින් බයි රොංගේ පැනයට වෙනත් අයෙක් විසින් ඒ වන විටත් පිළිතුරු දී තිබුණි.

නිකාය නායක යැන්... යැන් වුෂි?!

බයි රොංගේ දෑස් මදක් විසල් විය. ඇයට එය විශ්වාස කළ නොහැකි විය.

සම‍ඟි නිකායේ ප්‍රමුඛතම ගෝලයෙකු ලෙස ඇය 'යැන් වුෂි' යන නම නිතරම අසා තිබුණි.අසුර නිකායවල් තුනම එකම මූලයකින් ආරම්භ වූව ද, ඔවුන් බොහෝ කලකට පෙර සිටම අමනාපකම්වලින් පිරී බෙදී සිටි අය වූහ. යැන් වුෂි සංවෘත දොරටු භාවනාව නිසා අතුරුදන්ව සිටි දස වසර තුළ සමඟි නිකාය විසින් පවිත්‍ර චන්ද්‍ර නිකායට නිතර කරදර ඇති කළේ ඔවුන් දුර්වලව සිටි විට දැඩි ලෙස පහර දීමට අවස්ථාව ප්‍රයෝජනයට ගනිමිනි. දැන් යැන් වුෂි සටන්කාමී ලෝකයේ නැවත පෙනී සිට ඇති බැවින්, ඇගේ තුවාලය ... ඇත්තෙන්ම, එය එතරම් විශාල දෙයක් නොවී ය.

යැන් වුෂි, “  ඔබ වැනි වයසක තට්ට බූරුවෙක්ටත් [1]  එන්න හැකියාවක්  තිබෙනවානම් ඇයි මට මෙතන ඉන්න බැරි ?” පවසමින් පැනය විමසූ පුද්ගලයාව උපහාසයට ලක් කළේ ය.

ඔහුගේ කටහඬ ඇසීමෙන් පසු ජේඩ් සීනුවක් අතැතිව සිටි හිමිනම එම වටපිටාවේ තිබූ අඳුරු සෙවණැල්ලක් වෙත සෙමින් නික්ම ගියේ ය. කෙසේ වෙතත්, යැන් වුෂි ඔහුට ආමන්ත්‍රණය කළ “වයසක තට්ට බූරුවා” යන නාමය ඔහුට සාධාරණ නොවීය. ඔහු තිස් ගණන්වල මුල් භාගයේ සිටි අයෙක් වූ අතර, සුදු පැහැති වස්ත්‍රයකින් සැරසී සිටියේ පිවිතුරු බව විදහා පාමිනි. එහි දූවිලි අංශු මාත්‍රයක්වත් සොයා ගත නොහැකි තරම් පිරිසිදු බවක් තිබුණි. කතා නොමැතිව නිශ්ශබ්දව පමණක් සිටිය ද ඔහුගේ  මුළු පෙනුමම නිරූපණය කළේ "හොඳ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ භික්ෂුවක්" යන නාමයයි.

ඔහුගේ දර්ශනය මුරොන් ෂුන් සහ තුඔබා ලියන්'ච වැනි තරුණ පරම්පරාවේ පිරිස අතර විශාල ආන්දෝලනයක් ඇති කරන්නට තරම් සමත් වූයේ නැත. නමුත් මුරොන් චින්ගේ සහ යුන් ෆුයිගේ මුහුණුවල ඉරියව් ඔහුව දුටු විගස ක්ෂණිකව වෙනස් විය.

මුරොන් චින් කෑගැසුවේ, “ෂෝ රාජවංශයේ මහා ඇදුරුතුමන් වන නායක ෂුඑටිං සහ වර්තමාන පරම්පරාවේ අධිපති ලෙස සැලකෙන නිකාය මාස්ටර් යැන් තරම් උතුම් ලෝකෝත්තර විශේෂඥයන් දෙදෙනකු ද අඳුරේ සැඟවී මෙතරම් හොර රහසේ ක්‍රියා කරනු ඇතැයි මම සිහිනෙන්වත් සිතුවේ නැහැ. එපමණක් නොව සූර්යවාදයේ ඉතිරි පොත ලබා ගැනීමට චී රටට පවා රිංගලා! ඔබලාට එය සොරකම් කරගැනීමට අපගේ ආරවුල් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වූයේනම්, ඇයි දැන්ම පිටතට පැමිණියේ? ඔබලාගේ ගෞරවණීය භාවය රැකගැනීමට අවශ්‍ය නැද්ද?"

නායක ෂුඑටිං පිළිතුරු දුන්නේ, “කුලදෙටු මුරොන් එතරම් කලබල වීමට අවශ්‍ය නැහැ. ජින් ආදිපාදවරයා අභාවප්‍රාප්ත වූවාට පසු ෂෝ රාජවංශයේ අධිරාජ්‍යයා බුද්ධාගම සහ දාඕවාදය යන දෙකම තහනම් කළා. මෙම මහලු භික්ෂුව [2]  තවදුරටත් ෂෝවල ශ්‍රේෂ්ඨ ඇදුරුතුමා නොවෙයි. අද රාත්‍රියේ පැමිණීමට එකම හේතුව වූයේ මගේ පැරණි මිතුරෙකුගෙ ඉල්ලීමක්. එම අරමුණ  ඉටු කරගෙන එහි නියම හිමිකරුට එය ආපසු ලබා දීමට හැකි වන පරිදි එය මා වෙත භාර දීමට උප නායක යුන් එකඟ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."

බයි රොං මුඛයෙන් රුධිරය පිටකරමින් සිනාසුණේ, “ඔබ තරම් රළු මුහුණක් ඇති භික්ෂුවක් මම කිසි දිනෙක දැක නැහැ. නිධානය දුටු පසු ඔබ යම් උපක්‍රමයක් සකස් කර ඇති බව පැහැදිලියි. නමුත් එය පැරණි මිතුරෙකුගේ ඉල්ලීමක් බව ඔබ පැවසුවා. තාඕ හොංජිංගේ මරණයෙන් පසු සූර්යවාදය කිසිඳු හිමිකරුවෙකුට අයත් නැති නිධානයක් බවට පත් වී ඇති බව කවුරුත් දන්නවා. තාඕ හොංජිං ඔබේ සිහිනයට පැමිණ , පොත් එකතු කොට ඔහු වෙනුවෙන් පුළුස්සා දමන [3] ලෙස ඉල්ලා සිටියා විය හැකිද?"

සෙන් නායක ෂුඑටිං දුකක් හෝ සතුටක් පෙන්වූයේ නැත. ඔහු බයි රොංගේ වචන නෑසුනාක් මෙන් තම දෑත් එකට තබාගෙන  [4] සිටියේ ය.

තවත් දෙදෙනෙකු පැමිණ සිටි බැවින් යුන් ෆුයිට සැහැල්ලුවක් දැනුනේ නැතත් මුරොන් චින් සහ බයි රොං යුන් ෆුයි වෙත ඉක්මන් ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් එඩිතර වූයේ ද නැත. එහෙත් යුන් ෆුයිට එයින් සතුටක් නොදැනුණු අතර එයින් වූයේ ඇගේ හදවත තව තවත් බර වීම පමණි.

චි ෆංග'ගේ මරණයෙන් පසු, පළමු විශිෂ්ට දස දෙනාට වඩා විශිෂ්ට වූ සටන් කලාකරුවෙකු බිහි වී තිබුණේ නැත.

සෙන් මාස්ටර් ෂුඑටිං සහ යැන් වුෂි යන දෙදෙනාගේම නම් එම විශිෂ්ට දස දෙනාගේ ලැයිස්තුවේ තිබුණි. සෙන් නායක ෂුඑටිංගේ මුලින් පැවති සටන් කලා මට්ටම ද ගැඹුරු අභිරහසක් වූ අතර, දැනටමත් ඔහු පළමු තිදෙනා අතරට පැමිණ සිටීමට බොහෝ දුරට ඉඩ තිබුණි. යැන් වුෂි සම්බන්ධයෙන් ගත් කල, වසර ගණනාවක් අතුරුදහන් වී සිටියත් නැවත පැමිණීමෙන් පසු ඔහු, ෂුවාන්දූ කන්දේ නිකාය නායකයාව පරාජය කළ නව පරම්පරාවේ විශිෂ්ටයා වූ කුන්'යව පවා විශාල හානි සහිතව අන්තයටම පරාජය කොට තිබුණි.

යුන් ෆුයිට ඔවුන්ගෙන් එක් අයෙකුවත් හසුරුවා ගැනීමට නොහැකි වන බව නිසැක ය. නායක දූඔ යන්ෂාන් විසින් ඇයට මෙම කාර්යය පැවරූ විටදී මොවුන් දෙදෙනාට එකවර මුහුණ දීමට සිදු වේයැයි ඇය සිහිනයකින්වත් නොසිතන්නට ඇත.

මෙය සිදු වූයේ ඇය දැඩි උත්සාහයක් නොගත් නිසා නොව, අද රාත්‍රියේ තත්වය ඇය බලාපොරොත්තු වූවාට වඩා වැඩි වූ නිසා ය.

මෙම පුද්ගලයින් එකිනෙකා සමඟ අමනාපකම් ඇති බව සත්‍යයකි. නමුත් ඔවුන් සියල්ලන්ටම තිබුණේ පොදු ඉලක්කයකි. ඒ ඇය ළඟ තිබූ සූර්යවාදය පිටපතයි .

තාඕ හොංජිං විසින් ලියන ලද සූර්යවාදය, පොත් පහකින් සමන්විත වූ අතර, ඒ සෑම එකක්ම මිනිස් සිරුරේ ඇති අවයව පහෙන් එකකට අනුරූප වන ලෙස මූලද්‍රව්‍ය පහෙන් එකක් නියෝජනය කරයි.එය කොටස් පහකට බෙදා ඇත. මනස පිළිබඳ දැනුම, භූත ආත්මයන්, ඉබාගාතේ යන ආත්මයන්, කැළඹිලි ශක්තිය සහ නිදහස් කැමැත්ත යන මෙම බෙදුණු කොටස් සහිත සූර්යවාදය පාසල් තුනේ දර්ශන ඒකාබද්ධ කරන අතර, එය පෙර නොවූ විරූ විශ්මිත ග්‍රන්ථයක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. දැනට දන්නා පොත් තුන පිළිවෙලින් ෂෝ රාජවංශයේ අධිරාජ්‍ය මාලිගය තුළ ද, ෂුඅන්දූ කන්දේ ද, තියංතායි නිකාය තුළ ද තිබූ අතර අනෙක් පොත් දෙක කොහේදැයි යන්න තවමත් අභිරහසක්ව පැවතුනි.

ඔවුන් සතුව තිබූ පොත් මත විශ්වාසය තැබූ, ෂුඅන්දූ කන්දේ සහ තියංතායි නිකායේ සෑම කෙනෙකුම දාඕවාදි නිකායන් සහ බෞද්ධ නිකායන් අතර ඔවුන්ගේ ප්‍රමුඛ ස්ථානය ලබාගැනීමට ඒවාගෙන් සහයෝගය ලබාගත් අතර ලෝකයේ සියලුම සටන් කලාකරුවන් අතර විශේෂඥයන් බවට පත් වන්නට පවා සමත් විය. දෛවෝපගත ලෙස චි ෆං'ග හට අහස යට අංක එකේ සටන් කලාකරුවා බවට පත් වීමට පවා හැකියාවක් ලබාගැනීමට  මේ නිසා හැකි විය.

ඔහුගේ ගෝලයා වන ෂෙන් ච්‍යාඕ, තරමක් දුර්වල වී, අන් අයගේ ප්‍රහාර හේතුවෙන් පර්වතයෙන් පහළට වැටුනේ එය හොඳින් ඉගෙන නොගත් ෂෙන් ච්‍යාඕගේම වරද නිසා ය. එහි වැරැද්ද සිදු වූයේ සූර්යවාදය නිසා නොවේ, ෂෙන් ච්‍යාඕගේ නියමාකාර ඉගෙනීමක් නොමැති වූ නිසා ය. කෙනෙකුට එහි එක් පොතක් තමා සන්තකයේ තබා ගත හැකි වුවද, එහි ඇති සාරය ඉගෙන, අභිරහස් අවබෝධ කර ගැනීමෙන්, චි ෆං'ග වැනි අංක එකේ සටන් කලාකරුවෙකු වීමට නොහැකි විය හැකිය. 

ස්ථාන දන්නා පොත් තුනම ඒ ඒ නිකායන් විසින් දැඩි ආරක්‍ෂාවකින් යුතුව ගබඩා කර තිබිණි. අනෙක් අයට ඒවා සොරකම් කිරීම එතරම් පහසු නොවීය. අනෙක් පොත් දෙකට අයිතිකරුවන් නොසිටි අතර ඒවා දක්ෂයන් සඳහා වෙන් කර තිබුණි. එබැවින් යුන් ෆුයි විසින් ඉතිරිව තිබූ සූර්යවාදයේ ග්‍රන්ථය රැගෙන යන බවට වූ පුවත රහසේ පැතිර ගිය විට ඔවුන් එය ලබාගැනීමට රහසේම ක්‍රියා කොට තිබුණි.

සය සහයෝගිතා සංධානයේ සාමාජිකයන් ද මෙතෙක් වේලා සත්‍ය දැන සිටියේ නැත. ඔවුන් අනුමාන කොට තිබුණේ ඒ පෙට්ටි දෙකේ දුර්ලභ වස්තු කිහිපයක් සඟවා ඇති බව පමණි. යුන් ෆුයි, සූර්යවාදය ඇය විසින්ම රැගෙන යන බව ඇසූ ඔවුන් සියල්ලන් ද ගොළු වී සිටි අතර එතෙක් වේලා ප්‍රතිචාර දැක්වීමටවත් නොහැකි ලෙස ගල් ගැසුනාක් මෙන් බලා සිටිය හ.

නිශ්ශබ්ද පැවති කාලය තුළ, එහි සිටි සියල්ලන්ටම එකිනෙකා කෙරෙහි සැලකිල්ලක් සහ බියක් ඇති වී තිබූ අතර කිසිවෙක් මුලින්ම පියවර ගැනීමට කැමති වූයේ නැත.

මුරොන් චින්ට එය බලහත්කාරයෙන් උදුරා ගැනීමේ චේතනාවක් තිබුණි. නමුත් ඔහු උත්සාහ කළහොත්, ඔහුව නැවැත්වීමට ෂුඑටිං සහ යැන් වුෂි නිසැකවම පහර දෙන බව ද ඔහු දැන සිටියේය.

කවය මධ්‍යයේ සිටි යුන් ෆුයි මානසිකව දැඩි කනස්සල්ලට පත්ව සිටි බැවින් ඇය ඒ වන විටත් ඇගේ දරාගැනීමේ අවසානයට පැමිණ සිටියාය.

අද රාත්‍රියේ දී මෙම අර්බුදයෙන් බේරීමට හැකි වුවද, ආරංචිය පැතිර ගිය පසු හෙට දින නිධානය සොයා එන පිරිස මීටත් වඩා වැඩි වනවාක් මිස අඩු නොවන බව ඇය හදවතින්ම දැන සිටියාය. නරකම අවස්ථාවක, තායි කන්දේ සහ ලින්චුවාන් ආයතනයේ ජේඩ් වළා නිකායේ අය පවා එහි ඇදී එනු ඇත.එවිට සය සහයෝගිතා සංධානයට යළි කිසි දිනෙක සාමකාමී දිනයක් නොලැබෙන බව ද ඇයට කිව හැකි විය.

ඇය තම සිතේ සැලසුමක් සකස් කර දෙවන හොඳම විකල්පය ක්‍රියාවට නැංවූ අතර, පැමිණ සිටින සියල්ලන් අතරින් වඩාත්ම විශ්වාසදායක යැයි පෙනෙන පුද්ගලයා තෝරා ගත්තාය. “කියමන හරි. 'දේවල් හැම විටම වෙන් කර ඇත්තේ දක්ෂයන් සඳහා. සය සහයෝගිතා සංධානයට ප්‍රමාණවත් ශක්තියක් නොමැති නිසා නිධානය සඟවාගෙන සිටීම අපට වාසනාවකට වඩා අවාසනාවක්. සාමය වෙනුවෙන් මෙම සූර්යවාදය පිටපත ඔබට භාර දීමට මම කැමතියි. මම ඔබට මෙය ලබා දුන්නොත් මගේ සහ මගේ යටත් නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඔබට හැකිදැයි නායකතුමාගෙන් මට ඇසිය හැකිද?"

බුදුධ නාමය [5] පැවසූ සෙන් නායක ෂුඑටිං පසුව ප්‍රකාශ කළේ, “උප සභාපති යුන් ඉතා ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්. ඉතින් මේ මහලු භික්ෂුව මගේ සියලු උත්සාහයන් නොගෙන සිටීමට තරම් නිර්භීත වන්නේ කෙසේද?"

බැරෑරුම් කල්පනා වට කිහිපයක් කෙරෙහි මනස දිව වූ යූන් ෆුයි රහසේ දත්මිටි කමින් වස්ත්‍ර තුළින් කුඩා උණ බටයක් එළියට ගත්තාය. හූ යාන් සහ හූ යුට ඔවුන්ගේ ගෙල දිගු කොට එය දෙස බැල්මක් යොමු නොකර සිටීමට නොහැකි වූ අතර බයි රොං හට ද කෙලින් නොවී සිටීමට නොහැකි විය. කාන්තාවකගේ මැණික් කටුවටත් වඩා සිහින් වූ මෙම සාමාන්‍ය උණ බටය තුළ ලෝකයේ සෑම කෙනෙකුටම අවශ්‍ය වූ සූර්යවාදය පිටපතක් රැඳී ඇති බව විශ්වාස කිරීමටත් අපහසු විය.

අත් දෙකටම හානි වී තිබූ නිසා බයි රොංට ඔවුන් සමඟ තරඟ කිරීමට ශක්තියක් නොතිබුණි. එනිසා ඇය සංදර්ශනය රස විඳීම සඳහා ආලින්දයේ තීරුවට වී විවේක ගත්තාය.

නමුත් මුරොං චින් ඒ වන විටත් සෙවණැල්ලක් මෙන්, එම උණ බටය දෙසට කෙළින්ම ගමන් කොට තිබුණේ අනෙක් සියල්ලන්ට දිලිසීමේ දර්ශනයක් පමණක් ඉතිරි කරමිනි.

කෙසේ වෙතත්, ඔහු යුන් ෆුයි අසලට යාමටත් පෙර, සෙන් නායක ෂුඑටිංගේ අත්ල විසින් නිර්මාණය කරන ලද සුළඟ, ජේඩ් සීනුවේ ​​නිමක් නැති හඩත් සමඟ මුසු වී හමන සුළි සුළඟක් මෙන් ඒ දෙසට පැමිණ තිබුණි. සෑම ශබ්දයක්ම මිනිසුන්ගේ හදවතට ඝෘජුව පහර දෙන බවක් පෙනෙන්නට තිබුණි. මුරොන් චින්ගේ ද සවනට එම ශබ්දය ඇතුල් වූයේ, මද වේලාවකට පෙර යුන් ෆුයි අත්විඳි හැඟීමම ඔහු තුළත් ජනිත කරමිනි. ඔහුගේ පියවර හදිසියේම රාත්තල් දහසක් තරම් බර වූ අතර ඔහුගේ පපුව කෙතරම් තදින් ඇදී ගියේද යත් එයින් ඔහුව අසනීප වී දුර්වල විය.

නියත වශයෙන්ම එය සිදු වූයේ තමාට ඇසෙන ජේඩ් සීනු නාදය නිසා බව දැන සිටි ඔහු ඔහු සිය ශක්තියෙන්ම දෙසවන් වසාගෙන එයට සවන් දීම නැවැත්වූවත් ඔහුගේ අතේ චලනයන් නතර කළේ නැත. එය තවමත් යුන් ෆුයිගේ අතේ ඇති උණ බටය වෙත ළඟා වෙමින් තිබුණි.

ඔහු පවා සටනට අවතීර්ණ වී තිබූ බැවින් යැන් වුෂි කුමක් කරනු ඇද්දැයි කිසිවෙකු දැන සිටියේ නැත. ක්ෂණිකව ඔහුගේ රූපය මදක් වෙනස් විය. ඔහු කෙතරම් ප්‍රවේගයකින් මුරොන් චින් පිටුපස ගියේද යත්, ඔහු ගමන් කළ විට ඔහුත් සමඟම ඇදී ගිය පවනින්  මලක් තබා මල් සෙවනැල්ලක්වත් සැලුණේ නැත. එතරම් ප්‍රබල ප්‍රවේගයකින් ඔහු ගමන් කොට තිබුණි.

ඔහු අත දිගු කළේය. නමුත් ඒ, මුරොන් චින් උණ බටය ගැනීම වැළැක්වීමට නොව, සෙන් නායක ෂුඑටිංව නැවැත්වීමට ය.

ඇසිපිය හෙලන සැණින්, පුද්ගලයන් දෙදෙනා චලනයන් දුසිම් දෙකකට වඩා සිදු කර තිබුණි. ඒ වන විටත් විස්මයට පත් වී සිටි සහ සිදුවෙමින් පවතින දේ ගැන කිසිසේත්ම නොදැන සිටි චෙන් ගොං පමණක් නොව හූ යාන් සහ හූ යූ වැනි තරුණ දක්ෂයින් පවා සම්පූර්ණයෙන්ම තුෂ්ණිම්භූත කරවන්නට එම සටන ප්‍රමාණවත් විය.

චෙන් ගොංට එය දෙස බලා සිටීමෙන් පමණක් වුවත් ක්ලාන්ත ගතියක් ඇති වී තිබූ නමුත් ඔහුට ඔහුගේ දෑස් එයින් ඉවතට ගත නොහැකි විය. ඔහු දැඩි ලෙස ප්‍රබෝධමත් වෙමින් සිටියදී, ෂෙන්  ච්‍යාඕ හදිසියේම ඔහුගේ උරහිස මත ඔහුගේ දෑත් තද කර, "නැඟිටින්න, ඉක්මනින් යමු!"

සාමාන්‍යයෙන්, ෂෙන් ච්‍යාඕ එක වාක්‍යයක් පවසන විට, චෙන් ගොං අවම වශයෙන් වාක්‍ය තුනකින්වත් තර්ක කරනු ඇත. නමුත් මෙවර ඔහු කීකරු ලෙස ඔහුට සවන් දුන්නේ ය. දත්මිටි කාගෙන, නැඟිට සිටි ඔහු, ෂෙන් ච්‍යාඕත් සමඟ රහසේම පිටත් වීමට සැරසුණි.

කෙසේ වෙතත්, ඔහු නැගී සිටි විගස, ඔහුගේ මුළු සිරුරම ඉහළ අහසට පියාසර කළේ, ඔහුගේ පිටෙන් බලවත් බලයක් ඔහුව ඔසවන බව චෙන් ගොංට දැනෙන අතරතුරදීය. ඔහු අතිශයින් බියට පත් වූ අතර ඔහුගේ කෑගැසීම් පාලනය කර ගත නොහැකි ලෙස අවකාශය පුරා පැතිර යන්නට විය.යැන් වුෂි ඔහුව වහලය මතට විසි කරන විට, ඔහුගේ කකුල් කෙතරම් දුර්වල වී තිබුණේද යත්, ඔහු කෙළින්ම දණ ගසාගෙන සිටි අතර වහලෙන් වැටෙන්නට ද ආසන්න විය.

අද රාත්‍රිය ආරම්භයේ සිටම ඔහු සම්පූර්ණයෙන්ම අවාසනාවන්ත විය. චෙන් ගොං මෙවැනි සිතුවිලි අතර මංමුලා සහගත වන්නට විය. ඔහු වෙව්ලමින් බිම බලාගත් නමුත් යැන් වුෂි අසල තවත් අමතර පුද්ගලයෙක් සිටින බව ඔහුගේ දෑස් කොනට හසු විය. 

ඔහු පමණක් නොව ෂෙන් ච්‍යාඕව ද වහලය මතට ගෙනැවිත් තිබුණි.

ඔහුගේ අතේ උණ සැරයටිය පවා තිබුණි. යැන් වුෂි විසින් ඔහුව ද බලහත්කාරයෙන් රැගෙන විත් තිබුණි. ඔහුට අල්ලා ගැනීමට හෝ ඉවත දැමීමට නොහැකි වී තිබුණි. ඔහු ප්‍රහේලිකාවකින් හා අසරණව බලා සිටියේය. “අපි රාත්‍රිය ගත කිරීමට මෙහි නැවතී සිටි සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙක් පමණයි. මෙම ලෝකයේ ව්‍යාපාරවලට කිසිසේත්ම සම්බන්ධ නැහැ. ණය ගැනීමට එහි ණයගැතියා සිටිනවා. නිකාය නායක යැන්,  කරුණාකර අපට මෙලෙස විහිළු නොකර සිටිය හැකිද?

යැන් වුෂි සිනාසෙමින් පිළිතුරු දුන්නේ, “ඔබ මෙය හඳුන්වන්නේ විහිළුවක් ලෙසද? මම ඔබට ලබා දුන්නේ විශාල වාසියක්. දැන්, මේ ලෝකයේ සෑම කෙනෙකුටම අවශ්‍ය වී ඇති දෙයක් තිබෙන්නේ ඔබේ අතේ. අඩුම තරමින් ඔබට පොඩි හෝ සතුටක් දැනෙන්නේ නැද්ද?”

අහම්බෙන් පැමිණ සිටි අදාළ නැති,   වැදගැම්මකට නැති දෙදෙනකු සඳහා එම උණ බටය ලබා දීමට, යැන් වුෂි සටනට සම්බන්ධ වී තිබූ බව කිසිවෙකුත් සිතුවේ හෝ අපේක්ෂා කළේ නැත. මොහොතකට එහි සිටි සියල්ලෝම දැවෙන බැල්මකින් ෂෙන් ච්‍යාඕ දෙස බලා සිටියේ ඔහුව දෑස්වලින් දවා හලු කරවන්නාක් මෙනි.

සෙන් නායක ෂුඑටිං, " අදාළ නොවන පුද්ගලයන්ව මෙයට සම්බන්ධ කර ගැනීමට තරම් නිකාය නායකතුමාට ඇති අවශ්‍යතාවය කුමක්ද?”

යැන් වුෂි නොසැලකිලිමත් ලෙස තම ඇඳුම්වල බැඳ තිබූ ජේඩ් උපාංගය වෙත තම අත යැව්වේ කම්මැලි ලෙස ය. “එහි ලියා ඇති දේ දැකීමට ඔබ සියල්ලෝම මිය යන්නට පවා සූදානම්  නොවේද? මෙලෙසින් දිගටම රණ්ඩු වුවහොත් අපි අවසානයකට යන්නේ නැහැ. ඒ නිසා සියල්ලන්ටම එයින් කොටසක් දීමට නොහැකි ඇයි? එය ශබ්ද නඟා කියවන තැනැත්තා මම වුවහොත්, ඔබ සහ අනෙක් අය මම කියන දේ විශ්වාස නොකරනු ඇති.එය කියවන තැනැත්තා ඔබ වුවහොත්, මට ඔබේ වචන විශ්වාස කළ නොහැකියි. ඒ නිසා ඔහුට කියවීමට ඉඩ දීම වඩා හොඳයි. කෙසේ වෙතත්, ඔහු කියවන දෙයින් ඔබට කොපමණ අසන්නට ලැබේද යන්න රඳා පවතින්නේ ඔබේම වාසනාව මතයි."

පරිවර්තකගේ සටහන්:

[1] මහලු තට්ට බූරුවා (老秃驴 Lao Tulü): භික්ෂුවක් ඇමතීමට අපහාස කරන ආකාරයකි.

[2] මෙම මහලු භික්ෂුව: ඔහු තමා ගැනම සඳහන් කරයි.

[3] යමෙකු වෙනුවෙන් එය පුළුස්සා දමන්න: චීන සංස්කෘතිය තුළ, ඔබ මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් යමක් පුළුස්සා දමන්නේ නම්, ඔවුන්ට එය පාතාල ලෝකයේදී ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

[4] ඔහුගේ දෑත් එකට තබාගෙන: භික්ෂූන් වහන්සේලා අත්ල එකට තබා භාවිතා කරන ආචාරය.

[5] බුද්ධ නාමය : සාමාන්‍යයෙන් "අමිතාභ" ලෙස කීම ගැන සඳහන් වේ.

පෙර පරිච්ඡේදය |සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය 

වඩාත් නිවැරදි පරිවර්තනයක් දෙන්න ඕනෙ නිසා අපි අපේ පරිවර්තනවල අඩුපාඩු දැනගන්න පුංචි වැඩක් කරනවා මේ ටිකේ. ඒ නිසා ඔයාලා අපිට කරන උදව්වක් විදිහට මේ ෆෝම් එක  පුරවලා දෙන්න. ♥ ගොඩාක් ස්තූතියි හැමෝටම. 

Comments

  1. ඒකෙතියෙන දේවල් බලන්න මමත් ආසයි

    ReplyDelete
  2. හරිම ලස්සනයි කතාව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-