Skip to main content

විසි වෙනි පරිච්ඡේදය: මේ ලැජ්ජා නැති අවජාතකයා!

ඔහුගේ වදන් නිසා යූ අයිගේ මුව මොහොතකට ගොළු විය.

පැවති තත්වය යැන් වුෂිගේ උපහාසාත්මක ප්‍රකාශයන් හමුවේ තවත් අයහපත් අතට හැරවිණි."චි ෆංග හූ ලුගුට යන්න ඉඩ දුන්නා. අවසානෙදි එය නිසා හුලුගුගේ ගෝලයා ඔහුගේම ගෝලයෙක්ව කඳු මුදුනෙන් තල්ලු කළා. චි ෆංග ගෝලයෙක්ව ගන්න තීරණය කළා.ඒ ගෝලයා කෙතරම් අභිලාෂකාමීද යත්, ඔහු තුජුයේ ජනතාව සමඟ හවුල් වෙලා නිකාය නායකයා වෙන්න ඔහුගේම සටන් සහෝදරයාට එරෙහිව කුමන්ත්‍රණය කළා. මට බයයි වෙනත් ලෝකයක ඉන්න චි ෆංග මේ දේවල් ගැන දන්නවානම්, මිනී පෙට්ටියෙන් පිටතට පනින්න තරම් කෝප වෙයි කියලා.” 

යැන් වුෂිගේ උපහාසාත්මක වදන්වලට සවන් දුන් යූ අයි, තව තවත් කෝපයට පත් විය. කෝපය යටපත් කර ගැනීමට නොහැකි වූ ඔහු සිසිල් ස්වරයෙන් පිළිතුරු දුන්නේ ය, “යැන් නිකාය නායකතුමා මධ්‍යම රාත්‍රියේ ආරාධනයකින් තොරව සංචාරය කිරීම තරමක් අශිෂ්ටයි. තවමත් මා කළමනාකරණය කළ යුතු පවුල් කටයුතු කිහිපයක් ඉතිරිව තිබෙනවා."

යැන් වුෂි සිනාසෙමින් පැවසුවේ ය, “කෙතරම් හාස්‍යජනකද! මට අවශ්‍යනම් අවශ්‍ය  ආකාරයට එන්න යන්න පුළුවන්, මාව නවත්තන්න පුළුවන් තැනක් මේ ලෝකේ තවමත් බිහි වෙලා නැහැ. අද මේ වචන චි ෆංග කිව්වනම්, මට ඔහුට යම් ගෞරවයක් දෙන්න තිබුණා. නමුත් ඔබ කවුද?"

කවුරුන් හෝ ඔහුගේ නාසයට ඇඟිල්ල දිගු කොට “කවුද ඕයි ඔහේ?” ලෙස බැන වැදීමක් යූ අයිගේ ජීවිතයේ කිසිදිනක සිදු වී තිබුණේ නැත. ඔහුට එතරම් හොඳ කෝපයක් තිබුණේ නැත. වසර ගණනාවක් පුරා ෂෙන් ච්‍යාඕගේ අදෘශ්‍යමාන බලපෑම යටතේ, ඔහු ඒ වන විටත් තරමක් මෘදු පුද්ගලයෙකු බවට පත්ව තිබුණි. නමුත් අද රාත්‍රියේ සිදු වූ සිදුවීම්වලින් උත්තේජනය වීමෙන් පසු ඔහු තුළ වරක් නිවී ගිය දැල්ල නැවතත් ඇවිළෙන ලකුණු පෙන්නුම් කළේ ය.

වස්ත්‍ර අත තුළ සැඟවී තිබූ ඇඟිලි මදක් චලනය විය. අනෙක් ගෝලයන්ව ඇමතීමට අවශ්‍ය වූ නමුත් අවසානයේ ඔහු එය අත්හැරියේ ය. ෂෙන් ච්‍යාඕට ෂුවාන්දු කන්දේ සිටි ගෝලයන් සමඟ ඉතා හොඳ සබඳතාවයක් තිබූ අතර ඔවුන් අතර ඉහළ නමක් දිනාගෙන සිටියේ ය. ප්‍රඥාවන්ත පාලකයෙකුට සහය දී, ආධිපත්‍යය ලබාගැනීමට උත්සාහ දරන සටනට සහභාගී වීමෙන් ෂුඅන්දු කන්දට නැවත වරක් ලෞකික ලෝකයට ඇතුළු විය හැකි යැයි බලාපොරොත්තුවෙන් සිටින්නා වූ යූ අයිගේ යෝජනාවට ඔවුන් පක්ෂ වුවද, ෂුඅන්දු කන්දේ බලය වෙනස් වනු දැකීමට ඔවුන්ට අවශ්‍ය නොවනු ඇත. ඒ හැරෙන්නට ෂෙන් ච්‍යාඕ සිටින වර්තමාන තත්ත්වය දුටු විට, එම වැඩිහිටියන්ගේ සහ සටන් සහෝදරයන්ගේ හදවත් මෘදු වී, මනස වෙනස් වේවිදැයි පැවසීමට අපහසු විය. එවැනි අවස්ථාවක, තත්වය වඩාත් අවුල් සහගත වනු ඇති අතර පාලනය කිරීමට පවා අපහසු වනු ඇත. 

මේ මොහොත දක්වාම ඒ පිළිබඳව සිතූ ඔහු, පසුව අදහස වෙනස් කොට, අත් චලනයක් මඟින් ඔහුගේ අතට දිගු කඩුවක් ලබා ගත්තේ ය. 

මෙය චි ෆංග විසින් ඔහුගේ ගෝලයන්ට ලබා දුන් කඩු තුනෙන් එකකි. “ස්වර්ගීය විපත” ෂෙන් ච්‍යාඕට ද, “ස්වර්ග වසන්තය” ඔහුගේ ලාබාලතම ගෝලයෙකු වූ ගු හෙන්ග්බෝට ද ලබා දුන් අතර, “සුදම්වත් නියමය” නම් කඩුව යූ අයි හට ලබා දෙන ලදි.[1] 

දිගු කඩුව කම්පනය වූ අතර අඳුරු රාත්‍රියේ දේදුන්නක් මෙන් දිදුලන ආලෝක ස්ථර නිර්මාණය කළේ ය. එවැනි සුවිශේෂී විස්මිත කඩු ආලෝකයක් යෙදිය හැක්කේ ෂුඅන්දු කන්දේ 'නීල තරංග' සටන් කලාව, එහි උපරිම තත්ත්වයට පරිපූර්ණ කළ පුද්ගලයෙකුට පමණි. අකුණු කුණාටුවක හදිසි පැමිණීමක් මෙන්, ලෝකය එහි රළ තුළට ගිල්වා ගනිමින්, නිශ්චල බවෙන් බිඳී චලනය වන විශාල රළ තරංග එකින් එක නැඟී එකා පසුපස එකා මෙන් ඉදිරියට ඇදී ගියේ ය.

මේ මොහොතේ, ඔහුගේ ප්‍රතිවාදියාට දැනෙන්නේ දැවැන්ත කුණාටුවක් ඔහු වටා සෑම තැනකම ඇති බවයි. පොළව පවා සිදුරු කරන තරමට වැහි බිඳු දැඩි ලෙස කඩා වැටෙමින් තිබුණි.බිම් කොටස් දහස් ගණනක් පුරා පැතිර යන සීතල සුළං තියුණු තල සහිත පිහි මෙන් වූ අතර, ඒ සෑම එකක්ම මිනිසුන්ගේ අස්ථි සහ බඩවැල්වල ගැඹුරට කාවැදී, සෑම කෙනෙකුගේම මුහුණුවලට භීතිය ගෙන ඒමට සමත් විය!

එය සිදු වූයේ කවදාදැයි කිසිවෙකුට පැවසිය නොහැකි නමුත් යැන් වුෂිගේ රුව ද පාවී යාමට පටන් ගත් අතර ඔහුගේ පාද බිම ස්පර්ශ නොවන තරම් ඉහළට ඔහු නැඟී තිබුණි. ක්ෂණික බැල්මකින් ඔහු සුළඟට ගසාගෙන යන බවක් පෙනෙන්නට තිබුණි. ඔහුගේ එක් අතක් තවමත් ඔහුගේ පිටුපසින් වූ අතර අනෙක් අත ඝෘජුවම ඉදිරිපස දෙසට තල්ලු විය. ඔහුගේ අත මඟින් කළ සරල කරකැවීමකින්,  මුලින්ම ඔහු මත පතිත වූ කඩු වැස්සෙන් වැඩි කොටසක් විසුරුවා හැරි ඔහු පසුව ඔහුගේ දබරැඟිල්ල දිගු කළේ ය. 

මෙම ඇඟිල්ල ඔහු යූ ෂෙන්ග්‍යාන්ට එරෙහිව අර්ධ පියවර කඳු මුදුනේදී භාවිත කළ ඇඟිල්ලට සමාන විය. 

වෙනස් වූ දෙය නම්, ඔහු යූ ෂෙන්ග්‍යාන්ට මුහුණ දෙන විට භාවිතා කළේ සටන් බලයෙන් සියයට පනහක් වුවද, දැන් ඔහු සියයට අසූවක බලය යොදා තිබීමයි. 

අහස පුරා ඇති අසිපත් ආලෝකය කඩු තුඩෙන් ඇදගත් ආලෝක වළල්ලක් බවට පත් වී යැන් වුෂිගේ ඇඟිල්ල දෙසට පැමිණියේ ය! 

මෙම ස්පර්ශක ලක්ෂ්‍යය කේන්ද්‍රය වීමත් සමඟම ඔවුන්ගේ සිරුරුවලින් පිටතට පැමිණි අභ්‍යන්තර චී ශක්තිය සැණෙකින් රවුමක් ලෙස පැතිරී ගියේ ය. සටන් කවයේ ඇතුළත සිටි පුද්ගලයන් දෙදෙනාගේ වස්ත්‍ර සහ වස්ත්‍රවල අත් පෙරළී වාතයට හැරී ගිය නමුත් ඉන් පිටත සිටගෙන සිටින මිනිසුන්ට එය දරා ගැනීම ඊටත් වඩා දුෂ්කර විය.

මිනිසුන් දෙදෙනා මුලින්ම එකිනෙකාට මුහුණ දෙන විට ෂෙන් ච්‍යාඕ ඒ වන විටත් පසෙකට ගොස් තිබුණි. නමුත් තවමත් ඔහු එයින් බලපෑමට ලක් වූ අතර ඔහුගේ සමබරතාවය පවා නැති වී ගියේ ය. 

අභ්‍යන්තර චී ශක්තිය කඩුවේ තුඩට වත් කරන ලදි. දැවැන්ත රළක් මෙන් වූ එය ප්‍රචණ්ඩ ලෙස නැඟී යැන් වුෂිගේ මුහුණ දෙසට බැස ගියේ ය! 

'නීල තරංග' සටන් කලාව යනු නමක් පමණක් නොවේ. එවකට, චි ෆංග නැඟෙනහිර දෙසට ගමන් කළ පසු,එහිදී ඔහු නිල් මුහුද ඉදිරිපිට සිටියදී මෙම කඩු ශිල්පය අවබෝධ කරගත්තේ ය.බොහෝ සංශෝධනවලින් පසුව, එය ෂුඅන්දු කන්දේ සෑම ගෝලයෙකුම පුහුණු කරන ලද හඳුන්වාදීමේ සටන් කලාවක් බවට පත් විය. එය හඳුන්වාදීමේ කලාවක් පමණක් වුවද, එය භාවිතා කරන පුද්ගලයින් වෙනස් වූ බැවින්, තවමත් උසස් අයගෙන් ද පහත් අයගෙන් ද යහපතෙන් ද අයහපතෙන් ද වෙන් කොට පැවසිය හැකිය.

නිදසුනක් වශයෙන්, යූ අයි ඒ වන විටත් සංයුක්ත සමානතාවයට වඩා අධ්‍යාත්මික සමානතාවයේ උසස් තත්වයට පැමිණ තිබුණි. ඔහුම අවබෝධ කොට ගත් අවබෝධයන් බොහොමයක් 'නීල තරංග' කඩු කලාවට ඒකාබද්ධ කිරීමට ඔහුට හැකි වී තිබූ අතර, ඒ අනුව ඔහු ප්‍රායෝගිකව කඩුව සමඟ එක් වී සිටින තරමට එහි සැබෑ පරිපූර්ණ විධානයක් ලබාගැනීමේ හැකියාව ලබාගෙන  තිබුණි. 

කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් දියත් කළ ද යැන් වුෂිගේ තනි අංගුලිකාව ඉදිරිපිට එය නිෂ්ප්‍රභ වී තිබුණි!

යැන් වුෂිගේ මේ තනි ඇඟිල්ල තල තුඩට තද කළ පසු නිශ්චලව නොතිබූ බව හොඳින් බලන යමෙකු වෙත්නම් ඔවුන්ට ඉතා හොඳින් වැටහෙනු ඇත. සිදු වූයේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. ඔහු ඉතා වේගයෙන්, කෙතරම් වේගයෙන් ගමන් කරමින් සිටියේද යත්, ඔහුගේ ඇඟිල්ල මිනිසුන්ගේ ඇස් තුළ කිසිදු පසු ප්‍රතිරූපයක් ඉතිරි නොකළේ ය. එය නිශ්චල බවක් පෙනෙන්නට ඇති නමුත් ඇත්තෙන්ම සිදු වී තිබුණේ එය නොවේ. ඔහුගේ අතෙහි චලනය කිසි විටෙකත් නතර වී තිබුණේ නැත. එය දිස් වූයේ ඔහුගේ ඇඟිල්ලට පවා ඇස් ඇති ආකාරයට ය.යැන් වුෂිගෙ මෙම අංගුලිකාව ස්ථාන කිහිපයක් මත ස්පර්ශ වී තිබූ අතර, එම ස්ථාන යූ අයිගේ අභ්‍යන්තර චී ශක්තිය සමඟ ඇති කළ බාධකයේ දුර්වලම ස්ථාන විය. 

තම ගුරුවරයා වූ චි ෆංග තවමත් ජීවතුන් අතර සිටි අවධියේදී, ඔහු වරක් ඔවුන්ගේ කාලයේ ලොව හොඳම සටන් විශේෂඥයන් ගැන අදහස් දක්වා තිබූ බව යූ අයි හට හදිසියේම සිහිපත් විය. ඔහු සඳහන් කළ අය අතර යැන් වුෂි ද විය. ඒ මොහොතේ සියල්ලන්ම සිතුවේ චි ෆංග'ගේ විශාලම ප්‍රතිවාදියා වන්නේ තුජුයේවල සටන් විශේෂඥ වන හූ ලුගු බවයි. නමුත් චි ෆංග පැවසුවේ යැන් වුෂිගේ  දක්ෂතා අනුව ඔහු තවත් වසර කිහිපයකින් හූ ලුගු අභිබවා යන බවයි. ඔහුගේ සටන් කලාව සකස් කොට තිබූ සටන් ආකෘතිවලටම අනුගත නොවූ අතර ඊටත් වඩා එය ඔහුගේ හදවත අනුගමනය කරන තත්වයට පත්ව තිබූ බැවින් යැන් වුෂිට චි ෆංග'ව පරාජය කිරීමට පවා හැකි විය හැකි බව ඔහු පවසා තිබුණි. 

වෙනත් අයෙකුටනම්, 'සූර්යවාදය' යනු ගැඹුරු සටන් කලාවන් ඉගෙන ගැනීමට සහ සටන් කලා ක්ෂේත්‍රයේ සමුළුව ඉලක්ක කර ගැනීමට පවා ඉඩ සලසන පුස්ථකයක් වූ නමුදු, යැන් වුෂි සම්බන්ධයෙන් ගත් කල, ඔහු එය දුටුවේ විමර්ශන පොතක් ලෙස පමණි.ඔහු එය භාවිතා කළේ සෑම දෙයක්ම පිටපත් කොට ආරම්භයේ සිටම සටන් කලාව හැදෑරීමට නොවේ. ඔහුගේම සටන් කලාවේ අඩුපාඩු සඳහා පිළියම් යෙදීම සඳහා පමණි.

යැන් වුෂිගේ සියලුම සටන් කලාවන් අතර තරමක් ප්‍රසිද්ධ වූ සටන් කලාවක් ද විය. එය නමින් 'උදක උල්පත් අංගුලිකාව'ය. යැන් වුෂි සමඟ සටන් කළ චි ෆංග, වරක් එය කවියක පද දෙකක් ඇසුරින් විස්තර කළේ ය: 'උල්පත් ජලයේ මුහුදු රැල්ල ඒ මත ඇති පරාවර්තනය ගැන අනුකම්පා කරයි, සියලු ආශාවන් දූවිලි බවට පත් වී ඇත.'

මුලදීම අහිමි වූ තම ප්‍රේම සම්බන්ධය ගැන ගැහැණු ළමයෙකු හඬන ආකාරයෙන් මෙම පද දෙක ඇසුණි. එදා එය ඇසූ යූ අයිට ඔහු අදහස් කළේ කුමක්දැයි වැටහුණේ නැත. 

කෙසේ වෙතත්, මේ මොහොතේ, කවියේ දෙවන භාගය සඳහන් කරන්නේ කුමක් දැයි ඔහුට වැටහුණි.

මක්නිසාද යත් අනෙක් පුද්ගලයාගේ ඇඟිල්ල සමඟ වඩදිය බාදිය මෙන් ප්‍රචණ්ඩ ලෙස ඉහළ යන අභ්‍යන්තර චී ශක්තිය පැමිණි බැවිනි. එය ඔහුගේ ප්‍රහාරය නැවැත්වූවා පමණක් නොව, යූ අයි විසින් තම කඩු ශක්තිය ආධාරයෙන් බොහෝ වෙහෙස මහන්සි වී ගොඩනඟා ගත් බාධකය පවා බිඳ වැටීමට ආසන්න තත්වය කරා ගෙන ආවේ ය. මේ වන විට, ඔහුගේ හැඟීම සහ ඔහු තුල ඇති පීඩනය චී ෆංග පැවසූ දෙයට සමාන විය: ඔහුගේ සියලු "ආදරය" දූවිලි බවට පත් විය! 

යූ අයි හට කඩුවේ ශක්තිය එහි අන්තයටම යෙදවීමට සිදු විය. 

ඒ සියල්ල පිපිරීමක් මෙන් පුපුරා ගියේ තත්පරයකට පසුව ය. ජල වාෂ්ප ඝන වී එම ස්ථානය වැසී යාමත් සමඟ මීදුමෙන් වැසී යාමට පටන් ගත්තේ ය.අවට කිසිතැනක සුළඟක් නොතිබුණත් විශාල පාෂාණ ඉරිතලා පුපුරා ගියේ ය. කන් බිහිරි කරවන ශබ්දයක් ඇති විය!

පිපිරුමෙන් ෂෙන් ච්‍යාඕගේ ශ්‍රවණේන්ද්‍රිය ගැහෙන්නට විය. මොහොතක් යනතුරුම ඔහුට කිසිවක් ඇසුනේ නැත.

මෙවන් නිස්කලංක රාත්‍රියක ෂුඅන්දු කන්දේ සිටින ඕනෑම කෙනෙකුව බිය ගැන්වීමට තරම් ශබ්දය විශාල විය. ඈතින් එකින් එක පහන් ආලෝකයන් දිස් වූ අතර බොහෝ මිනිසුන් මේ දෙසට වේගයෙන් දිව එන බවක් පෙනෙන්නට තිබුණි. ඇතැමුන් ඔවුන්ගේ උඩු වස්ත්‍ර කඩිමුඩියේ හඳගනිමින් දිව එන බවක් පෙනෙන්නට විය.

තත්වය ඒ වන විටත් යූ අයිගේ මුල් අපේක්ෂාවෙන් ඔබ්බට ගොස් තිබුණි. ඔහුට එය හැකිතාක් ඉක්මනින් හා නිහඬව අවසන් කිරීමට අවශ්‍ය වූ නමුත්, යැන් වුෂි එයට මැදිහත් වනු ඇතැයි ඔහු සිතුවේ නැත. ඔහුගේ මැදිහත් වීම නිසා කාරණය පාලනයෙන් මිදී තිබුණි. 

ඔවුන් දෙදෙනාම තම ප්‍රහාරයන් පසුපසට ගත් හ. යූ අයි පියවර තුනක් පසුපසට ගත් අතර යැන් වුෂි පියවර දෙකක් පසු බැස්සේ ය. 

කෙසේ වෙතත්, යූ අයි තම සියලුම බලය යොදා තිබුණ ද, යැන් වුෂි යොදා තිබුණේ තම බලයෙන් සියයට අසූවක් පමණි. ජය ලැබුණේ කාටදැයි ස්වයංසිද්ධව පැහැදිලි විය. 

අවුල් ජාලය මැද යැන් වුෂි සිටගෙන සිටියේ හොඳ සංදර්ශනයක් නැරඹීමට පැමිණියාක් මෙනි. 

යු අයි දත්මිටි කමින් සිටි අතර වචනයක්වත් පැවසුවේ නැත. එක අතකින් ඔහුට සිතුණේ අනික් අයත් පැමිණෙන නිසාවෙන් වැඩිහිටියන් සමඟ එකතු වුවහොත් අවම වශයෙන් මේ පිස්සු තුප්පහිකාර යැන් වුෂිව මෙතැන තබාගත හැකි බවයි. නමුත් අනෙක් පසින් ඔහුගේ සිතේ ගැඹුරින් හට ගත් සිතුවිලි නිසාවෙන් ඔහු එලෙස කළේ නැත. ඇත්තෙන්ම ෂෙන් ච්‍යාඕ වූකලී ෂුඅන්දු කන්දේ සියල්ලන්ගේම ආදරය සහ ගෞරවය හිමි වූ පුදගලයෙකි. ෂුඅන්දු කන්දේ සිටින්නන් ඔහුට විරුද්ධ වන්නේ නැත.

ඔහු ඒ ගැන කල්පනා කරමින් සිටියදී, ඒ වන විටත් අන් සියල්ලන්ටම පෙර වේගයෙන් දිව ආ අයෙක් ඔවුන් වෙත ළඟා වී තිබුණි.

ඒ චි ෆංග'ගේ වැඩිමහල් ගෝලයා වූ තැන් යුඅන්චුන් ය.

ඔහු යූ අයි සහ ෂෙන් ච්‍යාඕගේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා ය. ඔහුගේ සටන් හැකියාව සාමාන්‍ය එකක් වූ අතර ඔහුට තිබුණේ තරමක් මෘදු ස්වභාවයකි.ඔහු වූකලී කිසි විටෙකත් කිසිවෙකු අමනාප කිරීමට උත්සාහ නොකළ සාමය ඇති කරන්නෙකු විය. මෙවැනි ආකල්පයක් සහ සටන් කලා මට්ටමක් නිකාය නායකයෙකුට නියත වශයෙන්ම නොගැලපේ. නමුත් ෂෙන් ච්‍යාඕ ඇතුළු සියලුම සටන් සහෝදරයන් ඔහුගේ ඉවසීම සහ ත්‍යාගශීලීභාවය නිසා ඔහුට බෙහෙවින් ගෞරව කළ හ. ෂෙන් ච්‍යාඕ නිකාය නායකයා බවට පත්වීමෙන් පසු, තැන් යුඅන්චුන් ස්වභාවිකවම වැඩිහිටියෙකු බවට පත් වූ අතර සෑම දිනකම ඔහු ඊළඟ පරම්පරාවේ ගෝලයන් හික්මවීමෙහි නිරත විය.

"කනිෂ්ඨ සහෝදර යූ?" තැන් යුඅන්චුන් එක්වරම යූ අයි දුටු අතර මඳක් පුදුමයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි. “ඒ ශබ්දය ඇසුණේ මෙහි නේද? කවුද මේ මහත්මයා?"

යූ අයි පිළිතුරු දුන්නේ, “පවිත්‍ර චන්ද්‍ර නිකායේ නිකාය අධිපති යැන්” යනුවෙනි. 

යූ අයිගේ හැඳින්වීම ඇසීමෙන් පසු, තැන් යුඅන්චුන් විස්මයට පත් විය. 

අසුර නිකායේ අසුර පරමාධිපතියා මෙහි සිටින්නේ ඇයි?! 

යැන් වුෂිගේ මනෝභාවය තරමක් යහපත් විය. ඔහු අනෙක් පුද්ගලයාට ආචාර කිරීමට පවා මූලිකත්වය ගෙන තිබුණි, “එසේ නම් ඔබ චී ෆංග'ගේ වැඩිමහල් ගෝලයාද? ඔබේ ගුරුතුමා වරක් මා සමඟ සටන් කළ අතර මම ඔහුට පරාජය වුණා. නමුත් දැන් බලන විට ඔහුගේ සියලුම ගෝලයන් වැඩකට නැති අය බවට පත් වෙලා වගේ. ඔබ මා සමඟ සටනකට පැමිණෙන්න කැමතිද? ” 

තැන් යුවාන්චුන්: "..."

ඔහු හැරී යූ අයි දෙස බැලුවේ ය. දෙවැන්නා තම කටහඬ පහත් කළේ ය, “නිකාය නායක යැන්ගේ සටන් කලාව නිසැකවම අසමසමයි. නමුත් අපේ ෂුවාන්දූ කන්දේ බොහෝ පිරිසක් සිටින නිසා අපට ඔබව මෙහි තබා ගත නොහැකියි. ෂුඅන්දු කන්දේ දර්ශනය ඉතා අලංකාර නිසා නිකාය නායක යැන් එය නැරඹීමට පැමිණියාද?" 

චි ෆංග නොමැති ෂුඅන්දූ කන්ද මගේ ඇස් හමුවේ කිසිම වැදගැම්මකට නැති දෙයක් පමණයි." යැන් වුෂි සැහැල්ලු උපහාසයක් එක් කළේ ය.

ඔහු ෂෙන් ච්‍යාඕ දෙසට හැරී උපහාසාත්මක ලෙස පැවසුවේ ය, “තවමත් ඔබ පිටත්ව යාමට කැමති නැද්ද? ඔබ බලා සිටින්නේ ඔබේ කනිෂ්ඨ සහෝදරයා ඔබව සිර කර පසුව ඔබ දෙදෙනා අතර ඇති හොඳ පැරණි සහෝදරත්වය ගැන එකට කතා කරන තුරුද? ” 

තමන්ට නුදුරින් තවත් කෙනෙකු ගස යට සිටි බව තැන් යුඅන්චුන්ට වැටහුණේ මේ මොහොතේදී ය. අනෙක් පුද්ගලයා සෙවණැලි අතර අඩක් සැඟවී සිටි නිසාත්, යැන් වුෂිගේ පැමිණීමෙන් ඔහුගේ අවධානය ක්ෂණිකව යැන් වුෂි වෙත යොමු වීම නිසාත් ඊට අමතරව තරමක් ෂෙන් ච්‍යාඕට තිබුණේ දුර්වල හුස්මක් නිසාත්, මුලදී ඔහුට ච්‍යාඕව නොපෙනුණි. 

කෙසේ වෙතත්, එක්වරක් බැලූ බැල්මෙන්ම ඔහුව හඳුනාගත් තැන් යුඅන්චුන්, “කනිෂ්ඨ සහෝදරයා, නිකාය නායක” යැයි හඬ නැඟුවේ ය.ඔහුට ඇති වූ තිගැස්ම වළක්වා ගත නොහැකි විය.

ගස් කඳට ආධාර වී තමාටම සහය වූ ෂෙන් ච්‍යාඕ, “ජ්‍යෙෂ්ඨ සහෝදරයා, අපි වෙන් වූ දා සිට ඔබ හොඳින් සිටි බව මට විශ්වාසයි.” පවසමින් හඬ පැමිණි දෙසට හිස එසවූයේ ය.

තැන් යුවාන්චුන් සතුටටත්, පුදුමයටත් පත් විය. ඔහු පියවර කිහිපයක් ඉදිරියට තැබුවේ සිතාගත නොහැකි පුදුමයෙන් මෙලෙස පවසමිනි. “ඔබ හොඳින්ද? ඔබ ආපසු පැමිණියේ කවදාද? ඇයි…" 

වාක්‍ය නිම කිරීමටත් ප්‍රථම යූ අයි විසින් ඔහුට බාධා කළේ, “ජ්‍යෙෂ්ඨ සහෝදරයා!”ලෙස අමතමිනි. 

මෙම අවහිර කිරීම නිසාවෙන් යැන් වුෂි දැන් පවසා තිබූ දෙය තැන් යුවාන්චුන්ට සිහි විය. ඔහු වහාම පවසන්නට ගිය දෑ නවත්වා යූ අයි දෙස බලා විමසුවේ, “මොකද මෙතන වෙන්නේ?” ලෙසිනි. 

යූ අයි පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට, “ජ්‍යෙෂ්ඨ සහෝදරයා, ඔබ සියලු දෙනාම නව නිකාය නායකයා ලෙස කනිෂ්ඨ සහෝදරයා තෝරා ගැනීමට සැලසුම් කරමින් සිටින බව ඇත්තද?” යනුවෙන් නැවත විමසුවේ ෂෙන් ච්‍යාඕ ය. 

තැන් යුඅන්චුන් පිළිතුරු දීමට මැලි වූ බවක් පෙනී ගියේ ය. ඔහු මුලින්ම යූ අයි දෙස ද, පසුව ෂෙන් ච්‍යාඕ දෙස ද බැලුවේ ය. නිල වශයෙන් හා උපායශීලී ලෙස පෙනෙන දේවල් පැවසීමට ඔහු නොදැන සිටි නිසා සත්‍ය පැවසීමට ඔහුට සිදු විය, “ඔබ මෙහි නොමැති විට අපි කනිෂ්ඨ යූ සහෝදරයාගෙන් නිකායේ කටයුතු බලාගැනීමට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටියා. කොහොමත් මීට පෙර ඔබට මේ දේවල් සඳහා උදව් කළේ ඔහු නිසා,ෂුඅන්දු කන්ද ගැන හොඳින්ම දන්න පුදගලයා ඔහුයි. ඔබ ප්‍රපාතයට වැටුණු පසු, වැඩිහිටි සියල්ලන්ම මේ ගැන සාකච්ඡා කරලා කණිෂ්ඨ සහෝදර යූට නිකායේ වැඩ බලන නායකයා වීමට ඉඩ දීමට තීරණය කළා... හොඳයි, ඔබ නැවත පැමිණීම හොඳයි. පළමුවෙන්ම හොඳින් සුව වෙන්න, අනෙක් අයව පසුව මුණගැහෙමු.! ” 

ඇත්තෙන්ම අද රාත්‍රියේ ඔහු මෙහි නැවතී සිටියත්, කුන්ය'ට පරාජය වී බරපතල තුවාල ලබා සිටි ඔහුට, නිකාය නායකයෙකුගේ රාජකාරිය දිගටම කරගෙන යා නොහැකි බව ෂෙන් ච්‍යාඕ හොඳින්ම දැන සිටියේ ය. අනෙක් අය කෙසේ වෙතත්, නිර්ලජ්ජිත ලෙස තනතුර තබාගැනීමට තමාම අකමැති බව ද ඔහු වටහාගෙන සිටියේ ය.  ෂුවාන්දු කන්දේ දම් මන්දිරය යූ අයි විසින් පාලනය කරනු නොඅනුමාන ය. එසේ නම්, ඔහු රැඳී සිටීමට තීරණය කළත් නැතත්, තුජුයේ සමඟ යූ අයිගේ සහයෝගීතාවය නැවැත්වීමට ඔහුට නොහැකි විය. ඇත්තෙන්ම, ඔහුගේ වර්තමාන තත්වය සමඟ, රැඳී සිටීම හුදෙක් අන් අයගේ දයාව නිසාවෙන් සිදු වූවකට සමාන වනු ඇත. 

මෙතරම් දුර කල්පනා කළ ඔහු තමන් වෙනුවෙන්ම සුසුමක් හෙළා, තවදුරටත් පසුබට නොවී පැවසුවේ, “නිකාය නාකයතුමණි, මාව රැගෙන යාම සඳහා මට ඔබට කරදර කළ හැකිද!”

"ආ-ච්‍යාඕ!"

"කනිෂ්ඨ සහෝදරයා!"

යූ අයි කෝපයෙන් ද, තැන් යුඅන්චුන් කම්පනයෙන් ද එක්වරම කෑ ගසන්නට විය. ෂෙන් ච්‍යාඕ අසුර නිකායන් සමඟ සම්බන්ධ වූයේ කෙසේද සහ කවදාද යන්න ඔහුට තේරුම් ගත නොහැකි විය. 

යැන් වුෂි ඇහි බැම ඉහළට එසවී ය. ඔහු ෂෙන් ච්‍යාඕගේ තීරණය ගැන පුදුමයට පත් නොවූ අතර එය විශේෂයෙන් සිත්ගන්නා සුළු තීරණයක් බව සිතුවේ ය. ඔහු හිතාමතාම යෝජනා කළේ ය, "ඔබට තවමත් පසුතැවීමට කාලය තිබෙනවා." 

ක්‍රම ක්‍රමයෙන් ළං වන පහන් ආලෝකය මඳක් දුරින් දැකගත හැකි විය. ඒ කඩිමුඩියේ දිව එන ෂුඅන්දු කන්දේ ගෝලයන් ය. 

අන්ධ මිනිසුන්ගේ ශ්‍රවණේන්ද්‍රියන් සුවිශේෂී ලෙස තියුණු ය. ෂෙන් ච්‍යාඕගේ ද පෙනීම හොඳින් නොතිබුණත් ඔහුගේ ශ්‍රවණ හැකියාව ඉහළ විය. එනිසා ඔහුට එම ශබ්දය ඇසීමට හැකි විය. 

ප්‍රතිකේෂ්ප කිරීමට හිස දෙපසට සෙලවූ ඔහු "නැහැ" ලෙස පැවසුවේ ය. 

යැන් වුෂි එම පුද්ගලයාව රැගෙන ඉවත්ව යාමට සූදානම් බව දුටු යූ අයිගේ කෝපය සහ කම්පනය ඒත් සමඟම ඉහළ ගියේ ය. ඔහු තම කඩුව ඉහළට ඔසවා ඔවුන්ව නැවැත්වීමට ඉදිරියට යමින්, “ඉන්න!” ලෙස කෑ ගැසුවේ ය. 

ඔහු පුදුමයට පත් කරමින්, යැන් වුෂි මග හැරියේ හෝ පසෙකට වූයේ නැත. එක් අතක් ෂෙන් ච්‍යාඕගේ ඉණ වටා යැවූ ඔහු ෂෙන් ච්‍යාඕව ඉනෙන් අල්ලාගෙන යූ අයිගේ ප්‍රහාරයේ ඉලක්කය බවට ෂෙන් ච්‍යාඕ පත් කළේ ය. 

තැන් යුඅන්චුන් බියට පත් විය: "තෙවනි කනිෂ්ඨ සහෝදරයා, නවත්වන්න!"

යූ අයි බෙහෙවින් කලබල විය. අත ඉවතට ගත් ඔහු එක්වරම පසු බැස්සේ ය. හදවතින්ම සිනාසුණු යැන් වුෂි එම පුද්ගලයාව ද රැගෙන පිටත් විය.ඇසිපිය හෙලන සැණින් හෝඩුවාවක් නොමැතිව ඔවුන් අතුරුදහන් වී තිබුණි. 

විවෘත අවකාශයේ දිගින් දිගටම දෝංකාර දුන්නේ සිනහවක් පමණි. 

කෝපයට පත් යූ අයිගේ, “මේ ලැජ්ජා නැති අවජාතකයා!” යන හඬ ද සිනහව දෝංකාර දුන් වා තලයට මුසු විය.


පරිවර්තකගේ සටහන්:

[1] කඩු තුනේ නම්: කඩුවල නම ඒවායේ හිමිකරුවන්ට අනුරූප වන ආකාරය බැලීම සිත්ගන්නා කරුණකි. 

⚔️ස්වර්ගීය විපත/Celestial Grief/Shan He Tong Bei (ජන් හ' තොං බ'යි) [山河同悲]:  කඳු සහ ගංගා අප සමඟ එක්ව දුක් වෙමින් සිටිය හ.

⚔️ස්වර්ග වසන්තය/Heavenly Spring/Tian Wei Shui Chun [天为谁春]:  ස්වර්ගය! ඔබ වසන්තය සෑදුවේ කා වෙනුවෙන්ද? 'Nalan Xingde' නම් කවියාගේ කවියකින් ගත් පද පෙළකි. 

⚔️සුදම්වත් නියමය/Saintly Principle/Jun Zi Bu Qi [君子不器]:  දක්ෂ උගතෙකු යාත්‍රාවක් මෙන් නොවිය යුතු ය. එය කොන්ෆියුසියස් ඇනලෙක්ට්ස් හි වාක්‍ය ඛණ්ඩයකි. යාත්‍රාව යන්නෙන් අදහස් කරන්නේ එක් අරමුණක් සඳහා පමණක් සාදන ලද සහ භාවිතා කරන දේවල් ය, එබැවින් වාක්‍යයේ තේරුම උතුම් පුද්ගලයෙකුගේ කුසලතාව තනි අරමුණක් සඳහා පමණක් සඳහා සේවය නොකළ යුතු බවයි. මහත්මයෙකු යනු යම් නිපුණතා ඇති ප්‍රවීණයෙකි, නමුත් මෙම කුසලතා ඔහුගේ මනස පුළුල් දැක්මක් සඳහා විවෘත කිරීමට මාර්ගයක් විය යුතු අතර ඔහුව යම් ක්ෂේත්‍රයකට සීමා කරනවාට වඩා ඔහුව අධ්‍යාත්මිකව දැනුවත් කළ යුතුය. පුද්ගලයෙකු "කුසලතා" මට්ටමේ පමණක් තෘප්තිමත් නම්, ඔහු යාත්‍රාවක් මිස අන් කිසිවක් නොවේ.

Comments

  1. ඇත්තටම යැන් වූෂී මොනවද කරන්නේ කියලා එයාවත් දන්නවද මන්දා.... ❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-