Skip to main content

විසි එක්වන පරිච්ඡේදය: ඔබේ ජීවිතය හෝ මරණය මා සමඟ ඇති සම්බන්ධය කුමක්ද?

සෑම ප්‍රවීණයෙකුටම අවම වශයෙන් යම් තරමක හෝ ප්‍රවීණයෙකුගේ හැසිරීම් ඇත. ඔවුන් තම කීර්තිය කෙරෙහි සංවේදී වුවත්, ඔවුන්ගේ අභිමානය අත්හැරීමට අකමැති වුවත් උසස් තරාතිරමේ සිටින පුද්ගලයින් සාමාන්‍යයෙන් වෙනත් පුද්ගලයෙකු බිල්ලෙකු ලෙස භාවිතා කිරීම වැනි දෙයක් නොකරන්නේ ඔවුන් තවමත් ඔවුන්ගේ මුහුණ ගැන සැලකිලිමත් වන බැවිනි.මෙවැනි නින්දිත ක්‍රියාවක් කිරීමට හැකි වන්නේ ද සූර්යවාදයේ එක් පිටපතක් පවා දෙවරක් නොසිතා විනාශ කළ හැකි යැන් වුෂි වැන්නෙකුට පමණි. එය යූ අයිව කෝපයෙන් පිස්සු වට්ටන්නට සමත් විය. ෂෙන් ච්‍යාඕ පවා ගොළු විය.

යැන් වුෂි ඔහුව කන්දෙන් පහළට ගෙන ආවේ ය. ඔවුන් ෂුඅන්දු නගරය හරහා ගොස් ගම්බද ප්‍රදේශයක පිහිටා තිබූ ස්ථානයකට පැමිණිය හ. මුලින්ම නගරයට ඇතුළු වූ විට ඔවුන් නැවතී සිටි ස්ථානය වූයේ මෙයයි. ඉඩකඩ සහිත ස්ථානයක් ලෙස සැලකිය හැකි විරල කුඩා වනාන්තරයක් ද එහි විය.

ඔහු ෂෙන් ච්‍යාඕව බිමින් තැබුවේ ය.

ෂෙන් ච්‍යාඕ ඔහුගේ දෑත් අල්ලා ගත්තේ ය: "ස්තූතියි!"

යූ අයි සමඟ කළ සටනේදී ඔහු තුවාල ලැබී ය. එතැන් සිට ඔහුගේ සියලුම ලේ සහ චී ශක්තිය එකතැන කැටි වී තිබුණි. බොහෝ වේලාවකට පසු, අවසානයේ ඔහුට උණුසුම  සෙමෙන් සෙමෙන් නැවත දැනෙන්නට විය. ඔහුගේ අත් පා ක්‍රමයෙන් උණුසුම් විය.

යැන් වූෂි උපහාසයෙන් ඇසුවේ ය, “ඉතින් ඔබ ෂුඅන්දු කන්දට ගිය ගමනේ තේරුම කුමක්ද? එයින් ඔප්පු වුණේ මම කලින් දවසක කියපු දේවල් ඇත්ත කියලා විතරයි: අවශ්‍යතා ආවාම මිනිස් හදවත වටින්නේ නැහැ. ඔබේ සටන් සහෝදරයන්ට ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කිසිදු පැකිලීමක් නැතිව ඔබව පාවා දෙන්න පුලුවන්. නිකාය නායකයා වීමට අවශ්‍ය වුනාම, ඔවුන් ඔබට කඳු මුදුනෙන් වැටෙන්න ඉඩ දීලා ඔබ ගැන හොයන්නේවත් නැතිව ඉන්නවා. චි ෆංග 'ඔහුගේ නිකාය සාම්ප්‍රදායික, සදාචාරාත්මක, අවංක තැනක්' කියමින් පුරසාරම් කියෙව්වත් ඔහුගේ ගෝලයන්ගේ හැසිරීම් අපේ අසුර නිකායේ මිනිසුන් සමඟ පවා සසඳන්න බැහැ. කෙතරම්නම් පුදුම සහගතද! ”

ෂෙන් ච්‍යාඕ පර්වතයෙන් වැටුණු පසු, ෂුඅන්දු කන්දේ මිනිසුන් ද මාරුවෙන් මාරුවට ඔහුව එහි සොයා ගිය බව යැන් වුෂි දැනටමත් හොඳින් දැන සිටියේ ය. කෙසේ වෙතත්, ඒ වන විටත් ඔහු ෂෙන් ච්‍යාඕව බේරාගෙන ඔහු සමඟ ආපසු රැගෙන ගොස් තිබුණි. එහෙයින් ඒ මිනිසුන්ට හැකි වූයේ හිස් අතින් ආපසු යාමට පමණි.එහෙත් ඔවුන් වෙනුවෙන් කතා කිරීමට යැන් වුෂිට අවශ්‍ය වූයේ නැත; ෂෙන් ච්‍යාඕ මින් ඉදිරියටත් බලාපොරොත්තු සුන් වනු දැකීමෙන් ඔහු වඩාත් සතුටට පත් විය. මෘදු හදවතක් ඇති, විකෘති නිකාය නායකයෙකුගේ සිට ලෝකයේ සෑම කෙනෙකුටම වෛර කරන වෛරයෙන් පිරුණු පුද්ගලයෙකු බවට ඔහු පත්වනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය.

නමුත් ෂෙන් ච්‍යාඕ මෙම සංවාදයේ යැන් වුෂි විසින් ඔහුට අවධානය යොමු කරවන්නට උත්සාහ කළ කරුණ ගැන සැලකිලිමත් වූයේ නැත. අසල ඇති විශාල පාෂාණයක් තම දෑත්වල ආධාරයෙන් සොයා ගත් ඔහු පසුව ඒ මත සෙමින් වාඩි විය.

යූ අයි මදක් මුරණ්ඩු වූවත් බොහෝ ප්‍රයෝජනවත් ගෝලයෙකි. කුඩා කාලයේ සිටම ඔහුට අවශ්‍ය වී තිබුණේ ඔහු කරන සෑම දෙයකින්ම හොඳම කෙනා වීමට ය. ෂුඅන්දු කන්දේ හැදී නොවැඩුණේ නම්, ඔහු තවත් යැන් වුෂි කෙනෙකු වීමට ඉඩ තිබුණාදැයි කිව නොහැක.නමුත් මේ වසර ගණනාව පුරාවටම ඔහු සිය හදවත සහ ආත්මය ෂුඅන්දු කන්ද වෙනුවෙන් තබා තිබුණි. ඔහු තමා වෙනුවෙන් කිසිවක් රැස් කරගත්තේ නැත. සෙසු ගෝලයන් සියල්ලෝම එකිනෙකා කෙරෙහි සහෝදර ප්‍රේමයෙන් සිටියෝ ය. මේ නිසා වරක් කෙතරම් දැඩි සිතින් සිටියත්, මේ සියල්ල ඔහුව උණුසුම් කිරීමට ප්‍රමාණවත් විය යුතු ය. එහෙයින් යූ අයි යැන් වුෂි මෙන් නොවුණත් ඔහු එවන් අයෙකු බවට පත් වනු ඇතැයි සිතීම ඔහුගේ ස්වාමියා වූ චි ෆංග නැවත ඉපදුනත් අපේක්ෂා නොකරන්නකි. ඔහු තබා එය ෂෙන් ච්‍යාඕවත් අපේක්ෂා නොකරනු ඇත.

කුන්'ය සමඟ සටනේදී යූ අයි,ෂෙන් ච්‍යාඕගේ පරාජය සැලසුම් කළ අතර දහස් ගණනකගේ දෑස් යටතේ සිටියදීත් තුජුයේ පුද්ගලයෙකු ලවා ච්‍යාඕව පරාජය කළේ ය. ඔහුගේ කීර්ති නාමය මුළුමනින්ම විනාශ වූ බැවින්, යූ අයි ස්වභාවිකවම ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත් විය. කිසිවෙකුත් ඔහුව නුසුදුසු යැයි සැලකූයේ නැත. මේ මාර්ගයෙන් ෂෙන් ච්‍යාඕ ජීවතුන් අතර සිටියත් පරාජයෙන් ලද ලජ්ජාව නිසා නැවත නිකාය නායක තනතුර ලබාගැනීමට ඔහු හට නොහැකි විය.

මෙය බොහෝ සේ පිළිගත හැකි බවක් පෙනෙන්නට තිබුණත්, එදින යූ අයි තමාට බොහෝ දුෂ්කරතා අත්විඳීමට වූ බව පවසමින් කෙතරම් උද්යෝගයෙන් දිවුරා ඇත්දැයි සලකා බැලූ කල, ඔහු එය කළේ ලෝකයේ අනෙකුත් සියලුම නිකායන්ට වඩා ෂුඅන්දු කන්ද ඉහළින් තැබීමට බව පැවසුවත්, එම කාරණයේ කිසියම් අමුත්තක් පෙනෙන්නට තිබුණි.

ඇත්තෙන්ම ඔහු කීවාක් මෙන් ඔහුට ඔහුගේම දුෂ්කරතා ඇති බවත්, මෙම සිදුවීම පිටුපස වෙනත් හේතු ඇති බවත් උපකල්පනය කළහොත්, ඔහු නිසැකවම සඳහන් කළේ ෂෙන් ච්‍යාඕගේ ප්‍රපාතයට වැටීමේ සැලසුමට තුජුයේ ජනතාව සමඟ ඔහුගේ රහසිගත කුමන්ත්‍රණය ගැන පමණක් නොවේ.

ඊටත් වඩා වැදගත් වූ තවත් සමහර දේවල් සම්බන්ධයෙන් ඔහු තුජුයේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට ඇත.

ඇහිබැම එක් කොටගනිමින් කල්පනාවේ නිමග්න වූ ෂෙන් ච්‍යාඕට ඔහුගේ හිස ඇතුළත සෑම තැනකම පැතිර ගිය තියුණු වේදනාව පමණක් දැනෙන්නට වූ අතර ඔහු කොතරම් කල්පනා කළද ඔහු සිටියේ ප්‍රහේලිකාවක ය.

ජින් රාජවංශය දකුණට සංක්‍රමණය වූ දා සිට ම්ලේච්ඡයන් පස්දෙනා නිසාවෙන් බොහෝ කැරලි ඇති විය. මෙම වසර තුළ සෑම රටකම පාලන තන්ත්‍රයන් නිතර වෙනස් වුව ද, අතිශයින් පොහොසත් බටහිර සංස්කෘතීන් තිබූ ෂෝ සහ චී වැනි රටවල බලය ක්‍රම ක්‍රමයෙන් පාපකාරී වූයේ ඔවුන්ගේ හන් පද්ධතිවල උරුමය හේතුවෙනි.අකමැති වුවද, ලෝකය එක්සේසත් කරනවානම් මිනිසුන්ට එය පිළිගත හැකි ය. නමුත් අදටත් තණබිම් වල තෘණ බුදින මිනිසුන් සිටින තුජුයේ වැනි ජාතියකට, විටින් විට මධ්‍යම තැනිතලාව ආක්‍රමණය කරන ම්ලේච්ඡ ජාතියකට, කිසිම අවස්ථාවක බුද්ධිමත් පාලකයන් ලෙස හැඳින්විය නොහැක.

තුජුයේ ජනයාගේ අවිනිශ්චිත සහ ම්ලේච්ඡ රූපය ඒ වන විටත් මිනිසුන්ගේ හදවත් තුළ ගැඹුරු හැඟීම් ඇති කර තිබුණි. දැවැන්ත ප්‍රතිලාභ නොමැතිව, විශ්වීය හෙළා දැකීම හමුවේ යූ අයි හට ද ක්‍රියා කිරීමට හැකි වූයේ නැත.

එසේ නම්, ඔහු ඇත්තටම කළේ කුමක්ද? තුජුයේ ජනතාව ඔහුට පොරොන්දු වූයේ කුමක්ද? එසේත් නැතිනම් ඔවුන් ෂුඅන්දු කන්දට ගෙන ආ හැකි ප්‍රතිලාභ මොනවාද?

ෂෙන් ච්‍යාඕට යැන් වුෂි සමඟ මේ දේවල් සාකච්ඡා කිරීමට නොහැකි විය.

වර්තමානයේදී ඔවුන්ගේ සම්බන්ධය ගැඹුරු වුවද, ඔවුන් තවමත් මිතුරන් වූයේ නැත. අනෙක් පුද්ගලයාගේ මනෝභාවය නිසා, ඔහු වැනි අයෙකුගෙන් හෘදයාංගම උපදෙස් ඉල්ලා සිටීම ෂෙන් ච්‍යාඕට කළ නොහැක්කකි.

එය ඔහුගේම මනසින් සිතා බලනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ෂෙන් ච්‍යාඕ හට තිබුණේ නැත.

කෙතරම් සිතුව ද ජනෙල් කඩදාසි තුනී ස්ථරයකින් ඒ දෙස බලා සිටින්නාක් මෙන් හැඟීමක් ඔහුට දැනුණු අතර ප්‍රධාන කරුණට යාමට නොහැකි විය.

යැන් වුෂි හදිසියේම ඇසුවේ ය, “ඔබට ප්‍රමාණවත් විවේකයක් ලැබුණාද?”

ෂෙන් ච්‍යාඕ සන්සුන් ලෙස තම හිස එසෙව්වේ ය.ඔහු තවමත් වෙනත් දේවල් පිළිබඳ කල්පනාවේ යෙදෙමින් සිටි නිසාවෙන්  ඔහුගේ මුහුණේ මදක් අහිංසක සහ මනස්කාන්ත බවක් පෙනෙන්නට තිබුණි.

"එහෙම නම් අපි සටන් කරමු."

ෂෙන් ච්‍යාඕ: "..."

ඔහු කටුක සිනහවක් පෑවේ ය, “නිකාය නායකතුමණි, මම ඔබත් සමඟ සටන් කරන්නේ කොහොමද? දැනටමත් ඔබ එය උත්සාහ කර තිබෙනවා නේද? ”

යැන් වුෂිට එය අමුතු දෙයක් විය, “එසේනම් ඔබ හිතන්නේ මම ඔබව පිටතට ගෙනාවේ කුමන හේතුවකට කියලද? ඔබේ ජීවිතය හෝ මරණය මා සමඟ ඇති සම්බන්ධය කුමක්ද? මට සූර්යවාදයේ ඉතිරි පිටපත අවශ්‍ය නම්, මට එය සොයාගැනීමට කෙළින්ම ෂුඅන්දු කන්දට යන්න පුලුවන්. ඇයි මම ඔබ වගේ කරදරයක් අරගෙන එන්නේ? දැන් ඔබ තුළ සූර්යවාදයේ පොත් දෙකක දැනුම තිබෙනවා. ඔබේ සටන් කලාව ප්‍රතිෂ්ඨාපනය කිරීම කාලයේ ප්‍රශ්නයක් පමණයි. නමුත් ලෝකයේ සිටින සියල්ලන්ම ඔබ තරම් වාසනාවන්ත නැහැ. තාඕ හොන්ග්ජින්ගේ මෙම සටන් ශිල්පය ඔහු හරහාම හැදෑරීමට, සූර්යවාදය ප්‍රගුණ කළ අයෙක්ව මම බොහෝ කලක සිට හෙව්වා. නමුත් මට මාත් සමඟම සටන් කරන්න බැහැ. අර තට්ට බූරු ෂුඑටිං එක්ක පුරුදු වෙන්නත් බැහැ. ඒ නිසා පරිපූර්ණම අපේක්ෂකයා ඔබ නොවේද?”

ෂෙන් ච්‍යාඕගේ මුව තිගැස්සුණි. කුමක් කිව යුතු දැයි ඔහු දැන සිටියේ නැත.

දිගු කලකට පසු ඔහු පැවසුවේ, “මට ඉතිරිව ඇත්තේ සියයට තිහක් පමණයි, යූ අයි සමඟ සටන් කරන විට මට තුවාල සිදු වුණා. මගේ ශරීරයට ලබා දිය හැකි දේට වඩා ඔබ බලාපොරොත්තු වනු ඇතැයි මම බිය වෙනවා." ලෙස ය.

"ඒ නිසයි මම ඔබට ටිකක් විවේක ගැනීමට මෙහි වාඩි වීමට ඉඩ දීලා විශාල කරුණාවක් පෙන්වුවේ."

ෂෙන් ච්‍යාඕ අසරණ ලෙස පැවසුවේ ය, “දැන් මට හදිසියේම හිතෙනවා, ෂුවාන්දු කන්දේ රැඳී සිටීමට බල කිරීම එතරම් නරක තේරීමක් නොවෙයි කියලා..”

යැන් වුෂි පැවසුවේ, “ඔබට දැන් ඔබේ මතකය නැවත ලැබිලා. එයින් අදහස් වෙන්නේ ඔබ කලින් ඉගෙන ගත් සූර්යවාදයේ කොටස ඔබට හොඳින් මතක තබා ගැනීමට හැකි විය යුතු බව. ඒ වගේම ඔබට එය චතුර ලෙස ප්‍රගුණ කිරීමට හැකි විය යුතුයි. එදා මේඝ තරණ ආරාමයේදී ඔබ අහපු කොටස, ඔබේ සූර්යවාදය පිළිබඳ තිබූ අවබෝධය ඊළඟ මට්ටමට ගෙන ඒමට ප්‍රමාණවත් විය යුතුයි." 

මොහොතක් කල්පනා කළ ෂෙන් ච්‍යාඕ පසුව අවංකව හිස වනමින්, "ඒක ඇත්ත." ලෙස පැවසුවේ ය.

මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, යැන් වුෂිගේ අභිප්‍රාය නිර්මල නොවූවත්,බොහෝ විට ඔහු සැරසෙන්නේ ෂෙන් ච්‍යාඕගෙන් ප්‍රයෝජන ගැනීමට හෝ ඔහු දුක් විඳිනු බලා සිට විනෝදාස්වාදය ලබා ගැනීමට වුවත්, තවමත් ෂෙන් ච්‍යාඕගේ සිතේ ඔහු පිළිබඳව බොහෝ ස්තුතිවන්ත හැඟීම් තිබුණි.

ෂෙන් ච්‍යාඕ,“මම පවිත්‍ර චන්ද්‍ර නිකායේ මන්දිරයෙන් පිටව ගිය දා සිට නිකාය නායක යැන්ට නිසි ලෙස ස්තූති කළේ නැහැ. ඔබ නොසිටියේ නම්, සමහරවිට මම දැනටමත් අඩ පියවර කඳු පාමුල නික්ම ගිය ආත්මයන් අතරට එකතු වන්නට ඉඩ තිබුණා." ලෙස පැවසී ය.

යැන් වුෂි පිළිතුරු දෙමින් මෙලෙස පැවසුවේ ය, “ඔබ වැඩිපුරම ස්තූති කළ යුත්තේ ඔබ තුළ තිබෙන සූර්යවාදයේ අභ්‍යන්තර චී ශක්තියට. ඒ වෙනුවෙන් නොවුනානම් මට ඔබව බේරගන්න හිතෙන්නේ නැහැ.” 

ෂෙන් ච්‍යාඕ තමාවම සනසා ගැනීමට උත්සාහ කළේ ය, “...හරි. මම මගේ ගුරුතුමා වෙනුවෙන් සුවඳ දුම් දල්වලා සූර්යවාදය මට ලබා දීම වෙනුවෙන් ඔහුට ස්තුති කරන්නම්."

යැන් වුෂි, “මම යූ අයි සමඟ සටන් කරන විට, සූර්යවාදයෙන් පැමිණි අභ්‍යන්තර චී ශක්තියේ කිසිවක් ඔහුගෙන් මට හමු වුණේ නැහැ. අනුමාන කළොත්, මට හිතෙන්නේ චි ෆංග එය ඔබට පමණක් ලබා දුන්නා කියලා."

ෂෙන් ච්‍යාඕ හිස වනමින් එය පිළිගත්තේ ය, “ඒක හරි. එදා ගුරුතුමා මට දුන්නේ 'ඉබාගාතේ යන ආත්ම' පිටපත පමණයි. ඔහු එය වාචිකව කටපාඩම් කරන ලෙස මට නියෝග කළා. නමුත් එය ලිවීම මට තහනම් කළා.එතන ඉන්න හැමෝම කියනවා ෂුආන්දූ කන්දේ සූර්යවාදය පොතක් හංගලා තිබෙනවා කියලා. නමුත් අද වෙනකම් ඒ පොත තියෙනවාද නැද්ද කියලා මම තාම දන්නේ නැහැ.”

යැන් වුෂිට එය ඉතා සිත්ගන්නාසුලු කරුණක් විය: “ෂුඅන්දු කන්ද පසු පරම්පරාවලට ලබා දෙනවාට චී ෆංග අකමැතිද?, නැතහොත් ඔහුගේ සියලුම ගෝලයන් තමන් විසින්ම යමක් ඉගෙනගන්නවාට ඔහු අකමැතිද? ඔහු 'ඉබාගාතේ යන ආත්ම' පොත ඔබට පමණක් ලබා දුන්නේ ඇයි? ”

ෂෙන් ච්‍යාඕ සෙමින් පැහැදිලි කළේ ය, “මුලදී මමත් ඒ ගැන ගුරුතුමාගෙන් ඇහුවා, නමුත් ඔහු පිළිතුරු දුන්නේ නැහැ. තාඕ අමරණීය ස්වාමියා ජීවත්ව සිටියදී ගුරුතුමාගේ පැරණි මිතුරෙක්. අමරණීය තාඕතුමා වරක් සූර්යවාදය පුස්ථකය ගැන පසුතැවිලි වූ බව මට ආරංචි වුණා. පොත බාහිර ලෝකයට ගියොත්, එය ලොව පුරා සිටින මිනිසුන් නිමක් නැති සටනකට ඇද දමනු ඇතැයි ඔහුට හැඟුණා. සමහරවිට ඒ හේතුව නිසා ගුරුතුමාට යම් තරමකට එහෙම දැනෙන්න ඇති කියලා මම හිතනවා. එක අතකින්, ඔහුට අවශ්‍ය වුණේ ඔහුගේ මිත්‍රයා මුළු ජීවිත කාලයම මහන්සියෙන් වැඩ කළ ප්‍රතිඵලය පසු පරම්පරාවට ලබා දීමට.අනෙක් අතට, එය සියල්ලන්ම සටන් කිරීමට තරම් පුළුල් ලෙස පැතිරෙන්න ඉඩ දෙන්න ඔහුට අවශ්‍ය වුණෙත් නැහැ.ඒ නිසයි ඔහු මේ වගේ පරස්පර තීරණයක් ගත්තේ.”

යැන් වුෂි පිළිකුල්සහගත හඬක් නඟමින් පැවසුවේ ය, “මොන තරම් සුළු කරුණාවක්ද!මේ කාරණය සම්බන්ධයෙන් ගත්තත් ඔහු එලෙසයි. එදා හු ලුගු සමඟ සටන් කරන විටත් ඔහු එලෙසයි! හු ලුගූ මරා දැමුවේ නැති නිසා පසු පරම්පරාවට සැඟවුණු අනතුරු ඉතිරි වුණා! ඔහුගේ සටන් කලාවේ තත්වය අසමසමයි. නමුත් ඔහුගේ මනස අවිනිශ්චිත කාන්තාවකගේ මනසට වඩා වැඩි වෙනසක් නැහැ. ඒ නිසා එය නිෂ්ඵලයි! එය එසේ නම්, ෂුඅන්දු කන්දේ ගෝලයන්ට සටන් කලාව පුහුණු කරන්න ඔහු ඒ තරම් වෙහෙසුණේ ඇයි? ෂුඅන්දු කන්ද සාමාන්‍ය දාඕවාදී පන්සලක් කළානම් ඊට වඩා හොඳ නැද්ද? ඔහු යුද්ධයෙන් තොර ලෝකයක් ප්‍රාර්ථනා කරනවා නම්, ඔහු එය තමන්ගෙන්ම ආරම්භ කරන්නේ නැත්තෙ ඇයි?"

මෙම වචන කටුක හා ර‍‍ළු වූ නමුත් ඒවා සම්පූර්ණයෙන්ම අසාධාරණ නොවී ය.

ෂෙන් ච්‍යාඕ සහ ඔහුගේ ගුරුවරයා අතර පොදු දෙයක් තිබුණි. එනම්, ඔවුන් දෙදෙනාටම කාරුණික, මෘදු හදවත් තිබූ අතර සෑම විටම අනෙක් පුද්ගලයින් ගැන සැලකිලිමත් විය. නමුත් ඔවුන් අතර වෙනසක් ද විය. පිටත සංචාරය කළ කාලය අතරතුරදී ඔහු සාගතය, දුප්පත්කම, සාමාන්‍ය ජනයාගේ දුක් වේදනා සහ ලෝකයේ ධනවත් හා බලවත් අය ක්‍රීඩාවට ඇදී යන ආකාරය යන සියල්ලම දුටුවේ ය. ඔහුගේ සිතුම් පැතුම් ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය.ෂුඅන්දු කන්ද මේ මිනිස් ලෝකය තුළ පවතින තාක් කල්, ලෝකයෙන් වෙන් වී සෑම දෙයකින්ම බැහැරව සිටිය නොහැකි බව ඔහු සොයා ගත්තේය. එය ද ඉක්මනින් හෝ පසුව අනිවාර්යයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ වනු ඇත.

අවාසනාවකට මෙන්, ඔහු ෂුඅන්දු කන්දට කිසියම් වෙනසක් ගෙන ඒමටත් පෙර, බලා සිටීමට නොහැකි වූ යූ අයි ඔහුව ඉවත් කර ෂුඅන්දු කන්ද සම්පූර්ණයෙන්ම නොදන්නා මාර්ගයක් කරා රැගෙන ගොස් තිබුණි.

ඔහු හිස මඳක් පහත් කර මෙනෙහි කළේ ය.

අනෙක් පසින්, යැන් වුෂිගේ ඇඟිල්ල ඒ වන විටත් කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව නිශ්ශබ්දව මෙම දිශාවට යොමු වී තිබුණි.

ෂෙන් ච්‍යාඕගේ පෙනීම අයහපත් තත්වයේ තිබූ බැවින්, ඔහු තම ශ්‍රවණේන්ද්‍රියන් මඟින් සංවේදන ලබාගැනීමේ හැකියාව පුහුණු වී තිබුණි. අමුතු ශබ්ද කිහිපයක් ඇසුණු ඔහු ක්ෂණිකව පාෂාණය මතින් ඉදිරියට තල්ලු වී ඉහළට පැන්නේ ය. ඉන්පසු ඔහු වේගයෙන් පසුබසින්නට විය.

ෂුඅන්දු කන්දේ සැහැල්ලු කුසලතාව මේ ලෝකයේ ඇති අසමසම සටන් කලාවකි.“දේදුනු සෙවණැල්ල” [1] සටන් ක්‍රමයෙන් පසු, ෂෙන් ච්‍යාඕගේ ඉරියව් එක්වරම වෙනස් විය. සුළඟ හමුවේ සෙලවෙන මුදු මොළොක් නෙළුම් මලක් මෙන්, සිනා සෙන නිල් දිය පොකුණක් මෙන් එසේත් නැත්නම් විලෝ අත්තක් දිග හැරෙනවාක් මෙන් වූ විස්තර කිරීමට අපහසු තරම් අලංකාර ලාලිත්‍යයකින් ඔහු ගමන් කළේ ය. ඔහුගේ යුධ ශක්තිය දුටු අයෙක් වේ නම්, පුෂ්පයන් පිපෙන විට එය කෙබඳු වේ දැයි නොපැහැදිලි ලෙස හැඟීමක් ඇති කරවන්නට සමත් විය.

ෂෙන් ච්‍යාඕගේ සටන් ශක්තිය තවමත් යථා තත්ත්වයට පත් වී නොතිබුණි. එහෙයින් යැන් වුෂිගේ වේගය ඔහුට වඩා බෙහෙවින් විශාල විය. ඔහු අඩි බාගයක් පමණ මන්දගාමීව සිටි නමුත් මොහොතකට පෙර ඔහු වාඩි වී සිටි පාෂාණය ඒ වන විටත් විශාල ශබ්දයක් සමඟ කැබලිවලට කැඩී ගොස් තිබුණි. කැඩී ගිය පාෂාණ කැබලි සෑම දිශාවකටම විසිරී ගියේ ෂෙන් ච්‍යාඕ දෙසට ද වර්ෂාවක් මෙන් විසිරෙන අතරතුරදී ය.

වාසනාවකට මෙන්, නියමිත වේලාවට ඔහුගේ අභ්‍යන්තර චී ශක්තිය ලබාගැනීමට හැකි වූ ඔහුට එමඟින් සිය මුහුණ විසිරුණු පාෂාණ කැබලිවලින් ආරක්ෂා කරගත හැකි විය. නමුත් එම තියුණු ගල් පහරින් ඔහුගේ දෑත්වල කොටසකට හානි සිදු වී තිබුණි. ඔහුගේ මැණික් කටුවට එමඟින් හානි වී තිබුණි. පැහැපත් සම මතින් ක්ෂණිකව රුධිරය ගලා යන්නට විය.

"'උල්පත් ජලයේ මෘදු රැල්ල ඒ මත ඇති පරාවර්තනය ගැන අනුකම්පා කරයි, සියලු ආශාවන් දූවිලි බවට පත් වී ඇත.' ඇත්තෙන්ම එය එහි නමට සුදුසුයි!” ෂෙන් ච්‍යාඕ අවධානය යොමු කළේ ඔහුගේ මැණික් කටුවෙහි තිබූ තුවාලය වෙත නොව,අනෙක් පුද්ගලයාගේ චලනයන්ට සවන් දීම කෙරෙහි ය.

යැන් වුෂි කටයුතු කළ ආකාරය අනුව, ඔහු යමෙකුට පහර දෙනවානම්, කිසි විටෙකත් ඔහු එම ප්‍රතිවාදියාට අනුකම්පාවක් දක්වන්නේ නැත.

මේ දිනවල ඔහුත් ස‍මඟ එකටම ගැවසීමෙන් පසු ෂෙන් ච්‍යාඕට මෙම අවබෝධය ලැබී තිබුණි.

අද සටනේදී, අනෙක් පුද්ගලයා සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වන තුරු ඔහු සටන් කළ යුතු ය; එසේ නොවුවහොත්, ඔහු නිෂ්ඵල ලෙස මිය යනු ඇත.


පරිවර්තකගේ සටහන්:

[1] දේදුනු සෙවණැල්ල/Rainbow Shadow (天阔虹影 Tian Kuo Hong Ying):  ෂුඅන්දු කන්දේ සැහැල්ලු කුසලතාවේ නම (ආරක්ෂක සටන් කලාවකි). වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, Broad Sky Rainbow Shadow, (හෝ පුළුල් අහසේ දේදුන්න රූපය) යන්නයි.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. ❤️❤️❤️love this

    ReplyDelete
  2. යැන් වූෂි නපුරුයි වගේනේඩ

    ReplyDelete
  3. පුද්ගලයෙක් වැඩිපුරම නපුරුකම් කරන්නේ වැඩිපුර ම කැමති කෙනාටලූ. 😁😁😁

    ReplyDelete
  4. Yan wushi ෂෝක් අප්පා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-