Skip to main content

අටවන පරිච්ඡේදය | වත්මන් ෂෙන් ච්‍යාඕ යනු මුලින් සිටි ෂෙන් ච්‍යාඕ නොවේ.

 ෂෙන් ච්‍යාඕ අවදි වන විට දුටුවේ ඔහුගේ හිසට ඉහළින් තිබූ වසර ගණනාවක් ඉපැරණි වහළකි. එය දිරාපත්ව ගොස් තිබුණේ කොයි මොහොතක හෝ බිමට වැටෙන්නට ආසන්න බවක් මවා පාමින් ය.

අසල සිටි අයෙක් ඔහුගේ උරහිසෙන් සොලවමින් සිටියේය.

මේ මොහොතේ ඔහු සිටින්නේ කොහිදැයි නිශ්චය කරගත නොහැකි වූ ඔහු යටි සිතින් මැසිවිලි නැඟුවේ, "ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා.., ඕක නවත්තන්න” ලෙස ය.

"කවුද ඔබේ ජ්‍යෙෂ්ඨ සටන් සහෝදරයා?" චෙන් ගොං සිටියේ හොඳ මනෝභාවයකින් නොවේ.“ඔබ දවස් දෙකක් තිස්සේ හොඳට නිදාගත්තා! මම මගේ මුළු මුදලම ඔබ වෙනුවෙන් වියදම් කළා. නමුත් ප්‍රමාණවත් නොවූ නිසා මම දැනට ඔබේ මුදල් ගත්තා. එය පවා ප්‍රමාණවත් වුණේ දින තුනකට පමණයි. හෙට වන විට ගෙවීමට නොහැකි උනොත් අපිව පන්නලා දායි! ඊට පස්සේ අපිට ආපහු යන්න වෙන්නේ අබලන් වූ පන්සලේ ජීවත් වෙන්න!”

ෂෙන් ච්‍යාඕ "ඔහ්" යනුවෙන් පිළිතුරු දුන් අතර, හිස් ඇස්වලින් වහලය හරහා වැටී තිබුණු ආලෝක කදම්භය දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. ඔහු බලන්නේ කුමක් දෙසදැයි චෙන් ගොංට වැටහුණේ නැත.

මෙලොව කිසිම කෙනෙක් තමා ගැන සැලකිල්ලක් නොදක්වනවාක් මෙන් වූ ෂෙන් ච්‍යාඕගේ ක්‍රියාකලාපය දැකීම චෙන් ගොංගේ කෝපයට හේතු විය. ඔහුට, ෂෙන් ච්‍යාඕගේ උරහිසට තවත් තල්ලුවක් නොදී සිටීමට නොහැකි විය. "අඩුම තරමේ මොනවාහරි කියන්න. බලාගෙන ඉන්න එක නවත්වන්න! අපි දැන් ඉන්නේ තානායමක! ඔවුන් ආයෙත් ඇවිත් පළිගනීවි කියලා මට බය හිතුණ නිසා මම ඔබව ඒ ජරාජීර්ණ වුණ පන්සලෙන් පිටතට ගෙනාවා. මම ඔබ වෙනුවෙන් වෙදදුරෙකුට පවා කතා කළා.ඔහු පැවසුවා ඔබේ චි ... ම්ම්ම් ... බිඳිලාද මොකක්ද වගේ එකක්. ඒ වගේම .... එම්ම්ම්... ඔබේ ශරීරයේ යම් ආකාරයක සීතලක් තිබෙනවා කියලාත් කිව්වා. කොහොම වුනත් ඒක බොහොම බරපතල තත්වයක් නිසා බෙහෙත් වට්ටෝරු බොහොමයකුත්  නියම කලා. කොටින්ම මගේ මුදල් සේරම ඒ වෙනුවෙන් වියදම් කරන්නත් වුණා!"

ෂෙන් ච්‍යාඕට වේදනාවක් දැනුනත් එය නොපෙන්වා පිළිතුරු දුන්නේ, “ඔහුට බෙහෙත් ලියන එක නවත්වන්න කියන්න. ඒවා නිෂ්ඵලයි. මෙය මගේ ශරීරය. ඒ නිසා මම දන්නවා, ඒක එතරම් කෙටි කාලයකින් සුව කරන්න පුළුවන් දෙයක් නොවන බව."

“කිව්වත්, දැන් තියෙන ප්‍රයෝජනය කුමක්ද? මම දැනටමත් බෙහෙත් ගෙනැවිත් අවසන්. එය ආපසු ලබා දිය හැකි යැයි ඔබ සිතනවාද?! ”

"එහෙනම් එය අමතක කරන්න"

චෙන් ගොන් අඩක් සිටගෙන සිටින්නාක් මෙන් වූ ඉරියව්වකට මාරු වූ අතර, ෂෙන් ච්‍යාඕගේ ඇස් මට්ටමට පහත් විය. “ඒයි! ඔබේ කුසලතා ඉතා හොඳ නිසා අපි ජීවත්වීම සඳහා වීදිවල සටන් කලාවන් ඉදිරිපත් කළොත් කොහොමද? නැත්තම් අපිට පුලුවන් සය සහයෝගිතා සන්ධානයට එකතු වෙන්න. ඔවුන්ගේ සංධානයේ උප ශාලාවක් මේ දිස්ත්‍රික්කයේත් තිබෙනවා. ඔබේ සටන් කලා කුසලතා නිසා, ඔබට හොඳ ස්ථානයක් ලැබෙන බවට සැකයක් නැහැ. මාවත් ඔබත් සමඟ රැගෙන යන්න ඔබට හැකි වේවි..."

ෂෙන් ච්‍යාඕ ඇසුවේ, "සය සහයෝගිතා සන්ධානය" යනු කුමක්ද?"

ෂෙන් ච්‍යාඕගේ හිස් හා අහිංසක දෑස් දුටු චෙන් ගොංට ඔහුගේ කෝපය පාලනය කරගෙන, ඉවසීමෙන් පැහැදිලි කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.“එය ගොඩබිම සහ ජලය යන දෙකෙහිම ව්‍යාපාර කරන සන්ධානයක්. ගොඩබිමේදී ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ භාණ්ඩ ප්‍රවාහනයයි. අනිත් අය වෙනුවෙන් තොරතුරු එකතු කරනවා කියලත් මම අහලා තියෙනවා. කෙටියෙන් කිව්වොත්... කොහොම වුනත්, මේ මහා සන්ධානය ඇත්තෙන්ම පුදුම සහගතයි! මට මේ ගැන දැනගන්න ලැබුණේ අහම්බෙන්, අනෙක් අය මේ ගැන කතා කරන විට ඇහුණ නිසා. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද? අපි සය සහයෝගිතා සන්ධානයට යමු! එතකොට ඔබට දිනපතා අනාවැකි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට සහල් ගෝනි රැගෙන යාමට ද අවශ්‍ය වෙන්නේ නැහැ!”

ඔහුගේ පැහැදිලි කිරීම අවසන් වූ විට පවා ඔහු සිටියේ මහත් උද්යෝගයෙනි.

ෂෙන් ච්‍යාඕ හිස සැලුවේය. “මම ඔබට කලිනුත් පවසා තිබනවා මට මගේ අතීතය අමතක බව. ඊයේ රාත්‍රියේ එම පියවරවල් වාසනාව නිසා සිදු වූවක් මිස අන් කිසිවක් නිසා නොවේ. මගේ ඇස් හොඳ නැති බව අමතක කළත්, හැකියාවක් පවා නොමැති මා වැන්නෙකුට මොන රැකියාවක්ද? නිශ්ශබ්දව සිට, දිගටම මෙලෙස මුදල් සෙවීම ප්‍රමාණවත්.”

මෙම වාක්‍යය චෙන් ගොං වෙත හෙළන ලද සීතල වතුර බාල්දියක් බඳු විය. ඔහුගේ සිනහව පවා සම්පූර්ණයෙන්ම වියැකී ගියේය.

ෂෙන් ච්‍යාඕට පැහැදිලිව දැකීමට නොහැකි වුවද, ඔහුට තවමත් පිරිමි ළමයාගේ කලබලය දැනෙන්නට විය. “ඔබ තවමත් තරුණයි. එක් පියවරක් පමණක් දැකීමෙන් දේවල් කරන්නේ කෙසේද යන්න ගැන නොසිතන්න. අපි සටන්කාමී ලෝකයේ මිනිසුන් නොවෙයි. මේ වගේ රණකාමී සංධානයකට එහි නීති රීති චාරිත්‍ර වාරිත්‍ර පවා නොදැන කඩිනමින් සම්බන්ධ වීම නුසුදුසු බව ඔබට පෙනෙන්නේ නැද්ද?”

චෙන් ගොං ඉතා අසතුටට පත් විය. “නුසුදුසු දේ කුමක්දැයි මම දන්නේ නැහැ. මම දන්නේ දිනපතාම සහල් ගෝනි ඔසවලා උපයන මුදල අපේ කුලියටවත් දෙන්න මදි බව පමණයි. බෙහෙත් වට්ටෝරුව ගැනීමට මුදල් වැය වෙනවා. ආහාර සඳහා පවා මුදල් වැය වෙනවා. ඔබ උතුම් හා ගුණවත් තැනැත්තෙක් බව සහතිකයි! නමුත් කොහෙන් හරි අපිට මුදල් ගලාගෙන  එනවද? මම පැවසුවේ සොරකම් කිරීමක් හෝ, මංකොල්ල කෑමක් වැනි දෙයක් නොවෙයි. දිනපතාම මගේ ඔළුවට වැටෙන සල්ලි ගැන පමණක් හීන මවනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ වගේ කතා කරන්න එපා... හේයි! හේයි! මොකක්ද වැරැද්ද? මාව බය කරන්න එපා! මම කළේ ඔබට ටිකක් බනින එක විතරයි!"

අත් දෙකෙන්ම හිස අල්ලාගෙන ෂෙන් ච්‍යාඕ වේදනාවේ පිපිරුම පහව යන තෙක් බලා සිට සෙමින් පැවසුවේ  “මම සය සහයෝගිතා සන්ධානයට යන්නේ නැහැ. මම යන්නේ ෂුවාන්දූ කන්දට.”

චෙන් ගොං කුතුහලයෙන් ඇසුවේ, "ෂුඅන්දූ කන්ද? එය තිබෙන්නේ කොහේද?"

කිසි දිනක අධ්‍යාපනයක් නොලැබූ ෆනින් දිස්ත්‍රික්කයේ පමණක් හැදී වැඩුණු ඔහුගේ දැනුම තරමක් සීමිත විය. සය සහයෝගිතා සන්නධාය ගැන පවා ඔහු අසා ඇති හේතුව වූයේ එයට මෙම දිස්ත්‍රික්කයේ උප ශාඛාවක් තිබීමයි. අනෙක් නිකායන් සම්බන්ධයෙන් ගත් කල, ඔහු ඒ ගැන දැන සිටියේ අල්ප වශයෙනි.

ඔහුට, සටන්කාමී ලෝකය ළඟා විය නොහැකි තරම් දෙයක් විය.

ෂෙන් ච්‍යාඕ වචනයක්වත් නොපවසා හිස දෙපසට වනමින් නැවතත් නිශ්ශබ්දතාවයෙහි ගිලුණේ ය.

චෙන් ගොං දැඩි ලෙස පැවසුවේ, "ඒයි! අවම වශයෙන් යමක් කියන්න! මගේම මුදල් පවා මම ඔබ වෙනුවෙන් වෙදදුරාට සහ බෙහෙත්වලට වියදම් කළා! ඔබ මට ආපසු නොගෙවන බව මට කියන්න එපා!”

ෂෙන් ච්‍යාඕ, “ඉදිරි දින කිහිපය තුළ මම පෙර පරිදිම අනාවැකි කීමේ කුටියක් පිහිටුවනවා. මම ඔබට ආපසු ගෙවීමට වැඩි කාලයක් ගත නොවනු ඇති."

සය සහයෝගිතා සන්ධානය වෙත යොමු වීමට ඔහුට ඇති උනන්දුව ශුන්‍ය බව දුටු චෙන් ගොංට කලකිරීමට පත්වීම වළක්වා ගත නොහැකි විය. සහල් ගෝනි රැගෙන යාමෙන් ඔහුට ලැබුණු කුඩා ශක්තිය හැර අන් කිසිවක් නොමැති ඔහුට, ෂෙන් ච්‍යාඕ නොමැතිව බැල්මක්වත් ලැබෙන්නේ කාගෙන්ද?

"ෂුඅන්දූ කන්ද මොන වගේ තැනක්ද?"

"කන්දක්."

“…”

ඔහු කෙතරම් කෝපයට පත් වී තිබුණේද යත්, තමාගේ මරණය සිදුවෙන්නේ ෂෙන් ච්‍යාඕගේ අතින් වනු ඇතැයි පවා ඔහු සිතුවේය, “මෝඩයි! එය කන්දක් බව මම දන්නවා! මම ඔබෙන් අහන්නේ ඔබ එහි යාමට කැමති වෙන්න තරම් එය මොන වගේ තැනක්ද කියලා!

“මමත් දන්නේ නැහැ. කෙනෙක් කිව්වා මම පැමිණියේ එහි සිට බවත්, මම ආපසු යනවානම් යා යුත්තේ එහි බවත්."

"ඒ කන්ද තිබෙන්නේ කොහේද?"

"චී, ෂෝ සහ චෙන් අතර ත්‍රි-දේශ සීමාව අසල."

චෙන් ගොං කම්පනයට පත් විය, “එතරම් දුරද? ඔබ කෙසේද එතන සිට මෙතනට පැමිණියේ?”

“මම ඔබට කලින් පැවසුවේ නැද්ද? මට බොහොමයක් දේවල් අමතක වෙලා.තවමත් මට ඒවා සම්පූර්ණයෙන්ම මතක නැහැ. මම හේතුව දන්නවා නම්, මම තවමත් බැලීමට ආපසු යාම වැනි දෙයක් කියන්නේ ඇයි? ”

චෙන් ගොං මොහොතක් කල්පනා කර, “මේක කොහොමද? මම ඔබ සමඟ එකට එන්නම්. ඔබ මට ආපසු ගෙවිය යුතු නැහැ, ඔබ මට, හය හතකට ප්‍රහාර දීමට හැකි චලනයන් කිහිපයක් උගන්වන්න. අපි චෙන් රාජ්‍යයට ගිය පසු, මම සය සහයෝගිතා සංධානයට බැඳෙන්නම්. ඔබ ඔබේ ෂුඅන්දූ කන්දට යන්න. එලෙස හොඳයි නේද?"

ෂෙන් ච්‍යාඕ පැවසුවේ, “ෆනින් දිස්ත්‍රික්කය ඔබේ උපන් නගරයයි. මෙය බාහිර ලෝකයට වඩා වෙනස් තැනක්. යුද්ධයට කලාතුරකින් නිරාවරණය වන සාමකාමී ස්ථානයක්. මම බටහිර දෙසටයි ගමන් කරන්නේ. අපි චී සහ ෂෝ අතර මායිමට සමීප වන තරමට එය අවුල් සහගත වනු ඇති. මට වෙනත් විකල්පයක් නැති නිසයි මම යන්නේ. නමුත් ඔබ එවැනි භයානක ගමනක් යන්නේ ඇයි? ”

චෙන් ගොං සෘජු මුහුණක් තබාගෙන පිළිතුරු දෙමින්, “මගේ මව්පියන් දෙදෙනාම මිය ගොස්. ඒ නිසා මගේ නිවස මගේ සුළු මවගේ දරුවන් විසින් අල්ලගත්තා. ෆනින් දිස්ත්‍රික්කයේ සහල් ගෝනි ඔසවමින් මෙතනම ඉන්නවට වඩා මට හොඳයි එතන ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගන්න එක. මම හමුදාවට බැඳෙන්න සුදුසු බවක් ඔබ කිව්වේ නැද්ද? එසේනම්, මම අඩුම තරමේ යුද්ධ නිතර ඇතිවෙන, සොල්දාදුවන් වහා අවශ්‍ය වෙන තැන්වලටවත් යා යුතුයි නේද? හිඟන්නන් පවා හිරිහැර කරමින් මා දෙස පහත් කොට බලන්නට තරම් මම නිවටයෙක් වෙලා. මගේ මුළු ජීවිතයම මේ ආකාරයෙන් ගත කිරීමට මට අවශ්‍ය නැහැ! ”

ෂෙන් ච්‍යාඕ මොහොතකට නිශ්ශබ්ද විය. ඉන් පසු, "හොඳයි එහෙනම්..." ඔහු පිළිගත්තේය.

ඔහුගේ පිළිගැනීම යන්තම් ආරම්භ වී තිබුනත්, චෙන් ගොං ඒ වන විටත් ඔහුගේ ඇඳ ඉදිරිපිට දණ ගසා සිටියේ ය. “ගෞරවනීය ශාස්තෘතුමනි, ඔබතුමාගේ, මේ ශ්‍රාවකයාගේ ගෞරවනීය ආචාරය පිළිගන්න!”

“...” හඬන්නටදැයි සිනහ වෙන්නටදැයි සිතාගත නොහැකිව අතරමංව සිටි ෂෙන් ච්‍යාඕගේ මුව කොන මදක් වෙව්ලන්නට විය. “ඔබට නැඟී සිටින්න පුළුවන්. මම ශ්‍රාවකයන් ගන්නේ නැහැ. මට ශ්‍රාවකයන් ගැනීමට නොහැකියි. මම දැන් දන්නා චලනයන් සම්බන්ධයෙන් කිව්වොත්, මට ඒවා සම්පූර්ණයෙන්ම මතකයට ගැනීමට නොහැකි බැවින්, මට ඔබට ඉගැන්විය හැක්කේ මට මතක ඇති ඒවා පමණයි. ඒවා ප්‍රතිඵලදායකද නැද්ද යන්නවත් මම දන්නේ නැහැ. එබැවින් මා ඔබේ ශාස්තෘවරයා ලෙස ගැනීමට අවශ්‍ය නැහැ.”

මේ වචන ඇසූ චෙන් ගොං ඉක්මනින්ම නැඟිට, “හොඳයි. නමුත් ඔබ මට වඩා වැඩිමල් නිසා මම මින් ඉදිරියට ඔබට වැඩිමල් සහෝදරයා ලෙස පවසන්නම්. කවුරුන් හෝ මට නැවතත් හිරිහැර කළොත්, ඔබ මා වෙනුවෙන් ඉදිරියට යා යුතුයි!

ෂෙන් ච්‍යාඕ සිනාසුනා පමණි.පිළිතුරක් නොදී ඔහු නැවතත් නිශ්ශබ්දතාවයෙහි ගිලී ගියේය.

චෙන් ගොං මොහොතක් ගොළු වී ඔහු දෙස බලා සිටියේය. එයින් මිදෙන බවක් නොමැති බව දුටු ඔහුට හැරී යාම හැර වෙන කිරීමට කිසිවක් තිබුණේ නැත.

ප්‍රපාතයෙන් වැටීමේදී ෂෙන් ච්‍යාඕ බරපතල තුවාල ලබා තිබුණි. ඔහුගේ සියලුම අස්ථි බිඳී ගොස් තිබූ නිසා ඔහුගේ තත්ත්වය එදා සම්පූර්ණයෙන්ම භයානක වූ බව සැබෑය. නමුත් ෆනින්වල තිබූ අසුර නිකායේ අමතර මන්දිරයේ සිට සුවය ලැබූ මාස තුන තුළ මෙම තුවාල අඩු වැඩි වශයෙන් යථා තත්ත්වයට පත් වී තිබුණි.

ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සහ සටන් කලාව මුලුමනින්ම හානි වී තිබූ අතර, එම අනතුරේදී සටන් කුසලතාවයද සම්පූර්ණයෙන්ම වාගේ අතුරුදහන් වී තිබුණි. ඛණ්ඩනය වූ මතකයන් කිහිපයක් සහ අඩක් අබලන් වූ සිරුරක් හැර ඔහුට මේ මොහොතේ කිසිවක් ඉතිරිව නොතිබූ බැවින් සුවය ලැබීමට වඩා පහසු විය.

වෙනත් ඕනෑම කෙනෙකුට එය සිදු වූයේ නම්, මෙය අකුණු සැරයකට වඩා අඩු නොවන පහරක් වනු ඇත. කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕ සහ චෙන් ගොං එකට සිටි කාලය තුළ, චෙන් ගොං බොහෝ විට ඔහුගේ හැකියාවන් කෙරෙහි පිස්සු වැටුණේය.

දෙදෙනාම ආපසු අබලන් වූ පන්සලට ගියේ නැත. ඒ වෙනුවට ඔවුන් හොඳ මිලකට තානායම් හිමියා සමඟ කේවල් කර මාසයක් සඳහා එය කුලියට ගත්හ. මාසය තුළ, ෂෙන් ච්‍යාඕ ආදිපාද ජියැන් පන්සල ඉදිරිපිටදී  ඔහුගේ අනාවැකි පැවසීමේ කර්තව්‍යය දිගටම කරගෙන ගියේය. චෙන් ගොං සහල් ගෝනි රැගෙන යාමේ ඔහුගේ තාවකාලික රැකියාව කරගෙන ගිය අතර රාත්‍රියේදී ඔහු ෂෙන් ච්‍යාඕ යටතේ සටන් කලාව හැදෑරී ය. ඔහුගේ අඩිතාලම සහ යෝග්‍යතාවය හොඳ විය. එබැවින් මාසයකට පසු, ඔහුගේ චලනයන් ඇත්ත වශයෙන්ම සැබෑ සටන් කලාකරුවෙකුගේ චලනයන්ට සමාන විය. නමුත් අභ්‍යන්තර චීවල උදව් නොමැති, ඔහුගේ සිරුර සටන් කුසලතා කෙරෙහි හිස් කවචයක් පමණක් විය. එය සාමාන්‍ය හිරිහැර කරන්නන් සහ තක්කඩියන් හැසිරවීමට ප්‍රමාණවත් වූ නමුත් ඔහු සැබෑ සටන් කලාකරුවන් වෙත යන්නේනම් එය නිෂ්ඵල වේ.

මාසය අවසන් වූ විට, ෂෙන් ච්‍යාඕ සහ චෙන් ගොං ෆනින් දිස්ත්‍රික්කය  අතහැර බටහිර දෙසට ගමන ආරම්භ කළහ.

අසුර නිකායේ ෆනින්වල තිබූ මන්දිරයෙන් පිටව ගිය දා සිට, ෂෙන් ච්‍යාඕට නැවතත් යූ ෂෙන්ග්‍යාන්ව සහ අනෙකුත් අයව මුණ ගැසුනේ නැත. ඔහු කලින් ජීවත් වූ අසුර නිකායේ අමතර මන්දිරය ෆනින් දිස්ත්‍රික්කයේ අසළම පිහිටියද, ආදිපාද ජියැන් පන්සලේ පිහිටුවා තිබූ අනාවැකි කීමේ කුටිය තුළදී, ඔහුට එදිනෙදා අසන්නට හා දකින්නට ලැබුණේ වඩා ලෞකික දේවල් සහ සාමාන්‍ය මිනිසුන් ගැවසුණු වෙළඳපල ක්‍රියාකාරකම් පමණි. සියල්ල සාමකාමී හා සාමාන්‍ය විය.

එම නිසා සටන්කාමී ලෝකය ඔහුට අතිශයින් දුරස් වී ඇති බවක් දැනුණි. සමහර විටෙක ෂෙන් ච්‍යාඕට හැඟුණේ ඔහුට ෂුවාන්දූ කන්දට යාමට අවශ්‍ය නොවන බවයි. ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ෆනින් දිස්ත්‍රික්කයේ ගත කිරීම ඇත්තෙන්ම නරක තේරීමක් නොවී ය.

එසේ වුවද, ඉඳහිට ඔහුගේ පපුවේ සිහින් තද ගතිය, ඔහුගේ අස්ථිවලට පිහියෙන් අනිනවාක් බදු වූ වේදනාව, වලාකුළු සහ වැසි දිනවලදී, ඔහුගේ මනස හරහා ගලා ගිය අතීත මතකයන් සහ ඔහුගේ අතපය පුරා සැරිසැරූ අභ්‍යන්තර චී මඟින් විටින් විට ඔහුට සියල්ලම මතක් කොට දුන්නේ වත්මන් ෂෙන් කියාඕ යනු තවමත් මුලින් සිටි පරිපූරණත්වයෙන් යුත් ෂෙන් ච්‍යාඕ නොවන බවයි.

ෆනින් දිස්ත්‍රික්කයට බටහිරින් හුආයි ප්‍රාන්තය විය. එය විශාල ප්‍රාන්තයක් වූ අතර ෂෝ නගරයට ද සමීප වූ බැවින් එහි ආරක්ෂාව දැඩි විය. හුආයි ප්‍රාන්තයේ ප්‍රාදේශීය පරීක්ෂක [1]  සාමාන්‍යයෙන් අධිරාජ්‍යයා විසින් සෘජුවම පත් කරන ලද්දෙක් බැවින්, පරීක්‍ෂණ චාරිකා සඳහා නිතර පැමිණ වූ වාරණයන්ට අමතරව, ප්‍රදේශය බොහෝ විට යුද නීතිය යටතේ පැවතුනි.

ලෝකය ඒ වන විටත් බොහෝ කලක සිට බෙදී ගොස් තිබුණි. නමුත් රටවල් එකිනෙකා අතර දේශසීමා වෙළඳාම් කිරීම තහනම් කර තිබුණේ නැත. එහෙත් හුආයි ප්‍රාන්තයේ ප්‍රාදේශීය පරීක්ෂක වන ෂෙන් බුයි පමණක් අමුතුම ආකාරයකින් කටයුතු කළේය. ඔහු බලයට පත්වීමෙන් පසු, ඔහු වහාම දෙරට අතර දේශසීමාවේ පිහිටි සියලුම අන්‍යෝන්‍ය වෙළඳ දිස්ත්‍රික්ක වසා දැමීමට නියෝග කළ අතර අන්‍යෝන්‍ය වෙළඳාමට සහභාගී වී හසු වූ වෙළෙන්දන්ට ව්‍යතිරේකයකින් තොරව දැඩි දඬුවම් පමුණුවන්නට ද කටයුතු කළේ ය. අන්‍යෝන්‍ය වෙළඳ දිස්ත්‍රික්කවලට පහසුවෙන් ප්‍රවේශ වීමට මාධ්‍යයක් ලෙස ඔහු අධිරාජ්‍යයාට වාර්තා කළේ, 'ෂෝවල ඔත්තුකරුවන්ට හොර රහසේ ඇතුළු වී චීවල දේශසීමා ආරක්ෂක සැලැස්ම විමර්ශනය කිරීමට හැකි වීම' යන කරුණයි. චී හි අනෙකුත් ප්‍රදේශවලද අන්‍යෝන්‍ය වෙළඳාම තහනම් කිරීමට ඔහු යෝජනා කළේය.චී අධිරාජ්‍යයා වූ ගාඕ වෙයි ඔහුගේ යෝජනාව සම්මත නොකළද, ෂෙන් බුයි රාජ්‍ය කටයුතුවලදී ඕනෑවට වඩා මැදිහත් වූවා පමණක් නොව, ඔහු චීවල ඉහළ නිලධාරීන් සහ වංශාධිපතියන් කෙරෙහි ද ඕනෑවට වඩා සමීප විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ විට අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර අමාත්‍ය කවයේ කෙනෙකු ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ය. මුලින් කුඩා දිස්ත්‍රික් ආරක්ෂකයෙකු පමණක් වූ ඔහුට දැන් ශ්‍රීමත් ආණ්ඩුකාර තනතුරක් දක්වා [2]  පැමිණ මුළු ප්‍රාන්තයකම නායකත්වයට නැඟීමට තරම් සාර්ථක මාවතක ගමන් කළ හැකි වූයේ මේ නිසාය. 

නගරයට ඇතුළු වීමට අවශ්‍ය නම් අධික වියදම් දැරීමට සිදු වන නිසා එය සැලකිල්ලට ගත් චෙන් ගොං සහ ෂෙන් ච්‍යාඕ ඒ වෙනුවට නගරයෙන් පිටත තිබූ ආරාමයේ නැවතීමට තීරණය කර, පසුව ඊළඟ දවසේ නැවත ගමන් කිරීමට නගරයට ඇතුළු වීමට තීරණය කළ හ. මේ ආකාරයෙන්, ඔවුන්ට නගරයෙන් පිට වී දහවල් වන විට නැවත ගමන් කළ හැකි විය.

"මේඝ තරණ ආරාමය" නම් වූ එය ආරාමයක් ලෙස හැඳින්වූ නමුත් ඇත්ත වශයෙන්ම එය ඔවුන් කලින්, ෆනින් දිස්ත්‍රික්කයේ නැවතී සිටි අබලන් වූ පන්සලටත් වඩා එය හොඳ නොවී ය. එහි සිටියේ භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් පමණි. ඒ, පැවිදි වූ මහලු භික්ෂුවක් සහ ඔහු විසින් හදා වඩා ගත් කුඩා භික්ෂූන් දෙදෙනෙක් ලෙස ය.

පැති කාමර දෙකක් පමණක් සහිත ආරාමය තරමක් චාම් විය. ඉන් එකක් ලොකු භික්ෂුවට ද, අනිත් එක පොඩි භික්ෂූන් දෙදෙනාට ද විය. මෙම කාමර දෙකට අමතරව පොදු නිදන කාමරයක් ද [3]  එහි තිබුණි.

චෙන් ගොං දුෂ්කර ජීවිතයක් ගත කිරීමට පුරුදු වී සිටියේය. ෆනිං දිස්ත්‍රික්කයේ ඒ ජරාජීර්ණ වූ පන්සලේ, පොදු නිදන කාමරයක්  හෝ පොරෝනයක්වත් තිබුණේ නැත. එබැවින් ඔහුට මෙහි වර්තමාන තත්ත්වය දැනටමත් විශිෂ්ට දෙයක් විය. ෂෙන් ච්‍යාඕ ඉතා සරල ලෙස ගමන් කළ අතර කරදර පැමිණිය ද ඔහුට ඒවා ගැන තැකීමක් නොමැති විය. එබැවින් ඔහුට ස්වභාවයෙන්ම කිසිදු පැමිණිල්ලක් නොතිබුණි.

නමුත් පොදු නිදන කාමරයට ඇතුළු වූ පසුව ඔවුන් දුටුවේ ඔවුන්ට පෙර තවත් පිරිසක් මෙහි පැමිණ තිබූ ආකාරයයි. ඒතරුණයින් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වූ අතර, ඔවුන් සමඟ කාමරය තුළ විශාල පෙට්ටි දෙකක් ද විය.

චෙන් ගොං නාඳුනන අය කෙරෙහි සතුරුකම සහ අනතුරු ඇඟවීමක් පැවැත්වූවෙකි. එබැවින් ඔවුන් සමඟ දැන හඳුනා ගැනීමක් සඳහා ඔහු කට ඇරියේ නැත. ෂෙන් ච්‍යාඕගේ ඇස් ද හොඳ නොවීය; ඔහුට ඔවුන්ට ආචාර කිරීමට අවශ්‍ය වුවද, ඔවුන් කෙබඳුදැයි ඔහුට ඔහුට දැකීමට හැකි වූයේ යන්තම් පැහැදිලිව පමණි. පුද්ගලයන් හතර දෙනාට ද සමීප සබඳතාවක් සඳහා අදහසක් නොතිබුණි. ඔවුන් චෙන් ගොංට සහ ෂෙන් ච්‍යාඕට නොපෙනෙන ලෙස ඔවුන් වෙත ඉහළට සහ පහළට බැල්මක් යැවූ අතර, ඔවුන්ගේ අස්ථිර පියවර [4]  සහ සාමාන්‍ය ඇඳුම් දැකීමෙන් පසුව, ඔවුන් තවදුරටත් මොවුන් දෙදෙනා කෙරෙහි අවධානය යොමු කළේ නැත.

වැඩි කල් නොගොස් කුඩා භික්ෂූන් දෙනම ද තම ඇඳ ඇතිරිලි අතේ තබාගෙන එහි පැමිණියහ.

අමතර පුද්ගලයන් දෙදෙනෙක් පමණක් සිටියත්, මුලින් එතරම් විශාල නොවී තිබූ පොදු නිදන කාමරය, ඊටත් වඩා ජනාකීර්ණ ස්ථානයක් බවට පත් විය.

ගැඹුරින් නොසතුටට පත් වූ චෙන් ගොංට මැසිවිලි නඟා නොසිටීමට නොහැකි විය: "හය දෙනෙක් දැනටමත් බොහෝ වැඩියි. නමුත් දැන් තවත් දෙදෙනෙක් ඇවිත්!"

පොඩි භික්ෂු නමක එය ඇසී ඔහුට සෙමින් පැවසුවේ, “පින්වත්තුමනි, එහාපස දානපතියන් අතර තරුණ කාන්තාවක් සිටියා. ඇයට අප සමඟ එකම කාමරයේ විවේක ගැනීම අපහසු වනු ඇති බැවින්, අපි ඇයට පැති කාමරය තබා මෙහි පැමිණියා.සියල්ලට පසු, අන් අයට උපකාර කිරීම යනු තමාටම උපකාර කිරීමකි. ”

කාන්තාවන් නිසැකවම ඔවුන්ගෙන් වෙන්ව සිටිනු ඇත. එබැවින් චෙන් ගොංට ඒ ගැන සතුටක් නොතිබුණද වෙනත් කිසිවක් පැවසිය නොහැකි විය. ඒ වන විටත් ඒ හතර දෙනාම සතුව ආයුධ ඇති බව දුටු ඔහු තම මුව විවෘත කිරීමට පවා එඩිතර වී තිබුණි. කෙසේ වෙතත්, ඔහු සිය දෑස් අගින් එවෙතට බැල්මක් හෙළද්දී, හදිසියේම යමක් සොයා ගත් බවක් පෙන්වූ ඔහු තුළ වූයේ නොනවතින උද්යෝගිමත් බවකි. රාත්‍රී ආහාරය සඳහා පිටත්ව යන විට එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඔහු ෂෙන් ච්‍යාඕට ළං වී මිමිණුවේ ය, “ඔබ දුටුවාද? ඒ සය සහයෝගිතා සන්ධානයේ අය! එයාලගේ ඇඳුම්වල සහ ඒ පෙට්ටිවල සංගමයේ සංකේතය මම දුටුවා! එය ෆනින් දිස්ත්‍රික්කයේ එක හා සමානයි!”

ෂෙන් ච්‍යාඕ සිනහවකින් පිළිතුරු දුන්නේ, "මගේ ඇස් හොඳ නැති නිසා, මම කෙසේද දකින්නේ?"

චෙන් ගොන්ගේ උද්‍යෝගයට එය අවම වශයෙන්වත් බලපෑවේ නැත. "මට ඔවුන් සමඟ සංවාදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබුණහොත්, ඔවුන් මා ගැන සතුටු වන බවක් දැනේ නම්, මට සය සහයෝගිතා සංධානයට බැඳීමට ඔවුන් ඉඩ දෙනු ඇතැයි ඔබ සිතනවාද?"

සය සහයෝගිතා සංධානයට බැඳීමට චෙන් ගොං මුළු හදවතින්ම ආශා කළ බව ෂෙන් ච්‍යාඕට රහසක් නොවී ය. ඔවුන් මෙතරම් දුරක් පැමිණියද ඔහුගේ එම මුල් අරමුණ තවමත් වෙනස් වී නොතිබුණි.

ඔහු සෙමින් පිළිතුරු දුන්නේ, "මම සිතන්නේ, හොඳම දේ වන්නේ ඔබ එය උත්සාහ නොකර සිටීම බවයි.."

පරිවර්තකගේ සටහන්:

[1]  ප්‍රාදේශීය පරීක්ෂක (刺史 cishi):  භූගෝලීය වශයෙන් වෙන් කළ ප්‍රදේශයක භෞමික පරිපාලනයේ සියලුම ඒකකවල පිරිස් සම්බන්ධයෙන් විනය නිරීක්ෂණ සපයන නිත්‍ය අධීක්ෂණ තනතුරකි.

[2]  ශ්‍රීමත් ආණ්ඩුකාරවරයා (使君 shijun):  කලාපයක නිලධාරීන්ට දෙන ගෞරව නාමයකි.

[3]  පොදු නිදන කාමරය (通铺 tongpu):  මූලික වශයෙන් විශාල පළල ලී ලෑලි ඇඳක් වන අතර එමඟින් පුද්ගලයන් කිහිප දෙනෙකුට එකට එකට නිදා ගැනීමට ඉඩ සලසයි.

[4]  අස්ථිර පියවර:  ඒවායේ අභ්‍යන්තර චී නොමැති බව පෙන්නුම් කරන ප්‍රකාශනයකි.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. 🥺🥺🥺🥺🥺

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි කතාව

    ReplyDelete
  3. හරි වේගෙන් දෙනවා..තැන්කූ ❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-