Skip to main content

පස්වන පරිච්ඡේදය | බිත්තියට වාරු වී සිටි ඔහු බියෙහි කිසිදු සලකුණක්වත් නොපෙන්වා සන්සුන්ව සහ සාමකාමීව පෙනී සිටියේය.

සිද්ධියෙන් දින තුනකට පසු, යූ ෂෙන්ග්‍යාන් ප්‍රහාරය දියත් කරන දවස උදා විය.

අලුත් අවුරුද්ද ගෙවී වැඩි කලක් ගත වී නොතිබූ නිසාත්, පහන් කූඩු උත්සවය තවම පැමිණ නොතිබූ නිසාත්, චීවල අගනුවර වන යේ නගරය ප්‍රීතිමත් වාතාවරණයකින් වැසී තිබුණි.

යාන් ෂිවන්ගේ නිලය ඉතා ඉහළ මට්ටමක තිබුණේ නැත. ඇත්තෙන්ම, සමඟි නිකාය විසින් ඔහුව මෙම තනතුරට පත් කිරීමට හේතුව විය හැක්කේ අධිකරණය කෙරෙහි අමතර ඇසක් තැබීම පමණක් විය හැකියි. ඔහුගේ සටන් කුසලතා මධ්‍යස්ථ වූ නිසාත්, ඔහුට තමාවවත් ආරක්ෂා කරගැනීමට නොහැකි වූ නිසාත්, යූ ෂෙන්ග්‍යාන්ට ඔහුගේ වර්තමාන කුසලතා මට්ටමෙන් වුවද යාන් ෂිවන්ව පරාජය කිරීමේ කාර්යය වතුර කෝප්පයක් පානය කිරීම තරම්වත් අපහසු නොවනු ඇත.

කෙසේ වෙතත් යූ ෂෙන්ග්‍යාන්, යැන් වූෂිගේ උපදෙස් පරිදි ෂෙන් ච්‍යාඕ ද ඔහුත් සමඟ රැගෙන ගොස් යාන් වාසස්ථානයෙන් පිටත රැඳී සිටින ලෙස ඔහුට පවසා, කෙලින්ම වහලය මතට පැන, යාන් ෂිවන් නිරීක්ෂණයට අධ්‍යයන කාමරය වෙත රහසින්ම පිටත් විය.

යාන් ෂිවන්ට තිබුණේ දෙවන පෙළ සටන් කුසලතා වුවද, ඔහු තරමක් කපටි මිනිසෙක් බව යූ ෂෙන්ග්‍යාන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණි. යාන් ෂිවන්ට සමඟි නිකායේ තනතුරක් ලබා ගැනීමට පවා හැකි වී තිබුණේ මේ නිසා විය යුතුය. යූ ෂෙන්ග්‍යාන්ගේ ඝාතනය, ඔවුන්ගේ විරුද්ධවාදීන්ට අනතුරු ඇඟවීමේ ක්‍රියාවක් පමණක් වූ නිසා ඔහු මේ මොහොත වන තුරුම මෙම පුද්ගලයා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණේ නැත.නමුත් එතනට ළඟා වූ විට ඔහුට දුටුවේ යම්කිසි වැරැද්දක් සිදු වී ඇති බවක් පෙනෙන වාතාවරණයකි.

සේවකයන් තවමත් සිටි අතර මුරකරුවන් ඉඳහිට වාසස්ථානයේ, පිටත මුර සංචාරයේ යෙදී සිටියහ. නමුත් එය අධ්‍යයන කාමරය හෝ නිදන කාමරය හෝ වේවා, යූ ෂෙන්ග්‍යාන් හට යාන් ෂිවන්ගේ එක සලකුණක්වත් සොයාගැනීමට නොහැකි විය.

යාන් ෂිවන් පමණක් නොව, ඔහුගේ බිරිඳ සහ දරුවන් පවා අවකාශයට අතුරුදහන් වූ බවක් පෙනෙන්නට තිබුණි.

පවිත්‍ර චන්ද්‍ර නිකායේ නොපැහැදිලි වූ සහ අනපේක්ෂිත ශෛලිය අනුගමනය කරමින්, යූ ෂෙන්ග්‍යාන් සෙවණැල්ලක් මෙන් අභ්‍යන්තර වාසස්ථානය තුළට සැහැල්ලුවෙන් ගොඩ බැස්සේය. ඔහු සේවකයෙකු නතර කර ඔහුට පහර දුන්නේ සේවකයාට ප්‍රතිචාර දැක්වීමටවත් කාලයක් නොතබා ය. සේවකයා සිහිනයක සිටින්නාක් මෙන් දිස් විය.

"යාන් ෂිවන් කොහෙද?"

සේවකයාගේ දෑස් විසල් විය. මේ කඩවසම් තරුණයා එක් ඇඟිල්ලකින් පමණක් තමාව පාලනය කර ඇති බව වටහාගත් ඔහු කලබල වීමට පටන් ගත්තේය. නමුත් ඔහුට ශබ්දයක්වත් නිකුත් කිරීමට නොහැකි විය.

යූ ෂෙන්ග්‍යාන් ඔහු දෙස බලා සිනාසෙමින්, “යාන් ෂිවන් සහ ඔහුගේ පවුලේ අය ගියේ කොහෙද කියලා ඔබ මට පැවසුවහොත් මම ඔබව මරන්නේ නැහැ. ඔබ උදව් ඉල්ලා සිටියත් මට මෙම නිවස තුළ සිටින සෑම පුද්ගලයෙකුම මරා දැමිය හැකියි. ඔබට වැටහෙනවද?"

ඔහුගේ වචනවලින් බියට පත් සේවකයා නැවත නැවතත් හිස සැලුවේය.

යූ ෂෙන්ග්‍යාන් ඔහුගේ ග්‍රහණය මදක් ලිහිල් කළ අතර, පසුව සේවකයාගේ ගොළු වීමට හේතු වූ "නිශ්ශබ්ද කිරීමේ නිලය"[1] නිදහස් කළේ ය.

සේවකයා වහා පිළිතුරු දෙමින්, “මහත්මිය සහ තරුණ ස්වාමිවරු දින දෙකකට පෙර පිටත්ව ගියා. ස්වාමියා කිව්වේ උණු දිය උල්පත් අසල ඔවුන්ගේ අමතර මන්දිරයේ ටික කාලයක් නැවතීම සඳහා ඔවුන්ව යවන බවයි."

යූ ෂෙන්ග්‍යාන් උපහාසයට ලක් කළේ, “ඔහුගේ පවුලේ අය පිටත් වුණත්, යාන් ෂිවන් සිටිය යුතුයි. අධිකරණ රැස්වීමක් ඇති බැවින් [2 ] ඔහුට පිටත්ව යාමට නොහැකියි. ඔහු එම රැස්වීමට සහභාගි වෙනවා නේද?"

සේවකයා ගොත ගසමින්, “ස්වාමියා යන විට, අපට විස්තර පැවසුවේ නැහැ. එබැවින් අප, කිසිවක් දන්නේ නැහැ...”

ඔහුට තවදුරටත් සවන් දීමට තරම් ඉවසීමක් නැති වූ නිසා කෙලින්ම ඔහුගේ අත්ලෙන් ඔහුට තට්ටු කළ යූ ෂෙන්ග්‍යාන්, යාන් වාසස්ථානයේ ප්‍රධාන සේවකයා සොයාගෙන යාන් පවුල සිටින ස්ථානය පැවසීමට ඔහුට තර්ජනය කළ නමුත් ඔහුට එහිදී ද ලැබුණු පිළිතුර කලින් එකම විය.

යූ ෂෙන්ග්යාන් මෝඩයෙකු නොවීය. මේ වන විට, යාන් ෂිවන් ඔහුව මරා දැමීමට පැමිණෙන බව කලින්ම දැනගෙන සිටි බව ඔහුට වැටහුණි.

නමුත් මෙම විධානය ලබා දුන්නේ යැන් වුෂි විසිනි. ඔහුට අමතරව, ඒ ගැන දැන සිටි එකම පුද්ගලයා වූයේ ෂෙන් ච්‍යාඕයි. ෂිඑ නිවසේ ප්‍රධාන සේවකයා පවා ඒ ගැන දැන සිටියේ නැත.

යූ ෂෙන්ග්‍යාන් විසින්ම මේ සැලසුම හෙළි කිරීම පැහැදිලිවම කළ නොහැක්කකි.

මිනීමැරුම් චේතනාවක් ඔහුගේ සිත පුරා පැතිර ගියේය. මුලදී ඔහුට අවශ්‍ය වූයේ ප්‍රධාන සේවකයාගේ ස්වරාලය කඩා දැමීමටයි. කෙසේ වෙතත්, ඒ ගැන දෙවරක් සිතා බැලීමෙන් පසු, සේවකයෙකු ඝාතනය කිරීම අර්ථ විරහිත බව ඔහුට වැටහුණි. මොකද ඔහු දැනටමත් මුළු යාන් පවුලම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට අසමත් වී තිබුණි. ඒ වෙනුවට, එය අවසන් වූයේ ඔවුන්ගේ සතුරන්ට අනතුරු ඇඟවීමෙන් සහ සමඟි නිකායේ සමච්චලයට ඔවුන්ව ලක් වීමෙන් ය. ඔහු ප්‍රධාන සේවකයාටද තම අත්ලෙන් තට්ටු කර ආපසු හැරී යාන් වාසස්ථානයෙන් පිටව ගියේය.කෝපයෙන් මුසපත් වී සිටි ඔහු වාසස්ථානයට යාබද මංතීරුවේ සිටගෙන, තවමත් තමා එනතුරු බලා සිටි ෂෙන් ච්‍යාඕ සොයා ගියේය.

"යාන් ෂිවන්ට පණිවිඩය දුන්නේ ඔබද?"

කිසිදු පැකිලීමකින් හෝ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව, “ඔබ නිවැරදියි” යනුවෙන් පවසමින් ෂෙන් ච්‍යාඕ හිස වැනුවේය.

ඔහුගේ සැලැස්ම විනාශ කිරීම නිසා යූ ෂෙන්ග්යාන් ඔහුට වෛර කළේය. සාමාන්‍යයෙන් ඔහුගේ මුහුණේ නිතරම වාගේ තිබූ ක්ලාන්ත වන නොසැලකිලිමත් සිනහව මේ වන විටත් බොහෝ කලකට පෙර වියැකී ගොස්, මරාදැමීමේ චේතනාවෙන් පිරුණු සීතල ප්‍රකාශයක් ඒ වෙනුවට එම මුහුණේ ප්‍රතිස්ථාපනය වී තිබුණි. "ඇයි?"

ෂෙන් ච්‍යාඕ පැවසුවේ, “සමඟි නිකාය සහ අප අතර අමනාපකම් ඇති බව මම දන්නවා. යාන් ෂිවන් සමඟි  නිකායට අයත් කෙනෙක් වූ නිසා ගුරුතුමාට ඔහුව ඝාතනය කිරීමට අවශ්‍ය නම් ඒ ගැන මට ගැටලුවක් නැහැ. නමුත් දරුවෙකුට මේ සම්බන්ධයෙන් ඇති වරද කුමක්ද? අරමුණ වන්නේ යාන් ෂිවන් ඝාතනයනම්, ඔහුගේ බිරිඳ සහ දරුවන් සම්බන්ධ කරගැනීමේ තේරුම කුමක්ද?"

යූ ෂෙන්ග්‍යාන් සීතලෙන් පිළිතුරු දුන්නේ, “ඔහුගේ පවුල ඝාතනය කරනවාද නැද්ද යන්න ඔබ තීරණය කළ යුතු දෙයක් නොවේ. මට දැන ගැනීමට අවශ්‍ය එකම දෙය නම්,අන්ධ දෑස් නිසා දිශාව පවා හරි හැටි පැවසීමට නොහැකි වූ ඔබ වැනි දුර්වල ශරීරයක් ඇති මිනිසෙක් පිටතට ගිය පසු යාන් ෂිවන්ට පණිවිඩයක් ලබා දුන්නේ කෙසේද යන්නයි."

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ, “යාන් ෂිවන් කපටි මිනිසෙක් බව ඔබ වරක් පවසලා තිබුණා. ඔහුගේ සැකය නිසා කුඩාම දෙයකින් පවා යම්කිසි වැරැද්දක් ඇති බව ඔහුට පහසුවෙන්ම දැනගැනීමට හැකියි. මගේ ඖෂධ වට්ටෝරුවේ ඇන්ජලිකා මුල් [3]  තිබුනා. ඒ නිසා මම ඒවායෙන් ස්වල්පයක් ළඟ තබාගත්තා. මුලදී, මම එය යාන් වාසස්ථානයට ලබා දීමට අවස්ථාවක් සොයා ගැනීමට වෙහෙස වුණත්, එදිනම ඖෂධ සාප්පුව ඉදිරිපිටදී මට හැන් අ'යින් හමු වූ නිසා, යාන් ෂිවන් වෙත ලබා දීමට අවශ්‍ය දේ ඇයට දීමට මම තීරණය කළා. ත්‍යාගයක් ලෙස පෙට්ටිය නිදහසට කරුණක් විදිහට භාවිතා කරමින් මම ඇයගෙන් ඉල්ලා සිටියේ එය මා වෙනුවෙන් යාන් ෂිවන්ට යවන ලෙසයි. ඇය සිතුවේ මම යාන් ෂිවන්ව හඳුනන කෙනෙක් කියලා. ඒ නිසා වෙන කිසිම දෙයක් මගෙන් ඇසුවේ නැහැ. මගේ උපකල්පනයට අනුව මම සිතන්නේ යාන් ෂිවන් මගෙන් වෛද්‍ය ඔසු ලබා ගැනීමෙන් පසුව යම් දෙයක් වැරදි බව තේරුම් ගෙන ඔහුගේ පවුලේ සියල්ලන්ම වෙනත් ස්ථානයකට ගෙන යන්නට ඇති බවයි."

යූ ෂෙන්ග්යාන් අතිශයින් කෝපයට පත් වූ අතර, එය සිනහවක් ලෙස පිට කරමින්, “ඇත්තටම මම ඔබව අවතක්සේරු කළා. ඔබ මෙතරම් දක්ෂ මිනිසෙක් වේ යැයි මම සිතුවේ නැහැ!”

ඔහු අත දිගු කර ෂෙන් ච්‍යාඕගේ උගුරෙන් අල්ලාගෙන ක්‍රමයෙන් තම අතෙහි ග්‍රහණය තද කරමින්, “ඔබ ගුරුතුමා දුන් මෙහෙයුම විනාශ කළා. එහි ප්‍රතිඵලය කුමක්දැයි ඔබ දන්නවාද?”

ෂෙන් ච්‍යාඕ ඔහුට එරෙහිව සම්පූර්ණයෙන්ම බල රහිත විය. හුස්ම ගැනීමට අපහසු වූ ඔහුගේ සම කෙමෙන් කෙමෙන් සුදුමැලි වී දුර්වර්ණ විය. ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන්නට වූ අතර, ඔහුට එකතැන සිටගෙන වාක්‍ය කඩමින් අපහසුවෙන් මෙන් පැවසීමට හැකි වූයේ “ඇත්තටම... මම පවිත්‍ර චන්ද්‍ර නිකායේ ගෝලයෙක් නොවෙයි නේද? ”

යු ෂෙන්ග්‍යාන්, ග්‍රහණයට යොදාගෙන තිබූ ඔහුගේ අත මුදා හැරියේය.

ෂෙන් ච්‍යාඕ වහාම බිත්තියට වාරු වී කහින්නට පටන් ගත්තේ වාතය නොලැබීමෙන් අක්‍රිය වෙන්නට ආසන්නව තිබූ තම පෙනහලුවලට යළිත් පිරිසිදු වාතය ඇතුළු වෙන අතරතුරදී ය.

"ඔබ එය දැනගත්තේ කෙසේද?"

ෂෙන් ච්‍යාඕ සන්සුන්ව පිළිතුරු දුන්නේ, "හැඟීම්වලින්. මට මගේ මතකයන් නැති වී ගියත්, මගේ හැඟීම් තවමත් තිබෙනවා. ඒ ගුරුතුමා හෝ ජ්‍යෙෂ්ඨ සටන්කාමී සහෝදරයා හෝ වේවා, ඔබලා මට සැලකූ ආකාරය ඔවුන්ගේ ගෝලයා හෝ සටන් සහෝදරයා කෙරෙහි දක්වන ආකල්පයක් ලෙස දැනුනේ නැහැ. මීට පෙර ෆනින්වල මන්දිරයේ සිටි සේවකයන් පවා හැසිරුණේ තමන් හෙළි නොකළ යුතු දෙයක් පිට වේ යැයි බියෙන් ඉතා කල්පනාකාරී ලෙසින්. මට මගේ සියලුම සටන් කලාවන් අහිමි වෙලයි තිබුණේ.මා අන් අයට බාධාවක් මිසක් අන් කිසිවකට වැදගත් කෙනෙක් නොවෙයි. නමුත් ගුරුතුමා මා හට උදව් කිරීමට ඔබව මා වෙත එව්වා. ඒ වගේම, අපේ නිකායේ කීර්ති නාමයට දැනටමත් හානි වෙන විදිහට මට දරුණු ලෙස තුවාල වෙලා තිබුණත් මේ කාලය පුරාම කිසිවෙකු මේ ගැන එක වචනයක්වත් පැවසුවේ නැහැ. මගේ නොහැකියාව තිබියදීත් මේ සියල්ල මෙසේ සිදු වීම අසාධාරණයක් විය යුතුයැයි මට හැඟුණා. ”

අනෙක් පුද්ගලයා ප්‍රතිචාර නොදක්වන බව දුටු ඔහු තවදුරටත් කියා සිටියේ, “ඇත්ත වශයෙන්ම, මම භාවිතා කළ ක්‍රමය දීප්තිමත් යැයි සැලකිය නොහැකි තරම්. මොකද, මට හැකි වූයේ ෂිඑ නිවසේ සේවක ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව යටතේ එම ක්‍රමය උත්සාහ කිරීම පමණයි. ඔබ යාන් ෂිවන් ගැන සම්පූර්ණයෙන්ම පහත් කොට නොසිතුවානම් සහ ඔහු ගැන සොයා බැලීමට මීට පෙර එක් අයෙකුවත් යවා තිබුණේනම්, ඔහුට අවශ්‍ය වුවද ඔහුට පැන යාමට නොහැකි වනු ඇති."

යූ ෂෙන්ග්යාන් පිළිතුරු දුන්නේ, "එය නිවැරදියි. යාන් ෂිවන්ව මට අපහසු ඉලක්කයක් නොවූ නිසා මම ඔහු කෙරෙහි අවධානය යොමු නොකළ බව සත්‍යයක්. ඒ නිසා ඔබට මෙම අවස්ථාව ලැබුණා. නමුත් ගුරුතුමා කවදා හෝ ඒ ගැන දැනගත් විට එහි ප්‍රතිඵලය කුමක් වේදැයි ඔබ සිතුවාද? ඔබ සමඟ කිසිම සම්බන්ධයක් නැති ආගන්තුකයන් කිහිප දෙනෙක්ව ඔබ බේරා ගත්තත්, ඔවුන්ට මරණයෙන් ගැලවීමට හේතුව ඔබ බවවත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් දැන සිටියත්, ඔවුන් ඔබට කෘතඥ නොවෙනු ඇති. මෙය වටින දෙයක් ලෙස ඔබ සිතනවාද? ”

ෂෙන් ච්‍යාඕ ඔහුගේ හිස ගසා දැමුවේය, “එය වටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් , සෑම කෙනෙකුටම තමන්ගේම ප්‍රමිතියක් තිබෙනවා. අයුක්තියට හේතු ඇත. ණයට ණයගැතියා ඇත. අහිංසක මිනිසුන් සම්බන්ධ කර ගැනීම පැසසිය යුතු දෙයක් නොවෙයි. බේරාගැනීමට හැකියාව තිබියදීත් මම ඔවුන්ව බේරා නොගත්තේ නම්, මම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තත්, මගේ ජීවිත කාලය පුරාම වරදකාරි හැඟීමක් මා තුළ ඇති වීමට එය හේතුවක්. අනෙක් පාර්ශ්වය ඒ ගැන දන්නවාද නැතහොත් ඔවුන් ඒ සඳහා කෘතඥ වෙනවාද යන්න ඔවුන්ගේ ව්‍යාපාරයක්. මට ඒ ගැන ගැටලුවක් නැහැ."

යූ ෂෙන්ග්‍යාන් මීට පෙර ෂෙන් ච්‍යාඕගේ අතීතය දැක තිබුණේ නැත. තුවාල වීමට පෙර ඔහු කෙබඳුදැයි ඔහු දැන සිටියේ නැත.ඔහු අවදි වූ දා සිටම, ෂෙන් ච්‍යාඕ දින දහයෙන් නවයක් පමණ ගත කළේ ඇඳ මත වැතිරගෙන, දවස පුරාම අසනීපයෙන් සිටිමිනි. 

ඔහුගේ මුහුණ හැර අන් අයට අවධානය යොමු කිරීමට තරම් වටිනා කිසිවක් ෂෙන් ච්‍යාඕගේ තිබුණේ නැත. යූ ෂෙන්ග්‍යාන් කිසිදා ඔහුව පහත් කොට වචනයක් කතා කර නොතිබුණද, 'ධනාත්මක දාඕවාදී නිකායික නායකයකු වුවද මෙවැනි තත්ත්වයකට පත්වීමට තරම් ෂෙන් ච්‍යාඕ අදක්ෂයක්' බව ඔහුට හැඟුණු නිසා ඔහු තම හදවතේ ගැඹුරින් ෂෙන් ච්‍යාඕව හෙළා දකින්නට ඇත. 

එහෙත්, මේ මොහොතේ, ඔහු බිත්තියට වාරු වී සිටියේය. ඔහුගේ මුහුණ සන්සුන් හා සාමකාමී බවේ කැඩපතක් මෙන් විය. බියෙහි කිසිදු හෝඩුවාවක්වත් නොතිබූ එම මුහුණේ කලින් සිටි නිකාය අධිපතිගේ සළකුණු පවා නොපැහැදිලි ලෙස පිළිඹිබු වූයේ ගාම්භීරත්වය පෙන්වන්නට සලස්සමිනි.

යූ ෂෙන්ග්‍යාන් උපහාසයට ලක් කළේ, “ඔබට ඔබව ආරක්ෂා කර ගැනීමටවත් නොහැකියි. අන් අයගේ ජීවිතය හෝ මරණය ගැන සැලකිලිමත් වීමට තරම් ඔබට කාලය ලැබුණේ කෙසේද? ඇත්තටම ඔබේ හදවතේ මෙතරම් කරුණාවක් තිබෙනවානම්, සියලු සටන් කලාවන් අහිමි වෙලා පර්වතය පතුලට ඇද වැටුණු ඔබව එදා අප විසින් බේරාගත්තේ කෙසේදැයි ඔබ සිතුවේ නැත්තේ ඇයි? අප නොසිටියානම් ඔබගේ මෘත දේහය බොහෝ කලකට පෙරම පර්වතය පාමුලින් සොයාගැනීමට හැකි වන්නට තිබුණා. නමුත් ඔබ අපට ආපසු ගෙවූයේ එලෙසයි. ”

ෂෙන් ච්‍යාඕ සුසුම්ලමින්, "මට කළ හැකි සියල්ල කොට, මගේ ජීවිතය බේරාගත් කරුණාව මම නැවත ලබා දෙන්නම්. නමුත් මෙම කරුණු දෙක එකකට එකක් සම්බන්ධයක් නැති බැවින් එය ගැන පවසන්න එපා."

යූ ෂෙන්ග්‍යාන් මදක් පසුබා ගියේය.

මුලදී, මෙය ඔහුට අදහාගැනීමට නොහැකි වූවාක් මෙන් විය. කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕ ඔහු සිතූ පරිදි පහසු කෙනෙක් නොවූ අතර දුර්වල ලෙස සිටියදීත් ඔහුට රහසින්, රහසිගතව යාන් ෂිවන් වෙත පණිවිඩයක් යැවීමට පවා සමත් වී තිබුණි. ප්‍රවෘත්තිය යැන් වුෂිට ලැබී තිබුණේනම්, ඔහුගේ ගුරුතුමා ඔහුව මෙවන් සුළු කාර්යයක්වත් අවසන් කිරීමට නොහැකි අදක්ෂයෙකු ලෙස සලකනු ඇත.

ෂෙන් ච්‍යාඕගේ තත්වය විශේෂ වූ බැවින් ඔහුට ඔහුව මරා දැමීමට නොහැකි විය. ඔහුගේ එකම තේරීම වූයේ තම ගුරුතුමා සමඟ ගනුදෙනු කිරීම සඳහා ඔහුව ආපසු රැගෙන යාමයි.

ඔහුගේ මනෝභාවය ඔහුට දැනුණාක් මෙන්, ෂෙන් ච්‍යාඕ ඔහුව සනසන්නට පවා උත්සාහ කළේ, “කරදර වෙන්න එපා. මම නිකාය නායකතුමාට සියල්ල පැහැදිලි කරන්නම්. එවිට එයින් ඔබට බලපෑමක් නොවේවි."

යූ ෂෙන්ග්‍යාන් උමතු ලෙස පිළිතුරු දුන්නේ, “ඔබ පළමුව කරදර විය යුත්තේ ඔබ ගැනයි!”

ෂෙන් ච්‍යාඕ ඔහුට සිනහවක් පෑවේය. පසුව ඔහු එක්වරම ඇසුවේ, “ජ්‍යෙෂ්ඨ සහෝදර යූ, මම පවිත්‍ර චන්ද්‍ර නිකායේ ගෝලයෙක් නොවන බැවින් , මට දැනගැනීමට හැකිද  'ෂෙන් ච්‍යාඕ' යන නාමයත් ව්‍යාජද කියලා? ඒ මගේ සැබෑ නමද?”

යූ ෂෙන්ග්‍යාන් මොහොතකට නිහඬ විය. "එය සැබෑ ය."

ෂෙන් ච්‍යාඕ නැවතත් ඇසුවේ, "එසේ නම්, මම තුවාල වීමට පෙර මා කවුරුන්ද?මගේ පවුලේ කවුරුහරි තවමත් ජීවතුන් අතර සිටිනවාද?"

යූ ෂෙන්ග්‍යාන් පිළිතුරු දුන්නේ, "අපි ආපසු ගිය පසු ඔබට එය ගුරුතුමාගෙන්ම විමසිය හැකියි."

නමුත් ඔවුන් ආපසු ගිය පසු ඔවුන්ට දැකීමට හැකි වූයේ යැන් වුෂි එහි නොමැති බවයි.

ඔවුන් යේ නගරයට පිටත් වීමෙන් පසු වැඩි කල් නොගොස්, යැන් වුෂි ද ෆනින් අමතර මන්දිරයෙන් පිටව ගොස් තිබුණි. ඔහු ෂෝ රටට ගොස් ඇති බව දැනගන්නට ලැබුණි.

"ගුරුතුමා පිටත් වීමට කලින් අපිට පණිවිඩයක් දුන්නාද?" යූ ෂෙන්ග්යාන් මන්දිරයේ සිටි ප්‍රධාන සේවකයාගෙන් ඇසුවේය.

ඔහු පිළිතුරු දුන්නේ, “ ගුරුතුමා පැවසුවේ ඔබ නැවතත් අර්ධ පියවර කඳු පාමුලට ගොස් පුහුණුවීම් කළ යුතු බවයි. ෂෙන් තරුණ ස්වාමියා සම්බන්ධයෙන්, ගුරුතුමා පැවසුවේ ගමනේ සෑම දෙයක්ම හොඳින් සිදු වූවානම්, සුවය ලබා ගැනීම සඳහා ඔහුට දිගටම මෙහි සිටිය හැකි බවයි. නමුත් ෂෙන් මහත්මයා යේ නගරයේ සැලසුම අසාර්ථක වූ දෙයක් කොට ඔබට කිසියම් කරදරයක් ගෙනාවා නම්, ඔහු තනිවම මෙතැනින් පිටත්ව යා යුතු අතර ඔහු සමඟ කිසිවක් රැගෙන යාමට ඉඩක් නොලැබෙනු ඇත."

යූ ෂෙන්ග්යාන් මදක් පුදුමයට පත් විය, “ඇත්තටම ගුරුතුමා උපදෙස් දුන්නේ මෙලෙසින්ද?”

ප්‍රධාන සේවකයා ඔහුට කටුක සිනහවක් පෑවේය, “මා වැනි පහත් කෙනෙක් ව්‍යාජ දෙයක් පැවසීමට තරම් නිර්භීත වන්නේ කෙසේද?”

මුලදී, ඔවුන් ආපසු පැමිණෙන අතරතුරදී සිදු වූ දේ ගැන පවසන්නේ කෙසේද යන්න ගැන යූ ෂෙන්ග්යාන් කනස්සල්ලට පත්ව සිටියද, කාරණය අනපේක්ෂිත ලෙස මේ ආකාරයෙන් අවසන් විය.

ඔහු මොහොතක් කල්පනා කර, පසුව ෂෙන් ච්‍යාඕ අමතා යැන් වුෂි දුන් පණිවිඩය පිළිබඳව ඔහුට පැවසුවේ ය.

ෂෙන් ච්‍යාඕගේ ප්‍රතිචාරය තරමක් සන්සුන් විය.“මම ඔබට කරදර ගෙන ආ අතර නිකාය ශාස්තෘවරයා ඔබට පැවරූ කාර්යය සම්පූර්ණ කිරීමට ඔබව අසමත් කිරීමටද හේතු වුණා. නිකාය ශාස්තෘන් වහන්සේගේ මෘදු බව නිසා ලිහිල් ආකාරයෙන් එය විසඳා ඇත."

යැන් වුෂිගේ මෙම ක්‍රියාවන්ට නිසැකවම මෘදුකමේ කිසිදු සම්බන්ධයක් නැති බව වටහා ගැනීමට තරම් යූ ෂෙන්ග්‍යාන් තම ගුරුතුමා ගැන හොඳින් දැන සිටියේය. ඔහුට වෙනත් සැලසුමක් තිබෙන්නට ඇත.

ෂෙන් ච්‍යාඕ අන්ධ වූ අතර, වර්තමාන සටන්කාමී ලෝකයේ තත්වය අවුල් සහගත විය. මෙතනින් පිට වූ පසු ඔහුට ඕනෑම දෙයක් සිදු වීමට හැකියි. ඔහු මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන යනු ලැබුවේ නම් ෂුඅන්දූ කන්දේ නිකාය නායකයා යම් දිනක "පැහැරගත් අයෙකු" බවට පත් වනු ඇත. මෙය මිනිසුන් දැනගන්නේ නම්, ෂුඅන්දූ කන්ද බොහෝ විට අහිමි වීමට මුහුණක් නොමැතිව ලැජ්ජාවෙන් පීඩා විඳිනු ඇත. එවිට, එයට තව දුරටත් සටන්කාමී ලෝකයේ පිළිගැනීමක්වත් ඉතිරි නොවෙනු ඇත.

යූ ෂෙන්ග්‍යාන් සාමාන්‍යයෙන් කටයුතු කළේ නොසැලකිලිමත් සහ නොසිතා ලෙස වුවත් ෂෙන් ච්‍යාඕ සම්බන්ධයෙන් තම ගුරුතුමාගේ කැමැත්තට අකීකරු වීමට ඔහුට තවමත් අපහසු විය.

“එහෙමනම් හෙට උදෑසනම ඔබ පිටත්විය යුතුයි. මෙතැන් සිට ඊසාන දෙසින් තිබෙන්නේ යේ නගරයයි. නිරිත දෙසින් දකුණේ චෙන් රාජ්‍යයි. ඔබට ජියැංකාන් වෙත යාමට අවශ්‍ය නම්, ඔබ නිරිත දෙසට ගමන් කළ යුතුයි. එය දිගු ගමනක් වනු ඇත. ඔබ දැනටමත් යේ නගරයට ගොස් ඇති නිසා අත්දැකීම් තිබෙනවා.එහි ජනගහනය නිසා නිතර අවුල් සහගත වන අතර, මඟ දිගේ සරණාගතයින් ද බොහෝ සිටිනවා. එබැවින්, ඔබට සාමකාමී සහ ස්ථාවර ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, දකුණු චෙන් වඩා හොඳ තේරීමක් වනු ඇත."

ෂෙන් ච්‍යාඕ හිස වනමින්, පසුව ඔහුගේ අත අල්ලාගෙන, “මට ඒ ගැන පැවසුවාට ස්තූතියි, යූ සහෝදරයා. මට උදව්වක් ඉල්ලා සිටීමට අවශ්‍යයි. කරුණාකර මගේ අනන්‍යතාවය සහ මා පැමිණියේ කොහෙන්දැයි මට කියන්න. එවිට මට යාමට ස්ථානයක් ලැබෙනු ඇතැයි මම සිතනවා."

යූ ෂෙන්ග්‍යාන් උදාසීන ලෙස පිළිතුරු දුන්නේ, “දැන් ඔබට ඒවා පැවසුවද කිසිම ගැටලුවක් නැහැ. ඔබ මුලින් ෂුඅන්දූ කන්දේ ෂුඅන්දූ දම් මන්දිරයේ නිකාය නායකයායි. තුජුයේවල අංක එකේ විශේෂඥයා වන කුන්යේ සමඟ ඔබේ සටන අතරතුර, ඔබ කඳු මුදුනෙන් වැටී ගුරුතුමා විසින් ඔබව බේරගත්තා. නමුත් මම ඔබට උපදෙස් දෙන්නේ ඉක්මන් නොවී තවදුරටත් ඔවුන් ගැන විමසිලිමත් වී පසුව ඔවුන් සමඟ සබඳතා පවත්වන ලෙසයි. මොකද ෂුඅන්දූ කන්ද ඔබව සෙවීමට මිනිසුන්ව පිටත් කළ බවක්වත් මම මේ දක්වා අසා නැහැ."

“ෂුඅන්දූ කන්ද…” ෂෙන් ච්‍යාඕ තම ඇහිබැම රැලි කර නැවත නැවතත් මුමුණමින් සිටියේ ය. ඔහුගේ මුහුණේ දිස් වූයේ හිස් බවකි.

යූ ෂෙන්ග්‍යාන් උපහාසයට ලක් කළේ, “අපේ පවිත්‍ර චන්ද්‍ර නිකාය මහජනතාවගේ ඇස් හමුවේ අසුර නිකායක් බව සත්‍යයක්. නමුත් අපි අවංක දුෂ්ටයන්. අපට මරන්න අවශ්‍ය නම්, අපි මරා දමන අතර එය සැඟවීමට උත්සාහ කරන්නේ නැහැ. සමහර දාඕවාදී නිකායන් මෙන්,  ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ගේ ප්‍රකාශයන්ට වඩා වෙනස් ලෙස හෙළිදරව් කරන්නේ නැහැ! කෙසේ වෙතත්, මගේ උපදෙස් වලට සවන් දීමට අවශ්‍යද නැද්ද යන්න ඔබට භාරයි. අවසානයේදී ඔබේ ජීවිතය නැති වුනොත්, කලින් අනතුරු ඇඟවීමක් නොකළ බව පවසමින් මට චෝදනා කරන්න එපා!”

ෂෙන් ච්‍යාඕ නිශ්ශබ්ද විය.

පසුදා හිමිදිරියේම සේවකයන් ඔහුව අවදි කර මන්දිරයෙන් පිටව යන ලෙස ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටියහ.

කොළ පැහැති උණ බම්බු පොල්ලක් හැර ඔහුට වටිනා කිසිවක් ඉතිරි වී තිබුණේ නැත. මුදල් තියා සලාකයක්වත් ළඟ තිබුණේ නැහැ.

යූ ෂෙන්ග්‍යාන් පැහැදිලිවම ඔහුට කිසිදු නිදහසක් ලබා නොදුන් අතර, සැබවින්ම ඔහුට අවශ්‍ය වූයේ ෂෙන් ච්‍යාඕට බාහිර ලෝකය තුළ තනිවම ජීවත් වීමට හෝ විනාශ වීමට ඉඩ හැරීමයි.

උදෑසන හිරු වසන්තයේ සුවඳ සමඟින් ඔහුව උනුසුමෙන් වසාගත්තේ ඔහුව කිසිසේත්ම අපහසුතවට පත් නොකරමිනි.

ඔහු තම දෑස් පියාගෙන, පසුව දෑත්වලින් ඒවාට සෙවනක් ලබා දුන්නේ ය.

ඇත්තෙන්ම, ඔහුට දැන් පිටත ආලෝකය යම්තමින් දැක ගැනීමට හැකි විය.නමුත් එය තවමත් නොපැහැදිලියි. මේ නිසා ඔහුගේ දෑස් රිදුම් දෙන්නටත්, ටික වේලාවකට පසු කඳුළු පැමිණෙන්නටත් විය.නමුත් ඔහුගේ දෑස් විවර කළ පසු කළු පැහැති අඳුරකින් පමණක් පිටත ලෝකය දැකීමට හැකි වනවාට වඩා එය හොඳ ය.

ෂෙන් ච්‍යාඕ ආපසු හැරී තමන්ට සෙවන සැලසූ, හානි වූවාට පසු මෙතෙක් කල් තමන් වාසය කළ ඒ මන්දිරය දෙස බැලීවේ ය.

පවිත්‍ර චන්ද්‍ර නිකායට ආරම්භයේ සිටම යහපත් චේතනාවක් නොතිබුණද, ඇත්තෙන්ම ඔවුන් ඔහුව තම රැකවරණය යටතට ගෙන වෛද්‍යවරුන් සහ ඖෂධ පවා ලබා දුන් බව ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැක. මේවා සරලව අමතක කර දැමිය හැකි දේවල් නොවී ය.

ඔහුට කවදා හෝ යැන් වුෂිව නැවත හමුවීමට හැකියාවක් ඇත්නම්, ඔහු තවමත් ඔහුට පෞද්ගලිකව ස්තූති කිරීමට කැමැත්තෙන් සිටියේ ය.

පරිවර්තකගේ සටහන්:

[1]  නිශ්ශබ්ද කිරීමේ නිලය ( Acupoint) (哑穴 yaxue) :  පුද්ගලයෙකුගේ මෙම නිලයට පහර දුන්නොත් ඔහුට ශබ්දයක් නිකුත් කිරීමට නොහැකි වනු ඇත. එම ස්ථානයේදීම අගුළු ඇරීමටද (නිදහස් කිරිමට) හැකි උච්ච ලක්ෂ්‍යයකි. බොහෝ විට wuxia නවකතා වල දක්නට ලැබේ.

[2]  අධිකරණ රැස්වීම (早朝 zaochao) :  රජයේ කටයුතු සාකච්ඡා කිරීමට අධිරාජයා විසින් උසාවි නිලධාරීන් සමඟ, මාලිගාවේදී උදෑසන පැවැත්වූ රැස්වීමක්.

[3]  Angelica Root (当归 dangui):   චීන වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ශාකයකි. එහි "当归" යන චීන නාමයේ අක්ෂර "නැවත පැමිණිය යුතුය" ලෙස අර්ථ දැක්විය හැක. Shen Qiao මෙම අරුත් තලය යොදාගෙන Yan Zhiwen ට අනතුර ගැන අනතුරු ඇඟවීය.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. මම හිතුවා ඉල්ලගෙන කයි කියලා

    ReplyDelete
  2. යැං වූෂි සිද්ධිය කලින් ම දන්නේ එයා ඒක හොරෙන් බලාගෙන ඉන්න ඇති.

    ReplyDelete
  3. දැන් ඉතිං බලාගෙන ඉන්න එපැයි

    ReplyDelete
  4. ❤️❤️❤️

    ReplyDelete
  5. අවංක දුෂ්ටයන්ට මන් හෙන කැමති

    ReplyDelete
  6. ඔය කලෙ ඉතින් shen Qiao

    ReplyDelete
  7. ඕක තමයි මන් හරි හොඳ අයට කැමති නැත්තේ 🙂

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-