Skip to main content

අසූ නමවන පරිච්ජේදය | ගිගුරුම.

 



ග' චිංචිං අගනුවරින් පිටත සිටියේ මාස භාගයකට වඩා අඩු කාලයනි. එකිනෙක විවෘත කරන ලද ෂී වංශයට අයත් සෑම මුදල් සුරක්ෂිතාගාරයක් ම හිස් ව තිබුණද ෂී දාන්ට කළමනාකාරණයේ මහගු හැකියාවක් තිබීම ඔවුන්ට විශාල පිටුපහලක් විය. පෙරදී ලබා ගත් රිදී මිලියනහතරද ඇතුළුව , ශෙන් ස'චුආන් පෙන්වීමට තරම් කිසිවක් නොලද්දාක් මෙන් හිස් අතින් සිටියේ ද නැත. 

 සිව්වන සයේ ඊසානදිග පාලම් මාර්ගය හරහා ප්‍රවාහනය කළ මිලියන දෙක දැනටමත් සීජෞ වෙත පැමිණ තිබිණි.  ලිපිය චූදු වෙත නැවත ආ පසු, එය දිං තාඕ අතින් සෘජුවම ශෙන් ස'චුආන් අතට පත්විය.

 ශෙන් ස'චුආන් සිය වත මත වූ දහදිය පිස දැමුවේ ය.  ඔහු එය විවෘත කරනුනට පෙර, ඒ හා සමානව දහඩියෙන් තෙත් වී සිටි ෂ්‍යාඕ චීයේ වෙත හස්තය සැලුවේ ය. ෂ්‍යාඕ චීයේ වස්තුය උනා ඳමා කාමරයට පිටව ගියේ ස්නානය කිරීම සදහා ය.  ඔහු තිරයේ අනෙක් පස සිට පැවසුවේ ය. "ඒක මට ඇහෙන්න කියවන්න" 

ශෙන් ස'චුආන් ලිපිය කියවා බැලුවේ ය. ෂ්‍යාඕ ජීමිං ඔහුගේ පණිවිඩය කෙටි හා සංක්ෂිප්තව සඳහන් කර තිබුණේ ය, එනම් රිදී කිසිදු බාධාවකින් තොරව සීජෞ වෙත පැමිණ තිබූ බවත් , මෙම ගිම්හානයේ සහ සරත් සෘතුවේ දී ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සඳහා හමුදා ප්‍රතිපාදන ද ගබඩාවට පැමිණ ඇති බවත් ය.

 "ජ්‍යැං චින්ෂං චොංබෝ වල පළාත් පරිපාලන නියෝජ්‍ය තනතුර භාර ගන්න චොංබෝ වලට මාරු කර යවා තිබෙනවා. එතකොට මේ හමුදා ප්‍රතිපාදන ලෑස්ති ​​කරලා තිබෙන්නේ වෙන අයෙක් ද?”

ෂ්‍යාඕ චීයේ ඉක්මනින් තම ස්නාසය අවසන් කළේ ය. ඔහු පිසදමන අතරේ පවසන්නට විය. “ජුඒෂි වල සහකාර පරිපාලන නියොජ්‍ය යැං චෙං සහ විවිධ ජුඒෂි උප මහේස්ත්‍රාත්වරුන් එක්ක සහකාර උප ශිෂ්‍ය නායකයින් ව ඒකාබද්ධව සකස් කළා. ඔවුන් සියල්ලෝම ජ්‍යැං චිංෂන්ගේ අණ යටතේ ඉන්න පැරණි හස්තයන්. හමුදා ප්‍රතිපාදනවල අතීත සූදානම සම්බන්ධයෙන් ගත්තම , ඔවුන් තමයි වඩාත්ම වේගවත්ම අය."

ශෙන් ස'චුආන් ලිපිය මේසය මත තැබුවේ ය. එය ජ්‍යැං චිංෂන්ගේ පරීක්‍ෂණය හරහා සිදු නොවූ බැවින් , බෙදා හැරීමට පෙර තවමත් හමුදා විධිවිධාන නිසි ලෙස පරීක්‍ෂා කළ යුතු බව ඔහුට පවසන්නට අවැසි විය.  නමුත් ෂ්‍යාඕ චීයේ ලිබෙයි හී හමුදා කටයුතු කළමනාකරණය නොකරන බව ඔහුගේ මනසට ආ විට ඔහු එය වඩා හොඳ යැයි සිතුවේය.  ෂ්‍යාඕ ජීමිං මෙම කාරණයේ ඇතුළත සහ පිටතට දැනගත යුතුය;  ඔහු වැනි පිටස්තරයෙකු මැදිහත් වීමට අවශ්‍ය නොවූ බැවින් ඔහු එය අතහැර දැමූ අතර නැවත ඒ පිළිබඳ සඳහන් නොකළේ ය.

ෂ්‍යාඕ චීයේ තම යට වස්ත්‍රයට උඩින් තද පැහැති පළල් අත් ඇති සළුවක් හැඳ සැරසී සිටියේය.  මේ ගාම්භීර වර්ණ වලට ඔහුට එරෙහිව යන්නාක් සේ ය. එය ඔහුගේ උරහිස් මත ලිහිල්ව එල්ලී තිබියදීත්, ඔහු ආකර්ෂණීය ව බැබළුණේ ය. පිටතට ආ හැටියේම ඒ වන විටත් ශීතලව ගිය තේ පැන් උගුරක් පානය කරමින් ඔහු පැවසුවේ ය.  “ගූ ජින් ඊයේ රාත්‍රියේ ඒ ගැන සෝදිසි කරන්න ෂුඒ වාසස්ථානය ට ගියා.  ඇදුරුතුමත් ෂිෆුත් බොහෝ විට අට්ටාලයක හිර කරලා ඇති."

"සාමාන්‍ය ස්ථානයක ට ෂිෆු කොටු කර ගන්න බැහැ."  ශෙන් ස'චුආන් බුරුසුව ස්පර්ශ කළේය.  "මටම ඒක දැක බලාගන්න ඕනේ."

"ඔහු වගේ ඥානවන්ත සහ සුපරීක්ෂාකාරී අයෙක් එය සොයාගෙන ගුරුවරයා සහ ෂිෆු ව වෙනත් ස්ථානයකට මාරු කළොත් , අපි පිදුරු ගොඩක වැටුණු ඉඳිකටුවක් හොයනවා වගේ වේවි."  ශෙන් ස'චුආන්ගේ හිස මත වූ හිස් පළදනා ඔටුන්න ෂ්‍යාඕ චියේ  ඉවත් කළේය.  “ෂුඒ වාසස්ථානයේ මායිම සුපරීක්ෂාකාරීව තබා ගන්න මිනිසුන්ට මාරුවෙන් මාරුවට පැමිණෙන්න කියලා මම දැනටමත් අණ කරලයි තියෙව්වේ. අපිට වඩා ආරක්‍ෂිත ක්‍රමයක් ගැන හිතන්න වෙනවා.”

"තවමත් මට හිතාගන්න බැරි එක දෙයක් තියෙනවා."  ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ට ඔහුගේ කොණ්ඩය පීරන්නට ඉඩ දුන්නේය.  ඒ අශෝභන පිටුපස කිසිසේත්ම දෙවැනි තරුණ ස්වාමියා හා සම නොවීය.  “ඔහු ෂී වංශයේ මුදල් සුරක්ෂිතාගාර හිස් කළේ නොහොමද?  ග' චිංචිංට චිංජෞ වල කිසිම දෙයක් හොයාගන්න ලැබුණේ නැහැ."

ෂ්‍යාඕ චීයේ කණ්නාඩියෙන් ශෙන් ස'චුආන් දෙස බැල්මක් හෙළුවේ ය.

 “ ඒ ගැන හිතාගන්න බැරිද?  මම ඒක දැනටමත් කරලයි තියෙන්නේ. ”

 ශෙන් ස'චුආන් ඔහු දෙස බැලීය.

 “ඔබට ලැබුණු රිදී මිලියන හතර ගොඩබිමෙන් හරි ජලයෙන් වේවා වෙළඳ මාර්ගයක් හරහා ප්‍රවාහනය කරන තාක් කල් විවිධ කලාපවල මුරපොළවල්වල පරීක්‍ෂාවට ලක්වන බව අපි දැනටමත් දන්නවා.  ඔහුටත් මේ සැලකිල්ල ඒ විදිහට ම ලැබෙන්න ඕනේ, ඒ නිසා වෙළඳ මාර්ග පරීක්ෂා කරන එකේ තේරුමක් නැහැ."  ෂ්‍යාඕ චීයේ කතා කරන අතරවාරයේ ද තම කිරිය අත්නොහැරියේ ය. ඔහු ඇල්ලක් තරම් පළල් කුඩා කෝණ්ඩා ගෙතුමක් ශෙන් ස'චුආන්ගේ හිස්කෙස් යොදාගෙන ගොතමින් සිටියේ ය.

“ෂුඒ ෂ්‍යුජුඕ සමග ම අනුක්‍රමික අනුපිළිවෙලින් දරන රජයේ තනතුරු සියල්ලම වැදගත් තනතුරු විදිහට සලකනවා.  ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයෙක් විවිධ කලාපවල ගිණුම් විගණනය කරන්න ලැබෙනවා ,  නිලධාරීන් සියය සදහා වූ භෝජන සංග්‍රහයට ආසන්න වෙද්දී පවා , ඔහුට ප්‍රවාහන කාර්යාල සමඟ ගනුදෙනු කරනුන සිද්ධ වෙනවා.  ප්‍රවාහන කාර්යාලය රාජකීය අධිකරණයට ගෙවන දේශීය බදු කළමනාකරණය වෙනුවෙන් වග වෙනවා.  ඔහු ඒ අතරේ රිදී හොර රහසේ ගෙන ගියොත් චූදු වලට ඇතුල් වෙන්නවත් පිටතට යන්නවත් ඔහුට සහයක් ලබා ගන්න නොහැකි වෙනවා.”

හදිසියේම ඥානය පහළවූ ශෙන් ස'චුආන් නැවතත් ඇසුවේය, “එහෙම නම් ඔහු ඒවා සඟවා තැබුවේ කොහේද?  ෂිඒ වාසස්ථානය ෂුඒ වාසස්ථානයට වඩා ප්‍රමාණයෙන් විශාල වුනත් , එය යාඕ වංශයේ නිවහන වගේ සැබෑ උරුමයක් විදිහට සැළකෙන්නේ නැහැ.  ඔහු පොළව හාරා දැමුවත් ඔහුට එතරම් මුදලක් සගවන්න බැහැ."

"එය රඳා පවතින්නේ ඔහුට ඒවා භාවිතා කරන්න අවශ්‍ය ආකාරය මත යි."  ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඇඟිලි මුදා හැරිය අතර ශෙන් ස'චුආන් ගේ කළු පැහැ හිසකෙස් ජලය මෙන් පහතට ඇද හැලුණි.  එය ස්පර්ශයට පහසු වූ අතර ආක්‍රමණශීලී බව සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණේ ය.  ඔහු පිටුපසින් ශෙන් ස'චුආන් උරහිස් මත තද වූ අතර මිනිසුන් දෙදෙනාම කැඩපතෙන් පරාවර්තන විය. ඔහු පැවසුවේ ය. “ඔහුගේ උපන් නගරය ජින්චෙං නගරයයි.එයට දකුණින් හජෞ ප්‍රාන්තය පිහිටනවා. හේජෞ හි ජල මාර්ග සංවර්ධනය කරලා තියෙනවා වගේම එහි ආධිපත්‍යය දරන්නේ ජුඒෂි වරායන්හි ෂී වංශයේ බෝට්ටු සමඟ ව්‍යාපාරික ගනුදෙනු සිදු කරන යැන් වංශයයි.  දැන් ඔහු ෂී හොංෂුආන්ව ඉවත් කරලා තියෙන නිසා , ඔහුට මේ මුදල් නැවත වරක් ගමන් කරවන්න අවශ්‍ය නම්, ෂී හොංෂුආන් වගේස මුදල් එක්ක ක්‍රීඩා කළ හැකි අයෙක් සොයා ගන්න සිද්ධවෙනවා.  ඒවගේම මේ පුද්ගලයා අන් කිසිවෙක් නෙමෙයි හේ​ජෞ වල  යාන් වංශයමයි.  ඉතින්, මගේ අනුමානය නම් ඔහු බොහෝ විට මේ රිදී භාර දී ඇත්තේ හේජෞ වල යාන් වංශයට කියන එකයි."

ශෙන් ස'චුආන් මීට පෙර කිසි දිනෙක හේජෞ වෙත ගොස් නොතිබුණි.  ඔහු දැන සිටියේ හේජෞ හි යැන් වංශය ඉතා දක්ෂ බව පමණකි.  ඔවුන් ප්‍රධාන භාර්යාවගෙන් උපන් නීත්‍යානුකූල පුත්‍රයින් විසින් පාලනය කළ ෂී වංශය මෙන් නොවීය.  යමෙක් ප්‍රධාන භාර්යාවගෙන් උපන් නීත්‍යනුකූල පුත්‍රයෙක් ද, උපභාර්යාවන්ගෙන් උපන් සාමාන්‍ය උපතක් හිමි අයෙක් ද යන්න නොසලකා, ඔවුන් ගණන් ගත්තේ හැකියාවයි.  ෂියන්දේ පාලන සමයේ පළමු වසර තුළ, යැන් වංශය හේජෞ හි තේ වෙළඳාමෙන් ධනය උපයා ගත්තෝ ය.  ඔවුන් උපහාර දැක්වීමට හැර චූදු වලට පැමිණියේ ද කලාතුරකිනි. ශෙන් ස'චුආන් ඔවුන් පිළිබඳ දැන සිටියේ ඉතා අල්ප වශයෙනි.


"දෙවන තරුණ ස්වාමියාගේ ගෙතුම් ඇත්තටම හරිම අලංකාර විදිහට නිමවලා තියෙනවා."  ශෙන් ස'චුආන් සිතුවේ ය. එහෙත් ඔහු දෙස විමසිල්ලෙන් බලමින් විහිළුකාරි ලෙස අනින්නටද ඔහු අමතක නොකළේ ය. “ඇත්තටම බොහෝ දක්ෂතා තියෙන විශාරදයෙක් වගේ.” 

"මේ දෙවන තරුණ ස්වාමියා ඒවගේ පුංචි ගෙතුම් තව ගොඩක් ගෙතුවා."  ෂ්‍යාඕ චීයේ ඔහුට විහිළු කළේය.  “ලං තාඕ ෂුඒ ජින් ගේ කුඩා ගෙත්තම් ලස්සන නැද්ද?  මම තමයි ඒ ඔක්කොම ගෙතුවේ.”

 ශෙන් ස'චුආන් පැවසුවේ ය. “ඔබ වෙනුවෙන් විවාහ ගිවිස ගැනීමේ ත්‍යාගය ඉතිරි කරන්න මම මගේ මුළු හදවතින්ම කැපවෙමින් ඉන්නවා.  එහෙත් ඔබ මාව සලකන්නේ ලං තාඕ ෂුඒ ජින් ගාණටද?"

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ ශරීරය පහත් කර කණ්ණාඩිය දෙසට විහිළු කළේය, "අශ්වයෙක්, හ්ම්ම්!"

ෂ්‍යාඕ චීයේගේ දෑස්වල විවිධ හැගීම් ලියැවී තිබූණේ ය.  මෙලෙස ශෙන් ස'චුආන් ට එරෙහිව පීඩනය යෙදීම නිසා  ශෙන් ස'චුආන් ට සිහි වූයේ වැසි සහිත රාත්‍රියක ඔවුන් අවසන් වරට අශ්වයා පිට නැඟී සිටියදි කළ අශිෂ්ට ක්‍රියාවයි.  ඔහුගේ සිනිඳු ගෙලෙහි තවදුරටත් එම ප්‍රේමාලිංග සපාකෑම් නොතිබුණද, ෂ්‍යාඕ චියේ ඔහුගේ සවනය කොඳුරන විට එය රතු වීමට පටන් ගෙන තිබු​ණි.

 ශෙන් ස'චුආන් ඔහුගේ නිකට මඳක් ඔසවමින්, එම විචිත්‍රවත්, මාණික්‍යයක් බදු ගෙලෙහි වක්‍රාකාර කොටස සම්පූර්ණයෙන්ම නිරාවරණය කළේය.  එය අඳුරු ආලෝකයේ මධ්‍යයේ වූ අඩ සඳක් මෙන් විය;  එතරම් තියුණු ද නොවීය , ස්වභාවයෙන්ම මෘදු සහ ප්‍රතාපවත් බවක් ඉසිළුවේ ය.  ඔහු මෘදු ලෙස ඇසුවේ ය. "මමද?"

ෂ්‍යාඕ චීයේ ඔහුගේ මායාවට හසු විය.  ඔහු ශෙන් ස'චුආන් ගේ ඇසේ කොනක් සිපගෙන, පසුව කැඩපතේ සිටි මිනිසා දෙස බලා සිනහවකින් මුව සරසාගෙන මෙසේ පැවසීය: “මමත් ඉවසන්න ඕනෙද?  ඔබයි මගේ ස්වාමියා.  මට අවශ්‍ය ඔබව  පදින්න විතරයි."

 ශෙන් ස'චුආන් ගේ කනස්සල්ල දින ගණනාවක් තිස්සේ පැවතුණු අතර එයින් සමහරක් ක්ෂණයෙන් විසිරී ගියේ ය.  ඔහු සිනහසෙන විට, ඔහු පවා නොදුටු මුළා කරවන සුළු ආකර්ශනීය ඉඟියක් විදහාලී ය.

◈     ◈     ◈

පස්වන මාසයේ චූදු හි උෂ්ණත්වය හදිසියේම ඉහළ ගියේය. ග්‍රීෂ්ම රස්නය ඔවුන්ගේ මුහුණුවලට පහර දෙන විට ඔවුන් සිත් තුල වූ සංතෝශයන් වසන්තයේ ප්‍රබෝධමත් සිසිලසවත් විඳ නො තිබුණේ ය.  යටත් නිලධාරීන්ට තම රාජකාරිය කරන විට ගමන් රථ ගෙන යන්නට නොහැකි වූ අතර, එක් එක් අය තම සිවුරු ඔසවාලමින් විජිණිපත් වලින් සිසිලස සලසාගනිමින් සිටියෝ ය.   ඔවුන් විවිධ කාර්යාල පරිශ්‍රයන්ට ඇතුළු වන විටත් පිටව යද්දීත් ඔවුන් දහඩියෙන් තෙත් ව සිටි අතර, ඒ වන විටත් ඔවුන්ගේ තොල් පැලී මුහුණු රතු ව තිබිණි.

ලියැං කුයිෂන් ට රාජකීය හමුදාවේ ගිණුම් විගණනය කිරීම හේතුවෙන් අනුප්‍රාප්තික උසස්වීම් ලැබීමෙන් පසුව තරමක නිදහස් කාලයක් ලැබී තිබුණි.  හේ දැන් විවිධ කලාපවල බදු විගණනය කිරීමේ කාර්යය හසුරුවන ආදායම් අමාත්‍යාංශයේ උප අමාත්‍ය පැන් ලින් යටතේ සේවය කරයි.

පැන් ලීන් මේවන විට ෂ්‍යාඕ චීයේ කෙරෙහි කෘතඥතාවයෙන් පිරී සිටියේ ය.  මක්නිසාද යත් ඔහු අවසන් වරට නිවසට පැමිණ දින දෙකකට පසු, ලී ජ්‍යන්හෙං සැබවින්ම ඔහුගේ පියා වන පැන් ෂ්‍යන්ජිඒට ඔහුගේ වරදට සමාව ලබා දුන් නිසා ය.  ඔහු දේශ සීමාවට පිටුවහල් නොකරන ලද්දේ ය ;  ඒ වෙනුවට ඔහුට ලැබුණේ නිරීක්‍ෂණයට නියමිත වැටුප් අත්හිටුවීමක් පමණක් වන අතර මේ වසරේ පරීක්‍ෂණයෙන් බැහැර කිරීමක් පමණක් සිදු කරන ලදී.

ෂ්‍යාඕ චීයේ කිසිඳු විටෙක ප්‍රසිද්ධියේ උසස්වීම් සඳහා ලියැං කුයිෂන් නිර්දේශ කර සහතිකයක් ලබා දී නොතිබුණි, නමුත් ඔවුන් සියල්ලෝම ලියැං කුයිෂන් අධිරාජ්‍යයා ඉදිරියේ ෂ්‍යාඕ චීයේ විසින්ම නිර්දේශ කළ අයෙකු බව දැන සිටි බුද්ධිමත් පුද්ගලයන් විය.  එබැවින් ෂ්‍යාඕ චීයේ කිසිදු පූර්ව දැනුම්දීමක් නොකළද, පැන් ලින් තවමත් ලියැං කුයිෂන් ව හොඳින් රැකබලා ගත්තේ වෙයි හුඅයිගූ ගේ නින්දාවෙන් ඔහුව ගලවා ගනිමිනි.

“චී සහ හුආ අයගේ විවාහ මංගල්‍යයන් පැවැත්වෙන්නේ ලබන මාසයේයි. මංගල භෝජන සංග්‍රහයෙන් පස්සේ වැන්දඹු අධිරාජිනිය ඒ ගැන විමසනකොට අපිට දෝෂ රහිත පිළිතුරක් ලබා දෙන්න බැරි නම්, චාරිත්‍ර අමාත්‍යාංශය විසින් එවපු ක්‍රියාදාමයන් සහ අනෙක් වියදම්වත් පැහැදිලිව ගණනය කරනුන වෙනවා."  පැන් ලින් මුං ඇට දමා සකසා තිබූ සුපය පානය කළේ ය.  ඔහු කෙතරම් උණුසුමින් සිටියා ද කිවහොත් ඔහුගේ පිට පවා දහදියෙන් තෙත් වූයේ ය. 

පැන් ලින් ලියැං කුයිෂන් ට වඩා බොහෝ බාල විය.  නමුත් ඔහු මීට පෙර රාජකෘය අධිකරණයට සම්බන්ධ ව තිබුණු අතර ඔහුගේ තරාතිරම උසස් විය. එබැවින් ලියැං කුයිෂන් තමාව හදුන්වද්දී  “මේ නිහතමානී යටත්වැසියා” ලෙස තමාව ආමන්ත්‍රණය නොකළද, ඔහුට තමාවම “මේ ශිෂ්‍යයා” ලෙස ආමන්ත්‍රණය කරන්නට සිදුව තිබුණේ ය.

ලියැං කුයිෂන්ට ද එහි වූ රස්නය දැනුණේ ය. එහෙත් ඔවුන් සිටියේ කාර්යාල පරිශ්‍රයේ වූ අතර, නිලධාරීන්ගේ ආචාර විධි ගැන අවධානය යොමු කළ යුතු වූ නිසා, ඔහුට තම සිත් පරිදි සිවුර ගලවා දමන්නට නොහැකි විය;  එසේ නොමැති නම්, ඔහු ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ රාජකීය වාරණයන්ට මුහුණ දෙන්නට වුවහොත් නම් ඔහුට දඬුවම් විදින්නට සිදුවනු.  ඔහු තම නළල ලේන්සුවකින් පිසදමා, හිස නමමින් කීවේ ය. “මේ නිහතමානී යටත්වැසියා ඔබතුමාගේ උපදෙස් පිළිපදිනවා.  මම මේ ගිණුමේ එක මුදලක්වත් අමතක වෙන්න දෙන්නේ නැහැ.”

පැන් ලින් ඔහුට අනෙකුත් කරුණු සම්බන්ධයෙන් තවත් උපදෙස් කිහිපයක් ලබා දුන්නේය.  ඔහුට තවමත් යම් විස්තර සහතික කර ගන්නට චාරිත්‍ර අමාත්‍යාංශයට යන්නට සිදු වූ නිසා ඔහු ගමන් රථයට නැග පිටව ගියේය.

ශෙන් ස'චුආන් සහ ෂ්‍යාඕ චීයේ ඔවුන්ගේ පිළිගැනීම සහ ඔහුගේ වටිනාකම අගය කිරීම වෙනුවෙන් කෘතඥතාවේ ණයගැති වූ ලියැං කුයිෂන් කිසිවිටෙකත් ඔහුගේ කාර්යයේදී අශෝභන වෙන්නට නිර්භීත නොවූ අතර ඉක්මනින් ගිණුම් සමථයකට පත් කරන්නට කටයුතු කළේය.  පිටතින් කවුරුන් හෝ හඩ නගමින් ඇතුලට කඩාවදින හඬ ඇසෙන විට ඔහු මොහොතක් වාඩි වී සිටියා පමණය.

 මේ වන විට මධ්‍යහ්නය වූ අතර අවට එතරම් සෙනඟ සිටියේ නැත.  ලියං කුයිෂන් කඩිමුඩියේ පඩිපෙළ බැස පුද්ගලයාට ආචාර කළේය.  මේ පුද්ගලයා සතුවූයේ එතරම් නුහුරු මුහුණක් බව දැක ඔහු විමසුවේ ය. “සහෝදරයා , ඔබ කාවද හොයන්නේ”

ලියැං කුයිෂන් වෙත සම්පූර්ණ ලියවිල්ලක් දෙනවිට මේ පුද්ගලයා අධික ලෙස දහඩිය නෑවි සිටියේ ය.  ඔහු පවසනුනට විය. “මේ නිහතමානී යටත් නිලධාරියා ඊසානදිග පාලම් මාර්ගයේ තැපැල් සම්බන්ධතා මධ්‍යස්ථානයේ නිලධාරියෙකි!  උතුමාණෙනි, මේක පෙර දින රාත්‍රියේ ජුඒෂි වල බයිමාජෞ ප්‍රාන්තයෙන් එවන ලද හදිසි වාර්තාවකි. ජුඒෂි වල පළාත් පරිපාලන නියෝජ්‍ය සභාවේ අත්සනත් සමඟයි තියෙන්නේ. මේක හුඟක් හදිසි කාරණයක්!”

ඊසානදිග විධිවිධාන පාලම් මාර්ගය!

ලියැං කුයිණන් මේ නම ඇසූ මොහොතේම, ලීබෙයි සම්බන්ධ ප්‍රධාන කාරණයක් බව ඔහු දැන සිටියේය.  ඔහු එය බාරගෙන හදිසි හඬින් කීවේ ය. “ඇයි ඒක ආදායම් අමාත්‍යාංශයට භාර දෙන්නෙ? ලිබෙයි වලින් එන හැම කරුණක්ම හමුදා වාර්තා ලෙස සලකනවා.  ඒවා යුද අමාත්‍යාංශයට භාර දෙන්න ඕනේ!"

"මේක බයිමාජෞ වලින් එවපු හදිසි වාර්තාවක්."  මේ පුද්ගලයා කීවේය.  “ඒක ආදායම් අමාත්‍යාංශය හා බැඳි පවතිනවා!  උතුමාණෙනි, කරුණාකරලා එය ඉක්මනින් ඇමතිවරයාගේ මේසයට ඉදිරිපත් කරන්න.  මේ අධිවේගී වාර්තාව ප්‍රමාද කිරීමේ ප්‍රතිවිපාකය ඔබටත් මටත් දරාගත හැකි දෙයක් නොවේ වි!"

ලියං කුයිෂන් වහා ඔහුගේ හස්තය යට සගවාගෙන සිටි ලේඛනය සමඟ ඇතුලට ගොස් ඉක්මනින් එම ස්ථානයට ගියේ නිසිවෙකු අවට නොමැති අතරේයි.  නමුත් ඔහු වෙයි හුඅයිගූව නොදුටු අතර, වෙයි හුඅයිගුගේ සේවකයා ව දුටුවේය.  උපස්ථායකයා එය පිළිගත්තේය, නමුත් ඔහුගේ කාලය ගත කර, පසුව ඒ සඳහා කටයුතු සම්පාදනය කරන බව පවසමින් පළමුව ආපසු යන ලෙස ලියැං කුයිෂන්ට පැවසුවේ ය.

ලියැං කුයිෂන් එහි කුමක් හෝ වරදක් ඇති බව වැටහුණේ ය.  සීඝ්‍රගාමී  වාර්තාවක් මෙතරම් නොසැලකිලිමත් ලෙස හැසිරවිය හැක්කේ කෙසේද?  ඔවුන් පැහැදිලිවම කාලය නතර කර කා දැමුවා!  ඔහු පසුබසින විට ඔහුගේ හදවත තදින් ගැහෙන්නට විය.  නමුත් ඔහු කාර්යාල පරිශ්‍රය වෙත ආපසු යනු වෙනුවට, ඔහු හැරී, තම වස්ත්‍රයද උස්සාගෙන, රාජකීය ආරක්ෂකයින්  රාජකාරියේ යෙදී සිටි ස්ථානයට දිව ගියේය.

ඒ සෑම තැනම ගිනියම් වූයේ ය.  ලියැං කුයිෂන් එන විට දැඩි හුස්මක් ගනිමින් සිටියේය.  වතුර උගුරක්වත් පානය කරන්නට ධෛර්යයක් නොමැතිව සිටි ඔහු ඉක්මනින් මළුවට ගොස් ශෙන් ස'චුආන් බැහැදකින්නට ඉල්ලා සිටියේ ය.

 "මොකක්ද කාරණය?" ච්‍යාඕ ත්‍යැන්යා ඔහුව ඇතුලට ගෙන යන්නට විය. "ඇයි ඔබතුමා මේ තරම් කලබලෙන් මෙහාට දුවගෙන ආවේ?"

"ඒක හදිසි කාරණයක්!"  ච්‍යාඕ ත්‍යැන්යා ට පැහැදිලි කිරීමට ල්‍යැං කුයිෂන් අපහසු විය.  ඇතුල් වන විට ශෙන් ස'චුආන් දුටු විට ක්ෂණකව නැගී , “උතුමාණෙන්!  මේ නිහතමානී යටත් නිලධාරියාට ඔබ එක්ක සාකච්ඡා කරන්න යමක් තියෙනවා. ”

 ෂෙන් සෙචුවාන් තේ පිළිගැන්වීමට ච්‍යාඕ ත්‍යැන්යාගෙන් උපකාර  ලබා ගත්තේය.  තම රාජකාරී කටයුතු පසෙක තබා ඔහු ස්ථාවර බැල්මක් හෙලමින් පවසන්නට විය. “මොකක්ද ප්‍රශ්නය.?” 

ලියැං කුයිෂන් වාඩි වෙන්නට එඩිතර වූයේ නැත.  ඔහු හුස්මක් ගන්නට දැඩි වෙහෙසක් ගත් අතර, “මේ නිහතමානී යටත් නිලධාරියාට කලින් ආදායම් අමාත්‍යාංශයේ කාර්යාල පරිශ්‍රයේ දී ජුඒෂි ප්‍රාන්තයේ බයිමාජෞ වලින් එවපු  අධිවේගී වාර්තාවක් ලැබුණා. ඒක ඊසානදිග විධිවිධාන පාලම් මාර්ගයට අදාළයි!  මේ නිහතමානී යටත් නිලධාරියා වාර්තාව ඉහළට ගෙන ගිය ගියත් කොහොමටවත් ගෞරවනීය අමාත්‍යවරයා ව හමුවෙන්න නොහැකි වුණා. මේක ලිබෙයි වලට ​අනෝන්‍ය විදිහට සම්බන්ධ වෙනවා.  උතුමාණෙනි මට බය, පසුගිය මාසයේ ලිබෙයි වලට යවාපු හමුදා ප්‍රතිපාදනවලට යමක් වෙලාද කියලයි!"

ශෙන් ස'චුආන් වහා නැගී සිය පවසන්නට විය.  “රාජකීය හමුදාවේ කාර්යාල පරිශ්‍රයට ගිහින් මේ කාරණය උතුමාණන්ට දන්වන්න!  මගේ අශ්වයා ගන්න.  රාජකීය ආරක්‍ෂකයින් නිල රාජකාරියේ යෙදී සිටින බවත් අශ්වයා පිට එතැනට යන්න කියලත් අණ කරන්න!"

හමුදා විධිවිධාන මේ වසරේ දී ලිබෙයිහි යුද කටයුතු සම්බන්ධයෙන් පමණක්ම ය.  වෙයි හුඅයිගූ ඇත්ත වශයෙන්ම මෙය ඉහළ නිලධාරීන්ට වාර්තා කරන්නට ප්‍රමාද වන්නේ නම්, ඔහුට පමණක් වගකීම භාර ගත නොහැකි ලෙස කොතැනක හෝ ලිස්සා යාමක් සිදු විය හැකිය.  හමුදා ප්‍රතිපාදන සඳහා සූදානම් වීම ජුඒෂි වල බයිමාජෞ ප්‍රාන්තය විසින් මෙහෙයවනු ලැබුවද, සමස්ත පරීක්ෂාව සිදු කර ඇත්තේ ආදායම් අමාත්‍යාංශය විසිනි.

◈     ◈     ◈

මේ අධික උණුසුම අසාමාන්‍ය ය.  තවමත් පස්වන මාසය ආරම්භ වූවා පමනකි, නමුත් එය මහා ගිනිජාලාවක් මේ දැනුණ්. දහවල් වන විටත් හිරු රශ්මිය දැවෙමින් තිබූ අතර, සවස් කාලය වන විට, කාලගුණය වලාකුළුවලින් වැසී ඇති අතර සුළං සහිත විය, වැසි කුණාටුවක් වේගයෙන් ළඟා වන බව පෙනෙන්නට තිබුණි.

වෙයි හුඅයිගූ පුරා පැයක්ම පුටුවේ වාඩි වී සිටියේය.  ඔහුගේ පිට ඒ වන විටත් තෙත් වී තිබුණි.  බොහෝ කලකට පෙර එම තැපැල් වාර්තාව කියවා අවසන් කර තිබූ ඔහුට කරකැවිල්ල දැනුනි.  කිහිප වතාවක්ම ඔහුට කතා කිරීමට අවශ්‍ය වූ නමුත් වචනයක්වත් කතා කරගන්නට ඔහු අසමත් විය.  අවසානයේදී, ඔහු තමාවම සනසුන් කරගත් ඔහු , හදිසියේම තම දෙපා වගින් නැගී සිට පැවසුවේ ය., “ගමන් රථය සූදානම් කරන්න!  අපි මාලිගාවට යනවා! ”


◈     ◈     ◈


ෂ්‍යාඕ චීයේ තවමත් කන්දෙන පහළට පැමිණ නොතිබූ අතර , බෝංචි ඇට ප්‍රමාණයේ වැහි බිඳු ඒ වන විටත් කඩා වැටෙමින් තිබුණි.  මෙං ඔහුගේ උරහිස මත වැසුවේ ය.  ඔහු නගරයට ඇතුළු වන්නට සූදානම් වන විට, ඔහු දුටුවේ ච්‍යාඕ ත්‍යැන්යා තමා දෙසට වේගයෙන් ඇදී එන ආකාරයයි.

දිං තාඕ ද අනෙක් අන්තයෙන් තම අශ්වයා වේගයෙන් පදවමින් එන විට ච්‍යාඕ ත්‍යැන්යා ඔහු ඔහු වෙත ළඟා වෙනුනට සමර්ථ වූයේ ය.  ඔහු අශ්වයාගේ පිටෙන් බිමට වැටී වෙව්ලන හඬින් පැවසුවේ ය. “ ස්වාමීනි!  නරක දෙයක් සිද්ධ වෙලා.  පෙරේදා අපේ ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ හන්ෂේ ගෝත්‍රිකයන් නැගෙනහිර කඳුවැටියේදී පරම්පරාගත කුමාරයා ව හමු වුන බව පවසන හමුදා වාර්තාවක් අපට ටික වෙලාවක​ට කලින් ලැබුණා.  පරම්පරාගත කුමාරයා—”

දිං තාඕගේ හැඬුම්බර හඬ නැගුණේ ය

“පරම්පරාගත කුමාරයා දරුණු විදිහට තුවාල ලබලා.  අපි පරාජය වෙලා!"

ච්‍යාඕ ත්‍යැන්යා හදිසියේම ඔහුගේ අශ්වයා පාලනය කළේය. එක්වරම  අඳුරු වලාකුළු වලින් වැසී ගිය අඳුර පුපුරුවා හරිමින් හදිසියේම ගිගුරුම් හඬක් අහසේ වලාකුළු අතර පුපුරා ගියේය.  වර්ෂා ජලය දරුණු ලෙස ඇද හැලුණේ ය.  ෂ්‍යාඕ චීයේ තවමත් ඔහුගේ අශ්වයා මත සිටියේ දිං තාඕ අදහස් කළේ කුමක්දැයි ඔහුට නොතේරුණාක් මෙන් ඔහුගේ දෑස් විසල් කර බලා සිටියේ ය.

ෂ්‍යාඕ ෆංෂූ විසින් ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පිහිටුවා වසර තිහකට ආසන්න කාලයක් තුළ, ලීබෙයි කිසිදා පරාජයක් අත්විඳ නොතිබුණේ ය.  ෂ්‍යාඕ ජීමිං විසින් සිය සැහැල්ලු අශ්වාරෝහක භටයින් (01) පෙළ ගෙන ගොස් හන්ෂේ ගෝත්‍රිකයන් ලුහුබැඳ ගොස් ප්‍රහාර සිය ගණනක මධ්‍යයේ ලී (2) දහස් ගණනක් හඹා ගෙන ගිය යනවිට පවා , ඔහුට කිසිදු හානියක් නොවී කාන්තාරයෙන් පසුබැසින්නට හැකියාව තිබීය යුතු ය.

තම වැඩිමහල් සොහොයුරා පරාජයට පත්වේ යැයි ෂ්‍යාඕ චියේ කිසිම විටක නොසිතුවේය!

 කිසිම දවසක!


අරුත් පැහැදිලි කිරීම 

1.)  සැහැල්ලු ලෙස සන්නද්ධ වූ  අශ්වයන් පිට සිටි සෙබළුන් පිරිසකි.

2.) 里 පැරණි දිග මිනුමක්, ලී එකක් = දළ වශයෙන්.  මීටර් 500

පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

 


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-