Skip to main content

පූර්වකථනය II

කුඩා ඉඩකඩම් කිහිපයක්ම ෂූ පවුල සතුවිය .ෂූ බායිහූ යනු හමුදාමය මිනිසෙකි. පළාත්බද දිවියෙහි කිසිඳු අඩුවක් නොවීය. පවුලට අයත් කුඩා උරුමයක්ද, වියපත් ඉවීම් පිහීම් හා පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර දුන් අතවැසි කාන්තාවක්ද ඔවුන් සතුවිය.

ෂූ පවුල සතුවූ මේ මහළු අතවැසි කාන්තාව සෙමින් සෙමින් උදෑසන ආහාරය පිසීම අවසන් කලේ අලුයම උදාවීමෙනුත් පසුවයි.ඇය චං ගෙන් ගේ පාඩම් කුටියේ දොරට තට්ටු කළාය."පුංචි මහත්මයා,ඔබතුමා ආර්යාව හා ඇගේ කුටියේ ඈ සමඟ ආහාර ගැනීමට පැමිණෙන්නේදැයි ඇය විමසනවා"

චං ගෙන් ඒ වන විට පැවති නිදුර්ශක භාවිතයෙන් හස්තාක්ෂර කලාව පුහුණු වීම කෙරෙහි සිත් යොමා සිටියේය.අතවැසි කාන්තාවගේ හඬ ඇහෙත්ම ඔහුගේ හස්තය මඳ වේලාවකට නතර විය.ඔහු පෙරහුරු වූ "එසේනොවේ,මෑණියන් නිහඬ නිසල බවට වඩාත් ප්‍රියයි,මා ඇයට බාධා නොකරන්නෙමි, මා ඇගේ සුවදුක් විමසූ බව පවසන්න" යන වාක්‍යයෙන් පිළිතුරු ලබාදුන්නේය.

මහළු අතවැසි කාන්තාව මේ පිළිතුරෙන් පුදුමයට පත් නොවීය.මෙය මෑණියන් හා පුත්‍රයා අතර සෑමදිනම ඇතිවූ දෙබසක් විය.

එය සැබවින්ම පුදුමාකාර කාරණාවකි, ෂූ බායිහූ සුළු පියා පමණකි; ලේ ඥාතීත්වයක් සැබවින්ම පැවතුනේ චං ගෙන් හා ෂියු නියැං අතරයි.නමුත් මේ මව්පුත්‍ර දෙපළ එකම මේසයක් මත ආහාර හෝ ගත්තේ , එකිනෙකාට ආචාර කලේ,දරු සෙනෙහස පෙන්වූයේ සහ එකමුතු බවක් මවාපෑවේ ෂූ බායිහූ නිවසේ සිටිනා දිනයන්හි පමණි.ඔහු පිටව ගිය වහාම  ඔවුන් එකිනෙකා පිළිබඳ තැකීමක් නොකලෝය අමුත්තන්ටත් වඩා නාඳුනන්නන් බවට පත්විය.ඔවුන් එකම වහලක් යට ජීවත් වුව චං ගෙන් නිවසේ ප්‍රධාන ද්වාරයවත් භාවිත නොකලේය.ඔහු නිතරම පෑලදොරින් තම අසල්වැසි නිවස්නයට දිවගියේය.මේ මෑණියන් හා පුත්‍රයාණන් පුරා හඳ කිහිපයක් ගෙවීගියද එකිනෙකා නොදැක සිටීමෙහි සම්භාවිතාවක් විය .

චං ගෙන් ඉතා බරපතල ලෙස රෝගාතුර වූ අවස්තාවේ ෂියු නියැන් ඔහු දෙස නොසැලකිලිමත් බැල්මක් පමණක් හෙළුවාය,ඔහු ජීවත් වේද මියයාවිද යන්න පිළිබඳ ඈ කිසිදු තැකීමක් නොකලාය.

අවසානය ෂිලියු ඔහුව රැගෙන ගොස් සුවවන තුරු රැකබලාගත්තේය .

මහළු අතවැසි කාන්තාව චං ගෙන් සත්‍යවශයෙන්ම ෂියු නියැං ගේ පුත්‍රයාමද යන්න සැක කලාය.නමුත් ඔවුන් දෙදෙනාගේ පෙනුම එක සමාන විය.ඔවුන් ලේ ඥාතීන් බව නිසැකය.

ඇරත් තම මාතෘභූමියෙන් පළායන, අවදානාමට ලක්වූ තමාගේම ආරක්ෂාවද සලසාගැනීමට නොහැකි දුර්වල කාන්තාවක්...තමාගේම නොවන දරුවකු අත්හැරීම ප්‍රතික්ෂේප කලේ කුමන හේතුවකටද?

මෙය වටහාගැනීමට අපහසු කාරණාවක් විය.

මද වේලාවකට පසු අතවැසි කාන්තාව ආහාර බඳුන රැගෙන පැමිණුනාය.
" ප්‍රධානීතුමා අද නැවත පැමිණේවි.ආර්යාව ඔහුට පැමිණෙන ලෙස දන්වා යවා තිබෙනවා."

චං ගෙන් ඇය පැවසූ දේ වටහාගත්තේය. ෂූ බායිහූ නැවත පැමිණි විට ඔවුන්ගේ එකමුතු මෑණියන් හා පුත්‍රයාගේ නාට්‍ය රඟදැක්විය යුතුය.ඔහු ශිර්ෂානුමතිය කර " මා දන්නවා"යැයි පැවසීය.

ඔහුගේ බැල්ම ආහාර බඳුන දෙස එල්ලවිය.එහි අල්ලුවෙහි වූ දිග හිස කෙසක් දුටු ඔහුගේ දිගු කල අත විගසින් හැකිළුණි.

මහළු අතවැසි කාන්තාවගේ ඉසකේ දැනටම ශ්වේත වර්ණයට හැරී තිබිණ.මේ කළු පැහැ සුසිනිඳු  කෙස් ගස කෙසේවත් ඇගේ විය නොහැක. ෂූ බායිහූ ද තවමත් පැමිණ නැත. මේ නිවසතුල අතවැසි කාන්තාවද ගත් කල සිටියේ තිදෙනෙකු පමණි, ඒ හේතුවෙන් මෙය ෂියු නියෑං ගේ බවට සැකයක් නොවීය.

චං ගෙන් ගේ පිරිසිදු බව ඉතාමත් අරුම සහගත විය - තම මෑණියන්ව නීච කොට සැලකූ පුත්‍රයෙක්.

ඔහුට තම අසල්වැසි නිවසෙහි විසූ යීෆු ගේ බඳුනින් කිසිඳු ගැටළුවක් නොමැතිව හිඳුල් බත් ආහාරයට ගතහැකිය.නමුත් නිවසට පැමිණි පසු තම මෑණියන්ගේ දෑතෙහි ගැටුණු කිසිවක් ඇල්ලීම පවා ඔහු ප්‍රතික්ෂේප කලේය.

මහළු අතවැසි තෙම මොහුගේ මේ අපූරු සිරිත පිළිබඳ දැන සිටියාය.ඇය විගසින් කෙස් ගස ඉවත්කර " ආර්යාවගේ කෙස් ගස ආහාර බහාලනය මත වැටී තිබෙන්නේ අහම්බයකින් , තවම කිසිවෙක් ඇතුලත ඇති උදෑසන ආහාරය අල්වා නැහැ.කලබල නොවන්න"

චං ගෙන් ඇයට ආචාරශීලී  සිනහවකින් සංග්‍රහ කලේය." ඒ ගැන සිතන්න එපා. මටත් අද යම් යම් මාතෘකා පිළිබඳ කතිකා කිරීමට ෂෙන් ඇදුරුතුමා මුණගැසීමට යන්න  සිද්ධවෙනවා . මම උදෑසන ආහාරය යූෆු ගේ නිවසේදී ලබාගන්නම්."

අවසානයේ ඔහු ආහාර බඳුන ප්‍රතික්ෂේප කර මේසය මත තිබු සටහන් හා කඩදාසි සියල්ලද දොර පිටුපස එල්ලා තිබූ බරැති කඩුවද රැගෙන පිටත්ව ගියේය.

ෂෙන් ඇදුරුතුමා තම කබායේ අත් නමාගෙන තම අංගනයේ සිට කොටස් වෙන්කර තිබූ යුධ සන්නාහ කොහිපයකට තෙල් දමමින් සිටියේය.

මේ යුධ සන්නාහ නගර ආරක්ෂණයේ යෙදී සිටි  නිළධාරීන් හා සෙබළුන් විසින් ඔහු වෙත එවා තිබුණි.යුන්හුයි නිළධාරීන් සතුව ඔවුන්ගේම ලෝහ යුධ සන්නාහ නිසිලෙස පවත්වාගැනීම සඳහා පිහිටුවන ලද කර්මාර කාර්යාංශයක් පැවතුනද අලුත්වැඩියා කලයුතු සන්නාහ ප්‍රමාණය ඉතා විශාල විය.එම නිසා හදිසි අවස්තාවකදී ඔවුන් සාමාන්‍ය ජනතාව අතර සිටි යන්ත්‍රශිල්පීන්ද මේ සඳහා යෙදවීය.

"චං බෙයි ශී - යන්ත්‍රශිල්පීන්" යනු ලෝහ යුධ සන්නාහ අළුත්වැඩියා කරන්නන්ය.ඔවුන් දවස පුරා කර්මාන්තකරුවන් මෙන් ලෝහ සමග කල්ගත කලහ.නමුත් සාමාන්‍ය මිනිසුන්ට අනුව යන්ත්‍රශිල්පීන් හා අන් අයගේ කොණ්ඩා කැපීමේ හා නිය පිරිසිදු කිරීමේ යෙදෙන්නවුන් අතර කිසිඳු වෙනසක් නැති. එය පහත් පන්තියේ අයවලුන්ට අයත් කාර්යයක් විය.එමගින් මුදල් ඉපයීමට හැකි වුවද එය උදාර වෘත්තියක් ලෙස පිළිනොගන්නා ලදී.

ෂෙන් ගුරුතුමා විද්වතෙකි ; කිසිවකු හට මොහුගේ අසාමාන්‍ය විනෝදාංශයට හේතුව තේරුම් ගැනීමට හැකි නොවීය.ඔහු නිදැල්ලේ සිටි කාලය මේ යුධ සන්නාහ හා ගතකිරීමෙන් නොනැවතී ඔහුගේ දක්ෂතාව සුළු මුදලක් ඉපයීමටද යොදාගත්තේ ඔහුගේ උගත් හා ප්‍රසාධිත ප්‍රතිරූපය මදක් පහත හෙළාගනිමිනි.

නමුත්  අහම්බයකින් ගැටවරයාගේ සිහිනයෙහි පෙනීසිටි ෂෙන් ෂිලියු නිදහසේ ඔහුගේ දිගු පා දිගහරිමින් සිටියේය.ඔහු දොරකඩ වාඩිලා උළුවස්සට හේත්තු වී සිටියේ කිසිඳු අස්ථියක් නැත්තකු විලසිනි.ඔහු අසලම හිස් ඖෂධ බඳුනකි- ඔහු එය පානය කිරීමෙන් පසු පිරිසිදු කිරීමට තරම්වත් තැකීමක් නොකළේය.

ෂෙන් ෂිලියු කොන්ද දිගහැර,දැඩි නොවූ හස්ත සංඥාවකින්  චං ගෙන්  හට ආචාර කලේය."මා පුත,ගොස් මාගේ මුද්‍රිකාපාන කුප්පිය රැගෙන එන්න."

යන්ත්‍ර තෙල් වලින් ආවරණය වූ දෑත් සහිතව දහඩිය ගලනා සිරුරකින් යුතුව "ඔහු පිළිබඳ නොතකන්න,ආහාර ගෙනද පැමිණියේ?" යැයි ෂෙන් ඇදුරුතුමා විමසීය.

චං ගෙන්: "එසේ නොවේ"

ෂන් ඇදුරුතුමා ෂිලියු දෙසට හැරී ගොරවන්නට විය."තවම උදෑසන අවදි වූවා පමණයි දැන් සිටම කවරකු හෝ කවාපොවනකන් බලාසිටිනවා!ඔබට සුළු උදව්වක් කිරීමට නොහැකි ඇයි?ගොස් සහල් පිරිසිදු කර කැඳ ස්වල්පයක් උයන්න."

ෂෙන් ෂිලියු හිස ඇලකර,'අවශ්‍ය තරමට පමණක්' බිහිරිව,"ආ කුමක්ද?"යැයි සෙමින් ඇසුවේය.

"මා එය සිදුකරන්නම්" චං ගෙන්හට මේ රැඟුම හොඳින් පුරුදුය."කුමන සහල්ද යොදාගත යුත්තේ?"

මෙවර ෂෙන් ෂිලියු සාමිවරයාගේ ඇසීම ඉතා හොඳ විය. දිගු ඇහිබැම ඔසවමින් " කුඩා දරුවන් හට අණකිරීම නවතා ඔබටම එය සිදුකිරීමට නොහැකි ඇයි?" දැයි ෂෙන් ඇදුරුතුමන්ගෙන් විමසීය.

සාමාන්‍යෙන් ආචාරශීලී හා මෘදු හදවතක් ඇති ෂෙන් ඇදුරුතුමන් මේ අවජාතක සොහොයුරා විසින් සෑමදිනම යක්ෂාවේශ කරවීය, ඔහුගේ  මුහුණෙහි කෝපය බුරබුරා නැගෙයි.
"අප මාරුවෙන් මාරුවට මෙය සිදුකරමු යැයි කියා නොවේද එකඟ වුනේ?කිසිවක් නොඇසීම එක් දෙයක් එය පසෙකින් තබන්න නමුත් ඔබේම වචනයට පිටින් යන්නේ කුමක් නිසාද?"

ෂෙන් ෂිලියු ඔහුගේ පැරණි උපක්‍රමය නැවත භාවිත කළේය.නැවතත් ඔහුට 'කිසිවක් නොඇසේ' ඔහු නැවතත් " මොහු කුමක්ද දොඩන්නේ" යැයි විමසීය.

අති තාත්ත්විකය.

චං ගෙන්: "..."

සැබවින්ම බිහිරකු වීම ඉතාම පහසුය.

"ඔහු පැවසුවේ..." චං ගෙන් හිස පහතට නැඹුරු කිරීමෙන් ෂිලියුගෙ බැල්මෙහි වූ කෙලිලොල් බව දැක වික්ෂිප්ත විය.පෙර දින රාත්‍රියේ දුටු සිහිනය ඔහුගේ දෑස ඉදිරියේ නැවත නැවතත් මැවෙන්නට විය.ඔහු හදිසියේම තමා සැබවින්ම නිරුපද්‍රිත නොවන බව වටහාගත්තේය.

චං ගෙන්ගේ උගුර වියැළී ගියේය.ඔහු මනස සංසුන් කරගැනීමට උත්සහ කරමින් හැඟීම් විරහිත අභිනයකින් යුතුව " කරුණාකර අසුන්ගන්න.උදෑසන සිටම උප්පරවැට්ටි යොදන්න එපා."

මෙදින උදෑසන ෂෙන් ෂිලියු හට පානය කිරීමට අවස්තාවක් තවමත් ලැබී නොතිබුණි.තවමත් ඔහු තුල ඉතිරිව තිබූ හෘද්‍යසාක්ෂියේ බුරුම කටු තවමත් මධ්‍යසාරයේ පෙඟීනොතිබිණි.ඔහු මදසිනහවක් පා චං ගෙන්ගේ අතක් අල්වාගෙන නැගීසිටියේය.දරුවාගෙ හිසට අතින් තට්ටු කල ඔහු පය පැකිළවමින් මුළුතැන්ගෙය දෙසට ඇවිදගියේය.

ඔහු සැබවින්ම යම් කාර්යයක නියැළීමට සූදානම් විය - ෂිලියු සාමිවරයා සාමාන්‍ය ගේ දොර වැඩක නියැලීම වසර සියගණනකින් සිදුනොවූ ලෝග වෘක්ෂයක මල් හටගන්නාක් තරම් අතිශය විරල සිදුවීමක් විය.

තම යීෆූ ඕනෑවට එපාවට සහල් මිටක් ගෙන තලියක් තුලට විසිකොට සෑමතැනම ජල බිඳු විසිරවමින් තලිය තුලට ජලය වත්කරනා ආකාරය බලාගැනීමට චං ගෙන් වහවහා ඔහුගේ පසුපස ඇදුණේය.මීළඟට තම යීෆූ පහතට නැඹුරු වී ඇඟිලි දෙකක් තලිය තුලට දමා සහල් හා ජලය තත්පර කිහිපයකට කලතා ඉතිරි ජලය පෙරා "මා මාගේ කොටස කර අවසන් ෂෙන් යී,දැන් ඔබේ වාරය" යැයි දැන්වීය.

ඔහු මීළඟට මේසය මත තිබූ මුද්‍රිකාපාන බෝතලය ගෙන තම හිස පසුපසට කර උගුරක් පානය කලේය.ඔහුගේ සියළු චලනයන් පාවන වළාකුළු හා ගලායන ගංගාවක් මෙන් නිශ්චිත විය.

චං ගෙන් මොහුගේ අඳ භාවයද රඟපෑමක් පමණක්දැයි විටෙන් විට සැකකලේය.

ෂෙන් ඇදුරුතුමා පරාජය භාරගත්තේය.තවදුරටත් ඔහු හා වාදකිරීමේ ඵලක් නොවේ.ඔහු සැපොනින් භාවිතකර තම දෑත් පිරිසිදු කර මුළුතැන්ගෙට ඇතුළු වී ඔවුන්ගේ උදෑසන ආහාරය නැවත රත්කර ෂිලියු ඉතිරිකළ අවුල්ජාලාව පිරිසිදු කරන්නට විය.

චං ගෙන් තමා මෙහි පැමිණීමට පෙර ලියූ සටහන් ෂෙන් යී හට පෙන්වීය.ෂෙන් යී ඒ පිළිබඳ අදහස් දැක්වූ පසු චං ගෙන් ඒ සියල්ල දැල්ල පවත්වා ගැනීම සඳහා උඳුනට දැමීය.

"ඔබේ අත්අකුරු ලිවීමෙහි පෙරට වඩා දක්ෂයකු බවට පත්වී තිබෙනවා.මේ දිනයන්හි ඔබ පෙරටත් වඩා මහන්සි වී උත්සහ කලා නොවේද? ෂෙන් ඇදුරුතුමා පැවසීය." ඔබ ගූ යුන් මාකවිස්තුමාගේ 'චන් තිං' ලේඛනය අනුගමනය කරන බව පෙනෙනවා.

චං ගෙන්: "එහෙමයි"

මෙතෙක් වේලා අලසව ඔබ මොබ බලමින් සිටි ෂිලියු මෙය කනවැකුණු වහාම හිස හරවා බැලීය.ඔහුගේ මුහුණෙහි අරුමාකාර බැල්මකි.

ෂෙන් ඇදුරුතුමා තමාගේ කාර්යය දිගටම කරගෙන ගියේය."මාකවිස්තුමා හමුදාව භාරගත්තේ පසළොස්වැනි වියේදියි.ඔහුගේ ප්‍රථම සටනේදී ඔහු ශ්‍රේෂ්ඨ ජයක් ලැබුවා."

"ඔහු සත්වැනි වියට පා තැබූ වහාම අණ දෙන නිළධාරී ලෙස පත්වීම් ලබා අධිරජු යටතේ අපරදිග ගවේෂන යුද්ධ ව්‍යාපාරයට එක්වුනා.ෂිලියැන් අවට පෙදෙස පසුකරමින් යනවිට ඔහු ඓතිහාසික අවශේෂයන් වර්ෂ සියගණනකට පසුත් දැකගැනීමට ඉතිරිව ඇති බව දැක හිත සසල වූ නිසා උද්දීපනය වූ හැඟීම් 'චන් තිං' නමින් ලියා තැබුවා."

"ලියා තැබීමනම් එක් දෙයක්.ඔහු යටත සිටි පුද්ගලයන් රහසේම එය සෙල්ලිපියක කැටයම් කලා."

"ඒ ගැන සිතන විට , ගූ යුන් ඉගෙනුම ලැබුවේ වර්තමානයේ සුප්‍රකට ආචාර්ය මෝ සෙන් යටතේයි.නමුත් 'චෙන් තිං' රචනා කල කාලයේ ඔහු තරුණවියේ මනදොළ සහිත වීමත් එතරම් අත්දැකීම් ඔහු සතු නොවීම හේතුවෙන් මෙලොව පිළිබඳ එතරම් ගැඹුරු දැනුමක් නොමැති වීම නිසාත්...ඔබට අක්ෂර හුරු වීමට අවශ්‍ය නම් ආදි ලිපි ලේඛන භාවිත නොකර වර්තමානයේ ජීවත් වන කෙනෙකුගේ සටහන් භාවිත කරන්නේ ඇයි?"

චං ගෙන් තමා සටහන් ලියා තිබූ කඩදාසි සියල්ල කිසිඳු දෙගිඩියාවකින් තොරව උඳුනට දැමීය.

"මා අසා ඇති ආකාරයට කෘෂ්ණ රාජාලියන්,කෘෂ්ණ සන්නාහ හා කෘෂ්ණ තුරඟ සේනාව යන කෘෂ්ණ ලෝහ බලඇණියේ ප්‍රධාන පිල් ත්‍රිත්වය  පෙර සිටි මාකවිස්තුමා යටතේ ම්ලේච්ඡ ගෝත්‍ර අටළොස නිහඬ කලේලු.එය තරුණ මාකවිස්තුමාගේ යටතට පත්වීමෙන් පසු අපරදිග ප්‍රාන්ත ඔහුට හිසනැමීලු.මා ඔහුගේ වචන කෙරෙහි එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.මා හට අවශ්‍ය වූයේ මේ කෘෂ්ණ ලෝහ බලඇණි ත්‍රිත්වය පාලනය කරනා ඒ දෑත පිළිබඳ දැනගැනීමටයි.ඔහුගේ අත් අකුරු කුමකට සමානද?"

ෂෙන් ඇදුරුතුමා නොදැනුවත්වම හැන්දක් ගෙන තලිය තුල වූ දෑ හැඳිගෑවෙය.ඔහුගේ දෑස ඉතා දුර ඈතට ගමන් කලා සේ වීය.මද වේලාවකට පසු ඔහු සෙමින් හඬ අවදි කලේය.

"වාසගම ගු,නාමය යුන් ,  ගු සි ෂි යන නාමයෙන් අමතන  මාකවිස්තුමන් ප්‍රථම කුමරියගේ සහ පෙර සිටි මාකවිස්තුමාගේ එකම පුත්‍රයායි.ඔහුගේ දෙමාපියන් කුඩාකලදීම මෙලොව අතහැරගිය නිසා අධිරජුගේ අනුකම්පාව ලැබ මාලිගයේ හැදීවැඩුනා.ඔහුට රාජකීයකු බවටද නම්කලා."

"ඔහු ඉසුරුමත් හා අලස දිවියක් ගෙවමින් සිටිය යුතු වුවත් අපරදිග ප්‍රාන්තයන්හි වාලුකා ආහාරයට ගනිමින් සිටීමටයි සිදුව තිබෙන්නේ. ඔහු වික්‍රමාන්විතයකු ද නොවේද යන්න මා නොදන්නවා වුනත් මේ වන විට ඔහුගේ මොළය එතරම් හොඳ තත්ත්වයක නොවේයැයි මා හට බියක් දැනේ."

ෂෙන් ඇදුරුතුමා ශ්වේත වර්ණ උඩුකබයකින් සැරසී සිටියේය.කොළරයෙහි යන්ත්‍ර තෙල් පැල්ලම්‍ ය. ගෙලෙන් කාවාඩමක් එල්ලා තිබේ.මේ ගෘහයෙහි එකඳු කාන්තාවක් හෝ නොවීය.මේ එකට විසූ දෙබෑයන්ගෙන් එක් අයකු හෝ අනෙකාට වඩා ශිෂ්ඨ නොවීය.කිසිවකුත් මේ කාවාඩම පිරිසිදු කර ඇත්දැයි නොදත්තේ දෙදෙනාගෙන් එක් අයකුට හෝ මෙහි නියම වර්ණය දැකීමටත් මතක තබාගැනීමටත් නොහැකි වූ නිසායි.එය පැළඳීම ඉතා අශෝභනවිය.

ඔහුගේ මුහුණ පමණක් මනාව සෑදී තිබුණි.

ඔහුගේ නාසය උස්වීය,ඔහු කතානොකරන හෝ සිනහ නොවන අවස්තාවන්හි ඔහුගේ පෙනුම ගරුබිය  ඇතිකරන සුලු දැමුණු ඉන්ද්‍රියන් ඇති තැනැත්තකුගේ මෙන් විය.ඔහුගේ නෙතුපියන් සලිත විය. ඔහු හදිසියේම අවිචාරයෙන් දොඩන්නට පටන් ගත්තේය.

" මහළු මාකවිස්තුමා මියගිය දින සිට කුෂ්ණ ලෝහ බලඇණියේ ශ්‍රේෂ්ඨ  ජයග්‍රහණයන් හේතුවෙන් උඩ සිටින ඒ පුද්ගලයා සැකමුසු බියට පත්වූවාට අමතරව පහත් පාන්තිකයන් රාජසභාවට බැණ වැදීම..."

මෙතෙක් වේලා නිහඬව සිටි ෂිලියු එකවරම ඔහුට බාධා කලේය.
"ෂෙන් යී."

මුළුතැන්ගෙහි උඳුන සමීපයේ සිටි පුද්ගලයින් දෙදෙනාම ඔහු දෙස එකවර හැරී බැලීය.ෂිලියු උළුවස්සෙහි වූ කුඩා මකුළු දැලක් දෙස නෙත් යොමා සිටියේය.

ෂිලියුගේ මුහුණෙහි මත්පැන් පිළිබඳ කිසිදු ලකුණක් නොවීය. ඔහු පානය කරන්න කරන්න ඔහුගේ මුහුණ තව තවත් ශ්වේත වර්ණයට හැරිණි.ඔහුගේ ඉතිරිව තිබූ හැඟීම් ස්වල්පයද දෑස් විසින් උරාගනු ලැබූයෙන් යමෙක්ට පැහැදිලිව ඔහුගේ හැඟීම් නොපෙණුනි.

ඔහු පහත් හඬින් කතාකලේය.
" තේරුමක් නොමැති දේ 
නොපවසන්න"

ෂෙන් පවුලේ දෙබෑයන් ආචාරවිධි පිළිබඳ තැකීමක් නොකළෝය.බාල සොහොයුරා වැඩිමල් සොහොයුරාට අගෞරව කල අතර වැඩිමහල් සොහොයුරා බාලයාගේ සියළු හදිසි සතෑකෑම් පිරිමැසීය. ඔවුන් උදෑසන සිට රාත්‍රිය දක්වාම මහ හඬින් වාද කළහ.නමුත් ඔවුන් අතර වූ බැඳීම ඉතා ශක්තිමත් විය.

චං ගෙන් මින් පෙර ෂිලියු මෙතරම් බැරෑරුම්  හා දරදඬු ස්වරයකින් කතාකරනු අසා නොතිබුණේය.

ඔහු ස්වභාවයෙන් ඉතා සංවේදීය.ඔහු තදින් බැම හකුළා ගත්තේ මේ සිදුවීම හොඳින් වටහාගැනීමට නොහැකි වීම හේතුවෙනි.

ෂෙන් යී ගේ මුව තදවිය.චං ගෙන් ඔහු දෙස බලාසිටින බව පසක් වී තම හැඟීම් මැඩගෙන මදසිනහවක් පෑවේය."මා දුරදිග ගියා වැඩියි.නමුත් රාජසභාවට අපහස කිරීම රාත්‍රී ආහාරයෙන් පසු නිකරුණේ කාලය කා දැමීමට භාවිත කරන මාතෘකාවක් නොවේද?මා හුදෙක් අදහස් ප්‍රකාශ කලා පමණයි."

චං ගෙන් හට මෙහි වූ නුහුරු වාතාවරණය පිළිබඳ හොඳින් වැටහුණි. ඔහු දක්ෂ ලෙස මාතෘකාව වෙනතකට හැරවීය." උතුරේ ගවේෂණයේ සිට අපරදිග යුධ ක්‍රියාන්විතය තෙක් වූ දස වර්ෂයෙහි කෘෂ්ණ ලෝහ කඳවුර භාරව සිටියේ කවුරුන්ද?"

"කිසිවකුත් නොවේ. උතුරු ගවේෂණයෙන් පසු කෘෂ්ණ ලෝහ කඳවුර මදක් නිහඬ වුනා.සමහරුන් පිටව ගියා.සමහරුන් මියගියා.සමහර පැරණි හා වයස්ගත හමුදා නිළධාරීන්ගේ සිත අධෛර්යමත් වී තිබුණා."

"දශකයකට පමණ පසුව නව සෙබළුන් නව පරපුරක් බිහි වුනා.වසර ගණනක් භාවිත නොකල ආයුධ හා අනෙකුත් ආම්පන්න මළබැඳී  කැඩී බිඳීගොස් තිබුණා."

"වසර කිහිපයකට පෙර අපරදිග ප්‍රාන්ත කැරලි ගසනවිට රාජසභාවට කිරීමට හැකිවූයේ මාකවිස්තුමා හට මේ අපහසු මෙහෙවර භාරගෙන කෘෂ්ණ ලෝහ කඳවුර නැවත ස්ථාපිත කිරීමට ඉඩලබාදීම පමණයි."

"ගු සේනාධිපති කෘෂ්ණ ලෝහ කඳවුර භාරගත්තා යැයි පැවසීමට වඩා ඔහු අපරදිග ප්‍රභූ බල ස්ථාන නැවත පුහුණු කෙරූ බව කිව හැකියි.ඔබට හැකිනම් ඔහුගේ වර්තමාන ලිවීමේ රටාව ඉගෙනීම  වඩාත් උචිතයි."

චෙං ගෙන් පුදුමයට පත්වීය."ෂෙන් ඇදුරුතුමන් ඔහු පසු වර්ෂයන්හි ලියන ලද ලේඛනයන් දැක තිබෙනවාද?"

ෂෙන් යී සිනහවක් පෑවේය." විරල වුවත් ඉඳ හිට එක් පිටුවක් හෝ දෙකක් දැකගැනීමට පුළුවන් නියම අව්‍යාජ ඒවා බව පැවසුවත් එය සත්‍යක්ද අසත්‍යක්ද මා දන්නේ නෑ."

ඔහු පැවසුවේ හුමාලය ඉවත්කිරීමට පිඹ ඔවුන්ගේ ආහාර  මේසය මත තබන අතරයි.ආචාරශීලී  චං ගෙන් උදව් කිරීමට ඉදිරිපත්විය.ඔහු කැඳ බඳුන රැගෙන ෂිලියු පසු කරත්ම ඔහු දෑත් දිගුකර චං ගෙන්ගේ උරහිසින් අල්වාගත්තේය.

චං ගෙන් අනෙකුත් ගැටවරයන්ට වඩා වේගයෙන් වැඩුණේය.ඔහුගේ ශරීරය දැනටම සමවයසේ පසු වූවන්ට වඩා විශාල විය.තවමත් මාංශ හොඳින් නොවැඩී තිබුණද ඔහු උසින් ඔහුගේ තරුණ යීෆුගේ තරමට ළංවන සේ වැඩී සිටියේය.ඔහුට හිස මදක් එසවූ විට ෂිලියුගේ දෑස් දෙස එක එල්ලේ බැලීමට දැනටම හැකිවිය.

ෂිලියු ඇත්තවශයෙන්ම චපල දෑසකට හිමිකම් කීය. එය පැහැදිලිව දැකගත හැකිවූයේ ඔහුගේ බැල්ම විසිරී තිබූ විට පමණක් වූයේ ඒ නෙත් යමක් කෙරෙහි ‍යොමුවූ විට පතුලක් නොමැති අඳුරු ආගාදයක් වූ නිසාවෙනි.

චං ගෙන්ගේ හදවත සලිත විය.ඔහු හඬ පහත්කර ඔහු සාමාන්‍යෙන් භාවිත නොකල ඇමතුම ඕනෑකමින්ම භාවිත කලේය."යීෆූ ,කුමක්ද කාරණය?"

ෂිලියු අහම්බෙන් පැවසුවේ " දරුවන් සතුටු විය යුතුයි.මුළු දවස පුරා වීරයකු වීම පිළිබඳ නොසිතන්න,හොඳ  අවසානයක් තිබූ වීරයකු පිළිබඳ ඔබ අසා තිබෙනවාද?ඔබට අවශ්‍ය මේසය මත හොඳ ආහාරත් හිසට වහළකුත් පමණයි.කණස්සල්ලක් නොමැති දිවියයි හොඳම දිවිය. මුදල් හදල් ප්‍රමාණවත් නොවීම පිළිබඳ එතරම් තැකිය යුතු නොවේ."

ෂෙන් ෂිලියු මෝඩයකු ලෙස හැසිරීම එදිනෙදා සාමාන්‍ය සිද්ධියකි.ඔහු වැදගැම්මකට ඇති යමක් පැවසුවේම නැති තරම්ය.නමුත් ඔහු එලෙස කළ සෑම අවස්ථාවක්ම චං ගෙන් අධෛර්යමත් කිරීමට විය.

ෂිලියු යනු අඳ බිහිරෙකි .ඔහුට සැලැස්මක් හෝ අභිලාෂයක් නොවීය.අධිශ්ඨානයක්ද නොවීය.නමුත් කිසිඳු තරුණයෙක්  මොහුගේ අනභිප්‍රේණීය වදන් අසා සිටින්නේ කෙසේද?

චං ගෙන් අපහසුවට පත්විය.ඔහුට දැනුනේ ෂිලියු තමා පහත්කොට සැලකූ බවයි.ඔහු නොරිස්සීමකින් යුතුව සිතුවේ "ඔබ සිදුකරනා ආකාරයට සෑමදිනම නිකරුණේ ඇවිද ගියහොත් අනාගතයේ පවුල නඩත්තු කරන්නේ කවුරුන්ද?ඇඳුම් පැළඳුම් හා ආහාර දෙන්නේ කවුරුන්ද?සැබවින්ම එය කිරීමට වඩා පැවසීම පහසුයි!" කියායි.

ෂිලියුගේ දෑත මගහරිමින් ඔහු පිළිතුරු ලබාදිය යුතු නිසා " සෙලවෙන්න එපා.උණුසුම් කැඳ නිසා ඔබ පිළිස්සීමට ඉඩ තිබෙනවා." යැයි පැවසීය.

ෂෙන් පවුල එතරම් "කෑම මේසයේදී නිහඬවන්න, සයනයේදී නිහඬ වන්න" යන නියමය කෙරෙහි එතරම් තැකීමක් නොදක්වන ලදී.ආහාර  ගන්නා අතරතුර ෂෙන් ඇදුරුතුමා චං ගෙන් හට " *උතුම් ශාස්ත්‍රය" පිළිබඳ දේශනයක් ඇසීමට සැලැස්වීය. දේශනය අතරතුරදී ප්‍රධාන මාතෘකාව අමතක වූ ඔහු අවසානයේදී 'සීත ඍතුවේදී ලෝහ සන්නාහ නඩත්තු කරන්නේ කෙසේද ' යන්න පිළිබඳව දේශනයට එක් කිරීය.

ඔහු පුළුල් දැනුමකින් යුතු වූ මිනිසකු විය.ඔහු තමාට සිතෙන ඕනෑම ආකාරයක විෂයක් පිකිබඳ කරුණු දැක්වීය.එක් අවස්තාවක ඔහු ඉතා උද්‍යෝගයෙන් අශ්වයන්ට සෑදෙන ලෙඩ රෝගයන්ගෙන් ආරාක්ෂා වීම හා වැළක්වීම පිළිබඳ චං ගෙන් හට පැහැදිලි කරනු ලැබූ අතර එය අසා සිටීම ෂීලියු සාමි වැනි බිහිරෙකුට වුව  අපහසු වූ නිසා ඔහුගේ පැහැදිලි කිරීම බලෙන්ම නවත්වන ලදී.

ඔහුගේ දේශනය අවසන්වී කෑම මේසයට අයත් භාණ්ඩ පිරිසිදු කරන අතරතුර තවත් කතාකිරීමට අවස්තාවක් නොලැබීම ගැන චං ගෙන් හට තම අසතුට ප්‍රකාශ කරමින් ,
"මා අද මේ සියලු ලෝහ සන්නාහ අලුත්වැඩියා කර අවසන් කලයුතුයි.මෙතෙක් කල් නිසිලෙස නඩත්තු කරනොමැති නිසා පෑස්සීම් සියල්ල මළබැඳී  ගිහින්. සවස්කාලයේ ඖෂධ පැළෑටි සොයා යා යුතුයි. ගෙ පෙන් ෂියාඕ සහ අනෙක් අය නිවාඩුවක් ඉල්ලා සිටියා.ඔබ කුමක්ද කිරීමට සූදානම් වන්නේ?"

චං ගෙන්: " මා සේනාධිනායක ගොඩැල්ලට ගොස් කඩු හරඹ..."

"පුහුණුවීම්" යන වචනය මුවෙන් ගිලිහීමටත් පෙර ෂෙන් ෂීලියු ඔහුගේ කඩුව බිත්තියේ එල්වා " මා පුත,මා සමඟ පැමිණෙන්න.යෝධ සරුංගලය නිසැක වශයෙන්ම අද ආපසු පැමිණේවි.අප ගොස් විනෝද වෙමු."

චං ගෙන් විබල විය."යීෆූ මා ෂෙන් ඇදුරුතුමාට පවසමින් සිටියේ..."

ෂෙන් ෂීලියු : "කුමක්ද? මදක් උස් හඬින් පවසන්න"

කදිමයි.

යෝධ සරුංගලය පැමිණියේය ආපසු ගියේය. සෑම වර්ෂයේම එකම ආකාරයෙන් එය සිද්ධ විය.චං ගෙන් එහි විශේෂ අලුත් යමක් නොදුටුවේය.නමුත් ඔහුට විරෝධය පළකිරීමට අවස්තාවක් නොලැබුනේය.ෂීලියු දැනටම ඔහුගේ සිරුරෙන් අඩකට වඩා දොරටුවෙන් පිටතට ඇද අවසානය.

ග්‍රීෂ්ම උණුසුම තවමත් එලෙසම පවතියි. මිනිසුන් තුනී සැහැල්ලු ඇඳුම් ඇඳ සිටියහ.ෂීලියුගේ මුළු සිරුරම චං ගෙන්ගේ පිටුපසට බරකරමින් එල්ලී සිටියේ ඔහු කටුක ඖෂධ ගන්ධයෙහි නාවමිනි.

ඔහුගේ සිහිනයෙහි දුටුවාක් වගේමයි...

චං ගෙන් හට එකවරම අමුතු සහ අපූරුව අස්වාභාවික බවක් දැනෙන්නට විය. ඔහු කිවිසීමට සැරසෙන්නාක් මෙන් එකවරම හිස පහත් කරගත්තේය.

ෂීලියු විසුළු කරන්නට පටන් ගත්තේය."කවුරුන්හෝ ඔබව මතක් කරනවා, ඒ මහළු වං ගේ නිවසෙහි සිටින රවුම් මුහුණක් සහිත තරුණිය විය හැකිද?"

චං ගෙන් හට මෙය දරාගැනීමට නොහැකි විය.ඔහුගේ මුහුණේ ස්වභාවය එකවරම දරදඬු කරගනිමින් නොසැලකිල්ලෙන් කතාකරන්නට විය." යීෆූ,ඔබේ දරුවාට මෙලෙස උසුළු විසුළු කිරීම...එය උචිතද?"

ෂෙන් ෂීලියු කෙස්වත් මේ පිළිබඳ තැකීමක් නොකරයි.ඔහු සිනහසී පැවසුවේ " උචිත නොවේද? ඕහ් මා මින් පෙර පියෙක්ව නොසිටි නිසා මා නියමිත සීමාවන් පිළිබඳ දන්නේ නැහැ.මින් ඉදිරියට මීටවඩා සැලකිලිමත් වෙන්නම්."

ෂීලියු හට යමක් තේරුම් කිරීමට උත්සහකරන ඕනෑම අයෙක් අවිකල්පයෙන්ම කෝපයෙන් පුපුරායයි.

චං ගෙන් මේ අවිනීත පුද්ගලයාගේ අත තම උරහිසෙන් ඉවත්කර පිටතට පැමිණියේය.

ෂෙන් ඇදුරුතුමා පසුපසින් සිට "ෂීලියු මතක ඇතිව දර පැලීමට තිබෙන නිසා වේලාසනින් ආපසු පැමිණෙන්න!"යැයි කෑගැසීය.

ෂෙන් ෂීලියු ආඳකු මෙන් ලිස්සා යමින් " ඇසෙන්නේ නැහැ , එසේනම් පිටවන්නම්"

දුවනවාක් මෙන් ඇවිදීමට සිදුවූ චං ගෙන් "ඔබ සැබවින්ම බිහිරි වීමට පටන් ගත්තේ කුමන කාලයේ සිටද?"යන්න විමසීය.

ශෙන් ෂීලියු ඊට ගුප්ත ලෙස සිනහවකින් පමණක් පිළිතුරු ලබාදුන්නේය.

මේ අවස්ථාව වන විට ඔවුන් දෙදෙනා චං ගෙන්ගේ නිවසේ ප්‍රධාන පිසිවුම පසුකරමින් සිටියෝය.ප්‍රධාන දොරටුව කිරි කිරි හඬ නඟමින් විවෘත විය.

ධවල පැහැ දිගු වස්ත්‍රයකින් සැරසී සිටි කාන්තාවක් ඉන් පිටත පැමිණියාය.ඈ දුටු විගස චං ගෙන් ගේ  මුහුණේ වූ නුරිස්සුම් ස්වභාවය හා එක්වූ කෝපය පහව ගියේය.

ඔහු හිසේ සිට පාදාන්තය දක්වාම සිසිල් ජලයෙන් නැහවුවාක් මෙන් විය.කෝපය මැඬලීමට උත්සහකරමින් තිබූ දෑස් එකවරම ශුන්‍ය බවක් පළකලේය - දීප්තිය හා ජීවය එකවර ඔහු වෙතින් පලාගිය බවක් දිස්විය.

මේ කාන්තාව චං ගෙන්ගේ නාමමාත්‍රික මව ෂියු නියැං විය.

ඇය තවදුරටත් තරුණියක නොවුවද ඇගේ සුන්දරත්වය මදක් හෝ මිලිනව ගොස් නැත.උදෑසන ආලෝකයට නිරාවරණය වූ ඇය  චිත්‍රයක නැඟූ කෝමල රුවැත්තියක්  මෙන් දිස්විය.

ඇය වැන්දඹුවක් වුව ඈ වැනි කාන්තාවක් අගනුවරින් ඈත එපිට කුඩා නගරයක නගරාධිපති බිරිය වීම ඈ හට තරම් නොවීය.

ෂියු නියැන් ඇගේ ආයිත්තම් මනා ලෙස සකසා දෑත් එක් කර ශෝභනත්වයෙන් යුතුව ආචාර කර සිටියාය." ෂීලියු ස්වාමීනි"

ෂෙන් ෂීලියු නොමනා ලෙස හැසිරුණේ ෂෙන් යී ඉදිරියේදී පමණකි.කාන්තාවක් ඉදිරියේදී ඔහු සැබෑ  කුලවතකුගේ ස්වභාවයක් පෙන්වීය.ඔහු ෂියු නියැං ගේ මුහුණ දෙස කෙලින් බැලීම මඟහැර එක් පැත්‍තකට නැමී ලාලිත්‍යමය ලෙස ආචාරකලේය. "  ෂූ මැතිණියනි,මා මඳක් විනෝද වීම සඳහා චං ගෙන්ව පිටතට රැගෙන යනවා."

"ඔබේ කරුණාවට ස්තූතියි." ෂියු නියැන් දත් නොපෙන්වා සිනහසීය.ඉන්පසු චං ගෙන් වෙත හැරී මෘදු ලෙස මිමිණීය. "ඔබේ පියා අද නැවත පැමිණෙනවා.ඔබ පිටතට ගියහොත් මතක ඇතිව තොල් සායම් රැගෙන එන්න."

ඈ කුඩා කෘමියකුගේ හඬ අනුකරණය කරමින් ඉතා සිහින් හඬින් කතාකලේ ඕනෑම වේලාවක ඇගේ හඬ වාතයේ දියවී යා හැකි බවක් දන්වමින් වුවද චං ගෙන් පිළිතුරු දීමට පෙර ෂීලියු පිළිතුරු ලබාදුන්නේය."මැතිණියනි, ඒ පිළිබඳ නොසිතන්න."

චං ගෙන්: "..."

ඔහුට එමගින් තම යීෆුගේ "බිහිරි රීතීන්" පිළිබඳ කුඩා වැටහීමක් ලැබුණි. ෂෙන් යී ගේ වදන් ඔහුට කෙසේවත් "ඇසුණේ" නැත.අන් අයගේ වදන් ඔහු "ඇසීමට" කැමතිද නැද්ද යන්න කල්පනා කර තෝරාබේරා ගත්තේය.තරුණියන් හා කාන්තාවන් කුඩා මීමැස්සකුගේ හඬින් මිමිණුවද ඒ සියල්ල ඔහුට ඉතා පැහැදිලිව "ඇසුණේ" ය.

ඔහු අලස රස්තියාදුකාරයෙක් පමණක් නොව විලාසිනියක් මෙන් මිනිසකුද විය!!

"රත්‍රන් හා හරිතමණී ලෙස පෙනුණත් තුච්ඡ ඇතුලාන්තයකින් යුතු වීම"* යන්න ඔහු විස්තර කිරීම සඳහාම නිර්මාණය කෙරුවාක් වැනි විය.

යෝධ සරුංගලය ආපසු එන දිනයේදී අසල්වැසි නගරයන්හි දරුවන් සියලු දෙනා නගර දොරටුව අසල රැස්වෙති. ජනයින් රංචු ගැසී රැස්වන ඕනෑම අවස්ථාවකින් ලාභ උපයන මිනිසුන් මෙවැනි වේලාවක තම ව්‍යාපාරයන් ඇරඹුවෝය.ඔවුන් සෙමින් සෙමින් මහාපරිමාණ සල්පිළක් ඇරඹීය, එය ප්‍රාදේශිකයන් විසින් 'යැන් ස' සල්පිළ' යනුවෙන් හැඳින්වීය.

ෂෙන් ෂීලියු කිසිවිටකත් අනුන්ගේ භාව ප්‍රකාශනයන් කියවීමට ඉගෙන නොගත්තේය. ඔහු අහම්බෙන් මෙන් වටහාගත් අවස්තාවන්හිද ඔහු ඒ පිළිබඳ තැකීමක් නොකළේය.

ඔහු මේ අවස්තාවේ තම පුත්‍රයාගේ මනෝ බාවය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ජනයාගෙන් පිරී ඉතිරී තිබූ සල්පිළෙහි ඉතා උද්‍යෝගයෙන් ඇවිද ගියේ දකින දකින සෑම දෙයක් පිළිබඳවම ඇල්මක් හා උනන්දුවක් දක්වමිනි.

චං ගෙන් මේ වන විට ඕනෑවටත් වඩා ප්‍රකෝපනයට ලක්ව සිටියේය.ඔහුට ෂීලියුගේ සෑම පියවරක් දෙසම හොඳින් බලාසිටීමටද සිදුවූයේ හදිසියේ ඔහු අතරමං වීමෙන් වැළකීමටයි.

පසුගිය වර්ෂ කිහිපයේදීම ලොව ස්ථාවර නොවීය.ජනයා දරිද්‍රතාවෙන් පෙළුනි.සල්පිළේ විකිණීමට තිබුණේද ප්‍රාදේශීය ගොවීන් විසින් නිපදවූ කුඩා දෑය. රසවත් ආහාර හෝ පානයන් මෙහි නොවීය. මැරෙන්නට තරම් කම්මැලි බවකින් යුක්තවිය.

මිනිසුන්ගේ ජීවිත මෙතරම් දුෂ්කර වීමට හේතුව යුද්ධය විය, සාමාන්‍ය ජනයාගේ බදු බරද වර්ශයක් පාසා ඉහළ ගියේය.

නමුත් අතීතයේදී සෑම සටනක් අවසානයේම ඉතා ඉක්මනින් ප්‍රකෘතිමත් වීමේ හැකියාව ඔවුන් සතුවිය.

නමුත් මෑත කාලයේදී හුස්මක් කටක් ගැනීමට හෝ ඉඩක් නොලැබුණේ මන්දැයි කිසිවකුත් නොදත්තේය.

පසුගිය විසි වසරෙහි මහා ලියැං රාජධානිය උතුරු ගවේෂණය හා අපරදිග ආක්‍රමණයන් නිමවා අධිරාජ්‍යයක් බවට පත්විය, අසල්වැසි රාජධානීන්ගේ පැසසුමටත් ගෞරවයටත් පාත්‍ර විය.

නමුත් රාජ්‍යයේ වැසියන් දිගින් දිගටම දරිද්‍රතාවෙන් දරිද්‍රතාවට පත්වීම ගුප්තසහගත දෙයක් විය.

චං ගෙන් හට කම්මැලිකම දරාගත නොහැකිවිය.ඔහු සල්පිළේ ඔබමොබ ඇවිදිමින් ඈනුම් යවමින් කල්පනාකලේ මේ සියලු දෑ ගැන උනන්දුවක් දැක්වූ ෂීලියු නම් පිටිසර මොට්ටයා ඉක්මනින් වෙහෙසට පත්වුවහොත් විගසින් ආපසු යා හැකි බවයි.ෂෙන් ඇදුරුතුමාගේ අත් උදව්කරු වීම සැපතකැයි ඔහු සිතුවේය.

ෂෙන් ෂීලියු පුළුස්සන ලද බෝංචි ඇට බෑගයක් මිළට ගෙන ඇවිදයන අතරතුර ඒවායේ රස බැලීය.ඔහුට හිසේ පිටුපසද දෑස් තිබුනාක් මෙන් එක් අතක් පිටුපසට දිගුකර නිවැරදිව බෝංචි ඇටයක් චං ගෙන්ගේ මුඛයේ තැබීය.

සිදුවීමෙන් කලබලයට පත් චං ගෙන් වැරදීමකින් ෂීලියුගේ ඇඟිල්ල ලොවා තම මුඛයේ මෘදු මාංශ සපාකෑවේය.ඔහු වේදනාවෙන් කෑගසමින් කරදරකාර ෂීලියු දෙස කෝපාන්විත බැල්මක් හෙලුවේය.



"මිලිනව ගිය පුෂ්පයන් නැවත පුබුදීවි; යමකුගේ තාරුණ්‍ය නැවත නොපැමිණේ"

ෂෙන් ෂීලියු පසුපස හැරී බැලුවේ නැත.ඔහු එක් බෝංචි ඇටයක් ගෙන සූර්‍යයාට කෙලින් තබා ඒ දෙස බලා සිටියේය.ඔහුගේ දෑත් විශ්වාස කල නොහැකි තරම් රුචිරානනීය ය. සීන්දෑරිය ,වර්ණයෙන් ශ්වේතය, පුරාතන පවුලක දරුවකුට හිමි දෑත්ය, ඒ දෑතට වඩා සුදුසු චතුරංග ඉත්තන් හෝ සටහන් පොතකි; මේ කළු බෝංචි ඇටය ඒ දෑතට තරම් නොවීය.

ෂෙන් ෂීලියු විවිධ කම්කටොලු අතරින් ඉදිරියට ඇදී ආවකු මෙන් "ඔබ උස්මහත් වූ පසු ඔබට වැටහේවි යමකුගේ තාරුණ්‍ය බෝංචි ඇටයක් තරම් පමණක් බව , එය ඇසිපිය ගසන ක්ෂණයෙන් ඔබ හැරයාවි නැවත කිසිදින නොඑන්නම,එවිට ඔබට වැටහේවි ඔබ කෙතරම් කාලය අපතේ හැරියාද කියා."

චං ගෙන් : "........"

ඔහුට ෂෙන් ෂීලියු වැන්නකු 'අපතේ ගිය කාලය' වැනි දෙයක් පිළිබඳ කතාකිරීමට තරම් නිර්භීත වූයේ කෙසේදැයි නොවැටහේ.

ඒ අවස්තාවේම නගර ද්වාරය අසල සිටි සෙනඟ ඔල්වරසන් දීමට පටන්ගත්තෝය.

යමකු අර්ධ අන්දයකු වුවද ඈතින් ගොඩබසිනා 'යෝධ සරුංගලය' දැකගැනීමට හැකිවිය.

අසංඛ්‍ය ජ්වලිත වරල් අහස දෙසට යොමුව තිබුණි.ශ්වේත දුමාරය පිපිරෙමින් පිටතට නිකුත්වූයේ අහසින් කපු පුළුන් වලාවක් භූමියට කඩාවැටෙන්නාක් වන් වූ චිත්‍රනයක් මවමිනි.

ඒ දුමාරය අතරින් ඉතා විශාල යානාවක් මෑත්විය.යාත්‍රාවේ ඉදිරිපස හැඩගැන්වූ අෂ්ට මකර ඉස් වලාකුළු කපා තේජසින් ඉදිරියට ඇදෙන සැබෑම මකරුන් මෙන් දිස්වේ.

ෂෙන් ෂීලියු තිගැස්සී ගොස් හිස ඇලකලේය,ඔහුගේ කන්පෙත්තේ උපතේ සිටම  රැඳි සිවංගුරු තිලකය දීප්තිමත් රක්ත වර්ණයෙන් සැණිලෙමින් තිබිණි.ඔහු මදක් රවා "මේ වසරේ යාත්‍රාව මෙතරම් සැහැල්ලු මන්ද?" යැයි මිමිණුවේය.

ඔහුගේ එම වචන චං ගෙන් හට නොඇසීම වාතලයට මුසුවී ගියේ එවලේම යෝධ සරුංගලයෙන් නැගුණු ගිගුරුම් හඬත් හා රැස්වූ ජනකායගේ ඔල්වරසන් හඬත් නිසාවෙනි.

කුඩාවුන් ඔවුන්ගේ බටපතුරු කූඩ ඔසවාගෙන සලාක ලබාගැනීම සඳහා පහසුම ස්ථානය වෙනුවෙන් සටනක යෙදිනි.

නිළධාරීන් හා තවත් පිරිසකගෙන් සෑදුණු කණ්ඩායමක් පෙළගැසී පිටතට පැමිණිය අතර සංඥා භාර සෙබළුන් ආඥාව ලැබෙන තුරු ජං* තුනක් උසැති තොං හාඋ* හි පසුපසින් සිටගෙන සිටියෝය.

තොං හාඋ යනු ඉතා නුවර ප්‍රාකාරයන් දෙපැත්තේ සවිකර තිබූ විශාල නළාවක් වැනි උපකරණයකි.ඒවායේ පිටත කොළ පැහැ මලබැඳී තිබූ අතර සිත්ගන්නා සුළු කැටයම් කෙරූ මලකට සමාන පෙනුමකින් යුක්තවිය.

අණ දෙන නිළධාරී තද හුස්මක් ගෙන හඬ උස්කර තොං හාඋ හි එක් අන්තයකින් අණ නිකුත් කලේය.අනෙක් අන්තයෙන් පිටත පැමිණි හඬ ඔහුගේ හඬ මෙන් දුසිම් ගණනක හඬක් නගමින් දෝංකාර දෙන්නට විය.

"සරුංගලය ආපසු පැමිණිලා,මාර්ගය-විවර-කරනු-"

නිළධාරීන් හා තවත් පිරිසකගෙන් සෑදුණු දෙපේළියක් මේ ආඥාව ඇසීමෙන් පසු කුළුණේ විශාල ලී රෝද  කෛපුඩි තදින් ග්‍රහණය කර මහ හඬින් එකවර කෑගැසීය.ඔවුන් උඩුකය නිරුවත් කර සිටියේ ඔවුන්ගේ මනා මාංශපේෂීන් සැමටම දැකගත හැකි ආකාරයටයි.ඔවුන් තම ශක්තිය වැය කරමින් ඉහළින් තිබූ රෝද කරකවා නගරය යටින් ගිය ගලෙන් නිමවූ මාර්ගය දෙකඩ කලහ.

ඒත් සමඟම අතුරගුලන දැතිරෝද සමාවෘතව ගමන්කර දෙපස තිබූ ගඩොල් මාර්ග දෙකකට වෙන්වීය.

මහපොළොව දෙකඩව විවර වූයේ යැන්හුයි නගරය යටින් ගලාගිය ගැඹුරු සහ අඳුරු ගංගාවක් හෙළිකරමිනි.

අණ දෙන නිළධාරී තොං හාඋ මගින් ශබ්දයක් නිකුත් කළේය,ඒ ශබ්දය නගරයේ දසත පැතිරගියේය.

ඊට යෝධ සරුංගලයද එවැනිම වූ ගෙරවීමකින් පිළිතුරු ලබාදී අසංඛ්‍ය ජ්වලිත වරල් සියල්ල එකවර නිවා දැමීය.වාශ්ප රළ අහස උසට නැඟුණි - එය ගොඩ බෑමට සූදානම් විය.

"සලාකයන්" ගේ මුල් කොටස අහසින් ගලාවැටීය, ඊටයටින් සිටි කුඩාවුන් උමතුවට ලක්ව ඒවා ලබාගැනීමට උත්සහ කලහ.

අවාසනාවකට මෙන් සලාක බෙදාදීමේ මාර්ගය ඉතා කෙටිවිය, ඉතා ඉක්මනින්ම යෝධ සරුංගල් තොමෝ ගංගාව මැදට ගොඩබැස ආඩම්බරයෙන් නොසෙල්වී සැමටම පෙනෙන ලෙස සිටියේය.

යාත්‍රාව ඕනෑම අයකුගේ සිත තුල ගරුබිය ඇතිකිරීමට සමත්විය,ශීත ලෝහයෙන් නික්මුණු මන්දාලෝකය විස්තරකිරීමට නොහැකි ඝාතන අභිප්‍රායකින් පිරීතිබිණි.යාත්‍රාවේ සංඥා හඬ භයංකර ඛේදාන්ත ස්වරූපයෙන් යැන්හුයි නගරය සිසාරා පැතිරගියේ සහස්‍ර වර්ශයන් ගණනාවක සටන් වලදී මියගිය වුන් එකවර එකට එක්ව ගායනා කරන්නාක් මෙනි.

යෝධ සරුංගලය සෙමින් සෙමින් ගංගාව දිගේ යැන්හුයි නගරයට ඇතුල්විය.යාත්‍රාවේ සිටි සෙබළෙක් දීර්ඝ සංඥාවක් ලබාදුන්නේය.
"ආලෝකයන්-නිවාදමනු-"

යාත්‍රාවේ ජ්වලිත තටු වහාම නිවාදැමිනි: රතිඤ්ඤා පිපිරවීමෙන් පසු ඉතිරි වන ගන්ධයට සමාන ගන්ධයක් අවට පැතිර ගියේය,යෝධ සරුංගලය ගංගාව දිගේ ගංගාවේ ගලායාමත් සමඟ  එහි ආයු කාලයේ වංශවිහ්නය විදහාපාන මකර සැරසිලිවලින් අලංකෘතව ඉදිරියට ඇදී ගියේ බිහිසුණු බවක්ද එක් කරමින්.

චං ගෙන් ද යෝධ සරුංගලය නරඹමින් සිටියේය .ඔහු සරුංගලය  ආපසු පැමිණීම සෑම වසරකම නැරඹීම අනවශ්‍ය බව පැවසුවද සත්‍යවශයෙන්ම ඔහු යාත්‍රාවේ විශාලත්වය හා චමත්කාරය පිළිබඳ විමතියෙන් බලාසිටියේය.

උතුරු මුරසංචාර ඒකකය මෙතරම් වික්‍රාන්තයි නම් , ජාතියේ මහා ආයුධය වූ කෘෂ්ණ ලෝහ බලඇණියේ මහා කාණ්ඩ ත්‍රිත්වය-කෙතරම් පරාක්‍රමයක් උසුලන්නේද?

මේ පිටිසර යැන්හුයි ගම්මානයේ කෙළවරට පමණක්ම සීමාවූ  ගැටවරයාට කෙතරම් උත්සහකලද එය සිතාගැනීමටත් අසීරු විය.

යෝධ සරුංගලය නගරයට ඇතුළු විය,දැනටම ජ්වාලයන් නිවාදමා තිබූ තටුවෙහි රස්නය නරඹන්නන්ගේ මුහුණු මත පහරණය කෙරීය.චං ගෙන් නොදැනුවත්වම තමාට අනෙක් පසින් සිටි පුද්ගලයා අල්වා ගත්තේය.
"සරුංගලය ගොඩබැස්වූවා, මෙහි ජනයන් අධිකයි, අප මදක් පසුපසට යමු."

නමුත් ඔහුට පිළිතුරක් නොලැබිණි, ඔහු අල්වා ගෙන තිබුණේ හිස්වාතයයි,චං ගෙන් ආපසුහැරී බැලූ විට ඔහුට පෙනුනේ තම කරදරකාරී යීෆු අතුරුදහන්ව ඇති බවයි.

-------------------------------------------------------

   
                    ***********

*චන් තිං හි තේරුම නැවතී විවේකගත හැකි ස්ථානයක් යන්නයි.

*මාකවිස් යනු සිටුවර යන නිළනාමයට පමණක් පහත් වූ නිළනාමයකි.




Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-