Skip to main content

විසි දෙවන පරිච්ඡේදය:ජීවිතයේ සියලු දුෂ්කරතා වලට පසුවත් , තවමත් තම හෘද සාක්ෂිය රඳවා තබා ගැනීමට සමත් කෙනෙකු සිටියේ ද ?

'උදක උල්පත් අංගුලිකාව' යනු යැන් වුෂි ප්‍රසිද්ධියට පත් වූ එක් සටන් කලා දස්කමකි. අතීතයේදි ඔහු එම හැකියාවෙන් අසංඛ්‍යාත ස්වාමිවරුන් පරාජය කොට ඇත.චි ෆංග පවා එය විස්තර කිරීම සඳහා විශේෂාත්මක පද දෙකක් භාවිතා කළේ ය. මෙම සටන් කලා කට්ටලය කෙතරම් අපූර්ව සහ විශිෂ්ඨද යන්න බලා සිටි අයෙකු වේ නම්, ඔවුන් හට නිසැකවම දිස් වනු ඇත.

වර්තමාන යැන් වුෂි ඊටත් වඩා උසස් තත්ත්වයකට පැමිණ සිටින්නට ඇත.

කෙසේ වෙතත්, මෙම සටන් කලාව කඩු කලා ශිල්පයකින් බිහි වූවක් බව දැන සිටියේ ස්වල්ප දෙනෙක් පමණි.

යැන් වුෂි වරෙක කඩු විශේෂඥයෙකි.ඔහු යනෙන සෑම තැනකම ඔහු සමඟ නිතරම කඩුවක් ද රැඳී තිබුණි. පසුව, ඔහුට කඩුව අහිමි වූ අතර, කෙටි කාලයක් තුළ සෑහීමකට පත් වූ වෙනත් ආයුධයක් සොයා ගැනීමට නොහැකි වූ නිසාවෙන්, ඒ වෙනුවට ඔහු, ඔහුගේ ඇඟිල්ලක් භාවිතා කළේ ය. එය මෙතරම් හොඳ අතට හැරේවි යැයි කිසිවෙකුත් නොසිතූ අතර එයින් මෙම සටන් කලා ශිල්පය බිහි වනු ඇතැයි ද කවුරුන් හෝ සිතුවේ නැත.එයට මුදු මොළොක් හා සංවේදී නමක් තිබුන ද, ඔවුන් මුහුණ දෙන්නේ කුමන ආකාරයේ කුණාටුවකටදැයි තේරුම් ගත හැක්කේ එයට මුහුණ දී සිටින පුද්ගලයින්ට පමණි.

මෙහි සිටින පුද්ගලයාට තියුණු ඇස් තිබුණේ නම්, යැන් වුෂිගේ චලනයන් ඉතා මන්දගාමී, ඉතා අලංකාර සහ ඉතා මෘදු බව ඔහුගේ දෑස් ඔහුට පැහැදිලිවම පවසනු ඇත. යැන් වුෂි දිස් වූයේ අනෙකාගේ උරහිසෙහි එල්ලී තිබුණා වූ මැල වී ගිය පත්‍රයක් ඉවත් කිරීමට කිසිම ප්‍රයත්නයක් නොදරා චලනයන් සිදු කරන අයෙකු මෙනි.නමුත් ඔහුගේ ඇඟිල්ල ඒ වන විටත් බොහෝ පසු රූප බවට පත් වී තිබූ අතර, ඔහුගේ සැබෑ හස්තය කුමන “රූපය” දැයි කීමට නොහැකි තරම් විය.

ෂෙන් ච්‍යාඕගේ දෑස් තිබුණේ ආබාධ තත්වයේ ය. දෑස් නොපෙනෙන ඔහුට ඉදිරිපස දර්ශනය ව්‍යාකූල වූ බැවින් ස්වභාවයෙන්ම ඔහුගේ අනෙකුත් ඉන්ද්‍රියයන් වඩාත් තියුණු වී තිබුණි.

ඉහල සිට පහලට තෙරපෙන කන්දක් මෙන් සෑම දිශාවකින්ම තමන් දෙසට ඇදෙන දැවැන්ත පීඩනයක් ඔහුට දැනෙන්නට විය. අභ්‍යන්තර චී ශක්තිය එහා මෙහා නැඟී එන විට එය ඔහුව තලා දැමීමට ආසන්න තරම් විය. මෙම පීඩනය සෑම තැනකටම ඒකාකාරව බෙදී ගොස් තිබුණේ ද නැත. ඒ වෙනුවට, එය අනෙක් පුද්ගලයාගේ ඇඟිල්ල ඔස්සේ පැමිණෙමින් තිබූ අතර, විටෙක ඔහුගේ උරහිස මත තද කර, තවත් විටෙක ඔහුගේ ගෙල දෙසට තර්ජනය කරමින් තිබුණි. එයින් ආරක්ෂා වීමට නොහැකි වන පරිදි එය තැනින් තැනට පාවී යමින් තිබුණි.

අනෙක් පුද්ගලයා ගොඩනඟා තිබූ මෙම පීඩනය ඇතුළත ෂෙන් ච්‍යාඕ සම්පූර්ණයෙන්ම ගිලී ගොස් තිබුණි. එය සෑම පැත්තකින්ම බැමි වලින් වට වූවාක් මෙනි. අභ්‍යන්තර චී ශක්තියේ ඝන ස්ථර,විශාල වඩදිය බාදිය රැළි ගණනාවක් මෙන් විය.ඔහුට පසුබැසීමට තැනක් හෝ ඉදිරියට යාමට තැනක් තිබුණේ නැත.ඔහු තුළ වූ අභ්‍යන්තර චී ශක්තිය අවසන් වූ පසු, ඔහු බලා සිටියේ යැන් වුෂිගේ ඇඟිල්ල උල්පත් ජලය මෙන් මෘදු ආකාරයකින් ඔහුගේ ශරීරය මෘදු ලෙස ස්පර්ශ කරන තුරු ය.

එවිට ඔහුට ඉතිරි වන්නේ මරණය පමණි.

ෂෙන් ච්‍යාඕ සතුව තිබුණේ ඔහුගේ අභ්‍යන්තර චී ශක්තියෙන් සියයට තිහක් පමණක් වන අතර සමහර විට එය දෙවන මට්ටමේ සටන් කලාකරුවෙකුට තිබුණාටත් වඩා අඩු මට්ටමක් විය.සාමාන්‍යයෙන් යැන් වුෂිගේ ප්‍රහාරවලින් ගැලවී යාමට මෙම මට්ටමේ සිටි අයට සිහිනෙන්වත් සිතීමට අවශ්‍ය වූයේ නැත.නමුත් ෂෙන් ච්‍යාඕ තුළ දැනටමත් සූර්යවාදයේ පිටපත් දෙකක අන්තර්ගතයන් තිබූ නිසාත්, ඔහු ෂුඅන්දු කන්දේ සටන් කලාවන් සියල්ලම දැන සිටි ප්‍රවීණයෙකු වූ නිසාත් ඔහුට එම කරුණුවලින් වාසි අත් වී තිබුණි. කටපාඩම් කරගත් සියලුම අන්තර්ගතයන් ප්‍රයෝජනයට ගැනීමට ඔහුට ප්‍රමාණවත් කාලයක් නොතිබුණ ද, ඔහුගේ මතකයන් ප්‍රකෘතිමත් වීමෙන් අදහස් වූයේ සතුරාට මුහුණ දීමේ හැකියාව ද ප්‍රතිෂ්ඨාපනය වී තිබූ බවයි.අවම තරමින් ඔහු පෙර මෙන් නිෂ්ක්‍රීය නොවනු ඇත.

අතක් කඩුවක් ලෙස හැසිරවූ ඔහු තම අත ඔසවා චලනයක් සිදු කළේ ය.

මෙය 'නීල තරංග' සටන් කලාවේ 'මිහිරි මෘදු සුළඟෙහි' ආරම්භක පියවර විය.

නීල තරංග සටන් කලාව යනු යැන් වුෂි සමඟ සටනේදී යූ අයි භාවිතා කළ නියම කඩු සටන් කලාවයි.

ෂුඅන්දු කන්ද ලෝකය පුරා ප්‍රසිද්ධ වුවද, එහි තිබුණේ සටන් කලාවන් කිහිපයක් පමණි. කඩු කලාව සම්බන්ධයෙන් ගත් කල තිබුණේ කට්ටල දෙකක් පමණි.

සටන් කලාවේ මූලධර්මය ද මේ ලෝකයේ පැවති වෙනත් බොහෝ මූලධර්මයන් මෙන් සමාන බව චී ෆංග විසින් විශ්වාස කළ බැවින්, අවසානයේ ඒ සියල්ල සරල බව දක්වා පහත් මට්ටමට සකසා තිබුණි. විශාල කලාව සඟවා තැබුණි. විවිධ සටන් ක්‍රම රාශියක් ඉගෙන ගන්නවාට වඩා, තමන්ට අවශ්‍ය පරිදි පාලනය කර නිදහසේ භාවිතා කිරීමට හැකි වන තෙක් මෙම කඩු ශිල්ප කට්ටල දෙක පුහුණු වී පරිපූර්ණ කිරීම වඩාත් හොඳ විය.

නාමයෙහි අර්ථය විලස ම, මිනිරි මෘදු සුළඟ යනු මෘදු සහ සමාව දෙන විවෘත පියවරක් වූ අතර, මිනිසුන්ට ඔවුන් සිසිල් සුළඟක ස්නානය කරන බවක් දැනෙන්නට සැලැස්වූ කලාවකි. ෂෙන් ච්‍යාඕගේ අතෙහි කඩුවක් නොතිබූ අතර, එම නිසා කඩුව ලෙස ඇඟිලි දෙකක් එක් කොට භාවිතයට ගැනීමට ඔහුට සිදු විය. මෙම පියවරෙන් පසු, ඔහු අතීතයේ සිට හුරුපුරුදු හැඟීම් ගොන්නක් නැවත ලබා ගත්තේ ය.

ඔහුගේ අභ්‍යන්තර චී ශක්තිය නොකඩවාම ඉහළ නැඟී, දන්තියන්වල සිට යංගුඇන්, චොංෂු, චියං සහ අනෙකුත් නිල ස්ථාන වෙත ගමන් කළේ ය. ඒවා ෆෙංෆුහි එක් වූ අතර නැවතත් සහවයිගුඇන් වෙත ගලා යන්නට විය[1]. අනෙක් පුද්ගලයා ඔහුගේ අභ්‍යන්තර චී ශක්තිය නොබිඳිය හැකි ආරක්‍ෂක ස්ථරවලට ව්‍යාජ ලෙස සකසා, සෑම දිශාවකින්ම ඔහු දෙසට පීඩනය එල්ල කොට තිබුණි. ෂෙන් ච්‍යාඕට සිදු වූයේ නියමිත වේලාව බලා ඔහුගේම අභ්‍යන්තර බලය ඔහුගේ ඇඟිලි තුඩු වෙත යොමු කිරීමට පමණි.

කඩු ආලෝකයක් මෙන් සුදු ආලෝකයක් පැතිර ගියේ ය. මෙය කඩු ශක්තියයි.

කඩු ශක්තිය පිටතට පියාසර කළ අතර, ෂෙන් ච්‍යාඕ වහාම ඔහුගේ චලනයන් වෙනස් කළේ ය.නීල තරංග සටන් කලාවෙහි "සීතර් හි පාඨ තුන" අනුකරණය කරමින්, ඔහු තම ඇඟිල්ලෙන් අනුක්‍රමිකව කිහිප වතාවක් චලනයන් සිදු කළේ ය. ඒ සියල්ලම යැන් වුෂි විසින් ඔහුගේ අභ්‍යන්තර චී භාවිතයෙන් වියන ලද මෙම 'දැලට' ඝෘජුවම එල්ල කොට තිබුණි.

බිහිරි හඬක් සමඟින්, මීදුම පෙරළී ගොස් වැසී ගියේ ය. දැල මත ගිනි පුපුරු වැටී, එය පබළු මෙන් අලංකාර කළේ ය!

වෙනත් අයෙකු මෙහි සිටියා නම්, ඔවුන් දෙදෙනා අතර දීප්තිමත් ආලෝකයක් පුපුරා යනු පමණක් දකිනු ඇත. ෂෙන් ච්‍යාඕගේ දෑස්වලට නොපෙනුණ බැවින්, ඔහුට අනෙකාගේ ප්‍රහාරය බිඳ දැමීමට හැකි වූයේ යැන් වුෂිගේ අභ්‍යන්තර චී ශක්තිය පිළිබඳ ඔහුගේ ග්‍රහණය මත පමණක් විශ්වාසය තැබීමෙනි!

යැන් වුෂිගේ ප්‍රහාරය ආරම්භයේ සිට අවසානය දක්වා ෂෙන් ච්‍යාඕ විසින් එය විසඳා ගත් ආකාරය, ඒ තුළ සිටි අයට දැනෙන්නට ඇත්තේ බොහෝ කාලයක් ගත වූවාක් විලස ය. නමුත් අසල සිටි අයට එය පැවතියේ තත්පරයක කාල සීමාවක් තුල පමණි.

මෙම සිදුවීමෙන් යැන් වුෂි මදක් පුදුමයට පත් විය. කෙසේ වෙතත්, පසුව ඔහුගේ මුහුණේ දිස් වූයේ කෙමෙන් වර්ධනය වූ උනන්දුවකි.

ඔහු තම ඇඟිලි අත්ල ප්‍රහාරයක් සඳහා එක් කොට ගත් අතර ඔහුගේ රූපය වලාකුළක් හෝ අවතාරයක් මෙන් පාවී ගියේ ය. විවිධ දිශාවන්වලින්, ඔහු ෂෙන් ච්‍යාඕ දෙසට තවත් අත්ල ප්‍රහාරවල් තුනක් එල්ල කළේ ය.

මෙම අත්ල ප්‍රහාර ත්‍රිත්වය කඳු අතරින් ගමන් කරන සුළඟ මෙන්, එසේත් නැත්නම් සාගරයට ඉහළින් නැඟී එන වාතය මෙන් විය. ඒවා ඉතා දැවැන්ත හා අසීමිත වේගයකින් අහසින් ඉහළට ගලා ගියේ ය. සංසන්දනාත්මක ලෙස බැලුවහොත්, යැන් වුෂි පෙර සිට එල්ල කළ ප්‍රහාර ළමා සෙල්ලමක් මිස අන් කිසිවක් නොවූ බවක් පෙනෙන්නට තිබුණි.  නමුත් මේ මොහොතේ, අවසානයේදී ඔහු ලාලිත්‍යයේ වෙස්මුහුණ ඉරා දමා ඊට යටින් තිබූ තම රුදුරු ස්වභාවය හෙළි කළේ ය!

තුන් දිශාවකින් අත්ල පහරවල් ත්‍රිත්වයක්!

එහෙත් තනි පුද්ගලයෙකු ලෙස සිටි ෂෙන් ච්‍යාඕ සතුව තිබුණේ අත් දෙකක් පමණි. එකවර දිශාවන් තුනකින් පැමිණෙන ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඔහුට තිබුණේ නැත.

එම නිසා ෂෙන් ච්‍යාඕ පසුබැසීමට තෝරා ගත්තේ ය.

යැන් වුෂිගේ ප්‍රහාරය විසුරුවා හළ පසු, කිසිදු අභ්‍යන්තර චී ශක්තියක් ඔහු පිටුපසින් අවහිර කළේ නැත. ඔහු පියවර කිහිපයක් පසුපසට තැබුවේ ය. කෙසේ වෙතත්, යැන් වුෂිගේ අත්ල ප්‍රහාර ත්‍රිත්වය ඔහුගේ මුහුණ සමීපයට පැමිණීමට පෙර ඔහුට කළ හැකි වූයේ එපමණකි!

යැන් වුෂි කෙතරම් දක්ෂ වුවත් ඔහු ද මිනිසෙක් පමණි. ඔහුට වුවත් එකවර අත්ල ප්‍රහාර තුනකින් පහර දීමට හැකියාවක් නොතිබිය යුතු ය.ප්‍රහාරයන් සතුව අධික වේගයක් තිබුණත්, ප්‍රමාද දෝශයක් ද තිබිය යුතුම ය.නමුත් වේගය අධික වූ නිසාවෙන් ප්‍රහාරයන්ගේ වේගවල අනුපිළිවෙල පැවසීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි විය. 

එහෙත් ෂෙන් ච්‍යාඕගේ දෑස්වලට පෙනීම අහිමිව තිබූ නිසා ඔහුට  එය හැකි විය.

අන්ධයෙකුට 'දැකීම' අවශ්‍ය නොවී ය. ඒ වෙනුවට ඔවුන්ට තියුණු ලෙස 'ඇසීම'ට හැකි විය.

තුවාල වූ පසු, ඔහු සිතාගත නොහැකි තරම් දුක් වේදනා අත්විඳ ඇත. මෙම වේදනාවන් ඔහුගේ පැරණි මතකයන් නැවත ලබා ගැනීමෙන් අනතුරුව ඔහුගේ අතීතය සමඟ එක් වී පැහැදිලි වෙනසක් ඇති කර තිබුණි.

ෂෙන් ච්‍යාඕට අතරමං වූවාක් වැනි හැඟීමක් දැනුණු, සහ ප්‍රහේලිකා පැන නැගුණු අවස්ථාවන් බොහොමයක් තිබුණි. ඥාතීන්ගේ පාවාදීම නිසා ද ඔහු සිටියේ ශෝකයෙනි.

නමුත් මේ මොහොතේදී ඔහුගේ සිත බොහෝ සන්සුන් විය.

ඔහු ෂුඅන්දු කන්දේ නිකාය නායකයාව සිටියදීත්, ඔහුගේ සිතේ තත්වය සෑම විටම පැවතියේ සන්සුන් ලෙස ය. නමුත් එය කිසිදා පසුබෑමක් අත්විඳ නැති කෙනෙකුට අයත් වූ එක්තරා ආකාරයක සන්සුන් බවක් පමණක් විය.

නමුත්, දැන් අත්විඳිමින් සිටි නිස්කලංක භාවය පිපිරුම්, කුණාටු සහ සියලු ආකාරයේ දුෂ්කරතා පසුකර යාමේදී ඔහුට අත් වූ ප්‍රතිඵලයකින් ලැබුණා වූ දෙයකි.

ඝෝෂාකාරී රළ නතර වූ විට, චන්ද්‍රයා වලාකුළුවලට ඉහළින් නැඟී, ජලය සහ අහස එකම වර්ණයකට ඒකාබද්ධ කළේ ය.

එහි රළ, රැළි, ශෝකය හෝ ප්‍රීතිය යන කිසිවක් නොතිබුණි.

එය වසන්තයේ දී පාෂාණ පියගැටපෙළක් සේ තෘණපත් ද අඳුරු වී යාමක් හෝ සරත් ඍතුවේ දී අහස් තලයේ වූ වළාවන් තුනීවීමක් බඳු විය. එසේත් නොමැතිනම් එය එයට ඉහළින් එල්වා තැබූ හොඳින් ආලෝකය නිකුත් කරන හුදකලා ලන්තෑරුමක් හෝ පහළින් වූ තෘණපත් මත තම ප්‍රභාව නැංවෙනු බලා සිටින චන්ද්‍රයාට සමාන විය. 

මෙම සන්සුන් භාවයත් සමඟම එක්වරම මෙම අත්ල ප්‍රහාරවල් ත්‍රිත්වයේ පිළිවෙළ පැවසීමට ඔහු සමත් විය. ක්ෂණයකින් නෙළුම් මලක් මෙන් ඔහුගේ අත දිගහැරී, නැවත වැසී ගියේ ය.ඔහු නීල තරංග සටන් කලාවේ 'කැන්ග් කන්දේ නැගී එන තරංග', 'ඇතුළත හිරු සහ සඳ' මෙන් ම 'නැගෙනහිර දම් ආකාශය' එකවර භාවිතා කරමින් සිටියේ ය.

ෂුඅන්දු කන්දේ ගෝලයන් මෙහි සිටියා නම්, මෙම චලනයන් නීල තරංග සටන් කලාවෙන් ආරම්භ වූ බව ඔවුන් නිසැකවම හඳුනා නොගනු ඇත. ෂෙන් ච්‍යාඕ භාවිතා කළ ආකාරය අනුව මෙම චලනවලට නිමක් නැති වෙනස්කම් අත් වී තිබූ අතර දැන් ඒවාට මුල් ස්වරූපයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් අත් වී තිබුණි.

කෙසේ වෙතත්, චි ෆංග හට නැවත මේ ලෝකයට පැමිණිය හැකිව තිබුණානම්, ඔහු විසින් නිසැකවම පවසනු ඇත්තේ, ෂෙන් ච්‍යාඕ මෙම කඩු චලනයන්හි ස්වරූපය පමණක් භාවිතා නොකළ බවයි; ඇත්තෙන්ම ඔහු කඩු ශක්තියේ විධිමත්භාවයෙන් ඔබ්බට ගොස් තිබූ අතර කඩු සටන් කලාවේ 'අභිප්‍රාය' මට්ටම අවබෝධ කොටගෙන තිබුණි!

කඩුව සියලු ආයුධවල රජු විය. එය සටන් කලා ක්ෂේත්‍රයේ මිනිසුන්ගේ ඉහළ පැසසුමට ලක් විය.සෑම සටන් ශිල්පීන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම ඔවුන්ගේ ආයුධ ලෙස කඩු භාවිතා කළ හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට, කඩු කලා මට්ටම්වලට ළඟා වීමට තබා තම කුසලතාවයන් ප්‍රසිද්ධ ශාලාවට ඇතුළු කරගැනීමටවත් හැකියාවක් ලැබී තිබුණේ නැත.

කඩු කලාවේ ක්ෂේත්‍ර නොහොත් මට්ටම් හතරක් තිබුණි:ඒවානම්, කඩු ශක්තිය, කඩු අභිප්‍රාය, කඩු හදවත සහ කඩු ආත්මය යි.

යමෙකුට තම අභ්‍යන්තර චී ශක්තිය මගින් කඩුව පාලනය කිරීමට හැකි වීමෙන් අදහස් වන්නේ මෙම පුද්ගලයා දැනටමත් "කඩු ශක්තිය" තත්ත්වයට පැමිණ ඇති බවයි. මෙය සියලුම ෂියන්තියන් විශේෂඥයින්ට සාක්ෂාත් කර ගත හැකි වූ දෙයකි.සටන් කලාව අහිමි වීමට පෙර ෂෙන් ච්‍යාඕ ද මෙම තත්ත්වයට පැමිණ තිබුණි.

ඔහු අතිශයින්ම දක්ෂ විය. කුඩා කල සිටම කඩු ශිල්පය ප්‍රගුණ කළ ඔහු වයස අවුරුදු විස්සේදී කඩු හරඹයේ විධිමත් බව බිඳ දමා “කඩු ශක්තිය” මට්ටමට ඇතුළු වී තිබුණි.පසුව, චි ෆංග විසින් ඔහුට සූර්යවාදයේ පිටපතක් ලබා දෙන ලදි. එම පිටපත තුළ තිබූ චී ශක්තිය ප්‍රගුණ කිරීමේ ක්‍රමය ඔහුගේ කඩු ශක්තියට ඒකාබද්ධ කිරීම මඟින්, ඔහුගේ කඩු කුසලතා දිනෙන් දින දියුණු විය. සෑම දෙයක්ම එලෙසම සිදු වූයේ නම්, "කඩු අභිප්‍රාය" අවබෝධ කරගැනීම කාලය පිළිබඳ ගැටලුවක් පමණක් වනු ඇත.

අවාසනාවන්ත ලෙස, අඩ පියවර කඳු මුදුනේ අභියෝගය ඔහුට බාධාවක් විය.ෂෙන් ච්‍යාඕ ප්‍රපාතයට වැටුණු අතර සියල්ල හදිසියේම අවසන් විය.

ඔහුගේ ශරීරය තුළ රැඳී තිබූ සූර්යවාදයෙහි අභ්‍යන්තර චී ශක්තියේ සියුම් නූල හේතුවෙන් ඔහුට නැවත ආරම්භ කිරීමට අවස්ථාව නොලැබුණේ නම්, ඔහු තම ජීවිතයේ පළමු භාගයේදී වෙහෙස මහන්සි වී ප්‍රගුණ කොට ගත් සියලුම සටන් කලාවන් නියත වශයෙන්ම අපතේ යනු ඇත.

යැන් වුෂි සාමාන්‍ය පුද්ගලයෙක් නොවී ය. නිසැකවම ඔහු ඒ පිළිබඳවත් සොයාගෙන තිබුණි. ඔහු තව තවත් දැඩි ලෙස ඔහුට බලපෑම් කළේ බැවිනි.නමුත් ෂෙන් ච්‍යාඕ කඩා වැටුණේ නැත. අවසානයේදී එය ඔහුව 'කඩු අභිප්‍රාය' ක්ෂේත්‍රයට ඇතුළු වීමට පවා උත්තේජනය කොට තිබුණි. යැන් වුෂි මහත් විස්මයට පත් විය.

ඔහුගේ විස්මයට අමතරව, ඔහු තුළ උද්වේගයේ හෝඩුවාවක් ද දැල්වී තිබුණි.

ඔහු ෂෙන් ච්‍යාඕට වරින් වර ඔහු සමඟ සටන් කිරීමට බල කළේ අනෙක් පුද්ගලයා සූර්යවාදයෙන් ලැබී තිබූ අභ්‍යන්තර චි ශක්තිය රැගෙන ගිය නිසා පමණි . මේ සටන් තුළින් ඔහු දියුණුව ලබාගැනීමට බලාපොරොත්තු විය. එය ඔහුට සූර්යවාදයේ සාරය උකහා ගැනීමට සහ ඔහු විසින්ම නිර්මාණය කරන ලද සටන් කලාවන් සකස් කිරීමට උපකාරී වනු ඇත.

එම නිසා, ඔහුගේ ප්‍රතිවාදියා ශක්තිමත් වන තරමට ඔහු සතුටට පත් විය.

මේ වන විට ෂෙන් ච්‍යාඕගේ සිත සම්පූර්ණයෙන්ම නිස්කලංක සමාදානයකින් යුක්ත විය.

'කඩු අභිප්‍රාය' අවබෝධ කර ගත් පසු, ඔහුගේ මානසික තත්ත්වය එතැන් සිට සම්පූර්ණයෙන්ම නව ලෝකයක් කරා ඇතුල් වන්නට විය. එය විස්තර කිරීමට අපහසු තරම් ඉඩකඩ සහිත, පැහැදිලි සහ අද්භූත විය.

මෙම භූමිය අසීමිත ලෙස පැතිර තිබූ අතර, සාගරය විසින් සියලු ගංගාවන් අවශෝෂණය කර ගත්තාක් මෙන් දිස් විය. පර්වත මීටර දහස් ගණනක් අහස උසට නැඟී ඇත.

එහා මෙහා යාම වර්ග අඟලකට පමණක් සීමා වූ මෙම භූමියේ ආධාරකයක් ලෙස කිසිවක් තිබුණේ නැත.

කෙසේ වෙතත්, කඩු අභිප්‍රාය පවතින ස්ථානය දාඕවාදී අභිප්‍රාය විය යුතු ස්ථානයයි!

කෙනෙකුගෙන් දෙදෙනෙකු උපදී, දෙදෙනෙකුගෙන් තිදෙනෙක්, තිදෙනෙකුගෙන් සෑම දෙයක්ම උපදී.[2]

ඔහුගේ පාද යට බිමක් නොතිබුණත්, ඔහු ඒ මත පය තැබූ පසු බිමක් තිබේ. ඔහුගේ ඇස් ඉදිරිපිට ආලෝකයක් නොතිබුණ ද ඔහුගේ හදවතේ ආලෝකයක් තිබේ.

එවැනි මානසිකත්වයක් ඇති වූ ෂෙන් ච්‍යාඕට, දෑස් නොපෙනුනත්, අනෙක් පුද්ගලයාගේ ප්‍රහාරවල සලකුණු තවමත් පැහැදිලිව දැනෙන්නට විය.

ඔහු නිහඬව බලා සිටියේ ය.

යැන් වුෂි තම ඇඟිල්ල ඔහුගේ ඇහි බැම අතරමැද දෙසට යොමු කළේ ය.

ෂෙන් ච්‍යාඕ පසුපසට ගියේ නැත. ඒ වෙනුවට, ඔහු තම අත ඔසවා එය ඝෘජුවම අතට ලබාගැනීමට තීරණය කළේ ය.

ඔහු තම දකුණු අත ඔසවා අත්ල විවෘත කළ අතර, එමඟින් අනෙක් පුද්ගලයාගේ එම එක් ඇඟිල්ල අවහිර කළේ ය.

තත්පරයකින්, ඔවුන් වටා තිබූ සියලුම ලෝහ සහ පාෂාණ ඉරිතලා පිපිරී ගියේ රාත්‍රි තිරය පසුබිම් කොට ගත් තරු සමූහයක් වෙඩි තබන ආකාරයට ය!

ෂෙන් ච්‍යාඕට ඇසුනේ ඔහුගේ කන අසළ ඇති වූ විශාල පිපිරුම් හඬක් පමණි. එකෙණෙහිම ඔහුගේ නාසයෙන් සහ මුඛයෙන් රුධිරය වහනය විය. තම සිරුර පාලනය කර ගත නොහැකි වූ ඔහු පසුපසට වීසි වී අවසානයේ විශාල කඳක් මතට පතිත විය. ඉන් පසු ඔහු දැඩි ලෙස බිම ඇද වැටුණි!

කෙසේ වෙතත්, යැන් වුෂි හුස්මක් පිට කළ අතර තරමක් පුදුමයට පත් විය.

ඒ ඔහු දැන් භාවිතා කළ පියවර ඔහුගේ සටන් බලයෙන් අඩක්වත් රැගෙන ගිය බැවිනි.ෂෙන් ච්‍යාඕගේ වර්තමාන ධ්‍යානවේදී මට්ටම සමඟ, ඔහු කඩු අභිප්‍රාය අවබෝධ කර ගෙන තිබුණද, ඔහුගේ සටන් අත්තිවාරමට ඉතා දරුණු ලෙස හානි වී තිබුණි. ඔහුගේ ප්‍රහාරය දුටු පසුවත් ඔහු එම ස්ථානයේදීම මිය නොගොස් එය අවහිර කර තිබීම ඒ වන විටත් කැපී පෙනෙන දෙයක් විය.

මෙය පමණක් සලකා බැලුවත්, ෂෙන් ච්‍යාඕගේ යෝග්‍යතාවය සහ විභවය ඇත්තෙන්ම විශ්මයජනක බව ඕනෑම කෙනෙකුට වටහාගත හැක. පාවාදීමක් යටතේ වුවද කඩු අභිප්‍රාය වටහාගැනීමට ඔහුට තවමත් හැකි වී තිබුණි.චි ෆංග විසින් ඔහුගේ පෞද්ගලික ගෝලයා ලෙස ඔහුව තෝරා ගැනීම පුදුමයක් නොවේ.

ෂෙන් ච්‍යාඕ මිය නොගියත්, ඔහු ඊට වඩා හොඳ තත්වයක සිටියේ ද නැත.

යැන් වුෂිගේ ප්‍රහාරයක් ගන්නට හැකියාවක් නොතිබුණද ඔහු එය කෙසේ හෝ ගත්තේ ය.යූ අයි සමඟ ෂුආන්දු කන්දේදී කළ සටනින් ද වෙගෙසට පත්ව සිටි ඔහු, අවසානයේදී සම්පූර්ණයෙන්ම වෙහෙසට පත් වී තිබුණි.

ඔහු ඉදිරිපිට නැමුණු යාන් වුෂි, ෂෙන් ච්‍යාඕගේ නිකට ඔහුගේ අතකින් අල්ලාගත්තේ ය. අනෙක් පුද්ගලයාගේ මුහුණ සීතල හකුරු මෙන් විය. එය සුදුමැලි සහ අඳුරු විය. ඔහුගේ තොල්වල පවා රුධිරයේ වර්ණය වියැකී ගොස් තිබුණේ මොනයම් මොහොතක හෝ අවසන් හුස්ම හෙළන්නාක් මෙනි.

කෙසේ වෙතත්, ඔහු පර්වතයෙන් වැටුණු පසු දැඩි ලෙස තුවාල වූ දා සිට, සෑම දින දහයකටම නව වතාවක්වත්, ඔහු මේ ආකාරයේ පැහැයක් ගනී. දැන්, එය මදක් බරපතල ලෙස දිස් වූවා පමණි.

කෙසේ වෙතත්, මෙම අඳුරු සුදුමැලි බව මධ්‍යයේ වුවද ඔහුගේ තදින් වැසී තිබූ දෑස්, පිහාටු වන් ඇහිබැමි... ඒ සියල්ලටම සියුම් නමුත් විශේෂ තපස් සුන්දර හැඟීමක් කා වැදී තිබුණි.සිහිසුන්ව සිටි නිසා, ඔහුගෙන් දිස් වූයේ බොහෝ නිහතමානී හා ප්‍රියජනක පෙනුමකි.

එබඳු කීකරු පෙනුමක් එදා මූ ටිපෝව ව්‍යාකූල කොට තිබුණේ මාංශ භක්ෂක පුෂ්පයක් ඔසුවක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ සලසමිනි.

නමුත් මෙම පුෂ්පයේ ස්වභාවය තරමක් හොඳ වූ අතර එයට සැමවිටම තිබුණේ මෘදු හදවතකි.එම නිසා, එය නැවත නැවතත් කරදරයට පත් වනු ඇත. එම කරදරවලට ඔහු තමන් විසින්ම ආරාධනා කර ඇති බවක් පෙනෙන්නට තිබුණත්, ඔහුගේ මෘදු හදවතට ලැබී තිබුණු ප්‍රතිවිපාක නිසාවෙන් ඔහු දැනටමත් පවතින්නා වූ තත්වයන් අපේක්ෂා කොට ඒ සෑම අවස්ථාවකම සම්පූර්ණයෙන්ම සූදානම් වනු ඇත. ඔහුගේ මෘදු හදවත නිසා අනෙක් අය ඔහු දෙස පහත් කොට බැලුවහොත්, සැබවින්ම ,එය ඔවුන්ගේ මුග්ධකමක් වනු ඇත.

“ඔබ දෙස බලන්න.ඔබ කොතරම් වෙහෙසට පත්වෙලාද!ඔබේ ජීවිතය කෙතරම් දුක්ඛිත ද! ඔබේ ගුරුතුමා මිය ගියා, ඔබේ නිකාය නායක තනතුර පවා වෙන කෙනෙක් උදුරගත්තා. ඔබ සමඟ හැදී වැඩුණු ඔබේ සියලු සටන් සහෝදරයන් ඔබව පාවා දුන්නා හෝ ඔබ කටයුතු කරන ආකාරය සමඟ එකඟ වුණේ නැහැ.ඔබේ පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා වෙලා, ශරීරය බරපතල ලෙස තුවාල වෙලා.නමුත් ඔබේ නමට කිසිවක් නොමැතිව ෂුඅන්දු කන්දෙන් පිටව යාමට පවා ඔබට සිදු වුණා."

මෘදු ස්වරය භාවිතා කරමින්, යැන් වුෂි ඔහුගේ කන අසල මෘදු ලෙස කතා කරමින් ඔහුව පොළඹවා ගන්නට උත්සාහ දැරී ය, “නමුත් ඔබ ඒ තරම් පහත් ලෙස ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබ නැවත මාත් එක්ක පවිත්‍ර නිකායට ඇවිත් ෆීනික්ස්-ඝාතන ශිල්පයේ මූලික වාර්තා ප්‍රගුණ කරනවානම්, මා ඉගෙන ගත් සූර්යවාදයේ පිටපත පවා මම ඔබට උගන්වන්නම්. එවිට, ඔබේ සටන් කලාව නැවත ලබා ගැනීමට පුලුවන් විතරක් නෙවෙයි, තවත් පියවරක් ඉදිරියට යාමට පවා හැකි වේවි. මෙය ඔබ විසින්ම යථා තත්ත්වයට පත් වීමට වසර තුනක් හෝ පහක් ගත කරනවාට වඩා වේගවත් වේවි. එදාට ඔබට ඔබේ නිකාය නායක තනතුර ආපසු ගැනීමට හෝ පළිගැනීම සඳහා යූ අයි මරා දැමීමට අවශ්‍යද යන්න පවා ප්‍රශ්නයක් නොවේ. ඔබ සිතන්නේ කුමක් ද?"

දැන් ෂෙන් ච්‍යාඕගේ කැමැත්ත දුර්වලම වූ කාලයයි. ඔහුගේ හිස සිහින සහ ව්‍යාකූල මධ්‍යයේ පැවති අතර, ඔහුගේ ශරීරයට ප්‍රතිරෝධය දැක්වීමට ශක්තියක් නොතිබුණි. එය ඔහුගේ මනස ආක්‍රමණය කිරීමට පහසුම අවස්ථාව විය. තව ද, යැන් වුෂි, ඔහුගේ වචන සඳහා 'අසුර වශිය' [3] භාවිතා කර ඇත. ඔහුගේ වචන ෂෙන් ච්‍යාඕගේ කනට නැවත නැවතත් ආචාර කළ අතර, හදවතට කෙළින්ම ඇතුලු වී ඔහුගේ දාඕවාදී හරයට දැඩි ලෙස පහර දුන් හ.

ෂෙන් ච්‍යාඕ, ඔහුගේ ඇහිබැම වේදනාවෙන් රැළි කොට, ශරීරයෙන් දුර්වල ලෙස පොරබදමින් සිටිය ද, යැන් වුෂි ඔහුගේ ග්‍රහණය ලිහිල් කළේ නැත. ඔහු තවත් දෙවතාවක් සිය වදන් පුනරුච්චාරණය කළේ ය.

“යූ අයි කුන්'ය සමඟ මිත්‍ර වුණා. ඔවුන් නිසා ඔබ පර්වතයෙන් වැටී ඔබේ සටන් කලාවන් සියල්ලම අහිමි වුණා. ඔබ ඔවුන්ට වෛර කරන්නේ නැද්ද? සටන් කලාවක් නැතිව, තනතුරක් සහ තරාතිරමක් නැතිව ඉන්න ඔබ ඉදිරිපිට චෙන් ගොං සහ මු ටිපෝ වැනි විකටයන් පවා නාඩගම් නටනවා. ඇත්තටම ඔබේ හිතේ පුංචිම පුංචි වෛරයක්වත් නැද්ද? උන්ව මරන්න ඕන නැද්ද? මට ඔබට උදව් කරන්න පුළුවන්.”

ඒ අසලින් ගිය වෙනත් අයෙකු වේ නම්, ඔවුන් සිතනු ඇත්තේ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ කනට ළෙන්ගතු ලෙස කොඳුරමින් සිටින බව ය.මෙම දර්ශනය 

දැඩි ආලවන්ත හැඟීම් පෑමක් ලෙස දිස් වූව ද, ඇත්තෙන්ම එය එසේ නොවී ය.

යැන් වුෂි ඔහුගේ ග්‍රහණය තවත් මදක් දැඩි කළ අතර එයින් ෂෙන් ච්‍යාඕගේ නිකට මත රතු සලකුණක් ඇති වූ අතර එය බොහෝ විට පසුදින වන විට තැළීමක් බවට පත් වනු ඇත. නමුත් ෂෙන් ච්‍යාඕ දුක් වින්දේ මේ හේතුව නිසා නොවේ. ඔහුගේ වේදනාවේ උල්පත වූයේ මන්ත්‍ර මෙන් ඔහුගේ හිසට නැවත නැවතත් ඇතුල් වූ යැන් වුෂිගේ වචනයි. කෙතරම් තැත් කළ ද ඔහුට එම කටහඬෙන් මිදීමට හෝ ගැලවීමට නොහැකි විය.

ඔහු හැකි උපරිමයෙන් දත්මිටි කෑවේ ය.ඒ වන විටත් ඔහුට සිහිය නැති වී තිබුණත්, ඔහුගේ යටි සිතින් ඔහුව තදින් බැඳ දමා තිබූ හෘදසාක්ෂියේ සිහින් නූලක් මඟින් ඔහුට එය පිළිගැනීම සඳහා මුව විවර කිරීමට නොහැකි වූ බවක් පෙනෙන්නට තිබුණි.

ඔහු සිය මුව විවර කොට එකඟ වූ පසු, ඔහුට ඔහුගේ සැබෑ ආත්මය අහිමි වීමට පටන් ගනු ඇත.

“ඇයි ඔබ මට උත්තර දෙන්නෙ නැත්තෙ? ඒක වචනයක් විතරයි. ඔබ කට ඇරියොත් මට ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන්.”

"මට එහෙම කෙනෙක් වෙන්න ඕන නෑ. මම ඒක කරන්න ගියත් මමම ඒක කරගන්නම්." 

“ඔබ කැමති මොන වගේ කෙනෙක් වෙන්නද? ඔබේ සතුට වෙනුවෙන් පළිගැනීමට හැකි වීම හොඳ නැද්ද? ඔබට අවශ්‍ය ඕනෑම අයෙකු මරා දමන්න පුලුවන්. ඊට අමතරව, මුලින්ම ඔබව පාවලා දුන්නේ ඔවුන්.ඔබ ඔවුන්ට කිසිවක් ණය නැහැ. ”

ෂෙන් ච්‍යාඕ හිස වැනුවේ ය.ඔහුගේ මුඛයේ කොනකින් නැවුම් රුධිරය වැගිරෙන්නට වූ අතර, ඔහුගේ මුහුණේ ඉරියව්ව එන්න එන්නම වේදනාකාරී බවකින් දිස් වන්නට විය.සාමාන්‍ය පුද්ගලයෙකුට එවැනි වධ හිංසාවලට තවදුරටත් ඔරොත්තු දිය නොහැකි වූ නමුත් ඔහු තම මුඛය විවර කළේ නැත.

ඇතැමෙක් මෙලොව ඇති අයහපත ගැන නොදැන අන්ධ ලෙස කරුණාව පුද කළ හ. අවසානයේදී අනෙක් අය පමණක් නොව තමන් ද එයට පැටලෙනු ඇත. තවත් සමහර අයට ලොව ඇති ද්වේෂසහගත බව දැකීමට හැකි වුවත්, තවමත් ඔවුන් සිය හදවත්වලින් විශ්වාසවන්තව, මෘදු ලෙස හා මෘදු හදවත් ඇතිව සිටිය හ.

එහෙත් මිනිසුන් උපත ලැබුවේ අයහපත් ස්වභාවයකිනි. එහෙයින් අසංඛ්‍යාත විපර්යාස, පසුබෑම් සහ ජීවිතයේ සියලු රළු සහ රස්තියාදුකාර මාර්ග අත්විඳ තිබියදීත්, තවමත් තම හෘදසාක්ෂිය රඳවා තබාගැනීමට සමත් කෙනෙකු සිටියේද?

නිහඬ සිනහවක් පෑ යැන් වුෂි ෂෙන් ච්‍යාඕගේ මුව කොනක තිබූ රුධිර පැල්ලම් පිස දැමුවේ ය.පසුව, ෂෙන් ච්‍යාඕගේ දෑත් යටින් දෑත් යවා ඔහුව තම දෑතින් ඔසවාගත් යැන් වුෂි නගරය දෙසට ගමන් කළේ ය.


කතුවරයාගෙන් කෙටි රඟහල:

ෂෙන් ච්‍යාඕ නිතරම ලේ වමනය කරනවා, එයින් ඔබට හොඳක් දැනෙනවාද? →_→

වැඩිහිටි යැන්: ඉතා හොඳයි.

ෂෙන් ච්‍යාඕ: (මැරෙමින් සිටි) ඔහුගේ අත ඔසවා: මට සනීපයක් දැනෙන්නේ නැහැ….

පරිවර්තකගේ සටහන්:

[1]  මේ සියල්ල ශරීරයේ ඇති නිල ස්ථාන වන අතර එය කෙනෙකුගේ ශරීරය තුළ ඇති මාර්ගය පෙන්නුම් කරයි.

[2]  මෙම වාක්‍යය පැමිණියේ දාඕවාදී ශුද්ධ ලියවිල්ල වන Daodejing වෙතින් ය. එය දාඕවාදයේ මූලික දර්ශනයයි.දාඕ (මාර්ගය) එකකින් (කිසිවක් නැතිකම), එක් අයෙකුගෙන් දෙදෙනෙකු (යින් සහ යැං), දෙදෙනෙකුගෙන් තුනක්(අහස, පෘථිවිය සහ මිනිසා), තිදෙනාගෙන් සියලු දේ (මේ ලෝකයේ සෑම දෙයක්ම) බිහි කරයි.

[3] අසුර වශිය (Devilish Charm/魔音摄心):  මෝහනය කිරීමට සහ ඔවුන් පවසන දේ කිරීමට අන් අයව පොළඹවා ගැනීම සඳහා භූත නිකායන් තුන විසින් අභ්‍යන්තර චී ඔවුන්ගේ කටහඬට සම්බන්ධ කර පුහුණු කරන සටන් කලා කුසලතාවකි.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. කතාව එහෙනම් දැන් තමා පටන් ගන්නේ

    ReplyDelete
  2. හනේ yan Wushi ඇත්තටම නපුරු මිනිහෙක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-