Skip to main content

දහසයවන පරිච්ඡේදය | මම මගේ වචන අපතේ හැරිය යුත්තේ ඇයි?

යැන් වුෂිගේ පැමිණීමත් සමඟ ඔවුන්ට තවදුරටත් ආරක්ෂිත නිල ගමන් මාර්ග සොයමින් ගමන් කිරීමට අවශ්‍ය වූයේ නැත. කෙටි මාර්ගයක් භාවිතා කොට, චැන්'අන් හරහා ගමන් කළ යැන් වුෂි, කෙලින්ම ලුඕ ප්‍රාන්තයට ගොස්, එතැන් සිට යූ සහ සුයි ප්‍රාන්ත දෙසට ගමන් කළේ ය.

මුලදී බොහෝ දුර යාමට නියමිතව තිබුණු ගමන් මඟ මෙම මාර්ගය භාවිතා කිරීමෙන් පසු කෙටි වී ඇත. නමුත් මෙම ස්ථාන චී සහ ෂෝ අතර මායිමට ආසන්න බැවින්, ඒවා එතරම් සාමකාමී වූයේ නැත. පසුගිය වසර අවසානයේ ඇති වූ ව්‍යසනයන් නිසා, නියඟයෙන් පීඩාවට පත් වූ ඉඩම් සැතපුම් දහස් ගණනක් පුරා ව්‍යාප්ත වී තිබූ අතර, සෑම ස්ථානයක්ම සලාක ගබඩා වෙත දිව යන සරණාගතයින්ගෙන් පිරී පැවතුණි. යැන් වුෂිට මැදිරියක් සහිත ප්‍රවාහනයක අවශ්‍යතාවයක් නොවූ නිසා ඔහු එකක් කුලියට ගත්තේ ද නැත. 'ඔබට අනුගමනය කළ හැකියිනම්, ඔබ එය කළ යුතු ය. ඔබට නොහැකියි නම්, එහෙත් ඔබ තවමත් එය කළ යුතුය' යන ආකල්පයෙන් ඔහු තනිවම ඉදිරියට ගියේය.

ඔවුන් දින කිහිපයක් මෙලෙස ගමන් කළේ එක් අයෙක් පසුපස අනිකා ලෙසිනි. ෂියැන් ප්‍රාන්තයේ අගනුවරට ඇතුළු වීමට සූදානම් වූ ඔවුන්ට නගරයෙන් පිටත රැස් වී සිටි තවත් සරණාගතයින් පිරිසක් හමු විය.

මේ අය මුලින් ගුආං ප්‍රාන්තයේ සිටි අයයි. සාගතය හේතුවෙන් ඔවුන්ට සිදු වූයේ සැතපුම් දහස් ගණනක් ඇවිද වඩා ධනවත් නගරයක් ලෙස පැවති මෙම ෂියැන් ප්‍රාන්තයට පැමිණීමටයි. කෙසේ වෙතත්, මෙහි සිටින ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරියා ඔවුන් සඳහා නගර දොරටුව විවෘත කිරීම ප්‍රතික්ෂේප කළේ ය. එපමණක් නොව, එක් සරණාගතයෙකුටවත් නගරයට ඇතුළු වීමට ඉඩක් නැති වන පරිදි දැඩි  ආරක්‍ෂාවක් යොදන ලෙස සොල්දාදුවන්ට පවා නියෝග කළේ ය.

සරණාගතයින්ට ඊළඟ ස්ථානය වෙත ගොස් ඔවුන්ගේ වාසනාව උරගා බැලීමට තරම් ශක්තියක් තිබුණේ නැත. එබැවින් ඔවුන්ට එම ස්ථානයේම පදිංචි වීමට සිදු විය. සරලවම පැවසුවහොත් ඔවුන්ගේ මන්දගාමී මරණය එන තෙක් බලා සිටීමට ඔවුන් හට සිදු විය.

ප්‍රාදේශීය පාලන අධිකාරියේ ඉදිරි දර්ශනය අනුව, නගරයක ආහාර ප්‍රමාණය සීමිත බැවින් ෂියැන් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරියා එසේ කිරීමට හේතුව පිළිබඳව මුලුමනින්ම තේරුම් ගත හැකි ය. ඔහු සරණාගතයින්ට ඇතුල් වීමට ඉඩ දුන්නහොත්, ඔවුන් පදිංචි කිරීමට වගකිව යුතු වන්නේද ඔහුම ය. නමුත් මේ අය සිටිය යුතුව තිබුණේ වෙනත් කලාපවල බල සීමාවට යටත්ව ය. එලෙස කළහොත්, එය ඔහුගේම ෂියැන් ප්‍රාන්තයට එකතු කරන තවත් එක් පීඩනයක් වනු ඇත. ෂියැන් ප්‍රාන්තයට තවදුරටත් ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වූ දිනක ප්‍රදේශවාසීන් ද මෙයට සම්බන්ධ වනු ඇත. වර්තමාන චී අධිරාජ්‍යයා වන ගාඕ වෙයි, ජාතික කටයුතු කළමනාකරණය කිරීමේ මනෝභාවයකින් සිටියේ නැත. ඔහු, හුදෙක් විනෝදය සඳහා කාර්යයබහුල වූවෙකි. අධිරාජ්‍යය අධිකරණය විසින් වෙන් කරන ලද ආහාර එහි ගමනාන්තයට ළඟා වීමටත් පෙර, සූරාකෑමේ ස්ථර හරහා අවසන් වනු ඇත.

ෂියැන් ප්‍රාන්තය පිහිටා තිබුණේ ෂුඅන්දූ කන්දට ඉතා ආසන්නව ය. යමෙක් මෙම ස්ථානයේ සිට තවත් දින කිහිපයක් නිරිත දෙසට ගමන් කරන්නේ නම්, ඔවුන්ට මියන් ප්‍රාන්තයට යාබදව පිහිටි ෂුඅන්දු කන්ද වෙත ළඟා විය හැක.

ෂුඅන්දු කන්දට සමීප වන තරමට, යැන් වුෂිගේ මනෝභාවය වඩ වඩාත් හොඳ වන බවක් පෙනෙන්නට තිබුණි.

දේශීය දර්ශන සහ සංස්කෘතීන් පෙන්වා දීමට තරමක් උනන්දු වූ ඔහු ෂෙන් ච්‍යාඕට තමන් සමඟ ඇවිදීමට හැකි වන තුරු බලා සිටීමට ඔහුගේ වේගය පවා අඩු කළේය. බැලු බැල්මට ඔවුන්ගේ සම්බන්ධය ගැන නොදැන සිටි අය සිතන්නට ඇත්තේ ඔවුන් එකට ගමන් කරන පැරණි මිතුරන් යුවළක් ලෙසිනි.

ඔහු ෂෙන් ච්‍යාඕට පැවසුවේ, “යුද්ධය පැවතුණු වූ කාලයේදී, ෂියැන් ප්‍රාන්තය 'චු' රාජ්‍යයට අයිති වුණ නිසා, එහේ සංස්කෘතිය චු රාජ්‍යයේ සංස්කෘතිකයට බොහෝ සමානයි. මේ ස්ථානය ජනාකීර්ණ හා ධනවත් ඉඩමක් ලෙස භාවිතයට හැකි වුණත් අවාසනාවකට, ගාඕ වෙයි ඒක ක්‍රියාත්මක කරන්න තරම් මනෝභාවයකින් සිටියේ නැහැ. ගාඕ පවුලේ පරම්පරා කිහිපයක සූක්ෂ්ම සත්කාර, ඔහු නිසා බොහෝදුරට අඩුවේවි."

යැන් වුෂි පැහැදිලිවම චී අධිරාජ්‍යයාට කිසිදු ගෞරවයක් දැක්වූයේ නැත. ඔහු කතාව ආරම්භ කළ මොහොතේම ඔහුගේ නම ඝෘජුවම කියා දැම්මේ ය.

ෂෙන් ච්‍යාඕ දෑස් පියා ගත්තේය. නොපැහැදිලි ලෙස නගරයෙන් පිටත රැස්වී සිටි මිනිසුන් රාශිය දැකීමට ඔහුට හැකි විය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වැඩිහිටියන්, ළමයින් සහ කාන්තාවන් ය. වාසනාවකට මෙන්, කාලගුණය තවමත් බොහෝ සේ උණුසුම් නොවිණි. එසේ නොවුනානම්, විශාල වසංගතයක් වුවද ඇති විය හැකිය. සිය හිස තරමක් දෙපසට සොලවමින් සිටි ඔහු “ගොවියෙකුගේ ජීවිතය බොහෝ දුෂ්කරයි!” යැයි සුසුම්ලමින් සිටියේ ය.

යැන් වුෂි උදාසීන ලෙස අදහස් දක්වමින්, “ඇත්තෙන්ම, මෙවැනි දර්ශන වෙනත් රටවල්වලින් පවා සොයාගැනීමට හැකියි. බටහිර ජින් රාජවංශ පාලන සමයේ අවසාන කාලයේ, ම්ලේච්ඡයන් පස්දෙනාගේ නැගිටීමෙන් පසු, සියලුම පාර්ශවයන් බල අරගලවල නියැලුණා. ගණන් කළ නොහැකි තරම් ලේ වැගිරීම් සහ ජීවිත හානි සිදු වුණා. මේ ආකාරයේ සාගතයක් සෑම වසරකම ඇති වෙනවා. විශේෂයෙන් දේශසීමා අවට. වගකීමෙන් වැළකී සිටීමට සහ පීඩනය වෙනතකට යොමු කිරීමට, එක් එක් රටවල් විසින් එම සරණාගතයින්ව වෙනත් රටවලට තල්ලු කිරීමට තරමක් උත්සාහ කරනවා. සමෘද්ධිමත් වසරක් පැමිණි විට, ඔවුන් යුද්ධ ප්‍රකාශ කර අසල්වැසි රටවල්වල නගර ඈඳා ගන්නවා. නිතරම රටවල් තුළ කැරලි සිදු වෙනවා. දේශපාලන බලවතුන් පහසුවෙන් මාරු වෙනවා. රටේ නිල නාමය පවා වෙනස් වෙනවා.[1] සෑම වසර කිහිපයකට ම වරක් මෙය සිදු වෙනවා. ඇත්තෙන්ම, කිසිම අයෙක් රටක් පාලනය කිරීමට තමන්ගේම හැඟීම් යොදන්නේ නැහැ. උතුරු චීවල මේ තත්වය අනෙක් අයටත් වඩා බෙහෙවින් වැඩි යි."

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දෙමින්, “නමුත් නිකාය නායක යැන් උතුරු ෂෝවල යම් ආකාරයක උසස් නිලයක් දරන බවත්, ඔවුන්ගේ අධිරාජ්‍යයා ඔබ කෙරෙහි විශ්වාසයකින් සිටින බවත් මට ආරංචි වුණා. මම හිතන්නේ, උතුරු ෂෝ විසින් ලෝකය එක්සත් කිරීමට වැඩි ඉඩක් ඇති බව ඔබ සිතනවා ඇති?"

තම දෑත් පිටුපසට බැඳගෙන සිටි යැන් වුෂි සෙමෙන් පැවසුවේ “අධිරාජ්‍යවරුන් අතරින් නුවණැත්තන්ව හෝ අදක්ෂයන්ව තෝරා ගැනීමට හැකි බොහෝ වෙනස්කම් නැහැ. එකම වෙනස වෙන්නේ සමහරුන්ට තමන්ගේ ආශාවන් පාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා සහ අනෙක් අයට අවශ්‍ය නොවීම හෝ නොහැකි වීමයි. යුවන් යොන්ග් යුද්ධයට සහ මිනීමැරීමට ඇබ්බැහි වූවෙකු වුණ නිසා, ඔහු බුදුදහම සහ දාඕවාදය යන දෙකම තහනම් කළා. කොන්ෆියුසියස්වාදයටත් කැමති නැහැ. ඔහු කිසිදු පාර්ශවයකට නැඹුරු නැහැ. ඒ නිසා ඔහුට බොහෝ තේරීම් නැහැ. තුන් නිකාය එක්සේසත් කිරීමට මට එතුමාගේ උදව් අවශ්‍යයි. යුවන් පවුල වසර ගණනාවක් තිස්සේම මධ්‍යම තැනිතලාවේයි පදිංචි වී සිටින්නේ. ඔවුන්ගේ මුතුන් මිත්තන් ෂියන්බෙයි ජනතාව වුනත්, ඔවුන්ව බොහෝ කලකට පෙර පිටුවහල් කළා. ෂෝ රාජවංශයේ සියලුම පද්ධති හන් පද්ධති වලට සමානයි[2].  අධිරාජ්‍යයෙක් ආකාරයට සිතනවා නම්, ඔහු දකුණු චෙන්වල සිටි අධිරාජ්‍යයාට වඩා පහත් කෙනෙක් නොවේ."

මෙතරම් දිනක් ගත වූ පසු, ෂෙන් ච්‍යාඕට අඩු වැඩි වශයෙන් මේ ලෝකයේ බලතල පිළිබඳව යම් ආකාරයක සාමාන්‍ය අවබෝධයක් ලැබුණි.

එදින රාත්‍රියේ මේඝ අරණ ආරාමයේදී යැන් වුෂිව නැවැත්වීමට උත්සාහ කළ සෙන් නායක ෂුඑටිං ද උතුරු ෂෝවල ආධාරකරුවෙකි. නමුත් වත්මන් අධිරාජ්‍යයා වන යුවන් යොන්ග් වෙනුවට ඔහු සහය දැක්වූයේ කලින් වැඩ බලන අධිරාජ්‍යයාව සිටි යුවන් හූට ය.

සෙන් නායක ෂුඑටිං වරක් තියන්තායි නිකායේ ගෝලයෙක් ලෙස ද සිටියේ ය. ඔහු තියන්තායි නිකායේ වත්මන් නිකාය භාර ෆායිගේ සටන් සහෝදරයා ය. කෙසේ වෙතත්, තියන්තායි නිකායේ මුල් ස්ථාවරය වැඩි වශයෙන් නැඹුරු වූයේ දකුණු චෙන් දෙසට ය. මෙම කාරණය තියන්තායි නිකායේ අභ්‍යන්තර කැළඹීමට හේතු වූ අතර ඒ පිළිබඳව කතා කිරීම තවත් දිගු කතාවකට තුඩු දෙනු ඇත.

යුවන් යොන්ග් බලය නැවත ලබා ගැනීමෙන් පසු ප්‍රථමයෙන්ම කළේ, යුවන් හූගේ බලපෑමේ ශේෂයන් ඉවත් කිරීම සඳහා, බෞද්ධ පාසල්වලට ලබා දී තිබූ වැදගත් ස්ථානය අහෝසි කිරීමයි. එබැවින් වර්තමානයේදී, ෂුඑටිං සහ ඔහුගේ ගෝලයන් උතුරු ෂෝවල සිටියේ තරමක් අසීරු තත්වයක ය. ඔවුන්ට ඔවුන්ගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම නැති වී ගියේ නැති නමුත් යුවන් යොන්ග් සිංහාසනයේ සිටින තාක් කල්, සෙන් නායක ෂුඑටිං හට ඔහුගේ අතීත ගෞරවය නැවත ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට සක්සුදක් සේ පැහැදිලි ය.

පාසල් තුනෙන්ම යුවන් යොන්ග් වෙත ඔවුන්ගේම ඉල්ලීම් ලැබුණි. ඔවුන් සමඟ සම්බන්ධ වුවහොත්, ඔහුගේ පරිපාලනය අනිවාර්යයෙන්ම එක් පාසලක වර්ණය ගෙන එනු ඇති බවට නිසැක ය. මෙය දැඩි ස්වයං පාලනයක් ඇති අධිරාජ්‍යයෙකු වූ ඔහු දැකීමට පිළිකුල් කළ දෙයකි. පවිත්‍ර චන්ද්‍ර නිකායට ද ඔවුන්ගේම අරමුණක් තිබුණත්, සංසදනාත්මකව අනෙක් නිකායන්වල අරමුණු සමඟ ගත් කළ, ඔවුන්ගේ අරමුණ පැහැදිලිවම අනෙක් අයට වඩා හොඳ විය. ඔවුන් යුවන් යොන්ග්ගෙන් යම් පාසලක ඉගැන්වීමක් ප්‍රවර්ධනය කිරීමට හෝ ඔහුගේ සිතීමේ ක්‍රමයට බලපෑම් කිරීමට බලපෑමක් කළේ නැත. එබැවින් ඔහු ඔවුන් වෙත තම අවධානය යොමු කළේ ය.

කතාවේ නියැළෙන අතරම ඔවුන් දෙදෙනා නගර දොරටුව දෙසට ගමන් කළහ.

මෙවන් ප්‍රදේශවල ඇවිදින සාමාන්‍ය මිනිසුන්ට හෝ සංචාරක වෙළෙන්දන්ට සරණාගතයින්ගෙන් සිදුවන හිරිහැරවලින් ආරක්ෂා වීම සඳහා, එකට එක් වී ගමන් කිරීමට සගයන් සොයා ගැනීමට සිදු වීම, සුලබ වශයෙන් සිදු වන්නකි. කණ්ඩායම සමඟ පිරිමි ආරක්ෂකයෙකු සිටීම හොඳම දෙය වනු ඇත. මන්ද, අතිශය කුසගින්නෙන් පෙළෙන සරණාගතයින්ට කොල්ලකරුවන් බවට පත්වීමේ හැකියාව තිබුණි. හිඟාකෑමෙන් පලක් නැති බව වැටහුණු විට ඔවුන් කොල්ලකෑමට පටන් ගනී. බොහෝ විට මංමුලා සහගත අවස්ථාවන්වලදී, හොඳ පෙනුමක් ඇති කාන්තාවක් හෝ දරුවෙකු සරණාගතයින් අතට පත් වුවහොත්, ඔවුන්ගේ නිර්මලකම නැති වී යනවා පමණක් නොව, මස් ඉස්ටුවක් ලෙස භාජනවල පවා අවසන් විය හැකි ය.

එවන් තත්වයක් යටතේ, යැන් වුෂි සහ ෂෙන් ච්‍යාඕ තරමක් සුවිශේෂී සහ කැපී පෙනෙන සංයෝජනයක් බවට පත් විය.

ඔවුන්ගෙන් එක් අයෙක් හිස් අතින් සිටියේ ය. අනෙකා උණ සැරයටියකින් තමාටම සහය දක්වමින් සිටි අතර දරුණු රෝගාබාධයකින් පෙළී තවමත් සුව වී නැති බවක් ද ඔහු වෙතින් දිස් විය. කුමන ආකාරයකින් බැලුවත් ඔවුන් හට සාමාන්‍ය සංචාරකයින් මෙන් පෙනුමක් තිබුණේ නැත.

දෙපස සිටි සරණාගතයන් විටින් විට ඔවුන් දෙස බලා සිටියේ ආශාවෙන් පිරි දෑස්වලිනි. යැන් වුෂි සුළුවෙන් තැකිය යුතු කෙනෙක් නොවන බව බැලූ බැල්මට කෙනෙකුට කිව හැකිය. එනිසා යම් අනුග්‍රහයක් ලැබීමට ඔහු වෙත යාමට නිර්භීත නොවූ සරණාගතයන්, ඉන් පසු උත්සාහ කළේ මෘදු හා සැහැල්ලු ලෙස හැසිරෙන ෂෙන් ච්‍යාඕ වෙත යාමට ය.

ඔවුන් අතර සැමියෙක් සහ බිරිඳක්, දරුවන් තුන් හතර දෙනෙකු ද ඇදගෙන පාර දිගේ ගමන් කරමින් සිටිය හ. ප්‍රායෝගිකව ගතහොත් ඔවුන්ගේ සිරුරේ අස්ථි මිස අන් කිසිවක් නොවූ අතර, ඔවුන් තවමත් මිනිසුන් දැයි පැවසීමටවත් කිසිවෙකුට නොහැකි වනු ඇත. බොහෝ දුරට ඔවුන්ව පෙණුනේ රූකඩ හෝ පිල්ලි මෙන් ය. ඔවුන්ගේ ප්‍රකාශන පවා මිය ගිය පිරිසකගේ මෙන් විය. වැඩිමහල් දරුවාට වයස අවුරුදු හයක් හෝ හතක් වන්නට ඇති අතර බාලයා උපරිම වශයෙන් අවුරුදු දෙක තුනක වන්නට ඇත. ඇය වෙව්ලමින් සිටි නමුත් ඇගේ දෙමාපියන්ට ඇයව රැගෙන යාමට තරම් ශක්තියක් නොවීය. එහෙයින් ඇය තම මවගේ ඇඳුමේ කොනක් අල්ලාගෙන ඇය පසුපසින් යමින් සිටියේ වෙව්ලමින් ය.

තත්වය මේ ආකාරයෙන්ම පැවතුනහොත් අවසානයේ තම දෙමාපියන්ගේ ආහාර අවශ්‍යතාව සඳහා වෙනත් පවුල්වලට වෙළෙඳාම් කරන පළමු දරුවා වන්නේ බාල දරුවාය. එසේත් නැතිනම් සමහර විට ඇයව ඇගේ දෙමාපියන් විසින්ම පිසගෙන අනුභව කරනු ඇත. යුධ සමයේ ජීවත් වන මිනිසුන්ට, වඩාත් මංමුලා සහගත තත්වයන් ඇති වූ අවස්ථාවලදී, පැවැත්ම සඳහා ලේ සබඳතා සහ පවුල් ආදරය පවා පසෙකට දැමිය හැකිය.

තමන්ව පසුකර යන ෂෙන් ච්‍යාඕව දුටු යුවළ වහාම දණින් වැටුණු අතර ආහාර ස්වල්පයක් වෙනුවෙන් යදින්නට විය. මොහොතක් කල්පනා කළ ෂෙන් ච්‍යාඕ, පසුව ඔහුගේ වස්ත්‍රයේ කර පටි තුළට අත දමා ළය පෙදෙසේ රඳවාගෙන ගෙන යමින් සිටි තෙල් කඩදාසියක ඔතා තිබූ පෑන්කේක් පිටතට ගෙන  බාල දරුවාට දුන්නේ ය.

එම යුවළ උද්දාමයට පත් වූහ. ඔවුහු නැවත නැවතත් ඔහුට තුති පුද කරන්නට වූහ. සැමියා විසින් ළමයාගේ අතේ රැඳි පෑන්කේක් උදුරාගත් අතර එසැණින් පෑන් කේක් විශාල ප්‍රමාණයක් මුවට ඔබා ගත්තේ ය. තම බිරිඳ සහ දරුවන් සියල්ලෝම තමන් දෙස උනන්දුවෙන් බලා සිටිනු දුටු ඔහු බොහෝ වේලාවක් දෙගිඩියාවෙන් සිටි අතර, පසුව අවසානයේ කුඩා කැබැල්ලක් කඩා බිරිඳට දුන්නේ අකමැත්තෙනි.

පෑන්කේක් කැබැල්ල අතට ගත්තත් බිරිඳ එය කෑවේ නැත. ඇය යම් නිධානයක් අතැතිව සිටියාක් මෙන්, ඉතා පරිස්සමින් හා ප්‍රවේශමෙන් එය කැබලි කිහිපයකට කඩා දැමුවේ තම දරුවන් වෙත එය ලබා දීම සඳහා ය.

පෑන්කේක් විශාල දෙයක් නොවූවත් එය මුවවල් කිහිපයක් පෝෂණය කිරීමට සමත් විය. එය දුටු අනෙක් සරණාගතයන් ද ඒ සඳහා ඊර්ෂ්‍යාවෙන් බලා සිටිය හ. ඔවුන් සියල්ලෝම ලෝභයෙන් මත් වූ දෑස්වලින් ෂෙන් ච්‍යාඕ දෙස බැලූ හ.

ස්වාමිපුරුෂයා ෂෙන් ච්‍යාඕගෙන් යළිත් වරක් අයැද සිටියේ, “දරුවන් බොහෝ දිනක සිට කුසගින්නෙන් පෙළෙනවා. පින්වත් මහත්මයාණෙනි, අපට තවත් කේක් එකක් දෙන්න. එතකොට ඔවුන්ව නගරයට රැගෙන යාමට හැකි වේවි!”

නමුත් ෂෙන් ච්‍යාඕ පැවසුවේ, “මමත් පොහොසත් අයෙක් නොවේ. මම රැගෙන ආවේ දෙදෙනකු සඳහා පමණයි. ඔබට එකක් ලබා දුන් නිසා  මා වෙනුවෙන් තිබෙන්නේත් එකක් පමණයි.”

ෂෙන් ච්‍යාඕ සතුව තවත් කෑම ඇති බව දැනගත් සැමියාගේ ඉරියව්ව එක්වරම වෙනස් විය. ෂෙන් ච්‍යාඕගේ දෑස්වල ආලෝකයක් නැති බවත්, උණ ලීයකින් තමාට සහය වන බවත් දුටු සැමියාගේ සිත නපුරු සිතුවිල්ලකින් වෙළී ගියේය. ඔහු ෂෙන් ච්‍යාඕ වෙතට කඩා පැන්නේ ය.

නමුත් අනෙක් පුද්ගලයාගේ වස්ත්‍රය ස්පර්ශ කිරීමටත් පෙරාතුව ඔහුට ප්‍රතිවිරුද්ධ දිශාවට පියාසර කිරීමට සිදු වනු ඇති බව කවුද සිතන්නේ..? ප්‍රහාරයෙන් පීඩා විඳි ඔහු දුක්ඛිත කෑගැසීමක් පිට කරමින් දැඩි ලෙස බිම ඇද වැටුණේ ය.

ෂෙන් ච්‍යාඕ සම්බන්ධයෙන් ගත් කල, ඔහු තවමත් පෙර මෙන් ම සම්පූර්ණයෙන්ම අසනීප සහ දුර්වල ලෙස සිටගෙන සිටියේ ය. ඔහු විසින් යමෙකු පියාසර කරවනු ඇති බව කිසිම කෙනෙකුට කිසිසේත්ම පැවසීමට නොහැකි වනු ඇත.

ඔහුගේ ක්ෂණික පරාර්ථකාමීත්වය එවැනි ප්‍රතිපලයකට තුඩු දෙනු ඇතැයි ඔහු කිසි විටෙකත් අපේක්ෂා කළේ නැත. ඔහු මිනිසාගේ බිරිඳ සහ දරුවන් දෙස බැලීය. ඔවුන් ඒ වන විටත් බියෙන් සිටි අතර එක පොදියට ගුලි වී සිටියහ.

මෙම දර්ශනය දැකීමෙන් පසු, අනෙක් නොසන්සුන් සරණාගතයින් ද එතරම් හදිසි ලෙස ක්‍රියා කිරීමට එඩිතර වූයේ නැත.

මිනිසා අමාරුවෙන් නැගී සිටියේ ය. නමුත් ඔහු දයාව ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට ශාප කළේය: “ඔබට මාව මරා දැමිය හැකි නම්, එය සිදු කරන්න! ඔබලා වගේ අය තමයි කුහකම මිනිස්සු. ඔබට අවශ්‍ය අපගේ පින් ලබාගෙන අපගේ කෘතවේදීත්වය හුවමාරු කර ගැනීමට. එහෙම නේද? එසේනම් ඔබ අපව අවසානය දක්වාම බේරා නොගන්නේ මන්ද?  ඔබ සතුව තවත් කේක් එකක් තිබෙනවානම්, ඇයි ඔබ එය පිටතට නොගන්නේ?! ඔබට එය අවශ්‍ය නැතිනම් ආරම්භයේදීම නොදී සිටිය යුතුයි! අපට මිහිරි දේවල් රස විඳීමට ඉඩ හැර අපගේ කුසගින්න නිවා නොදැමීම සහ අපව මරා දැමීම අතර වෙනස කුමක්ද?! ”

සුසුමක් හෙලූ ෂෙන් ච්‍යාඕ කිසිවක් නොකියා ආපසු හැරී පිටව ගියේය.

මෙම කාලය පුරාම යැන් වුෂි තමාට, වැඩි දුරක් හෝ සමීප නොවූ ස්ථානයක සිටගෙන සිටියේ, සීතල දෑසින් ඔහුගේ දෑත් පිටුපසට බැඳගෙනය. ඔහු බාධා කළේ හෝ පිටව ගියේ නැත. යන්තම් සිනහවක් මුසු මුහුණකින් ඔහු සිටගෙන සිටියේ ෂෙන් ච්‍යාඕ එනතුරු බලා සිටියාක් මෙනි.

ෂෙන් ච්‍යාඕ ප්‍රදර්ශනය කළ දක්ෂතාවය නිසා, ඔහු අසළ ආහාර ඇති බව අනෙක් අය ද දැන සිටියත්, ඔවුන්ට ද හැකි වූයේ ඔහු පිටව යන ආකාරය දෙස අසරණව බලා සිටීම පමණි.

ඔහු සමීපයට එන තෙක් බලා සිටි යැන් වුෂි, “ 'බත් කෝප්පයක් කරුණාවට හේතු වේ. නමුත් බත් පිඟානක් සතුරුකමට හේතු වේ.' [3]  ඔබ මීට පෙර මෙම කියමන අසා තිබෙනවද? "

ෂෙන් ච්‍යාඕ සුසුම්ලමින්, “මම නොසැලකිලිමත් වුණා. දුක් විඳින මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සිටිනවා. ඒ සියල්ලන්වම තනිවම බේරාගැනීමට මට හැකියාවක් නැහැ.”

යැන් වුෂි උපහාසාත්මකව පැවසුවේ, “ඔවුන්ගේ පියා පවා තම දරුවන්ගේ ජීවිත ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ, ඔවුන්ව රැකබලා ගැනීමට උදව්වට ගියා. නිකාය නායක ෂෙන්ට 'මහා ආදරය' ඇති හදවතක් තිබෙන බව නිසැකයි[4]. නමුත් අවාසනාවකට, මිනිස් ස්වභාවය සහ ආශාවන්, කිසිදා පිරවිය නොහැකි පතුලක් නැති වළක් වගේ. ඔහු ඔබේ කරුණාව කවදාවත් තේරුම් ගන්නේ නැහැ. අද ඔබට ඔබව ආරක්ෂා කර ගන්න නොහැකි වූණා නම්, ඔබ දැනටමත් ඔවුන්ගේ මස් ඉස්ටුවක් වෙලා හිඳින්න තිබුණා.”

ෂෙන් ච්‍යාඕ ඒ ගැන බැරෑරුම් ලෙස සිතුවේ ය: “මට අද මාව ආරක්ෂා කර ගැනීමට නොහැකි වූණා නම්, නිසැකවම මම මේ මාර්ගය තෝරා ගන්නේ නැහැ. සරණාගතයින් ගැවසෙන ස්ථාන මඟ හැරීමට මම වංගුවක් ගෙන වෙනත් මාර්ගයකින් ගමන් කරනවා. වාසි සෙවීම සහ අවාසි වළක්වා ගැනීම මිනිස් ස්වභාවයයි.මම සාන්තුවරයෙක් නොවේ.  ඒ නිසා මම ව්‍යතිරේකයක් නොවේ. මම එය කළේ මිනිසුන් දුක් විඳිනවා දැකීමට මම අකමැති නිසා පමණයි.”

ඔහු යහපත් දේ තෝරාගෙන එහි දැඩි සේ එළ්බීගෙන සිටි අතර අනෙක් අතට යැන් වුෂි විශ්වාස කළේ මිනිසුන් සහජයෙන්ම නපුරු කොටසක් බවයි. ඔවුන්ගේ විශ්වාසයන් ගමනට වඩා වෙනස් වූ බැවින් ඔවුන්ට එකඟතාවයකට පැමිණිය නොහැකි විය. සටන් ශක්තිය අනුව යැන් වුෂිට, ෂෙන් ච්‍යාඕව මරා දැමිය හැකිව තිබූ බව සැබෑ නමුත් ඔහු ෂෙන් ච්‍යාඕගේ ගෙලෙන් අල්ලාගෙන පැවසුවත් ඔහුට ෂෙන් ච්‍යාඕගේ සිතීමේ රටාව වෙනස් කළ නොහැකි විය.

මෙම කුඩා සංවාදයත් සමඟින් ඔවුන් අතර නිශ්ශබ්දව තිබූ නොසන්සුන්කාරී වාතාවරණය දැන් සම්පූර්ණයෙන්ම ආපසු පහව ගොස් තිබුණි.

"මහත්මයා!"

පිටුපසින් කුඩා දුර්වල කටහඬක් ඇසුණි.

ෂෙන් ච්‍යාඕ හැරී බැලූ නමුත් ඔහු දුටුවේ අපැහැදිලි රුවකි. එය කුඩා හා මිටි විය. බොහෝ විට එය දරුවෙකුගේ රූවක් විය යුතු ය.

දරුවා දුවගෙන පැමිණ ඔහු ඉදිරියේ දණින් වැටී, තුන් වතාවක්ම ආචාර කොට උනන්දුවෙන් පැවසුවේ, “මහත්මයා, අපට කේක් ලබා දීම ගැන ඔබට බොහෝම ස්තූතියි. තාත්තා ඔබට අකාරුණික වුණත් මට..., මට ඔබට දිය හැක්කේ ආචාරයක් පමණයි! ඔබ වැනි උතුම් පුද්ගලයෙක් පරිත්‍යාගශීලීයි. කරුණාකර ඔහුගේ ක්‍රියාවන් ගැන සිතන්න එපා!”

ඔහු දරුවෙකු සමඟ ඒ ගැන කරදර වන්නේ කෙසේද? සුසුමක් හෙලූ ෂෙන් ච්‍යාඕ, පසුව ඔහුට උදව් කිරීම සඳහා ඉදිරියට ගියේය. “මම එය සිතට ගත්තේ නැහැ. තව ස්වල්ප දිනකින් බුදුන්ගේ ජන්ම දිනය එන බව මට ආරංචි වුණා. ෂියැන් ප්‍රාන්තයේ අගනුවර ජනතාව බුදුන් වඳිනවා. එවිට, ඔවුන් කැඳ ලබාදෙන්ක පුණ්‍යාගාර පිහිටුවලා, යම් සරණාගතයන් පිරිසක් නගරයට ඇතුළු කරාවි. ඔබට දිවි ගලවා ගැනීමට තවමත් සුළු අවස්ථාවක් තිබෙනවා."

දරුවාගේ දෑස් දීප්තිමත් විය. ඔහු නැවත නැවතත් කෑගැසුවේය, “මට එය පැවසීම පිළිබඳව ස්තුතියි මහත්මයා. අනාගතයේදී අවස්ථාවක් පැමිණියොත්, අනිවාර්යයෙන්ම මම ඔබට ආපසු ගෙවනවා. මම ඔබ වෙනුවෙන් දීර්ඝායුෂ ඵලකයක් [5] සකසනවා!”

ෂෙන් ච්‍යාඕ ඔහුගේ හිස මෘදු ලෙස පිරිමැද පිළිතුරු දුන්නේය, “ඒවා අවශ්‍ය නැහැ. ඔබ ඔබගේ මවවයි, නංගිලා මල්ලිලාවයි හොඳට බලාගන්න.”

දරුවා වේගයෙන් ඔලුව වැනුවේ ය. ඉන්පසු ඔහු රහසින් පැවසුවේ, “ඔබට මාව විශ්වාස කිරීමට පුලුවන්. ඇත්තෙන්ම මම අම්මා දීපු කේක් එක කෑවේ නෑ. මම එය හොරෙන් මගේ නංගිට දුන්නා!"

ඔහුට සවන් දුන් ෂෙන් ච්‍යාඕට දුකක් දැනුණු අතර පිරිමි ළමයා කෙතරම් කල්පනාකාරීද යන්න ගැන අභ්‍යන්තරව සුසුම්ලමින් සිටියේ ය. ඒ ගැන මදක් කල්පනා කළ ඔහු තවමත් ඔහුගේ වස්ත්‍රයේ ළය පෙදෙසේ රැඳී තිබූ අවසන් පෑන්කේක් එක පිටතට ගෙන එය පිරිමි ළමයාට දුන්නේය. “මෙය ගන්න.  තාත්තට දැනගන්න දෙන්න එපා”

දරුවා මන්දපෝෂණයෙන් හා කුසගින්නෙන් අසනීපව සිටි නමුත්, ඔහු හට ශක්තිය බිඳකුදු නැති නමුත්, ඔහු එය පිළිගැනීමට කැමති වූයේ නැත. අවසානයේ ෂෙන් ච්‍යාඕට සිදු වූයේ එය ඔහුගේ අතට බලෙන් ලබා දීමට ය. "ඔබ දිගටම ප්‍රතික්ෂේප කළොත්, අනෙක් අය එය දකීවි. එවිට තවත් කරදර ඇති වේවි."

අවසානයේදී එය පිලිගැනීම හැර වෙනත් විකල්පයක් දරුවාට තිබුනේ නැත. දණින් වැටී සිටි ඔහු නැවතත් ෂෙන් ච්‍යාඕට ආචාර කරමින්, "මහත්මයා, කරුණාකර මට ඔබගේ නම දැනගන්න පුලුවන්ද!"

"මගේ නම ෂෙන් ච්‍යාඕ."

"ෂෙන් ච්‍යාඕ..." දරුවා එය කිහිප වතාවක් නැවත නැවතත් කීවේය. ඔහු "ච්‍යාඕ" යන වචනය වෙනත් අර්ථයන් සහිත වෙනත් වචනයක් ලෙස වරදවා වටහාගෙන තිබුණි. නමුත් ෂෙන් ච්‍යාඕ ඔහුට විශේෂයෙන් අවධාරණය කළේ හෝ එය නිවැරදි කළේ නැත.

එක පියවරක් පාසා, කිහිප වතාවක්ම ආපසු හැරී බලමින් පිරිමි ළමයා පිටව ගියේ ය.

යැන් වුෂි; “ප්‍රමාද වෙනවා. අපි ඉක්මනින් නගරයට ඇතුළු වෙමු.”

යැන් වුෂි මෙවර ඔහුව උපහාසයට ලක් නොකිරීම ගැන ෂෙන් ච්‍යාඕ මදක් පුදුම විය. ඔහු සිනාසෙමින්, "ඔබට පැවසීමට කිසිවක් නැද්ද?"

යැන් වුෂි සීතලෙන් පිළිතුරු දුන්නේ, “සමහර පුද්ගලයන් මෝඩ දේවල් කිරීමට කැමතියි. මම කිව්වත් ඔබ අහන්නේ නැහැ. ඇයි එසේනම් මම මගේ වචන නාස්ති කරන්නේ?"

ෂෙන් ච්‍යාඕ ඔහුගේ නාසය පිරිමදිමින් සිනහවක් පෑ නමුත් වචනයකින්වත් අදහස් දැක්වූයේ නැත.

මෙලොව බොහෝ ද්වේෂයන් ඇති බව සැබෑවක් නමුත් ද්වේෂය ඇති පමණින් හොඳ සිත සහ කරුණාව ඇති බව ප්‍රතික්ෂේප කිරීමට ඔහුට අවශ්‍ය නොවී ය.

පුංචි කරුණාවක් සඳහා පෑන්කේක් වෙළඳාම් කිරීම පවා ඉතා වටින බව ඔහුට හැඟුණි.

පරිවර්තකගේ සටහන්:

[1] රටක නිල නාමය වෙනස් කිරීම: මෙයින් අදහස් වන්නේ රටේ පාලකත්වය වෙනස් වීමයි.

[2]  හන් පද්ධති(汉制 han zhi):  හන් යන්නෙන් අදහස් කරන්නේ එවකට "නීත්‍යානුකූල" චීන ජනතාව ලෙස සැලකෙන හන් රාජවංශයයි. හන් පද්ධති යනු හන් රාජවංශය විසින් භාවිතා කරන ලද විවිධ පද්ධති වේ.

[3]  'බත් කෝප්පයක් කරුණාවට හේතු වේ, නමුත් බත් පිඟානක් සතුරුකමට හේතු වේ.'/斗米恩升米仇:  එයින් අදහස් කරන්නේ ඔබ මිනිසුන්ට සුළු දෙයක් ලබා දුන්නොත්, ඔවුන් ස්තූතිවන්ත වූවත්, ඔබ ඔවුන්ට ඕනෑවට වඩා දුන්නොත් , ඔවුන් ඔබට ඊර්ෂ්‍යා සහ වෛර කරන බවයි.

[4] මහා ආදරය (大爱 da ai):  ලෝකයේ සෑම කෙනෙකුටම විශ්වීය ආදරයක්.

[5] දීර්ඝායු ඵලකයක් (长生牌位 changsheng paiwei) :  මේවා සාමාන්‍යයෙන් තැන්පත් කරනු ලබන්නේ මළවුන්ට නමස්කාර කිරීමට සහ සිහි කිරීමට ය. නමුත් මෙම වර්ගය පිහිටුවා ඇත්තේ ජීවත්ව සිටින පුද්ගලයෙකුට යාච්ඤා කිරීමට සහ ඔවුන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට ය.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය 

Comments

  1. ❤️❤️❤️❤️

    ReplyDelete
  2. තෑන්ක් යූ.... ❤️❤️අනේ ඉතිරි කොටසුත් ඉක්මනින් දෙන්නෝ....බලන් ඉන්නෝ දානකන්....

    ReplyDelete
  3. මම නම් බලාගෙන හිටිය මේ කතාව දෙනකම්. .. ❤ ලස්සනට ට්‍රාන්ස්ලේට් කරනවා. ...

    ReplyDelete
  4. ඒක මරු... ෂෙන් ච්‍යාවෝ යැන් වූෂීට ගැලපෙනම මනුස්සයා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-