Skip to main content

07.මගෙ ඩ්‍රයිවින් ගැන අහන්න එනවා.

 වරක් වෛද්‍යවරයෙකු වූ ෂිඒ චිංචෙං වහාම හදිසි තත්වය යටතේ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීය.ඔහු බායි ජිංගේ මැණික් කටුව ගසා දමමින් වයෝවෘද්ධ මිනිසා පරීක්ෂා කිරීමට බිමට නැමුනේය. 


සායනිකව,හෘදයාබාධයක් යනු ඉහළ මරණ අනුපාතයක් සහිත උග්‍ර ගණයේ කන්තුකවාහිනී රෝගයකි. වයෝවෘද්ධ පුදගලයන් තුළ පැනනැඟෙන හදිසි චිත්තවේගී පහරදීමක් මෙම රෝගී තත්ත්වය උග්‍ර වීම සඳහා බලපායි.


ගලායන සිදුවීම් දාමය පිළිබඳ බායි ජිං හරිහැටි වටහා නොගත්තා සේම තවමත් ඒ මහළු මිනිසාට බැණ වදිමින් ඇය කාර්‍යයබහුල විය.


ෂිඒ චිංචෙං වහාම ප්‍රතිකාර සඳහා තම කමිස අත් ඉහළට රෝල් කළේය.

"ඔතන හිටගෙන බලාගෙන ඉන්න එපා.මේ මනුස්සයාට හාර්ට් ඇටෑක් එකක්. ඉක්මනට ඇම්බියුලන්ස් එක්කට කතා කරන්න".

නිසොල්මන් වාතය හරහා ෂිඒ චිංචෙංගේ හඬ බායි ජිං මතට ඇඳ වැටුණි.


"මොන මඟුලක්ද ඔච්චර නහින්නේ හර්ට් ඇටෑක් එක්…..හාර්ට් ඇටෑක් එකක්".??


බායි ජිං ගොළු විය.


ඇගේ දිලිසෙන රත්තරන් ඇස් ආලේපනයට ඇගේ දෑසෙහි වූ තිගැස්ම වසා ගැනීමට නොහැකි විය. දැරිවියගේ මුහුණ ක්ෂණිකව මාරාන්තික ලෙස සුදුමැලි පැහැයට හැරිණි. කිසිවක් කරගැනීමට නොහැකි වූ තැන ඇයට හැකි වූයේ මුළා වූ පාත්තයෙකු මෙන් බලා සිටීම පමණකි.


"ඇයි? ඉමර්ජන්සි සර්විස් නම්බර් එක දන්නේ නැද්ද"?.


ඇතැම් විට ඇය එය දැන සිටියා විය හැක. නමුත් සිදුවීම් සිදුවූ කලබලය හමුවේ ඇගේ මනස හිස්වී තිබුණි.

"මොකක්ද? අහ් ඒක මොකක්ද"?.


"120".


"ඕහ්".


කදිම මිනිසෙකුගේ ජීවිතය අනතුරකට වැටෙමින් තත්වය මෙසේ කරණම් ගසනු ඇතැයි ඇය අපේක්ෂා නොකළාය.කඩිමුඩියේ ෂිඒ චිංචෙං ඇය වෙත විසික් කළ ජංගම දුරකතනය අල්ලා ගත් ඇය ඉක්මනින් හදිසි සේවා අංකය ඇමතුවාය.


"ආයුබෝවන්?110ද?අහ් නැහැ නැහැ, කට් කරන්න එපා. මට පොලීසියට කතා කරන්න ඕනි නැහැ. මං ඔයාලටයි ගත්තේ. මෙතන වයසක මනුස්සයෙක් ඉන්නවා එයාට කලන්තේ අල්ලලා. අහ් නෑ නෑ.. එයාට… එයාට හාර්ට් ඇටෑක් එකක්."


"හාර්ට් ඇටෑක් එකක්"!


"ඔව්.. ඔව්.. හාර්ට් ඇටෑක් එකක්".


ගොතගසමින් වචන ගළපා පිළිතුරු දුන් ඇය බරැති හුස්මක් පිට කළාය.කෙසේවෙතත් ෂිඒ චිංචෙං හා මහළු මිනිසා වෙත ළඟ වීමට ඇය තවමත් බිය විය.


ෂිඒ චිංචෙං මහළු මිනිසාගේ මුඛය හා නාසය වටා ඇති ස්‍රාවයන් පිස දමමින් හුස්ම ගැනීමට අපහසු නොවන පරිදි ප්‍රවේශමෙන් ඔහුව බිමින් හාන්සි කළේය. ඒ වන විටත් ෂිඒ චිංචෙංගේ තුහීන නළල හරහා දහදිය බිඳු ගලා බසිමින් තිබුණි.

ඔහු නැවතත් හිස ඔසවමින් බායි ජිං හට අමතන්නට විය.

"එන්න, උදව් කරන්න".


බායි ජිං එකෙනෙහිම එය ප්‍රතික්ෂේප කළේය.

"මට බැහැ. මේකා මහ ජරාවක්. ඔය මිනිහට ඒඩ්ස් හරි නැත්තම් වෙන බෝවෙන ලෙඩක් තිබ්බොත්. ඇරත් මගෙ ඇඳුම් ගොඩක් ගනන්.ඒවා ජරා කරගන්න බැහැ මට".


"මඟුලක් කියවන්න එපා.ඒඩ්ස් බෝවෙන්නේ නැහැ.තමුන්ගෙ ඔය මඟල් ඇඳුමද වටින්නේ නැත්තම් මනුස්සයෙක්ගේ ජීවිතයද? ඇවිත් මට උදව් කරන්න".

ෂිඒ චිංචෙංගේ හිම සුදු කම්මුල් හරහා කෝපයේ ගැලුම් වාන් දමන්නට විය.


"මට බැහැ. ඔයා හදන්නේ මාව බ්ලැක්මේල් කරන්නද? මට මේ ඇඳුම ගන්න කොච්චර මහන්සි වෙන්න උනාද කියලා ඔයා දන්නවද? මං කොච්චර කට්ටක් කෑවද කියලා ඔයා හිතලා බැලුවද? අනික ඔය රඟපෑමත් ඔය මනුස්සයාගේ මොකක් හරි මගෝඩි වැඩක් වෙන්න ඇති.ඒක කොහොමත් මගේ වැරැද්දක් නෙමෙයි. මම..".


මහළු මිනිසා කෙඳිරියක් සමඟින් තවත් පෙණ කටක් පිට කළේය.

බායි ජිංගේ උඟුර හරහා දඬු අඩුවක් හිර කරන්නාක් මෙන් වූ අතර පියවරක් දෙකක් පසුපසට වැටුණු ඇය කෑ ගසිමින් පසුබසින්නට විය.

"මට බල කරන්න එපා..මට ඒක කරන්න බැහැ..".


වාසනාවකට මෙන් වයසක කාන්තාවක් ප්‍රේක්ෂකයන් අතරින් ඉදිරියට ආවාය.

"ඒයි පොඩි එකී. උඹට හිතක් පපුවක් නැද්ද? උඹත් දවසක නාකි වෙයි. මෙච්චර ඔපේට ඇඳන් ඉඳලත් උඹේ ඇතුළ ඔච්චර කුණු වුනේ කොහොමද?".


"ම.ම…"


වැඩිහිටි කාන්තාව ඇයව නොසළකා හරිමින් ෂිඒ චිංචෙං වෙත හැරුණාය.

"කියන්න මම මොකක්ද කරන්න ඕන? මට කොහොමද උදව් කරන්න පුළුවන්?".


සමාජය බොහෝ විට එක හා සමාන විය. ලොකු ජනකායක් මැද කෙනෙක් මූලිකත්වය ගෙන උපකාර කරන්න අකමැති වුනු වෙලාවක, කෙනෙක් ඉදිරියට ගොස් සෘජුව කතා කිරීමක් නොකළ අවස්ථාවක අහම්බෙන් හෝ කෙනෙක් මුලින් ඉදිරිපත් වූයේ නම්,වැස්සෙන් මතු වන වසන්තයේ අංකුර මෙන් තවත් බොහෝ දෙනා උපකාර කිරීමට පෙළඹෙනු ඇත.


ස්වල්ප වෙලාවකින් මුළු ප්‍රේක්ෂකාගාරයම ඔහුට උදව් කිරීම සඳහ යහසුළු විය. හදිසි ඖෂධ ලබා ගැනීමට කෙනෙකු කාර්‍යයබහුල වන විට තවකෙක් රෝගියා සිසිල් කිරීමට පංකාවක් සෙවීමෙහි කාර්‍යයබහුල විය. එකිනෙකා එකිනෙකාට උදව් කරනා වාතාවරණය තුළ බායි ජිං අයාසයකින් තොරවම පැත්තකට තල්ලු විය.


අවසානයේ සෙනඟ කෙතරම් උද්‍යෝගිමත් වුවත් හදිසි තත්ත්වය සමනය කිරීමට නොහැකි විය. මිනිත්තු කටුව කෙමෙන් පියවර තබන විට ඔවුන්ට හැකි වූයේ කනස්සල්ලෙන් බලා සිටීමට පමණි.


අවසනාවකට, දේවල් බලාපොරොත්තු වූ තරම් පැණි රස නොවීය. බායි ජිංගේ දුරකතනය ශබ්ද විහිදුවමින් නාද වෙන්නට විය.

රෝහලෙන් ඇමතුමක්!


"මාර අවුලක් වෙලා තියෙන්නේ.ටැප් ලයින් එකක් කැඩිලා ගිහින්. ඔය ලොකේෂන් එකට එන්න තියෙන හයිවේ එක තනිකරම වතුරෙන් යටවෙලා. අනික් පාරෙන් එන්න ආවත් එහෙ හොඳටම ට්‍රැෆික්. ඉතින් අපිට හරවන්න උනා".


බායි ජිං උද්ගත තත්ත්වය වහාම ෂිඒ චිංචෙං හට පැහැදිලි කළාය.

ෂිඒ චිංචෙංගේ තියුණු වදන් දුරකතනය හරහා නාද විය.


"එන්න කොච්චර වෙලාවක් යයිද?".


බායි ජිං වහාම ප්‍රශ්නය රෝහල් කාර්‍ය මණ්ඩලය වෙත යොමු කළාය.


"ඔයාලට එන්න කොච්චර වෙලාවක් යයිද?".


"අපිට වෙන රෝඩ් එක්කින් තමා එන්න වෙන්නේ.අඩුම තරමේ පැය භාගයක් වත් යයි".


ෂිඒ චිංචෙං මහළු මිනිසා දෙස බැලීය.

පැය හාගයක්!

ප්‍රායෝගිකවම පැය භාගයක් තුළ මහළු මිනිසාට ජීවිතයේ හෝ මරණයේ දොරටුව තෝරා ගත හැකි විය.


මේ වෙලාවෙම මේ මඟුල වෙන්න තරම් ඔවුන් අවාසනාවන්ත වුනේ කොහොමද? ඒ මදිවට අර රෙද්දේ ටැප් ලයින් එකත් මේ වෙලාවෙම කැඩුනේ ඇයි?


වඩාත් සංකීර්ණ තත්ත්වය තුළ හදිසියේම වාහනයක ප්‍රධාන පහන් එළියක් මං සංදියෙන් එළියට විහිදෙන්නට විය. විදී ළාම්පු එළිය යටින් සෘජුකෝණාස්‍රාකාර පසුපස පහන් ආලෝකය විහිදෙන විට නිසළව බැබලුණු කළු පැහැති රෝල්ස් රෝයිස් රථය, කේවළ මංතීරුව හරහා ඉදිරියට ඇඳුණි.


ඕනෑම සුඛෝපභෝගී දෙයක් ගැන වීඩියෝ කිරීමේ බලවත් ආශාව බායි ජිං හට මේ අවස්ථාවේදී හෝ පාලනය කිරීමට නොහැකි විය. කෙනෙකුගේ ජීවිතය එල්ලී ඇති තීරණාත්මක මොහොතේ පවා ඇය වහා දුරකතනය ඇඳ එය සුඛෝපභෝගී රෝල්ස් රෝයිස් කලිනන් රථය මතට යොමු කරේ තත්පරයක් හෝ ප්‍රමාද වුවහොත් එය පදවාගෙන යැයි බියෙනි.


නමුත් කේවළ මංතීරුව හරහා ඉදිරියට ඇඳුනු කලිනන් රථය ඔවුන්ගේ ඉදිරිපිට නවතනු ඇතැයි ඇය සිහිනෙකුදු අපේක්ෂා නොකළාය.


බායි ජිංගේ දෑස් පුපුරන්නට ආසන්න ලෙස විශාල වී තිබුණි.


ඇය සිහින මැවූ කලිනන් රථයේ පිටුපස වීදුරුව සෙමෙන් පහතට වැටෙන අයුරු ඇගේ වෙව්ලන දෑස් හරහා පරාවර්තනය විය. ඇගේ දෑස් පුළුල් කරමින් ගැහැණු ළමයෙකු පිටතට හිස දමා මහල්ලා අසළ ප්‍රතිකාර සඳහා නැමී සිටි ෂිඒ චිංචෙං ඇමතුවාය.


"ග'ගා"..


බායි ජිංගේ මුහුණ තුළ සුවිසල් ප්‍රශ්නාර්ථයක් ඇඳුනි.


"ග'ගා. මං හේයූ එක්ක බාබකියු ෂොප් එක්කට යන්න බැලුවේ. ඈතින් එද්දි ඔයා වගේ දැක්ක නිසයි පොඩ්ඩක් නවත්තලා බැලුවේ. ඕහ් ගෝඩ්!ඔයා ළඟ ඉන්න කෙනාට මොකක් හරි අවුලක්ද?".


ෂිඒ චිංචෙං හිස එසැවීය.එහා පැත්තේ සම් ආසනය මත හේයූ නිහඬව වාඩි වී සිටියේය. අඳුරු පරිසරය හරහා ඔහුගේ චායාව පමණක් පිටතට දිස් වුනි. ඈතින් බලන කෙනෙකුට ඔහුගේ කඩවසම් පැතිකඩ හඳුනා ගත හැකිය.විශේෂයෙන්ම ඔහුගේ චායාව වුවද පිරිපහදු කළාක් මෙන් සුන්දර විය. නමුත් සමීපයෙන් බලන්නෙකුට ඔහුගේ වතින් ගලා යන තිරිසන්,අධම ප්‍රභාව නියමාකාරයෙන් හඳුනාගත හැකි විය.


ෂිඒ චිංචෙං හට සැබවින්ම හේයූ අපහසුතාවයට පත් කිරීමට අදහසක් නොවුනි. නමුත් සැබවින්ම තත්ත්වය හමුවේ ඔහුට කළ හැකි කිසිවක් නොවීය.


"අපි එද්දි මේ මනුස්සයාව හම්බුනා.මෙයා ගොඩක් මෙන්ටලි වැටිලා ඉන්නේ. එයාට හාර්ට් ඇටෑක් එකක්.මං එයාට බේසික් ට්‍රීට්මන්ට්ස් කරා. ඒත් මෙයාව ඉක්මනට අයි-සී-යූ දාන්න වෙයි".


ෂිඒ ෂිඒගේ දෑස් විසල් වුනි.


"කෝ ඇම්බියුලන්ස් එක?".


"අපි කෝල් කරා. ඒත් පාරේ ටැප් ලයින් එකක් ඩැමේජ් වෙලා.එන්න තව පැය භාගයක් විතර යයි".


ඇසූ සැණින් ෂිඒ ෂිඒ මෝටර් රථයේ දොර විවර කර ෂිඒ චිංචෙං වෙත ආවාය. ඇය මහළු මිනිසාව පිළිකුල් නොකළාය.නමුත් ප්‍රතිකාර පිළිබඳ අබ මල් රේණුවක තරම් වත් දැණුමක් නොතිබූ ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය. ඇගේ දෑස් ක්ෂණිකව දීප්තිමත් වූ අතර ඇය වහා මෝටර් රථයේ වීදුරුව තුළින් හිස ඇතුළට දමා කෑ ගැසුවාය.


"හේයූ.ඉක්මනට, එළියට ඇවිත් උදව් කරන්න".


සීතල මිනිසා මෝටර් රථයෙන් බැස මහළු මිනිසාගේ දම් පැහැති දෙතොල් දෙස බලා සිටියේය.


"අපි මගේ කාර් එකේ යමු".


ඔහුගේ ප්‍රකාශය තුළ ස්ථිර බව ගැබ්ව තිබුණි.


"අනික් ඩ්‍රයිවර්ස්ලා ඔයාට යන්න දෙන්නැතිවෙයි. මේ ටයිම් එක බිසී".

ෂිඒ ෂිඒගේ මෝඩ වදන් ඇගේ දෙතොල් හරහා ගිළිහුණි.


හේයූගේ දෙතොල් හරහා උපහාසාත්මක සිනහවක් ඇදුණි.


"ඇත්තට? මමත් කැමතී එයාලා ඒක කරන විදිහ බලන්න".


හේ යූ රියදුරා දෙස හැරුණේය.


"ජාඕ,ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද?".


"මට පුරුදු පරිස්සමට ඩ්‍රයිව් කරලා, වේගෙන් ඩ්‍රයිව් කරන්න බැරි වෙයි පොඩි මහත්තයා".


අනික පොඩි මහත්තයා, ඔයා මට වාහනයක් හප්පන්න කීවොත් මට කොහොමත් ඒක කරන්න බැහැ.


"එහෙනම් එළියට එන්න".


හේ යූ ඔහුගේ කමිස අත් ඉහළට රෝල් කර දිගු පියවරක් තබමින් රියදුරු අසුනට ගොඩ විය. ඔහු හෑන්ඩ්බ්‍රේක් එක දෙස නොබලාම එය පහතට ඇද්දේය.


"නඟින්න. තව ටෙන් මිනිට්ස් වලින් හොස්පිටල් එකට යමු".


ෂිඒ චිංචෙං ඔහු දෙස කල්පනාකාරී බැල්මක් හෙලුවේය.

 "ඔයාට ලයිෂන් එකක් තියෙනවද?".


"...,ඔයා එනවද නැද්ද?".


"ඔව් ඔව් එයාට තියෙයි".


ෂිඒ ෂිඒ හට මොවුන් දෙදෙනා ගැනම කළකිරුණාය. විශේෂයෙන් හේ යූ. මෙවැනි අවස්ථාවක පවා ඔහුට තම සොහොයුරා හා රණ්ඩු වීමට කාලයක් තිබුණි.


"එයා එයාගේ ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක චේන්ජ් කරා.ග, මෙයාගේ විකාර අහ අහ ඉන්න එපා".


ෂිඒ චිංචෙංගේ මගපෙන්වීම යටතේ අසාධ්‍ය වූ මහළු මිනිසා ප්‍රවේශමෙන් කලිනන් රථය මත තැබුවේය. සියල්ලෝම ඒ වන විටත් මෝටර් රථය තුළට ගොඩවී තිබුණි. හේ යූ තම ආසන පටි තද කරමින් වේගයෙන් ගෑස් පැඩලය තද කිරීමට සූදානම් වන විට කකුළක් කොර වූ කුඩා බලු පැටියා මෝටර් රථයේ පිටුපස දොර අසළ සිට නොනවත්වා බුරන්නට විය.


ෂිඒ ෂිඒ හට සැමවිටම මෘදු හදවතක් හිමි වූවාය. කුඩා බලු පැටියා දුටු විට ඇගේ මුවින් එළියට ආ වදනට පාලනයක් නොවුනි.


"පව්,අසරණ සතා".


හේ යූ ඇය දෙස බලා පිටුපස දොර නැවත විවෘත කළේය.


"ඌව ඇතුළට ගන්න".


ෂිඒ ෂිඒ එසැණින් මෝටර් රථයෙන් එළියට පැන කුඩා කහපැහැති බල්ලා ඔසවාගෙන මෝටර් රථයට නැඟුණි.


බියසුළු කුඩා බලු පැටවා සිහින් කෙඳිරියක් නැඟුවේය.


තමා අසරණ නොවුනු බවක් හැඟුණු බලු පැටවා පසුපස ආසනය තුළ වැතිර සිටි මහළු මිනිසා දෙස බැලුවේය. පසුව තම කළු පැහැ බෝංචි බීජ වැනි නාසය කෘතඥපූර්වක ලෙස ෂිඒ ෂිඒගේ කොපුල් මත තැවරුවේය. අනතුරුව ඔහු රියදුරු අසුනට හිස යොමා තම කුඩා තෙත් දිවෙන් ප්‍රවේශමෙන් හේ යූගේ කම්මුල් සිපගත්තේය.


කෙසේවෙතත් ,

හේ යූ කුඩා බලු පැටවාගේ සෙනෙහස නොසළකා හැරියේය. ඔහු පසුබැලුම් කන්නාඩිය නිසි පරිදි සකස් කරමින් සිහින් දිඟු ඇඟිලි සමඟින් සුක්කානම තදින් හැසිරෙව්වේය.

"ඉමර්ජන්සි සර්විස් එකට කෝල් කරලා සිටුවේෂන් එක පැහැදිලි කරන්න. අපි යමු".


වාසනාවන්ත ලෙස, මහළු මිනිසා මූලික ප්‍රතිකාර ලබා ගත් නිසාත්, ඉක්මනින් ඔහු රෝහල වෙත රැගෙන ආ නිසාත්, රාත්‍රී භාගයකට පසුව ඔහු අසාධ්‍ය තත්වයෙන් මිදුණි.


හදිසි ඒකක වාට්ටුවෙන් පිටත ලියකියවිලි තොගයකට අත්සන් තැබීමෙන් පසුව ෂිඒ චිංචෙං තම දුරකතනය එළියට ඇඳ තිරය දෙස බැලුවේය. අවාසනාවකට, රෝහල් බිල් ගෙවීමට තරම් මුදලක් ඔහුගේ තැන්පතුව තුළ ඉතිරිව නොතිබුණි.සේවා කවුළුව අසළ සිටි පුද්ගලායට කෙසේ මුහුණ දෙන්නේදැයි ඔහු කල්පනා කරන විට ඔහුගේ පිටුපසින් දිගු කළ දෑතක් සේවක කවුළුවෙන් එහාට ක්‍රෙඩිට් කාඩ් පතක් දික් කළේය.


ෂිඒ චිංචෙං හැරී බැලූ විට හේ යූගේ දීප්තිමත් ආමන්ඩ් ඇස් ඔහුගේ දෑස් හා ගැටිණි.


"ඔයා මොකද මෙතන කරන්නේ?".


"අවුලක් නැහැ.මට තෑන්ක්ස් කරන්න ඕනි නැහැ".


ඔවුන් රැගෙන ආ මහලු සීයට නිවාසයක් නොතිබුණි.ඔහුගේ පවුලේ කිසිවෙකුත් පිළිබඳ තොරතුරක්ද නොතිබුණි. ඔහුගේ හැඳුනුම්පතද ඔහු සතුව නොවීය.මේ නිසා රෝහලේ පරිපාලන කටයුතුද යම් තාක් අස්ථාවර වීය.

කෙසේ හෝ ෂිඒ චිංචෙං වරක් මෙම රෝහලේ සේවය නොකළේ නම්, රාත්‍රී වැඩ මුරයේ සිටි වෛද්‍යවරයා ඔහු නොහඳුනන්නේ නම්, මෙම ක්‍රියාව එතරම් සුමටව සිදු නොවෙන්නට තිබුණි.

මහලු මිනිසාගේ තත්වය තවදුරටත් බරපතල නොවීය.කෙසේවෙතත් රෝහල් පරිපාලන අංශය අකුරටම පිළිපැදි බොහෝ පූර්වාකරී විධිවිධානයන් තිබුණි.

රෝහල තුළ නිවාස නොමැතිව සිටින මිනිසුන් භාරව සිටි නාගරික දෙපාර්තමේන්තුව පවා සම්බන්ධ කරගනිමින් ඔවුන් මේ වන විටත් උපකාර ඉල්ලා තිබුණෝය.


යහපත් සමරිතානුවන් ලෙස දිස් වූ හේ යූ සහ අනෙක් අයටද දැනට පිටත්ව යාමට හැකියාවක් නොවුනි.


"මිස් බායි එක්කද ඔයා ඩේට් එක්කට ගියේ?".


බිල ගෙවීමෙන් පසු හේ යූ සහ ෂිඒ චිංචෙං රෝහල පිටුපස උද්‍යානය වෙත ඇවිද ගියහ.


"ම්ම්. එයා කොහෙද?".


"ෂිඒ ෂිඒ එක්ක පාකින් එකේ. ගොඩක් වෙලා ගිහින් නිසා ඒ දෙන්නට මහන්සි. ෂිඒ ඔයා ගැන කලබල වුන නිසා මං ආවේ".


"කොහොම වුනත්, ඒ වගේ කෙල්ලෙක් එක්ක කොහොමද ඔයා ඩේට් එක්කට ගියේ?".


ෂිඒ චිංචෙංගේ ප්‍රකාශය සුමට විය.


"ඒක ඩිනර් එකක් විතරයි".


"ඉතිම් ඔයාට තිබ්බනේ කෙලින්ම ප්‍රපෝසල් එක රිජෙක්ට් කරන්න. මම දැක්ක විදිහට ඔයා ඒක වැඩිය සීරියස් ගන්නෑ. අනික,එයා ෂිඒ ගේ වයසේ වගේමයි නේද? ඔයා දැනටමත් ටිකක් නාකී නේ. ඒක එච්චර හරියන වැඩක් නෙමෙයි".


ෂිඒ චිංචෙං වඩාත් සැහැල්ලු විය. අවුරුදු තිස් දෙකක් කියන්නේ නාකීද? ඇත්තටම හේ යූ අද ඔහුට උපකාර නොකළා නම්, ඔහු අනිවාර්‍යයෙන්ම කියන්නේ,


 "පුංචි අමනයා,උඹට ඒ රෙද්දවල් වලින් වැඩක් නෑ".


කෙසේ වෙතත් අද,වරෙක රියදුරෙකු හැටියටත්, තවත් වරෙක ඒටීම් යන්ත්‍රයක් හැටියටත් ඔහු හේ යූව භාවිතා කර තිබුණි.

ඉතින් ඇත්තවශයෙන්ම ඔහුට හේ යූ හට ශාප කිරීමට නොහැකි විය. ෂිඒ චිංචෙං ලේ පිරුණු දෑසින් හේ යූ වෙත බැල්මක් හෙලීය.


"නාකී"!


ඔහු එම වචනය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විඳ දරාගනිමින් හේ යූ දෙස බැලීය.


"ඔයා හරි යන්ග් මාස්ටර් හේ. කොහොමත් මම ආයේ අවුරුදු තිහට වඩා පොඩි උන් වෙනුවෙන් මගේ කාළය නාස්ති කරන්නේ නැහැ".


කුඩා තරුණයා සහ මැදිවියේ මිනිසා සැබවින්ම වචනයෙන් පොර කා ගත් අතර දෙදෙනාටම පසු බැසීමට අදහසක් නොවුනි.

අවසානයේ ෂිඒ චිංචෙං එය අතහැර දැමීමට තීරණය කළේය.


විස්ටේරියා ගස් වලින් ආවරණය වුණු නාගරික රෝහල පිටුපස මංතීරුව බොහෝ සෙයින් දිගු විය.

දෑත් කලිසම් සාක්කුවේ ඔබා ගනිමින් ෂිඒ චිංචෙං නිහඬව දිගු මංතීරුව දිගේ ඉදිරියට ඇදුණි.

දස වසරකට පෙර, ඔහු සෑම දිනකම මේ මංතීරුව මතින් ඇවිඳ ගියේය. ඒ වන විට උද්‍යානය සම්පූර්ණයෙන්ම නිම කළ නොතිබුනද, දැන් මෙන් නොව එකළ මෙය බොහෝ සෙයින් දර්ශනීය විය. නගර නිළධාරින් එහි ඒමට පෙර පැනි දැමූ පෑන් කේක් විකුණු අනවසර කුටි රකින්නන් පවා එහි අරක් ගත් කාලයක් තිබුණි.


පසුව, ඔහු නාගරික රෝහලේ වෛද්‍ය තනතුරින් ඉල්ලා අස් වූ පසු, ඔහු නැවත කිසි දිනෙක විස්ටේරියා පිපුණු මේ මං තීරුවේ ඔහු ගමන් නොකළේය.


මතක පිය සටහින් මතින් ඉදිරියට ඇදෙන ඔහු ගෙවී ගිය අතීතය ආවර්ජනය කළේය. අවසානයේ ඔහු හදිසියේ හේ යූ අමතන විටත්, බොහෝ වේලාවක් ගතවී ගොසිනි.


"ඒයි. පුංචි අමනයා".


"හ්ම්?".


"මේ දවස් වල තරුණ කොල්ලො කෙල්ලො වගේ ඔයත් ඉන්ටර්නෙට් සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න කැමතිද?".


"අපෝ නැහැ. හැබැයි ඒකේන් හොඳ ගානක් හොයන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කට්ටිය කරනවා. මොකද? බායි ජිං එහෙමයිද?".


"ඔයා කොහොමද දන්නේ?".


හේ යූ කට කොනකින් සිනාසීය.

"මට කියන්න පුළුවන්! අර වයසක මනුස්සයාගේ අසනීපයට ඒකී සම්බන්ධයි නේද?".


රාත්‍රී සුළඟ තුරුලතා මතින් ගසාගෙන ගියේය.


"ඒක මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක්. එයා හිතලා තියෙන්නේ මේ එයාගෙ දුව කියලා. බායි ජිං ලයිව් එකක ඉන්නකොට මේ මනුස්සයා එයාගේ පස්සෙන් ආවා. ඒ හැම වෙලේම ඒ මනුස්සයා හැංඟිලා ඉඳන් කීවේ බායි ජිංට එයාව වීඩියෝ කරන එක නතර කරන්න කියලා. ඒ වුනාට ඒකි ඇහුවේ නෑ. ඒකිට ලොකු වුනේ එයාගෙ වීවර්ස්ලා ගාන".


ෂීඒ චිංචෙංගේ ප්‍රකාශය සීතල විය.


"ඒකෙන් වැඩක් තියෙනවද?".


හේ යූ බර හුස්මක් පිටතට හෙළුවේය.


"ෂිඒ චිංචෙං. ඔයාට මෙලෝ වැඩකට නැති දේවල් සමහර විට වෙන මිනිහෙක්ට හුඟක් වටින දෙයක් වෙන්න පුලුවන්. උන් සල්ලියි කීරිතියයි පස්සෙ යන විදිහට ඔයාට විකාරයි වගේ පේනවා වගේ ඔයාගේ විදිහත් උන්ට පේන්නේ විකාර විදිහට වෙන්නැති. ඔක්කොම මිනිස්සු වුනාට එක එකා හිතන්නේ එක එක විදිහට. මිනිස්සුන්ට තව එකෙක්ව විශ්වාස කරන්න බෑ. තව එකෙක්ව අඳුරගන්න බෑ. උන් අනිකා දිහා බලන්නේ සතෙක් දිහා බලනවා වගේ".


හදිසියේම හේ යූගේ දුරකථනය නාද විය. ඔහුගේ රියදුරාගේ දුරකථන අංකය තිරය මත ඇඳුණි. හේ යූ ගේ රිය පැදවීමේ අනර්ඝ බව පැහැදිලි කරමින් රතවාහන පොලීසිය රෝහල තෙක්ම ඔවුන්ව හඹා අවිදින් තිබුණි.


"පුංචි මහත්තයා. ඩොක්ටර්ස්ලට කීවා නම් හරි මෙයාලට කියන්න කියලා. ඒ වෙලාවේ හැටියට එහෙම නොකර බෑනේ"


"එහෙම ඕනි නැහැ. උන්ට දඩේ ගෙවලා දාන්න. ඕකට බොරුවට කාලෙ කන්න ඕන්නෑ".


හේ යූ දුරකථන ඇමතුම විසන්ධි කළේය.


"ඔයාගේ වැඩි සල්ලි වොලට් එකේ හිලකින් පිච්චිලා යනවා වගේ". ෂිඒ චිංචෙංගේ ප්‍රකාශය නිශ්චල විය.


"මට ටයිම් එක කියන්නේ සල්ලි. වැඩකට නැති මඟුල් වලට කාලේ කාලා දාන්න මං කැමති නෑ. උදාහරණයක් විදිහට රජයේ සේවකයෙක්ට කරුණු පැහැදිලි කරන එක.අඬ අඬ ඉන්ටර්වීව් එකක් කරන්න උන්ට රිපෝටර් කෙනෙක් පවා හොයාගන්න පුළුවන්".


හේ යූ ගේ ආමන්ඩ් දෑස් පහළට එල්ල විය.තනි කළු දෑස් උදාසීන බවකින් දිලුනි. ඔහුගේ මුව කොන් ඉහළට වක්වී සමච්චල් සහගත සිනහවක් ඔහුගේ මුවේ ඇඳී තිබෙන විටක පවා ඔහුගේ මුහුනේ සියුම් තිරිසන් බවක් ගැබ්ව තිබුණි.

"මට ඔයා එක්ක තව කතාවක් තියෙයි. කොහොමත් එයාල කරන දේම ඔයාටත් කරන්න පුලුවන් නේ. හරියට මගෙ ලයිෂන් එක චෙක් කරනවා වගේ වැඩක්".


"..."


ප්‍රතිවාදියාගේ ඉරියව් විකෘති වන බව දුටු හේ යූගේ මුව කොන් මත ගැබ්ව තිබූ සමච්චලය ඔහුගේ දීප්තිමත් දෑස් කරා ඇදී ගියේය. ඔහු තම දෑත් කලිසම් සාක්කු තුළ බහාලමින් ඔහු  ෂිඒ චිංචෙං විනිවිද යවමින් ඈතින් පෙනෙන දර්ශනය දෙසට දෑස් යොමු කළේය.


මඳක් ඉදිරියට නැමුණු ඔහු ෂිඒ චිංචෙංගේ ගෙළ පාමුලින් නතර විය. හේ යූ තම හිස පහත් කරන විට ඔහුගේ සිහින් තොල් ෂිඒ චිංචෙංගේ කැරෝටිඩ් ධමනිය අසළ ඇඳුනි.


ඔහු තම ඉරියව් පවත්වාගනිමින් ෂිඒ චිංචෙංගේ කනට කොඳුරන්නට විය.

"....අහ්හ්…කියන්නකෝ.රයිඩ් එක කොහොමද".


ඔහුගේ සමච්චල් සහගත කටහඬ තවත් ගැඹුරට ඇඳ වැටුණු.

"ග' ඔයා මගේ සර්විස් එක ගැන සෑහිමකට පත් වෙනවද?..ම්ම්ම්ම්ම්…"


ෂිඒ චිංචෙංගේ ප්‍රකාශය තවතවත් අඳුරු විය.


ඔහුගේ රියදුරු බලපත්‍රය ගැන අහපු එක ගැන මෙ මිනිහා තවමත් වෛරයෙන් ඉන්නේ ඇයි?

මේකගෙ කට මෙච්චර සක්කිලි ඇයි?


කෙසේ හෝ ෂිඒ චිංචෙං හට පරාජය වීමට අදහසක් නොවීය.

"ටයිම් එකක් හම්බුනොත් තව ටිකක් ප්‍රැක්ටිස් වෙන්න. කොල්ලො ඔච්චර ඇට්ටර නොවුනානම් ඩිග්‍රි එකෙන් පස්සෙ උඹට ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්".


අවසානයේ ඔහුට තවත් හේ යූ හා ඔහුගේ වචන අපතේ යැවීමට අදහසක් නොවුනි. සීත කළ ප්‍රකාශය මුහුණේ එල්ලා ගනිමින් ඔහු තනිවම ඉදිරියට ගියේය.


නමුත් හේ යූ හට එය මදි කමක් ලෙස දැනුනි.ඔහු ඔහුගේ වාරය අපතේ යැවීමට අකමැති වූවා විය හැක.


"විධායක ෂිඒ, එහෙනම් මං ඔයාගේ ඩ්‍රයිවර් වුනොත්? මට මොනවගේ කාර් එකක්ද දෙන්නේ? මාසෙකට සැලරි එක එහෙම කොහොමද?".


"හංගුආන්ග් මිනියක්. (චයිනීස් ඉලෙක්ට්‍රික් කාර් එකක්)ඕන්නම් බෙහෙත් වට්ටෝරුවක් දෙන්නම්. එහෙම නැත්තම් මකබෑවියන්".


දෑත් සාක්කුවේ රඳවාගෙන ඔහු ෂිඒ චිංචෙංගේ සෘජු පිට දෙස බලා සිටියේය.

ඔහු මෘදු ලෙස ශාප කරමින් සපත්තුවෙන් යමකට පයින් ගැසුවේය.

"බෙහෙත් වට්ටෝරුවක්, උඹ මඟුල. ෂිඒ චිංචෙං .. ඒ වෙනුවෙන් නම් මං උඹට අනිවාරෙන් ගෙවනවා".

Comments

  1. Wow. The way you write is very realistic to the modern storyline of the novel.♥♥♥

    ReplyDelete
  2. Doctor Xie.....🥺🥺🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-