Skip to main content

තිස් හත්වන පරිච්ඡේදය: ඔබට වෙනත් කෙනෙකුට පැවසිය නොහැකියි!



තිස් හත්වන පරිච්ඡේදය: ඔබට වෙනත් කෙනෙකුට පැවසිය නොහැකියි!

නිහඬ වූ යැන් වුෂි කල්පනාවට වැටුණේ ය.

ෂෙන් ච්‍යාඕ තවදුරටත් පැවසුවේ ය, “මට කායික විද්‍යාව ගැන විශේෂඥ දැනුමක් නැහැ. ඒ වගේම මම වෙදදුරෙකුත් නෙවෙයි. ඒ නිසා ඒ තරම් පැහැදිලිවම ඒක ඇසුණේ නැහැ. අධිරාජ්‍ය වෛද්‍යවරයෙක් ලවා ඔහුව පරීක්ෂා කරවාගන්න උතුමාණන්ව පොළඹවගැනීම වඩාත් සුදුසුයි."

ඇත්තෙන්ම, යුවන් යොන් හට බරපතල රෝග කිසිවක් තිබිය නොහැකි ය. නමුත් ඔහු තම ඥාති සොහොයුරා වන යුවන් හූගෙන් සිංහාසනය පැහැර ගත් දා පටන්, උදා හිරු කිරණ වැටෙන මොහොතේ සිට රාත්‍රි අඳුර පැතිරෙන තුරාවටම ඔහු කටයුතු කළේ ඉතා දැඩි ලෙස හා සූක්ෂ්ම ආකාරයට ය. හේ රාජ්‍ය කටයුතු කළමනාකරණයට වහල් නොවී සිටි දිනයක් සොයාගැනීමට නොහැකි විය. තුජුයේ ජය ගැනීම සඳහා, අධිරාජිනිය තනතුර පවා ලබා දුන් ඔහු, තුජුයේ හට ඔහුගේ අවංකභාවය පෙන්වීම සඳහා මුදු මොළොක් ආකාරයෙන් සහ සැලකිල්ලෙන් යුක්තව කටයුතු කළේ ය. මෙය අධිරාජ්‍යයෙකුට, විශේෂයෙන්ම ඔහු වැනි බලවත් අධිරාජ්‍යයෙකුට නින්දාවක් වූවාට සැක නැත. ඔහුට හොඳ සෞඛ්‍ය පදනමක් තිබූ බැවින් පළමු වසර කිහිපය තුළ කිසිදු රෝගී සලකුණක් නොතිබුණි. නමුත් කාලය ගත වන විට යකඩින් සෑදූ ශරීරයකට පවා එවැනි ජීවිතයකට ඔරොත්තු දීමට නොහැකි වනු ඇත. ප්‍රතිශක්තිය, පෝෂණය, චී ශක්තිය  සහ රුධිරය [1] යන සියල්ලම බිඳ වැටුණු විට, ඔහුගේ ශරීරය ද නිසැකවම කඩා වැටෙනු ඇත.

එහෙත් එය සැබෑවටම සිදුවීමට පෙර නිශ්චිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට හැකියාවක් නැති වීමට ඉඩ ඇත. ඔහු අධිරාජ්‍ය වෛද්‍යවරුන් ගෙන්වා ගත්ත ද, ඔවුන් පවසන්නේ 'කාංසාව සහ කනස්සල්ල නිසා හට ගත් චී ඌනතාවයක් ඔහුට ඇති බවත්, විවේක ගනිමින් තම ශරීරය ගැන සැලකිලිමත් විය යුතු බවත්' පමණි. එහෙයින් අධිරාජ්‍යයා ද නිසැකවම ඔවුනට ඇහුම්කන් දෙන්නේ නැත.

යැන් වුෂි කිසිදු අදහසක් ප්‍රකාශ කළේ නැත. ඒ වෙනුවට ඔහු ෂෙන් ච්‍යාඕගෙන් මෙවන් පැනයක් විමසුවේ ය, “ඇයි ඔබ යුවන් යොන්ගේ යෝජනාවට එකඟ නොවුණේ? ඔබගේ වර්තමාන තත්වයත් එක්ක, ඒක ඔබට බොහෝ වාසිදායක වෙන්න තිබුණා."

ෂෙන් ච්‍යාඕ ද පෙරළා මෙසේ විචාළේ ය, “මමත් ඒ ගැන කුතුහලයෙන් ඉන්නේ. මම එකඟ වුණා නම්, නව දාඕවාදී නිකායට අධිරාජ්‍ය අධිකරණයේ පූර්ණ සහයෝගය ලැබෙන්න තිබුණා. ඒක ෂෝ රාජ්‍යයේ පවිත්‍ර චන්ද්‍ර නිකායට නොවැළැක්විය හැකි විදිහට බලපාවි. ඉතින් නිකාය නායක  යැන් කිසිවක්ම නොකියා සිටියේ ඇයි?”

යැන් වුෂි පිළිතුරු දුන්නේ ය, “මොකද ෂෝ රාජ්‍ය, තව කොච්චර අලුත් නිකායන් හැදුවත්, පවිත්‍ර චන්ද්‍ර නිකායේ තත්වය වෙනස් කරන්නේ නැහැ. අනෙක් නිකායන්ට කරන්න බැරි සමහර දේවල්වලට, යුවන් යොන්ට උදව් කරන්න අපිට පුලුවන්. ඔවුන්ට හැකි වුනත්, ඔවුන් ඒවා කරන්න කැමති නැහැ. ඔහුට නිදහස් වයස [2] ලැබිලා වැඩි කාලයක් නැහැ. මේ වසරට ඔහුගේ වයස දෙතිසක්. ඔහු තව අවුරුදු දහයක් ජීවත් වුණොත් මට අවශ්‍ය දේ අවසන් කරන්න පුළුවන් වේවි.”

හිස ඇල ක‍රගත් ෂෙන් ච්‍යාඕ තරමක් විමසිලිමත්ව ඔහු දෙස බැලුවේ ය, “ඔබට අසුර නිකායන් තුන එකතු කරන්න අවශ්‍යයිද?”

යැන් වුෂි විමසුවේ ය, "හන් අධිරාජ්‍යයේ භූමි ප්‍රදේශය කොතරම් විශාලද කියලා ඔබ දන්නවාද?"

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ ය, “මට නිවැරදිව මතක නම්, බලයෙන්, සමෘද්ධියෙන් උච්චතම මොහොතේ, නැගෙනහිරින් කොරියාවත්, බටහිරින් උතුරු වියට්නාමයත් ඇතුළත් වුණා. වයඹ දෙසින්, පමීර් සානුව අභිබවා ගොස් උතුරේ යින් කඳුකරය වෙන තුරු විහිදිලා තිබුණා.

යැන් වුෂි තවත් පැනයක් විමසුවේ ය, “සිමා ෂාඕ, ජින් රාජ්‍යය පිහිටවද්දි භූමි ප්‍රදේශය කොපමණ විශාලද?”

ෂෙන් ච්‍යාඕ පිළිවදන් දුන්නේ ය, “ජින් යටතේ රාජධානි තුන ඒකාබද්ධ වුණ කාලයේ, කලින් තිබුණු අවුල් සහගත කාල පරිච්ඡේදය  නිසා සමහර ප්‍රදේශ දැනටමත් තිබුණේ අන්සතු වෙලා. ජින් රාජවංශයේ කොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා වැනි ස්ථාන තවදුරටත් මධ්‍යම තැනිතලාවේ කොටසක් වුණේ නැහැ. බටහිර ගංගාවේ සිටි ෂියන්බෙයි සහ චියන් වැනි ජාතීන් ක්‍රමයෙන් ඉහළ ගියා. ජින් රාජ්‍යය මධ්‍යම තැනිතලාව එක්සේසත් කළත් කලින් තිබුණා වගේම රට පොහොසත් සහ බලවත් වුණේ නැහැ. වැඩි කල් නොගොස් කුමාරවරු අට දෙනාගේ යුද්ධය පවා ඇති වුණා...”

යැන් වුෂි තවදුරටත් පැවසුවේ ය, “එතැන් සිට මධ්‍යම තැනිතලාව සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. පළමුව, ම්ලේච්ඡයන් පස් දෙනාගේ නැගිටීම, පසුව සොළොස් රාජධානිවල පරම්පරාවන් නිරතුරුවම වෙනස් වීම නිසා දිගින් දිගටම එකිනෙකාව ආදේශ කළා. මේ වන තෙක්, වසර දෙසිය පනස් නවයක් පුරාවටම ලෝකය කැළඹුණා ”

ෂෙන් ච්‍යාඕ සුසුම්ලන්නට විය, “මේ වසර දෙසිය පනස් නවය තුළ විදේශ ජාතීන් අපව නැවත නැවතත් ආක්‍රමණය කළා. යම් තරමක හමුදා බලයක් ඇති ඕනෑම කෙනෙකුට, තමන්ටම කියලා රටක් ස්ථාපිත කරලා පාලනය කරනකල් ඉවසිල්ලක් නැහැ. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට තමන් නිර්මාණය කරන දේ ආරක්ෂා කිරීමටවත් හැකියාවක් නැහැ. ප්‍රතිඵලයක් විදිහට, නිතර නිතර යුද්ධ ඇති වෙලා, සෑම තැනකම අවුල් ජාලාවන් හට ගන්නවා. සැතපුම් දහස් ගණනක භූමි ප්‍රදේශය සරණාගතයින්ගේ මළ සිරුරුවලින් වැසී ගිහින් විලාපයන්ගෙන් වගේම බලාපොරොත්තු සුන්  වීමෙන් පිරී ඉතිරී යන ස්ථාන වෙනවා!

යැන් වුෂි සිනහවකින් පිළිතුරු දුන්නේ ය, “ඒක හරි. මේ වසර දෙසීයක පමණ කාලය තුළ කිසිම කෙනෙකුට, ලෝකයට සාමය ගෙන එන්න නොහැකි වුණා. ලින්චුවන් ආයතනය තමන් අයිති කොන්ෆියුසියානු සම්ප්‍රදායට කියලා කියා ගත්තත්, දිව්‍යමය ප්‍රකාශනය තිබෙන්නේ චෙන් රාජ වංශයට පමණක් බව විශ්වාස කරලා දැඩි සිනොකේන්ද්‍රවාදී මූලධර්මයන් අනුගමනය කරනවා. බුද්ධාගම සහ දාඕවාදය තහනම් කරලා රටින් පලවා හැර ඇති නිසා, ඔවුන් යුවන් යොන් ගැන වෛරයෙන් ඉන්නේ. ඒ නිසා ඔහු වැනි ඒකාධිපතියෙකුට සාමය ඇති කිරීමේ භාරදූර කාර්යය සම්පූර්ණ කරන්න නොහැකියි කියලායි ඔවුන් සිතන්නේ."

“මේ ලෝකයේ කී දෙනෙක් ප්‍රසිද්ධියේ මෙන් ම රහසිගතව ඔහුව පිටුපසට තල්ලු කිරීමට උත්සාහ කරනවාද යන්න ගැන ඔබට අදහසක් නැහැ. ඔවුන් සියල්ලෝම බලා සිටින්නේ ඔහු දුෂ්කර කාලවලදී වැටෙනවා දකින්න. යුවන් යොන් කඩා වැටුණොත් උතුරු ෂෝ වල තත්ත්වය ද අවාසනාවන්ත වේවි. කොහොම වුණත්, මට අවශ්‍ය එහි ප්‍රතිවිරුද්ධ දෙය කිරීමට. ඒ වගේ ජනප්‍රිය නැති අධිරාජ්‍යයෙකුට දේශය එක්සේසත් කිරීමට මම උදව් කරනවා. ත්‍රිත්ව නායකවරුන්ගේ සාම්ප්‍රදායික බව පෙන්වන අයට පවා නොහැකි දෙයක්, අසුර නිකාය සාක්ෂාත් කර ගත්තොත් ඒක සිත්ගන්නාසුලු කරුණක් නෙවෙයිද?”

යමක් නොකරන ලෙස මිනිසුන් ඔහුට අවවාද කරන තරමටම, ඔහුට එය උත්සාහ කිරීමට අවශ්‍ය විය. සියල්ලෝම පවසන්නේ යුවන් යොන්ගේ නිර්දය භාවය නිසා ඔහු ප්‍රඥාවන්ත පාලකයෙක් වීමට නුසුදුසු බව ය. මෙය ඔහුට සිහසුනට නැග ලෝකයේ මහා පාලකයා වීමට උදව් කිරීම සඳහා යැන් වුෂි හට තිබූ තවත් හේතුවක් විය. එලෙසින්, ඒ ගැන අශුභවාදී වූ, විරුද්ධ වූ හෝ එය නැවැත්වීමට උපරිම උත්සාහයක් ගත් අයට සිදු වන්නේ මුහුණේ මඩ උලා ගැනීමට ය. එවැනි අස්ථාවර සහ චපල චරිතයක් බොහෝ මිනිසුන්ට වෛරයෙන් දත්මිටි කෑමට සැලැස්වූ නමුත් ඔවුනට ඔහු ගැන කිසිවක් කළ නොහැකි විය. අනෙකුත් අයවලුන්ට යුවන් යොන් මත අත තැබීමට අවශ්‍ය නම්, ඔවුන්ට පළමුව යැන් වුෂි පසුකර යා යුතු වන්නේ ය.කෙසේ වෙතත්, අසමසම කන්දක් මෙන් වූ මෙම පුද්ගලයා කොතරම් ශක්තිමත්ද යත්, එය ඔවුන්ව අධෛර්යමත් කිරීමට සමත් විය.

ෂෙන් ච්‍යාඕ විචාළේ ය, “මට ආරංචි විදිහට ඔටුන්න හිමි කුමාරයා තවමත් කුඩායි. නිකාය නායක යැන් ඔටුන්න හිමි කුමරුට මේ අවස්ථාවේදීම උපකාර කිරීමට උත්සාහ නොකරන්නේ ඇයි? නැත්නම්, ෂෝ අධිරාජයාගේ දවස ඉක්මනින් පැමිණියහොත්, ඔබේ සූක්ෂ්ම උත්සාහය අපතේ යන්නේ නැති වේවිද?”

දොරට එහා පසින් එල්ලා තුබූ වීණාව* වාදනය කරමින් සිටි යැන් වුෂි විමසුවේ ය, “ඔටුන්න හිමි කුමාරයා ඉගෙනගන්න බැරි මුග්ධයෙක් නම් මොකද කරන්නේ? මම මගේ දත් මිරිකමින් වෙහෙස වෙලා ඒක උරා බොන්නද, අවුල්සහගත හිසක් ඇති මුග්ධයෙකුට සිංහාසනයට නඟින්න උදව් කරලා ඔහුට සේවය කරන්න යටත් වෙන්න ඕනෙද?"

ඔහුගේ වචනවලින් හැඟවූ පණිවිඩය ඇත්තෙන්ම පුදුම සහගත ය. ෂෙන් ච්‍යාඕට පවා තත්පරයකට කම්පනයට පත් නොවී සිටීමට නොහැකි විය. "ඔබ සිංහාසනය පැහැරගන්නවාද?"

යැන් වුෂි සිනාසෙමින් තෙපළී ය, “ඔබ මොනවද මේ හිතන්නේ? මට අධිරාජ්‍යයෙක් වෙන්න කිසිම උවමනාවක් නැහැ. ඇත්තටම යුවන් යොන් ජීවිතය ගත කරන්නේ සතුටින් කියලාද ඔබ හිතන්නේ? සෑම දිනකම තමන් අකමැති පුද්ගලයින් හමුවෙලා අනවශ්‍ය කතා ගොන්නක් කරන්න ඔහුට සිදු වෙනවා. ඔහු විවාහ කරගත් බිරිඳ පවා ඔහුට ඇල්මක් නැහැ. ඇය නිවස සරසන සැරසිල්ලකට වඩා වැඩි වෙනසක් නැහැ. සැවුලෙකුටත් කලින් අවදි වෙලා සුනඛයෙකුටත් වඩා ප්‍රමාද වෙලා නිදාගන්න ඔහු දිවා රෑ ගත කරන්නේ නිලධාරීන්ගේ ස්මාරක කියවමින්. ඔහුට තෘප්තිමත් විය හැක්කේ අසීමිත භූමියක් හිමි කර ගැනීමේ මායාවෙන් පමණයි. ඔබට ඔහු ගැන අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? මම අධිරාජ්‍යයා වුණොත් අවුරුදු තුනකට අඩු කාලයකින් රටේ ධනය නාස්ති කරන්න ඉඩ තිබෙනවා. ඒක එහෙම නම්, මම දැන් ඉන්න ආකාරය වඩා සැහැල්ලු නැද්ද?"

ෂෙන් ච්‍යාඕ ඔහුගේ හිස සැලුවේ ය, "මේක මාව තවත් අවුල් කරනවා."

යැන් වුෂි ද පෙරළා පැවසුවේ ය, “ඔබේ බුද්ධියෙන්, ඔබට එය අනුමාන කළ හැකි බව මට විශ්වාසයි. ඇයි ඔබම එය පවසන්නේ නැත්තේ? ඔබ එය නිවැරදිව කිව්වොත් මම ඔබට ත්‍යාගයක් දෙන්නම්!"

ඔහු වාක්‍ය අවසානයේ දීර්ඝ වාද්‍ය ඛණ්ඩයක් පවා වාදනය කළේ ය. එය බයි රොන්ගේ මායාකාරී, ශෘංගාරාත්මක ස්වරය හමුවේ තමන් බලපෑමට ලක් වූ අයුරු ෂෙන් ච්‍යාඕ හට සිහි කළේ ය. මෙය අසුර නිකායේ මිනිසුන්ගේ කිසියම් විශේෂිත වූ, විකාර පුරුද්දක් දැයි සැක කරමින් සිටි ඔහුගේ මුව පාලනය කරගත නොහැකි ලෙස වෙව්ලන්නට විය.

මෙම පුද්ගලයා මුලුමනින්ම ප්‍රතිපත්ති විරහිත වූ අතර ඔහුගේ වචන සහ ක්‍රියාවන් බොහෝ විට අන් අයට වටහාගත නොහැකි විය. ඇත්තෙන්ම, යමෙකු ප්‍රමාණවත් තරම් ප්‍රවේසම් නොවන්නේ නම්, ඔහුගේ උපක්‍රමවලට පහසුවෙන් හසු වනු ඇත. කෙසේ වෙතත්, සාමාන්‍ය සටන් කලාකරුවන්ගෙන් සොයාගත නොහැකි දෙයක් වන ලොව සාමාන්‍ය ප්‍රවණතාව පිළිබඳ අසාමාන්‍ය ලෙස උනන්දුවෙන් හා තීක්ෂ්ණ බුද්ධියෙන් යුත් දැක්මක් යැන් වුෂි සතු වූ බව ෂෙන් ච්‍යාඕ හට පිළිගැනීමට සිදු විය. ඔහු සමඟ මේ දේවල් සාකච්ඡා කිරීම ෂෙන් ච්‍යාඕ හට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය.

යුවන් යොන්, පවිත්‍ර චන්ද්‍ර නිකාය මත දැඩි ලෙස විශ්වාසය තැබූ නමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා ද එය දිගටම කරනු ඇති බවට සහතිකයක් නොවී ය. යුවන් හූ සිද්ධිය නිසා අද දක්වාම බෞද්ධ නිකායන් බැහැර කොට තිබුණ ද, ඔවුන් නිසැකවම නව අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ලබා ගැනීමට ඇති අවස්ථාව අත් නොහරිනු ඇත. යැන් වුෂිට සිංහාසනය පිළිබඳ ආශාවක් නොතිබූ අතර වත්මන් ඔටුන්න හිමි කුමරු කෙරෙහි ද ගෞරවයක් නොතිබූ හෙයින්, බෞද්ධ නිකාය නිරායාසයෙන්ම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔටුන්න හිමි කුමරුව වැළඳගනු ඇත.

දෙගිඩියාවෙන් යුක්ත වූ ෂෙන් ච්‍යාඕ මෙසේ ඇසුවේ ය, "නිකාය නායක යැන්ට අවශ්‍ය ... වඩා ප්‍රඥාවන්ත නායකයෙකුට සහය දෙන්නද?"

සිනාසෙමින් සිටි යැන් වුෂි පැවසුවේ ය, "මගේ ආ-ච්‍යාඕ ඉතා දක්ෂයි!"

ෂෙන් ච්‍යාඕගේ මුහුණ අඳුරු වීමට ගත වූයේ එක් නිමේෂයක් පමණි. 'ඔබේ ආ-ච්‍යාඕ කවුද?

ෂෙන් ච්‍යාඕගේ ඉරියව්වේ වූ වෙනස නොදුටු සේ හුන්, යැන් වුෂි ඔහුගේ කොපුල පවා සියුම් ලෙස මිරිකමින් මෙලෙස පැවසී ය. "ඒක හරි. චි අධිරාජ්‍ය කුමරු වන යුවන් ෂියන් ආගමට විරුද්ධයි පමණක් නොවේ, ඔහු නිර්භීතයි. ඒ වගේම යුද්ධයට දක්‍ෂයෙක්. ඒ නිසා ඔහුට හමුදාවෙන් ඉමහත් සහයෝගයක් ලැබිලා තිබෙනවා. යුවන් යොන්ගේ අභිලාෂය ඉදිරියට ගෙනියන්න ඔහුට නිසැකවම හැකි වේවි."

ච්‍යාඕගේ සිරුරට සමීප වූ ඔහු ෂෙන් ච්‍යාඕගේ කනට කොඳුරමින් මෙලෙස ද පවසන්නට අමතක නොකළේ ය, “මේ රහස මම මෙතෙක් කියූ එකම පුද්ගලයා ඔබ පමණයි. ඒ නිසා ඔබට මෙය වෙනත් කෙනෙකුට කියන්න බැහැ!”

ෂෙන් ච්‍යාඕ: "..."

ඔහුට එය කිසිදා නොඇසූ දෙයක් බව මවා පෑමට හැකිද?


එය මැදින් මස සිව්වන දින ය. දීප්තිමත් හා හිරු රශ්මිය සහිත දිනයකි.

මැදිරියෙන් පිටත රෝද නොනවත්වා ඉදිරියට ඇදී ගිය නමුත් රථයෙහි කම්පන අවශෝෂණය ගුණාත්මක භාවයෙන් යුක්ත වූ නිසා ඇතුළත එතරම් ඝට්ටනය වූයේ නැත. තිරය ​​​​ඉවත් වූ අතර ඇතුළතින් උණුසුම් සුගන්ධයක් පිට විය. ගන්ධයෙහි වූ විශේෂ මිහිරි බව අනුව, මෙම මැදිරියේ සිටියේ උසස් පවුලක කාන්තාවන් බව අනුමාන කිරීමට වැඩි කාලයක් ගත වන්නේ නැත.

ඇය අඩ මසකට ආසන්න කාලයක් මාවතෙහි ගමන් කරමින් සිටියා ය. කෙසේ වෙතත්, චෙන් ප්‍රදේශයට ඇතුළු වූ පසුව, මෙතෙක් පැමිණි දිගු වූත් දුෂ්කර වූත් ගමනෙහි වූ කිසිදු තෙහෙට්ටුවක් යූ සී හට දැනුණේ නැත. ඇගේ ආත්මය දිනෙන් දින හොඳ අතට හැරෙමින් පැවතිණි. ඒ සියල්ල සිදුවූයේ ඇය ජියැංනන්හි [3] උපත ලබා කුඩා අවධිය ද එහි ම හැදී වැඩුණු බැවිනි. දැන් ඕ නැවතත් තම උපන් ගමට පැමිණ ඇති බැවින්, පිටත එබී බැලූ විට ඇයගේ දීප්තිමත් දෑස් අවට දර්ශන දෙසට නොසැලෙන ලෙසින් යොමු වී තිබුණේ සන්තුෂ්ටියේ වෙව්ලීම වළක්වා ගත නොහැකිව ය. තමන් සමඟ මැදිරිය තුළ ගමන් ගත් සේවිකාව කිහිප වතාවක්ම ඇයට කතා කරන තුරු ම හිස හරවාගැනීමට ඈ හට නිනව්වක් නොවී ය.

"ආර්‍යාවනි, ඔබේ ආත්මයත් ඔබේ ඇස් සමඟම පියාසර කරන්න ඇති!" සේවිකාව ඇයට විහිළු කළා ය.

"මම අවසන් වතාවේ ජියැංනන් දාලා ගිහින් අවුරුදු දහයක් වෙනවා." යූ සී හට නැවත හැරී බැලීම නවතා ගත නොහැකි විය. “මම ඒ වන විට හිටියේ කුඩා අවධියේ. ඒ නිසා එම ස්ථානයේ විශේෂයෙන් ලස්සන දෙයක් තිබෙන බවක් මම සිතුවේ නැහැ. දැන් නැවතත් එය දුටු විටයි මට වැටහෙන්නේ මම නිතරම කල්පනා කළේ ඒ ගැන කියලා. උතුර හොඳ වුණත් ඒ මගේ උපන් ගම නොවෙයි!”

සේවිකාව ද පෙරළා මෙසේ පැවසුවා ය, “මෙවර, උතුමාණන්  චෙන් රාජවංශයට ගොස් ඔවුන්ගේ පාලකයින්ට ෂෝ රාජ්‍යයේ අක්තපත්‍ර ඉදිරිපත් කරන ලෙසට නායකතුමාට නියෝග කරලා. එවැනි වැදගත් කාර්යයක් පැවරිලා තිබිලාත් ඔහුට තවමත් ඔබතුමියව රැගෙන යාමට මතකයි. ඔහු ඔබට කොතරම් ප්‍රේම කරනවාද කියා හොඳින්ම පැහැදිලියි. එය, අන් අය කොතරම් ඉල්ලුවත් ඔවුන්ට නොලැබෙන ආශීර්වාදයක්!”

යු සිගේ කම්මුල් රත් පැහැ වූ අතර තවත් වචනයක් හෝ පැවසීමට ලජ්ජා සිතිණ.

නිකාය නායක යුවන් චින්ගේ උපභාර්යාව වූ ඇය වසර තුනක් ඔහු සමඟ සිටියා ය. යුවන් චින් ඇයට දැඩි ලෙස ඇලුම් කළ නිසා, මන්දිරයේ සියලු දෙනා ඈ හට සැලකූයේ ඕ, ඔහුගේ නීත්‍යානුකූල භාර්යාව වූවාක් මෙනි. මෙවර, යුවන් චින්ව චෙන් රාජවංශයට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් සඳහා යවන ලද අතර, ඒ සඳහා ද ඔහු ඈ ව කැටුව ආ අතර, එයින් ඔහු ඇයට කොතරම් අනුග්‍රහය දැක්වූවාද යන්න මනා ලෙස පිළිඹිබු විය.

එය කලබලකාරී කාලයක් වූ අතර කොල්ලකරුවන් තැන තැන සැරිසරන්නට වූහ. ගමන් බිමන් යන වෙළඳුන්ට බොහෝ විට, ආරක්ෂාව සඳහා රජය මත යැපීමට හෝ ආරක්ෂකයින් විශාල සංඛ්‍යාවක් බඳවා ගැනීමට අවශ්‍ය විය. මෙවර, ෂෝ වල දූතයා දකුණට පැමිණෙන බව දුටු ඔවුන් සියල්ලෝ ද නෞකා බලඇණියේ ගමන් කිරීම සඳහා යම් මුදලක් ගෙවීමේ බලාපොරොත්තුවෙන් ඔහු වෙත පැමිණිය හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උතුරු ෂෝහි වංශාධිපතියන් සමඟ සමීප සබඳතා පැවැත්වූ විශාල වෙළඳුන් වූහ. යුවන් චින්ට ඔවුන්ව ඉවත් කිරීමට නොහැකි වූ නිසා ඔහු ඔවුන් සියල්ලන්ම ඔහු සමඟ කැටුව ගියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට යාත්‍රා සමුදායේ පිරිස තවත් වැඩි වී තිබුණි. එහෙත් එයින් වාසියක් ද අත් විය. විදග්ධ සටන් ශිල්පීන්ගේ ආරක්‍ෂාව යටතේ තේජාන්විතව ඉදිරියට ගමන් කළ මේ විසල් ජනකායට කිසිවෙකුත් නොසැලකිලිමත් ලෙස පහර දීමට එඩිතර වූයේ නැත.

ඔවුන් යුවාන් ප්‍රාන්තයෙන් පිට වී තිබූ අතර, ඊළඟ අගනුවරට තවත් බොහෝ දුරක් විය. මඟ දෙපස නවාතැන් බොහොමයක් නොතිබූ හෙයින් අවසනදී ඔවුනට නවාතැනක් හමු වූ අවස්ථාවේ, නැව් සමූහයට හෝරාවක් එහි නතර වී විවේක ගැනීමට සහ ප්‍රතිසංවිධානය කිරීමට යුවන් චින් විසින් නියෝග කරන ලදි. යාත්‍රා සමූහය සෙමෙන් නතර විය. සමහරෙක් ජලය ලබාගැනීමට නැවතුම්පොළ වෙත ගමන් කළ අතර තවත් සමහරෙක් සලාක කිහිපයක් පමණක් ලබාගෙන එම ස්ථානයේම විවේක ගත්හ.

මෙහෙකාරිය තවමත් තරුණ වියේ පසු වූ බැවින් ඇය අන් අය සමඟ ගැවසීමට ප්‍රිය කළා ය. යූ සී හට ඇගේ අභිමතය පරිදි අහඹු ලෙස බැස යාම නුසුදුසු දෙයක් වූ නමුත් සේවිකාවට එවැනි කරදරයක් තුබුයේ නැත. එහෙයින් එම ස්ථානය වටා ගමන් කළ ඇය ආපසු පැමිණ යූ සී හට මෙසේ පැවසුවා ය, “ආර්යාවනි, අපේ කණ්ඩායමේ අමුතු මැදිරියක් තිබෙනවා. තිබෙන්නේ නායකතුමාගේ මැදිරියට පිටුපසින්. අනිවාර්යෙන්ම ඒක ඇතුළත මිනිස්සු ඉන්නවා. ඒත් ගමන පුරාවටම කවුරුත්ම එයින් බැස්සේ නැහැ. කොතරම් අමුතු ද!"

"සමහරවිට ඔවුන් දැනටමත් බැහැලා ඇති, නමුත් ඔබ දුටුවේ  නැතිව ඇති." යූ සී ද නොසැලකිලිමත් ලෙස පැවසුවා ය.

හිස දෙපසට සැලූ සේවිකාව යළි තෙපළා ය, “එහෙම වෙන්න බැහැ. ඒ ගැන කිව්වාම අනෙක් අයත් කුතුහලයෙන් හිටියේ. ඒ මැදිරියේ හිටපු අය බැහැලා යනවා කවුරුත්ම දැකලා නැහැ වගේ. ඔවුන් මොන වගේද කියලා මට පුදුමයි. නිකම්ම කනවා, බොනවා, මළ පහ කරනවා පමණයිද? මොනතරම් අපිරිසිදුද! ”

යූ සී, "විකාර!"

සේවිකාව දඟකාර ලෙස දිව දිගු කර යෝජනාවක් කළා ය, “ඔවුන් කවුද කියලා නායකතුමා දන්නවා වෙන්න ඕනේ. ඔබතුමිය ඇයි ඒ ගැන නායකතුමාගෙන් අහන්නේ නැත්තේ?”

යූ සී පිළිතුරු දුන්නා ය, “ඔබට එය දැන ගැනීමට අවශ්‍ය නම් ඔබටම ඔහුගෙන් අහන්න පුලුවන්. මට යන්න විදිහක් නැහැ!”

සේවිකාව තවදුරටත් මෙසේ කියා සිටියා ය, “මේ වෙළෙන්දෝ ඒ ගැන ඔට්ටු අල්ලනවා මට ඇහුණා. ඔවුන් කියනවා මැදිරිය ඉතා විශාල හා අලංකාර වන නිසා එහි ඇතුළත සිටින පුද්ගලයා සමහරවිට විය හැකියි........"

යූ සී යළිත් විමසුවා ය, “සමහරවිට ඒ කුමක්ද?”

සේවිකාව පිළිතුරු දුන්නා ය, "සමහර විට ඒ... නායකතුමාගේ ආදරණීය තැනැත්තිය විය හැකියි."

යු සීගේ ප්‍රකාශනය ක්ෂණිකව තරමක වෙනස් වීමකට ලක් විය.

සේවිකාව වහා පැහැදිලි කළා ය, “පිටත ඉන්න අය කුණු කතා කියනවා. මටත් හිතෙන්නේ ඒක විකාරයක් මිසක් වෙන දෙයක් නොවෙයි කියලා. ඇත්තටම මට එහෙම හිතන්න බැහැ. නායකතුමාගේ සැබෑ ආදරය ඔබ බව කවුද නොදන්නේ!"

යු සි වැන්නෙකුට, මේ වන විටත් සියලු වරප්‍රසාද සහ සුඛෝපභෝගීත්වය හිමි වුව ද,ඒ සියල්ල රැඳී පැවතියේ යුවන් චින් ඇය කෙරෙහි දක්වන සෙනෙහස මත බව ඈ හොඳින්ම දැන සිටියා ය. ඇගේ සුන්දරත්වය වියැකී යන විට සහ මෙම සෙනෙහස තුනී වීමට පටන් ගත් පසුව, ඇය මේ සේවිකාවටත් වඩා පහත් විය හැකි ය.

එනිසා, ඇය යුවන් චින්ගේ සෙනෙහස ගැන අතිශයින් සැලකිලිමත් වූ අතර ඔහුට නව ප්‍රියතමයෙක් ලැබී ඇතැයි යන ආරංචියෙන් වහාම කලබලයට පත් විය. සේවිකාව කී දේ සත්‍යයක් නම් සහ ඇය පවා නොඇසූ සුන්දරත්වයක් එම මැදිරිය තුළ සැඟවී තිබුණේ නම්, යුවන් චින් ඇයව කෙතරම් සුරකිනවාදැයි සිතා ගැනීමට අපහසු නොවී ය. එවන්නක් සිදු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඉතා ඉක්මනින් යු සි වෙනුවට තවත් යමෙකු ආදේශ කිරීමට නියමිත ය.

දිගු කලක් යුවන් චින් අසළ රැඳී සිටි යු සි ඇගේ ස්ථානය හොඳින් වටහාගෙන සිටියා ය. ඕ කිසිවිටෙක ඇසිය යුතු නැති දේ ගැන හෝ යුවන් චින්, ඇය දැනගැනීමට අකමැති වූ කිසිවක් ගැන හෝ විමසුවේ නැත. මෙය ඔහුගේ ප්‍රියතමයා වීමට තවත් එක් හේතුවක් විය. කෙසේ වෙතත්, අද ඇය එය දරා ගැනීමට අපොහොසත් වූවා ය. මුළු සවස් වරුව පුරාවටම සැහැල්ලුවෙන් සිටි ඈ, එදින රාත්‍රියේ යුවන් චින් ඇගේ මැදිරිය අසලට පැමිණි විට, මද වේලාවක් ඔහු වෙත මෘදු ලෙස සමීප වී ප්‍රවේශමෙන් යුක්තව කාරණයට එළඹියා ය. උත්සාහ කිරීමට පෙරාතුව “නායකතුමනි, ඔබේ පිටුපස මැදිරියේ ඉන්නේ කුමන සහෝදරියද කියායි මම කල්පනා කරන්නේ. මේ මුළු කාලයම මැදිරියක් ඇතුලත ඉඳලා ඇයට හුස්ම හිරවෙලා වගේ ඇති. ඇයි මට ඇයට ආරාධනා කරන්න ඉඩ නොදෙන්නේ? ඈට මාත් එක්ක කතා කරන්න පුලුවන්, අවම වශයෙන් එයින් ඇගේ උදාසීනකම අඩු වේවි!"

මොහොතකට විස්මයට පත් වූ යුවන් චින් පසුව සැණෙන් එය වටහාගෙන සිනාසුණේ ය, “හොඳයි. එය ඔබ නොඇසිය යුතු දෙයක් නම්, අසන්න එපා. එයින් ඔබට කිසිම යහපතක් වෙන්නේ නැහැ. ඔබ මේ ගැන කරදර විය යුතු නැහැ. ඔබ කළ යුත්තේ ඔබේ මැදිරියේ නිහඬව සිටීමයි."

පිටත කාර්යබහුලව සිටි පිරිස ඔවුන්ව වෙන් කරන බාධකයක් බදු විය. යුවන් චින් වඩාත් සමීප වීම සඳහා කෙතරම් මංමුලා සහගත ලෙස උත්සාහ කළ ද, මෙහිදී පමණක් ඔහුට එය කළ නොහැකි විය. එම නිසා, අකමැත්තෙන් වුවද ඔහුට තම ආශාව සමනය කරගැනීමට සිදු වූ අතර එහෙයින් ඔහුට හැකි වූයේ තම මැදිරියට යාමට පෙර යූ සීගේ හස්තය ස්පර්ශ කිරීමට පමණි.

යුවන් චින් පිටව ගිය පසු, කුතුහලයෙන් යුක්ත වූ තරුණ සේවිකාව ඇගේ හිස ඇතුළට දමා සිනාසෙමින් විමසුවා ය, "ඔබතුමියට දැන් සහනයක් දැනෙනවාද?"

යු සි ගේ වත ක්ෂණිකව රත් පැහැයට පරිවර්තනය විය. ඕ දැරියට දිලිසෙන බැල්මකින් පහර එල්ල කළා ය.

තරුණ සේවිකාව යළිත් විමසන්නට විය, “මට විශ්වාසයි නායකතුමා ආර්යාවව දැනටමත් සනසලා ඇති. ඒ මැදිරියේ ඉන්න රූමතිය කවුද?”

යූ සී හිස වැනුවා ය. “ඔහු කිව්වේ නැහැ. නමුත් ඒ රූමතියක් කියා මම සිතන්නේ නැහැ. නායකතුමාට ඇත්තටම නව පෙම්වතියක් ඉන්නවා නම්, ඔහු එය මගෙන් වසන් කරන්නේ ඇයි? මම ප්‍රධාන කෙනෙකුවත්, වෙනත් කෙනෙකුවත් නොවෙයි.”

අවසානයේ ඇගේ කටහඬේ තිබුණේ තමා හටවත් වටහාගත නොහැකි වූ ඊර්ෂ්‍යාවකි.

සේවිකාව නැවතත් මෙසේ පැවසුවා ය, “ඒත් මම දුටුවා මෙහෙකාරියක් එයින් එළියට එනවා!”

යූ සී කම්පනයට පත් විය, "මොකක්ද?"

එය විශ්වාස නොකරන බව සිතූ ඈ යළිත් පැවසී ය, “ඒක ඇත්ත. මීට මොහොතකට පෙර පිටතින්, සේවිකාවක් ජල බඳුනක් රැගෙන පහළට බැස්සේ ජලය ගෙන යන්න වෙන්න ඕනේ. ඇය ඉතාමත් ලස්සනයි. අපිත් එක්ක එකට ගමන් කරන සියලුම වෙළෙන්දන්ගේ දෑස් තිබෙන්නේ ඇය ළඟ! ”

වික්ෂිප්තව සහ කනස්සල්ලෙන් පසු වූ යූ සී යළිත් ඇසුවා ය, “ඇත්තටම එහි කාන්තාවක් ඉන්නවාද?”

සේවිකාව යෝජනා කළා ය, “ඇයි ඔබතුමිය මට හෙට යම් දෙයක් ලබා නොදෙන්නේ? සංවාදයක් ආරම්භ කර, සිදුවන්නේ කුමක්ද යන්න බැලීමට මට එය නිදහසට කරුණක් ලෙස භාවිතා කරන්න පුලුවන්."

යූ සී ඒ කාරණාව පිළිබඳව අවිනිශ්චිත විය, “මම හිතන්නේ ඒක හොඳ අදහසක් නොවෙයි. නායකතුමා ඒ ගැන දැනගත්තොත් සතුටු වෙන්නේ නැහැ.”

“නායකතුමාට ඒ ගැන දැනගැනීමට නොහැකි වෙන ආකාරයට මම එය රහසිගතව කරන්නම්. ඔබතුමිය අවම වශයෙන් අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ දැන සිටිය යුතුයි. ඔබට ඇය සමඟ ගනුදෙනු කිරීමට ක්‍රමයක් ගැන සිතිය හැක්කේ එවිටයි. එසේ නැති වුණොත්, ඔබේ ස්වාමියාගෙන් අනුග්‍රහය ලබාගන්න සතුරාව කවුදැයි ඔබ නොදැන සිටීවි!

මොහොතකට පසුබට වූ යූ සී, පසුව තම කොණ්ඩයෙන් ජේඩ් කෙස් පළඳනාවක් ගෙන සේවිකාවට දිගු කළා ය, "ප්‍රවේසම් වෙන්න. නායකතුමාට ඔබව දැකීමට ඉඩ නොදෙන්න. ඔබට අවස්ථාවක් සොයාගැනීමට නොහැකි නම් එය අමතක කරන්න.”

"ඔබතුමියට සහතික විය හැකියි, ආර්යාවණි!"

ඔවුන් සාකච්ඡා කරමින් හුන්නේ නිවෙස් අභ්‍යන්තරයේ වූ පොදු මාතෘකාවකි. එදින රාත්‍රියෙහිදී යුවන් චින් පැමිණියේ නැත. යූ සී සහ ඇගේ සේවිකාව සුපුරුදු පරිදි එකම මැදිරිය තුළ විවේක ගත් හ. ඔවුනට මාර්ගය පුරාවටම නවාතැන් ගැනීමට තානායමක් සොයා ගැනීමට නොහැකි වුව ද, ෂෝ අධිරජ මාළිඟයේ සටන් විශේෂඥයින් ඔවුන්ව ආරක්ෂා කරමින් හුන් නිසා යූ සී සිටියේ ඉතා සැහැල්ලුවෙනි. ආශ්වාස, ප්‍රාශ්වාස කිරීමට අපහසු මැදිරියක් ඇතුලත සිටින්නට සිදු වීම හැරෙන්නට, පැමිණිලි කිරීමට වෙනයම් ගැටලුවක් තිබුණේ නැත.

එය මැදියම් රැයට ආසන්න මොහොතක් වන්නට ඇත. එක්වරම යූ සී හට සංවේදනය වූයේ ඇගේ මුහුණත මත ඇති වූ මඳ සීතලකි. ඕ තුෂ්නිම්භූතව දෑස් විවර කළත්, සිදුවන්නේ කුමක්දැයි වැටහෙන්නටත් පෙර කවුරුන් හෝ ඇගේ මුව ආවරණය කළා ය.

ඒ සමඟම ඇගේ ශ්‍රවණේන්ද්‍රියන්ට වැකුණේ මඳ සිනහ ශබ්දයකි, “ඔබ දක්ෂ, රූමතියක්. අද රෑ මම ඉන්නේ හොඳ මනෝභාවයකින් නිසා ඔබ වාසනාවන්තයි. මොකද මම කිසිම කෙනෙක් මරන්නේ නැහැ. ඔහු වගේ මිනිසෙක්  අශ්වයෙකුව පවා බේරා ගන්නවා. ඒ නිසා මම ඔබව මැරුවා කියලා දැනගත්තොත්, ඔහුට මං ගැන තියෙන පිළිකුල තවත් වැඩි වෙනවා."

එදින රාත්‍රියේ යූ සී හට ශ්‍රවණය වූ අවසාන වැකිය එය විය. මන්ද යත්, ඒ වහාම ඈ සිහිසුන් වූ බැවිනි.

තරුණ සේවිකාව මැදිරියෙන් බැසීමට පෙර ඇයව බ්ලැන්කට්ටුවකින් ආවරණය කිරීමට පවා අමතක නොකළා ය. අනතුරුව ඇයගේ වස්ත්‍ර අතේ තබාගත් ඕ යුවන් චින්ගේ මැදිරිය දෙසට දිව ගියේ කලබලකාරී ආකාරයකින් සියල්ල දෙස බලමිනි.

මුරකරුවන් ඇයව මැදිරියෙන් පිටත නැවැත්වූ නිසාවෙන් ඕ හට හැකි වූයේ පහත් හඬින් කතා කිරීමට පමණි, “නායකතුමණි! නායකතුමණි!”

යුවන් චින් තවමත් සිටින්නට ඇත්තේ නොනින්දේ ය. ස්වල්ප මොහොතකට පසු මැදිරියේ තිරය එසවුණු අතර, නොඉවසිලිමත් මුහුණක් එයින් දිස් විය. "සිදුවුණේ කුමක් ද?!"

තරුණ සේවිකාව මැදිරි ආරක්ෂක විශේෂඥයන් දෙස බැලී ය. තරමක ලජ්ජාවට පත් ඇය මුමුණමින් මෙසේ කීවා ය. "ඇය බියකරු සිහිනයක් දැක හඬමින් ඉන්නේ. නායකතුමණි, කරුණාකර ඇයව බලන්න එන්න පුලුවන්ද?"

චාරිකාවේදී ඔහු සමඟ සුරූපිනියක් සිටි නමුත් ඔහුට සිදු වූයේ, අතැතිව තිබූ පොරවනය පමණක් වැළඳගෙන නිදා ගැනීමට ය. එම හැඟීම විඳදරාගැනීමට අපහසු විය. එහෙයින් තරුණියගේ වදන් ඇසෙන විට යුවන් චින්ට දැනුණේ තම හදවත උණුසුම් වන්නාක් මෙන් හැඟීමකි. "මම ගිහින් බලන්නම්."

යුවන් යොන් විසින් එවන ලද මුරකරුවන් ද තමා පසුපස පැමිණෙන්නට සැරසෙන බව දුටු හේ, වහාම සැහැල්ලු ලෙස කැස්සක් ඇති කළේ ය, “මම යන්නේ මගේ උපභාර්යාවගේ මැදිරියට. මාත් සමඟ එන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.”

මෙම විශේෂඥයන් සියල්ලෝම තියුණු දෑසින් මෙන් ම ශ්‍රවණේන්ද්‍රියන්ගෙන් යුක්ත වූවෝ ය. ඔහුට මැදිරිය තුළ යමක් කිරීමට අවශ්‍ය වූයේ නම්, සියල්ල පහසුවෙන් ශ්‍රවණය වනු නොඅනුමාන ය. එය, සවන් දෙන පුද්ගලයාට අපහසු දෙයක් වනු නිසැක ය.

නමුත් මුරකරුවන් ඒ ගැන එතරම් සතුටු වූයේ නැත. ඔවුන් යුවන් චිං අණ දෙන ආකාරයේ ආරක්ෂකයින් නොවී ය. ඔවුහු අධිරාජ්‍ය සටන්කරුවන් ලෙස නම් දරා සිටියද, ඇත්තෙන්ම අයත් වූයේ පවිත්‍ර චන්ද්‍ර නිකායට ය. එහෙයින් යැන් වුෂි සහ යුවන් යොන් හැරෙන්නට වෙනත් කිසිවෙකුට අණ දීමට නොහැකි විය. සාමාන්‍යයෙන් නම් මොවුන් කරන්නේ අධිරාජ්‍යයා පසුපස ගමන් කරමින් ආරක්ෂා කිරීම ය. එහෙයින් මෙවර දූතයෙකු පරිවාර කිරීම ඔවුන් හට දැනටමත් සහනදායී ක්‍රියාවක් වී තිබුණි. ඔවුනොවුන්ගේ අභිමානයද තමන් සතුව තිබූ බැවින් යුවන් චින්ගේ වචනවලින් ඔවුහු නැවතුණ හ. ඔහු, තමනට අඩි කිහිපයක් ඈතින් සහ පිටුපසින් වූ එක් මැදිරියකට ඇතුල් වන බව දුටු පසු ඔවුන් ඒ ගැන එතරම් සැලකිලිමත් වූයේ නැත.

තරුණ සේවිකාව පසුපස මැදිරියට ඇතුල් වූ යුවන් චින්ට දොරටුව වැසූ සැණින් අමුතු දෙයක් දැනෙන්නට වූයේ ය, “යූ සී? ඇයි පහනක් දැල්වූයේ නැත්තේ?”

එහෙත් ඔහු ආපසු හැරෙන්නට සිතන විටත් ප්‍රමාද වැඩි විය.

සිසිලස දැනීමක් නිහඬවම ඔහුගේ පිට ප්‍රදේශයට රිංගා ගත්තේ ය. ඒ වූකලී සිහින් වූත්, පැහැපත් වූත් හස්තයකින් අල්ලාගෙන සිටි ජේඩ් කෙස් පළඳනාවකි. නමුත් වේගය ඉතා වේගවත් විය. කෙස් පළඳනා කටුවේ තියුණු කෙලවරේ අඟල් භාගයක් ඒ වන විටත් ඔහුගේ වස්ත්‍ර හරහා සිදුරු වී මාංශය තුළට කිඳා බැස තිබුණ ද ඔහුට ඇසිපිය හෙළන්නටවත් කාලයක් තිබුණේ නැත!

යුවන් චින්ගේ මුව විවර වූ අතර, වත බිය උපදවන ස්වභාවයකින් සිත්තම් වී ගියේ ය. ඔහු උගුලකට හසු වී ඇති බව මේ මොහොතේදී පවා නොවැටහෙන්නේ කෙසේද? දොස් පැවරිය හැක්කේ මුරකරුවන්ට තමන් සමඟ නොඑන ලෙස පැවසූ ඔහුගේම මුග්ධකමට පමණි. ඔවුන් ඔහුගෙන් පියවර කිහිපයක් පමණක් දුරින් සිටිය ද, අනෙක් පුද්ගලයා ඔහුගේ හදවත කෙස් පළඳනාවෙන් සිදුරු කිරීම ඒ වන විටත් ප්‍රමාණවත් විය.

නිරය තමා දෙසට අත වනනු ඔහුට බොහෝ දුරට පෙනුණි.

එහෙත් කොණ්ඩා කටුව තවත් ඉදිරියට ගියේ නැත. ඇත්තෙන්ම, එය පසුබා යමින් තිබූ අතර ඔහුගේ ශරීරයෙන් පිටතට ඇදී ගියේ ය. යුවන් චින් ඇද වැටුණේ තවමත් සිහිසුන්ව සිටි යු සී මතට ය.

ඔහුගේ දෑතෙහි සුරූපිනීයක් සිටියත් ඔහු ඒ සඳහා කිසිසේත්ම මනෝභාවයකින් සිටියේ නැත. වහා ආපසු හැරී බැලූ හෙතෙම උදව් ඉල්ලා කෑ ගසන්නට විය.

ඔහුට රහසිගතව පහර දුන් සේවිකාව තරමක් යුහුසුළුව පසු බැස්සා ය. ක්ෂණයකින් ඇය ඒ වන විටත් මීටර් කිහිපයක් ඈතට ගොස් තිබුණි. කෙසේ වෙතත්, ඇයට වඩා වේගවත් වූ තවත් යමෙකු ප්‍රාදූර්භූත වී තිබුණි. නිල් වස්ත්‍රධාරී රූපයක් සැණෙකින් ඇයව අල්ලා ගත්තේ ය. ඔවුන් පහර කිහිපයක් හුවමාරු කරගත් බවක් පෙනෙන්නට තිබූ අතර, අනතුරුව සේවිකාවගේ මුළු සිරුරම පිටතට පියාසර කරන්නට වූයේ ඇගේ මුවින් වේදනාත්මක කෙඳිරිලි කිහිපයක් වා තලයට මුසු කරමිනි.

“නායකතුමණි! කනිෂ්ඨ උපදේශකතුමණි, මාව බේරගන්න!” පුද්ගලයාගේ පැමිණීමෙන් අතිශය ප්‍රීතියට පත් යුවන් චින්ට, යැන් වුෂිගේ කලවා මත තදින් ඇලී සිටීමට පවා මනෝභාවයක් පවා ඒ මොහොතේ ඇති විය.

නමුත් ඒ ක්ෂණයේම, සෑම දිශාවකින්ම තවත් ඝෝෂාකාරී ශබ්ද වාතය හරහා කැඩී ගියේ ය. ගණන් කළ නොහැකි තරම් වූ අවතාර රූප ගොන්නක් හදිසියේම අඳුරෙන් මතු වී ඔහු දෙසට කඩා වැදුණේ ඇසිපිය හෙලන නිමේෂයකිනි.

යුවන් චින්ගේ මහත් ප්‍රීතිය, මහත් භීතියක් බවට පත් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ආරක්ෂකයින් එම මිනිසුන් සමඟ සටන් කිරීමට පටන් ගන්නා විට, ඔහු ඇද වැටෙමින්, පෙරළෙමින් ආපසු කරත්තයට බඩගා යන්නට වූයේ තම පිටුපසින් තවමත් ලේ ගලමින් පවතින බව පවා සැලකිල්ලට නොගෙන ය.

හේ පිටත්ව යාමට පෙර යුවන් යොන් ඔහුට අනතුරු හඟවා තිබුණේ, චෙන් සමඟ සන්ධානගත වීම වැළැක්වීමට උතුරු චී ප්‍රදේශය විසින් ඔවුනට හැකි සෑම ක්‍රමයක්ම උත්සාහ කරනු ඇති බවයි. එහෙයින් යැන් වුෂි දකුණට යන ගමනේදී පෞද්ගලිකව ඔහුව ආරක්ෂා කරන බවයි. ඒ මොහොතේදී යුවන් චින් සිතුවේ අධිරාජ්‍යයා ඒ ගැන විශාල ඝෝෂාවක් කරන බව පමණි. කෙසේ වෙතත්, මේ ලෝකයේ සෑම කෙනෙකුටම අසුර පරමාධිපතියා විසින්ම ආරක්ෂා කිරීමේ ගෞරවයක් නොතිබූ බැවින්, එය යුවන් චින්ගේ නිෂ්ඵලභාවය බෙහෙවින් තෘප්තිමත් කොට තිබුණි. ඔහු ද ඔවුනගේ අණ පිළිපදිමින් යැන් වුෂිගේ අනන්‍යතාවය වසන් කළ නිසා මැදිරිය තුළ සිටි පුද්ගලයා යූ සී වැනි තවත් එක් රුවැත්තියක පමණකැයි එහි සිටි කවුරුත් සිතූ හ. මෙවන් ස්ථානයක පවා ඔහුව පාහේ මරා දමනු ඇතැයි සිතන්නේ කවුරුන්ද?!

ඔහු යැන් වුෂිගේ පැමිණීම මුලදී වසන් නොකළේ නම්, අනෙක් පාර්ශ්වය මෙතරම් වේලාසනින් හෙළිදරව් නොවනු ඇත. එවන් අවස්ථාවක, ඔවුන්ගෙන් ආරක්ෂා වීමට අපහසු තවත් රැවටිලිකාර උපක්‍රම පවා භාවිතා කරන්නට ඉඩ ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගෙන අද රාත්‍රියේ දී අනෙක් පාර්ශ්වයෙන් වැඩි පිරිසක් පහත දැමූයේ නම් චෙන් දක්වා වූ ඔහුගේ සංචාරය බොහෝ ආරක්ෂිත වනු නොඅනුමාන බව යුවන් චින් හොඳින් වටහාගෙන තිබුණි.

නාසය වටා පැතිරෙමින් තිබූ රුහිරු ගන්ධයත් සමඟ පිටත එකිනෙක ගැටෙමින් තිබූ කඩු හඬට සවන් දෙමින් හුන් යුවන් චින් සිටියේ හුස්ම සිරවන්නට ඔන්න මෙන්න තත්වයක ය. යැන් වුෂිගේ පැමිණීමට පවා ඔහුගේ මනස තුළට සම්පූර්ණ විවේකයක් ලබා දීමට නොහැකි විය.

හදිසියේම යමක් සිතුවාක් මෙන් චලනයක් සිදු කළ ඔහු පාහේ උඩ පැන යු සීගේ නාසය යටට ඇඟිල්ල දිගු කළේ ය. මද වේලාවකට පසු, මැදිරිය තුළ බිම වැතිරී සිටි හේ, සැහැල්ලු හුස්මක් සෙමෙන් පිට කළේ ය.

පිටත සටන නොනවත්වාම සිදු විය.

බිය වූයේ යුවන් චිං පමණක් නොව, ඔවුන් සමඟ ගමන් ගත් වෙළඳුන් සියල්ලෝම භීතියෙන් පසු වූ අතර තම තමන්ගේ මැදිරි තුළ සැඟවී සිටිය හ. සටන් කලාවේ දක්ෂයන් යැයි සිතූ ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට, සටනට උදව් කිරීමට අවශ්‍ය වූ නමුත් එක් පහරක්වත් එල්ල කිරීමට නොහැකි වූ ඔවුන් සියල්ලෝම එම ස්ථානයේදීම මිය ගිය හ. ප්‍රහාරකයෝ දරුණු සහ අනුකම්පා විරහිත පිරිසක් විය; ඔවුන් තම මුහුණු සඟවා ගැනීමටවත් උත්සුක වූයේ නැත. නියමිත වේලාවට පැන නොගිය සමහර පුද්ගලයින් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ ආත්මයන් තියුණු තලවලින් උදුරා ගන්නා ලදි.

යැන් වුෂිව සමඟි නිකායේ වැඩිහිටියන් සතර දෙනෙකු විසින් වටලනු ලද්දේ ය. සංඛ්‍යාව ඔහුගේ වාසියට නොතිබුණත්, අනෙක් පුද්ගලයින් සිව් දෙනා දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබුණි. මොහොතකට පසු, ඔවුන්ගේ ගොඩනැගීම අවුල් සහගත වූ පරාජිත හමුදාවක් මෙන් බිහිසුණු අවුල් ජාලයක විය. සතර දෙනෙකුගෙන් වට වී සිටියද, යැන් වුෂි තුළ වූ තද පරුෂ භාවය සහ අලංකාර සංදර්ශනාත්මක භාවය මැනවින් ඉස්මතු විය. එම තත්වය කෙතරම් දක්‍ෂතාවයකින් හැසුරුවද යත්, සිව් දෙනා මර්ධනය කිරීමට ඔහුගේ ඒකාධිපති ආකාරය පමණක් ප්‍රමාණවත් විය.

ෂියාඕ සේ විසින් තවත් පුද්ගලයෙකු තම අත්ලෙන් පියාසර කරන ලද්දේ නමුත් ඔහුට යැන් වුෂි වෙත ළං වීමට අවශ්‍ය වූයේ නැත. ඒ වෙනුවට, ඔහු උත්සාහ කරමින් හුන්නේ යුවන් චින් සැඟවී සිටි කරත්තය දෙසට රිංගා යාමට ය. ඔහු ගමන් කරන විට බයි රොංට නින්දා කිරීමට ද අමතක නොකළේය. “කනිෂ්ඨ සහෝදරිය, ඔබ කරන්නේ දේවල් නිවැරැදිව කිරීමට වඩා එය විනාශ කිරීමයි. එතරම් කුඩා කාර්යයක් පවා කෙසේ හෝ ඔබ පුපුරවා හැරීමට සමත් වුණා. අනාගතයේදී ඔබට තවත් කාර්යයන් පැවරීමට නායකතුමා සිතන්නේ කොහොමද?"

බයි රොං සිටියේ ඔහු අසල වූ ගසක වාඩි ලා ගෙන ය. ආයුධ හරස් කරමින් සිටි ඇය සිනාසෙමින් මෙසේ විචාළේ ය, “නමුත් ජ්‍යෙෂ්ඨ සහෝදර ෂියාඕ මට කිව්වේ නැහැ නේද නිකායාධිපති යැන් ඔවුන් සමඟ සිටින බව? ඔබ මෙතරම් දක්‍ෂ නම් නිකාය නායක යැන් සමඟ මුහුණට මුහුණ නොයන්නේ ඇයි?”

ෂියාඕ සේ සමච්චල් කළා මිස පිළිතුරු දුන්නේ නැත. ඔහු මැදිරියට හස්ත ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ වහාම මැදිරිය කැබලිවලට බෙදී යුවන් චින්ගේ විස්මිත මුහුණ හෙළි කළේ ය.

“නායකතුමා අපෙන් ඉල්ලා සිටියේ ඔහුව මරන්න මිස සටන් කිරීමට නොවේ. වැඩිහිටියන් යැන් වුෂිව අල්ලාගෙන ඉන්න අතරේ ඉක්මණින් මට උදව් කරන්න! ” ෂියාඕ සේ, බයි රොං වෙත කඩා වැදුණ නමුත් සැණින් ඔහු තවත් සටනකට හසු විය.

මෙම අධිරාජ්‍ය සටන් කලාකරුවන් ෂියාඕ සේට නොගැලපෙන නමුත්, ඔවුහු ඔහුව අභිබවා යමින් සිටි හෙයින්, තවමත් ඔහුගේ අවධානය වෙනත් කාර්යයන් කෙරෙහි යොමු වීමෙන් වළක්වා ගැනීමට ඔවුන් හට හැකි විය. දෙපාර්ශවයේ ශක්තීන් අතර පරතරය ජයගත නොහැකි වූවත්, සටන් කලාවේ එවැනි වෙනසක් සාමාන්‍යයෙන් ප්‍රකාශ වූයේ ඔවුන්ගේ අභ්‍යන්තර චී බලයෙන් හෝ ඔවුන්ගේ චලනයන්හි විශිෂ්ටත්වය හරහා නොවේ. එය බොහෝ දුරට රඳා පැවතියේ ඔවුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් සහ ශිල්පීය ක්‍රම මත ය. ෂියාඕ සේ එක් අයෙකුට පහර දුන් වහාම තවත් අයෙක් උත්පතනය වනු ඇත. එය ෂියාඕ සේට කෙතරම් කෝපයක් ගෙන දුන්නේද යත්,නොඉවසිලිමත්කම නිසාවෙන් ඔහුට එය මග හැරිය නොහැකි විය.

කෙසේ වෙතත්, බයි රොං නොසැලී සිටියා ය, “අපි පිටත්ව යන්න කලින් ඒ ගැන කතා කළා! නිකාය නායකතුමා මගෙන් ඉල්ලා සිටියේ යුවන් චින්ව රහසේ මරා දැමීමට අවස්ථාවක් සොයා දෙන ලෙස පමණයි. නිකාය නායක යැන්ගේ අතින් බේරෙන්න මම මගේ මුළු ශක්තියම යෙදුවා. මගේ පපුව තවමත් රිදෙනවා. ඔබට සටන් කිරීමට උදව් කරන්න මට තවමත් ශක්තියක් තිබෙන්නේ කොහොමද? ”

සිය නායකයා වන සැන් ජින්ෂින් ඇතුළු බයි රොංගේ මුතුන් මිත්තන් සහ ඥාතීන් සියල්ලන්ම සිහිපත් කරමින් කාරුණිකව 'ආචාර' කරමින් හුන් ෂියාඕ සේ කෝපයෙන් දත් මිටි කෑවේ ය. නමුත් ඔහු තවමත් කිහිප දෙනෙකුට හසු වී සිටි බැවින් යුවන් චින්ව මරා දැමීමට අවස්ථාවක් සොයාගත හැකි වූයේ නැත.

යුවන් චින් තමා පිටුපස වූ සුන්දරියක් ඇදගෙන යමින් තවත් මැදිරියක් දෙසට දිව යන බව දුටු ෂියාඕ සේට දැණුනේ ඔහු තුළ වූ කෝපය තවත් බුර බුරා දැල්වෙන බව පමණි. යුවන් චින් පසුපස හඹා යාමට පෙර සතුරන් කිහිප දෙනෙකු කඩිනමින් විනාශ කිරීම සඳහා ඔහුගේ සියලු සටන් බලය භාවිතා නොකර සිටීමට ඔහුට නොහැකි විය.

මේ වන විට යුවන් චින් මැදිරිය තුළට ඇතුල් වී තිබුණි. ෂියාඕ සේ සීතල සිනාවක් පෑවේ මේ පුද්ගලයා කෙතරම් මෝඩයෙක් විය යුතු දැයි සිතමිනි. මෙම මැදිරිය පිරිපහදු කළ යකඩින් සාදා තිබුණේද? වනාන්තරයට පැනීම පවා මෙහි රැඳී සිටීමට වඩා හොඳ තේරීමක් වනු ඇත. සැණෙකින් හිත හදාගත් ඔහු සූදානම් වූයේ, පෙර කළ ආකාරයටම තවත් අත්ල ප්‍රහාරයකින් මැදිරියට පහර දීමට ය.

කෙසේ වෙතත්, නොසිතූ ලෙස මෙවර ඔහුගේ ගමන අවහිර විය.

වඩාත් නිවැරදිව කියනවා නම්, අභ්‍යන්තර චී ප්‍රවාහයක් ඔහුගේ මුහුණ දෙසට ඉතා ප්‍රචණ්ඩ ලෙස ගලා එන්නට විය. පසුබැසීම හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරි වූයේ නැත!

අභ්‍යන්තර චී හඬත් සමඟම මැදිරියේ දොරටු විවර වූ අතර ඇතුළතින් සුදුමැලි වූත්, අලංකාර වූත් මුහුණක් හෙළි විය.

පරිවර්තක සටහන:

[1] Ying(පෝෂණය), Wei(ආරක්ෂක/ප්‍රතිශක්තිය), Qi, Xue(රුධිරය) [营卫气血]: මේ චීන වෛද්‍ය පද ය. අසනීපයේ අදියර හතර.

[2] නිදහසේ වයස [而立之年] : වයස අවුරුදු 30 යි.

[3] ජියැංනන්  [江南]:  යැංසි ගඟට දකුණින් ඇති කලාපය.

P/S

මෙහි වීණාව ලෙස සඳහන් කොට ඇති වචනය ඉංග්‍රීසි බසින් පරිවර්තනය කොට තිබුණේ fiddling ලෙස ය. එම වාද්‍ය භාණ්ඩය සිංහල බසින් නියාමාකාරයෙන් හැඳින්වීමට වචනයක් නොදන්නා නිසා වීණාව ලෙස යෙදුවෙමි. (Google මඟින් බාගත් පින්තූරයක් පහළින් ඇත.)








Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-