Skip to main content

තිස් හයවන පරිච්ඡේදය මගේ අහ්-ච්‍යාඕ තමයි හොඳම!

යැන් වුෂි ෂෙන් ච්‍යාඕට මෙතරම් ළෙන්ගතු අයුරින් සලකන බව දුටු රුරුට සිනහවක් ඇති වීම වළක්වාගත නොහැකි විය. දින ගණනාවක් පුරාවටම ෂෙන් ච්‍යාඕව රැකබලා ගත් ඇය ඔහුගේ හැසිරීම සහ සදාචාරය ගැන ඔහුව බෙහෙවින් අගය කළා ය. නායකතුමා ෂෙන් ච්‍යාඕට හොඳින් සලකනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවා ය. කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕට එම කැන්ඩිඩ් පලතුර ගිල දැමීමට කෙතරම් අපහසු වූවාදැයි ඇය දැන සිටියේ නැත. ඔහුට එය අප්‍රසන්න විය. පලතුර පිටතට ගෙන යැන් වුෂි වෙත ආපසු ලබා දිය හැකි වේවා යැයි ඔහු සිතින් ප්‍රාර්ථනා කළේ ය. නමුත් එවන් ක්‍රියාවක් කළහොත් ‍එය ෂෙන් ච්‍යාඕ හට නොගැලපේ. එම නිසා අවසානයේදී ඔහුට එය ගිල දමන්නට සිදු විය. එහෙම ත්  අද ඖෂධය වෙනදාටත් වඩා තිත්ත බව ඔහුට දැනෙන්නට විය. කැන්ඩිඩ් පළතුරට පවා ඔහුට උපකාර කිරීමට නොහැකි විය.

යැන් වුෂි සිනහවකින් ඔහු දෙස බැලී ය. ඔහුගේ නිකට රැඳී තිබුණේ ඔහුගේ අත් මත ය. අනෙක් පුද්ගලයා තමාට එරෙහිව හැරෙන්නට ආසන්න බව දුටු ඔහු අවසානයේ සෙමින් පැවසුවේ ය, “මම අද ෂෝ අධිරාජ්‍යයා හමුවෙන්න මාළිඟාවට ගියා. ඔහු මට කිව්වා ඔහුට ඔබව බලන්න අවශ්‍ය බව ඔබට දන්වන්න කියලා."

ෂෙන් ච්‍යාඕ මදක් වික්ෂිප්ත විය. ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට යැන් වුෂි සැබවින්ම සමත් වී තිබුණි. "මාව බලන්න?"

යැන් වුෂි, “මම හෙට උදේ ඔබව මාළිඟාවට ගෙන යන්නම්. උසාවි රැස්වීමෙන් පසු උදෑසන අටේ හෝරාවට පමණ ඔහු ඔබව හමුවේවි."

“මම දැන් ගම්බද සාමාන්‍ය වැසියෙක්. අධිරාජයාට මාව දකින්න අවශ්‍ය වන්නේ මොකක් නිසාද කියලා නිකාය නායක යැන් දන්නවාද?

"ඔබට අනුමාන කරන්න පුලුවන්."

“...”

අනෙක් පුද්ගලයාට ඇත්තේ දුෂ්ට චරිතයක් බවත් එනිසා පහසුවෙන් පිළිතුරු නොදෙන බවත් ෂෙන් ච්‍යාඕ දැන සිටියේ ය. එබැවින් ඔහු තනිවම ඒ ගැන කල්පනා කරන්නට විය.

“මම අද සූ වාසස්ථානයේ උපන්දින සාදයට සහභාගි වුණා. මමයි දුවාන් වෙන්යැං අතරෙයි සිදු වුණ සටන මේ තරම් ඉක්මනින් අධිරාජයා දැන ගන්න විදිහක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ ගැන නෙවෙයි. එහෙනම් ෂුඅන්දු කන්ද නිසාද? යූ අයිට නැගෙනහිර තුජුයේවලට ලැබුණු ආරාධනාව නිසාද? උතුරු ෂෝ රාජ්‍යයි, තුජුයේ දේශයයි මිත්‍රත්වයෙන් සහ විවාහයෙන් එකිනෙකා එක්ක සම්බන්ධ වුනත්, තවමත් රහසිගතව එකිනෙකාගෙන් ආරක්ෂා වෙනවා. ඔවුන් කිසි විටෙකත් එකිනෙකාව විශ්වාස කරලා නැහැ. අධිරාජයාට මගෙන් කරගැනීමට අවශ්‍ය දෙයක් තිබෙනවාද?”

"ඔබ ඉතා දක්ෂයි!" යැන් වුෂි අත්පොළසන් දුන්නේ ය. “දැක්කාද? මම ඔබට නොකිව්වත්, බොහෝ දේවල් අනුමාන කරන්න ඔබටම පුලුවන් වුණා."

ෂෙන් ච්‍යාඕ නළල රැලි කළේය. "ඔහුට මගෙන් කුමක් කිරීමටද අවශ්‍ය?"

“ඔබ හෙට ගියාම දැනගන්න පුළුවන්. ඒත් මට ඔබගෙන් කරගැනීමට අවශ්‍ය තවත් දෙයක් තිබෙනවා.”

ෂෙන් ච්‍යාඕ හිස සැලුවේ ය, "ඒක සදාචාර විරෝධී දෙයක් නම් මට උදව් කරන්න බැහැ."

"ඔබ මොනවද කල්පනා කරන්නේ?" යැන් වුෂි සිනාසුණේ ය. ඔහුගේ දිගු ඇඟිලි ෂෙන් ච්‍යාඕගේ මුහුණ පසුකර ගොස් කෙළින්ම ගමන් කොට අවසානයේදී ඔහුගේ තොල් මත පතිත විය.

ෂෙන් ච්‍යාඕ පසුපසට ඇදුනේ නැත. මදක් පිරිමදින ලද ඔහුගේ තොල් සඟල සිහින් රතු පාට තට්ටුවකින් වැසී ගියේ ය.

යැන් වුෂි දිගටම තම කතාව කරගෙන ගියේ ඉන් අනතුරුව ය, “ෂුආන්දු කන්ද චින්-හැන් යුගයේ තිබුණ සමෘද්ධිමත් නිකායක්. ෂුඅන්දු කන්දේ පළමු නායකයා මිනිසුන්ගේ කටහඬ පමණක් අහලා අනාවැකි කීමට විශේෂ දක්ෂතාවයක් තිබුණු ඉබාගාතේ යන දාඕවාදී කෙනෙක් කියලා මට ආරංචි වුණා. ෂු ෆු පවා වරක් ඔහුගේ ගෝලයෙක් වෙලා හිටියා."

ෂෙන් ච්‍යාඕ සිනාසෙමින් මෙසේ පැවසුවේ ය, “මිනිසුන් බොරු කතන්දර කියන්න සහ අතිශයෝක්තියට නංවන්න බොහෝ කැමතියි. ෂුඅන්දු කන්දේ නිර්මාතෘ මිංසි වංශාධිපතිතුමාට සම්බන්ධද කියලා මම දන්නේ නැහැ. නමුත් භෞතික විද්‍යාව සහ වාසනාව පැවසීම දාඕවාදී නිකායන්වලට තිබෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය කුසලතා. කටහඬ පදනම් කරගෙන වාසනාව කීම උසස් කුසලතාවක් වගේ පේනවා. නමුත් ඔබ ඒ ගැන දන්නවා නම් ඒක විශේෂ දෙයක් නොවේ. කටහඬ මිනිසුන්ගේ ශරීරයට බලපානවා. ඒ නිසා ඔබට කටහඬින් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්වය කියන්න පුලුවන්.නිදසුනක් විදිහට, පුද්ගලයෙකුගේ පෙනහළු තාපයෙන් පිරිලානම්, ඔහුගේ කටහඬ ගැඹුරු සහ ඝෝෂාකාරියි. යම් වෛද්‍ය දැනුමක් තිබෙන තාක් සහ සටන් කලාව ගැන දන්නා තාක් මේ දේවල් හඳුනාගැනීම අපහසු නැහැ.”

එය පැවසූ සැණින් යැන් වුෂිට යමක් අවබෝධ විය. එනම්  ෂෙන් ච්‍යාඕ එය මීට පෙර අධ්‍යයනය කර ඇති බව ය. "මට අවශ්‍යයි ඔබ යුවන් යොන්ගේ කටහඬට ඇහුම්කන් දෙන්න."

ෂෙන් ච්‍යාඕ කෝපයට පත් විය: “අධිරාජ්‍ය අභ්‍යන්තර මාළිගයේ බොහෝ ප්‍රවීණ වෛද්‍යවරුන් සිටිය යුතුයි. වඩාත් මූලික වෛද්‍ය මූලධර්මය වෙන්නේ රෝග විනිශ්චයට කලින් නාඩි බැලීම, සවන් දීම, ප්‍රශ්න කිරීම සහ දැනීමේ අවශ්‍යයතාවය. අධිරාජ්‍යයා ඇත්තටම අසනීප වෙලා නම් ඒ කිසිම වෛද්‍යවරයෙක්ට ඒ ගැන හොයාගන්න නොහැකි වුණාද? මට සමාවෙන්න, නමුත් මගේ දක්‍ෂතාවය බොහෝ උපකාර ලබා දීමට තරම් ප්‍රමාණවත් නැහැ.”

යැන් වුෂි පැහැදිලි කළේ ය, “ඔහු රජ වුණු මුල් අවදියේදී, යුවන් හූගෙන් අල්ලස් ලබාගත්ත අධිරාජ්‍ය වෛද්‍යවරයෙක් විසින් යුවන් යූව වස දීලා මරා දමන හැටි යුවන් යොන් දැකලා තියෙනවා. එතැන් සිට ඔහු වෛද්‍යවරයක්ව හමුවීමට විරුද්ධ වුණා. අසනීපයක් තිබුණත් ඔහු පහසුවෙන් අධිරාජ්‍ය වෛද්‍යවරුන් කැඳවන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඔහු වසර ගණනාවක් දිවා රෑ රට පාලනය කරනවා. බොහෝ කාලයකට පෙර ඉඳලාම සමහර රෝග ඔහු තුළ මුල් බැසගෙනයි තිබෙන්නේ. ඒ නිසා ඔහුගේ ශරීරයට දැනටමත් හානි වෙලාද කියලා මට බයයි. මගේ මනසේ යම් විනිශ්චයක් තිබෙනවා. නමුත් මට තවමත් අවශ්‍යයි ඔබ ඊට සවන් දීමට."

ඒ ගැන සිතූ ෂෙන් ච්‍යාඕ සැහැල්ලුවෙන් හිස සලා එයට එකඟ විය, “හොඳයි එහෙනම්”

යැන් වුෂිගේ මුහුණ පුරා සිනහවක් පැතිරී ගියේ ය. “මගේ අහ්-ච්‍යාඕ තමයි හොඳම!”

ෂෙන් ච්‍යාඕ කිසිදු ප්‍රකාශයක් නොපෙන්වා සිටියේ ඔහුගේ ස්වභාවය දන්නා නිසා ය.

යැන් වුෂි යළිත් තම හඬ පිට කළේ ය, "මට ඔබට දෙන්න තෑග්ගක් තිබෙනවා"

අනතුරුව ඔහු එක් වරක් අත්පොළසන් දුන්නේ ය. ඔහුගේ හඬට ප්‍රතිචාරයක් ලෙස පිටත සිටි යමෙක් කාමරයට ඇතුල් විය. "නායකතුමා, ඔබ කැමති දෙයක් තිබෙනවාද?"

"මම පුහුණුවීම් කරන කඩු පෙට්ටිය මට ගෙනත් දෙන්න." යැන් වුෂි නියෝග කළේ ය.

සේවිකාව හිස වැනුවා ය. වැඩි කාලයක් නොගෙනම කඩු පෙට්ටිය රැගෙන ආපසු පැමිණි ඇය අත් දෙකෙන්ම එය ඔහුට පිරිනැමුවා ය.

එය අතට ගත් යැන් වුෂි කිහිප වතාවක්ම තම අත එය මතුපිටින් දිවෙව්වේ ය. ඉන්පසු සිනාසෙමින් කඩු පෙට්ටිය ෂෙන් ච්‍යාඕගේ දෑත මත තැබුවේ ය.

ෂෙන් ච්‍යාඕ මුලින් මදක් අවුල්සහගත විය. කඩු පෙට්ටියේ අගුල විවෘත කිරීම සඳහා එය අතපත ගාමින් සිටි ඔහුගේ ඇඟිලිවලට එහි ඇති කඩුව ස්පර්ශ වූ වහාම හදවත ප්‍රීතියෙන් පිනා යන්නට විය: “ස්වර්ගීය විපත කඩුව?”

"ඔබ එයට කැමතිද?" යැන් වුෂි සතුටින් සිනාසෙමින් ඇසුවේ ය.

"නිකාය නායක යැන් එය හොඳින් රැකබලා ගැනීම ගැන මම ඇත්තෙන්ම කෘතඥ වෙනවා."  ෂෙන් ච්‍යාඕ පර්වතයෙන් වැටී අවදි වූ පසු, ස්වර්ගීය විපත කඩුව තවදුරටත් ඔහු සමඟ තිබුණේ නැත. ඔහු එදින ඒ පිළිබඳව යූ ෂෙන්ග්යාන්ගෙන් ඇසුවද අනෙක් පුද්ගලයාගේ පිළිතුර ඉතා අපැහැදිලි වූ නිසා නැවත කිසි දිනෙක ඇසුවේ නැත.කෙසේ වෙතත්, කඩුව යැන් වුෂිගේ අතේ නොතිබුණි. ඔහු පර්වතයෙන් වැටෙන විට එය අහිමි වන්නට ඇත. නමුත් එය යැන් වුෂි ළඟ තිබුණත් ෂෙන් ච්‍යාඕ සතුව ඒ මොහොතේ පැවති ශක්තියෙන් එය භාවිතා කිරීමට ඔහුට යම් කිසි ලජ්ජාවක් දැණුනි.

එහෙත් එය නැවත ලැබීම ගැන ඔහු සතුටු නොවන්නේ කෙසේද? ඔහුට සත් විය ලැබූ දිනයේදී ඔහුගේ ගුරුතුමා විසින් එම කඩුව ලබා දෙන ලද අතර එතැන් සිට එය මොහොතක් හෝ ඔහුගෙන් ඈත් වී තිබුණේ නැත. ඔහු කොතැනක සිටියත් කඩුව ද එහි තිබුණි. ෂෙන් ච්‍යාඕට එය කඩුවකටත් වඩා බොහෝ සෙයින් අගනා දෙයක්  විය. ස්වර්ගීය විපත කඩුව අත තබාගත් ඔහු තම අත්ල ඒ මේ අත යවමින් එය ස්පර්ශ කළේ ය. ඔහුගේ ප්‍රීතිය කෙතරම් ද යත්, ඔහුගේ මුහුණ පවා සුදු ජේඩ් වලින් කැටයම් කරන ලද රූපයක මෙන් මෘදු දීප්තියකින් පිරී ඇති බවක් පෙනෙන්නට තිබුණි.

සෑම මනුෂ්‍යයෙකුම රූපසම්පත්තියෙන් අනූන මිනිසුන් දැකීමට ප්‍රිය වූ අතර යැන් වුෂි ද එහි ව්‍යතිරේකයක් නොවී ය. ඒ කෙරෙහි විශේෂ මුදු මොළොක් හැඟීම් නොතිබුණද, එය දැකීමෙන් සතුටක් ලැබීමට ඔහුට බාධාවක් නොවී ය. ඔහු වහාම එම පුද්ගලයාට උසුළු විසිළු කිරීමට පටන් ගත්තේ ය.

"ආයෙත් ඒ වගේ හිනාවෙන්න."

ෂෙන් ච්‍යාඕ: "..."

ෂෙන් ච්‍යාඕගේ මුහුණේ සිනහව හිරු දුටු පිණි මෙන් අතුරුදන් වූ අතර තොල් සඟළ පවා තද කොට අගුළු ලා ගැනීමට ඔහු ප්‍රමාද නොවූයේ ය. මෙය දුටු යැන් වුෂි පසුතැවිල්ලට පත් වූ නමුත් ඒ සඳහා කිරීමට වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ ද නැත. “ආ-ච්‍යාඕ, ඔබ මේ නොරිස්සුම්සහගත මුහුණ පෙන්වන්නේ කාටද? මම ඔබට නැවතත් ඔබේ කඩුව ලබා දුන්නා. ඔබ එයට මට ස්තූති කරන්නේ මෙහෙමද? ”

“මම හිතුවේ ඔබත් සමඟ අධිරාජ්‍යයාව හමුවෙන්න යන්න  මම කැමති වුණ නිසා නිකාය නායක යැන් මට කඩුව ආපසු ලබා දුන්නා කියලා.” ෂෙන් ච්‍යාඕ ද මේ වන විට කපටි ලෙස හැසිරීමේ කුසලතාවය යම් තරමකට ඉගෙනගෙන තිබුණි.

සිනහසුණු යැන් වුෂි ප්‍රියමනාප ලෙස මෙසේ පැවසීමට ද අමතක නොකළේ ය, “හොඳයි, ඔබට කැමති විදිහට හිතාගන්න එහෙනම්.”

ඔහුගේ ක්ෂණික විකාරසහගත හැසිරීමට ෂෙන් ච්‍යාඕ ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ වෙනුවට හදිසියේම යමක් සිහිපත් වූ කලෙක මෙන් ඔහු මෙසේ පැවසුවේ ය, “මගේ මැරිඩියන් මූලයට දැනටමත් හානි වෙලා. ඔබ කිව්වා වගේ, සූර්යවාදයේ ඉතිරි පිටපත් ආධාරයෙන්වත්, ඒවා පෙර මට්ටමට ගෙන එන්න අතිශයින් දුෂ්කර වේවි. නමුත්, මගේ දාඕවාදී හරය විනාශ කරලා යක්ෂ මාවතේ යන්න අදහසක් මට නැහැ. ඔබට මාව ප්‍රතිවාදියා කරගැනීමට අවශ්‍ය වුණත් තව අවුරුදු අටක්, දහයක් ගියත් ප්‍රතිඵල‍යක් නැති වේවිද කියලා මට බයයි. නිකාය නායක යැන් අවසර දෙනවානම්, මම අධිරාජ්‍යයාව හමුවීමෙන් පසුව ෂෝ රට හැර යන්න කැමතියි."

යැන් වුෂි ඔහුව බැරෑරුම් ලෙස සැලකුවේ නැත: “ෂෝ රට හැර ගියාට පසුව ඔබ යන්නේ කොහේටද? මගේ ආරක්‍ෂාවත් නැතිව යම් පිරිසක් පැමිණ ඔබ සමඟ මාරුවෙන් මාරුවට සටන් කළොත්, දැනට ඔබ සිටින තත්ත්වයත් එක්ක ඔබට ලැබෙන්නේ අනෙක් අයගේ අනුකම්පාව පමණයි.”

ෂෙන් ච්‍යාඕ නැවතත් තම හඬ අවදි කළේ ය, “ දාඕවාදය පුහුණු වෙන්න අසංඛ්‍යාත ක්‍රම තිබෙනවා. නමුත් අවසානයේ ඵලදායී වෙන්නේ ලෞකික කටයුතුවලින් ඉවත් වීම හෝ ඒවා‍යෙන් අත්දැකීම් ලබමින් ජීවත් වීම කියන ක්‍රම දෙක පමණයි. මිනිස් ලෝකයේ මගේ 'මාර්ගය' හොයාගෙන යන්න මම තීරණය කරලා තියෙන නිසා, ඒක සාර්ථක කරගන්නනම් මිනිසුන්ගේ විවිධ ආශාවන්වල මුල් බැස ගත්ත සියලුම පරීක්ෂාවන් වගේම වධ වේදනාත් මට අත්විඳින්න සිදු වෙනවා. මට දැන් විශේෂ හැකියාවක් නැති වුණත් මාව ආරක්ෂා කරගන්න ක්‍රමයක් ගැන මට තවමත් හිතන්න පුළුවන්. නිතරම නවාතැන් ගන්න නිකාය නායක යැන් මත රඳා සිටියොත්, ෂුආන්දු කන්දේ රැඳී සිටීමට වඩා ඒක වෙනස් වෙන්නේ කොහොමද?"

එය මෙවන් ප්‍රකාශනයක් විය. ඔහු ඒ වන විටත් කුණු කසළවලින් වැසී ගිය මඩ ගොහොරුවක ගැඹුරට කිඳා බැස ඇත. ඕනෑම කෙනෙකුට ඔහුව පාගා දැමිය හැකි ය. නමුත් ඔහු තවමත් තැත් දරන්නේ දෙපයින් නැගී සිටීමට ය. ඒ සඳහා සටන් කරමින් පියවරෙන් පියවර ඉහළට නැගීම ඔහු ආරම්භ කළේ ය. ඔහුගේ පවුලේ අය සහ මිතුරන් විසින් කරන ලද පාවාදීම, සතුරුකමෙන් ආපසු ගෙවන ලද ඔහුගේ කරුණාව යන කිසිවක් ඔහුගේ හදවතින් ඔහු කිරා බැලුවේ නැත.

එය සැබවින්ම..... කැබලිවලට බිඳී යාමට පෙර ඔහුට කොපමණ ප්‍රමාණයක් විඳදරාගත හැකිදැයි බැලීමට නැවත වරක් ඔහු මත පා තැබීමට මිනිසුන් උත්සාහ කළාක් මෙන් හැඟීමක් ජනිත කළේ ය.

කඳුළු සලමින් අනුකම්පාසහගත ලෙස බැගෑපත්ව ආයාචනා කරන විට මේ මුහුණ තවත් ලස්සනට පෙනෙන්නේ නැද්ද?

යැන් වුෂි සිනාසෙමින් මෙසේ පැවසුවේ ය, “ඔබට යන්න අවශ්‍යනම් මම ඔබව නවත්වන්නේ නැහැ. නමුත් මම ඔබට යෝජනා කරනවා ඒක ටිකක් කල් දමන්න කියලා. මේ දවස්වල ෂෝ රාජ්‍යයයි චෙන් රාජ්‍යයයි සන්ධානයක් පිහිටුවන්න එකඟ වෙලායි තියෙන්නෙ. ලින්චුවන් ආයතනය තමයි චෙන් රාජ්‍යයේ දූතයා කැටුව යාම භාරව හිටියේ. නමුත් දැන් ෂෝ අධිරාජ්‍යයාත් චෙන් රටේ සන්ධාන ඉල්ලීමට ලිඛිත පිළිතුරක් එක්ක දූතයෙක්ව චෙන්වලට යවන්නයි හදන්නේ. ඔහු බයයි චී රට මැදිහත් වෙයි කියලා. ඒ නිසා පවිත්‍ර චන්ද්‍ර නිකායේ පණිවිඩකරුවෙක්ව රැගෙන යන්න දෙන්න කියලා ඔහු ඉල්ලලා. මම ඒ කාර්‍යය බියන් යන්මෙයිට භාර දෙන්නයි හිටියේ. නමුත් රුයන් ක'හුයි හමුවෙන්න අවශ්‍ය නිසා මමම තනිව යන්න තීරණය කළා."

“සියලුම කොන්ෆියුසියානු නිකායන්වල නායකයා, ලෝකයේ හොඳම ප්‍රවීණයන් තිදෙනාගෙන් කෙනෙකු වෙන මාත් එක්ක ද්වන්ධ සටනක් කරන්න නියමිතයි. එය ඔබේම දෑසින් දකින්න ඔබට අවශ්‍ය නැද්ද?”

ෂෙන් ච්‍යාඕ ඔහුගේ පරීක්ෂාවන් ඉදිරියේදී කෙතරම් නොසැලකිලිමත් ලෙස සිටීමට උත්සාහ කළ ද, මෙවැනි පරීක්ෂාවකට එරෙහි වීමට නොහැකි විය. “ඔබ දැනටමත් අභියෝග ලිපිය නායක රුයන්ට යවලා අවසන්ද?” ලෙසින් විමසන විටත් ඔහු පසු වූයේ තරමක සංවේගයකින් බව පෙනෙන්නට තිබුණි.

"මට ලිපියක් යැවීමට අවශ්‍ය වෙන්නේ ඇයි?" යැන් වුෂි උපහාසයට ලක් කළේ ය, “ආ- ච්‍යාඕ, ඔබ ගැටුම්කාරී පුද්ගලයෙක් නෙවෙයි. නමුත් ඔබ ඇත්තටම හිතනවාද අනෙක් මනුෂ්‍යයොත් ඔබ වගේ කියලා? මම යැංසි ගඟට දකුණින් ඉන්නවා කියලා රුයන් ක'හුයි දන්නවා නම්, ඔහු මාව හමුවෙන්න උත්සාහ නොකර ඉන්නේ කොහොමද? ඔහු මාව පරාජය කළොත්, ඔහුගේ කීර්ති නාමය සුළුපටු වෙන්නේ නැහැ. මම ඔහුගෙන් පැරදුණොත්, පවිත්‍ර චන්ද්‍ර නිකායේ කීර්ති නාමයට හානි වෙනවා. එවිට උතුරු ෂෝවලටත් ඒක බලපාවි. පවිත්‍ර චන්ද්‍ර නිකාය නැති වුණොත්, කීර්තියයි, ධනයයි ලබාගන්න කැමති අයට වගේම යුවන් යොන් මා ගැන තබලා තියෙන විශ්වාසය නැති කරන්න කැමති අයටත්, ප්‍රයෝජන ගන්න හොඳ අවස්ථාවක් ලැබේවි. මේ වගේ ලාභදායි ව්‍යාපාරයකට සහභාගි වෙන්න කී දෙනෙක් කැමති වේවිද කියලා කවුද දන්නේ!”

ඒ පිළිබඳව සිතූ ෂෙන් ච්‍යාඕ ද එයට එකඟ විය. යැන් වුෂි විසින් දේවල් හැසිරවීමේ විලාසය ඔහු අනුමත නොකළ ද, ඔහු සටන් කලාවේ ඔහුගේ ජයග්‍රහණ බෙහෙවින් අගය කළ අයෙක් විය. මදක් වශීකෘත වූ ඔහු එක්වරම පිළිතුරු දුන්නේ ය, “ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම නායකයෝ දෙදෙනාගේ කඩු හරඹයක් කියන්නේ ඕනෑම කෙනෙක් දකින්න ආසාවෙන් බලාගෙන ඉන්න සිදුවීමක්. ප්‍රවෘත්තිය කලින් පැතිරිලා ගියොත්, ස්ථානය වනාන්තරයක් වුණත්, දුර තිබෙන කන්දක් වුණත් ඒ ස්ථානය ද්වන්ධ සටන දකින්න එන අයගෙන් පිරිලා ඉතිරිලා යාවි."

නමුත් යැන් වුෂිගේ ප්‍රතිචාරය වූකලී කනට ගැසුවාක් මෙන් විය, “ඔහ්, ඔබ කියන්නේ ඔබ අර්ධ-පියවර කදු මුදුනේදි කුන්ය'ට පැරදුණු කාලය වගේ නේද. ඔබට ඔබේ කීර්තියත් නැති වෙලා ගියා. එහෙම වුණොත් මුළු ලෝකයම ඉක්මනින් දැන ගනීවි."

මෙම මිනිසා බරපතල ලෙස ඉතා දරුණු විය. වහා මුව වසාගත් ෂෙන් ච්‍යාඕ තවත් කතා කළේ නැත.

යැන් වුෂි සිනහසෙන්නට විය. “නමුත් මේ අදහසත් නරකම නැහැ. කොන්ෆියුෂියානු විද්වතුන් කියන්නේ නිමක් නැති  උසස් කථාවලින් මිනිසුන්ට දේශන පැවැත්වීමෙන් සතුටක් ලබන අය. රුයන් ක'හුයි කොතරම් කටකාරයෙක්ද කිවුවොත් ඔහුගේ කියවිල්ලට මම කවදාවත් කැමති වුණේ නැහැ. ඔහුව පරාජය කරලා නැවත කිසිම දවසක කතා කරන්න එපා කියලා සියලුම දෙනා ඉදිරියේ දිවුරන්න ඔහුට බල කළොත්, ඔහු ඊට වඩා කැමති වේවි මගෙ අතින් මැරෙන්න!"

පසුදා උදෑසනම ෂෙන් ච්‍යාඕ යැන් වුෂි පසුපසින් මාළිඟාවට ගියේ ය.

ෂෝ අධිරාජ්‍යයා ෂෙන් ච්‍යාඕගේ දෑස් පවා සැලකිල්ලට ගත්තේ ය. කිසිදු බාධාවකින් තොරව කෙළින්ම චියන්'අන් ශාලාවට යාම උදෙසා ඉඩ සලසමින් ඔහු ඔවුන් සඳහා ප්‍රවාහන මැදිරියක් ද යැවී ය. එම නිසා ඔවුනට මාළිඟා දොරටුවේ සිට ප්‍රධාන ශාලාවට යන ගමන මඟහැරිය හැකි විය.

ඇත්තෙන්ම, හන් අධිරාජ්‍යය අවසන් වූ දා සිට මධ්‍යම තැනිතලාව වසර සිය ගණනාවක්ම යුද්ධයට ලක්ව තිබුණි. පළමුව, ත්‍රිත්ව රාජධානි යුගයේ අවුල් සහගත තත්වයක් ඇති  වී තිබූ අතර, ජින් රාජවංශය දේශය එක්සත් කිරීමෙන් වැඩි කල් නොගොස් ම, නැවතත් සටනක් ඇති විය. එහෙයින් ජින් වංශය හට එහි අගනුවර ගිණිකොන දෙසට ගෙන යාමට සිදු විය. ඉන් පසු තවත් ශත වර්ෂයක් රාජධානි දහසය අතර ගැටුම් ඇති විය. මහා එකමුතුවකින් තොරව, තම රටට ප්‍රහාරයක් එල්ල වන්නේ කවදාදැයිදවත් කිසිවෙකු දැන නොසිටි බැවින්, විශාල මාළිඟා තැනීමට පාලකයන්ට මිනිස් බලය හෝ මූල්‍ය සම්පත් නොතිබුණි. යම් තරමක ජයග්‍රහණ තිබූ එම රජවරු බොහෝ විට උතුරු ෂෝහි පෙර අධිරාජ්‍යයන් කළ ආකාරයටම තවත් ඉඩම් සහ ධනය අත්පත් කර ගැනීම සඳහා තම සම්පත් යුද්ධයට යොමු කිරීමට තීරණය කළ හ. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ෂෝ මාළිඟය එතරම් විශාල වූයේ නැත.

වත්මන් ෂෝ අධිරාජ්‍යයා නොහොත් යුවන් යොන්ගේ කීර්තිය තරමක් ධ්‍රැවීකරණය වූවකි. ඔහු සරල ජීවන රටාවක් ගත කළ අතර මිනිසුන්ට සැලකිල්ලක් දැක් වූ අයෙකි. නමුත් ඒ සමඟම තම නිලධාරීන් කෙරෙහි අවිශ්වාසයෙන් හා රළු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු බලයට පත්වීමෙන් පසු බුද්ධාගම සහ දාඕවාදය යන දෙකම තහනම් කළේ ය. පසුව, ඔහු කොන්ෆියුසියස්වාදයෙන් පවා ඈත් වූ අතර, හන්වල පෙර සිටි අධිරාජ්‍යයාගේ අභාවයෙන් පසු ක්‍රමයෙන් පරිහානියට පත් වූ නීතිවාදී පාසලේ උපදේශකයෙකු බවට පත් විය. ඒ අතරම, ඔහු තම බලය තහවුරු කර ගැනීම සඳහා පවිත්‍ර චන්ද්‍ර නිකාය මත ද විශ්වාසය තැබූ අතර, එබැවින් බොහෝ දෙනාගේ විවේචනයට ද ලක් විය. ෂෙන් ච්‍යාඕ ෂුඅන්දු කන්දෙන් පිටව ගිය පසු, යුවන් යොන් සම්බන්ධයෙන් වූ ප්‍රශංසා සහ විවේචන දෙකම ඔහුට අසන්නට ලැබී තිබුණි. ප්‍රශංසා පවා අභිබවා යමින් විශාල විවේචන ප්‍රමාණයක් ඔහු වෙත එල්ල වූ බවක් ඔහුට පෙනෙන්නට තිබුණි.

එබැවින්, යුවන් යොන් ඔහුව ආචාරශීලී ලෙස ශාලාවට කැඳවා පැනයක් ඉදිරිපත් කළ මොහොතේ ෂෙන් ච්‍යාඕ මදක් පසුබට විය, “මේ මුලු කාලය පුරාවටම සාමාන්‍ය ජනතාව අතරෙ ඇවිදිමින් කාලය ගත කරපු නිසා ඔබ බොහෝ දුක් වින්දා කියලා මට ආරංචි වුණා. ඒ නිසා ඔබ ඔවුන්ගේ බොහෝ දුෂ්කරතාත් දැකලා තිබෙන බව මට විශ්වාසයි. මට දැනගන්න ආසයි මිනිස්සු මාව දකින්නේ කොහොමද කියලා?” කෙසේ වෙතත්, ඔහු තවමත් සත්‍ය පැවසීමට තීරණය කොට තිබුණි. එහෙයින් "ප්‍රශංසා තිබෙනවා.නමුත් විවේචනත් තිබෙනවා" යනුවෙන් පැවසුවේ ය.

යුවන් යොන් මහ හඬින් සිනහසුණේ ය, “ඔවුන් මට ප්‍රශංසා කරන්නේ මොකටද? අනෙක, ඇයි ඔවුන් මට බනින්නෙ?

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ ය, “සුඛෝපභෝගිත්වය වෙනුවට සරල බව වෙනුවෙන් පෙනී සිටීමටයි, දේශපාලන දූෂණය පිරිසිදු කිරීම ගැනයි ඔවුන් ඔබතුමාට ප්‍රශංසා කරනවා. එහෙත් බුදු දහමයි, දාඕවාදයයි සමූලඝාතනය කිරීමට සහ මිනිසුන්ට රළු ලෙස සැලකීම, ඒ වගේම හමුදා කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් තවත් සමහරු ඔබතුමාව විවේචනය කරනවා."

යුවන් යොන් විමසුවේ ය, “මහත්මයා, ඔබ ෂුආන්දු කන්දේ හිටපු නිකාය නායකයා. මම බුද්ධාගම සහ දාඕ ආගම දෙකම තහනම් කළ නිසා, මම ඔබගේත් සතුරෙක්. ඒකට ඔබ මට වෛර කරන්නේ නැද්ද?"

ඔහුගේ ප්‍රශ්න එකින් එක ආවේගශීලී සහ ආක්‍රමණශීලී වෙමින් පැවතිණ. නමුත් යැන් වුෂි කළේ ෂෙන් ච්‍යාඕට උපකාර කිරීමට කිසිදු චේතනාවකින් තොරව සීතලෙන් බලා සිටීම පමණි.

"මහ රජතුමා බුදුදහම සහ දාඕ ආගම තහනම් කළේ ඇයි කියලා අහන්න මට පුලුවන්ද?" ෂෙන් ච්‍යාඕ විමසුවේ ය.

යුවන් යොන් පැහැදිලි කළේ ය, “බුද්ධාගම සහ දාඕවාදය අන්ධ විදිහට විශ්වාස කරන පුද්ගලයන් ඔවුන්ගේ ඉතිරි කිරීම් සියල්ලම පන්සල්වලට පරිත්‍යාග කරලා ඔවුන්ගේ ඊළඟ ජීවිතයේ වාසනාවන් අපේක්ෂාවෙන් කිසිවක් නොකර බලාගෙන ඉන්නවා. බෞද්ධ, දාඕවාදී ආයතන විශාල පරිමාණයෙන් පරිත්‍යාග සහ ගොවිබිම් එකතු කරනවා. බදු නොගෙවනවා පමණක් නොවෙයි, ගොවීන්ව ඔවුන් යටතට අරගෙන කුඹුරුවලින් නිපදවන ධාන්‍යවලට තමන්ගේ වගේ අනුග්‍රහය දක්වනවා. මෙහෙම ගියොත් උසාවියට ​​දීර්ඝ කාලීනව ධාන්‍ය එකතු කරන්න බැරි වෙනවා. බුද්ධාගමයි, දාඕවාදයයි නීතියට බය නැතිව තව තවත් බලවත් වෙලා අවසානයේ කැළඹීම් ඇති කරන මූලාශ්‍ර බවට පත් වේවි. ඒක මීට වසර හැටකට පෙරදී ෆාචින් තමා නව බුදුන් යැයි කියාගෙන පිරිසක් කැරැල්ලට ගෙන ගියා වගේ වේවි. ”

පුරාණ කාලයේ සිටම රාජකීයයන්ට ආගම් කෙරෙහි වැඩි බලයක් තිබුණි.අධිරාජ්‍යයාගේ පාලනයට තර්ජනයක් වන තරමට ආගමක් විශාල වූ විට, වත්මන් පාලකයා එම චාරිත්‍ර විනාශ කිරීමට සහ තහනම් කිරීමට උත්සුක වේ. කෙසේ වෙතත්, දාඕවාදී නිකායන් ද මෙවර ප්‍රහාරයට හසු වී තිබුණි. අනාගත ගැටලු වළක්වා ගැනීම සඳහා, යුවන් යොන් විසින් බුදුදහම සහ දාඕවාදය යන ද්විත්වය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද්දේ ය.

කොන්ෆියුසියානුවාදය සම්බන්ධයෙන් ගත් කල, යුවන් යොන් ප්‍රථමව නියෝග කළේ කොන්ෆියුසියානු දර්ශනය පාසල් තුන අතර පළමු ස්ථානයට පත් කරන බව ය. කෙසේ වෙතත්, ඔහු රුයන් ක'හුයිට චන්'අන් හි දේශනයක් පැවැත්වීමට ආරාධනා කරමින් පෞද්ගලිකව ලිපියක් යැවූ විට, අනෙක් පුද්ගලයා  ඔහුව ආචාරශීලීව ප්‍රතික්ෂේප කොට තිබුණි. මෙම ක්‍රියාව යුවන් යොන්ව දැඩි ලෙස කෝපයට පත් කළ අතර, ඔහු අනෙක් ද්විත්වය සමඟ එක්ව කොන්ෆියුසියස්වාදය වහාම තහනම් කළේ ය. පාසල් ත්‍රිත්වයම සාර්ථක ලෙස අමනාප කිරීමට ඔහු සමත් විය.

පවසා අවසන් වූ පසු, යුවන් යොන් ෂෙන් ච්‍යාඕ දෙස බලා මෙසේ ඇසුවේ ය, "මහත්මයාත් දාඕවාදී නිකායක කෙනෙක්. ඒ නිසා මම කරපු දේ වැරදියි කියලා ඔබටත් හිතෙනවා ඇති නේද?"

ෂෙන් ච්‍යාඕ පිළිවදන් දුන්නේ ය, “දාඕ කියන්නේ ජලයට සමානයි කියන අර්ථය. කිසිවක් තමාට තබා නොගෙන සියලු ජීවීන්ට ප්‍රතිලාභ ලබා දීමයි දාඕ නීතිය විය යුත්තේ. දාඕ නීතිය අනුගමනය කරන පුද්ගලයන් තමන් ධනවත් හෝ උසස් කෙනෙකු වීමට උත්සාහ නොකර සාමාන්‍ය දේ සමඟ ඒකාබද්ධ විය යුතුයි. සැබෑ දාඕ සාක්ෂාත් කරගන්න පුලුවන්  දේවල්වල ස්වාභාවික අනුපිළිවෙලට අනුකූලව ජීවත් වෙන සහ මිනිසුන් අතර බෙදා ගන්නා පොදු හැඟීම් දැනෙන අයට පමණයි."

වෙනත් වචන වලින් කිවහොත්, අන් අයට හානි කිරීමෙන් තමන්ටම ප්‍රයෝජන ගත් එම දාඕවාදීන් බොහෝ විට දාඕවාදී නිකායන් අතර පහත් අය වූහ. ඔවුන්ට දාඕවාදයේ නියෝජිතයන් විය නොහැක.

යුවන් යොන්ගේ රළු පෙනුම ලිහිල් වූයේ මීට පෙර හමු වූ දාඕවාදීන්ට වඩා ෂෙන් ච්‍යාඕ වෙනස් බව ඔහු දුටු බැවිනි. ඔවුන් තහනම් දාඕවාදය වෙනුවෙන් කතා කිරීම උදෙසා හැකි සෑම ආකාරයකින්ම උත්සාහ කර තිබිණි. නමුත් ෂෙන් ච්‍යාඕ එසේ නොවී ය. එලෙසම පිළිතුරු දීමට පෙර ඔහු කිසිසේත්ම පසුබට නොවූ අතර ඔහුගේ ස්ථාවරය ද පැහැදිලි සහ ස්ථිර විය. ඔහු ප්‍රීතියෙන් පැවසුවේ ය, “මම බොහෝ කාලයක ඉඳලා ෂුඅන්දු කන්දේ නම අහලා තියෙනවා. නමුත් අද තමයි  අවසානයේදී මට මහත්මයාව හමුවීමේ වාසනාව ලැබුණේ. අපේක්ෂා කළ විදිහටම, ඔබ ඔබේ කීර්ති නාමයට අනුව ජීවත් වෙනවා. ගෙවිලා යන සෑම දිනකම මට ඇහෙන්නේ බුදුදහම සහ දාඕවාදය වෙනුවෙන් කතා කරන මිනිසුන් පමණයි. නමුත් ඔබ දැන් කියපු දෙය අහන්න ඔවුන්ට මම ඉඩ දෙන්න ඕනේ. මම විනාශ කරන්නේ සැබෑ දාඕවාදය නෙවෙයි, අමරණීයයන්ගේ නාමයෙන් මුළා කරන සහ වංචා කරන අයයි. ඒ මිනිස්සුන්ගෙන් රටටවත් ජනතාවටවත් සෙතක් නැහැ. ප්‍රමාද වීමට වඩා ඉක්මනින් ඒවා විනාශ කිරීම වඩා හොඳයි!"

ඔහුගේ වචන සහ ස්වරය ඝාතක හඬකට අතිශයින්ම සම විය.

ඔහුට පිළිතුරු දීම ෂෙන් ච්‍යාඕට පහසු නොවී ය. ඔහු එවැනි සොර දාඕවාදියෙකු නොවූවත්, ඔහු තවමත් දාඕවාදය විශ්වාස කළ අයෙකු වූ අතර, එබැවින් යුවන් යොන්ගේ ම්ලේච්ඡ වචන සඳහා ඔහුට ස්ථිර සහයෝගයක් දැක්වීමට නොහැකි විය.

යුවන් යොන් ද ඔහුගෙන් කිසිදු ප්‍රශංසනීය වදනක් අසන්නට බලාපොරොත්තු වූයේ නැත.ඔහු තම වම්පස පහළින් වාඩි වී සිටි ෂෙන් ච්‍යාඕ දෙස බැලූ අතර ඔහුගේ කටහඬ මෘදු විය, “මහත්මයාව දැකපු වෙලාවේම මට දැනුණේ අපි පරණ මිත්‍රයෝ වගේ. මහත්මයාගේ දර්ශනය ඉතා ප්‍රශංසනීයයි. මට දාඕවාදයේ පදනම නැවත ස්ථාපිත කිරීමට සහ දාඕවාදී නිකායන් යළිත් ගොඩනැගීමට මහත්මයාට උදව් කිරීමට අවශ්‍යයයි. ඒ ගැන මහත්මයාගේ මතය දැනගන්න මම කැමතියි."

ෂෙන් ච්‍යාඕ පැවසුවේ ය, “මේ දුප්පත් දාඕවාදියාට ඇත්තටම මහරජතුමා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ.  මහරජතුමනි, එය වඩාත් විස්තරාත්මකව පහදලා දෙනවද?"

යුවන් යොන් සෑම විටම තීරණාත්මක සහ සෘජු පුද්ගලයෙකු විය. වටින් ගොඩින් කතා කිරීමට ද ඔහු කැමති වූයේ නැත, “ඔවුන්ගේ ද්‍රෝහිකමට ගොදුරු වුණේ නැත්නම්, ඔබ එදා අර්ධ පියවර කදු මුදුනේදී පරාජය වෙන්නේ නැහැ කියලා කනිෂ්ඨ රාජ්‍ය උපදේශක යැන් මට දැනටමත් කියලායි තිබෙන්නේ. ඒක එහෙමනම්, ඔබව නිකාය නායක තනතුරෙන් නෙරපන්න ෂුඅන්දු කන්දේ දම් මන්දිරයට අයිතියක් නැහැ. එහි ඉඩක් නැති වුණත්, ඔබට සෑම විටම වෙනත් ස්ථාන තිබෙනවා. මහත්මයාට ෂුඅන්දු කන්දේ ඉන්න බැරි නිසා, චන්'අන්වල ෂුඅන්දු කන්දේ දාඕවාදී සම්ප්‍රදාය නැවත ස්ථාපිත කරන්නේ නැත්තේ ඇයි? මට විශ්වාසයි මහත්මයාගේ දක්ෂතාවය නිසා ඔබ කොතැනක සිටියත් බැබළෙනවා කියලා.”

සියල්ල අවසානයේ ෂෙන් ච්‍යාඕට ඔහුගේ විස්මය හෙළි නොකර සිටීමට නොහැකි විය.

යුවන් යොන් ඒ ගැන ඉතා සෘජු විය. ඔහුට අවශ්‍ය වූයේ ෂෙන් ච්‍යාඕ විසින් චන්'අන් හි නිකායක් ආරම්භ කොට ෂුඅන්දු කන්දේ තවත් දම් මන්දිරයක් පිහිටුවීමට ය. ඔහු වනාහී චී ෆංග විසින් ප්‍රථමව පත් කරන ලද යුක්ති සහගත නිකාය නායකයා ය. එය නිල වූ අතර, එබැවින් ඔහු ව්‍යාජ බව කිසිවෙකුට පැවසිය නොහැකි වනු ඇත.

කෙසේ වෙතත්, එවිට ෂුඅන්දු කන්දට දම් මන්දිර ද්විත්වයක් ඇති අතර, ෂෙන් ච්‍යාඕ සහ අනෙක් පසින් සිටි ෂුඅන්දු කන්ද විසින් පිහිටුවන ලද නව නිකාය, භූමිය පුරා එකිනෙකාට එරෙහිව විරුද්ධ විය.

යුවන් යොන් එයින් ඇඟවූයේ අධිරාජ්‍ය අධිකරණයේ බලයෙන් ෂෙන් ච්‍යාඕට සහාය දීම ය. කෙසේ වෙතත්, මෙම උපකාරය නොමිලේ ලැබෙන්නේ නැත. ෂෙන් ච්‍යාඕගේ නව නිකාය එහි ආරම්භක අදියරේදී දුර්වල වීමට බැඳී සිටි අතර, එනිසා ඔහුට අධිකරණයෙන් ලැබෙන සහයෝගය මත විශ්වාසය තැබීමට සිදු විය. එම නිසා, යුවන් යොන් ඇත්තටම ෂෙන් ච්‍යාඕව යොදාගන්නේ දාඕවාදී නිකායන් අතර ඔහුගේම හඬ සහ බලපෑම නඟා සිටුවීමට ය.

ඇත්තෙන්ම, ෂෙන් ච්‍යාඕ ද එයින් ප්‍රයෝජන ගනු ඇත. ඔහු එකඟ වූයේ නම්, ඔහු වහාම අනෙක් නිකායන් හා සමානව සිටිනු ඇත. යැන් වුෂිට තවදුරටත් ඔහුව සෙල්ලම් බඩුවක් සේ සැලකීමට නොහැකි විය.

ඔහු නැවතත් යැන් වුෂි දෙස බැලුවේ ය. උදාසීනව සහ නොසැලකිලිමත්කමින් සිටීමේ ප්‍රතිමූර්තිය විය හැක්කේ පවිත්‍ර චන්ද්‍ර නිකායේ නායකයාට පමණි. ඔහුගේ ප්‍රකාශනය ඔහුගේ ඉරියව්ව හා සමාන විය. ලිහිල් හා සරල ය. ඔහුගේ තොල්වල සිහින් සිනහවක් එල්ලී ඇත. යුවන් යොන්ගේ වචන ඔහුට තර්ජනයක් නොවූවාක් මෙනි. ඒ වෙනුවට, ඔහු සිටියේ ෂෙන් ච්‍යාඕගේ පිළිතුරට වැඩි උනන්දුවක් දක්වන ආකාරයකිනි.

ෂෙන් ච්‍යාඕ බොහෝ වේලාවක් කල්පනා නොකළ අතර යුවන් යොන් වෙත කෙළින්ම අදහස් දැක්වූයේ ය, “ඔබතුමාගේ යෝජනාව ගැන මම මහරජතුමාට ස්තූතිවන්ත වෙනවා. නමුත් මගේ සදාචාරාත්මක හැසිරීම මේ යෝජනාව පිළිගන්න තරම් ප්‍රමාණවත් නැහැ. මට බයයි මට ඔබතුමාගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි වේවි කියලා.”

යුවන් යොන් මදක් කම්පනයට පත් වූ අතර අසතුටට පත් විය. ඔහුගේ මතය අනුව, පාලනය තහවුරු කරගැනීමට ඔහු තුළ ඇති ආශාව ඔහුගේ යෝජනාවෙන් අනුමාන කළ හැකි වුව ද, ෂෙන් ච්‍යාඕට අනුව එය වාසිදායක විය හැක්කේ ඔහුට පමණි.

මේ අතර යැන් වුෂි ගොරවන්නාක් බදු හඬකින් මෙසේ කීවේ ය. "ඔහු කවදාවත් මහරජතුමාගේ යෝජනාව පිළිගන්නේ නැහැ කියලා කිව්වාට මහරජතුමා මාව විශ්වාස කළේ නැහැනේ. ඔබතුමාට මේ ගැන ඔට්ටු ඇල්ලීමට පවා අවශ්‍ය වුණා. දැන් මහරජතුමා පැරදුණ නිසා ඒ ගැන කරන්නේ මොකක්ද කියලා ඔබතුමා තීරණය කළාද?”

ඔහුගේ බාධා කිරීමත් සමඟ යුවන් යොන් ඉල්ලා අස් විය, “මට තේරෙන්නේ නැහැ.මහත්මයා මේ තරම් දුක් විඳලාත් තවමත් සැපවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නැද්ද? ඔබ ෂුඅන්දු කන්ද අත්හැරලා, සෑම කෙනෙකුටම ඔබව වරදවා වටහා ගන්න ඉඩ දීලා, ඔබ නිෂ්ඵලයි කියලා හිතන්න ඉඩ දෙන්න කැමතිද?"

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ සිනහවකින් පමණි.

යුවන් යොන් කෙතරම් අසතුටින් සිටියත්, තමන්ගේ යෝජනාව පිළිනොගත් පමණින් යමෙකු අත්අඩංගුවට ගැනීමට ඔහුට නොහැකි වූ අතර, එහෙයින් එම අදහස අත්හැරිය හැකි වූයේ මෙලෙස පවසමිනි, “කමක් නැහැ. මහත්මයාට ඔබේ කාලය ගත කරලා ඒ ගැන කල්පනා කරන්න පුලුවන්. ඔබ කවදාහරි ඒ ගැන පසුතැවිලි වුණොත්, ඕනෑම වේලාවක ඇවිත් මට කියන්න."

ඉක්බිත්තෙන් යැන් වුෂිට සිනහවක් පෑවේ ය, “කණිෂ්ඨ නායකතුමාට නොලැබන වස්තු නැහැ. මේ මාළිඟාවේ තිබෙන එකම අගනා දෙය විදිහට සලකන්න පුලුවන් සූර්යවාදය පිටපත. ඔබ දැනටමත් ඒක කියවලා අවසන්. ඒ නිසා, ඉතිරි දේවල් ඔබට වටිනා දේවල් වෙන්නේ කොහොමද? ඇයි ඔබ මට මගක් දීලා ඔබලා දෙදෙනාගේ අද දහවල් ආහාරය ගැන වගකීම මට දෙන්නෙ නැත්තෙ?"

ඔහුගේ ආක්‍රමණශීලී පෞරුෂය නිසා ඔහුට අන් අය සමඟ සැහැල්ලුවෙන් කතා කිරීමට හැකි වූයේ කලාතුරකිනි. ඔහුට, යැන් වුෂිට මෙලෙස සැලකීමට හැකි වූයේ යැන් වුෂි ද ඔහු මෙන්ම බලවත් මිනිසෙකු වූ බැවිනි. යුවන් යොන් එය හඳුනාගෙන ඒ සඳහා ඔහුව අගය කළ අතර, එබැවින් ඔහු තම අධිකරණ මන්ත්‍රීවරුන්ට වඩා යැන් වුෂි කෙරෙහි ගෞරව කළේ ය.

යැන් වුෂි සහ ෂෙන් ච්‍යාඕ විසින් පිටත්ව යාමට පෙරාතුව මාළිඟාව තුළදීම දිවා ආහාරය ගනු ලද්දෝ ය. ඔවුන් ප්‍රධාන දොරටුවෙන් පිටවී කනිෂ්ඨ උපදේශක නිවහනෙන් එවන ලද ප්‍රවාහන මැදිරියට ගොඩ වූ විගසම යැන් වුෂි ඇසුවේ, “කොහොමද?” ලෙස ය.

ෂෙන් ච්‍යාඕ කල්පනා කරන බවක් දිස් වූයේ ඔහුගේ  නළලෙහි රැලි ඇති වූ බැවිනි. “කටහඬට අනුව, ඔහුගේ අක්මාවේ දීර්ඝකාලීනව තාපය තියෙනවාද කියලා මට බයයි. දිගු වියළි කාලය විනාශකාරියි. ඔහුට වැඩිකල් ජීවත් වෙන්න නොහැකි වෙන්න පුළුවන්.”



Comments

  1. Dan mokak weyida

    ReplyDelete
  2. A"qiao තමයි හොඳම

    ReplyDelete
  3. ෂෝ අධිරාජයා හරි අමුතුයි

    ReplyDelete
  4. Yan wushi thama maru... Mona unath yan shenta yanna dena ekak na

    ReplyDelete
  5. Lassanaiiii❤️❤️❤️ ikmanata one anith kotasath🥰🥰🥰🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-