Skip to main content

පහළොස්වන පරිච්ඡේදය : හෘදයාබාධය

 ෂෙන් ජිෂියෑන් හට දැනුනේ ඔහු අඳුරු මුහුදක පාවෙන බවකි. 

ජලය ඔහුව තදින් අල්ලා ගත්තේ ඔහුට හුස්ම ගැනීමට අපහසු කරමිනි. ඔහුට දැනුනේ ඔහුගෙ හදවතේ සිදුරක් පවත්නා අන්දමින් ඔහුගෙ ළය හිස් වන අන්දමයි. එය ඔහුට හුස්ම ගැනීමට ඇති අපහසුව වේදනාවකට පත් කරවීය. 

එක වරක් දරාගන්න. ෂෙන් ජිෂියෑන් ඔහුට පවසා ගත්තේ අපහසුවෙනි. තවත් මද වේලාවකින් ජලය ඔහුව ගිලගෙන ඔහුව මරණය කරා රැගෙන යනු ඇත. 

මෙම අවුල් වියවුල් මැද ඔහුට යමක් ඔහුගේ අතින් අදිනු දැනිණ. ඔහු අවිඥානිකව තමන්ගේ අතින් එය අල්වා ගත්තේය. ඔහුගේ කබා අතින් අදිමින් සිටි කුඩා අත ඉතාමත් සීතල විය. 

මේ කවුරුන් ද? 

ඔහුගෙ වේදනාව මඳක් අවම වූයේ කුඩා දෑත් ගැන අවධානය යොමු කර හැකි වන පරිදි ය. එය අට හැවිරිදි හෝ සත් හැවිරිදි දරුවකුගේ සිහින් සිරුරක් වෙත ළඟා විය. 

එම දෑත් ගසක අතු තරමට සිහින් විය. ෂෙන් ජිෂියෑන් එම දෑත මුදුව අල්ලා ගත්තේ එහි ගැස්ම කෙතරම් දුර්වලද යන්න දැක එය කුමන හෝ මොහොතක නවතී යන බියෙනි. 

ඔහුගේ සිරුර තවදුරටත් ගිලෙමින් පැවතුණ අතර සීතල ජලය ඔහුව පිඩාවට පත් කළේ ය. ෂෙන් ජිෂියෑන් වේදනාව දරා ගනිමින් කුඩා පිරිමි දරුවාව වැළඳ  ගැනීමට තැත් කලේ ඔහුව මතුපිටට රැගෙන යාමේ බලාපොරොත්තුවෙනි.
එකවරම කුඩා ආලෝක ධාරාවක් අඳුරු ජල
සයුර අතුරින් කුඩා දරුවගෙ මුහුණට වැදිණ. 

ෂෙන් ජිෂියෑන් ඔහුගෙ අතේ සිටින දරුවගෙ මුහුන දෙස බැලුවේය. 

යැන් ජින්?!! 

මෙම මුහුණ අයිති වූයේ යැන් ජින්ටය. නැත, සමහරවිට මේ කුඩා යැන් ජින් විය හැකිය. 

ඔහු කෙතරම් පුදුම වුණා ද යතොත් ඔහුට චලනය පවා අමතක විය. ක්ෂණිකව දෑස් විවර කර කුඩා දරුවා ඔහු දෙස දිදුලන රතු පැහැ දෑසකින්  සීතල බැල්මක් ඔහු දෙස  හෙළීය. 

"ෂිෆු" ඔහුගෙ සවනේ  ප්‍රතිරාව දුන් නාදය ද ඔහුගෙ පෙනුම මෙන්ම සීතල විය.
"මෙය ඔබ මට දුන් ආත්මීය මූලය වෙනුවෙන්" 

ෂෙන් ජිෂියෑන් මවිතයට පත් විය. ඔහුගෙ දෙතොල් වෙව්ලන්නට වූයේ ඔහුට කතා කරන්නට අවැසි වූවත් ඔහුගෙ ගෙල වටා ඇති දෑත් තද වූයේ ඔහුට ඒ සදහා ඉඩක් නොතබමිනි. 

ඔහුගේ මතකයෙන් ගිලිහුණු එම භයානක හීනය නැවැතත් ඔහුගෙ මතකයට පැමිණියේ ය.
ෂෙන් ජිෂියෑන්ගේ උගුර තදින් මිරිකී තිබුන අතරම ඔහුගෙ ළයේ වේදනාව, හුස්ම හිරවීම හේතුවෙන් වැඩි වී ඔහුගෙ දර්ශනය අඳුරු කර දැමීය. 

"නැහැ ..නැහැ.." ඔහු කඩින් කඩ පැවැසුවේ
ඔහුගෙ බිඳුණු වදන් පිට කිරීමට උත්සහ ගනිමිනි  "නැහැ ..මන් ..අහ්" 

පිපිරීම් හඩක් සමඟ ඔහු ජලයෙන් පිටතට පැමිණියේ උණුසුම් වැළඳ ගැනීමක සිරවීගෙනම ය.  ඒ හා ම මෙතෙක් ඔහුට දැනෙමින් තිබුණු පීඩනය ද වහා ම පහව ගිය අතර, උගුර තවදුරටත් සිරවුණු බවක් ද ඔහුට නොදැනිණි. එක් අතකින් තමන් අල්ලාගෙන හුන් තැනැත්තාව දැඩිව අල්ලාගත් හෙතෙම හිස පැත්තකට ඇල කොට ගනිමින් රුධිර මිශ්‍රිත ජලය වමනය කරන්නට විය. 

තුනී මිහිදුම් පටලයක් ඔහු දෙනෙත් ඉදිරියේ විය. ඔහු අසීරුවෙන් ශ්වසනය කළේ, පාලනය කළ නොහැකි ලෙසින් ඔහුගේ සිරුර වෙව්ලන විට දී පවා ඔහුගේ දෙනෙතෙහි පෙනුම වියරු විය. ඵල රහිත මිමිණුමක් ඔහුගෙන් පිට වූයේ " ඒ මම නොවේ..... මම කළේ නෑ..." 

යැන් ජින්ගේ දෑත් මත හුන් තැනැත්තා අනුකම්පා දනවන, දුර්වල ස්වභාවයක් ගත්තේ ය. 

කෙතරම් අනුභව කළත් තර නොවන්නෙකුගේ පරිවෘත්තිය සමඟ, ශෙන් ජිෂියෑන්ගේ සිරුර ස්වභාවයෙන් ම සිහින් විය. ඒ අතර, එදා හුන් සිහින් උණ බටය, ශක්තිමත් හැඩිදැඩි තරුණයෙකු ලෙසින් වර්ධනය වී තිබිණි. 

ශෙන් ජිෂියෑන් එලෙස ඔහුට විරුද්ධ ව වැටෙද්දී යැන් ජින් හට වැටහී ගියේ, එක් අතකින් එතිය හැකිවාක් මෙන් ඔහුගේ ඉණ ඉතා සිහින් බවයි. 

ඇත්තෙන් ම ශෙන් ජිෂියෑන් සම්පූර්ණයෙන් ම අවදි ව නොසිටියේ ය. ඔහුගේ හිස ඉතා දුර්වල අයුරින් යැන් ජින්ගේ උරහිස මත වැටී තිබූ අතර ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබුණේ ඔහුගේ මනා සියුම් සම යටින් දිවෙන නිල් පැහැ ගත් සිහින් රුධිර නාළ පවා යැන් ජින් හට දකින්නට ඉඩ සලස්වා ය. නොපැහැදිලි ලෙස යමක් මුමුණමින් ශෙන් ජිෂියෑන් එක් අතකින් යැන් ජින්ගේ කොලරයෙන් ඇද්දේ ය. 

ඔහුගේ ඇතුළු වස්ත්‍ර දියෙන් පෙඟී තිබුණේ ඒවා ඔහුගේ සිරුරට ඇලී පවතින්නට සලස්වමිනි. දැඟලීමේ ප්‍රතිඵලය ලෙසින් ඔහුගේ වස්ත්‍ර අවුල් ව තිබුණේ, කොලරය ලිස්සා යමින් ජේඩ් මෙන් වූ ඔහුගේ සියුම් උරිස් ඇට පෙනෙන්නට තරම් ඉඩක් සපයා දෙමිනි. 

යැන් ජින් සිය දෙනෙත් පහළට යොමු කළේ සිය අත් මත හිඳිනා තැනැත්තා දෙසට තේරුම් ගත නොහැකි බැල්මක් හෙළමිනි. 

තෘණ පොහොට්ටුව පසෙකට වී බලා සිටියේ, යැන් ජින් උදාසීන අයුරින් තමන් දෙස බැලීමට පෙරාතුව ඔහුගේ දෑත් මත හුන් තැනැත්තා දෙස බලන ආකාරය දෙස ය. එම බැල්ම අයිස් මෙන් ශීතල වූ අතර නෙත් ගැඹුරේ මද රත් පැහැ ගත් දිලිසුමක් විය. 

ඒ දසුනින් තුෂ්ණිම්භූත වූ තෘණ පොහොට්ටුව වහා ම බිම ඇද වැටී මිය ගිය අයුරක් පෙන්වූයේ ය. 

තෘණ පොහොට්ටුව නොසලකා හැරි යැන් ජින්, දෑතෙහි සිටි තැනැත්තා නොසැලකිලිමත් ලෙස අල්වා ගෙන ඉවතට ඇවිද ගියේ ය. 

ඔවුන් නිවසට පැමිණි මොහොතේ පවා ශෙන් ජිෂියෑන් සිටියේ සිහිසුන්ව ය. ඔහුගේ හෘදයාබාධය පෙරට වඩා දරුණු වූ අතර, එන මග අතරමග දී ඔහු නින්දට වැටී තිබිණි. 

සිසිල් සුළඟින් සිසිල් වූ යැන් ජින්ගේ දෙනෙත් සාමාන්‍ය වෙමින් සීතල ස්වභාවයක් ගත්තේ, සිරුරේ වූ සීතල අනුකම්පා විරහිත බව අතුරුදන් ව තිබිණි. ඔහු නිහඬව ම ශෙන් ජිෂියෑන් මත පිරිසිදු කිරීමේ ක්‍රම කිහිපයක් යොදවා, ඔහුගේ වස්ත්‍රයන් වියළා දිග හැර, ඝන පොරෝනයකින් ආවරණය කොට නිහඬව ම පිටව ගියේ, ඔහු දෙස බැලීමට මොහොතක් නතර වෙමිනි. 

ඔහු පිටව ගිය වහා ම ශෙන් ජිෂියෑන් නෙත් විවර කළේ ය.  ඔහු වත වෙහෙසින් වැසී තිබුණ ද ඔහුගේ දෙනෙත් පැහැදිලි වූ අතර මහත් බියක් එහි පැතිරී තිබිණි. මොහොතකට පෙර උණු දිය උල්පතේ දී යැන් ජින් ඔහු ඝාතනයට තැත් කළේ ය. 

හුස්ම සිර වූ බවක් දැනුණේ හෘදයාබාධය නිසා නොව, යැන් ජින් ගෙල දැඩිව සිර කිරීම නිසාවෙනි. 

එම ඊනියා ළදරු යැන් ජින් බොහෝවිට ඔහු ගෙල සිර කිරීම නිසා ඇති වූ මායාවක් වන්නට ඇත. 

ශෙන් ජිෂියෑන්ගේ මද වේලාවක් සිරුර අයිස් මෙන් ගල් ව ගියේ, හදවත සීතල ව ගියේ ය. 

තෙවසරක් ඉක්ම ගොස් ඇතිමුත්, යැන් ජින් හට එය අතැර දැමිය නොහැක්කාක් මෙනි. 

කාරණාව එය නම්, ශෙන් ජිෂියෑන් හට අවැසි වූයේ සිය දෑත් මේ මිනිසා සම්බන්ධයෙන් සෝදා ගැනීමට ය. යැන් ජින් හට එය අතැර දැමිය නොහැකි හෙයින්, ඔහු යැන් ජින් කෙරෙන් සැඟවී සිටිය යුතු ද? 

මේ පිළිබඳව සිතමින් සිටිය දී, වෙනත් කරුණක්  ඉක්මනින් ඔහුගේ මතකයට ආවේය. මෙවර හෘදයාබාධයේ වේදනාවට පින් සිදුවන්නට ඔහුගේ හිස කෙතරම් උත්තේජනය වී ඇති ද යත්, පොත කියවන විට දී හමු වූ කුඩා නොවැදගත් විස්තරයක් අවසානයේ දී සිහිපත් විය. 

කෙමෙන් කෙමෙන් කල් ගතවන විට දී, හෘදයාබාධයන් හටගැනීමේ ශීඝ්‍රතාවය දවැඩි වන බැව් පැහැදිලි ය. භෞතික ශරීරය ක්‍රමක්‍රමයෙන් විනාශ වී ගොස් මරණය සිදු වන තෙක් මෙකරුණ මෙපරිද්දෙන් ම සිදු වේ. 

මුල් ශෙන් ජිෂියෑන් අධිකව වෙහෙසෙමින් නානාවිධ පුරාණ කෘතීන් අධ්‍යයනය කරමින් හා නොගිණිය හැකි තරම් ස්ථානයන් විමර්ශනයට නොයෙකුත් පුද්ගලයින් යවමින් පරීක්ෂා කළේ ය. අවසානයේ දී බලාපොරොත්තුවේ ආලෝක පුංජයක් ඔහු දුටුවේ ය. 

මත්ස්‍ය කොරපොත්තක් 

පුරාණ මත්ස්‍ය රාක්ෂයෙකුගේ ප්‍රතිලෝම කොරපොත්තට මිනිස් පේශි සහ අස්ථි සැකසුමට හැකියාවක් වූ අතර,ඔහුගේ හෘද රෝගයට ද ප්‍රතිකාර කළ හැකි විය හැකිය. 

නමුදු මෙම පුරාණ මත්ස්‍ය රාක්ෂ්‍යයා සොයාගැනීම පහසු නොවීය. වසර දහස් ගණනකින් ඔහුගේ පැවැත්ම පිළිබඳ ව කිසිදු තොරතුරක් නොවීය. 

මුල් හිමිකරු අසරණ විය. නමුත්, වත්මන් ශෙන් ජිෂියෑන් කොරපොත්ත සොයා ගත හැකි ස්ථානය දැන හුන්නේ ය. පුරාණ රහස් ක්ෂේත්‍රයකට ඇතුළු වීමට බොහෝ කලකට පෙර යැන් ජින් රාක්ෂයෙකු නොවූ බවට පොතෙහි කෙටි විස්තරයක් වූ අතර එහිදී ඔහුට ඉපැරැණි මත්ස්‍ය රාක්ෂයෙකුගේ එනම් කිඳුරෙකුගේ ප්‍රතිලෝම කොරලය ලබා ගැනීමට සිදු විය. 

යැන් ජින් පසුකලෙක එය තුවාල ලත් ප්‍රසිද්ධ   ධ්‍යානවේදිනියකට පරිත්‍යාග කළේ ය. යැන් ජින් සිය යක්ෂ ඕරාව සම්පූර්ණයෙන් ම ඒකාබද්ධ කළ විට, ඇය සිය ගුරුතුමාට එරෙහි ව අධිෂ්ඨානශීලීව කැරලි ගසා ඔහුගේ ශ්‍රේෂ්ඨ සහායිකාවක වනු පිණිස යැන් ජින් හා එක් වූවා ය. 

...ඇය ප්‍රධාන කාන්තා චරිතය බවට ද සැකයක් විය. 

එය එහි න්‍යායක් ම පමණක් වීමට හේතු වූයේ, පොතෙහි අවසානය දක්වා ම සහ යැන් ජින්ගේ මරණයට පෙර පිරිමි හෝ කාන්තා චරිතයක් සමඟ එක්වන්නට අවැසි බවට කිසිදු ඇඟවීමක් ඔහු නොකිරීමයි. 

ශෙන් ජිෂියෑන් සුසුමක් හෙළුවේය. යැන් ජින් සමඟ යහපත් සම්බන්ධතාවයක් තිබුණේ නම් ඔහුට එම කොරළයෙන් කුඩා කොටසක් ඔහුගෙන් ඉල්ලන්නට හැකිවන්නට ඉඩ තිබිණි. නමුත්, අවාසනාවකට මෙන්..... 

ඇය කවුරුන්දැයි සිහිපත් කරගන්නට ඔහු දැඩි වෙහෙසක් ගත්තේ ය. වත්මනේ දී වඩාත් ම ප්‍රචලිත  ධ්‍යානවේදී නිකාය වූයේ චියැන්‍යින් මණ්ඩපයයි. ශෙන් ජිෂියෑන් සිතුවේ සිය අනාගත බිරිය සොයාගැනීමට යැන් ජින් හට උපකාර කළහොත්, ඔහු තමන්ට සමාව දෙනු ඇති බවයි. 

ශෙන් ජිෂියෑන් නිහඬව ම මෙම අදහස සලකා බැලීමේ විෂය පථයට ඇතුළත් කළ අතර යැන් ජින් සහ මෙම ධ්‍යානවේදිනිය පිළිබඳ බැරෑරුම් ව සිතමින් යම් කාලයක් ගත කළේ ය. අවසානයේ දී සුසුමක් හෙළුවේ, කළයුත්ත පිළිබඳ ව තවදුරටත් කල්පනා කළේ ය. 

තෙහෙට්ටුව පිළිබඳ දැනීම් ඉස්මතු වෙමින් පැවතිණි. වෙනත් වස්ත්‍රයකට මාරු වීමට නැගීසිටීම ගැන අමතක කළ ඔහු තව තවත් පොරෝනාව තුළට ගුලිවෙමින් ඉක්මනින් නින්දට වැටිණි. 

....... 

උණු දිය උල්පතෙහි සිදුවීමෙන් අනතුරුව ශෙන් ජිෂියෑන්ගේ තත්ත්වය වඩ වඩාත් නරක අතට හැරිණි. 

මාස කිහිපයක් තුළ දී ඔහුගේ හෘදයාබාධය අසීරුතාවය ක්‍රමයෙන් වැඩිවෙමින් කිහිපවාරයක් යළි යළිත් හටගත්තේ, මුළු සිරුර ම කෘශ ව ගියේ ය. 

කෙසේවෙතත්, රෝගී තත්ත්වය සැඟවීම කෙරෙහි වැඩිහිටියන් දෙදෙනාගේ වූ අසීමිත උපකාරයන් හේතුවෙන් ශෙන් ජිෂියෑන් හට සියල්ලන් ම කෙරෙන් මෙකරුණ සැඟවීමට හැකියාවක් ලැබිණි. සොන් මින් පවා සිතුවේ ශෙන් ජිෂියෑන් පිටත ගැවසෙන කාලය අඩු වූයේ ශීත කාලයේ දී අලස වීමෙන් කියායි. 

සිව්වන වැඩිහිටියා ශෙන් ජිෂියෑන් හට අධ්‍යාත්මික බලයන් භාවිතය  තහනම් කළ අතර ඔහු සිය නිවස්නයට ම මුළු දිනය මුළුල්ලේ ම කොටු වූයේ, උණුසුම් අරාවන් මගින් නිදිබර කරවූයේ ය. සැමදිනක ම ඔහු කෙඳිරුවේ ඉතාමත් ඉක්මනින් ඔහු පුස් බිම්මලක් වනු ඇති බවයි. 

"අනේ මේ ළමයාට මොනවා ද කියන්නට තියෙන්නේ? " සිව්වන වැඩිහිටියා ශෙන් ජිෂියෑන්ගේ මුවට පෙත්තක් එබුවේ ය. " ඔබ බිම්මලක් වූවත් හොඳ පෙනුමැති බිම්මලක් වේවි. " 

ශෙන් ජිෂියෑන් අමිහිරි ලෙස පෙත්ත සපන්නට වූයේ, මුවින් ගැලූ අමිහිරි තිත්ත රසයෙන් මුළු මුහුණ ම විකෘති විය. අඩ මොහොතක් ගත වූ පසු ඔහු පැවසූවේ " හතරවෙනි මාමා, ඊළඟ පාර බෙහෙතට සීනි ටිකක් දාන්න පුලුවන් ද? " යනුවෙනි. 

සිව්වන වැඩිහිටියා ඔහු දෙසට බැල්මක් පා කළේ ය. " තිත්ත රස වෙන්නේ හොඳ බෙහෙත් විතරයි. තේරුම් ගන්න! ඔයා දැන් වැඩිහිටියෙක්, පොඩි දරුවෙක් නෙවෙයි... ටිකක් දුක් විඳින්න බය ඇයි, හරියට පොඩි ළමයෙක් වගේ? ඔයාගෙ ගෝලයින් පවා කිසිම අඩපාලියක් නොකියා මේවා ගොඩක් හපල කනවා. නමුත් ඔයා සෑහෙන්න අඩපාලි කීවා." 

සිව්වන වැඩිහිටියා ඔසු පිරිපහදුවෙහි ප්‍රවීණයෙකු වූ අතර ම ඵලදායී අමෘතය පිරිපහදුවෙහි විශේෂයෙන් දක්ෂ විය.  ඔහු සතු එක ම නරක දෙය නම්, අපිරිසිදුකම ඔසුවෙහි කාර්‍ය්ක්ෂමතාව කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බව විශ්වාස කිරීම වූ අතර, කිසිදු කරුණක් හේතුවෙන් මුල් ඔසුව මෘදු නොවිය යුතු බැව් ඔහු අවධාරණය කළේ ය. එහි ප්‍රතිඵලය නම්, ශෙන් ජිෂියෑන් මාස ගණනාවක් මුළුල්ලේ මෙම තිත්ත ඔසු අනුභව කළ අතර ඔහුගේ සිරුර ඊට විරුද්ධ ව කැරලි ගැසීමේ සූදානමක ද විය. 

සිව්වන වැඩිහිටියා නුහුරු සුවඳක් සහිත නුපුරුදු පෙත්තක් දිගු කළේ ය. බලාපොරොත්තු සුන් වූ පරිද්දෙන් නෙතු පියා ගත් ශෙන් ජිෂියෑන් තීරණය කළේ ඔහු සැබවින් ම මිය යන්නාක් මෙන් එම පෙත්ත මුවෙහි රුවා ගන්නටය. කඳුළැල් අතරින් ඔහු එය සපමින් අවිනිශ්චිත අයුරින් පැවසූවේ " හතරවන සටන් මාමේ, ඔබ ළඟ තවමත් අර හයවන මට්ටමට නැඟීමේ දී ආත්මීය මූලය ආරක්ෂා කරන්නට උදව් වන පුදුම සහගත  අමෘතය තියෙනවා ද? " 

" ඔව්. ඔබට අවශ්‍ය එය ඔබේ අර ගෝලයාට ලබා දෙන්නට? " 

මුව පිරී තිබූ තිත්ත රස ගිල දැමූ ශෙන් ජිෂියෑන් එක හුස්මට වතුර කෝප්ප දෙකක් ගිල දමා පැවසූවේ " ඔව්. එය යැන් ජින් සඳහායි. ඔහු ඊළග අදියරට ළඟා වීමට සූදානම් බව මම දුටුවා. " 

" -- ඊළඟ අදියරට?! " වැඩිහිටියන් දෙදෙනා එය අදහනු නොහැකිව හුස්මක් ගත්තේ ය. " ගත වී ඇත්තේ වසර කිහිපයක් පමණක් වුණත්, ඔහු හයවන මට්ටමට ආසන්නයි ද? ඔබේ ආධුනිකයාගේ දක්ෂතා ඔබට වඩා අඩු නම් නැහැ! " 

ශෙන් ජිෂියෑන් ඒ කරුණ ගැන අදහස් නොදක්වමින් සිනාසුණේ, ඒ පිළිබඳ සිතුවේ ය: විකාර, මේ කතා නායකයායි! ඔහු දෑත් විහිදුවමින් " හතරවෙනි සටන් මාමේ, මෙහෙම කොහොම ද? ඔබ මට පෙති දෙකක් දෙන්න, මම ඔබට ගෙවන්නම්. " 

සිව්වන වැඩිහිටියා හොඳ ස්වභාවයකින් ඔහුට සමච්චල් කළේ ය. " ඔබේ ගෝලයාව සුරතල් කරන්න. " පෙති දීමෙන් අනතුරුව ඔහු නැවතිණි. " ඔබේ හදවත..... අන්තිමේ දී දින කිහිපයකට පෙරාතුව මම වට්ටෝරුවක් සොයා ගත්තා. " 

මොහොතක පැකිළමකින් අනතුරුව ඔහු ඊට එක් කළේ " අවාසනාවට, එයින් කළ හැක්කේ ඔබට යම් කුඩා සහනයක් ලබා දීම පමණයි. ඔබට සම්පූර්ණ  සුවය ලබා දෙන්නට නොහැකියි. ඔබ... " 

ශෙන් ජිෂියෑන් පහසුවෙන් සිය ඇහි බැමි චලනය කරමින් පහසු සිනාවක් විදහා පෑවේ ය. " ඇත්තෙන් ම එයත් ගොඩක් හොඳයි. ඔබට ස්තුතියි, හතරවෙනි සටන් මාමේ. මම ඔබට බොහෝ කරදර ඇති කළා. දැනටමත් මම යම් ගණනයක් කර අවසන් සහ යම් කාල පරාසයක් තුළ දී පිටව යනවා. " 

සිතාමතා ම ඔහු සිය හඬ අඩු කළ අතර, ඔහු කතාව නිම කරන්නටත් පළමුව සිව්වන වැඩිහිටියා එය අනුමත නොකළ බැව් දුටුවේ ය. 

" හතරවෙනි සටන් මාමේ, මම මගේ ම සීමාවන් දන්නවා. " එසේ පැවසීමෙන් අනතුරුව සිහින් සරින් මිමිණුවේ ය. " හැරත්, මට අ'ජින් සිටිනවා. ඉතින් කිසිවක් ම සිදු නොවේවි. " 

සිව්වන වැඩිහිටියා මොහොතක් පැකිළුණේ, අවසන හිස සැලුවේ ය. සුසුමක් සමඟින් ම ඔහු පැවසූයේ " ඔබේ ගෝලයා..... ඔහු නරක ම නැහැ. ඔහු ඔබ සමඟින් හිඳින බව දැන සිටීම මට යම් සහනයක්. පිටතට යාමෙන් ඔබට යම් දුක් කරදර ඇතිවේවි. ආපසු එන්නට නම් අමතක කරන්න එපා. " අවංක, කාරුණික, මැදිවියේ මුහුණ කාරුණික සහ ඉවසිලිවන්ත සිනාවක් නිරාවරණය කළේ ය. " මොකද, වැඩිහිටි සහෝදරයාගේ යැයි කිව හැකි දෙයින් ඉතිරි ව ඉන්නේ ඔබ පමණයි. " 

ශෙන් ජිෂියෑන් සසල විය. ඔහු ප්‍රවේශමෙන් සහ කෘතඥපූර්වක ව  ඊට සිය එකඟතාවය පළ කළේ ය. 

නිසැකව ම, ඔහුට යම් අනතුරක් වුවහොත්, එය බොහෝවිට යැන් ජින් අතින් සිදු වනු ඇත! නමුත් ඇත්ත වශයෙන් ම එය පැවසිය නොහැක. 

ශෙන් ජිෂියෑන්ගේ හද කඳුළු සලන්නට වූ අතර, සිව්වන වැඩිහිටියා නික්ම ගිය පසු සොවින් මැඬුණු  හෙතෙම යහනට ගොඩ විය. 





Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-