Skip to main content

03. මුල ඉඳලම මට ඌව පේන්න බෑ .

 මේ ෂිඒ ෂිඒගේ වැඩිමහල් සහෝදරයා වූ ෂිඒ චිංචෙං ය.

ෂිඒ චිංචෙං වරක් ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා ලෙස හේ යූගේ අසනීපයට ප්‍රතිකාර කළේය.


හේ යූ බාහිරින් සැමවිටම සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස දිස් විය.අන් අය පිළිබඳ ඔහුගේ හැඟීම් හැමවිටම වඩාත් මෘදු හා කරුණාවන්ත වූ අතර,චර්‍යාව,ඉගැනීම හා වෘත්තීයමය ජීවිතය තුළද ඔහු සැමවිටම විශිෂ්ඨයෙක් වූවේය.එසේවුවත් ඔහුගේ පවුල සැමගෙන්ම වසන් කළ රහසක් විය.මේ අගනා දරුවා උපතේ සිටම දුර්ලභ මානසික රෝගයකින් පීඩා විඳින්නෙක් විය.

එය අද්විතීය ආබාධයක් වූ අතර ඉතිහාසය පුරාම වාර්ථා වී තිබුණේ සිද්ධීන් හතරක් පමණි.එක් එක් රෝගීන්ගේ තත්වය සමාන විය.ඔවුන්ට ජන්මයෙන්ම අන්තරාසර්ග හා ස්නායූ දුර්වලතා උරුම වූ අතර කනස්සල්ලට පත් වූ විට ඔවුන්ගේ පෞර්ෂය දැඩි ලෙස වෙනස් වේ.සාමාන්‍යයෙන් ඔවුන් වේදනාවෙන් හිරි වැටී යයි.නමුත් එය පැතිරී ගිය විට,ඔවුන් උමතු වී,ලේ පිපාසිතයෙක් වී,තමාට හෝ අනුන්නට එරෙහිව තීව්‍ර සංහාරයකට නැඹුරුව දක්වන්නේ සමාජ විරෝධී පෞර්ෂයක් විලසිනි.අධික උණ සහ ව්‍යාකූලත්වය භෞතික රෝග ලක්ෂණයක් වූ අතර,සෑම ව්‍යාකූලත්වයක් අවසානයේම වේදනාව පෙර වතාවට වඩා කටෝර විය.


සායනික ව්‍යවහාරයේ එය හැඳින්වීමට "මානසික ඉබෝලා" යන අන්වර්ථ නාමය භාවිතා වේ.එය ක්‍රමක්‍රමයෙන් රෝගියාගේ කල්පනාව පිරිහීමට ලක් කරන අතර,අංශභාගය ඇති වී ශරීරය හිරිවැටීමට සලස්වයි.භෞතිකව සහ මානසිකව ඔවුන් මරණයන් ද්විත්වයකට මුහුණ දේ.රෝග ලක්ෂණ ක්‍රමයෙන් නරක අතට හැරෙනුයේ පිළිකා ලක්ෂණ මෙන්‍ ය.සමාජයට ඵලදායී පුද්ගලයෙකු ලෙස ක්‍රමක්‍රමයෙන් සමජායට ඵලදායී නොවන පුද්ගලයෙකු ලෙස පරිවර්තනය වී අවසානයේ ඔවුන් උන්මත්තකයන් බවට පත්වේ.


අවසන් අදියරයට ළඟා වීමට ප්‍රථම රෝගීන් තිදෙනෙකුම කටුක වේදනා විඳීමෙන් පසු මිය ගියහ.හේ යූ සිව්වැනි රෝගියා විය.


ඔහුගේ දෙමාපියන් ඔහුව දේශීය විදේශීය වෛද්‍යවරුන් වෙත යොමු කළත් එයින් ප්‍රථිපලයක් නොවුණි.අබාධයේ ප්‍රගතිය ප්‍රමාද කිරීමට ඇති එකම ක්‍රමය හේ යූගේ පැත්තේ සිටීමට වෛද්‍ය භාරකාරයෙකු බදවා ගැනීම බවත්,ඔහු කනස්සල්ලට පත්වන වාර ගණන අඩු කිරීම සඳහා දිගු කාලීනව අධීක්ෂණය කර ප්‍රතිකාර සිදු කිරීම බවත් වෛද්‍යවරු සියලු දෙනා විශ්වාස කළේය.


ඔවුන්ගේ සිතේ නොයෙක් කාරණා හේතු කරගනිමින්,අවසානයේ හේ පවුල විසින් විසි එක්වන වියේ පසු වූ ෂිඒ චිංචෙං සොයාගත්හ.


ඒ වසරේ හේ යූගේ වයස අවුරුදු අටක් පමණි.


නමුත් දැන් හේ යූ දහනමවන වියේ පසුවූ අතර ෂිඒ චිංචෙං හට වයස තිස් දෙකකි.


ෂිඒ චිංචෙංගේ පෙනුම පෙරටත් වඩා තුහීන ලෙස දිස් වුනි.කෙනෙකුට ඔහුව උදාසීන,සීතල කෙනෙකු ලෙස හැඳින්විය හැක.ඔහු කිසිවකින් පහසුවෙන් කලබල නොවූ නිසා හේ යූගේ හදිසි පැමණීමෙන් ඔහුට කැළඹීමක් නොවුණි.හේ යූගේ ආචාරශීලී සුභ පැතීම නොසළකා හැරීමට පෙර ඔහු ත්තපර කිහිපයක් හිසේ සිට පාදාන්තය දක්වාම පරීක්ෂා කළේ සිව් වසරකින් මුණ නොගැසුන තරුණයා දෙසය.


ඔහුගේ වයස හා සමාජීය තත්වය සසඳන විට වයස අවුරුදු විස්සක්වත් නොමැති කොලු ගැටයෙකු සමඟ සවාදයකට ඔහුට උවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොවුණි.


"ඇයි ඔයා මෙහෙ ඉන්නේ?".ඔහු ඇසුවේ එයයි.


"මම.."


"දැනටමත් ගොඩක් රෑ වෙලා,මේක කන්තා නේවාසිකාගාරයක්".


හේ යූ සිනාසුණේය.හේ යූ හට"උඹත් මෙතන මඟුලක්ද කරන්නේ"යැයි ශාප කිරීමට අවැසි වුවත්,ඔහු ඉතා ආචාරශීලී ලෙස ප්‍රතිචාර දැක්වීය."මම ගොඩක් කාලෙකින් ෂිඒ ලාඕෂීව මුණගැහුනේ නැහැ.අපි මෙච්චර වෙලා කතා කර කර හිටපු නිසා මට වෙලාව අමතක වුණා.මට සමාවෙන්න.ඩොක්ටර් ෂිඒ".


"ආයෙත් මට ඩොක්ටර් කියලා කතා කරන්න එපා.මම තවදුරටත් වෛද්‍යවරයෙක් නෙවෙයි".


"මගේ වැරැද්ද,පරණ පුරුදු".හේ යූ සැහැල්ලුවෙන් කීවේය.


ඔවුන් අතර වාතාශ්‍රය නොසන්සුන් වන බව වැටහුණු ෂිඒ ෂිඒ වහාම ඔවුන් අතරට මැදිහත් විය."ම්ම්...ද-ගේ,ඔච්චර බරපතල වෙන්න එපා.හේ යූ.ඔයා වාඩිවෙන්න.වැඩිය හිතන්න එපා.අපි කොච්චර කාලෙකින් එකිනෙකාව දැකලා නැද්ද"?.


ඇය කතා කරන අතරතුර තරමක් ආචාරශීලී ලෙස හේ යූගෙන් ඈත් විය.ඇය සෑම විටම එසේ විය.ඇය හේ යූ හා තනිව සිටින විට බොහෝ සෙයින් කුළුපග හා සමීප විය.නමුත් තවකෙකු සමීපයේ වේ නම්,විශේෂයෙන් ඒ ෂිඒ චිංචෙං වූ විට,ඇය තමන් සහ හේ යූ අතර ආචාරශීලී දුරක් පවත්වාගෙන ගියාය.


ෂිඒ චිංචෙං කුඩා කළ සිටම මෙම හැසිරීම පුරුදු කර ඇති බව හේ යූ වටහා ගත්තේය.වැඩවසම් සමාජයක පවුල් ප්‍රාධානියෙකු සේ ක්‍රියා කළ මේ සහෝදරයා ස්වෝත්තමවාදියෙක් සඳහා ආදර්ශමත් උදාහරණයක් විය.(straight man cancer/ස්වෝත්තමවාදී:-මේක සාමාන්‍ය චීන කාන්තාවන් සාම්ප්‍රදායික පිරිමි,සාම්ප්‍රදායික ලිංගභේද නීති අනුගමනය කරන පිරිමින් හඳුන්වන්න භාවිතා කරන කියමනක්)


මේ ප්‍රකාරයේ පුද්ගලයින් සෑම විටම තම යැපෙන්නන්ගේ ආරක්ෂාවට එල්ල වන තර්ජන ගැන ඉතා සංවේදි වන කොට්ඨාශයක් විය.ෂිඒ ෂිඒ නොමේරූ වියේදී ෂිඒ චිංචෙං විසින් ඇය හට දණිස්සට උඩින් වාටිය පිහිටවූ ගවුමක් හෝ ඇදීමට අවසර නොලැබිණි.වරක් ඇගේ පාසලෙන්,පන්තියේ මිතුරන් හා පවුලේ අය වෙනුවෙන් කුසලතා ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.ෂිඒ ෂිඒ ඒ සඳහා බ්‍රේක්ඩාන්ස් විලාසයේ නර්තනයක් ඉදිරිපත්කල අතර,වේදිකාවට පහතින් බලා සිටි ෂිඒ චිංචෙංගේ ප්‍රකාශය අඳුරු වී ගියේය.තරුණ ෂිඒ ෂිඒ වේදිකාවෙන් බැස ආ වහාම අඳුරු මුහිණින් මෙවැනි විකාරසහගත නැටුම් ප්‍රසංගයන්ට සහභාගි වන්නේ මන්දැයි විමසමින් ඔහු ඇයට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළ අතර,පසුව ඔහුගේ කබාය ගලවමින් බලහත්කාරයෙන්ම එය ඇගේ උරහිස මත හෙලුවේය.


එය තවමත් වේලවා රාත්‍රී අට හෝ නවය පමණක් වුවත්,තම අවිවාහක නැඟනියත්,තනිකඩ පිරිමියෙකු වූ හේ යූත් තනිවම ස්ටීම බොහෝ සෙයින් නොහොබිනා බව ෂිඒ චිංචෙං සිතුවේය.


බලාපොරොත්තු වූ පරිදිම ෂිඒ චිංචෙං කාමරයට ආ විගසම පුටුවක් ඇඳගෙන වාඩි විය.ගෘහ මූලිකයා ඔහුගේ කමිස අතේ බොත්තම් ලිහිල් කර,දිගු දෙපා හරස් කර වාඩි වෙමින් හේ යූ දෙස නොසැලකිලිමත් ලෙස බලා සිටියේය.


"ඔබ කොහොමද හරියටම ෂිඒ ෂිඒගේ විශ්ව විද්‍යාලයට,ඒ වගේම හරියටම ඇගේ පීඨයටම තේරුණේ?මට කියන්න".


"..."


වෘත්තීය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හා මුසු වූවක් ලෙස මෙම ආකල්පය ඉතා බලපෑම් සහගත විය.ඒ මොහොත තුළ හේ යූට හැඟුනේ තමා රෝහලක් වෙත යන අසරණ රෝගියෙකු බවත්,නරක මනෝභාවයකින් සිටි වෛද්‍යවරයා ඔහුගෙන් නොසැලකිලිමත් ලෙස ප්‍රශ්න කරන බවත්‍ ය.


"ඔබට අසනීප බවක් දැනෙන්නේ කොහෙද?".


හේ යූ ඒ පිළිබඳව සිතන විට එය විහිළුවක් ලෙස පෙනුනි.


කාලය මොහොතක් ගතවන තුරු හේ යූගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසාත්,ඔහුගේ මුව කොන් සැහැල්ලු සිනාවක් ආරූඪ කරගත් බවත් දුටු ෂිඒ චිංචෙංගේ බැල්ම මඳක් සීතල විය.

"ඔයාට පැහැදිලි කරන්න බැරිද?".


"...."


ඔහුට වැරදුනි.එය වෛද්‍යවරයෙකු රෝගියෙකුගෙන් අසන පැනයක් නොවීය.ඔහුගේ ස්වරය පැහැදිලිවම පොලිස් නිළධාරියෙකු අපරාධකරුවෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරය අනුකරණය කළේය.

හේ යූ සුසුම්ලන්නට විය.


"ඒක එහෙම නෙමේ".


"එහෙනම් කතා කරන්න".


"මට පිටරට ඉදලා හුරු නැහැ.ඇරත් මම තිර රචනය සහ අධ්‍යක්ෂණය ඉගෙන ගන්න කැමතියි.ඔයා මගෙන් අහන්නේ ඒක එතරම් අහම්බෙන් වුනේ ඇයි කියලා,ඒත් මම කොහොමද ඒක පැහැදිලි කරන්න ඕනි?"හේ යූ සිනාවක් පෑවේය."මම පේන කියන්නෙක් නෙමෙයි".


"ඔයා තිර රචනයට හා අධ්‍යක්ෂණයට කැමතිද?".


"ඔව්".


ෂිඒ චිංචෙං තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න නොකළේය.මන්ද යත් ඔහුගේ බැල්ම හේ යූ දරාසිටි බිත්තර සහ හැම් මුසු වූ බැඳුනු බත්ගුලි වෙත යොමුවූ බැවිනි.


ෂිඒ චිංචෙං ඔහුගේ දෙබැම රැළි කළේය.

"මේ මොනවද?".


ෂිඒ චිංචෙංගේ මුහුණට පිඟාන දමා ගසමින් "උඹට මොකටද"යැයි විමසීමට හේ යූ හට සැබවින්ම අවැසි විය.


නමුත් ෂිඒ ෂිඒ ඇගේ සොහොයුරා වෙත ආචාරශීලී සිනාවකින් සංග්‍රහ කරමින් පවසන්නට විය.

"ඒ යං චෞ බත්".


ෂිඒ චිංචෙං ඒ දෙස තවත් තත්පර කිහිපයක් හොඳින් බලා සිටි අතර ඔහුගේ මුහුණේ ඉරියව් තුහීන බවකින් අරක්ගත්තේය.

"ඒප්‍රන් එක ගලවන්න.මම වෙන එකක් හදන්නම්".


"..."


"මෙතරම් කාලයක් පිටරටක ඔහේ ජීවත් වුනේ කොහොමද?".


"බෙදා හැරීම් ඇණවුම් කරලා".


ෂිඒ චිංචෙං හෙලූ විනිවිද යන සුළු බැල්ම තුළ යම් නින්දාවක සේයාවක් ගැබ්ව තිබිණි.


එවැනි බැල්මක් යටතේ හේ යූ හට හැඟී ගියේ මෙය ඔවුන් මුණගැසුනු පළමු හමුවීමට සමාන බවකි.විලාහි (විලා එකක් කියන්නේ පිරිසර ලොකු ගෙදරකට) ඉදිරිපිට නැවුම් තණකොළ ඇතිරූ පිට්ටනිය මත සිට ෂිඒ චිංචෙං සත් හැවිරිදි කුඩා දරුවා දෙස බලා සිටියේ ප්‍රායෝගිකව හදවත කුඩු කර දැමිය හැකි තරම් සීතල බැල්මකිනි.


එදා හේ යූගේ උපන් දිනය විය.හේ පවුලේ සුවිසල් විලාවෙහි දරුවන් විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් සිටියහ.කුඩා ළමයින් බොහෝ සෙයින් වෙහෙසට පත්වූ බවක් පෙනුනි.තටාකයට එපිටින් වූ සුදු පැහැති ගල් කැට මත හිඳගෙන ඔවුන් වැඩුණු පසු ඔවුන්ගේ බලාපොරොත්තු ගැන සාකච්ඡා කරන්නට විය.


"මම ලොකු වුනාට පස්සෙ,මට කීර්තිමත් කෙනෙක් වෙන්න ඕනි".


"මම විද්‍යාඥයෙක් වෙනවා".


"මම ගඟනගාමියෙක් වෙනවා".


තමන් විය යුත්තේ කවුදැයි නොදන්නවා වුනත් එය අනික් අයට පෙන්වීමට අකමැති කුඩා දරුවෙක් ඒ අතර විය.වටපිට බැලූ ඔහුගේ නෙත ගැටුනේ ගෘහ සේවිකාව විසින් කැඳවාගෙන එන ආගන්තුක තරුණ වෛද්‍යවරයාය.


නැවුම් තණකොළ හරිත පැහැයෙන් වර්ණවත් වූ අතර අහස පිරිසිදු නිල් පැහැයෙන් දීප්තිමත් වී තිබුණි.තම ප්‍රාධානියා සඳහා සකස් කළ මල් පොකුරක් තරුණ වෛද්‍යවරයාගේ දෑතේ විය.විචිත්‍රවත් ලෙස ගිම්හානයේ පිපෙන ෂිවුචිවු හුආ මල් (hydrangea flowers)වටා විලෝ මල් කිනිත්තක් සහිතව රෝස මල් ද්විත්වයකින් වැඩ දැමූ තුනී රිදී පැහැති කඩදාසියක් දවටා තිබුණි.තුනී සේද සළුවකින් පුෂ්ප  මඤ්ජරිය හැඩ වී තිබුණේ අතුල්‍ය ස්පර්ශයක් ලෙසය.


මල් පොකුර අතකින් දරා සිටි ෂිඒ චිංචෙංගේ අනෙක් අත ඔහුගේ කලිසම් සක්කුවේ විය.පිරිසිදු ස්වේත රසායනාගාර කබායක් පැළඳ සිටි ඔහුගේ පපුව මත බෝල්පොයින්ට් පෑන් දෙකක් අමුණා තිබුණි.රාජකාරියෙන් බැහැරව සිටි නිසා ඔහුගේ ඉදිරිපස කබා බොත්තම් විවෘතව තිබුණේය.ඊයම් අළු පැහැති කමිසයකුත්,ලිහිල් ලෙස සකස් කළ දිගු කලිසම් කකුල් යුගලයකුත් කබායට යටින් හෙළිවිය.

කුඩා කොල්ලා මුව අයාගෙන නුපුන් බැල්මෙන් ඔහු දෙස බලා සිටියේය.මොහොතකට පසු ඔහු තමා කුඩා අතැඟිල්ලක් ෂිඒ චිංචෙං වෙත දිගු කරමින් කෑගැසුවා."හරියට හරි.මම වෛද්‍යවරයෙක් වෙනවා"


මල් විකුණන්නා මල් කළඹෙහි වූ තුනී සේද සළුවට වැඩි අවධානයක් යොමු නොකර තිබුණි.හදිසියේම හමා ආ වේගවත් සුළඟින් ෂිඒ චිංචෙංගේ මල් පොකුර ආවරණය කෙරූ සියුම් සේද සළුව සුළඟට ගසාගෙන ගියේය.සේද සළුව අහසේ පවී ගිය අතර සුළඟ නැවතුණු විට නැවතත් බිමට වැටුණි. 


තුනී සේද සළුව අල්ලා ගැනීමට සෑම ළමයෙක්ම පොරකෑවත් අවසානයේ එය වැටුනේ ඒ ගැන අවධානය යොමු නොකළ එකම තැනැත්තා වූ හේ යූ ඉදිරිපිටය.


තම නිවසේ නිතරම දක්නට ලැබෙන වෛද්‍යවරුන්,ඖෂධ නියෝජිතයන්,පර්‍යේෂකයන් හේ යූ හට අප්‍රිය වුවත් ඔහු වඩාත් ආචාරශීලී වීමට පුරුදුව සිටියේය.ඒ නිසා ඔහු නැමී මෘදු ලෙස සේද රෙද්දේ හතරැස් කොණ අතට ගෙන ඇවිද ගියේය.


"ඩොක්ටර්,ඔයා මේක අතැරියා".


ඔහු ඒ උදාසීන දෑස් දෙස බැලුවේය.


එය ගිම්හානයේ කෙළවර විය,නමුත් පැහැදිලි කළ නොහැකි ලෙස,ටැන්ග් රාජවංශයේ පද්‍ය උගනමින් සිටි හේ යූ හට පද්‍ය මාලාවක් මතකයට කැඳවීමට ඒ උදාසීන නේතා යුගලය සමත් විය.

"හිමවැස්ස අසල්වැසි උණබම්බු ගස් ගොන්නට කොඳුරන්නට විය.."


ෂිඒ චිංචෙං බිම බලා සිනිඳු සේද සළුව අතට ගත්තේය.කොකෙකුගෙන් ගැලවී ගිය පිහාටුවක් අසුර ආත්මයකට පරිවර්තනය වූවාක් මෙන් ඔහුගේ රසායනාගාර කබාය මඳ සුළඟෙහි අරගල කරන්නට විය.


"ස්තූතියි".


මේ මොහොතේ,ඔහුගේ කමිස අත් අග්ගිස්සෙන් ගලා ආ ඖෂධ සුවඳට හේ යූ හට ක්ලාන්ත බවක් දැනුනි.


පරීක්ෂණ වලින් හෙළි කරනුයේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති හැඟීම බොහෝ විට නියම කරන්නේ ඔවුන්ගේම සිරුරු වලට ආවේණික සුවඳ මඟින් බවයි.එනම් යම්කිසි පුදගලයෙකු සතුව ඔබ ප්‍රියකරන ආකාරයේ සුවදක් උරුම් නම් පළමු හමුවේම වුවද ඔවුනොවුන් වෙත ආදරය කිරීමට පෙළඹෙයි.කොහොම වුවත් එම පුද්ගලයාගේ සුවඳ ඔබ අප්‍රිය කරන අකමැති අකාරයේ සුවඳක් නම්,එම දෙදෙනා අතර සම්බන්ධය දුර්වල වනු ඇත.


හේ යූ ෂිඒ චිංචෙංගේ සුවඳ අප්‍රිය කළාය.


ඔහු කුඩා කළ සිටම ගිළ දැමූ අසංඛාත කටුක ඖෂධ පෙති මෙන්,බෙහෙත් විදීමට පෙර අත පිසීමට යොදාගන්නා ඇල්කොහොල් හා අයඩීන් ද්‍රාවණ මෙන්,මිනිස් වාසයක් හෝ නොතිබුණු විෂබීජනාශක දියර සුවඳින් පිරී ගිය සුදුපැහැති සීතල රෝහල් කුටි තරම්ම එය ජුගුප්සාජනක විය.


එවැනි සුවඳකට හේ යූ සහජයෙන්ම පාහේ බිය විය.ඔහුගේ යටි සිතින් අප්‍රසන්න බවක් නැඟුනි.


නමුත් ගෘහ සේවකයා ඔහුගේ උරින් අල්ලා සිනාසුණේ,තමාව මුළුමනින්ම අපහසුතාවට පත් කළ ජේෂ්ඨ වෛද්‍ය සහෝදරයා හට තමාව හඳුන්වා දෙමිනි.

"දොස්තර ෂිඒ,මේ අපේ තරුණ මාස්ටර්".


හේ යූ ඉවත බලාගැනීමට සූදානම් වුවත් ෂිඒ චිංචෙං නැවතී ඔහුගේ අඳුරු දෑස් හේ යූ වෙත එල්ළ කලේය."එහෙනම්,ඒ ඔයා".


ඔහුගේ දෑස් වල් ප්‍රකාශය හේ යූ හට අතාර්කිකව මතක් කර දුන්නේ ශල්‍යකර්ම පිහියකි.ඔහුගේ දෑස් අස්වාභාවික ලෙස තියුණු විය.හේ යූගේ හෘදය කොටස් වලට කපා එය අන්වීක්ෂයක් මතින් තබනාවක් වැනි හැඟීමකින් හේ යූ වෙළී ගියේය.


"ඔයාව හමුවුන එක සතුටක්.ඉස්සරහට ඔයාගේ අසනීපයට ප්‍රතිකාර කරන්නේ මම".


හේ යූ වෛද්‍යවරුන්ට බිය විය.ඔහු වඩාත් මෘදු වෛද්‍යවරුන්ට පාහේ අකමැති වූයේනම් හිසේ සිට පාදාන්තය දක්වා තීව්‍ර තුහීනයක් අරක්ගත් මෙවැනි අවතාරයක් ගැන කවර කතාද.අට හැවිරිදි කුඩා කොලු ගැටයා සැණෙකින් අපහසුතාවට පත් වුණි.මුහුණේ සිනහව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට උත්සුක වූ ඔහු අනතුරුව ආපසු හැරී පිටව ගියේය.


උඩුමහලේ ඉස්තෝප්පුවේ රැඳී සිටි ඔහුගේ මව හට මෙම දර්ශනය දැකබලා ගත හැකිවුණි.එදින රාත්‍රියේ වැඩකටයුතු අවසන් කළ ලු චීෂූ,තම පුතාව පාඩම් කටයුතු සඳහා කැඳවාගත්තේය.කොළ විල්ලුදයෙන් ආවරණය කළ තේ මේසය මත තබා තිබූ උණුසුම් තේ කෝප්පය ඇය හේ යූ වෙත තල්ලු කළාය.


"ඒ ඩොක්ටර් ෂිඒ,ඔයාට එයාව අද මුණගැහුනද?".


"මට හම්බුනා".හේ පවුලේ ශික්ෂණය ලිහිල් නොවූවේය.ඔහු සෑම විටම තම මවට කීකරු අතර කිසිවිටෙකත් ඔවුන් සමීපතමයන් නොවූවාය.


ලූ චීෂු හට මේ අස්වාභාවික කුඩා දරුවා සැබවින්ම දොම්නසට කාරණාවක් විය.ඒ වන විටත් ඇයට දෙවැනි දරුවෙකු සිටියාය.වැඩිමහල් දරුවා තරම් කුඩා දරුවා දක්ෂයෙකු නොවූවත්,අවම වශයෙන් ඔහු හුරතල්,මිහිරි හා සෞඛ්‍ය සම්පන්න විය.එකී හේතූන් මත ලූ චීෂූගේ වැඩි අවධානය ඇගේ බාල දරුවා වෙත යොමු වුණි.හේ යූ හා දොඩමළු වන සෑම මොහොතකම ඇය ඇගේ ඉවසීමේ ඉහළම කෙළවරට ළඟා වූවාය.


"එයාගේ නම ෂිඒ චිංචෙං.අද ඉඳන් එයා ඔයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වේවි.සතියකට පාරක් ඔයාව බලලා යන්න එයා ගෙදරට එයි.පුලුවන් තරම් හොඳින් එයා එක්ක කටයුතු කරන්න.කොයිම මොහොතක වුනත් ඔයාට අසනීපයක් දැනෙනවා නම් ඔයාට එයාට කතා කරන්න පුලුවන්".


"ම්ම්".


තමා ඉදිරිපිට සිටින අට හැවිරිදි කුඩා කොලු ගැටයා කෙතරම් සංකීර්ණදැයි දකින සෑම විටම ලූ චීෂූ හට තරමක තිගැස්මක් දැණුනු අතර,අපහසු වූ චකිතය පළවා හැරීමට ඇය හේ යූ හට සුළු ඔච්චමක් කළාය.

"හේ යූ,ඩොක්ටර් ෂිඒ සමඟ අපි ගිවිසුමක් අත්සන් කළා.එයාට ඔයාගේ අසනීපය සනීප කරන්න බැරි නම්,එයා අපිට දීර්ඝකාලීන සේවකයෙකු වශයෙන් සේවය කරන්න ඕන.වැටුපක්වත්,නිවාඩුවක්වත් නැතුව.කොටින්ම කීවොත් එයාට විවාහ වෙන්නවත් බැහැ.හේ යූ,ඒකේ තේරුම ඔයා දන්නවාද?".


"නැහැ".


"ඒ කියන්නේ,ඔයා එයා එක්ක සහයෝගයෙන් වැඩ නොකළොත්,එයාගේ ප්‍රතිකාර වල කාර්‍යක්ෂමතාව අඩු කළොත්,එයාට බිරිඳක්වත් ලබා ගන්න බැරි වුනොත්,ඔයා එයා වෙනුවෙන් වගකීම භාර ගෙන ජීවිත කාලෙම එයාට සහය වෙන්න වෙනවා කියලා".


ඔහුගේ වයසට ඔහු පරිණත වුවත් තවමත් ඔහු ළපටි විය.ඒ නිසාම ඔහු භීතියට පත් විය.ඔහු එක්වරම හිස ඔසවමින,

"මට එයාගේ ගිවිසුම අවලංගු කරන්න පුලුවන්ද?".


"බැහැ".


පසුගිය දිනවල යෙදුනු ගුවන් ගමන් අතරතුර ජනරජ යුගයේ,වධහිංසාකාරී ආදරය හා පවුල් සංවිධානය තුළ ආරවුල් වටා ගෙතුනු නාට්‍ය නැරඹීමට ලූ චීෂූ ප්‍රිය කළාය.එබැවින් ඇය ක්ෂණික පරිකල්පනයකින් වඩාත් පරුස ලෙස රඟ දැක්වූවාය.

"ඒ වගේම,එයාට ඕන,ඔයා එයාගේ බිරිඳ විදිහට ඒ වගකීම බාර ගන්නවා දකින්න.බලන්න ඔයා කොච්චර ලස්සනද කියලා,ඔයාට හොඳ විනීත මනාලියක් වෙන්න පුළුවන්".


ඒ වන විට හේ යූ හට ආදරය පිළිබඳ උනන්දුවක් නොවූ අතර එවැනි දෙයකට සම්බන්ධ වීමටද ඔහුට කිසිසේත් අවශ්‍ය නොවුණි,එම නිසා විවාහය යනු විෂමලිඟිකයන්ට සීමා වූවක් බවක් ඔහු නොදත්තාය.ලූ මහත්මියගේ වචන වලින් ඇතිවූ මනසික බලපෑම ගැඹුරු එකක් විය.ඔහුගේ රාත්‍රී සිහින තුළඳ ෂිඒ චිංචෙංගේ සිලුවටය දිස්වුණු කාලපරිච්ඡේදයක් විය.

"නැහැ,මම ඔයාට කැමති නැහැ.මට ඔයාව බඳින්න ඕන නැහැ".


මාස හයක් පුරාවට ඉහත කී විකාරරූපි කැලිසේයාව ඔහුගේ රාත්‍රී සිහින තුළ නොනැසී පැවතුනේ හේ ජීවෙයි ගේ වචන අසන තුරු පමණි.පසුව පමණක් එය පහව ගියේය.


ඒ මොහොතේ හේ ජීවෙයි තමන්ගේම බිරිදට නිර්භය ලෙස කෑ ගසන්නට විය.

"මොන මඟුලක්ද තමුසේ අපේ පුතාට කීවේ".


එසේම ඔහු හේ යූටද ශාප කළේය."ඔහේ කොහොමද මේ වගේ විහිළුවකට අහු වුනේ?ඔහේගේ මොළේට මොකද වුනේ?ඔයා මනුස්සයෙක්,ෂිඒ චිංචෙං කියන්නෙත් පිරිමියෙක්,ඒ මිනිහව බැඳලා වගකීම භාරගන්නවා කියන දෙයින් ඔයා අදහස් කරන්නේ මොකක්ද?පැසිපික් සාගරයක් තරම් වතුරද ඔය මොළේ ඇතුලේ තියෙන්නේ?".("මොළේ ඇතුලේ තියෙන්නේ වතුරද?"මෝඩයෙක් අඳුන්වන්න ප්‍රසිද්ධ චීන කියමනක්)


හේ යූ හට දැඩි කලකිරීමක් දැනුනි.


පසුගිය වසර භාගය තුළම,තමා ඩොක්ටර් ෂිඒ සමඟ නිසි පරිදි කටයුතු නොකර කෙදිනක හෝ ඔහුගේ මනාලිය වී මෙය අවසන් වේ යැයි හේ යු තිගැස්මකට පත් විය.ගෙවී ගිය සය මස තුළ ඔහු අද්භූත වෛද්‍ය ෂිඒ චිංචෙං ඉදිරිපිට 

අඥාන හා තකතීරු ලෙස මවා පෑවේ ඔහුගේ මනස තුළ තමා පිළිබඳව සෘණාත්මක හැඟීමක් ජනිත කිරීමටය.එසේ වුවහොත් මෙම මිනිසා අනගතයේ තමා පිළිබඳ කිසියම් හෝ උනන්දුවක් නොදක්වන බව ඔහු සිතුවේය.


කෙසේ වෙතත් සය මසක් පුරාවට පුද්ගලයෙකු ඉදිරිපිට අඥාන ලෙස ක්‍රියා කිරීමෙන් අනතුරව තම පියාගෙන් අසන්නට ලැබෙන්නේ මෙවැනි වදනක් බව ඔහු අපේක්ෂා නොකළේය.


"ඔයාගේ අම්මා ඔයාට ඔච්චම් කරා".


හේ යූ ගේ දැඩි සංයමය නොවෙන්නට ඔහු දැනටමත් එය "කෙළවෙලා පලයං" ලෙස අවසන් කරන්නට තිබුණි.අවසනාවන්ත ලෙස ශාප කරන්නට වචන තියා,අවජාතකයා යන වචනයවත් ඔහුගේ වචන මාලාවට ඇතුළත්ව නොතිබුණහ.


කෙසේ වෙතත් අඩ වසරක් තුළ තමා ෂිඒ චිංචෙං ඉදිරිපිට ගත් අනලස් ප්‍රයත්නය,එකී අද්භූත වික්‍රමාන්විතය,හේ යූ විසින් අඩුවැඩි වශයෙන් පාලනය කර තිබුණි.


එසේ වූවත්,ඉදිරි වසර හය හත තුළ…

නැහැ.ඒ වසර හය හතකටත් වඩා වැඩි කාළයක්.

ඔහු වසර දාහතරේදී ෂිඒ චිංචෙංගෙන් වෙන්වූ දා පටන් අද වන තුරුත්,ෂිඒ චිංචෙංගේ දෑස් තුළ-

හේ යූ යනු හුස්ම ගන්න දැවැන්ත අමනයෙකි.


මේ මොහොතේ ඔහුගේ අතේ තිබූ පිළිකුල් සහගත ෆ්‍රයිඩ් රයිස් බඳුන,ෂිඒ චිංචෙංගේ දෑස් හමුවේ,පුරා වසර හතරක් ගෙවී ගියත් තවමත් නිසි ලෙස බත් බඳුනක් වත් සාදා ගත නොහැකිව ඔහු පරම අමනයෙක් බවට පත් කර තිබුනි.


බත් බඳුන පසෙකින් තැබූ හේ යූ, පවිත්‍ර ඇඳුමින් හා සම් සපත්තු වලින් සැරසුනු ෂිඒ පවුලේ ප්‍රධාන වැඩිමහල් සහෝදරයා වෙත ඒප්‍රනය ගලවා දුන්නේය.

හේ යූ ගේ ප්‍රකාශය වඩාත් සන්සුන් හා තැන්පත් විය.නමුත් ඔහු තරමක් දුර්මුඛ විය.හොඳින් සිතා බලන විට ඔහු පෞද්ගලිකව අහාර පිසීම කළ නොකළ යුතුයි.එය ෂීඒ චිංචෙං හට නොමිලේම සංග්‍රහ කිරීමක් නොවේද?



___________________________________________________


Comments

  1. ගොඩාක් ලස්සනයි කතාව .

    ReplyDelete
  2. ලස්සනයි.. ❤️

    ReplyDelete
  3. නියමයි කතාව ❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-