Skip to main content

තිස් අටවන පරිච්ඡේදය : බලා සිටියා ඇතිද?

තිස් අටවන පරිච්ඡේදය : බලා සිටියා ඇතිද?


අතීතයේ දී නම් ෂියාඕ සේ, එවන් පුද්ගලයෙකු සමඟ මද වේලාවක් හෝ කෙළිලොල් ලෙස ගත නොකර, නොඑසේ නම් අවම වශයෙන් පුද්ගලයාගේ රසයක් ලබා නොගෙන එවැනි සුන්දරත්වයක් අත් නොහරිනු ඇත. එහෙත් මේ මොහොතේ එම පුද්ගලයාගේ වතෙහි පැහැදිලි දසුනක් තම දෑස්වලට ගෝචර කරගැනීමටවත් කාලයක් ඔහුට තුබුණේ නැත.


අද රාත්‍රියේදී යුවන් චින් ඝාතනය කිරීම අත්‍යවශ්‍ය දෙයක් වූ අතර බයි රොං විසින් එම කර්තව්‍යය දැනටමත් අත්හැර දමා තිබුණි. අසාර්ථකත්වය තවදුරටත් ඔහුට විකල්පයක් නොවී ය. එහෙයින් යැන් වුෂි ඉදිරියේ තමාට ඇති අවස්ථා කෙතරම් අවමදැයි හේ දැන සිටියද, උත්සාහයක් ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරිව තිබුණේ නැත.


තම බඳපටියේ රඳවා තුබූ පවන්පත පිටතට ගත් ෂියාඕ සේ මැණික් කටුව සොලවා යම් චලනයක් සිදු කළේ ය. ඒ සමඟම එහි පවන් පත් කෙළවරින් තියුණු තල ගණනාවක් ක්ෂණිකව මතු විය. අනතුරුව වාතය හරහා අනෙක් පුද්ගලයා වෙතට ගසාගෙන යන පරිද්දෙන් එය ඉවතට වීසි කළ ඔහු මේ අතරතුරම තම පාදවලින් බිමට තට්ටු කොට පොළොවෙන් ඉල්පී ෂෙන් ච්‍යාඕ දෙසට පැන නැඟුණේ ය. පසුව ඔහු විසින් අත්ලෙන් මවන ලද සුළං පහර මධ්‍යයයේ හේ නැවතත් සිටි ස්ථානයටම පැමිණියේ ය.


මුලදී මෙම සටනට සම්බන්ධ වීමට ෂෙන් ච්‍යාඕ සතුව සැලසුමක් තිබුණේ නැත. එකකට පසු එකක් ලෙස පැවති සටන්වලින් අනතුරුව ඔහුගේ ශරීරයට දැන් දිගු සුවදායක විවේක කාලයක් අවශ්‍ය වී තිබූ අතර, එසේ නොවුවහොත් එය ඔහුගේ ධ්‍යානවේදී මූලයට ආපසු හැරවිය නොහැකි හානි පවා සිදු කළ හැකි තත්වයක පසු විය. එමෙන්ම යැන් වුෂි ද මෙහි සිටි බැවින් ඔහුට සටනට සහභාගි වීමට අවශ්‍යතාවයක් තිබුණේ ද නැත. නමුත්, එම මොහොතේම යුවන් චින්, නවාතැන් සොයමින් යූ සීව ඔහුගේ මැදිරිය වෙත ඇදගෙන පැමිණීමත්, භයානක සතුරෙකු පියවරෙන් පියවර ළඟා වීමත් නිසා ෂෙන් ච්‍යාඕ හට සටන භාර ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත.


ෂියාඕ සේ සිතුවේ යැන් වුෂිගේ ස්වභාවය අනුව, ඔහු කිසි විටෙකත් වෙනත් උදව්කරුවන් රැගෙන ගමන් ගන්නේ නැති බව ය. එවන් අවතක්සේරු කිරීමට නොහැකි ගණයේ පුද්ගලයෙකු මැදිරියේ සඟවා ඇති බව දන්නේ ස්වර්ගයම පමණි! සටන්කාමී ලෝකයේ මෑත කාලීන කටකතා සිහිපත් කරමින්, එය තමා ඉදිරිපිට සිටින පුද්ගලයාගේ ලක්ෂණ සමඟ සසඳා, වහාම පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනීමට ඔහුට වැඩි කලක් ගත වූයේ නැත, “නිකාය නායක ෂෙන්, දාඕවාදී නිකායක නායකයෙක් විදිහට යැන් වුෂි වැනි කෙනෙකුගෙන් අණ ලැබීම ගැන ඔබට ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද?"


ද්වේෂසහගත වාග් උපහාසයක් පිට කරමින් සිටි නමුත් ඒ අතරම ඔහුගේ දෑත් ද ඉතා වේගයෙන් ගමන් කරමින් තිබුණි. ඔහුගේ අත්ලෙන් පැන නැඟුණු සුළං, ප්‍රචණ්ඩ රැල්ලක් මෙන් මෙන් නැඟී එකින් එක ඉදිරියට ඇදී ගියේ තම සතුරාට හුස්ම ගැනීමටවත් කාලයක් නොතබමිනි. පවන්පතට තමාගේම විඥානයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. එය ෂියාඕ සේ ගේ අභ්‍යන්තර චී ශක්තිය සමඟ එක්ව ක්‍රියා කරන්නට වූයේ, සතුරාගේ දුර්වල ස්ථාන පමණක් ඉලක්ක කර ගනිමින්, ප්‍රහාරයක් සඳහා අවස්ථාවක් ලබා ගත හැකි වූ ඕනෑම හිඩැසක් එමඟින් පුරවාමිනි. දෙපසින්ම ප්‍රහාරයට ලක්ව සිටියාක් බදුව සිටි ෂියාඕ සේ සමඟ මේ මොහොතේ සටන් කරන ඕනෑම අයෙකුට අමතර තර්ජන ස්ථරයක් ද පැවතිණි.


සටන අවශ්‍ය ප්‍රමාණයට වඩා දිගු කිරීමට ෂෙන් ච්‍යාඕ කැමති වූයේ නැත. උණ බම්බු සැරයටිය භාවිතයට නොගත් හේ වහාම 'ස්වර්ගීය විපත' කගපත පිටතට ඇද ගත්තේ ය.


අසිපත් ආලෝක කදම්භ ස්ථරයන්, එකකට එකක් ඉහළින් වන සේ වැසී ගියේ ආකාශය වසාගත හැකි තරම් විශාල තිර රෙද්දක් මෙන් වියමිනි. අනෙක් පුද්ගලයාගේ අත්ලෙන් ඇති වූ දරුණු සුළං පහර එමඟින් කපා දැමුවා පමණක් නොව, පවන්පතෙහි තල ආලෝකයන් ද ආවරණය වී ගියේ ය. ෂියාඕ සේ 'කඩු තිරය' බිඳ දැමීමට උත්සාහ කළ නමුත්, දෝෂ රහිත බාධකයක් මෙන් වූ එහි ග්‍රහණය කර ගත හැකි කිසිදු හිඩැසක් නොමැති බව සොයාගැනීමට ඔහුට වැඩි කලක් ගත  වූයේ නැත.


එයටත් වඩා ගැටලුව වූයේ ෂියාඕ සේ, එල්ල කළ ප්‍රහාරය ෂෙන් ච්‍යාඕ විසින් ආපසු හරවා ඔහු වෙතටම එල්ල කරමින් සිටීම ය. ෂියාඕ සේ ගේ අත්ල ඔතාගත් සුළං ස්ථරය 'කඩු තිරය' මඟින් ආපසු හරවා එවා තිබූ අතර එමඟින් ඔහුගේ හුස්ම සිර කළේ ය. හේ සතුව තිබූ ආරක්‍ෂාව තත්පරයකට අඩපණ වූ අතර ඒ සැණින් ළයට එල්ල වූ දැඩි පහර හේතුවෙන් ෂියාඕ සේ ගේ මුවින් රුධිරය වැගිරී ගියේ ය.


ෂෙන් ච්‍යාඕ සටන් කලාවෙන් විශාල පාඩුවක් පවා විඳීමට තරම් බරපතළ ලෙස තුවාල ලැබූ බව ඔවුන් කීවේ නැද්ද?!


මහත් සේ කම්පනයට හා කෝපයට පත්ව සිටි ෂියාඕ සේ, නොකඩවා සටන් කළ ද තමනට වාසියක් අත් නොවන බව මේ වන විටත් වටහාගෙන හුන්නේ ය. වැඩිහිටියන් සිව් දෙනාට යැන් වුෂිව තවදුරටත් රඳවා තබා ගැනීමට ක්‍රමයක් නොතිබූ අතර, යැන් වුෂි නිදහස් වූ පසු, නිසැකවම ඔහු තවත් කරදරයට පත් වනු ඇත.


ඔහුට විසල් වෘක්ෂය දෙස නොබලා සිටීමට නොහැකි විය. එහි වාඩි වී සිටි බයි රොං ඒ වන විටත් කොතැනකවත් පෙනෙන්නට සිටියේ නැත. දත්මිටි කමින් හුන් ෂියාඕ සේ මෙසේ කීවේය, “නිකාය නායක ෂෙන්ට ඇත්තෙන්ම ඉතා සුදුසු කීර්තියක් තිබෙනවා. ෂියාඕ නැවත පැමිණ වෙනත් වේලාවක ඔබෙන් උපදෙස් විමසන්නම්! ”


පවසා අවසන් වූ වහාම ආරක්ෂක ආවරණයේ විවරයක් සොයාගත් හේ එදෙසට අත්ල ප්‍රහාරයක් එල්ල කරමින් පිටව ගියේ ය. ෂෙන් ච්‍යාඕ කඩුව ඔසවන විටදී, පවන්පතෙහි තල ආපසු ලබා ගත් ෂියාඕ සේ ක්ෂණයකින් අතුරුදහන් වූයේ, එම වැඩිහිටියන් සතර දෙනාට වචනයක් හෝ නොපවසමිනි. 


මෙම මොහොත අසුර නිකායට අයත් මිනිසුන් කෙතරම් ආත්මාර්ථකාමී සහ සීතල හදවත් ඇති අයද යන්න විචිත්‍රවත් හා පරිපූර්ණ ලෙස නිරූපණය කරන ලදි.


ෂෙන් ච්‍යාඕ පිටුපස සැඟවී සිටි යුවන් චින් බඩගාගෙන මෙන් පිටතට පැමිණි මුත්, තවමත් සිටියේ භීතියෙන් වෙව්ලමිනි. නමුදු හේ මෙලෙස විමසීමට ද අමතක නොකළේ ය, “අපව බේරාගත්තාට මේ තරුණ මහත්මයාට බොහොම පින්! කරුණාකර මට ඔබේ නම කියන්න පුළුවන්ද?"


කගපත නැවතත් කොපුව තුළට තල්ලු කළ ෂෙන් ච්‍යාඕ වචන ද්විත්වයක් පැවසුවේ ය, "ෂෙන් ච්‍යාඕ."


ඔහුගේ අප්‍රාණික දෑස් දුටු යුවන් චින් හදිසියේම එය වටහාගත්තේ ය, “එහෙනම් ඔබ තමයි ඒ, ෂෙන් මහත්මයා!” 


මෙම කාල පරිච්ඡේදය තුළ, සූ වාසස්ථානයේ ඇති වූ සටන හේතුවෙන් ෂෙන් ච්‍යාඕගේ නාමය ළැව්ගින්නක් මෙන් පැතිර ගොස් තිබුණි. එමෙන්ම ඔහුගේ නම ගෙන එන සෑම විටම, මිනිසුන්ට යැන් වුෂි ගැන කතා කිරීම ද වළක්වාගත නොහැකි වූ අතර, සංවාදය සෑම විටම සෑම කෙනෙකුගේම නොපැහැදිලි සිනහවකින් අවසන් විය. යුවන් චින් සටන් ලෝකයට අයත් වූයේ නැත. එහෙයින් ඔහුට ඒ ගැන අසන්නට ලැබුණේ කටකතා කිහිපයක් පමණි. නමුත් සැබෑ ජීවිතයේදී එම පුද්ගලයා දැකීමෙන් පසු, ෂෙන් ච්‍යාඕ කෙතරම් සුන්දරදැයි කියා විස්මයට පත් නොවී සිටීමට ඔහු හට නොහැකි විය. මද රෝගාබාධ පෙනුම තිබියදීත්, හෙතෙම තුළ තිබුණේ කැපී පෙනෙන ආකර්ෂණයකි.


විශේෂයෙන්ම මෙම සුරූපී පුද්ගලයා මොහොතකට පෙර සිය කඩුව පිටතට ගෙන අනෙක් පුද්ගලයා සමඟ සටන් කරන විටදී, ඔහුගේ දුර්වල, සියුම් පෙනුම හදිසි වෙනස් වීමකට භාජනය වී තිබුණි. ශක්තිමත් සහ ස්ථීර, විශිෂ්ට හැකියාවක් මූර්තිමත් කරන අතරම, ඔහුගේ කඩු ශිල්පය කෙනෙකුගේ ඇසට මංගල්‍යයක් වූ අතර මිනිසුන්ට වෙනත් දිශාවක් දෙස බැලීමට පවා අපහසු විය. කෙසේ වෙතත්, දැනටමත් වෙනත් කෙනෙකු විසින් එවැනි සුන්දරත්වයක් ලබාගෙන තිබීම ගැන ගැඹුරු අනුකම්පාවක් දැනෙන්නට වීම හැර වෙනත් හැඟීමක් යුවන් චින් හට දැනුණේ නැත.


යුවන් චින් සිතන්නේ කුමක් දැයි ෂෙන් ච්‍යාඕ දැන සිටියේ නැත. එබැවින් හේ තවමත් සිය සුපුරුදු මෘදු හා සන්සුන් ප්‍රකාශය පවත්වාගත් අතර සිනහවකින් ‍යුක්තව යුවන් චින් වෙත හිස සැලුවේ ය, "ජ්‍යෙෂ්ඨ නිලධාරි යුවන්, පළමුව ඔබ පිටුපසින් සිටින ආර්යාවව පරීක්ෂා කරගැනීමට ඔබ කැමතිද?"


යුවන් චින් පැවසුවේ ය, "ඇය මිය ගොස් ඇති බවයි පෙනෙන්නේ."


"මට බලන්න දෙන්න."


යුවන් චින් ද, යු සීගේ හස්තය ෂෙන් ච්‍යාඕගේ හස්තය මත තැබුවේ ය.


ඇගේ ස්පන්දනය බැලූ ෂෙන් ච්‍යාඕ, “ඇය හොඳින්. කවුරුන් හෝ ඇයගේ සැතපීමේ නිලයට පහර දීලා. එපමණයි."


හේ, යූ සීගේ නිල ප්‍රහාරයේ අවහිර වීම ඉවත් කළ අතර, ඉන් අනතුරුව ඈ සෙමෙන් අවදි විය. යුවන් චින් සහ ෂෙන් ච්‍යාඕ ඇය ඉදිරියෙන් සිටින දසුනින් බියට පත් යූ සී ගේ හදවත තවමත් බියෙන් ගැහෙමින් තිබුණි.


වහාම ඇයව තදින් වැළඳගත් යුවන් චින් ඈ අස්වසන්නට වූවේ ය. “දැන් හැමදේම හොඳින්. කනිෂ්ඨ උපදේශක යැන් සහ නායක ෂෙන් අපිව බේරගත්තා!


යූ සී ගොතගසමින් පවසන්නට විය, "ෂ්‍යාඕ ලින්, ඇය...ඇය..."


යුවන් චින් නැවතත් පැවසුවේ ය, "සමඟි නිකායේ කෙනෙක් ඔබට ළං වෙන්න ෂ්‍යාඕ ලින් විදිහට වෙස්වලා ගත්තා. ඔවුන්ට අවශ්‍ය වුනේ ඔබේ මාර්ගයෙන් මාව මරා දැමීමට. ෂ්‍යාඕ ලින් තවමත් ජීවත්ව සිටීමට ඇති අවස්ථාව බොහෝ විට ඉතා අවමයි."


හදිසියේම ෂෙන් ච්‍යාඕ මෙසේ පැවසුවේ ය, “එය නිසැක නැහැ. ආර්යාව හොඳින් සිටින නිසා ඔබේ සේවිකාවටත් අනතුරක් නොවී තිබෙන්න පුලුවන්. ජ්‍යෙෂ්ඨ නිලධාරී යුවන්, කරුණාකර ඔබේ මිනිසුන්ව සෙවීමට යවන්න පුළුවන්ද?ඔවුන්ට යමක් සොයා ගැනීමට හැකි වේවි ”


යුවන් චින්ගේ දෑත් ඇද ගත් යූ සී දෑසෙහි මතු වී තුබූ කඳුළු බිඳු අතරින් මෙසේ පැවසුවා ය, "ෂ්‍යාඕ ලින් වසර ගණනාවක් තිස්සේ සිටියේ මාත් සමඟයි. කවදත් ඇය මට බොහෝ පක්ෂපාතීයි. නායකතුමණි, කරුණාකරලා ඇයව සෙවීමට කෙනෙකු යවන්න!”


අසුරු සැණින් යුවන් චින්ගේ හදවත මෘදු විය , “හොඳයි, හොඳයි! මම ගිහින් කියන්නම් දැන්ම ඇයව සොයන්න යන්න කියලා!”


අනෙක් පසින් සමඟි නිකායේ වැඩිහිටියන් සිව් දෙන අවසනදී යැන් වුෂි හට පරාජය වී තිබුණි. ඔවුන්ගෙන් එක් අයෙක් එම මොහොතේදීම මිය ගොස් තිබූ අතර, තවත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබුණි. අනෙක් දෙදෙනාද අඩු වැඩි වශයෙන් තුවාල ලබා, යන්තම් බේරී තම දිවි රඳවාගැනීමට බොහෝ ප්‍රයත්න දරමින් හුන් හ. බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ලිස්සා යාමට ප්‍රථම, යැන් වුෂි විසින් ඔහුට තවත් ප්‍රහාරයක් එල්ල කරන ලදි. හාස්කමක් සිදු නොවන්නේ නම් මිස ඔහුගේ ඉතිරි ආයු කාලය බොහෝ විට කෙටි වනු ඇත.


හිස හරවා බැලූ යුවන් චින්ට දක්නට ලැබුණේ වාඩි ලා ගෙන හුන් ෂ්‍යාඕ චින් හැඟීමක් නැති හිස් දෑස්වලින් යුක්තව තම කගපත ඔසවන ආකාරයයි. අනපේක්ෂිතව දුටු එම දර්ශනයෙන් අනුකම්පාසහගත හැඟීමක් ජනිත වූ ඔහුට, අනෙකා විසින් පූර්වයේ පෙන්වන ලද්දා වූ සටන් කලාවේ දරුණු සංදර්ශනය සම්පූර්ණයෙන්ම අමතකව ගොස් තිබුණි.


“ෂෙන් මහත්මයා, ඔබට මහන්සිද? ඔබ මගේ මැදිරියේ විවේක ගැනීමට කැමතිද? එහි තවමත් ආහාර ස්වල්පයක් ඉතිරිව තිබෙනවා.”


“ජ්‍යෙෂ්ඨ නිලධාරී යුවන් මා නිසා කරදර වීමට අවශ්‍ය නැහැ.” ලෙස පැවසූ ෂෙන් ච්‍යාඕ හිස සලා එය ප්‍රතික්ෂේප කළේ ය.


යුවන් චින් සිනාසෙමින් තෙපලූවේ ය, "නැහැ, නැහැ! එය කොහෙත්ම කරදරයක් නොවෙයි! මේ මොහොතේ මගේ ජීවිතය බේරා ගැනීම ගැන තවමත් මම ඔබට ස්තූති කළ යුතුයි. ඔබ සුදුමැලි වෙලා වගේයි පෙනෙන්නේ මහත්මයා.එය චී ශක්ති සහ රුධිර ඌනතාවය නිසා විය යුතු බව මට විශ්වාසයි. මා ළඟ තවමත් කළුදෑ සම් ලාටු සමඟ සාදපු කේක් කීපයක් තිබෙනවා. මම ඔවුන්‍ට කියන්නම් පසුව ඒවා ඔබගේ මැදිරියට රැගෙන එන්න කියලා. සෑම දිනකම එක් පෙත්තක් බැගින් පමණක් අනුභව කරන්න. එය රුධිර පුනර්ජනනයට උපකාරී වෙනවා. ඔහ්, එය මිහිරියි. හරිම රසවත්..."


ෂෙන් ච්‍යාඕ නිහඬවම සිය නළල ග්‍රහණය කොට ගත්තේ ය.


යුවන් චින් සිතුවේ ඔහුට හිස කරකැවිල්ලක් දැනෙනු ඇති බව ය. එහෙයින් හේ සූදානම් වූයේ ෂෙන් ච්‍යාඕ වෙත ළඟා වී සහයෝගය දැක්වීමට ය. නමුත් එවිටම ඔවුනගේ සවන්පත් හරහා ඇදී ගියේ යැන් වුෂිගේ උදාසීන කටහඬ ය, “මම ලේ වැකි සටනක අරගල කරමින් සිටියදී මගේ ආ-ච්‍යාඕව වසඟ කරගන්නා ආකාරය දෙස බලා සිටීමට සිදු වීම මට මේ තරම් වේදනාවක් ගෙන දෙනවාද!”


ෂෙන් ච්‍යාඕ: "..."


කිසිසේත්ම ‘ලේ වැකි සටනක්’ සිදු වී නොතිබූ බවත්, අනෙකාගේ වස්ත්‍රවල රුධිර බිඳුවකුදු තැවරී නොතිබූ බවත් දැන ගැනීමට ඔහුට බැල්මක් හෙලීමටවත් අවශ්‍ය නොවී ය.


යැන් වුෂිගේ වචන කිසිසේත්ම පිළිගත හැකි නොවී ය. එහෙත් තවමත් යුවන් චින් සිටියේ යම් වරදකාරී හැඟීමක් මුසු වූ ලජ්ජාවකිනි. එහෙයින් හේ යුහුසුළුව තම අත ඉවත් කර ගත්තේ ය. “කනිෂ්ඨ උපදේශකතුමා සමච්චල් කරනවා විය යුතුයි. මම සිතුවේ ෂෙන් මහත්මයාට වෙහෙසක් දැනෙන්නට ඇති බව පමණයි. අද රාත්‍රියේ, ඒ සියල්ල සිදු වුණේ කනිෂ්ඨ උපදේශතුමාට පින් සිදුවෙන්නටයි! එසේ නොවුනා නම් තත්වය කොහොම වේවිදැයි මට සිතාගැනීමටවත් නොහැකියි! ”


මෙවිටම වාගේ පිටතින් මතු වූයේ අවුල්සහගත වූත්, ව්‍යාකූල වූත් ඝෝෂාවකි. අනතුරට ලක්ව ඇත්තේ යුවන් චින්ගේ ආරක්ෂකයින් පමණක් නොව, ඔවුන් සමඟ ගමන් ගත් වෙළඳුන් ද අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී තිබුණි. ප්‍රතිවාදියාගේ එකම ඉලක්කය යුවන් චින් වුවද, අසුර නිකායන්ගේ ක්‍රියා විලාසය, කැමැත්ත හෝ අකමැත්ත පිළිබඳව සැලකිලිමත් බවක් දැක්වූයේ නැත. එමෙන්ම කිසි විටෙකත් සදාචාරාත්මක ප්‍රමිතියක් අනුගමනය කළේ ද නැත. ඔවුන්ගේ මාර්ගයට බාධා කළ ඕනෑම අයෙකුට ඝාතන ඉරණම අත් වනු  නොඅනුමාන ය. පූර්වයේදී වෙළඳුන් සිතුවේ රාජ්‍ය පෙරහර සමඟ ගමන් කිරීම වඩා ආරක්ෂිත බව ය. නමුත් මෙවන් ව්‍යසනයක් සිදු වන බව දන්නේ කවුද? දැන් ඔවුනට කළ හැක්කේ කඳුළු සිර කොටගෙන, යටපත් කරගත් ශෝකයෙන් යුක්තව සිය සෙසු වෙළෙන්දන් සනසාලීම පමණක් වන අතර එය ඊටත් වඩා කලබලකාරී වාතාවරණයක් උද්ගත කොට තිබුණි.


ෂෙන් ච්‍යාඕගේ උපදෙස් පරිදි යුවන් චින් විසින් සෙවීමට කෙනෙකු යවා තිබුණි. බලාපොරොත්තු වූ පරිදිම, යූ සී ගේ සේවිකාව අසල පිහිටි ගංගාවක් සමීපයේ තිබූ පර්වතයක් අසළින් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. දැරිය වැසිකිළි ඇවැසිතාවයක් නිසාවෙන් පිරිසගෙන් ඈත් වී ඔවුනගෙන් නොපෙනී යාමට මද දුරක් ඇවිද ගොස් ඇති අතර, පසුව ඇයට හදිසියේම පහර දී ඇත. සිහිය එළඹි පසුව ද සිදු වූයේ කුමක්ද යන වග ඈ දැන සිටියේ නැත.


යැන් වුෂි සිටි ස්ථානයක් වේ නම් එය නිශ්චිත හේතුවක් නැති වුව ද තැතිගන්වනසුලු ස්ථානයකි. මුළු යාත්‍රා බලඇණියම නොනවතින ඝෝෂාවකින් යුක්තව මුළු රාත්‍රිය පුරාම නිදිවර්ජිතව සිටි නමුත් යැන් වුෂි සහ ෂෙන් ච්‍යාඕ ගමන් ගත් මැදිරිය වටා වූයේ බියකරු නිහැඬියාවකි. යුවන් චින්, යූ සී ද රැගෙන මැදිරියෙන් පිටත් වූ නමුත්, පසුව කෘතඥතාවයක් ලෙස ආහාර වර්ග කිහිපයක් අන් අය අත එවීමට නියෝග කොට තිබුණි. වනයේ ආහාර පිසීම අපහසු කරුණකි. නමුත් යුවන් චින් විසින් සංචාරය සඳහා ස්ටූ කළ මාංශ, කැන්ඩිඩ් පළතුරු සහ නැවුම් පලතුරු කිහිපයක් ගෙනැවිත් තිබුණි. පැහැදිලිවම ඔහු ජීවිතය සතුටින් ගත කිරීමට දන්නා මිනිසෙක් බව මෙයින් වැටහිණි.


ස්ටූ කළ මාංශ ගැන උනන්දුවක් නොදැක්වූ ෂෙන් ච්‍යාඕ කැන්ඩිඩ් පලතුරු කිහිපයක් පමණක් ලබා ගත්තේ ය. කුමන ස්ථානයක සිටියත් ඔහුගේ පැණිරස කෑමේ කුඩා පුරුද්ද වෙනස් වූයේ නැත.


සිනිඳු කුෂන් කොට්ටයකට ඇල වූ යැන් වුෂි මාංශ කැබැල්ලක් මුවෙහි තබාගත්තේ ය. රුරූ විසින් උණුසුම් මී පැණි තේ බඳුනක් ඔහු අසල තබා ගොස් තිබුණි. පිටත ඇති ඝෝෂාව හා සසඳන කල අභ්‍යන්තරය තුළ වූයේ වඩාත් සන්සුන් භාවයකි.


“මෙවර ඝාතනය සාර්ථක නොවුණු නිසා දෙවන උත්සාහයක් තිබෙන්න පුලුවන්. ජ්‍යෙෂ්ඨ නිලධාරි යුවන් වටා ඇති ආරක්ෂාවේ බොහෝ හිඩැස් තිබෙනවා. ඔහුට ඔවුන් සියල්ලන්ම ආරක්ෂා කිරීමට නොහැකි වෙන්න පුලුවන්” ෂෙන් ච්‍යාඕ පැවසුවේ ය.


යැන් වුෂි ද එය අනුමත කළේ ය, “ඒක හරි. යුවන් චින් වෙනුවෙන් මිය යන්න වුණත් සූදානම් අය ඔහුගේ පැත්තේ ඉන්නවා. වෙන කෙනෙක්ට රිංගන්න ඉඩක් හදපු ගැහැණියක් මේ වෙලාවේ රැගෙන පැමිණීම තමයි ඔහු මේ වතාවේ කළ මුග්ධකම. මේ සිදුවීමෙන් පසුවවත් ඔහු වඩාත් සැලකිලිමත් වේවි. අනික් කාරණය, ඔහු මිය ගියත් ගැටලුවක් නැහැ. මා ළඟ අක්තපත්‍රයේ තවත් පිටපතක් තිබෙනවා. මා එය නියෝජිත රාජ්‍ය දූතයා විසින් චෙන් අධිරාජයාට පිළිගන්වන්නට දුන්නත්, එය එසේම වේවි. නමුත් යුවන් චින් කතාවට බොහොම දක්ෂ කෙනෙක්. ඒ නිසා ඔහු වැනි කෙනෙක් පහසුවෙන් සොයාගැනීමට බැහැ. ෂෝ අධිරාජ්‍යයා ඔහු ගැන මේ තරම් සැලකිලිමත් වෙන්නේ ඒ නිසා."


පූර්වයේ, අනෙකාගේ නැවැත්මක් නොතිබූ වාග් ප්‍රවාහය ගැන සිහි වූ ෂෙන් ච්‍යාඕගේ මුවට නිරායාසයෙන් නැගී ආ මන්දස්මිතයෙන් තොල් යුවළ සඟවා ගැනීමට අපහසු විය.


යැන් වුෂි විලාප දෙමින් පවසන්නට වූයේ මේ මොහොතේදී ය, “මගේ ආ-ච්‍යාඕ සැබැවින්ම සියල්ලන්ටම ආදරය කරනවා. යුවන් චින්, කාමුක මිනිසෙක්. ඒ නිසා එය අපේක්ෂා කරන්න පුලුවන්. නමුත් බයි රොං වැනි යක්ෂ කාන්තාවකට පවා ඔබ ගැන සෙනෙහසක් තිබෙනවා! මම ඔබව හොඳින් නිරීක්ෂණය නොකළොත්, කොයි මොහොතේ හෝ අතුරුදහන් වේවිද කියලා මට බයයි!


ෂෙන් ච්‍යාඕ පිළිවදන් දුන්නේ ය, “කරුණාකරලා මේ වගේ විහිලු කරන එක නවත්තන්න නිකාය නායක යැන්. බයි රොංට මා සමඟ සම්බන්ධයක් ඇත්තේ කවදා සිටද? ”


යාන් වුෂි හේතු දැක්වූයේ ය, “ඇය යුවන් චින්ව ඝාතනය කිරීමට ගියේ ඒ කුඩා සේවිකාව විදිහට වෙස්වලාගෙන. අතීතයේ නම් ඒ පුංචි මෙහෙකාරියවත් යුවන් චින්ගේ උපභාර්යාවවත් ඉතිරි වෙන්නේ නැහැ. නමුත් නොසිතූ විදිහට  ඈ ඔවුන්ට දයාව දැක්වුවා. ඒ ඔබ නිසා නොවෙයි නම් යුවන් චින් වගේ කෙනෙක් නිසා වෙන්න පුලුවන්ද? ඇය දක්ෂ දැරියක්. ඔබත් මේ සංචාරයේ ගමන් ගනීවි කියා ඇය අනුමාන කරන්න ඇති. ඒ නිසා ඔබට ඈ ගැන තවත් පිළිකුලක් ඇති නොවෙන විදිහට හොඳ හැඟීමක් ඇති කිරීමට ඇයට අවශ්‍ය වෙන්න ඇති." 


එසේ පැවසූ හේ දිවෙන් 'ක්ලික්' ශබ්දයක් නිකුත් කරමින් නැවතත් ඉදිරියට ගියේ ය, “මගේ ආ-ච්‍යාඕට එය කොතරම් දුෂ්කරද! ඔහු උපතින්ම කිසිවක් නොවැටහෙන මුග්ධයෙක්. සදාචාරය ගැන පමණක් සිතමින් තමන්ගේ මුළු ජීවිතයම ධ්‍යාන වඩන නිසා ආදරය ගැන කිසිම අවබෝධයක් නැහැ. මම ඒක ඔහුට කියා දුන්නේ නැත්නම්,සමහරවිට ඔහු එය කවදාවත් දැනගන්නේ නැති වේවි!”


හේ නිතරම 'මගේ ආ-ච්‍යාඕ' ලෙසින් අමතමින් සිටියේ ෂෙන් ච්‍යාඕ ඔහු සන්තකයක් වූවාක් මෙනි. ෂෙන් ච්‍යාඕ මෙයට කිහිප වරක්ම විරෝධය පළ කළ නමුත් එයින් ඵලක් වූයේ නැත. එබැවින් ඔහු එම ආමන්ත්‍රණය ගැන තවදුරටත් සැලකිලිමත් නොවූ අතර යැන් වුෂිට ඕනෑම දෙයක් කිරීමට ඉඩ හසර ලබා දුන්නේ ය.


යැන් වුෂි යළිත් වරක් පැවසී ය, “අවාසනාවකට වගේ, ඇගේ මෙම ආදරය දළු ලෑමටත් පෙර මැලවී යාමටයි නියම කරලා තිබෙන්නේ. ඇගේ සිතේ තිබෙන්නේ කුමක්දැයි දැනගත්තොත් සැන් ජින්ෂිං ඇයට කොහොම වධ හිංසා කරාවිදැයි සිතා ගැනීමටත් අපහසුයි."


ප්‍රහේළිකාවකට මැදි වූ ෂෙන් ච්‍යාඕ විමසුවේ ය, "සමඟි නිකායේ ගෝලයන්ට අන් අයට ආලය කරන්න අවසර නැද්ද?”


"ඔබ ඇත්තටම දන්නේ නැද්ද? සමගි නිකාය ද්විත්ව ධ්‍යානවේදයට ප්‍රසිද්ධයි. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව නිකායේ සියල්ලෝම ද්විත්ව ධ්‍යාන වඩනවා. මම දකින විදිහට, බයි රොං තවදුරටත් කන්‍යාවක් නොවේ. අනුමාන කළොත්, ඇගේ නෙෆ්‍රොන්-යින් [1] දැනටමත් ඇගේ නායකයා වෙන සැං ජින්ෂිං පැහැරගෙන ඇති!"


ෂෙන් ච්‍යාඕගේ උවනෙහි තිබුනේ කම්පනයකි. බොහෝ වේලාවකට පසු, ඔහු මෙසේ පැවසුවේ ය, "නමුත් ඔහු ඇගේ නායකයා..."


යැන් වුෂි, “ඉතින් මොකද? බොහෝ පෙම්වතුන් සිටින, ඒ වගේම මිනිසුන්ගේ කන්‍යාභාවය සොරකම් කිරීමෙන් නිරන්තරයෙන් සතුටු වෙන සැන් ජින්ෂිං තමන්ගේ සුන්දර ගෝලයාගේ නෙෆ්‍රොන්-යින් වෙනත් කෙනෙකුට නිදහසේ ගන්න ඉඩ දේවි කියලා ඔබ සිතනවාද? බයි රොං කී දෙනෙකු සමඟ ද්විත්ව වගාව සිදු කර තිබෙනවාද කියා මම දන්නේ නැහැ. නමුත් සැං ජින්ෂිං අනිවාර්යයෙන්ම ඔවුන්ගෙන් කෙනෙක්."


නළල රැලි කොටගෙන කල්පනාවේ නිමග්නව හුන් ෂෙන් ච්‍යාඕ කතා කළේ නැත.


යැන් වුෂි සිනහසුණේ ය, “ආ-ච්‍යාඕගේ දුර්වලයන්ට අනුකම්පා කිරීමේ ගුණාංගය නැවතත් ඉස්මතු වෙලා වගේ. සැන් ජින්ෂිං නම් ගැටලුවක් නැහැ. නමුත් ඇත්තටම ඇයට ඇගේ නිකායේ අනෙක් අය සමඟ ද්විත්ව වගා කිරීමට අවශ්‍ය වුණේ නැත්නම්, ආපසු යා හැකි ක්‍රමයක් ගැන සිතන්න තිබුණා. කොහොම වුණත්, ඇයගේ සටන් කලාවේ වර්ධන වේගය බැලුවොත්, ඈ අතිරේක ලෙස ද්විත්ව ධ්‍යානවේදය කළ යුතු බව ඔබට වැටහේවි. බොහෝ දුරට ඇය ඒ සියල්ල කළේ කැමැත්තෙන්. ඔබ ඇයට අනුකම්පා කරනවාද? ඔබේ අනුකම්පාවට වටින්නේ එවැනි කාන්තාවක්ද? යමෙකුට අනුකම්පා කිරීමට අවශ්‍ය නම්, ඇයි ඔබ මට එසේ නොකරන්නේ? ”


ෂෙන් ච්‍යාඕ මදක් ගොළු විය. "ඔබ කියන්නේ බයි රොංට අනුකම්පා කිරීමට සුදුසු නැහැ, නමුත් නිකාය නායක යැන් අනුකම්පාව ලැබීම සුදුසුයි කියාද?"


යැන් වුෂි නැවතත් පැවසුවේ ය, “මම අද රාත්‍රියේ තනිවම සතුරන් හතර දෙනෙකු සමඟ සටන් කළා. මට අනුකම්පා කිරීම සුදුසු නොවේද? ”


අනතුරුව ඔහු ෂෙන් ච්‍යාඕගේ අත ගෙන සිය ළය මත තබාගෙන, "බලන්න, මගේ පුංචි හදවත තවමත් ගැහෙනවා!" ලෙස ද පැවසීමට අමතක නොකළේ ය.


ඒ මොහොතේදීම මැදිරිය පිටතින් ඔවුනට ඇසුණේ යුවන් චින්ගේ කටහඬ ය, “කනිෂ්ඨ උපදේශකතුමනි! නායක ෂෙන්!මට ඇතුල් වෙන්න පුලුවන්ද?"


ෂෙන් ච්‍යාඕ, යැන් වුෂි වෙතින් තම හස්තය ඉවතට ගැනීමට උත්සාහ කළ නමුත් සිදු වූයේ අනෙකකි. අනෙක් තැනැත්තා හදිසියේම ඔහුව බලහත්කාරයෙන් ඔහු දෙසට ඇද ගත් අතර වාරුව ගිලිහී ගිය ෂෙන් ච්‍යාඕ ද ඔහු දෙසට ඇද වැටුණි.


ඇතුළතින් ශබ්දයක් නොඇසුණු නිසාවෙන් එය නිහඬ එකඟ වීමක් ලෙස වටහා ගත් යුවන් චින් ද මේ මොහොතේදීම දොරටුව තල්ලු කොට තිරය එසවූ අතර, හදිසියේම නෙතු ගැටුණු එම දර්ශනයෙන් සම්පූර්ණයෙන්ම මවිතයට පත්ව සිටියේ ය.


ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් එය යැන් වුෂිගේ උපක්‍රමයක් ලෙස පෙනුණේ නැත. දිස් වූයේ ෂෙන් ච්‍යාඕ යැන් වුෂිගේ තුරුලට සිය කැමැත්තෙන්ම වීසි වෙනවාක් මෙන් ය.


ඔහුගේ මුග්ධ ප්‍රකාශය දෙස බැලූ යැන් වුෂි මදක් ඇහි බැම එසවූ අතර ආවේගශීලීව ද්වේෂසහගත සැලැස්මක් ක්‍රියාවට නැංවූයේ ය. ෂෙන් ච්‍යාඕගේ නිකටින් ග්‍රහණය කරගත් හේ, ඔහුගේ තොල්පෙති මතට තම තොල් සඟළ තද කොට  වහාම ඔහුව ගැඹුරු හාදුවකට ඇද ගත්තේ ය.


සිදු වූ දෙයින් තක්බීර් වූ ෂෙන් ච්‍යාඕ තත්පරයක් නිශ්චලව සිටි මුත්, පසුව පැකිලීමකින් තොරව අත්ල අනෙකා දෙසට තල්ලු කළේ ය. කෙසේ වෙතත්, යැන් වුෂි මෙය පුරෝකථනය කොට තිබූ අතර, එහෙයින් හෙතෙම ඒ සමඟම ඔහුගේ නිලයකට තට්ටු කරමින් ප්‍රහාරය ඵලදායී ලෙස උදාසීන කළේ ය. මේ ආකාරයටම, ෂෙන් ච්‍යාඕගේ වත්මන් බල රහිත තත්වයෙන් ප්‍රයෝජන ගත් යැන් වුෂි, ෂෙන් ච්‍යාඕව තදින් ග්‍රහණය කරගනිමින් තම තුරුලට තව තවත් තද කොට ගත්තේ ය. ඔහු තම හිස පහත් කර පහළ සිටි පුද්ගලයාගේ තොල් සඟළ විවර කළ අතර, අනතුරුව සිය මුඛයෙහි ආක්‍රමණය පිළිගැනීමට ෂෙන් ච්‍යාඕට බල කළේ ය.


“ම්ම්න්...” ෂෙන් ච්‍යාඕ තදින් ඔහුගේ ඇහිබැම ගැටගැසුවේ ඔහු එම වින්දනයෙහි ගිලිහී ගොස් සිටි නිසා නොව, තම නිල ස්ථානය මත තිබූ අවහිර වීමෙන් පීඩා විඳිමින් සිටි හෙයින් සහ ප්‍රතිප්‍රහාර දීමට නොහැකි වූ හෙයිනි. ඔහු කෙතරම් උත්තම ගුණාංගවලින් යුක්තව සිටියත්, ඒ මොහොතේදී  සිටියේ කෝපයට පත් වී ය. අවාසනාවකට, ඔහුගේ සටන් කලාව ඔහු ඉදිරියෙන් සිටින පුද්ගලයාගේ තරම් හොඳ නොවූ නිසාවෙන් ඔහුට හැකි වූයේ අනෙක් පුද්ගලයාගේ සිතැඟිවලට ඉඩ දී බලා සිටීමට පමණි. ඔහුගේ ඉඟටිය යැන් වුෂිගේ හස්ත ග්‍රහණයට තදින් නතු වී තිබූ අතර සිය සිහින් ගෙල ඉහළට ඇලවීමට ද ඔහුට සිදු විය. ෂෙන් ච්‍යාඕගේ හකු පෙදෙස තරමක් වේදනාකාරී වූ නමුදු ඔහුගේ මුඛය සම්පූර්ණයෙන්ම වසා ගැනීමට ශක්තියක් ද ඔහුට තිබුණේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ තොල් සඟළ කෙළවරින් සිහින් රිදී පැහැති ඛේට නූලක් ද ලිස්සා ගිය නමුත් ඔහුගේ වධකයා එය පිළිබඳව සැලකිලිමත් නොවී හාදුව තව තවත් ගැඹුරු කළේ ය.


එම දර්ශනය කෙතරම් ශෘංගාරාත්මකද යත් යුවන් චින්ට එයින් ඔහුගේ දෑස් ඉවතට ගෙන යා නොහැකි විය. තම මුව මදක් වියළී යන බව පවා ඔහුට දැනුණි.


"බලා සිටියා ඇතිද?" අවසානයේදී තම දෑතේ සිටි පුද්ගලයාව මුදා හැරලූ යැන් වුෂි යුවන් චින් වෙත හැරී විමසුවේ ය.


"ඔව්-ඔව්..." හේ ගොත ගැසුවේ ය. තමා ආදරණීය මිනිසෙකු ලෙස මෙන් ම කාන්තාවන් සමඟ පළපුරුදු ප්‍රවීණයෙකු ලෙස පුරසාරම් දෙඩීමට යුවන් චින් කැමති වුව ද, ඔහුගේ කටහඬ අමුතු ලෙස පිට වූයේ හේ නොදැකිය යුතු දෙයක් දුටු නිසාද, නැතහොත්  යැන් වුෂිගේ බලගතු ආකාරයෙන් බියට පත් වූ නිසාද යන්න ගැන ඔහු දැන සිටියේ නැත. 


"එහෙනම් ඇයි ඔබ තවමත් මෙතන?"


යුවන් චින්: "..."


ඔහු ආපසු හැරී වියරුවෙන් ඉවතට පැන ගියේ, තරයේ බියට පත් වෙමිනි.


ආපසු හැරී ෂෙන් ච්‍යාඕ දෙස බැල්මක් හෙලූ යැන් වුෂි මොහොතකට ගොළු විය. ඒ පෙර කී පුද්ගලයා ඒ වන විටත් ක්ලාන්ත වී සිටි බැවිනි.


වඩාත් නිවැරදිව කිවහොත්, එම හාදුව ඔහුගේ ක්ලාන්ත වීමට ප්‍රධාන හේතුව විය නොහැක. එය තාවකාලික හුස්ම හිරවීමට අමතරව ප්‍රතිරෝධය දැක්වීමට ඇති නොහැකියාව නිසා සිදු වන්නට ඇත. කෙටියෙන්ම කිවහොත්, අධික කෝපයට පත් වීම ය.


යැන් වුෂි පූර්වයේදී එවන් දෙයක් දැක තිබුණේ නැත. “මොන දුර්වලයෙක්ද!” යැයි අනුකම්පාව ප්‍රකාශ කොට දිව මඟින් නිකුත් කළ ක්ලික් ශබ්ද කිහිපයකින් පසු මහත් හඬින් සිනාසීම වළක්වාගැනීමට ඔහුට නොහැකි විය.


ඔහු එය ඉක්මවා ගොස් තිබූ බවක් හේ සිතුවේ නැත. ඒ වෙනුවට, ඔහු සිතුවේ චි ෆංගගේ ගෝලයන් විනෝද වන්නේ කෙසේදැයි නොදන්නා බව ය.


පරිවර්තක සටහන:


[1] නෙෆ්‍රොන්-යින් (Nephrone yin) /යුවාන් යින් (Yuan Yin) [元阴]:  චීන වෛද්‍ය පදයකි. Primal Yin ලෙස ද හැඳින්වේ. සමහර වුෂියා හෝ ධ්‍යානවේදී නවකතා වල, ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් තවමත් කන්‍යාවන්ව සිටියදී යම් ආකාරයක ප්‍රාථමික අධ්‍යාත්මික ශක්තියක් ඔවුන් තුළ ඇති බව විශ්වාස කරන අතර, ඔවුන්ගේ කන්‍යාභාවය ඉවත් කරන පුද්ගලයින්ට මෙය ලබා ගැනීමට සහ ධ්‍යාන වැඩීමට ශක්තිය භාවිතා කළ හැකි ය.




Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-