Skip to main content

තිස් පස්වන පරිච්ඡේදය : නිකාය නායක ෂෙන්ගේ මනස සහ ශරීරය යන දෙකම සම්පූර්ණයෙන්ම වෙහෙසට පත් විය.

ඇත්තෙන්ම බයි රොංගේ අතිශය කලබල වීම ඇය සතුව තිබූ වරදක් නොවී ය. අසුර නිකායේ ගෝලයන් සියල්ලෝම යැන් වුෂි කෙරෙහි දැක්වූ බිය ඉතා විශාල ය.

එවකට, ඔහු සංවෘත දොරටු භාවනාවට ඇතුළු වීමට පෙරදී  යැන් වුෂි අසුර නිකායන් ත්‍රිත්වයම සමඟ තනිවම කළ සටනින් ඔවුන්ව එක්සත් කිරීමට සමීප වි සිටියේ ය. කලා දර්පණ නිකායේ සිටි ප්‍රභූ ගෝලයන්ගෙන් අඩකටත් වඩා ඔහු විනාශ කොට තිබූ අතර සමගි නිකායටද එයින් විශාල පාඩුවක් සිදු විය. කුයි යුවාන්ගෙන් පරාජය නොවුණේ නම්,නැතහොත් ඒ පරාජය නිසාවෙන් සංවෘත දොරටු භාවනාවට ඇතුල් වී හානිය සුව කරගැනිමට අවශ්‍ය නොවුණා නම්, අද වන විට එම ත්‍රිත්ව නිකායන්ගේ තත්ත්වය කෙසේ පැවතෙනු ඇත්දැයි පැවසීමට පවා අපහසු වනු ඇත.

ඒ සියල්ල එසේ තිබියදීත්, යැන් වුෂි යන නාමය කෙරෙහි ඇති බිය දැනට පවා ඔවුන්ගේ අස්ථිවල ගැඹුර දක්වාම කැටයම් වී තිබුණේ නිරායාසයෙනි.

බයි රොං යනු තවමත් තරුණ වියේ පසු වූවෙකි. එම කාලයේදී ඇය හට යැන් වුෂිට එරෙහිව සටන් කිරීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් නොබෝ කලකට පෙර, යැන් වුෂිගේ වැඩිමහල් ගෝලයා වන බියන් යන්මෙයිට හොර රහසේ පහර දීමට, ඇගේ නායකයා විසින් ඇයට නියෝග කොට තිබුණි. එහෙත් එම අවස්ථාවේදී ඇය අහම්බෙන් යැන් වුෂි සමඟ ඝට්ටනයට මැදි වූවා ය. ඇගේ මුළු ශක්තියම යොදා එයින් නූලෙන් බේරීමට ඇය සමත් වූව ද, ඒ සුලු සටනින් ම 'අසුර පරමාධිපති' යන නාමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඈ හට ලැබී තිබුණි.

අද ද ෂෙන් ච්‍යාඕ තනිවම නොසිටියේ නම්, ඇය කිසි විටෙකත් ඔහු වෙත පැමිණීමට තරම් අවදානමක් ගන්නේ නැත.

නමුත් මේ මොහොතේදී ෂෙන් ච්‍යාඕ විසින් එල්ල කළ 'උදක උල්පත් අංගුලිකාව' ප්‍රහාරය දුටු ඇයට, දින කිහිපයකට පෙර සිදු වූ ප්‍රහාරයෙන් ඇය ලබාගත් බිහිසුණු අත්දැකීම සහ එහිදී ඇය නූලෙක් දිවි ගලවාගත් අයුරු ද නිතැතින්ම සිහි විය.

එම ප්‍රහාරය ඍජුවම ඇය වෙතට පැමිණිය ද එයට මුහුණ දීමට තරම් ධෛර්යයක් බයි රොං සතුව නොවී ය. එහෙයින් පසෙකට ලිස්සා ගිය ඇය පසු බැස්සා ය. කෙසේ වෙතත්, අතේ තිබූ ගොදුර අතහැර දැමීමට අකමැති වූ ඇය, ප්‍රවාහන මැදිරියේ පැත්තකට තදින් ඇල වී, පිටුපසින් ගොස් ෂෙන් ච්‍යාඕව පාලනය කර ගැනීමට උත්සාහ කළ අතර එනිසා එය වටා බොහෝ දුරක් ලිස්සා ගියා ය.

නමුත් ෂෙන් ච්‍යාඕගේ පිට පෙදෙසටත් ඇස් ඇති බව දන්නේ කවුද?

ඔහුගේ එම එක් අංගුලිකා ප්‍රහාරය මැද ගුවනේදී සම්පූර්ණ අත්ලක ප්‍රහාරයක් බවට පත් වී මෘදු ලෙස කිසිදු බලයකින් තොරව පාවී ගියේ ය. නමුත් එහි අන්තර්ගත වූ නොනවතින සහ ගැඹුරු ශක්තිය සැහැල්ලුවට ගැනීමට තරම් බයි රොං මුග්ධ වූයේ නැත.

දැන් වූවාක් මෙන්, අනෙකා අවතක්සේරු කිරීමෙන් තමා අතිශයින් අසාර්ථක වූ බව ඇයට නොවැටහෙන්නේ කෙසේද?පෙරාතුව මැදිරියේ සිටි ෂෙන් ච්‍යාඕ මුවින් රුධිරය වගුරවනු දුටු ඇය සිතුවේ ඔහුගේ සියලු ශක්තිය අවසන් වී ඇති බව ය. නමුත් අනපේක්ෂිත ලෙස ඔහුට තවමත් බොහෝ ශක්තියක් ඉතිරිව තිබුණි!

බයි රොංගේ අත්ල මෘදු හා ඉතා මොළොක් විය. හදවතෙහි මුදු මොළොක් බවක් පවතින ඕනෑම මිනිසෙකු ඇයට එදිරිව ප්‍රහාරයක් දියත් කිරීමට මැලි වන්නට තරම් එම අලංකාර සහ සියුම් අත් යුගලය ඉතා ප්‍රමාණවත් විය. කෙසේ වෙතත්, ෂෙන් ච්‍යාඕ වනාහී ව්‍යතිරේකයකි. ඔහුට පැහැදිලිව නොපෙනෙන නිසා, පෙනුම මත පදනම් වූ කිසිම මායාකාරී කලාවක් ඔහු හට බලපෑවේ නැත.

ඔවුන්ගේ අත්ලවල් නිහඬවම එකිනෙකාගේ අත්ලවල් මත වැසී ගියේ ය. එය සටනක් බව පෙනුණේ නැත. ඒ වෙනුවට එය පෙණුනේ තම ආදරණීයයාට ඇලී සිටින ගැහැණු ළමයෙකුගේ දර්ශනයක් විලසිනි.

බයි රොංට දැනුනේ ඇගේ පපු පෙදසට තද පහරක් වැදුනාක් මෙනි. එම ප්‍රහාරය අදහාගත නොහැකි වූ ඇගේ දෑස් විසල් විය. දත්මිටි කාගෙන එය දරාගත් ඇය අනෙක් අතින් මැදිරියට ගැසුවා ය. එයින් බියට පත් අශ්වයා වේගයෙන් ඉදිරියට දිව ගිය අතර මැදිරිය ක්ෂණයකින් කැඩී ගියේ ය. ඒ සමඟම ෂෙන් ච්‍යාඕ ද ක්ෂණිකව ඉහළට  පැන අශ්වයාගේ පිටට නැඟුණේ ය. තමන්ට හැකි පමණින් අශ්වයා මත ස්ථිරව ලැගුම් ගත් ඔහු අවසානයේ කසය මඟින් පිස්සු වැටුණු අශ්වයාගේ වේගය අඩු කිරීමට උත්සාහ කළේ ය.

පිටුපසින් සිහින් සුසුමක් ඇසුණේ මේ මොහොතේදී ය, “ෂෙන් මහත්මයා කොච්චර සංවේදී, මෘදු හදවතක් තියෙන කෙනෙක්ද කියනවා නම් අශ්වයෙකුටවත් හානියක් කරන්නේ නැහැ. මට දැන් නිකාය නායක යැන් ගැන ටිකක් ඊරිසියා හිතෙනවා!”

ෂෙන් ච්‍යාඕ විසින් අශ්වයාගේ අවධානය වෙනතකට යොමු කරමින් පිටව යාමට සැරසෙමින් සිටි බව දුටු බයි රොං ද අත්හැරීම ප්‍රතික්ෂේප කළ අතර පිටුපසින් පැමිණ ඔහුව අල්ලා ගත්තා ය. වදන් සෙනෙහස කැටි වූ වදන් බව පෙනුනද, ඇය නිර්දය ලෙස පහර දීම නවත්වාලූයේ නැත. ඍජුවම  ෂෙන් ච්‍යාඕගේ පිට පෙදෙසට පහර එල්ල කළ ඇය හට එයින් ෂෙන් ච්‍යාඕ ආබාධිත තත්ත්වයකට පත්වූව ද එය කිසිසේත්ම වැදගත් වූයේ ද නැත. ඔහු ජීවත්ව සිටින තාක් සහ කතා කිරීමට හැකි තාක් කල් ඔහුට "නිදහස් කැමැත්ත" පුස්ථකය කියවීමට හැකි බව ඇයට ප්‍රමාණවත් විය!

සුසුමක් හෙලූ ෂෙන් ච්‍යාඕ ආපසු හැරී යාම නවත්වා ඒ වෙනුවට පහත් වී අශ්වයාගේ පසෙකට ලිස්සා ගියේ ය. එක් අතකින් කසය අල්ලාගෙන අනෙක් අතින් අශ්වයාව පොළොවට තද කළේ තමන් නිසාවෙන් එම අහිංසක සත්ත්වයා හට හානියක් නොවීමට ය. අශ්වයා බැස ගිය වහාම තම පාද ද පොළොවට තබම්න් බිමට බට ඔහු කෙලින්ම ඇවිද ගියේ බයි රොං දෙසට ය.

බයි රොං ඒ වන විටත් සටනින් අලාභයක් අත්විඳ තිබූ නිසාවෙන් නැවත මුහුණට මුහුණලා සටන් කිරීමට නිර්භීත වූයේ නැත. වහාම තම අත්ල ඉවත් කර ගත් ඇය වනාන්තරයට අතුරුදහන් වූ අතර, සිනහ මාලාවක් පමණක් අවකාශය පුරා රැව් පිළිරැව් දෙමින් ඉතිරි විය: “ෂෙන් මහත්මයා අශ්වයෙකුව පවා බේරගන්න කැමතියි. ඒත් මට කිසිම කරුණාවක් නැහැ! මම හිතන්නේ මම වෙන දවසක ඔබත් එක්ක සෙල්ලම් කරන්න ආවොත් හොඳයි!"

ඇය පිටව ගිය බව තහවුරු කොට ගත්ත ද අවසානයේදී ෂෙන් ච්‍යාඕ හට සිටගෙන සිටින්නටවත් ශක්තියක් ඉතිරි වී තිබුණේ නැත. අශ්වයාගේ පිට අල්ලාගෙන පහතට නැමීමට උත්සාහ කළ නමුත් ඔහුගේ පාද එය කිරීමට අපොහොසත් වූ අතර, එහෙයින් ඔහු බිම දණ ගසා ගත්තේ ය.

අශ්වයා ද බිම දණ ගසා අවසානයේ සන්සුන් විය. ඌ කිහිප වතාවක්ම හිස ඇල කරමින් ෂෙන් ච්‍යාඕ දෙස බැලුවේ ය. කඳුලු පටලයකින් වැසී ගියාක් මෙන් ව පැවති එම දෑස්වල දිස් වූයේ ප්‍රහේලිකාවකි.

අසු හට සැහැල්ලු පහරක් දුන් ෂෙන් ච්‍යාඕ මෙසේ පැවසුවේ ය. "සමාවෙන්න, මම ඔබට කරදර කළා..."

වැකිය පවසා අවසන් කිරීමටත් පෙර, ඔහුගේ මුවින් රුධිරය  ගලා ගිය අතර ඔහුට එය රඳවා තබා ගැනීමට නොහැකි විය. නොදැනුවත්වම මුඛය වසා ගත් ඔහුගේ අතැඟිලි අතරින් රුහිරු ගලා ගියේ ය.

රුධිරය පිට වීමට ඉඩ ලබා දීමට අත පහත් කළ ඔහු ඉන් අනතුරුව දෑත් ආධාරයෙන්, තොල් වැසී ගත් එම රුහිරු පැල්ලම් පිස දැමුවේ ය.

ඉන් පසු සැහැල්ලු සුසුමක් පිට කරමින් යන්තම් හිස ඔසවා විඩාව නිවාගන්නට උත්සාහ කළේ ය. ඔහුගේ කන් නාද විය, හිස බමන්නට විය. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වූයේ මේ අයුරින්ම  බිම වැතිර දෑස් වසාගෙන මෙලොව කිසිම දෙයක් ගණන් නොගෙන, මළ අයෙකු මෙන් නිසොල්මන්ව සිටීමට ය.

එවැනි දේවල් ඔහුට ආසාමාන්‍ය වූයේ නැත. හානි වූ දා පටන් ඔහුගේ සිරුර බොහෝ විට මේ ආකාරයෙන්, දුර්වලතාවයන්ට ගොදුරු විය. ඔහුගේ සටන් කලාව යථා තත්ත්වයට පත් වුව ද, තත්වය යහපත් වූයේ නැත. එයට එක් හේතුවක් වූයේ, ඔහුගේ හානි වූ මැරිඩියන් නිතර සටන්වලට සම්බන්ධ වීම නිසාවෙන් නිරන්තරයෙන් හානියට  පත් වීම ය. ඒ නිසා සුව කළ හැකි වේගයට වඩා වේගයෙන් ඒවා හානියට පත් විය. අනෙක නම්, ඔහු සූර්යවාදයෙහි අභ්‍යන්තර චී ශක්තිය පුහුණු වෙමින් සිටියදී එයට නිරතුරුවම බාධා පැමිණි නිසාවෙන් දිගු කලක් කිසිදු ප්‍රගතියක් ලබා නොතිබීම ය. එනිසා ඔහුට ඉතිරි ව තිබුණේ ෂුඅන්දු කන්දේ අභ්‍යන්තර කලාව පමණි. එය ඔහුගේ හානිය සම්පූර්ණයෙන්ම සුව කිරීමට ප්‍රමාණවත් වූයේ නැත.

කෙසේ වෙතත්, එයට පුරුදු වී සිටිය ද, තවමත් ඔහුට දැඩි අසනීප තත්වයක් දැනෙමින් පැවති අතර, එහෙයින් විවේක ගැනීම සඳහා ඇස් වසාගෙන අසු හට වාරු වීමට ඔහු හට සිදු විය. සිටගැනීමට පෙර කරකැවිල්ල පහව යන තෙක් බලා සිටින්නට ඔහුට සිදු විය. එසේ නැතහොත්, ඔහුගේ වත්මන් තත්වය නිසාවෙන් අශ්වයා පිට නැගී නගරයට යාමට පවා ඔහුට නොහැකි වනු ඇත.

එහෙත්, මේ මොහොතේදී, නුදුරු ස්ථානයක සිටි යමෙකු තමන් හට අමතන හඬක් ඔහුට ඇසුණි, “නිකාය නායක ෂෙන්, ඔබ අහලා තියෙනවාද ' මැන්ටීස්, තමන්ගේ පිටිපස්සෙන් ඉන්න ඔරියෝල් පක්ෂියාව නොදැක, සිකඩා පිටිපස්සෙන් ලුහුබඳිනවා' කියන කියමන?"

කටහඬ ඕනෑවට වඩා තියුණු හෝ පහත් වූයේ නැත. එය හිතාමතාම බලය පෙන්වන කටහඬක් ද නොවී ය. ඉතා විනීතව පැනයක් විමසුවා පමණි.

එය සටනකට සූදානම් වන අයුරකටත් වඩා සමීප වූයේ අතරමං වූ අයෙකු විසින් මාර්ගය විමසන ස්වරයකට ය.

ෂෙන් ච්‍යාඕ දෑස් විවර කළේ නැත. ඔහු රළු හඬින් පිළිතුරු දුන්නේ ය, “ඔබේ කටහඬ හුරු නැහැ. අපි මීට කලින් හමුවෙලා නැහැ නේද..”

පැමිණි පුද්ගලයා ද කාරුණික ස්වරයකින් පිළිතුරු දුන්නේ ය, “ඔව්, අපි එකිනෙකාව දකින පළමු අවස්ථාව මේ. ඒත් මම හිතුවේ නෑ බයි රොං මට වඩා වේගවත් වෙයි කියලා. කොහොම වුනත් ඇත්තටම බයි රොං මට වඩා පියවරක් වේගවත් වීම මගේ වාසනාවක්. එහෙම නැත්නම් මට ඒකෙ වාසි ලැබෙන්නේ නැහැ. ඔබ හොඳින්ද?"

ෂෙන් ච්‍යාඕ හිස සැලුවේ ය. “මට නැගිටින්න බැහැ. ඒකට සමාවෙන්න.”

අනෙක් පුද්ගලයා ඉතා සැලකිලිමත් ආකාරයකින් යුක්ත විය, "ඒක ගැටලුවක් නැහැ."

එලෙස පැවසුව ද උපකාර කිරීමට සිතක්වත් නොවූ ඔහු සහයෝගයක් දැක්වූයේ ද නැත.

ෂෙන් ච්‍යාඕ සුසුම්ලමින් නැවතත් පැවසී ය, “මම තාමත් ඔබේ නම දන්නේ නැහැ.”

අනෙක් පුද්ගලයා සිනාසෙමින් පැවසුවේ ය, “අහ්, දැන් මුණගැහුණට, අපි බොහෝ කාලයකට කලින් හඳුනන මිතුරන් කියලා නිකාය නායක ෂෙන්ට හඳුන්වලා දෙන්න මට අමතක වුණා. මගේ පවුලේ නම ගුවාං. මම ඉන්නේ කහ ගඟට බටහිරින්. දැනටනම් පදිංචියක් නැතිව ඉබාගාතේ යන ගමන් ඉන්නේ."

'ගුවාං' යනු තරමක් දුර්ලභ නමකි. එම පෙළපත් නාමය සහිතව සිටි සටන්කාමී ලෝකයේ මිනිසුන් ගණන එක් අතකින් වුව ද ගණනය කළ හැකි ය.

ෂෙන් ච්‍යාඕ පැවසුවේ ය, "කලා දර්පණ නිකායේ නිකාය නායකතුමා, ඔබේ පැමිණීමෙන් මට කරුණාව ලබා දෙන්න තරම් මේ ෂෙන් ගෞරවනීය වෙන්නේ කොහොමද?"

ගුවාං ලින්සන් ද පිළිතුරු දුන්නේ ය, “මම බොහෝ කාලයක ඉඳලා නිකාය නායක ෂෙන්ගේ කීර්තිය අගය කළා. අද වෙනකම් මුණගැහෙන්න අවස්ථාවක් නොලැබුණු එක දුකක්. නිකාය නායක ෂෙන් පර්වතයෙන් වැටුණා කියලා දැනගත්තාම මම දැඩි පසුතැවිල්ලකින් හිටියෙ.ඒත් එක දිගටම ආසන්න කාලවලදී දෙදෙනකුව පරාජය කරවන ඔබේ රමණීය දස්කම් දකින්න තරම් මට ආශීර්වාද තිබුණා කියලා මම හිතුවේ නැහැ! මම කොතරම් නම් වාසනාවන්තද! ”

ෂෙන් ච්‍යාඕ සිනහවක් පෑවේ ය, “නිකාය නායකතුමාට ඒ වගේ ආචාරශීලී උපුටා දැක්වීම් කියලා කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. කරුණාකරලා කෙලින්ම කාරණයට යන්න පුලුවන්ද? නැත්තම් මට බයයි මට තව දුරටත් ඉන්න බැරි වේවි කියලා. එහෙම වුණොත් ඔබ කියන්න හදන දේ මට අහන්න ලැබෙන්නේ නැහැ."

ෂෙන් ච්‍යාඕ මේ මොහොතේ සිටින්නේ දැඩි වේදනාවකින් බව වටහාගැනීමට ගුවාං ලින්සන් හට එය අත්විඳ බැලීමට ඇවැසි වූයේ නැත. අනෙක් පුද්ගලයා තවමත් කතාබස් කරමින් සිනාසෙමින් සිටින අයුරු දැකීමෙන් ම ඔහුට සැබැවින්ම ඔහු කෙරෙහි යම් ගෞරවයක් දැණුනි.

ගුවාං ලින්සන් මෙසේ පැවසුවේ ඒ අතරතුරදී ය, “ මීට ටික කාලයකට පෙර නිකාය නායක යැන් කලා දර්පණ නිකායෙන් භාණ්ඩයක් ගත්තා. නමුත් අද වනතුරුත් එය ආපසු ලබා දුන්නේ නැහැ. ඒ නිසා මට නිකාය නායක ෂෙන්ට ආරාධනා කරන්න වෙනවා කලා දර්පණ නිකායේ ටික කාලයක් ගත කරන්න කියලා.”

ෂෙන් ච්‍යාඕ පිළිතුරු දුන්නේ ය, “ඒක එහෙමනම් මට බයයි ඔබගේ ගණනයේ යම් වැරදීමක් වෙලා කියලා. නිකාය නායක ගුවාංගේ ආහාර නාස්ති කිරීම හැර මගෙන් සිදු වෙන වෙනත් ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්. නිකාය නායක යැන් ආහාර ගැනීමට භාවිතා කරන ආහාර කූරු ජෝඩුවක් වුණත් මට වඩා බොහෝ වටිනවා ඇති.”

කතා කිරීම පවා ඔහුට දැන් වෙහෙසකර කාර්යයකි. වාක්‍ය පවසා නිම වූ වහාම දෑස් වසා ගත් ඔහුගේ ඇහි බැම මඳක් රැලි වී තිබූ අතර මුහුණ අතිශයින් සුදුමැලි වී තිබුණි. එම පෙනුමින් දිස් වූයේ ඔහු ඊළඟ තත්පරයේ අවසන් හුස්ම හෙළන්නට සූදානම් බවකි.

ගුවාං ලින්සන් ද ෂෙන් ච්‍යාඕ මිය යනු ඇතැයි බියට පත් වූ අතර, එනිසා වහාම ඔහුගේ ස්පන්දනය පිරික්සා අභ්‍යන්තර චී ශක්තිය නැවත පිරවීම සඳහා අත දිගු කළේ ය.

නමුත් සිදු වූයේ නොසිතුවකි. අනෙක් පුද්ගලයාගේ මැණික් කටුව ස්පර්ශ කළ වහාම, ගුවාං ලින්සන් හදිසියේම චලනය වූ අතර මීටර් කිහිපයක් වේගයෙන් පසුබැස ගියේ ය!

ගුවාං ලින්සන් සිටගෙන සිටි එම ස්ථානයේ දැන් දිස් වූයේ නොගැඹුරු දිය ඇල්ලකි.

“සියල්ලන්ම කියන්නේ නිකාය නායක යැන්, තුවාල ලබා සිටි නිකාය නායක ෂෙන්ව ආපසු ගෙන ආවේ ඔහුට නින්දා කර ඔහුව ඔබගේ සෙල්ලම් බඩුවක් කර ගැනීමට අවශ්‍ය වුණු නිසා කියලායි. නමුත් මට දකින්න ලැබුණු දේවල් අනුව ඒ කතාව  සත්‍යයක් නොවෙයි!” ගුවාං ලින්සන් සිනාසෙමින් පැවසී ය. “අපි අවසන් වරට හමු වෙලා වසර ගණනාවක් ගත වෙලා. නිකාය නායක යැන්ගේ හැසිරීම පෙරටත් ​​වඩා අලංකාර වෙලා!”

යැන් වුෂි ෂෙන් ච්‍යාඕ දෙස බැලී ය. දෙවැන්නා සිටියේ නින්දට වැටී හෝ මිය ගොස් සිටි අයුරකිනි. ඔහු ඒ වන විටත් සිටියේ  සම්පූර්ණයෙන්ම සිහිසුන්ව ය. ඔහුගේ දෑත් ශරීරය අසල මෘදු ලෙස එල්ලී තිබූ අතර එයින් ඔහුගේ දෑස් වැසී තිබුණි. ඔහුගේ අත් කෙළවරේ විශාල රුධිර පැල්ලමක් විය.

යාන් වුෂිගේ දෑස් නැවතත් ගුවාං ලින්සන් වෙත යොමු විය. “මම නොසිටි කාලය තුළ සමඟි නිකාය විසින් කලා දර්පණ  නිකාය කෙතරම් දරුණු විදිහට මර්දනය කළාද කිව්වොත්, ඔබට තවදුරටත් මධ්‍යම තැනිතලාවේ වාසය කරන්න පවා නොහැකි වෙලා තුයුහුන්වලට යන්න සිදු වුණා. නිකාය නායකයෙක් විදිහට ඔබ තරමක් අදක්ෂ නැද්ද?”

ගුවාං ලින්සන් සිනාසෙමින් පිළිවදන් දුන්නේ ය, “ඇත්තටම මම නිකාය නායක යැන් තරම් දක්ෂ නැහැ. ඔබේ ඇඳ උණුසුම් කරන්න පමණක් නොවේ, ඔබට ධ්‍යානවේදය හදාරන්න උදව් කරන්නත් ෂුඅන්දු කන්දේ හිටපු නිකාය නායකයා ඉන්නවා. තවත් කිව්වොත් ඔබට ඔහුව ඔබේ සටන් කලාව පරීක්ෂා කරන මෙවලමක් විදිහටත් භාවිතා කරන්න පුලුවන්. නිවැරදිවම කිව්වොත් එක ගලෙන් කුරුල්ලන් තිදෙනෙකු මරා දැමීම. අනෙක් පුද්ගලයින් කෙතරම් ඊර්ෂ්‍යා කළත් ඔබේ වාසනාව ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මුලදී මම හිතුවේ දින කිහිපයක් ඔහුව ණයට ගන්න. නමුත් නිකාය නායක යැන් ඔහුව මේ තරම් අගය කරාවි කියලා මම හිතුවෙ නැහැ. කොටින්ම කිව්වොත් ඔබ නැවතීමක්වත් නැතිව වේගයෙන් පැමිණේවි කියලා මම හිතුවේ නැහැ."

විශාරදයෙකු මෙන් ඇඳ පැළඳ සිටි ඔහුට මෘදු හා පිරිසිදු පෙනුමක් ඇති නමුත් ඔහු කතා කළේ අසුර නිකායන්හි භාවිතා වූ සාමාන්‍ය කතා විලාසය වන් වූ කිසිදු සංයමයකින් තොර ස්වරයකිනි.

යැන් වුෂි යළිත් කතාබහට පිළිවිසියේ ය, “පසුගිය වසරවලදී කලා දර්පණ නිකාය ඉතා හොඳින් ක්‍රියා කරන බව මට ආරංචි වුණා. හොඳයි, අධිරාජ්‍යයාට වඩා බොහෝ දුරින් නිසා නීතියෙන් නිදහස්. ඔතන වතුරේ ඉන්න මාළුවෙක් වගේ ඔබට දැනෙන්න ඇති.”

ඔහුගේ කතා විලාසය සෑම විටම සැහැල්ලුවෙන් කුපිත කරවන ආකාරයකින් යුක්ත විය.ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ඇති පුද්ගලයන් නිසැකවම කෝපයට පත් වනු ඇත. නමුත් යැන් වුෂි සටන් කලාවේ ද සුවිශේෂී දක්ෂයෙකු වූ නිසා ඔවුනට ඒ වෙනුවෙන් ඔහු සමඟ සටන් කිරීමට නොහැකි විය. කාලයාගේ ඇවෑමෙන්, එම කථන ස්වරය යම් ආකාරයකින් ඔහුගේ සංකේතාත්මක ලක්ෂණයක් බවට පත් විය.

ගුවාං ලින්සන් ද මඳ සිනහවකින් පිළිතුරු දුන්නේ ය, “අපට නිකාය නායක යැන් සමඟ සැසඳෙන්න බැහැ. ෂෝ අධිරාජ්‍යයා ඔබ ගැන දැඩි ලෙස විශ්වාස කරනවා. උතුරු ෂෝ දේශය ඔබේ පවිත්‍ර චන්ද්‍ර නිකායට අයත් භූමියක්. සමඟි නිකායට චී අධිරාජ්‍යයාගේ විශ්වාසය තියෙනවා. දකුණේ තිබෙන චෙන් රාජ්‍යයේයි ලින්චුවන් ආයතනය තිබෙන්නේ. අනෙක් පසින් බෞද්ධ සහ දාඕවාදී නිකායන් තෘෂ්ණාවෙන් බලා ඉන්නවා. අපේ කලා දර්පණ නිකාය කෙතරම් හුදකලා සහ දුර්වලද කියනවානම් දුර පළාත්වලට යනවා හැරෙන්න අපිට වෙනත් විකල්පයක් නැහැ. හොඳයි, ඒ අපේ ලැබීම. ”

යැන් වුෂිගේ ෆීනික්ස් දෑස් යුගළ මදක් සිහින් විය. “ඒක එහෙම නම්, ඔබ තුයුහුන්වල නැවතිලා ඔබේ නිකාය දිගටම පවත්වාගෙන නොයන්නේ මොකද? ඔබ ෂෝ රටට ආවේ කුමක් නිසාද?"

“ඇත්තෙන්ම මම ආවේ නිකාය නායක යැන්ව බලන්න. ඔබ විසින් ගත්ත සුගන්ධී අස්ථිය කලා දර්පණ නිකායට ආපසු ලබා ගැනීමට මට අවශ්‍යයයි."

යැන් වුෂි, “ආපසු ගෙන යන්නද? එහි ඔබේ නම කොටලා තිබෙනවාද?"

ගුවාං ලින්සන්ගේ ස්වරය සීතල විය, “ඒක මුලින්ම අයිති වුණේ මගේ මිය ගිය ස්වාමියාට. ඉතින් මගේ නොවෙන්නේ කොහොමද?”

යැන් වුෂි මහ හඬින් සිනාසුණේ ය, “ඔබ මීට වසර දහයකට පෙරදී මාත් එක්ක මේ ආකාරයෙන් කතා කරන්න එඩිතර වුණේ නැහැ. අවුරුදු දහයක් තුළදී ඔබට හදිසියේම පියාපත් වැඩුණේ කොහොමද?"

සාමාන්‍යයෙන් සටන් ශිල්පීන්ගේ ලෝකය ශක්තිමත් අයට පමණක් ගරු කළත්, අවම වශයෙන් සදාචාරය සහ ශිෂ්ටත්වය නම් වූ තුනී තට්ටුවකින් එය ආවරණය වී තිබුණි. නමුත් අසුර නිකායේ ගෝලයන් මෙම මූලධර්මය අන්තයටම පාගා දැමුවෝ ය. බලවතුන් හට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් තිබිය හැකි අතර දුර්වල අයට, ඔවුන්ව මරා දැමුව ද දොස් පැවරීමට වෙනත් කිසිවෙකු සිටියේ නැත. වසර දශකයකට පෙර, යැන් වුෂි සංවෘත දොරටු භාවනාවට ඇතුළු වීමට පෙර, යැන් වුෂිගේ පීඩනය යටතේ අනෙක් නිකායන් ද්විත්වය ශබ්ද නඟා හුස්ම ගැනීමටවත් එඩිතර වූයේ නැත. කෙසේ වෙතත්, අවුරුදු දහයක් තුළ මිනිසුන්ට බිය ඇතුළු බොහෝ දේ අමතක කළ හැකි ය.

ඇත්තෙන්ම, සංවෘත දොරටු භාවනාවේ වසර දහය තුළ යැන් වුෂිගේ සටන් කලාව දැඩි ලෙස වැඩිදියුණු වී තුබූ නමුත් අනෙක් අය ද ඔවුන්ගේ දියුණුව ලබා තිබුණි. ගුවාං ලින්සන් ද  ශ්‍රේෂ්ඨතම ප්‍රවීණයන් දස දෙනාගෙන් කෙනෙකු බව නොකිවමනා ය. ඔවුන් අතර පරතරයක් තිබුන ද, එය ගමන් කළ නොහැකි අගාධයක් නොවනු ඇත.

නිශ්ශබ්ද කෙඳිරියක් සමඟින්, ෂෙන් ච්‍යාඕ තම බරැති ඇහි පිහාටු විවෘත කිරීමට වෙහෙස විය.

නොපැහැදිලි ආලෝකයක් ඔහුගේ ඇසට වැටුණි. එය තවදුරටත් සම්පූර්ණ අන්ධකාරයක් නොවී ය. නමුත් ඔහුට දැකිය හැකි දේ තවමත් ඉතා සීමිත ය. සම්පූර්ණ ඇස් අන්ධ අයෙකුට වඩා හොඳ නැත. එබැවින් ඔහු ඒවා නැවත වසා ගත්තේ ය.

ඔහුගේ කන අසලින් මෘදු කටහඬක් ඇසුණේ මේ මොහොතේදී ය, “ ෂෙන් මහත්මයා. ඔබ අවදියෙන්. ඖෂධය සූදානම්. නමුත් තාමත් උණුසුම්. ඒ නිසා මට ඔබට උදව් කරන්න දෙන්න."

ඒ රුරුගේ හඬයි. ෂෙන් ච්‍යාඕ එය හඳුනා ගත්තේ ය. ඔහු කනිෂ්ඨ උපදේශක නිවහනේ රැඳී සිටි කාලය තුළදී ඔහුව රැකබලා ගත් සේවිකාව ඇයයි.

"... මම ඉන්නේ කනිෂ්ඨ උපදේශකතුමාගේ නිවසේද?" ෂෙන් ච්‍යාඕ හට මතක තබා ගත හැකි වූයේ ගුවාං ලින්සන් වෙත දිව ගිය බවත් පසුව සිහි නැති වූ බවත් පමණි.

මුඛය වසාගෙන සිනාසෙමින් සිටි ඇය මෙසේ කීවා ය, “ඇත්තෙන්ම ඔබ ඉන්නේ කනිෂ්ඨ උපදේශක නිවසේ තමයි. එහෙම නැත්නම් රුරු මෙතන ඉන්නේ කොහොමද? නායකතුමා ඔබව ආපසු ගෙනාවා."

ඇය ෂෙන් ච්‍යාඕ වෙත ඖෂධ ගෙනැවිත් එය පානය කිරීමට උදව් කළා ය. අනතුරුව ඔහු වැතිර සිටි ඇතිරිල්ල සුමට කොට මෙසේ පැවසීමට ද අමතක නොකළා ය, “වෛද්‍යතුමා මෙතන හිටියා. ඔහු කිව්වා ඔබට චී ශක්තිය සහ රුධිරය යන දෙකේම අඩුවක් තිබෙන නිසා වැඩිපුර රුධිරය වැඩෙන අතිරේක ලබාගන්න අවශ්‍යයි කියලා."

ෂෙන් ච්‍යාඕ හිස සලා එයට එකඟ විය, “කොහෙද නිකාය නායක යැන්?”

රුරු පිළිතුරු දුන්නා ය, "නායකතුමා පුස්ථකාලයේ වැඩිමහල් තරුණ ස්වාමියාත් සමඟ කතා කරනවා."

ඇගේ වචනවලින්, 'වැඩිමහල් තරුණ ස්වාමියා' ලෙස සඳහන් කළේ' බියන් යන්මෙයි ය.

ඔහු ගත් ඖෂධයේ සිත, ගත සනසන ද්‍රව්‍ය තිබෙන්නට ඇත. යළිත් සිහිසුන් වූ ඔහුට වැඩි යමක් පැවසීමට කාලයක් තිබුණේ නැත. තවත් පැය කිහිපයක් ඔහු එලෙසම නිදා ගත්තේ ය. නැවත අවදි වන විට, ඔහු සිටි කාමරය දීප්තිමත් වී තිබූ අතර, අසල සිටි මිනිසෙකුගේ නොපැහැදිලි වස්ත්‍ර චායාවක් නොපැහැදිලි ලෙස ඔහුට දිස් විය.

"නිකාය නායක යැන්?" ඔහු වාඩි වී සිටි ආකාරය ඔහුට දැණුනි.

යැන් වුෂි පොත බිම තැබූ නමුත් ඔහුට අතක් දීමට පැමිණියේ නැත. ඔහු කළේ සිහින් හඬින් කෙදිරියක් නැගීම පමණි.

ෂෙන් ච්‍යාඕ ඇසුවේ ය, "ගුවාං ලින්සන් පිටව ගියාද?"

"ඔව්. අපි සටන් කළා. ”

"ඔහුගේ සටන් කලා දක්ෂතාවය හොඳ වුණත්, ඔබ තරම් දක්ෂ නොවිය යුතුයි."

ඔහු කීවේ එපමණකි. කාලයාගේ ඇවෑමෙන් යැන් වුෂි එහි පැමිණීම ගැන ඔහු පුදුම වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.   අවම වශයෙන් ඔහු ඒ ගැන විමසුවේවත් නැත.

යැන් වුෂි පැවසුවේ ය, “ඔබ සූ නිවසේදී දුවාන් වෙන්යැං සමඟ සටන් කළ බව මට ආරංචි වුණා.”

“ඒ පුද්ගලයා පුදුම සහගත ලෙස සටන් කලාවේ දක්ෂයෙක්. ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නොත්, ඔහුගේ දක්ෂතාව ඒ කාලයේ සිටි හු ලුගුටත් වඩා අඩු නොවේවි."

"කොහොමද ඔහුව කුන්'ය එක්ක සංසන්දනය කළොත්?"

"කුන්'යටත් වඩා හොඳයි."

"එසේ නම්, අද ඔබේ දිනුම විශාල ජයග්‍රහණයක්."

නමුත් ෂෙන් ච්‍යාඕ එහි ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි කර ගත්තේ නැත, “ඒක හරි. ඒත් දුවාන් වෙන්යැං ඊට පෙර ලී චිංයු සමඟ සටන් කරපු නිසා සුළු තුවාල තිබුණා. ඒ නිසා මට වාසියක් ලැබුණා."

යැන් වුෂි යළි පැවසුවේ ය, “මම දැන් ඔබේ ස්පන්දනය බැලුවා. එදා ඔබ පර්වතයෙන් වැටෙද්දි, ශරීරයට ඇතුළු වෙලා තිබුණු විෂ ඔබේ අස්ථි තුළට කාන්දු වෙලා ඔබේ චී ශක්ති මූලය විනාශ වෙලායි තිබුණේ. මුලින් මම හිතුවේ සූර්යවාදය පුස්ථකයෙන් ඔබේ මැරිඩියන් අලුත්වැඩියා කිරීමට හැකි වුණා කියලා. නමුත් දැන් හිතෙනවා, අසම්පූර්ණ පොත් දෙකකින් පමණක් එතරම් බලපෑමක් කිරීමට නොහැකියි කියලා. ඊටත් වඩා කරදරකාරී දෙය වෙන්නේ ඔබ නැවත නැවතත් වෙනත් පුද්ගලයන් සමඟ සටන් කරලා එයින් හානි වුණ නිසා ඔබේ 'දාඕවාදී හදවත'ට ඊටත් වඩා හානියක් වීම. මේක දිගටම තිබුණොත්, ඔබේ දාඕවාදී හරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අමරණීයන්ට පවා ඔබව බේරගන්න නොහැකි වේවි. සූර්යවාදය කෙතරම් බලවත් වුණත්, අමරණීයයින්ට පවා කළ නොහැකි දේවල් කරන්න එයට නොහැකි වේවි."

දාඕවාදී හදවත යනු හදවතක් නොව,. එයින් කියවුණේ එය දාඕවාදී හරයේ අත්තිවාරම බව ය. ෂෙන් ච්‍යාඕ කුඩා කල සිටම දාඕවාදී නිකායක අභ්‍යන්තර කලාව භාවිතා කරමින් ඔහුගේ පදනම ගොඩනගාගෙන තිබූ අතර මෙම අත්තිවාරම ඔහුගේ 'දාඕවාදී හදවත' විය. පුද්ගලයෙකුගේ දාඕවාදී හදවත විනාශ වී ඇත්නම්, ඔහු නැවත කිසි දිනෙක සටන් කලාවේ උච්චතම ස්ථානයට නොපැමිණෙන බැවින් ඉතිරි සියලු චලනයන් සහ ශිල්පීය ක්‍රම නිෂ්ඵල වන්නේ නිරායාසයෙනි.

මෙය නිවැරැදිවම පැවසුවහොත් ෂෙන් ච්‍යාඕගේ වත්මන් තත්වය විය. විෂ හා තුවාල හේතුවෙන් ඔහුගේ දාඕවාදී හදවත ද පාහේ විනාශ විය. සූර්යවාදයෙහි අභ්‍යන්තර චී ශක්තිය ආධාරයෙන් එය ක්‍රමානුකූලව ප්‍රතිෂ්ඨාපනය කිරීම හොඳම සුව කිරීමේ ක්‍රමය විය යුතු ය.

නමුත් ගැටලුව වූයේ ෂෙන් ච්‍යාඕ එහි කොටස් දෙකක් පමණක් දැන සිටීම ය. ඊට අමතරව, ඔහු සටන්කාමී ලෝකයේ සිටින තාක් කල්, ඔහුට සටන් සමඟ සම්බන්ධ නොවී සිටීමට ක්‍රමයක් තිබුණේ නැත. එලෙස ඔහු සටන් කරන සෑම අවස්ථාවකම, අනිවාර්යයෙන්ම ඔහුගේ අභ්‍යන්තර චී ශක්තිය ඇවිස්සෙන අතර, තවමත් යථා තත්ත්වයට පත් නොවූ දාඕවාදී හදවතට ඊටත් වඩා හානි විය. මෙම ක්‍රියාවලිය, අවසානයේ දී දිගුකාලීන විෂම චක්‍රයක් බවට පත් විය. එක් දිනක් හෝ සූර්යවාදයෙහි අභ්‍යන්තර චී ශක්තිය මඟින් එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූවා නම්, ඔහුගේ අත්තිවාරම සම්පූර්ණයෙන්ම කඩා වැටී එය සුරැකීමට නොහැකි තත්ත්වයට පත් වනු ඇත.

ෂෙන් ච්‍යාඕගේ මැරිඩියන් මූලය නිතර නිතර තුවාල වීමට යැන් වුෂි ද දායක වී තිබුණි. ඔහු නැවත නැවතත් ඔහු සමඟ සටන් කරන ලෙස ෂෙන් ච්‍යාඕට බල නොකළේ නම්, ෂෙන් ච්‍යාඕට පැරණි තුවාල මත මෙතරම් නව තුවාල ඇති නොවනු ඇත.

කෙසේ වෙතත්, නිකාය නායක යැන් මේ මොහොතේ පෙණුනේ ඉතා බැරෑරුම් ආකාරයෙනි. ඔහුට තමාගේම වැරදි පිළිබඳව නිනව්වක් නොවුණේ ඒවා අමතක කර දමා තිබූ ආකාරයට ය.

ඔහු නිර්ලජ්ජිත ලෙස හැඳින්විය යුතු ද නැතිනම් ආත්මාර්ථකාමී ලෙස හැඳින්විය යුතුද යන්න පිළිබඳව ෂෙන් ච්‍යාඕ දැන සිටියේ නැත. "ඔබ එහෙම කිව්ව නිසා, මට විශ්වාසයි ඒ ගැටලුවට ඔබ දැනටමත් විසඳුමක් සොයාගෙන කියලා?"

යැන් වුෂි සිටියේ ඉතා සන්සුන් ලෙස ය. "ඒක හරි. ඔබ දාඕවාදී හදවත ඉවත දැමීමට කැමති තාක් කල්, මට පුලුවන්. ඔබ තුළ භූත හදවත රෝපණය කරන්න මට ඉඩ දෙන්න. එවිට ඔබට ෆීනික්ස්-ඝාතන උපක්‍රමවල මූලික කරුණු පුහුණු වෙන්න පුලුවන්. හැම දෙයක්ම ඉක්මනිම විසඳේවි. ”

ෂෙන් ච්‍යාඕ සුසුම්ලෑවේ ය, “මෙම සැලැස්ම ප්‍රකාශ කිරීමට සහ එය පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරීමට ඔබ දරන උත්සාහයට මම නිකාය නායක යැන්ට ගරු කළ යුතුයි. භූත  හදවත මා තුළ රෝපණය කළාට පස්සේ, මගේ ස්වභාවය අවිනිශ්චිත, ම්ලේච්ඡ සහ ලේ පිපාසිත බවට පත් වීම වළක්වන්න බැහැ. ඒක ඔබට සතුටට කරුණක්. නමුත් මට දැනෙන්නේ මගේ සැබෑ ආත්මය අහිමි වීමක් වගේ. මට සටන් කලාවෙන් විශාල ලෙස ඉදිරියට යන්න හැකි වුනත්, ඒකෙන් තිබෙන ප්‍රයෝජනය කුමක්ද? ”

යැන් වුෂිගේ මුහුණේ දිස් වූයේ උපහාසාත්මක ප්‍රකාශයකි. ඔහු ඇසුවේ ය, "'සැබෑ ආත්මය' කියන්නේ කුමක්ද?මිනිස්සු ස්වභාවයෙන්ම නපුරුයි. ඔබ කියන්නේ කෙනෙකුගේ කැමැත්ත අනුගමනය කිරීම තමාටම අවංක නැහැ කියාද? චෙන් ගොං ගැන පොඩ්ඩක් හිතන්න. ඔබ ඔහුට හොඳ උපකාරයක් කළා. ඔබ දෙදෙනා එකට ගමන් බිමන් ගිහින් දුක සැප බෙදාගත්තා. නමුත් ගැටලුවක් පැමිණියාම, ගැලවීමට මාර්ග සියයක් තිබියදීත්, ඔහුට සිතිය හැකි වුණේ ඔබට ව්‍යසනය ගෙන ගොස් ඔහුත් සමඟ ඔබවත් ඇදගෙන යාම පමණයි. ඔහුගේ පසුබිම අනුව, කිසිවෙක් ඔහුට කියවීමටවත්, ලිවීමටවත් හෝ හැසිරීමේ නියම ක්‍රම කියා දුන්නේවත් නහැ. ඔහුගේ සියලුම ක්‍රියාවන් සිදු වුණේ ඔහුගේ 'සැබෑ ආත්මයෙන්' කියලා මට කියන්න එපා?"

ෂෙන් ච්‍යාඕට ඔහුගේ හිස ඉවතට හරවා ගැනීමට අවශ්‍ය විය. නමුත් ඊට පෙර යැන් වුෂි විසින් ඔහුගේ නිකට අල්ලා ඔහුව පසුපසට ඇදගන්නා ලද අතර, එම නිසා ඔහුට එයින් ගැලවීමට හැකියාවක් තිබුණේ නැත, “ඔබ, ඔබේ දාඕවාදී හදවත පරිස්සමෙන් අනුගමනය කරලා, අත්හැරීම ප්‍රතික්ෂේප කරලා, ඔබේ බොරු ප්‍රතිපත්තිවලම එල්ලිලා ඉන්නේ ඉවසන්න නොහැකි තරම් මංමුලාසහගත තත්වයක් ඔබ තවමත් අත්විඳලා නැති නිසා. මම හරිද?”

අඳුරු හිස් ඇස් යුගලය සෙමෙන් ඇසිපිය හෙළන්නට වූ අතර දිගු ඇහිබැමි මදක් වෙව්ලන්නට විය. බොහෝ වේලාවකට පසු අවසානයේ ෂෙන් ච්‍යාඕ වචනයක් කීවේ ය.

"ඔව්."

යැන් වුෂිගේ කටහඬ ද්වේෂසහගත බවින් පිරී තිබුණි, "සූර්යවාදය කෙතරම් ප්‍රබල වුණත්, කිසිවක් නොමැතිව එයට දේවල් නිර්මාණය කරන්න බැහැ. ඔබේ වර්තමාන තත්ත්වයත් එක්ක, විටින් විට ඇති වෙන කැස්ස සමඟ රුධිරය පිට වීම වගේ හානි වුණු හර මූලයක් තියාගෙන ඔබේ සටන් කලාව වසර කිහිපයකින් යථා තත්ත්වයට පත් කරන්න ක්‍රමයක් නැහැ. එපමණක් නොවේ, මේ ආකාරයෙන් ඔබේ ජීවිතයේ ඉතිරි කාලය අඩක් මිය යන්න වුණත් පුලුවන්. මේ වෙද්දි, ඔබ මගේ ආරාධනා පත්‍රයෙන් සු පවුලේ වාසස්ථානයට යනවා සියල්ලෝම දැකලා අවසන්. අපි අතර ඇති සම්බන්ධය ඉක්මනින්ම මුළු සටන්කාමී ලෝකයේම පැතිරේවි. මගේ සතුරෝ ලොව පුරාම ඉන්නවා. ඔවුන්ට මට කිසිවක් කරන්න බැහැ. නමුත් ඒ කෝපය ඔබෙන් ඉවත් කරගන්න ඔවුන්ට අපහසු නොවේවි. ඔවුන් ඔබව අල්ලා ගත්තොත් කුමක් සිදුවේවි කියලාද ඔබ සිතන්නේ? ඔවුන් ඔබට සූර්යවාදය ලියනකල් වධ හිංසා කරාවිද? එසේත් නැතිනම් ඔබව මුලින්ම දූෂණය කොට මරා දමලා, කෝපය පිට කරන්න ඔබේ මළ සිරුරත් දූෂණය කරලා කසයෙන් තළාවිද?"

"එහෙම සිදු වූණොත්, එවැනි තත්වයක් ඉවසගෙන ඉන්න ඔබට තවමත් හැකි වේවි කියලා ඔබ සිතනවාද?"

අවසානයේදී ෂෙන් ච්‍යාඕ හට තමාව පාලනය කර ගත නොහැකි විය, "එලෙස ඇත්තටම වුණොත් අපට ඒ ගැන ඒ මොහොතේදී කතා කරන්න පුලුවන්. නමුත් නිකාය නායක යැන් ඒ ගැන දැන්ම කරදර වෙන්න අවශ්‍ය නැහැ!"

පුදුමයට කරුණක් නම්, අත පසෙකට වී තිබූ අතර යැන් වුෂි එයින් කෝපයට පත් වී තිබුණේ ද නැත. ඒ වෙනුවට, ඔහුගේ මුහුණේ තිබූ අඳුරු වලාකුළු හදිසියේම පහව ගොස් තිබූ අතර ඔහු සිනහවක් පවා නැගුවේ ය, “එන්න. මම ඔබව බය කරන්න හැදුවේ. ඔබට පිස්සු හැදිලාද?"

ෂෙන් ච්‍යාඕ: "..."

මිනිසුන් සියල්ලෝම පවසන්නේ ගැහැනියකගේ හදවත මුහුදු පත්ලේ ඇති ඉඳිකටුවක් මෙන් සූක්ෂ්ම බව ය. නමුත් යැන් වුෂිගේ හදවත වනාහී පතුළක් නැති අගාධයක ඉඳිකටුවකටත් වඩා ග්‍රහණය කර ගැනීමට දුෂ්කර දෙයක් බව ෂෙන් ච්‍යාඕට දැණුනේ දැන් ය.

මේ මොහොතේ ම කිසියම් අයෙකු දොරට තට්ටු කළේ ය.

යැන් වුෂි කතා කළේ ය, "එන්න"

රූරු සේවිකාව බෙහෙත් බඳුනක් අතැතිව ඇතුළතට පැමිණියා ය. "මහත්මයා, මේ අද ෂෙන් මහත්මයාට පිළියෙල කරපු දෙවන ඖෂධය."

යැන් වුෂි “මෙතන තබන්න” යැයි අණ කළේ ය.

රුරු ඇයට පැවසූ පරිදි බඳුන බිම තැබුවා ය. පසුව ෂෙන් ච්‍යාඕට සිහි කළේ ය, “ෂෙන් මහත්මයා එය උණුසුම්ව තිබෙද්දීම පානය කළොත් බලපෑම වඩා හොඳ වේවි. ”

ඇයට ස්තුති කළ ෂෙන් ච්‍යාඕ පාත්‍රය ගෙන එක හුස්මට එය අවසන් කළේ ය.

කෙතරම් සිතින් ශක්තිමත් වුව ද ෂෙන් ච්‍යාඕට උරුම වූ කුඩා ගැටලුවක් ද තිබුණි. එනම් ඔහු පැණි රසට ප්‍රිය කළ ද තිත්ත දේවල්වලට කවදත් අකමැති අයෙකු වීම ය. කුඩා කාලයේ, ෂුආන්දු කන්දේ සිටියදී, ඔහු අසනීප වූ විට ඖෂධ පානය නොකිරීම සඳහා සැඟවී සිටියේ ය. අභ්‍යන්තර ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමෙන් කෙනෙකුට ශීතලෙන් හා උෂ්ණත්වයෙන් පීඩා නොවිඳ සිටීමට හැකි බව ඇසූ පසු ඔහු සෙසු සියලුම ගෝලයන්ට වඩා දැඩි ලෙස පුහුණු විය. මිනිසුන් සිතුවේ ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන අයෙකු ලෙස ය. නමුත් ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වූයේ තිත්ත ඖෂධ ගැනීමෙන් වැළකී සිටීමට බව ඔවුන් දැන සිටියේ නැත. එහෙත් යැන් වුෂිගේ ස්ථානයේ නැවතී සිටින කාලය අතරතුර ඔහුට තිත්ත ඔසු බදුන් කොපමණ ගෙන ආවත් ඔහු ඒ සියල්ල කිසිත් නොපවසා පානය කළේ ය.

කෙසේ වෙතත්, කුඩා පුරුදු ඔහුව පාවා දුන්නේ ය. ඔහු පාත්‍රය අතට ගැනීමටත් පෙර නළල රැළි වී තිබූ අතර, ඔහු එය තැබූ පසු, ඔහුගේ මුඛයේ කොන නොදැනුවත්වම වෙව්ලමින් පැවතියේ ය.

යැන් වුෂි එය දුටුවේ ය. ෂෙන් ච්‍යාඕ අවසන් වූ පසු, පසෙක තිබූ පැණි රසැති කැන්ඩිඩ් පලතුරක් ගත් ඔහු එය ෂෙන් ච්‍යාඕගේ මුව තුළට එය ඇතුල් කළේ මිහිරි කටහඬකින් මෙසේ පවසමිනි, "ආ-ච්‍යාඕ, ඔබ තිත්ත බෙහෙත්වලට අකමැති නම්,ඊලඟ වතාවේ මම ඒවාට බාර්ලි සීනි ටිකක් දාන්නම්. දැන් එන්න. මං දිහා බලලා පොඩ්ඩක් හිනාවෙන්න. හැම වෙලාවෙම නළල රැලි කරන්න එපා."

ෂෙන් ච්‍යාඕ: "..."

නිකාය නායක ෂෙන්ගේ මනස සහ ශරීරය යන දෙකම සම්පූර්ණයෙන්ම වෙහෙසට පත් විය.



Comments

  1. මට හේතුවක් කියන්න නෑ ,ඒත් මං මේ ආදරකතාවට හරි කැමතියි ...සතියට එක කොටසක්වත් දෙන්න බැරි ද

    ReplyDelete
  2. ගොඩක් කල් බලන් හිටියා. සතියකට එකක්වත් දෙන්න පුළුවන්ද🥹

    ReplyDelete
  3. ගොඩක් කල් ඉඳන් බලන් හිටියෙ කතාව දානකම්..හරිම ලස්සනයි...🧡🧡

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-