Skip to main content

තිස් එක්වන පරිච්ඡේදය| අප වෙනුවෙන් සාක්ෂිකරුවෙකු වෙන්න පුලුවන්ද, නිකාය නායක ෂෙන්?

මෙම අවස්ථාව වන විට, සියලුම අමුත්තන් අඩු වැඩි වශයෙන් පැමිණ අවසන් වී තිබුණි. රාජකීය පවුලේ සාමාජිකයන්, කැපී පෙනෙන නිකායන්වල දරුවන් සහ නිකායන් ගණනාවක සටන් ශිල්පීන් ඇතුළුව දක්ෂ සහ කීර්තිමත් පුද්ගලයින්ගෙන් ශාලාව පිරී තිබුණි. මෙවන් දර්ශනයක් පහසුවෙන් නැරඹීමට අපහසු වූ අතර එය සිදු වූයේ සු සහෝදරයන් දෙදෙනාගේ වෙනස් අනන්‍යතා නිසා ය.

මෙම කාලය තුළදී සංස්කෘතිය පැවතියේ තවමත් විවෘතව ය. සෑම කෙනෙක් සතුවම තමන්ටම හිමි කෑම මේසයක් තිබූ අතර, පිරිමි සහ ගැහැණු අමුත්තන්ට එකම කාමරයක රැඳී සිටීමට අවසර ලැබී තිබුණේ ශාලාවේ මැද කුඩා තිරයක් මඟින් පමණක් සංකේතාත්මක වෙන් කිරීමක් කරමින් ය. කාන්තා අමුත්තන් සු වෙයිගේ බිරිඳ විසින් බලාගත් අතර, සු වෙයිගේ මව වන චිං ආර්යාව ප්‍රධාන මේසය සතු ආසනයේ වාඩි ලා ගෙන සිටියා ය. සෑම මොහොතකම සු වෙයි සහ සු චියාඕ යන සූ සහෝදරයන් දෙදෙනා රැඳී සිටියේ ඇය අසළ ය. සේවිකාවන් විසින් විශිෂ්ට ආහාරපාන සහ මෘදු රසැති මත්පැන් පිළිගන්වනූ ලැබූ අතර, සෑම දෙසින්ම ඇසුණේ ප්‍රීතිමත් සංවාදයන් ය. සියල්ලන්ම ගත කළේ ඉතා ප්‍රීතිමත් කාලයකි.

වාදන ශිල්පීන්ගේ වාද්‍ය උපකරණවලින් නැඟෙන සංගීතයට මුසු වූ යුවතියන් එහා මෙහා පැද්දෙමින් නර්ථනයේ යෙදෙන්නට වූයේ උත්සවයේ සජීවි බව තවතවත් ඔප් නංවමිනි. පැහැදිලි ලෙස දැකීමට නොහැකි වුව ද ෂෙන් ච්‍යාඕට ද එම ගැහැණු ළමුන්ගේ සැහැල්ලු සහ මනරම් රූප මෙන් ම ඔවුන්ගේ පියාඹන පටි නොපැහැදිලි ලෙස දැකීමට හැකියාව තිබූ අතර එම සුරූපිනියන් පෙණුනේ නැවුම් මල් වලින් වැසී ඇති මාර්ගවල ඇවිදිමින් පෘථිවියට බැස එමින් සිටි සුරංගනාවියන් කණ්ඩායමක් මෙන් ය. නර්තනය දිව්‍යමය වූ නමුත්, එය තුළ වර්තමාන ජනප්‍රිය විලාවිතාවක් වූ හූ විලාසිතාවට සහ රොන් ශෛලියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ අවිඥානික චමත්කාරජනක මාත්‍රයක් ද සැඟවී තිබුණි. “ඇයගේ හිස පහත් කර අත් පිටුපස මුහුණ සඟවා, සරත් සෘතුවේ සුළඟ අතරේ පාවෙන ජේඩ් හිස් අලංකරණය” වැනි කවි පදවල ඇති දක්ෂිණ චෙන් ශෛලියට අයත් නර්ථන විලාසයට එය කිසිසේත්ම සමාන වූයේ නැත. වයින් වට කිහිපයකට පසු, අමුත්තන් සියල්ලෝම නැවුම් විලාසිතාවෙන් විනෝද වී තිබූ අතර එකිනෙකාට අත්පොළසන් දෙමින් සතුටු වෙමින් සිටිය හ.

ෂෙන් ච්‍යාඕ මෙම නර්තනයට බෙහෙවින් ඇලුම් කරන බව වටහාගත් පුලියුරු ජියන් එය පැහැදිලි කළේ ය, “මේ නර්තන සංගීතය එන්නේ කුචාන් වලින්. ඒකට කියන්නේ ‘පුංචි ස්වර්ගය’ කියලා. කුචාවල ඉන්න ජනතාව සැදැහැවත් බෞද්ධයන්. රට විනාශ වුණාට පස්සේ ඔවුන්ගේ සංගීතය මධ්‍යම තැන්න වෙනකල් පැතිරිලා ගිය නිසා මේ ගීතයටත් බෞද්ධ රසයක් තියෙනවා.”

මෙම නව තොරතුරුවලින් ප්‍රබෝධමත් වූ ෂෙන් ච්‍යාඕ සිනාසෙමින් මේ පිළිබඳ සංවාදය කෙරෙහි තවත් උත්සුක විය, “එහෙනම් ඒක තමයි මේ නැටුමේ විලාසිතාව. මේ නර්තන ශිල්පියෝ හැමෝම උරහිස්, උදර නිරාවරණය කරගෙන බොහෝ උපාංග පැළඳගෙන ඉන්න එක පුදුමයක් නෙවෙයි.”

පුලියුරු ජියන් “ඒක හරි” ලෙස පවසමින් නැවතත් සිනාසුණේ ය. 

සියල්ලෝම සතුටින් කාලය ගතකරමින් සිටි අතර එක්වරම  එය නැවතී ගියේ පිටත සිට ශාලාව තුළට වේගයෙන් පැමිණි සේවකයෙකු නිසා ය. ඔහු සු වෙයි වෙතට දිව ගොස් සු වෙයිගේ කනට රහසින් යමක් දැනුම් දුන්නේ ය. එය ඇසූ සු වෙයිගේ මුහුණ දැඩි වූ අතර ඉනික්බිතිව ඔහු යම් කිසි සංඥාවක් ලබා දුන්නේ ය.

දිගු සහ තියුණු සටහනක් සමඟ, නර්තනය හදිසියේම නතර වූ අතර සංගීතය ද හිරු දුටු පිණි මෙන් අතුරුදහන් විය. අමුත්තන්, අනන්තයට ඇදී ගිය පාරාදීසයකින් අවදි වූවාක් මෙන්, සංගීත දැහැනින් අවදි වූ අතර පසුව ප්‍රහේලිකාවට පිළිතුරු සෙවීම සඳහා සත්කාරක වෙතට හැරුණි.

නැගී සිටි සු වෙයි ඔහුගේ දෑත් යුගළ එක් කොට ආචාර කළ අතර පසුව සියල්ලන් අමතා පැවසී ය, “මගේ මවගේ උපන්දිනය ගැන ප්‍රවෘත්තිය අධිරාජිනියට ලැබිලා. ඒ නිසා උත්තමාවිය විශේෂ සුබපැතුම් තෑගිත් එක්ක නියෝජිතයෙක්ව එවලා. හැමෝම පොඩ්ඩක් ඉන්න. මම ඒ පණිවිඩකරුට ආචාර කළාට පස්සේ ඔබ සියල්ලන්ට සංග්‍රහ කරන්න ආපහු එන්නම්."

ෂෝ අධිරාජ්‍යයාගේ වාසගම හිමි වූ අෂිනා අධිරාජිනිය වනාහී පෙර සඳහන් කළ පරිදිම තුජුයේට අයත් වූ කාන්තාවකි. ඇය වූකලී ෂෝ අධිරාජ්‍යයා විසින් රට සමඟ මිත්‍ර වීම සඳහා පමණක් රැගෙන ගිය බිරිඳකි. ඇය කිසිවිටෙක සු පවුල සමඟ සම්බන්ධතා පවත්වා නොතිබුණි. නමුත් ෂෝ අධිරාජ්‍යයා ඒ වන විටත් සු මහත්මියගේ උපන්දිනය සඳහා තෑගි එවා තිබුණි. එබැවින් සාමාන්‍යයෙන් කිවහොත්, මෙම සිදුවීමට ඇය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින්, ඇය ද තෑගි එවීමට තීරණය ගෙන තිබූ සැටියකි.

මෙම සිදුවීම් උඩු යටිකුරු වීම පැමිණ සිටි සියල්ලන්ම ව්‍යාකූල කරවීමට සමත් විය. ඔවුන් සියල්ලෝම එකිනෙකා දෙස බලමින් සිටියේ වික්ෂිප්තව ය.

දූතයා අධිරාජිනිය විසින් එවූ අයෙකු වූ නිසා සත්කාරකයා පිටතට ගොස් ඔහුට ආචාර කිරීම සඳහා බැඳී සිටියේ ය. සංගීතය නැවතී තිබූ අතර, සියල්ලෝම තම ආසනවල ඍජු ලෙස වාඩි වී, ගෙල දිගු කොට දොරටුව දෙස බලා සිටිය හ.

වස්ත්‍රය නිසි පරිදි පිළිවෙලට සකසා ගත් සූ වෙයි සූදානම් වූයේ පිටතට යාමට ය. නමුත් ඊට පෙර පිටතින් පැමිණි හැපෙනසුළු සිනහවක් ශාලාව තුළට ඇතුල් වී තිබුණි: “මෙයියැං පළාතේ ආදිපාදතුමාට කරදර වෙන්න අවශ්‍ය නැහැ. මමම තනිවම එන්නම්! ”

එය ශාලාවේ සිටි බොහෝ දෙනෙකු හඳුනා නොගත් තරමක නුහුරු කටහඬකි. ඔවුන් සිතුවේ එම පුද්ගලයා කෙතරම් අකාරුණිකද යන්න පමණි. ෂෙන් ච්‍යාඕ පමණක් මදක් මුමුණමින් සිටියේ ඔහු තුළ නරක හැඟීමක් වර්ධනය වෙමින් තිබූ නිසාවෙනි.

ශාලාව තුලට පැමිණියේ උඩු රැවුල වවාගත් තරුණයෙකි. ඔහු හැඳ සිටියේ මධ්‍යම තැනිතලා විලාසිතාවට අයත් වස්ත්‍ර ය. නමුත් ඒ සියල්ල හැරුණු කොට, ඔහු තුළ වේගවත් හා දරුණු යමක් ඇති බවක් පෙනෙන්නට තිබුණි.

ඔහුගේ දෑස් තියුණු හා දීප්තිමත් වූ අතර ඒ තුළ අතිශය ආක්‍රමණශීලී බවක් ද ගැබ් වී තිබුණි. ඇතුල් වූ නමුත් සු වෙයි දෙස බැල්මකුදු හෙලීමටවත් කරදර නොවූ ඔහු ඒ වෙනුවට සිටියේ කාමරය වටාම තම දෑස් යවමිනි.

සටන් ශිල්පීන් හැර ඔහු දුටු සියල්ලෝම දෑස් පැත්තට හරවා ගත්හ. ඔවුන් කිසිවෙක් කිසිවක් කීවේ නැත, නමුත් ඔවුන් සියල්ලන්ටම යම් අපහසුතාවයක් දැනුනි.

පුලියුරු ජියන් පුදුමයට පත් හුස්මක් පිට කර රහසින් කීවේය, “බලන්න ඔහුගේ ඇස් දිහා. ඔහු දැනටමත් ෂියන්තියන් විශේෂඥයෙක් වෙන්න පුලුවන්. මම ඔහුව මීට පෙර කිසි දිනෙක චං'අන්වල දැකලා නැත්තේ කොහොමද?”

සු වෙයිගේ කටහඬ ඇසුණේ මේ මොහොතේදී ය, “සු පවුලේ සියලුම සාමාජිකයින්ට උත්තමාවියගේ අනුග්‍රහය දැක්වන්න තරම් වෙන්න බැහැ. කරුණාකරලා මට ඔබේ නම කියන්න පුළුවන්ද?"

මිනිසා සිනහවකින් පිළිතුරු දුන්නේ ය, “මම දුවාන් වෙන්යැං. මෙයියැං නායකතුමා එතරම් ආචාරශීලී වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ මවගේ කරුණාවන්තකම බොහොම ප්‍රසිද්ධයි. අධිරාජිනියත් ඒ ගැන බොහෝ කාලයකට කලින්ම අහලා තියෙනවා. ඒත් තවමත් ඇ‍යට හමුවෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අද ඔබේ මවගේ උපන්දිනය උත්තමාවියට ආරංචි වුණ නිසා මේ කුඩා සුබ පැතුම් ලකුණ ඉදිරිපත් කරන්න කියලා ඇය මගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියා."

සු වෙයි ඔහු දෙසට ආචාර කළේ ය. “අපි අධිරාජිනියගේ සැලකීම අගය කරනවා. එන ඕනම කෙනෙක් අපේ අමුත්තෙක්. නියෝජිත දුවාන්, ඔබට වෙලාවක් තියෙනවානම්, ඇයි ඔබ පැමිණ අසුන් ගන්නේ නැත්තේ? ”

මිනිසා අෂිනා අධිරාජිනිය නියෝජනය කළ බැවින්, සු වෙයි පිටුපසින් සිටි චින් ආර්යාව සහ සු චියාඕ ද දුවාන් වෙන්යැං දෙසට වැඳ වැටුණ හ.

කෙසේ වෙතත්, දුවාන් වෙන්යැං සිදු කළේ එක්වරම සිනහවක් පෑම ය, “මට වාඩිවෙන්න කලින් තව ටිකක් බලාගෙන ඉන්න පුලුවන්. ඇත්තෙන්ම, මම චින් ආර්යාවගෙන් අහන්න කැමති තවත් දෙයක් තියෙනවා."

ඔහුගේ මව දුවාන් වෙන්යැං මෙන් නොව, කීර්තිමත් පවුලක උපත ලැබූ බවත්, කිසි දිනක තුජුයේ වෙත ගොස් නැති බවත් සු වෙයි දැන සිටියේ ය. ඔවුන්ට අවම වශයෙන් කුඩා සම්බන්ධයකුදු තිබීම කිසිසේත්ම විය නොහැකි දෙයකි. එබැවින් දුවාන් වෙන්යැංට ඇයගෙන් ඇසීමට අවශ්‍ය වූයේ කුමක් විය හැකිද? මදක් ව්‍යාකූල වූ සූ වෙයි අදහස් දක්වමින්, "නියෝජිත දුවාන්, ඔබට කැමති විදිහට කරන්න පුලුවන්." ලෙස පැවසී ය.

දුවාන් වෙන්යැං ඇසුවේ ය, “චින් ආර්යාව, ඔබ වෙනුවෙන් සුබපැතුමක් දෙන්න කෙනෙකු මගෙන් ඉල්ලුවා. මීට වසර තිහකට කලින් තුජුයේ රජ මාලිගයේ ඔබ එනතුරු බලා සිටි පැරණි මිතුරෙක්ව ඔබට තවමත් මතකද කියලා ඔහු දැනගන්න කැමති වේවිද?

සු වෙයි සහ සු චියාඕ පුදුමයට පත් විය. ඔවුන්ගේ මව දෙසට හැරීම වළක්වාගැනීමට ඔවුන්ට නොහැකි විය.

“තරුණයා, ඔබ මාව වෙනත් කෙනෙක් විදිහට වරදවා වටහාගෙන කියලයි මම හිතන්නේ.” යනුවෙන් කාරුණිකව පිළිතුරු දුන් චින් ආර්යාවගේ ප්‍රකාශය වෙනදා මෙන්ම පැවතියේ සන්සුන් ලෙස ය.

දුවාන් වෙන්යැංගේ සිනහව තවතවත් දීප්තිමත් සහ පැහැදිලි විය: "චින් ආර්යාව එතරම් පහසුවෙන් එය පිළිගන්නේ නැති වේවි කියලා මම දන්නවා. නමුත් ඔබ කැමතිද මම මහජනයා ඉදිරියේ සියල්ලම පවසනවාට?"

මේ වන විට මෙම මිනිසා සිටියේ තම මව ඉලක්ක කර ගනිමින් බව නොවැටහීමට තරම් සු වෙයි බොළඳ නොවී ය. ඔහුගේ ස්වරය ද වහාම පහත වැටුණි: “මහත්මයා, ඔබ ටිකක් රළු වෙනවා වගේ නේද? උත්තමාවිය ඔබව එව්වේ තෑග්ගක් දෙන මුවාවෙන් අපිව රවට්ටන්න නෙවෙයි නේද?අධිරාජිනියයි, සු පවුලයි අතරේ අතීත අමනාපකම්වත්, සම්බන්ධතාවත් නැහැ. මගේ මවගේ උපන්දින සාදයේදී අධිරාජිනිය මෙතරම් අශික්ෂිත විදිහට හැසිරෙන්නේ ඇයි? අද සිදු වූ දේ ගැන මම අධිරාජ්‍යයාට වාර්තා කරනවා. දැන්, සේවකයනි! අපේ අමුත්තාට පිටතට යන මාර්ගය පෙන්වන්න.”

සූ වෙයිගේ නියෝගය මත යුහුසුළුව පැමිණි සේවකයන් දුවාන් වෙන්යැංව ඇදගෙන යාම සඳහා සූදානම් වූහ. කෙසේ වෙතත්, මිනිසා ඔහුගේ වස්ත්‍ර අත් මදක් සෙලවූ අතර එසැණින් ඔවුන් සියල්ලන්ම බිම වැටුණි.

ඔවුන් සියල්ලන්ම කම්පනයෙන් යුක්තව දුවාන් වෙන්යැං  දෙස බැලූ අතර, මේ සිදුවීම මධ්‍යයේ අමුත්තන් ද එකා පසුපස එකා බැඟින් නැගී සිටින්නට විය. ඔවුන්ගෙන් සමහරෙකුට තරමක අසතුටුදායක පෙනුමක් තිබූ අතර සත්කාරකයා වෙනුවෙන් ඔහුට බැණ වැදීමට පවා ඔවුන් සිටියේ සූදානමකිනි.

සු චියාඕ ද කෝපයෙන් කෑගැසුවේ ය, "ඔබ මෙතන සටන් කරන්නද හදන්නේ?! ඔබ හිතනවද සු පවුල ඔබට සටන් කරන්න දීලා බලාගෙන ඉදීවි කියලා?"

ඔහු ද ප්‍රහාරයක් එල්ල කළේ ය.

කෙසේ වෙතත්, එක්වරම අඩියක් පසුපසට ගත් දුවාන් වෙන්යැං උස් හඬින් පැවසුවේ මෙවැන්නකි, “තත්පරයක් ඉන්න! මට කියන්න දෙයක් තියෙනවා. මුලින්ම මට ඉවර කරන්න දුන්නොත් ඔබට ඕන දෙයක් කරන්න පුළුවන්. මේක ඉතාම වැදගත් දෙයක්. ඔබලා හැමෝම ගුණවත් කීර්තිමත් පුද්ගලයන්. මම හිතාමතාම කෲර වුණාද, නැත්නම් වැරදි චින් ආර්යාවගේ හෘදසාක්ෂියක් ද කියලා ඔබේ විනිශ්චය අහන්න මම කැමතියි!

ඔහු පැවසූ දෙයට කිසිවෙකු ප්‍රතිචාර දැක්වීමටත් පෙරාතුව, ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “චින් ආර්යාව, කරුණාකරලා ඔබට මගේ ගුරුතුමාගේ මතකය ආපහු දෙන්න පුලුවන්ද?”

සු චියාඕ දැඩි ලෙස කෝපයට පත් විය: “තුජුයේ අවජාතකයා, මගේ මවට මඩ ගහන්න චෝදනා කරනවා! මගේ මව ඉපදුණේ මධ්‍යම ෂැන්සි තැන්නේ වංශවත් පවුලක. ඇය කොහොමද තුජුයේ එක්ක සම්බන්ධ වෙන්නේ? අද ඔබ මේ ගැන පැහැදිලිව විස්තර කරලා මගේ මවගේ කීර්තිය ආපහු නිවැරදි නොකළොත්, ඔබට අවශ්‍ය වුනත් පහසුවෙන් මෙතනින් යන්න නොහැකි වේවි!”

ඔහු තම කඩුව කොපුවෙන් එළියට ගත් අතර එහි වූ ජලය වැනි දිලිසීමට යටින් සැඟව තිබූ ඝාතන චේතනාව අන් අයට ප්‍රදර්ශනය වීමට එම එකදු ප්‍රදර්ශනය පවා සමත් විය.

සෙනඟ අතරින් පිටතට පැමිණි ලි චිංයු ද සෙමින් හා කලබලයෙන් යුක්තව මෙලෙස පැවසී ය, "කෙනෙකුට වැරදි ආහාර අනුභව කරන්න පුලුවන්. නමුත් කිසිවිටෙක වැරදි වචන කතා නොකළ යුතුයි. චින් ආර්යාව කියන්නේ මගේ වැඩිමහල් සහෝදරයාගේ මව. මම මගේ මවට ගරු කරනවා වගේමයි ඇයටත් ගරු කරන්නේ. ඔබ හිතාමතාම ඇයව අපකීර්තියට පත් කරන්න උත්සාහ කළොත්, චුන්යැං දාඕවාදී පන්සලත් එයට ඉඩක් දෙන්නේ නැහැ."

ඔහු ඇඟවූයේ අද වූ සිදුවීම ගැන සු වෙයි විසින් අධිරාජ්‍යයාට සිහිපත් නොකළා වුවද, දේශපාලන ක්‍රම මගින් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා වුව ද, චුන්යැං දාඕවාදී පන්සල විසින් ද එය භාර ගන්නා බව ය. එසේ වුවහොත් මෙතැන් සිට දුවාන් වෙන්යැං සහ ඔහුගේ නිකාය චුන්යැං විහාරය සමඟ ද සතුරුකම් ඇතිකරගනු ඇත.

ලි චිංයු විසින් තනිවම ෂුඅන්දු කන්ද වෙත ගොස් ලියන් ශෙන්යැං, හේ සියොන් සහ තවත් කිහිප දෙනෙකු පරාජය කොට තිබූ අතර පසුව යූ අයි ද අඩ පියවරකින් පමණ පරාජය කිරීමට සමත්ව තිබුණි. මේ අනුව, චුන්යැං දාඕවාදී පන්සල දැනටමත් සිටියේ බලපෑම අතින් ෂුවාන්දු කන්ද පවා අභිබවා ගොසිනි. ඔවුන්ගේ නිකාය නායක යි බිචෙන් ද පළමු දස දෙනා අතරට පැමිණි බව කිව යුතුම ය. එම නිසා, ලි චිංයු විසින් දැන් පවසා තිබූ දෙය ඇත්තෙන්ම විශාල බරක් දරා ඇත.

කෙසේ වෙතත්, දුවාන් වෙන්යැංගේ ප්‍රකාශනය ද කිසිසේත්ම වෙනස් වූයේ නැත. තවමත් සිනාසෙමින් සිටි ඔහු මෙසේ පැවසී ය: “පැරණි කියමනක් තියෙනවා යුක්තිය තිබෙන පුද්ගලයෙකුට තමාට අවශ්‍ය ඕනෑම ස්ථානයකට යන්න පුළුවන් කියලත්, එය නොමැතිනම් කෙනෙකුට අඟලක්වත් සෙලවෙන්නත් බැහැ කියලාත්. මධ්‍යම තැනිතලාවේ මිනිස්සු සාධාරණයි කියලා මට ආරංචි වුණා, ඒ නිසායි මම යුක්තිය හොයාගෙන මෙතනට ආවේ. හරි වැරැද්ද මොකක් වුණත් බලය අනිසි විදිහට පාවිච්චි කරලා කොහොම හරි මාව ගොනාට අන්දන්න හදන්න එපා! චින් ආර්යාවගේ මංගල නම නින්. ඇයගේ අනුග්‍රාහක නම ෂුආන්ගන්. මම හරිද?"

ඔහුගේ වදන් හමුවේ සු සහෝදරයන්ගේ හදවත් ගල් විය. ඔවුන් දෙදෙනාම විමතියට හා වික්ෂිප්තභාවයට පත් වී තිබුණි. සහෝදරයන් දෙදෙනා, ඔවුන්ගේ මවගේ මංගල නම කොතැනක හෝ අසා තිබුණ ද, ඇගේ ආචාරශීලී නම දැන සිටියේ කිහිප දෙනෙකු පමණි. අෂිනා අධිරාජිනිය විසින් එය දැනගෙන සිටීමේ හැකියාව ඊටත් වඩා අඩු ය. මේ අමුතු තුජුයේ මිනිසාට එය ඇසුණේ කොහෙන්ද?

දුවාන් වෙන්යැං සෙමින් එය පැහැදිලි කිරීමට පටන් ගත්තේ ය, “මීට වසර තිහකට කලින්, චින් ෂුඅන්ගන් තුජුයේවල ගොඩක් දුර ගිහින් මගේ ගුරුවරයා යටතේ ගෝලයෙක් වුණා. ඔහුගේ අනුග්‍රහයයි, විශ්වාසයයි ප්‍රයෝජනයට අරගෙන එක රාත්‍රියක ඇය මගේ ගුරුතුමාගේ සිහිවටනය සොරකම් කරලා මධ්‍යම තැන්නට ආවා. දැන්, මගේ ගුරුතුමා මට මේ පුද්ගලයාව හොයාගෙන සිහිවටනය ගෙන එන්න කියලා කිව්වා. මම මධ්‍යම තැනිතලාවට ආව දා සිටම ඇය ගැන හොයන්න බොහොම කාලයක් මහන්සි වුණා. මාව පුදුමයට පත් කරමින්, චන්'අන්වලදී චින් ආර්යාව අහම්බෙන් මුණගැහුණම, මට කොහෙන්වත් හොයාගන්න බැරි වුණ චින් ෂුඅන්ගන් කියන්නේ හරියටම මෙයියැංවල මව වෙන චින් ආර්යාව කියලා මට හිතුනම මම පුදුම වුණා!

ඉන්පසු ඔහු සිනාසෙමින් මෙසේ ද කීවේ ය, “මේ අවුරුදු ගණනාව පුරාම, චින් ආර්යාව හොඳින් සැඟවී හිටියා. කලාතුරකින් මිදුලෙන් පිටතට යන ඔබ වගේ පුද්ගලයෙක් බිත්තියෙන් ඔබ්බට ගිය කීර්තිමත් අලිෂාවේලී කියලා කවුද හිතන්නේ! ”

සු චියාඕ කෑගැසුවේ ය, “විකාර! මගේ අම්මා කවදාවත් තුජුයේවලටවත්, බිත්තියෙන් පිටත කොහේටවත් ගිහින් නැහැ. ඔබට කෙනෙක්ව හොයන්න අවශ්‍ය නම්, ඒක ඔබම කරගන්න. සු පවුලට අහඹු කුණු විසි කරන්න එපා! ඔබ හිතනවද අපිට මේ තරම් පහසුවෙන් අවමන් කරන්න ඔබට පුළුවන් වේවි කියලා?"

ඇහි බැම ඉහළට එසවූ දුවාන් වෙන්යැං මහත් හඬින් ඇසුවේ ය, “චින් ආර්යාව, ඔබ කරපු දේ ප්‍රතික්ෂේප කරනවාද? මට නිවැරදිව මතක නම්, ඔබේ දකුණු අතේ තියෙන මුද්ද තමයි අපේ ශුද්ධ ධාතුව. මගේ ගුරුතුමාගේ අනන්‍යතාවය නියෝජනය කරන සිහිවටනයත් ඒක. ඒකෙ තියෙන කැටයම අපේ වංශයට ආවේණික රන් නෙළුම් ලක්ෂණයක්. ඔබ කියන්නේ මේක තවත් අහම්බයක් කියලද?"

මෙම හදිසි සිදුවීමෙන් සියල්ලන්ම විමතියට පත් විය. සියල්ලෝම හැරී චින් ආර්යාවගේ අත දෙස බලන්නට වූයේ මහත් වූ කුතුහලයෙනි.

සත්‍ය ලෙසම ඇගේ ඇඟිල්ලෙහි පළිඟුවකින් සැරසූ මුදුවක් තිබුණි. පළිඟුවට යටින් රන්වන් රටා කිහිපයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. ආලෝකය ඇති විට දීප්තිමත් ලෙස දිලිසෙන, එය ඉතා දර්ශනීය විය.

මේ අනතුරින් හොඳක් නොවන බව වටහාගත් සු වෙයි සිටියේ දුවාන් වෙන්යැං පැමිණි සැණින් ඔහුව නොනැවැත්වීම ගැන වූ තමා පිළිබඳවම වූ කෝපය නිසාවෙන් අභ්‍යන්තරයෙන් තමන්ටම දොස් පවරා ගනිමිනි.

චිංදු කුමරිය ගැඹුරු හඬින් යමක් විමසුවේ මේ මොහොතේදී ය්, “ඔබේ අවශ්‍යතාවය මොකක් වුණත් අද චින් ආර්යාවගේ උපන් දිනය. අපි හැමෝම මෙතන ඉන්නේ ඇයට දීර්ඝායුෂ පතලා උත්සවය සමරන්න.ඒත් ඔබට ඕනෙ වුණේ මෙතැනට ඇවිත් අපිට බාධා කරන්න. ඔබ කිව්වා ඔබට අධිරාජිනිය නියෝග කළා කියලා. එහෙනම් දැන්ම මාත් එක්ක මාලිගාවට නොඑන්නේ ඇයි? අපි ඇයගෙන් කෙළින්ම අහමු. මට ඇත්තටම දැනගන්න ඕන අධිරාජිනිය ඔබව වෙනත් කෙනෙකුගේ උපන්දින සාදයක් විනාශ කරන්න එවුවේ ඇයි කියලා.”

දුවාන් වෙන්යැං ද සන්සුන් විය. “අධිරාජිනිය මාව එවුවේ තෑග්ග දෙන්න. ඒත් මම දැනටමත් එය ලබා දීලා අවසන්. ඒ නිසා මම දැනටමත් ඇගේ නියෝගය ඉටු කරලයි තියෙන්නෙ. වර්තමාන කාර්‍යය සම්බන්ධ වෙන්නේ මගේ ගුරුතුමාට. අධිරාජ්‍යයා ප්‍රඥාවන්ත, සාධාරණ කෙනෙක්. කතාවේ ඇතුළාන්තය ගැන ඇහුවත්, අපට අයිති වෙන්න අවශ්‍ය දේ ගැන චිං ආර්යාවගෙන් ඇසීම ගැන ඔහු මාව වළක්වන්නේ නැති බව මට විශ්වාසයි! ”

ආඩම්බරයෙන් යුක්ත වූ ඔහු තවදුරටත් මෙසේ ද පැවසුවේ ය, “මගේ ගුරුතුමාගේ කීර්තිය කෙසේවෙතත් චින් ආර්යාවට හිතාමතාම ජීවිතය දුෂ්කර කරන්න ඔහුට අවශ්‍ය නැතිව ඇති!”

ලී චිංයු ඇසුවේ ය, "ඔබේ ගුරුතුමා කවුද?"

සිනහවක් පහළ කළ ඔහු, "හු ලුගු!" ලෙස පැවසුවේ ය.

මෙම නම අමුත්තන් අතර ඊටත් වඩා විශාල කැළඹීමක් ඇති කරන ලදි.

හු ලුගු මොන වගේ කෙනෙක්ද? වසර විස්සකට පෙර, එවකට සිටි හොඳම සටන් කලාකරුවා වූ චි ෆංග'ට එරෙහිව සටන් කළ පුද්ගලයා ය. මෙම සටන සටන්කාමී ලෝකය පුරාම අස්සක් මුල්ලක් නෑර පැතිර තිබු අතර අද දක්වාම මිනිසුන් විසින් උද්යෝගිමත් ලෙස සාකච්ඡා කරන මාතෘකාවක් විය. සටනින්, හු ලුගු පරාජය වූ අතර ඉදිරි වසර විස්සක කාලය තුළ නැවත මධ්‍යම තැනිතලාවට ඇතුළු නොවන බවට දිවුරුම් දීමට ද ඔහුට සිදු විය. ඔහු තම වචන නිසි ලෙස රකින බව පෙනී ගියේ ය. වසර විස්සක් පුරාවට ඔහු යළි කිසි දිනක මධ්‍යම තැන්න මත පය තැබුවේ නැත.

පුද්ගලයෙකුගේ සටන් කලාව චි ෆංග සහ හූ ලුගු වැන්නවුන්ගේ මට්ටමට පැමිණි විට, ඔවුන් පරාජය වුව ද  ජීවිතය පහසුවෙන් අහිමි වන්නේ නැත. චි ෆංග' එවකට සිටි හොඳම සටන් ශිල්පියා වුවද, හූ ලුගු ද සිටියේ හැකියාව අතින් ඔහුගෙන් වැඩි දුරක නොවී ය. චි ෆංග''ට ඔහුව මරා දැමීමට නොහැකි වූ නිසාවෙන් ඔහුට හැකි වූයේ ඔහ ලවා දිවුරුම් දීම පමණි.

යැන් වුෂිගේ ක්‍රියාදාමයට අනුව නම්, අනෙක් පුද්ගලයාට දිවුරුම් දීම සඳහා ඔහු හට අවස්ථාවක් ලැබුණහොත්, ඔහු විසින් හු ලුගු මරා දැමීමට ඉඩ ඇති අතර එමඟින් අනාගත කරදරවලට මූලය තුරන් වනු ඇත. නමුත් පැහැදිලිවම චි ෆංග'ගේ ශෛලිය ඊට හාත්පසින්ම වෙනස් විය. මධ්‍යම තැනිතලාව දෙසට තුජුයේහි අභිලාෂය ඔහුට දැනුණද, හු ලුගු වනාහී පරම්පරාවේ විශේෂඥයෙකු ලෙස ද ඔහු විසින් ගරු කළ අයෙකි. එනිසා තම ප්‍රතිවාදියාට අවමන් කිරීමට ඔහු හට අවශ්‍ය නොවී ය. එබැවින් ඔහු විසි වසරක ගිවිසුමක් පමණක් සිදු කළේ ය.

වසර විස්සකට පසු, චි ෆංග' තවදුරටත් මේ ලෝකයේ නොසිටි නමුත්, හූ ලුගු නැවත මධ්‍යම තැනිතලාවට පැමිණියේ ද නැත. ඔහු තම ගෝලයන් දෙදෙනෙකු පමණක් එවා තිබුණි. ඔවුන්ගෙන් එක් අයෙක් ෂෙන් ච්‍යාඕව අර්ධ-පියවර කදු මුදුනේදී පරාජය කළ කුන්'ය වන අතර අනෙකා හදිසියේම සු පවුලේ වාසස්ථානය වෙත ගොස් සු සහෝදරයන්ගේ මව සැබවින්ම හු ලුගුගේ ගෝලයෙකු බව ප්‍රකාශයට පත් කොට තිබුණි.

පළමු සිදුවීම තවදුරටත් ප්‍රවෘත්තියක් නොවී ය. ෂෙන් ච්‍යාඕගේ වැටීමෙන් පසු ෂුඅන්දු කන්ද ඒ වන විටත් පාලනය වෙනස් කොට තිබුණි. කාලය ගෙවී යත්ම, පෙර සිටි නිකාය නායකයා සිටින ස්ථානය ගැන අවධානය යොමු කිරීම ගැන මිනිසුන් උනන්දු නොවූ හ. චි ෆංග හට ඔහුගේ උරුමය ඉදිරියට ගෙන යාමට සුදුසුකම් ලත් අනුප්‍රාප්තිකයෙකු නොමැති වීම ගැන මිනිසුන් සුසුම්ලෑවේ සටනක් තිබූ අවස්ථා වලදී පමණක් විය.

කෙසේ වෙතත්, දෙවන සිදුවීම දැන් ඔවුන් ඉදිරිපිටම සිදුවෙමින් පැවතිණි. එය පෘථිවිය කම්පා කරවන සිදුවීමක් ලෙස සැලකිය හැකි ය.

එහි විශ්වසනීයත්වය කුමක් වුවත්, චින් ආර්යාවගේ කීර්තිනාමය දැනටමත් කතාවෙන් හානියට පත් වී හමාර ය. සු චියාඕ කෝපයට පත් විය. තවත් විකාර කතාවලට කාලය නාස්ති නොකළ ඔහු කඩුව ගෙන දුවාන් වෙන්යංගේ කට වසා  දැමිමට සැරසුණි.

නමුත් මේ මොහොතේ දී, සු සහෝදරයන්ගේ සිරුරු මඟින් ආවරණය වී ආරක්ෂිතව සිටි චින් ආර්යාව හදිසියේම තම හඬ අවදි කළා ය, “හු ලුගුට ඔහුගේ සිහිවටනය නැවත අවශ්‍ය නම්, ඔහු නෑවිත් ඔබව එවුවේ ඇයි?”

දුවාන් වෙන්යැං දැන් පැවසූ දෙයෙහි සත්‍යභාවය ඇය සැබවින්ම පිළිගත් බවක් එයින් පෙනෙන්නට තිබුණි.

සු චියාඕ කම්පනයට පත් විය. ආපසු හැරී තම මව දෙස බැලූ ඔහු ප්‍රතික්ෂේප කළේ ය: "මෑණියනි, ඔබ..."

ඔහු දෙසට බැල්මක් හෙලූ ඇය සීතලෙන් පිළිතුරු දුන්නා ය, “ඔබ? මේ සිහිවටනය මොකක්ද කියලා ඔබ දන්නවාද? රන් නෙළුම් කියන්නේ තුජුයේවල සංකේතය. ඒ වගේම සොරොස්ට්‍රියානුවාදයේ ශුද්ධ ධාතුව. මේ මුද්ද තිබුණොත්, පර්සියාව, තුයුහුන්, යුතියන් සහ තංගුත්වල ඉන්න සියලුම විශේෂඥයන්ව තුජුයේවලට රැස් කරලා මධ්‍යම තැනිතලාව ආක්‍රමණයට තුජුයේ නායකයාට උපකාර කරන්න කියලා නියෝග කරන්න හූ ලුගුට පුලුවන්. ඒ වෙද්දි, උතුරු ෂෝ ස්ථාපිත කරලා තිබුණේ නැහැ. නැගෙනහිර වෙයි, බටහිර වෙයි ප්‍රදේශ හිටියේ එකිනෙකාට විරුද්ධව නිමක් නැති යුද්ධයක් මැද්දේ. රටවල් දෙකම හිටියේ ගොඩක් දුර්වල වෙලා. දකුණට දැවැන්ත ආක්‍රමණයක් සිද්ධ වුණොත් එයාලට තවදුරටත් තුජුයේට එරෙහිව යුද්ධ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒත් මම ඔහුගේ සිහිවටනය හොරකම් කරපු නිසා හු ලුගුට තවදුරටත් සොරොස්ට්‍රියානුවාදයේ ඕතඩොක්ස් නියෝජිතයා විදිහට  පෙනී ඉන්න පුලුවන් වුණේ නැහැ. මහා ප්‍රාකාරයට ඔබ්බෙන් හිටපු ප්‍රවීණයන්ට අණ දෙන්න බලයක් නැති වුණ නිසා තුජුයේ හිටියේ එක අතක් නැති වෙලා වගේ."

සූ සහෝදරයන් සම්පූර්ණයෙන්ම ගොළු විය. ඔවුන්ගේ මෑණියන්ට එවන් ඉතිහාසයක් තිබෙන බවක් ඔවුන් දැන සිටියේ නැත.

එය පවසා නිම වූ ආර්යාව, දුවාන් වෙන්යැං වෙත ආපසු හැරී මෙසේ පැවසුවා ය, "මේ මුද්ද ඇත්තෙන්ම හු ලුගුට අයිති එකක්. මම එය නැවත මධ්‍යම තැනිතලාවට ගෙනාවා. කොහොම වුනත් දැන් වසර ගණනාවක් ගත වෙලා. හු ලුගු කිසි දිනෙක ඒක ආපසු ගන්න කිසිවෙක්ව එවලා නැහැ. ඉතින් අවුරුදු තිහකට පස්සේ ඔහු හදිසියේම ඔබව එවන්න තීරණය කළේ ඇයි? ”

දුවාන් වෙන්යැං සන්සුන්ව පිළිතුරු දුන්නේ ය, “මේ මගේ ගුරුතුමා මිය යන්න කලින් ඔහුගේ අවසන් කැමැත්ත. ඔහුගේ ගෝලයෙක් විදිහට, මම ඔහු වෙනුවෙන් ඒක ඉටු කරන්න බැඳිලා ඉන්නවා."

චින් ආර්යාවගේ සිරුර මදක් සෙලවුණත් ඇය කිසි ලෙසකින්වත් පුදුමයට පත් වූ බවක් නොපෙනුණි. දිගු නිහැඬියාවකින් පසු ඇය කීවේ වචන පහක් පමණි: “එහෙනම් ඒකයි වුණේ. ඒක තමයි!"

දුවාන් වෙන්යැං තවදුරටත් පැවසුවේ ය, “චින් ආර්යාව දැනටමත් එය පිළි අරගෙන නිසා, කටයුතු පහසු වේවි. කරුණාකරලා මගේ ගුරුතුමාගේ අවසාන කැමැත්ත ඉටු කරන්න ඒ මුද්ද ආපසු ලබාදෙන්න ඔබට පුලුවන්ද?

ඉක්බිතිව, හදිසියේම යමක් සිහිපත් වූවාක් මෙන් වටපිට බැලූ ඔහු පසුව ඔහුව දුටුවාක් මෙන්, ෂෙන් ච්‍යාඕ දෙසට නෙත් යොමු කළේ ය. “මොනතරම් අහම්බයක්ද! නිකාය නායක ෂෙන් පවා මෙතන ඉන්නවා.! මේ නඩුවේදී, කරුණාකරලා අප වෙනුවෙන් සාක්ෂිකරුවෙකු වෙන්න කියලා මට ඔබෙන් ඉල්ලන්න පුලුවන් වේවිද?



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-